Wednesday, November 23, 2016

පුංචිපහේ බිස්නස් හා එකයි පණහේ ලාබය

Small Seller     Photo: Clipart Kid 
සිංදු කීමේ හැකියාව්, චිත්‍ර ඇඳීමේ බුහුටිබව වගේම උපතින් රැගෙන එන ගුණයක් සේ මා පිළිගන්නා බිස්නස් පටන් ගැනීමේ උනන්දුව හෙවත් ව්‍යවසායකත්වයද හරි පුදුම චරිත ලක්ෂණයකි. මා ඉගෙනගෙන ඇත්තේත් වටහාගෙන ඇත්තෙත් සමාජයේ ඉතා සුළු පිරිසකට පමණක් මේ ගුණය තිබෙන බවය. ව්‍යාපාර අවස්තාව හඳුනා ගැනීම, අත් නාරින උත්සාහයෙන් එය යතාවක් කර ගැනීම වගේම හවුල්කරුවාගේ විශ්වාසය තහවුරු කරගැනීම මේ සඳහා අවැසි ගුණාංග වෙන්නේනම් මා මේ ලෝකයේ දූටු පළමු ව්‍යවසායකයා සුනිමල්ය.

කිසිදු ව්‍යාපාරික පවුල් පසුබිමක් ඔහුට නොතිබුණ අතර අපේ සරල ගම්මානයේ ඒ වගේ අදහස්වලට දිරිදෙන පසුබිමක්ද නොතිබිණි .  මේ සුනිමල්ගේ කතාවය.

අම්මාගේ පීණසට බේත් ගන්න ටවුමේ  ආයුර්වේද රෝහලට ඇය සමග සුනිමල්ද ගියේය. ඔහු ඒ වන විට හතේ  පන්තියේ සිසුවෙක් විය.
       ආයුර්වේද ඉස්පිටිතාලේ  තෙල්, බෙහෙත් ගුලි   හා අරිෂ්ඨ නිකුත් කරන  බේත් පෝළිමේ අම්මා වේලා ගනිද්දි පුංචි එකා අවට විසිතුරු බලා ඇවිද්දේය. ඒ බලද්දී ඔහු දුටුවේ අපුරු දැන්වීමකි.

  ‘අරත්ත මුල් මිලදී ගනු ලැබේ‘
ඔහු ගෙදර ආ හැටියේ මා බලන්නට ආවේය. අවුරුද්දට උණවෙඩි වලට භූමිතෙල් ගන්නත් වෙසක් එකට සව් කරදාසි ගන්නත් අපට සල්ලි මදි පාඩු වීම් අපමණ විඳ තියෙන නිසා මේ අරත්ත කතාව ඔහු මා සමඟ කියද්දී ඔහුගේ ඇස් දෙක දීප්තිමත්ව බැබළුණි.

අපේ ගෙවල් ළඟ පිහිටි අක්කර ගානක කැලෑ රොද පාරට මායිම් වුණේ ස්වභාවික හරිත වැටකිනි. එය හරි අපුරු එක යායට වැට දිගේ වැවුණු අරත්ත ගාලකි.
මේ අරත්ත ගාලෙන් ඇතුළත් පිහිටි උස කැන්ද ගස්  කුඩු දවුලා ,එරමුදු, ටූනා ආදී ශාක වලට යටින් තඩි මිරහ, රෑ කුමරිය, ගඳපාන  ආදී නම් වලින් වු යටි ‍රෝපණයක්  තිබුනේය.

ඉතිං අන්න ඒ ලන්දේ  මායිම් තීරුවේ  තිබූ  අරත්ත පඳුරු හාරා මුල් විකුණමුයි සුනිමල් මට යෝජනා කරද්දී මගේ සියොළඟ බියෙන් වෙව්ලා ගියේ එය වැරදි වැඩක් කියලාය.
ඒත් අරත්ත ගාල තියෙන්නේ රිසිවේෂන් ඉඩමක බවත් කවුරුත් දොස් කියන්නට එන්නේ නැති බවත් කියන්නට තරම් ඒ වනවිටත් පැහිලා සිටි සුනිමල් මා අරත්ත මුල් බිස්නසේකට කැමතිකරවා ගත්තේය.
පසුවදා උදැල්ලක් හා නාරස්සනයක් සොයාගත් අපි හවස ඉස්කෝලේ ඇර පැමිණ බාගෙට බත් කා අරත්ත මුල් නෙලීමට ගියෙමු.
අරත්ත මුල් ගලවනවා කියන්නේ ලේසිපාසු  වැඩක් නොවීය . පළමුවෙනි දවසේ අපට පඳුරු මුල පාදා යන්තන් මුල් කැබලි කීපයක් එකතු කරගන්නට පුළුවන් විය.
නමුත් දෙවන දවසේ පටං අපට සතුටු හිතෙන තරම් මුල් ගොඩක් හාරා ගන්නට හැකි විය. තරමක මුල් ගොඩක් එකතු වී තිබු හතරවන දවසේ  පෝර උරයක් සොයා ගෙන සුනිමල් සමඟ අරත්ත මුල් ටික එකතු කලෙමි.
එය බෑග් උර බාගයක් පමණ වු අතර තනි ළමයෙකුට උස්සන්නට අපහසු තරම් විය.
“දැන් මේ ටිකට මොකද කරන්නේ? කෝමද ආයුර්වේදයට ගෙනියන්නේ“? මම ඇසුවෙමි.
කරන්නේ මොකක්ද කියලා ඒ වනවිටත් සැලසුම් කර තිබු  සුනිමල් පළමුව සුනිමල්ලැ ගෙදරට අරත්ත මුල් ටික ගෙනියන්නත් දෙවනුව පසුවදා ඉස්කෝලේ ඇරුණ හැටියේම ආයුර්වේදයට ගෙනිහින්  දෙන්නත් තනියම ඉදිරිපත් වුණේය.
පසුවදා ඉස්කෝලේදී අපි දෙන්නා තනියෙම කුටු කුටු ගෑවේ හවස අරත්ත මුල් වෙළදාමෙන් කරන දේවල් ගැනය.
උණ වෙඩි භූමි තෙල් හා වෙසක් සව් කරදාසි වලට මුදලක් වෙන්කර තබා ඉතිරි ඒවාගෙන් ගන්නට පුළුවන් නොයෙක් රස කැවිලි ගැන කතා වුණෙමු. බූන්දි, බොම්බයි මොටයි හා හකුරු කේක්ද ඒවා අතර විය.                   
එදා රෑ මට නින්ද ගියේ නැත.හීනෙන් පෙනුනෙත් සුනිමල් හා මම අලුත් ඇඳුම් ඇඳගෙන පෙරහැර බලන්නට යද්දී වෙනදා වගේ නැතිව අයිස් ක්‍රීම් වෑන් එක ළඟ නතර වී ඕනෑ ඕනෑ හැම ජාතියේම එක එක සල්ලි දී රස බලන හැටිය. ජීවිතයට දැක නැති බැලුම් බෝල මෙන් මහත අයිස් ක්‍රීම් බෝලයක් අතට ගන්නට යද්දී මට ඇහැරිණි.

