Saturday, August 31, 2013

අම්මා අම්මා ...



ගෝස්තු නිවාඩුව එනතුරු පොඩි උන් දෙන්නාත් උන්ගේ අම්මාත් හිටියේ ඇඟිලි ගැන ගැන කැලැන්ඩරේ දිහා හරි ආශාවෙන් බලාගෙනය. අගෝස්තු මාසේ පුරාම මම ගෙදර ඉන්නවා කියා කලින්ම දුන්  පොරොන්දුව අවංක හිතින් දුන්නු එකක්.
 'අපි දවස් තුන හතරක ට්‍රිප් එකක් යමු. නිස්කාන්සුවේ ගිහින් විවේක ගනිමු. කිතුල්ගල ගඟ මැද ගල් තලාවේ වාඩි  වෙලා ගඟ දියට කකුල් ඔබා ගෙන ඉමු. හරියට බීම බෝතලේට දාපු ස්ට්‍රෝ එකෙන් වගේ කකුල් දිගේ සිසිලස ඇඟට ඇදිලා එනවා එතකොට. හෝර්ටන් තැන්නේ බිම වැතිරිලා ඇඳුම් වල තැවරෙන පින්නේ හුරතල් වෙමු.'
මම හා කීවා. හීන ගොඩක්. කොහොමින්  කොහොම හරි අගෝස්තු නිවාඩුව දිය වෙවී යමින් තිබුනා. නොහිතාපු කාරිය බහුල කමකින්. දඩිබිඩියේ දියතලාවේ ගොස් හිටපු සති අන්තය ඇරෙන්න ඉතිරි හැමදාම බිසී වුනා.  නෝක්කාඩු බොහොමයි.
පොඩි දුවගේ මුවින් නික්මිලා දිගින් දිගටම අපි දෙන්නාගේ ඇඟේ  ඇතිල්ලෙන තවත් ඉල්ලීමක්.
'අනේ අපි තරූලා ගෙදර යමු. හැමදාම කතා කරනවා. තරූලා අම්මත් කතා කරනවා.'
අන්තිමේදී නිවාඩුව ඉවර වෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී අපි පොඩි දුවගේ මිතුරියගේ ගෙදර යන්න තීරණය කළා.
දෝනී පස්වනක් ප්‍රීතියෙන් පිනා ගියා. අපි ගෙට ගොඩ වන විට තරූගේ මුහුණේ ලස්සන  තරු මල් පිපී තිබුනා.
පොඩි වුන් ඔවුන්ගේ ලෝකයේ සෙල්ලම් කරද්දී ලොකුවුන් ලොකු  කතා බහ. පොත් පත් හා චිත්‍ර ප්‍රදර්ශන ගැන කතා ඇදෙද්දී මම නිකම්ම සරල මාතෘකාවකට මාරු උනා.
ඉතින් නිවාඩු කාලේ කොහෙවත් ගියේ නැද්ද?
කාරීය බහුල රස්සාවක් කරන  තරූගේ තාත්තත් පාසැල් ගුරුවරියක වූ තරූගේ අම්මත් අගෝස්තු මාසයේ විවේකී නිවාඩුවක් ගත කරන්නට කැමති බව අපි දැන  හිටියා.
'අනේ යන්න බැරි වුනා. දාගෙන හිටි ගමන් සේරෝම කැන්සල් කරා .අපේ ලෙඩෙක් හිටියනේ ඉස්පිටිතාලේ.
ගිය සුමානේ ටිකට් කැපුවේ.'
ලෙඩා ගැන ආදරෙන් කතා කරන විදිහට පවුලේම කෙනෙකු වෙන්නට ඕනෑ  කියලා අපට හිතුණා.
'ඇත්තට? අපි දන්නේ නෑනෙ . කවුද ලෙඩා ?
අපි දොරවල් සේරම අස්සෙන් ගෙට එබිකම් කරන ඇස්  ලොකු කරගෙන ඇහුවා.
'එහෙනම් අපි මේ ඇවිල්ලත් කළේ  කරදරයක්ද මන්දා?'
'නෑ නෑ  ලෙඩා ඉන්නේ බලන්ගොඩ එගොල්ලන්ගේ ගෙදරින් ඇවිත් එක්කර ගෙන ගියා ටිකට් කපපු ගමන්ම'.
 තරුගේ නෑයෝ ඉන්නවැයි  බලන්ගොඩ?
අපේ ප්‍රහේලිකා කොටු වගේ මුහුණු දෙක දිහා බලල තරුගේ අම්ම කතාව පටන් ගත්ත.

