බළහරුව තියෙන්නේ වැල්ලවාය තණමල්විල පාරේ, කුඩාඔය නගරයෙන් හැරිලා දකුණු පැත්තට කිලෝමීටර් දාහතරක් විතර ගියාම. තණමල්විල ඉඳන් හම්බෙගමුව හරහා කපුගල බලන්ගොඩ පැත්තට එන පාරේ ආවත් බළහරුවට එන්න පුළුවන්. දැන්නම් ඇතිලිවැව ඉඳන් ඊටත් කෙටි පාරක් තියෙනවලු. බළහැරුව කියල නම හැදිච්ච හැටි හොයල බැලුව . වැඩිදෙනෙක් විශ්වාස කරන්නේ දුටුගැමුණු රජ්ජුරුවන්ගේ බළ සේනාවන් පුහුණු කරපු තැනක් නිසා ඒ නම වැටුන කියල . බළ+හුරුව බළහැරුව වුනාලු.
බළහරුව කියන්නේ ඩී ඇස් සේනානායක උන්නැහැ අගමැති වුනාම් ඉස්සෙල්ලම වැව්අමුණු පිළිසකර කරලා ගොවිජනපද හදපු හඳපානාගල, වෙහෙරයාය, ඇතිලිවැව වගේ ගම්මානයක් .
බළහරුව කියන නම මතකේ හිටින්න පුද්ගලනාම තුනක් බලපෑවා . පළවැන්නා අපේ බැචා සුසිල්. ඔහුගෙ ගම බළහරුව කියල දැනගත්ත සීනියර් උත්තමයෝ අනිවාර්යයෙන්ම අහපු ප්‍රශ්නයක් තිබ්බ.
'ඒයි උඹ බළහරුවේ සෝම අඳුනනවද ?'
බළහරුවේ සෝම කියන්නේ 1987-89 කාලේ අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බළ මණ්ඩලයේ කැඳවුම්කරු. 1987 පිටකොටුවේ උද්ඝෝෂණය ගැන විස්තර හොයද්දීත් මුලින්ම හමුවෙන චරිතයක්. භීෂණ කාලෙන් පස්සේ බළහරුවේ සෝම කියන නම කොහෙවත් ඇහුනේ නෑ . ඉන්න තැනක් හොයා ගන්නත් නෑ . තුන්වෙනි නම තමයි බළහරුවේ සිරිසුමන. තනියම ඉංග්‍රීසි ඉගෙනගෙන පිරිවෙන්වල ඉංග්‍රීසි ගුරුවරයෙක් විදිහට සේවය කරපු බළහරුවේ සිරිසුමන හාමුදුරුවෝ මැදිවියට එළඹෙද්දී පේරාදෙණියේ ඉංග්‍රීසි ගුරු විද්‍යාලයට ඇතුල්වුණා. ඒ කාලේ අපි පේරාදෙණි සරසවියේ ඉගෙනගත්තා .
ආපහු ගමට ගිය සිරිසුමන හාමුදුරුවෝ පරිසරවෙදියෙක් විදිහටත් නිදහස් මතධාරියෙක් විදිහටත් කටයුතු කළා . පසුගිය අප්‍රේල් මාසේ අපවත් වෙනකොට බළහරුවේ රජමහ විහාරයේ අධිපති.
මේ කතන්දර සියල්ල කිව්වේ බළහරුවේ බස්එක ගැන පරණ කතාවක් කියන්න ඕනි නිසා, මේකට පසු කතාවකුත් තියෙනවා .