සුනිමල් අරත්ත අල විකුණු සල්ලි ද අරගෙන ඉස්කෝලෙට එන්නට නියමිත සිකුරාදා දවසේ මම උදෙන්ම පාසලට ගියෙමි.
සුනිමල් ආවේ පන්තිය පටන් ගන්නට ඔන්න මෙන්න තියෙද්දීය. ඒ නිසා සල්ලි බෙදා ගන්නට ඉන්ටවල් වෙලාව එනතුරු  ඉවසන්නට වුණේය. ඉන්ටවල් එකේදි සුනිමල් මුණ අඳුරු කරගෙන මා සමඟ කීවේ හිත රිදුම් දෙන ආරංචියකි.
“මම ඊයේ මේ පෝර බෑග් එක අරං ගියා මඟ නැවති නැවති. ආයුර්වේදෙට ගියාම ගබඩාවට එන්න කියලා ගෝනිය දිග ඇරියා. බලපු ගමන් කිවා මේවා මෙහෙම ගන්නෑ  පෙති කපලා වේලන්න ඕනි දවස් ගාණක් කියලා “.
“ඉතිං“?
 “ මම ආපහු ගෙදර උස්සාගෙන  ආවා“.
මගේ වට්ටක්කා වෙළඳාමේදි කුණු වට්ටක්කා ගෙඩිය ගෙදර ගෙනාවාට පසු ඇති වු සිත් තැවුල මෙන්ම වු වේදනාවක් හිතට දැනුනද මෙතනදී නම් තවත් බලාපොරොත්තුවක් ඉතිරි වී තිබේ.
පසුවදා හවස අරත්ත කැලේට රිංගනවා  වෙනුවට සුනිමල්ලෑ  ගෙදර ගොස් මිදුලේ පැදුරක් එලා අරත්ත මුල් පෙති පෙති වලට කැපුවෙමු. පැඳුර කැපී හිල් වෙද්දී සුනිමල්ලැ අම්මා ඇවිත් ඔහුට බැන වැදුනේය. ඒත් ඇය සුනිමල් හා මම කරන වැඩේ මොකක්දැයි හාරා අවුස්සන්ට නොආවාය. ඒ අතින් සුනිමල්ට මට වඩා ගෙදරින් නිදහසක් ලැබී තිබුණි.සුනිමල් වාසනාවන්තයෙකැයි මට සිතිනි.

ඊළඟ සතියේ හොඳින් වේලාගත් අරත්ත අල ගෝනිය  රැඟෙන සුනිමල් ආයුර්වේදයට ගියේය. මුලින්ම රාත්තල් හත අටක් තිබු අරත්ත මුල් ගෝනිය රාත්තල් තුනකට අඩු වී ඇත.
ඒ වන විට කලින් වතාවේ මෙන් අපේ පළමු ව්‍යායාමයෙන් ලැබෙන මුදල ගැන ආසාවක් මා තුල නොවීය.
පසුවදා උදෙන්ම සුනිමල් පාසල් ආවේය. මාව පසෙකට කැඳවා ලැබුන මුලු මුදල වන ශත පනහේ කාසි හය පෙන්නුවේය.ඉන්පසු පළපුරුදු බිස්නස් කාරයෙක් මෙන් රුපියල් එකයි පණහක් මගේ අතේ තිබ්බේය.

*******************

පසු සටහන :
සුනිමල් පාසැලෙන් පිටවුදා පටන් මේ වනතුරු සම්මා කම්මන්ත වර්ගයේ සුළු සුළු ව්‍යාපාරවල නියැලී ජීවිකාව ගැටගහ ගනියි. කුමක්දෝ හේතුවක් නිසා ඔහු විශාල ව්‍යාපාරිකයෙකු වීමට උත්සහ නොකළ අතර කිසිදා ණයතුරුස් බරින් පීඩා විඳිනවා කියා අසන්නට ලැබුනේද නැත .

අනෙක් අතට ඔහුගේ සහයකයා වූ මා බිස්නස් ආරම්භ කිරීම හා රැකබලාගැනීම පිළිබඳ ප්‍රස්චාත් උපාධි නිබන්ධනයක්ද ලියා තිබෙන අතර ව්‍යාපාර කීපයකටම  පොඩි පොඩි ආයෝජන සිදුකර ඇත . ඉන් සමහර ඒවායෙන් රුපියල් එකයි පණහක හෝ ලාබයක් ලබන්නේ නැතිව අත්හැර දමා ඇත. සමහර ඒවා සාර්ථක කර ගන්නට පුළුවන් වුනේ  සුනිමල්ලා වැනි හවුල්කරුවන් හමු වීම  නිසාය. මේ ගැන පසුව ලියන්නට සිතාගෙන සිටිමි 

Wednesday, November 16, 2016

ගරු කටයුතු පරිප්පුව


පරිප්පු වර්ග -සේයාරුව India Today
නිසි  ගරු සැලකිල්ල නොලැබෙන  නාම පද  කීපයක්ම අපට තිබේ .  යමෙකුට පහත්කොට කතා කිරීමට හෝ  අපහාසාත්මකව ඇමතීමට යොදාගන්නේ  ' බල්ලා, කුකුලා, ගොනා, හරකා, බුරුවා  වැනි අපට ඉතාම හිතවත්, අහිංසක, ප්‍රයෝජනවත් සතුන්ගේ නම් ටිකකි . ඒ වුනාට  සිංහයා , ව්‍යාඝ්‍රයා, රාජාලියා වගේ මෙලෝ හිතවත්කමක් හෝ  කුළුපග කමක් නැති සතුන්ගේ නම් එක්ක ගෑවී ඇත්තේ වීරත්වයයි, ගරු ගාම්භීරත්වයයි. සමහරවිට මේ පුරුද්ද අපේ රටේ  සමාජ මානසිකත්වයට අදාළ වෙන්නත් පුළුවන්.

ඔය වගේම මාර අසාධාරණයක් වී ඇති රසමසවුලක  නමකි 'පරිප්පු' .  පරිප්පු  ඉස්කෝල,පරිප්පු නිවාස , පරිප්පු බස් හා පරිප්පු චරිත ඕනෑතරම්  තිබේ . ‘මාර පරිප්පුවක් වුනේ’ , ‘නිකං පරිප්පු කෑම’ වැනි පද කිසිසේත් රසවත් දේවලට යොදන්නේ නැති උනත් පරිප්පු නැති හෝටලයකට දවල් කෑමට යන්නේ එහෙමත් කෙනෙකි .