'ඉස්පිටිතාලේ හිටියේ අපේ ඉස්කෝලේ වැඩ කරන විමලසේන. පැන්ෂන් අරගෙනත් ගොඩක් කල්. ඒත් ආශාවෙන් රස්සාව කරන නිසා පොඩි පොඩි වැඩ කර කර දිගටම හිටියා. කාටත් ලෙන්ගතුයි. ඒත් ගිය වාරේ මැද විමලසේන හදිසියේ ලෙඩ උනා. කතා කරන්න බැරි උනා. ඇවිද ගන්නත් බැරි උනා .
කොළඹ මහා ඉස්පිටිතාලේ නතර කලාට ගෙදර මිනිසුන්ට හැමදාම එන්න පුළුවනෑ  බලන්න?. ඉතින් ඉස්කෝලෙ අපි කට්ටියම තමයි උදේ හවස ලෙඩා බලා ගත්තේ. ටීචර්ල දෙන්නා තුන්දෙනා ගානේ බෙදා ගෙන හැමදාම ගිහින් කෑම බීම  දීල බලල ආව.'
ඉතින්?
' නිවාඩුව පටන් ගත්ත. විමලසේනට තාමත්  ගුණයක් නෑ. නිවාඩු කාලේ ටීචර්ලා  ඔක්කොම ගමේ යනවනේ. කෑම ගෙනියන්න කවුරුත් නැති නිසා අපි බාර ගත්ත. තරුගේ අම්මා කිව්වේ ඇයගේ සැමියා දෙස තුටු පහටු මුහුණකින් බලන ගමන්. ඔහුත් හරි ආශාවෙන් කතාවට සම්බන්ද වුනා.
'ඉතින් මගේ තියෙන වැඩ රාජකාරි කලින් අහවරක් කරලා මේ ගොල්ලවත් ඇරගෙන අපි දවසට තුන් ගමනක් ඉස්පිටිතාලේ ගියා.'
ටිකට් කපන කොටත් විමලසේනට කතා කරන්න බෑ. ඇඳේ  වාඩි වෙන්න විතරක් පුළුවන්. ඇවිදින්න බෑ . දොස්තරලා කිව්වේ පිළිවෙලකට  ගුණදායක කෑම  ටික වැටුණු හින්දයි  ආදර සලකිලියි හින්ද තමයි ඔය තරම් ඉක්මනට ටිකට් කපන්න පුළුවන් වුනේ කියල.
දැන් ගෙදර ගියත් අපි උදෙයි හවසයි කතා කරනවා. විමලසේනගේ නෑයො  වෙන  දුවෙකුට මොබයිල්  ෆෝන් එකක් තියෙනවා. ළඟ ගෙදරක . එයාට ගත්තම දුවලා දුවල ගිහිල්ල විමලසේනගේ කනේ ෆොනේ එක තියෙනවා.

'විමලසේන මේ ටීචර් නෝනා කතා කරන්නේ. විමලසේන බය වෙන්න එපා. දොස්තර මහත්තයා කිව්වා විමලසේනට ඉක්මනට සනීප වෙනවා කියල. හොඳට කන්න ඕනි. හිනා වෙලා ඉන්න ඕනි හොඳේ'. විමලසේන  ම්.. ම්..  හඬක් යන්තමින් නගා ගත්තා.
විමලසේන ගෙදර ගිය මුල් දවස් වල ඔහොමයි. විමලසේන බලා හිටියේ ඉර පායානකන්වත් ඉර බහිනකම්වත් , කතා කරන්න පුළුවන් වෙනකම්වත් නෙවෙයි. ටීචර් නෝනාගෙන් කෝල් එක එනම්කම්.

ඒත් දැන් දවස් දෙකකට කලින් හරි අපුරු දෙයක් වුනා. ටීචර් නෝනා පුරුදු දයාබර උපදෙස් ටීක දීලා ඉවර වෙනකොටම  විමලසේන ම් ම්  කියල හය්යෙන් ශබ්ද කරලා එක පාරටම දෙපාරක්ම අම්මා අම්මා  කිව්වා .