*********
ඒ 1989 අවුරුද්දේ දවසක් . බළහරුවට තියෙන අන්තිම බස් එක වැල්ලවායෙන් පිටත් වෙන්නේ හවස හයට . පස්සර ඉඳන් බළහරුවේ සුසිල්ලා ගෙදර යාමට පැමිණි ගැමුණු බළහැරුවේ බස් එක එනකම් බස්ටෑන්ඩ් එකේ හිටියා .සෑහෙන වෙලාවක් බලා හිටියා . එහෙමෙහේ ඇවිදින්න හොඳ කාලයක් නෙවෙයි. බස් එක නැති නිසා කිහිප දෙනෙක් එක්ක ඇවිදගෙන ගියා ඩිපෝව පැත්තට. මොකද බස් එක එන්නේ ඩිපෝවේ ඉඳන් . ගේට්ටුව ළඟ බලා හිටියා බස් එක ඩිපෝව ඇතුලේ තියෙන වග ආරංචි වුනා . දැන් එයි දැන් එයි කියල බල බලා හිටියා . හතර වටින් අඳුරු වුනා . බස් එකේ යන්න හිටි ටික දෙනාත් කොහෙට කොහෙට හරි යන්න බලාගෙන හෙමි හෙමින් එතනින් සීරුමාරු වුනා . ගැමුණු විතරයි ගේට්ටුව ලඟ ඉතිරි වුනේ .
ඔන්න එතකොට බස් එකේ ඩ්‍රයිවරයි කොන්දොස්තරයි පයින් ඇවිදගෙන එනවා. මේ බස් එකේ වතාවක් දෙකක් ගිහින් තියෙන නිසා දෙන්නගේ මූණූ මතකයි. රියදුරා මද හිනාවක් දැම්මා .
' බළහරුවේ බස් එක නැද්ද?"
' නෑ මහත්තයෝ ඒක කැඩිලා . අපි මෙච්චරක්වෙලා හදාගෙන එන්න .තමයි මහන්සි වුනේ . බැරි වුනා. හෙට තමයි ඉතිං 'කියාගෙන දෙන්න පයින්ම ඇවිදගෙන ගියා . ගැමුණුගේ කකුල් දෙක වෙවුලුවා. හිත ගිණියම් වුනා. දැන් ඉතින් කොහේ කියල යන්නද ?
මද දුරක් ඇවිදගෙන ගිය බස් රියදුරා ආපහු හැරිලා ඇහුවා.
' මහත්තයා කොහේ ඉඳලද ?"
බස් කොන්දොස්තර නොනැවතී ඉස්සරහට ගියා. ගැමුණු රියදුරා සිටි දෙසට ගාට ගාටා යන ගමන් මෙහෙම කිව්වා.
" මම පස්සර ඉඳන් ආවේ. මේ වෙලාවේ ඒ පැත්තට යන බස් එකක් තියෙයිද?"
" මේ දවස්වල කළුවර වැටුනම බස් එනවා අඩුයි. තණමල්විල පැත්තටනම් බස් එකක් එනවා දැන් "
ගැමුණු විපිලිසරව බලා හිටියා . ' ඒ පැත්තට හිහින් කොහේ කියල යන්නද ? " කෙඳිරිලි හඬින් කියවුනා .
ඒක බස් රියදුරාට ඇහුණා . ටිකක් කල්පනා කළා .
" මහත්තයා අතරමං කරලා මෙහෙම යන්නත් බෑ . ඒත් අපේ ගෙවල්වල එහෙම අමුත්තෙකුට ඉන්න පහසුකමකුත් නෑ . අනික් අතට මේ අවදානමේ මග ඉන්න හොඳ කාලයක් නෙවෙයි. යමු මහත්තයා අපේ ගෙදර . පුළුවන් හැටියකට ඉමු"
ගැමුණු මුවින් නොබැනම ඔහුගේ පස්සෙන් වැටුනා. දෙන්නත්තෙක්ක පාර අයිනට ඇවිදගෙන ගියා. ටික වෙලාවකින් තණමල්විල හරහා කතරගම අන්තිම බස් එක ආවා. නැග්ගා. ටිකට් ගත්තද මතක නෑ . අතිලිවැව හන්දියෙන් බැස්සා .