ලෙන්ටිල් (Lens culinaris)යන ඉංග්‍රීසි නම හැදී ඇත්තේ  ලෙන්ස් එකක් නැත්නම් කාචයක් වැනි පෙනුමක් පරිප්පු ඇටේට ලැබී තිබෙන නිසාය.රතු පරිප්පු අප අඳුනන්නේ මයිසුර් පරිප්පු  නමිනි. ඒ උනත් ‘මයිසුර්’ යන වචනය ලබා දෙන්නේ  තනිකර වැරදි තේරුමකි . එය 'මසූර්' පරිප්පු කියා වෙනස් විය යුතුය. ඉන්දීයාවේ තිබෙන මුන් .  කඩල , චානා වැනි නොයෙක් රනිල බීජ පියලි වලින් තැනූ  සියලු පරිප්පු වර්ගවලට වඩා රත් හෝ තැඹිලි  පැහැයක් ගන්නා මසූර්   ඩාල්  ලෝකයේ ජනප්‍රියම පරිප්පු වර්ගයයි.

අපට උගන්වා තිබ්බේ ඉන්දියාවේ මයිසුර් පලාතේ වගාකොට  ආනයනය කරන පරිප්පුව  'මයිසූර් පරිප්පු ' බවය. ඒත් දෙමළෙන් පරුප්පු කියාත් සංස්කෘත බසින් ගෙන හින්දියෙන් හා ඉංග්‍රීසියෙන් ඩාල් කියන්නේත්  ඕනෑම රනිල බීජයක  පොතු ඉවත් කර සකසාගත් පියලිවලටය. මසුර් පරිප්පු ඒවා අතරින් එක් වර්ගයක් පමණකි.

ලෝකයේ වැඩියෙන්ම  පරිප්පු වවන්නේ  කැනඩාවේ බව අසන්නට ලැබීමෙන් මම අන්ද මන්ද වීමි. ඉන්දියාවට ලැබෙන්නේ දෙවැනි තැනයි . ඒත් ඉන්දියාවේ වවන පරිප්පු ඉන්දියාවෙන් පිටට යවන්න නොදී ඉන් වැඩි කොටස ඉන්දියානුවෝ  තුන් වේල තිස්සේ  කා දමති.

රජීව් ගාන්ධිගෙ අණින් ඉන්දියාවේ සිට ගෙනත්  ලංකාවට ගුවනින් දැම්මෙත් සමහරවිට කැනඩාවෙන් ගෙනා පරිප්පු වෙන්න්නට බැරි කමක් නැත. අනිත් අතට පරිප්පු වැඩිපුරම වවන්නේ ඉන්දියාවේ නොව කැනඩාවේ කියා දන්නවානම් අපේ බොහෝ දෙනා පරිප්පු මේ තරම් පහත් කොට නොසලකනු ඇත ..

හත්තැව දශකයේ මැද  අප කුඩාවුන්  කාලයේ පරිප්පු ඇතුළු බොහෝ කෑම බීමවල හිඟයක් තිබුණු අතර රතු පරිප්පු තිබුනේ සමුපකාරයේ පමණි. කලුකඩේ තිබ්බත් ඒවා ගිනි ගණන්ය . පවුලකට ලැබුණු කුපන් පොතේ සහන මිලට පරිප්පු ගන්නට කුඩා මුද්දර කොටු  තිබුණු අතර මේ කාඩ් දුප්පත් මිනිස්සු කාට හරි විකුණා  අනෙකුත් අත්‍යාවශ්‍ය දෙයක් සල්ලි වලට ගත්තෝය.

මේ ළඟදී සමවයස් මිතුරු සාදයකදී ඒ කාලේ කඩේ යෑම ගැන කතා කරද්දී කරදාසි ගොටු ගැනත් කියවුනේය. පරිප්පු, සීනි , තේකොල මේ සේරම කඩෙන්  කිරා දුන්නේ කරදාසි ගොටුවලටය. ගෙදරට ආ අමුත්තෙක් බැරි වෙලාවත් දවල් කෑමටද  ඉන්නා වගක් පෙනුනොත් පිටිපස්සේ දොරෙන් පොඩි එකෙක් කඩේට යවා පරිප්පු රාත්තල් බාගයක් හා සැමන් ටින් එකක් ගෙන්නා ගැනීම අමුතු දෙයක් නොවීය. මේ පරිප්පු ලැබුනේද  කරදාසි ගොට්ටකටය.

මගේ සුමිතුරු සමන් හා මම  පැරණි සෝවියට් දේශයට අයත්ව තිබු රටක  තෙල් බිමක සේවයට ගිය මුල් දවස්වලදී අප දෙදෙනාටම කෑම පිලිබඳ ලොකු අවුලක් තිබුනේය. අඩු තරමේ පරිප්පු ටිකක්වත් හොයා ගන්නට තැනක් නැද්දයි අප කඩා නගරයේ  හැම තැනකම සොයා  බැලුවෙමු.  මිතුරු, නොමිතුරු හැමෝගෙන්ම අසා බැලුවෙමු. පරිප්පු යන වචනය තබා, ඩාල් හෝ ලෙන්ටිල්  කියන වචනවත් කවුරුවත් අසා තිබුනේ නැත .

ඔය අතරේ අප සහබාගී වූ පුහුණු වැඩ සටහනකදී දකුණු ආසියානු  රටක තරුණයෙක්  මුණ ගැසිණි. ඔහු දුටු හැටියේම අප දෙදෙනාගේ ‘පරිප්පු' බලාපොරෝත්තු දැල්වුනේය . එහෙන් මෙහෙන්  ආගිය තොරතුරු කතා කරාට පසු අප ඔහුගෙන් ඇසුවේ පරිප්පු හොයා ගන්නට තැනක් තියෙනවාද කියලාය. ඒ ප්‍රශ්නය අසද්දී  ඔහු කම්පාවට පත් වුණේය
“අයියෝ උඹල දෙන්න දැක්ක ගමන්ම මමත්  හිතුවේ පරිප්පු ගැන ආරංචියක් අහ ගන්න පුළුවන් වෙයි  කියල . මම  ආපු දවසේ ඉඳන් පරිප්පු හොයනවා’ .

ඒත් ටික දවසකට පසු එදා හමු වූ අපේ ඉන්දියානු මිතුරාගෙන් දුරකථන ඇමතුමක් ලැබිණි.

“මාර වැඩේනේ. පරිප්පු මේ රටේ තියෙනවා . ඒත් ඒවට මෙහෙ කියන්නේ මක්මජ් වගේ වෙන බහුබූත  නමක්. මෙහෙ උන්  කවදාවත් පරිප්පු හරියට උයන්නේ නෑ. පිටි  වෙන්න අඹරලා තක්කාලි , සෝස් , ලෙමන් එහෙම දාල සුප් එකක් හදනවා. උඹලා කුස්සියට ගිහිල්ල මක්මජ් සුප් හදන්නේ මොනායින්ද කියල අහපන්”.
අපේ වැඩබිම් මුළුතැන්ගෙයිම තිබී පරිප්පු හමු වුනේ ඒ හෝඩුවාව නිසාය  . එදා සිට අපට ඒ රටේ ජීවිතය වඩා සුවපහසු විය.