කතාවේ ඒ කොටස කියද්දී තරූගේ අම්මගේ නෙත් දෙකෙළවර තරු කැට වැනි  කඳුළු කැට දෙකක් දිලිසෙමින් තිබ්බා. කෙලි සෙල්ලම් නතර කළ  අපෙ පැටවුන් ඇයගේ වූවන දිහා පහන් ස්නේහයෙන්  බලා ඉන්න හැටි අපි  දැක්ක. කිතුල්ගල ගඟුලේදීවත්, අරුගම්බේ වෙරලේදීවත් නුදුටු ප්‍රභාර්ශයක් ඔවුන්ගේ මුහුණු වල නලියනවා.


නිවාඩු කාලේ නොගිය ගමන් ගැන තවර්දුරටත් අවනඩු කියන්නට ඔවුන් නොසිතන බව ඒ අතරේ පසක් වුනා.

Sunday, August 25, 2013

ජේෂ්ට උත්තමයා


නවක  වද ගැන විවිද ආරංචි හා විවිද අදහස් උදහස් දකින්නට අසන්නට ලැබුනත් මේ කියන දේ සිදු  උනේද කලකට පෙර නවක වද සමයකදීය
අක්බාර් ශාලාවේ දිග කොරිඩෝරය මතින් එහා මෙහා යන්නන්ගේ  කතා බස් දෙපස කාමරවල සිටි වුන්ට හොඳින් ඇසෙයි . දෙටු සිසුන්  නවකයන්ගෙන් විස්තර අහන්නේද  මේ කොරිඩෝරයේදීය
එවන් එක දෙබසක් මෙසේ වි
ඒයි උඹ කව්ද ?
ජේෂ්ට උත්තමය මම පුංචා
මොන කාමරේද ඉන්නේ?
29 කාමරේ 
ගම ?
බදුල්ලේ 
බදුල්ලේ කොහෙද ?
ගඟ පාරේ 
තාත්තා මොනවද කරන්නේ?
ළමයින්ට අන්ඩර දෙනවා (උගන්වනවා)

තව මොන මොනවදෝ ඇසේ .අඩි  පොලවේ හප්පන ජේෂ්ට උත්තමයා බොරු තර්ජනයක් දමා නවකයා  පන්නා ගනී 
මේ කතා බහ කන වැකුණු අය  අතර අසල කාමරයක සිටි  පැන්ටියා උත්තමයාද විය .

එදා රෑ බෝ වී අක්බාර් නෙල් එකේ 35 කාමරයේ සිටින ජේෂ්ට උත්තමයා  පුංචා  එන්න කියා පණිවිඩයක් ඒවා ඇත . ඔහු පණිවිඩ කරු වූ තවත් නවකයෙකුට  කියා ඇත්තේ මෙසේය
'බදුල්ලෙන් ආපු  පුංචා කියල එකෙක් ඇති උගේ තාත්තා ගුරුවරයෙක්මම හොඳට අඳුනනවා  ගඟ පාරේ ගෙවල් තියෙනේ. අන්න ඌට එන්න කියාපන්  
මේ පණිවිඩය අසා  පුංචා සතුටින් ඉපිලී ගියේ, අඳුනන ජෙෂ්ට උත්තමයකු සිටීම විශාල ආඩම්බරයක් වූ නිසාය. පණිවිඩයේ හැටියට ඔහු පවුලේ සමීප හිතවතෙක් විය යුතුය.  
මනා සේ සරසාගත් මුහුනින් යුතුව  පුංචා නෙල් ශාලාවේ 35 කාමරයට යයි  . දොරට තට්ටු කරයි . දැන් දැන් පැමිණ තම හිතවත් ජෙෂ්ටයා තමන් පිළිගන්නා  හැටි ගැන සිහින මවයි
දොර ඇරිණි.
උඹ කාවද හොයන්නේ. කෝකටත් ආව එක හොඳයි. මට මේ පණිවිඩයක් ඇර ගන්න කවුරු හරි එනකන් බලා හිටියේඉක්මනට ගිහිල්ල  29 කාමරේ ඉන්නවා බදුල්ලෙන් ආපු  පුංචා කියල එකෙක් මිනිහගේ ගෙවල් තියෙන්නේ  ගඟ පාරේ.  තාත්ත උගන්වනවා . අනේ හොඳ එකා වගේ ගිහින්   එක්කරගෙන වරෙන්.. ජෙෂ්ටයා  එක දිගට කියවයි 