එතනින් දකුණට හැරිලා කුඩා ගුරු පාරකින් හැරී හැරී කිලෝමීටර් දෙකක් විතර ගියාම කුඩා ගම්මානෙකට සේන්දු වුනා . දෙන්නගෙම ඉහින් කණින් දාඩිය දාලා.
රියදුරා නතරවෙලා හති ඇරියා. "දැන් බයවෙන්න දෙයක් නෑ. මමත් පොඩ්ඩක් හෝදිසියෙන් හිටියේ අලි ඉන්නවනේ . මේ දවස්වල නම් අලි නෙවෙයි වෙන වෙන සත්තුත් ඉන්නවා " කියල හාහ් හාහ් ගාල් හිනා වුනා .
ගමට ඇතුල් වෙච්ච හැටියේම වගේ තිබ්බ රියදුරු වාසභවනේ ඉස්සරහ කාමරේ ලැහැස්ති වුනා. පුංචි පවුලක්. පුංචි ගෙදරක් . දඩිබිඩියේ හදපු කීලන් කරවල හොද්දයි, කවුපි දළු මැල්ලුමයි එක්ක රෝස කැකුළු බත් එකක් බෙදාගෙන කෑවා . ආයේ කියන්න දෙයක් නෑ. ඒක අතිරහ කෑම එකක් .
පහුවදා ආපහු ඇතිලිවැවට ගිහින් එතනින් වැල්ලවායට බස් එක අරගත්තා දෙන්නත්තෙක්කම. දහය එකොළහ වෙනකොට බස් එකත් හදාගෙන කුඩාඔය හරහා බළහරුවට ගියා .
***
මේ කතාව මගේ මිත්‍රයා විසින් මතක් කරන්ට යෙදුනේ පසුගිය සතියක අපි කොළඹ ඉඳන් මත්තල දක්වා හයිවේ එකේ ගොස් වැල්ලවාය පැත්තට යන අතරේ තණමල්විලට ඉස්සරින් හම්බවෙච්චා කඩේකින් රෑට කෑම ගනිමින් ඉන්න වෙලාවේ . එතකොට රෑ දහය හමාරයි. කඩේ බුෆේ එකක් . බත් මාළු පිණි ගොඩක් තිබ්බා . පානුත් තිබ්බ. . කපල නෑ . "මුදලාලි මේ පාන් කන්නේ කොහොමද කපල නෑ" . අපි සද්දෙන් කිව්වා.
තරුණ මුදලාලි දුවගෙන ඇවිත් බොහොම ගරුසරු ඇතිව පාන්පෙති කපල ලොකු තැටියකට දල කිවා මේ පරිප්පුයි මිරිස් මාලුයි හොඳයි කන්න. තුඹ කරවිල හොද්දනම් ටිකක් දවාලෙන් හැදුවේ ඇඹුල් වෙලා ඇති .
අපි ඉතිං හොඳට කෑවා .
බිල ගෙවන්න කවුන්ටරේට ගියා. එතැන කවුරුත් නෑ . මුදලාලි ගෝලයෙක් එක්ක හෝටලේ සුද්ද පවිත්‍ර කරනවා.
'මුදලාලි අපේ ගාන කීයද ?" මුදලාලි හිනාවුනා
'මහත්තයෝ මේ කඩේ දහයට වහනවා. කෑම ඉතිරිවුණ නිසා තමයි ඇරලා තිබ්බේ . දහෙයෙන් පස්සේ අපි කෑමවලට සල්ලි ගන්නේ නෑ"
මුදලාලි ගැන කතාකරමින් වැල්ලවාය පැත්තට එනකොට කුඩාඔය කඩමන්ඩියේ රථය මොහොතකට නතර වුනා."ඔය වම්පත්තේ පාරේ තමයි බළහරුවට යන්නේ". එතැන් සිට ගමන කෙළවර වෙනකම් රස මැව්වේ බළහරු කතා .
ඔන්න ඔහොමයි අපිට අවුරුදු නිවාඩුව උදා වුනේ.
Photo : handapanagala Tank, Source : Sunday Observer