කලකට පෙර දකුණු කොරියාවේ රැකියාවක් සඳහා ගිය මගේ මිතුරෙක් වන සිසිර  ඒ රටේ සිට මා අමතා කිව්වේ අයියෝ සල්ලි හම්බුනාට වැඩක් නෑ, මට රස්සාව දමල ගහලා ආපහු එන්න හිතෙනවා කියලාය  .
“මෙහෙ අපට අල්ලන  කෑම මොකුත් නෑ . ගොඩක් දවස්වල පළතුරක් කාලා බාගෙට බඩගින්නේ ඉන්නේ” .

තවත් සතියකට පමණ පසු සිසිර  දුරකථන ඇමතුමක් දුන්නේය. ‘ මෙහෙ ඉන්න යාලුවෙක් මට මාකට් එකක් හොයල දුන්නා පරිප්පු තියෙන. දැන් අවුලක් නෑ . මොනා හරි හදාගෙන කාල ඉන්නවා” .
බාගෙදා කොරියාවේ රස්සා කරන්නට ලංකාවේ උදවිය හෝ ගාලා යන්නට පටන් ගත්තේ සිසිරගේ මේ ‘පරිප්පු’ හොයා ගැනීමෙන් පසුව වෙන්නට ඇත.

තව දවසක්  මා රැකියාව කළ රටේ  තරු පහේ හෝටලයක පැවති  විශේෂ උත්සවයක් අවසන මිතුරෙකුත් සමග මදුසාදයෙන්ද  මදක් රසවත් වී රෑ කෑමට  බුෆේ එකට ගියෙමු.
මේ රස සුවඳ උතුරන බෝජුන්හළේ යුරෝපීය හා මැදපෙරදිග වට්ටෝරු අතරේ තිබු පිට්සා රොටි පළුවක් පිඟානට බෙදාගෙන කෑම බඳුන් එකිනෙකට එබී බල බලා සුන් වූ බලාපොරෝත්තුවෙන් ඇවිද යන ඔහුගෙන් මම මෙසේ ඇසුවෙමි .
‘මොනාද හොයන්නේ? ‘
මිතුරා හිනා වුණේය .
“නෑ මචං මම මේ අමතක වෙලා හෙව්වේ  පරිප්පු හොද්දක් වගේ එකක් තියෙනවද කියල” .

****

සටහන :


ඇමරිකාවේ පරිප්පු සැමරුම ගැනත් ලෝක පරිප්පු අවුරුද්ද ගැනත් ඉකොනොමට්ටා වැදගත් තොරතුරු ලියා තිබේ . ස්තුතියි 

Wednesday, November 9, 2016

නැන්සී මලික් ප්‍රේම පුරාවත

Painting from Zedge.net
ලකට පෙර අපේ සැලසුම් අංශයේ සේවය කළ නවදිල්ලියේ උපන් තලත්නිතෑනි,  මනමාල තනිකඩයා මලික් නිතරම පාහේ පුංචි පනාවකින් උඩු රැවුල පීරුවේය.  දක්ෂ ආර්ථික කළමනාකරුවෙක් මෙන් දෙපස රක්ෂිත කලාපවලින් ජෙල් ගා නම්මවාගත් කෙස්ගස්වලින්  “O” අකාරයෙන් මතුවන හිස් මුදුන් තට්ටයට ආවරණ සපයා ගත්තේය . මලික්ගේ උඩුරැවුල තද දුඹුරු පාටය . සමහර සතිවල එය කළු පාටය.

මලික්  පෙනුමෙන් නිරෝගීය , ඇන්දේ පිරිසිදු හොඳින් මදිනලද බ්රෑන්ඩඩ් කමිස කලිසම්ය. පැළන්දේ වටිනා සපත්තුය. පොඩි නිසාන් කාරයක් තියාගෙන ලස්සනට සිටි ඔහු කාන්තාවන් ඉදිරියේ ඉතාමත් කරුණාවන්ත මිනිසෙක් වුනේය.  ඉල්ලන්නේ නැතිව වුනත් ඔවුනට උදව් කළේය .

මලික්ට එකියක් නැතිවනවිට තව එකියක් පරිද්දෙන්  ඕනෑම කාලයක පෙම්වතියක් සිටියාය . ඔහුගේ  පඩියෙන් අඩකටත් වඩා වෙන් වන්නට ඇත්තේ ඔවුන්ව නඩත්තු කරන්නටය. මෙසේ නිදහස් සරල දවසැරියාවක් ගෙවූ මලික්ගේ කියන්නට තරම්  දුර්ගුණයක් නොවුයෙන් ඔහුගේ ස්ත්‍රී ලෝලීත්වය  කාටවත් ප්‍රශ්නයක් නොවිණි. ඇරත් ඔහු වියදම් කරන්නේ ඔහුගේ සල්ලිය.  ඉතින් මොකෝ  ඔහු එක්ක යහළු වන්නේ ඔහුට කැමති ගැහැණුනේ.
ඒත් සියල්ල වෙනස්වන්නට පටන් ගත්තේ කිසිවෙන් නෝසිතු ආකාරයෙනි . මලික්ගේ  රාජකාරී වැඩ සියල්ල නොසැලකිලිමත්කමින් පිරෙන්නට විය.. ඔහුගේ පෙනුම බලා  සිටිද්දී දුක්බර වෙන්නට විය. කොණ්ඩය හා උඩුරැවුල කළු දුඹුරු සායම් අලුත් නොකිරීම නිසා අලුසුදු පැහැය මතු වෙමින් තිබුනේය.  

ඔහු පරක්කු  වෙලා කන්තෝරුවට පැමිණ ඊළඟට කලේ මුහුණ ලොකු මොබයිල් ෆෝනයකින් කාගේදෝ සමග නිරන්තර  චැට් කිඊමය . මා දිනක් හදිසි රාජකාරියකට සැලසුම් අංශයට යනවිට එහි සිටියේ මලික්  පමණකි. දොරට පිටුපා වාඩි  වී සිටි ඔහුගේ මේසය මත තිබු පරිගණක තිරයේ  කාන්තාවක් ගී කියමින්  සිටියාය. ඇය  තරමක්  තරබාරු මැදිවියේ ලඳක් වූ මුත් පියකරු එකියක් වුවාය. පසුබිමේ විශාල ශාලාවක බිම දැමු මෙට්ට කීපයක් මත තවත් කාන්තාවන් කිහිප දෙනෙකු  සිටි බව ඇසිල්ලෙකින් උනත් මම පැහැදිලිව දුටුවෙමි. ඔවුන් තිරයේ ගී ගැයු කාන්තාවට  වඩා ලස්සන බවක් මට නිකමට කල්පනා වුණේය .

මා පැමිණි ඉව දැනුණු  සැනින්  පුටුව පසෙකට කර පරිගණක තිරය මුවා  වන සේ ඔහු හිට ගත්තේය . කම්පනය මුසු කලබලෙන් මුත්  සුපුරුදු  හිතවත් විදිහටම මා ආ කාරණය විමසා අවශ්‍ය ලේඛන සමග මගේ කන්තෝරු කාමරයට එන්නට පොරොන්දු උනේය .