දෙටු  හිතවතා හමුවේ සිය අනන්යතාවය පෙන්නීමට බලාසිටි  පුංචා මුවේ මදහසක් නංවාගෙන යමක් කියන්නට උත්සහ ගනියි. 'ජෙෂ්ට උත්තමය මන් ..

ඔහුට කියන්න ලැබෙන්නේ එපමණකි 
'උඹට මෙච්චර හොඳින් කියලත් උඹ තව තව ඒවා කියන්න එනවා. කට වහගෙන ගිහින්  පුංචාව එක්කරගෙන වරෙන්
පුංචා ආයෙමත් කට අරින්නට උත්සහ කරයි  . 
'කට අරින්න එපා. නිදහසට කාරනා එපා. ගිහින් ඌව එක්කරගන වරෙන් '

දෙටු උතුමාගෙන් ගිගිරුමෙන්  පුංචා විසි වී යයිකොරිඩෝව දිගේ මද වෙලාවක් එකෙල මෙකෙල වෙමින් සිටි  පුංචා නැවතත් සෙමින් සෙමින් 35 කාමරය බලා පිය නගයි. දොරට සන් කරයි.

' ජේෂ්ට උත්තමයා මන් කියන එක අහන්නකො. මම තමයි .....................

දෙටු උතුමා කේන්තියෙන් වියරු වැටෙයිකට වහ ගන්නා ලෙස  පුංචාට දැඩි ලෙස තර්ජනය කරයි.

"උඹ බොරු කතාවක් හදාගෙන ආවද ආයෙමත්. මම දැක්ක ගමන් හිතුව උඹ ලෝක කපටියෙක් කියල. වහාම පලයන්. තව විනාඩි පහළොවක් ඇතුලත  පුංචා එක්කරගෙන නාවොත් මම  නරක මිනිහා කියන්න එපා. උඹට වෙන දේ එතකොට දැන ගන්න පුළුවන් '

අනේ දුප්පත්  පුංචා !. දැන් මොකද කරන්නේ. ඔහු  රෝගියකු මෙන්  බිත්ති අල්ල අල්ලා   ආපසු කාමරයට යයි.

අඳුනන ජේෂ්ට උත්තමයා හමු වී සතුටින් යුතු  පුංචා මෙතරම් විස්සෝපයෙන් හා කනස්සලෙන් පසුවන්නේ මන්ද ?. ඔහු පෙළන පීඩනය කුමක්ද? සගයෝ විමසති
මංජුල  සිදු වූ  ඇබැද්දිය සිය සගයන්ට කියයි.දැන් විනාඩි පහළොව ගෙවෙන්නට  ළඟය . සගයන් අතර සිටි දැන මුත්තෙකුගේ උපදෙස්  පුංචාට ලැබෙයි. ඔහු නැවතත් 35 කාමරය බලා යයි .

දොරෙන් පිට සිටම මහා හඬින් කතා කරයි. " ජේෂ්ට උත්තමය මම ආව .මම තමය  පුංචා. බදුල්ලෙ ගඟ පාරේ ඉන්න ඉස්කෝලේ මහත්තයාගේ පුතා".

සෙමින් දොර හැරේයි.

ජේෂ්ට උත්තමයා  මදහසක් පායි . ' උඹද  පුංචා ? . අනේ බන් උඹව හොයාගෙන එන්න කියල මම දැන් එකෙක්ව පිටත් කලා .   දෙතුන් පාරක් මෙතෙන්ට ඇවිත් වාත වුනාහොඳ එකා  වගේ ගිහින් මිනිහවත්  එක්කරගෙන දෙන්නාත් එක්කම වරෙල්ලාකියා දොර වසා දැම්මේය.


මෙය මොන විදිහේ නවක වදයක්දැය් කාටවත් තෝරා  ගන්නට බැරි විය.