එදා කෑම පැයෙන් පස්සේ  සිතියම් රෝලක් හා පයිල්  කවරයක් සමග මා සොයා ආ මලික් වෙනදට වඩා ලත වෙමින් මොකක්දෝ කියන්නට උත්සහ  කරන බව මට පෙනිණි. සාවධාන ඇහුම්කන් දෙන්නෙක් ලෙසත්, ඒවා අනුන් සමග හෙළිදරව් නොකරන විශ්වාසවන්තයෙක් ලෙසත් ඔහු මාව පිළිගෙන තිබුනේය. ඒ නිසා මලික්ගේ ප්‍රේම කතා අසන්නට දවසට පැය භාගය බැගින් සති කීපයක් වියදම්  කරන්ට එදායින් පසු මට සිදු විය.  එය නවකතාවකට ලියන්නට පුළුවන් තරමේ දිග එකකි.
මලික්ගේ ප්‍රේම කතාවේ  සාරාංශය මේ වගේය:.

මලික් අවුරුදු විස්සකට ආසන්න කාලයක් මැදපෙරදිග හා සිංගප්පුරුව වගේ තැන් තැන්වල රස්සාව කළේය. රත්තරන් කිලෝ තුන හතරක් එකතු කර සොයුරියන් තිදෙනා කසාද බැන්දෙව්වේය. ප්‍රියාවියන්  කීප දෙනෙකුටම ප්‍රේම කළේය. ඔවුන්ට වියපැහැදම් කළේය.  තනිකඩ සල්ලාල දිවියකට  වැටුනේය.  වැඩිපුරම   ඔහු හිත ගත්තේ චීන හා පිලිපීන යුවතියන්ය. සුදු, කහ, රත්පැහැ  ශරීර පාට  හා පියකරු පෙනුම , සැහැල්ලු, විවෘත ගති පැවතුම් ඔහුට ඔවුන් කෙරෙහි විශේෂ ආකර්ෂණයක් ඇති කළේය.  මේ පෙම්වතියන්  බොහොමයක්  අවුරුද්දෙන් දෙකෙන් නැත්නම් මාස  කීපයකින් ඔහු හැර ගියෝය. සමහරු ඔහුගේ මුදල් පසුම්බියද අඩියටම හිඳෙනතුරු සුද්ද කලෝය.

ඒත් නැන්සි?. ඈ එසේ නොවේ. නැන්සි  යනු මලික්ගේ මිතුරෙක් වූ  රන්දීර්ගේ ඉස්සර  පෙම්වතියයි. මිතුරන් දෙදෙනා වාසය කලේ එක ළඟ ළඟ  තට්ටු නිවාස දෙකකය. තමන්ට කෙතරම් සුරූපී  පෙම්වතියන් හමු වී තිබුනත් රන්දීර්ගේ මහත දෙහෙත වැඩිමහල් පෙම්වතිය නැන්සී, මලික්ගේ  සිතට අල්ලා තිබිණි . ඒ ඇය සිය මිතුරාට සලකන මිත්‍රශීලී  සෙනෙහෙවන්ත සෙයියාව නිසාය. ඇය මවක් මෙන් ගෙදර සියලු වැඩ කළාය. රන්දීර්ගේ ඇඳුම් පැළදුම් සෝදා මැද දුන්නේය. ඔහුට ඇහෙන්නට සින්දු කිව්වාය. ගෙදරට එන අමුත්තන්ට සංග්‍රහ කළාය. කොටින්ම එම ගෘහය රසාලිප්ත  නිවහනක්  උනේය. අසංවේදී  මිනිසෙක් වූ රන්දීර් කුණු ලෝබයෙකි . ඔහු කන්න බොන්න ටිකක් දෙනවා හැර ඇය වෙනුවෙන් කිසිම වියදමක් නොකළමුත් අගේ හැම හැසිරීමකම, ඉරියව්වකම  පෙනුනේ සිය පෙම්වතා වූ රන්දීර්ට ඇති දයාවයි. ප්‍රේමණීය බැඳීමයි.

කෙසේ හෝ ඇය තමන්ගේ වහළ යටට ගන්නට ඇත්නම් කියා සිතෙන මිත්‍රද්‍රෝහී  සිතිවිල්ලෙන් මලික්ට ගැලවීමක් නොතිබුණි. දිවා රෑ මේ ගැන සිතමින් මලික් සිය අනෙකුත් ප්‍රියාවියන් කෙරෙන් කෙමෙන් ඈත් වුනේය.
මේ දුර්භාග්‍යසම්පන්න ප්‍රේම වේදනාව නිමා කරමින් මලික්ගේ ලෝකයට නොසිතූ ලෙස වසන්තය  උදා උනේ රන්දීර් කුරිරු ලෙස නැන්සීව එළවා දමා  වෙනත් පෙම්වතියක් නිවසට කැන්දා ගත්තාට පසුවය.

සිය දුක් ගැනවිල්ල කියන්නට නැන්සි හමු වන්නේ මලික්ය. ඉබ්බා දියට දාද්දී ඇන්නෑවේ කියන්නාක් මෙන් බොරු අනුකම්පාවක් පෙන්න පෙන්නා ටිකෙන් ටික තමන්වෙත ඇයව නම්මවා ගන්නට ඔහුට හැකි විය. මලික් සමග නිල නොවන දීගෙක ආවා වුනත්  නැන්සී දිගින් දිගටම කළේ රන්දීර් ගැන මතක් කරමින් රෑ මුළුල්ලේ හූල්ලන එකය . සමහර විට ඇය රෑ මැදියමේ නැගිට ඇඳ ඉහත්තේ  වාඩි  වී හඬමින් සිටිනු මලික් දුටුවේය.  මේ මොනවා වුනත් නැන්සී ඉතා උසස් මිනිස් ගතිගුණ ඇත්තියක් බව පසක් කරමින් සිටියාය. ඇය ඔහුගේ මිල මුදල් නාස්ති  නොකලාය. ප්‍රිය දේම කතා කළාය . ගේදොර ඉතාම ප්‍රියජනකව තබා ගත්තාය.

මේ වනවිට මලික් ඉවසිලිවන්ත කාරුණික මිනිසෙක් වී සිටියේය. ඔහුගේ ජීවිතයේ සියලු අරමුණු නැන්සි දෙසට නාභිගතවෙමින් තිබිණි. ඒත් මලික් නැන්සී ප්‍රේම කතාවේ මල් පූදින්නට පෙර තවත් අභාග්‍ය සම්පන්න දෙයක්  සිද්ද වුනේය . ඒ සිය  රාජකාරී ස්ථානයේ සිදුවූ අලකලංචියක් නිසා ඈ ඇතුළු බොහෝ දෙනෙකුට රැකියා අහිමි විය. වීසා අලුත් නොකිරිණි . ඒ නිසා පඩිනඩි බේරා ඔවූන් සියරට පිටත් කරනතුරු රඳවා තිබුනේ තානාපති කාර්යාලය බාරේ වූ කඳවුරකය. මේ වගේ පුංචි අවනඩුවක් වුනත් මාස ගණනක් ඇදෙන බැවින් ඔවුන්ට එතෙක්ගෙ වන්නට සිදුව තිබුනේ අර්ධ සිරගත දිවියකි.

සතියකට සැරයක් පමණක් ඇති අවසරයෙන් ඇය බලන්නට ගිය  මලික් ඇයට කෑම්, බීම, දුරකතන රීචාජ් කාඩ් ආදිය  ගෙන ගොස් දී ඈ අස්වස්සවා ආවේය.  මුල්ම දවසේ ඔහු ගෙනගොස්  දී ඇත්තේ වටිනා ජංගම දුරකතනයකි.  ඉන්පසු මලික්ගේ කාලය ගෙවුනේ ජංගමය ඔස්සේ නැන්සී සමග චැට් මල් නෙලීම වෙනුවෙන්ය.  ඇය ඔහු වෙනුවෙන් ගීත ගැයුවාය . කතන්දර කීවාය.

මලික්ට තිබුනේ ඒවා අසා සිටිමින් ' ඔයා ඉක්මනට නිදහස් වෙනවා ඩාලිං' කිය කියා අගේ හිත හැදීමය. ඒත් ඇ නිදහස් වෙනවා යනු  ඈත පෙරදිග පිහිටි ඇගේ මවු රටටl පිටුවහල් කෙරෙනවා මිස ඔවුනට එකතුවිය හැකි  තැනකට එන එක නොවන  බව දෙදෙනාම දැන සිටියෝය.
එදා මා අහම්බෙන් දැක තිබුණේ කන්තෝරු කාමරේ සිටි මලික් සහ රැඳවුම් කඳවුරේ සිටි  නැන්සී අතරේ වූ ස්කයිප් ප්‍රේමාලින්ගනයක අවස්ථාවකි.

Monday, October 31, 2016

රාලහාමිගේ ළිං අපලය

කාටූනයකි -ඩයිනසෝරයෙක්   දොඹකරයක් මෙන් යොදාගෙන විශාල ගලක් උස්සන විකට  රුපයක් 
වුරුදු තිහකට විතර එපිට  ගම්උදා  වැඩ තිබ්බ කාලෙ,රජරට  පැත්තේ  ගමක පොඩි පාරක්, කඩ පාලමක් හා නළලිං වගේකුයි හදන්න  පැවරිලා තියෙන්නේ මගේ වැඩිහිටි මිතුරෙක් උන දයාලාල්ට. මිනිහා ආණ්ඩුවේ සංස්ථාවක පළපුරුදු ටී ඕ මහත්තයෙක්. දැන් දයාලාල්  ඇතුළු පිරිස පරණ පොඩි ක්‍රේන් එකක්, ඩෝසරයක් , ට්‍රැක්ටරයක් අරකක් මේකක් අරන්  ගිහින් අදාළ පළාතේ නවාතැනක් හොයාගත්තා. ඒ පැන්ෂන් ගිය රජයේ සේවකයෙක් වෙච්ච රාලහාමිගේ ගෙදර.

මේ සුළු යන්ත්‍රෝපකරණ කීපය දාන්න  එයාගේ වත්තේ ඉඩ තිබ්බා . ඒ පැත්තේ හැටියට ගේ විශාලයි. රාලහාමිට ගෑණු දරුවෝ හිටියේ නැති නිසා ගෙදර පැත්තක් හත් අට දෙනෙක් වෙච්ච ඉදි කිරීම් නඩේට දෙන්න රාලහාමි බොහොම කැමැත්තෙන් එකඟ වුනා.

ඔන්න දැන් රාලහාමි කාන්ඩේ එක්ක හොඳ ගානට  සැට් වෙලා . මෙයා   වැඩ කරන තැනටත් එනවා .  උපදෙස් දෙනවා . දයාලාල්ටනම්  මරු ඇණයක් වෙලා . මහා බක පණ්ඩිතයෙක් .බලාගෙන ගියාම නොදන්නා දෙයක් නෑ .
ටික දවසක් ගියාම රාලහාමි දයාලාල්ගෙන් පොඩි උදව්වක් ඉල්ලුවා.

‘මහත්තයෝ මට බෑ කියන්නේ නැතිව ක්‍රේන් එකෙන් පොඩි වැඩක් කරලා දෙන්න ඕනි. මේ විනාඩි පහක වැඩක්’.
' අප්පෝ දුර යන්න නැත්නම් කරලා දෙන්නම්. ' මොකක්ද වැඩේ ?
‘ඒක පස්සේ කියන්නනම් . මේ වත්තෙමයි වැඩේ තියෙන්නේ . සෙනසුරාදා හවස මහත්තයාල කලින්  වැඩ ඇරෙනවනේ. ලබන සතියේ සෙනසුරාදා හවස කරන්න ඇහැකිනම් ලොකු දෙයක් ‘.

‘හරි හරි’

‘ඔන්න දැන් දවස් ගෙවෙනවා. රාලහාමි කොහෙන්දෝ ගෝලයෝ දෙනනෙක් ගෙනල්ලා වත්තේ ලිඳක් හාරනවා’.
‘ඇයි රාලහාමි මේ තව ලිඳක් හාරන්නේ? .
‘අපේ ලිඳ ඉස්සරහ දොරට උතුරින්නේ තියෙන්නේ. ඔය පිහිටීම  හොඳ නෑ කිව්වා. ගෙට අපලයිලු .
ඉතින් මම මේ අලුත් ලිඳ හාරලා පරණ ලිඳ වහනවා’

ඉතින් ඉක්මනට දවස් ගතවුනා. ඊළඟ සතියේ සෙනසුරාදා උදා උනා
උදේම දයාලාල් ලඟට ආපු රාලහාමි මෙහෙම කීවා .
‘මහත්තයෝ අර වැඩේ අද හවස කර ගන්න ඕනි’
‘ හරි හරි අද අපි කලින් එනවා. ගෝලයොත්  ඉන්නවනේ’ .
‘මම කට්ටියටම සීල් බෝතලයක් ගෙනල්ලා තියන්නම්’,

ඔන්න දයාලලාල්ලා හවස එනකොට රාලහාමි තව ගමේ කීප දෙනකුත් එක්ක අලුතින් කපපු ලිඳ ගාව බොහොම උජාරුවෙන් පෙරමග බලා ඉන්නවා  .
දයාලාල්ගේ පරණ 31 ශ්‍රී කොළපාට  ජීප් එක නැවැත්තුව හැටියේම ලඟට දුවගෙන ගිය රාලහාමි.

‘මහත්තයෝ අපි ලැවරියා හැදුවා. කට්ටියම කාලා තේ බොන්න ‘ .
'ලැවරියා පස්සේ කන්න පුළුවන් රාලහාමි කියන්නකෝ අර  වැඩේ'
මෙන්නේකයි මහත්තයෝ
මම අලුත් ලිඳ කැපුවනේ.
ඔව් !
එතකොට අපි පාවිච්චි කරන ලිඳ ඒ හැටි පරණ නෑනේ
ඔව්!
ඒක හොඳ සිමෙන්තියෙන් බැඳලා අලුත් බොලොක්ක දණ්ඩක් හෙම දාලානේ  තියෙන්නේ
ඔව් !
එත් ඒ ලිඳ දැන් වහන්න වෙනවනේ
ඔව් රාලහාමි මට කලින් කිව්වනේ

"අන්නේකයි මහත්තයෝ . ඔය අලුත් ලිඳට ආයිමත්  වට බැමි හරස් ලී මොකුත් ඕනි නෑ. මහත්තයාට තියෙන්නේ ක්‍රේන්  එකේ ළමයට කියල පරණ ළිං බැම්ම  චුට්ටක් උස්සලා අලුත් ලිඳ උඩින් තියල දෙන එක "
‘මළ හත්තිලව්වයි  රාලහාමි ඒකනම් කීයටවත් කරන්න බෑ’
‘ඇයි මහත්තයෝ ඒ. මම මහත්තයාලට මෙච්චර උදව් කරලත්…? ‘
' ඒ හින්දා තමයි කරන්න බැරි. ඔය තියෙන්නේ කළුගලුයි, ගඩොලුයි බැඳලා  සිමෙන්ති කපරාරුව උඩින් ගහපු වට බැම්මක්. නැතිව කොන්ක්‍රීට් වලල්ලක් නෙවෙයි. උස්සපු ගමන් ගල් ගෙඩි ටික සී සී කඩ යයි’.

' මහත්තයෝ යමුකො බලන්න . මම යමක් කල්පනා නොකර කරන මිනිහෙක් නෙවෙයි.'
දයාලාල් ලිඳ ලඟට යනකොට දුටුවේ  අමුතුම වැඩක්. ලිඳ වටේ ගෝනි ඔතලා කඹ වලින් බැඳලා  . ඇතුලෙන් ලී තහඩු බැම්මට හේත්තු කරලා මුක්කු සිය ගානක් ගහලා ලිඳ ඇතුලෙන් හිර වෙන්න. හරියට බයිසිකල් රෝදෙක පෝක් කම්බි වගේ .
දයාලාල්   මේවා නිරීක්ෂණය කරනකම් රාලහාමි බලාගෙන හිටියේ කට කොනකට නගාගත් ආඩම්බර හිනාවකුත් එක්ක .
‘අනේ රාලහාමි මේ මොනවා කෙරුවත් මේ ගල් ගොඩයි සිමෙන්ති ගොඩයි උස්සන්න බෑ. කඩන් හැලෙනවා”

රාලහාමිට හොඳටම කේන්ති ගියා.
‘හරි එහෙමනම් මට මේක කරන්න දෙන්න. මට මහත්තයාලා ක්‍රේන් එකේ වැඩ කරන ගෝලයාට කියන්න මේ වැඩේට උදව් කරන්න කියල . මහත්තයා පොඩ්ඩක් කාමරේට ගිහින් හාන්සි වෙන්න’

' ඕනි මගුලක් කර ගන්නවා කියා මුණටම කියන්නට බැරි නිසා දයාලාල්  මුවින් නොබැන කාමරයට වැදී දොර වහ ගත්තේ ක්‍රේන් ඔපෙරේටර්ට රාලහාමි කියන දෙයක් කර දෙන්නැයි පවරමින් .
ක්‍රේන් එකකින් ලොකු ගෝවා ගෙඩියක් ඔසවන ඔවිනිගේ චිත්‍රයක්. මේ කතාවේ  රාළහාමි කමිසයකුත් නැතිව තොප්පියක් දාගෙන එක් පසෙක සිටී. ගෝලයකුද රුපයේ සිටී   
මේ වන විට රාලහාමිගේ ගෙදර ලිඳ උස්සා වෙනත් තැනක තියන ආරංචිය ලැබී ගමේ කොල්ලෝ කුරුට්ටෝ මුලින්ම මේ පැත්තට එමින් හිටියා . ඊළඟට උන්ගේ අක්කලා අයියලා අම්මලා තාත්තලා හා සීයලා ආච්චිලාද එන්නට වුනා. ටික වෙලාවකින් මහා දැවැන්ත ජන සන්නිපාතයකින්  රාලහාමිගේ වත්ත පිරී ඉතිරී ගියා.

මේ කලබගෑනිය ඇසී වසාගෙන සිටි කාමරෙන් මිදී   දයාලාල් එලියට ආවා.  ක්‍රේන් ඔපරේටර් උපනන්ද  සෙනග දැකීමෙන් ඇති වූ අමුතු කික් එක නිසා ක්‍රේන් හැසුරුම් කුටියට  නැගී   බූම් දණ්ඩ එහා මෙහා කරමින් පෙළහර පාමින් හිටියා  .

මේ අතරේ රාලහාමි දොඹකර  නියමකයෙකු වෙලා . සෙනග ඈතට කරලා උපදෙස් දුන්නා. ලිඳේ බෝලොක්කේ දාන හරස් යකඩ පොල්ලට කේබල්    කොක්ක දාගන්න උදව් වූනා . ඊට පස්සේ හස්ත සංඥා ලබා දුන්නා . සාමාන්‍යයෙන් මේ  කිසි විදිහකින් අවසර දෙන්න බැරි දෙයක්. පළපුරුද්දක් නැති කෙනෙකුට ඒ වගේ වගකීමක් දෙන්නේ නෑ. රස්සාව ගහලා යන වැඩ. දයාලාල් ගෙයි පිලිකන්නේ බිත්තියට හේත්තු  වෙලා උදාසීනව බලා හිටියා .

දැන් බොලොක්ක කඳේ දෙපැත්තට කේබල් එක හොඳට හිර වෙලා. රාලහාමි උනන්දුවෙන් හෑන්ඩ් සිග්නල් දෙනවා .
'උස්සන්න'
කොහේ කෙරෙන වැඩක්ද ? ලිඳක්  උස්සන්න පුලුවන්ද? මහදැනමුත්තාගේ කතා අහල තියෙන ගමේ  මිනිස්සු ඔච්චම් කසු කුසු ගානවා.
ඒත් එක පාරම ළිඳ සසලවෙලා මුලින් ඉදිරුනා වගේ උනා . දත් දොස්තරගේ   අඬුවට   බුරුල්වෙච්ච පොරෝ දතක් වගේ ක්‍රේන් කේබල් එකට පහලින්  ළිඳ දෙපැත්තට සැලුනා .
රාලහාමිගේ මූණේ මල් හිනා විසිරුණා  

ආඩම්බරෙන් වටේම බලල උපනන්දට  සංඥාව දුන්නා . ඇඟිල්ල උඩට වේගෙන්.
උපනන්ද ඉස්සුවා.

සලබල සලබල ගාල මහා හඬක් නගාගෙන ළිං බැම්මේ පස් ගල් ගඩොල් සිමෙන්ති සේරම ලිඳ ඇතුලට කඩා වැටුණා . බලද්දී ක්‍රේන් එකේ එල්ලී එල්ලී තිබ්බේ බොලොක්ක දණ්ඩ විතරයි.

සෙනග අතරෙන් හීනියට පටන් ගත්තු හූව මහා වේගෙන් ලියලා අවට කඳු වළලුවල වැදී දෝංකාර  දුන්නා . ඇට්ටර කොල්ලන්ගෙන් පටන් ගත්ත හූව, පොඩි උන්, මහාඋන් හා වයසක ඈයොත් අනුකරණය කරා.

සරම කැහැපොට ගහගත්තු  රාළහාමි බිම බලාගෙනම වෙඩිල්ල වගේ ගෙට රිංගුවා  
එදා සිට තවත් මාස  ගානක්  යනකන් ගමේ කාටවත් රාලහාමි දවල් කාලෙක මුලිච්චි වුනේ  නෑ.

තව සතියකින් විතර වැඩ ඉවර වෙලා ආපහු එන්න කලින්ග දයාලාල්ල ගෙවල්කුලී පියෙව්වෙ රාලහාමිගේ ලොකු පුතාට.
‘තාත්තට පොඩ්ඩක් කතා කරන්න අපි යනවා කියන්නවත්’ .
ඇතුලට ගියපු පුතා ආපහු ආවේ පණිවිඩයක් අරන් .

‘තාත්තා එන්න බෑ කියනවා. ඒත් මහත්තයාට කියන්න කිව්වා ආයේ මේ පැත්තෙන් ගියොත් අපේ ගෙදරත් ඇවිත් යන්න කියල’ .

**********************************
අර ලියන මහත්තයා ලිඳේ වැටිච්ච වෙලාවේ පොරොන්දු වුනානේ  අපේ  කාලයේ මහදැනමුත්තෙක් ගැන ලියනවා කියල . මේ තමයි ඒ කතාව . වෙච්ච පොරොන්දුවක් පහුවෙලා හරි ඉටු කරන්න ලැබීම සතුටක්
Figure : whendinosaursruledthemind.wordpress.com



Tuesday, October 25, 2016

ලාහෝර් පෙම්වතිය

ෆොටෝ :Hamariweb
මා සිටි කාමරයට පැමිණි ක්‍රිෂ්ණන් ඉතාම ශෝකී මුහුණින් මගේ අත මිරිකා ගත්තේය . ඔහුට  පිටුපසින් පැමිණියේ මොබින්ය. මුන් දෙන්නාම අධික ශෝකයකින් හෙම්බත් වී සිටියහ. එදා 2009 අවුරුද්දේ මාර්තු හතර වැනිදාය.මොබින් මා වැළඳගෙන‘ මගේ බලවත් ශෝකය, අපට සමා වෙයන්’ කීවේය.
මේ සිදුවන්නේ මොන හරුපයක්දැයි නොදන්නා මම තුෂ්නිම්බුතවී බලා සිටියෙමි. මගේ වික්ෂිප්ත මුහුණ දෙස බලාගෙන  ක්‍රිෂ්ණන් කිව්වේ ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එකට ලාහෝර්වලදී ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි.
ක්‍රිකට් පිස්සන් දෙදෙනෙකු වන මේ දෙන්නා තමන්ගේ කණ්ඩායමටත් වඩා ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමට ආදරය කලෝය.
ක්‍රිෂ්ණන් කේරළයකු වූ අතර මොබින් පකිස්තානයේ අති දුෂ්කර ගමක ඉපිද අහම්බෙන් නගරයට ආ අයෙකි.  මේ දෙදෙනා අඹ යහළුවන් වුහ. කෑවේ බිව්වේ ගමන් බිමන් ගියේ එකටමය.
එදා ඒ සිද්දියෙන් පසු ක්‍රිෂ්ණන්ටත් වඩා මොබින් මගේ හිතවතෙකු විය. සිය ප්‍රේම කතා, ගමේ කතා හා  පවුලේ කතා ඉඩක් ලැබුණු හැටියේ මා ඉදිරියේ තළුමරමින් කියෙව්වේ අංග චලනයෙන්ද රස එක්කාසු කරමිනි .

“උඹ දන්නවද අපේ ගම තියෙන්නේ අන්ත දුෂ්කර පැත්තක. ලාහෝර්වල ඉඳන් කිලෝමීටර් දෙසීයකට වැඩියි . ගමට ඇතුළු වෙන්න පුළුවන් එක තැනකින් විතරයි. අනිත් හැම පැත්තම ගිරි දුර්ග.
ගමට ඇතුලුවෙන තැන පොඩි අම්බලමක් තියෙනවා. මේකේ ඕනි වෙලාවක අලුත් වතුර සෙම්බුවක් මැටි කෝප්පෙකින් වහල තියෙනවා. පිටස්තරයෙකුට එන්න පුළුවන් අන්තිම පොයින්ට් එක තමයි මේ අම්බලම” .
“ඉතින් ගමට අමුත්තෙක්  අවොත් ?”
‘අම්බලමේ නවතින්න ඕනි. අම්බලමට මාසෙන් මාසෙට බාරකාරයෙක්  දානවා . ඔහු  වරින්වර ගිහින් වතුර පිංතාලිය පුරවන්න ඕනි අමුත්තෙක් ඇවිල්ලනම් කෑම බීම දීල එයා බැහැ දකින්න ආපු ගම්වැසියට පණිවිඩේ කියන්න ඕනි’ .

“ඊට පස්සේ ගමේ මනුස්සයා ඇවිල්ල අමුත්තා එක්කරගෙන යනවද ?”
“මොන . එයා ඇවිල්ල අම්බලමේ ඉඳන්ම කතාබහ කරලා අමුත්තා පිටත් කරන්න ඕනි . ගමට කිසිම පිටස්තරයෙකුට ඇතුළු වෙන්න බෑ .

එතකොට අල්ලපු ගම්වල නෑදෑයෝ යන්නේ එන්නේ නැද්ද .?
නෑ එහෙම නෑදෑකම් ගැන අහල නෑ .
ගමට  පොලිසියෙන් එහෙමවත්  එන්නේ නැද්ද ?
නෑ පොලිසියට එන්නත් බෑ . එන්න උත්සහ කරලත් නෑ .
මටනම් විශ්වාස කරන්නත් බෑ .

'උඹට මං කියන දේ විශ්වාස කරන්නම වෙනවා. මොකද මම උඹ අපේ ගමට එක්කරගෙන ගිහින් පෙන්නන්න කියලයැ '. කියමින් ඔහු සිනාසුනේය. ඉන්පසු ඔහු බැරෑරුම් මූණක් ඇතිව ටික වෙලාවක් කල්පනා කළේය .

‘දවසක් හරිම දුක හිතෙන දෙයක් සිද්ද වුනා. දැන්නම් මතක්වෙනකොටත්  හරි කාලකන්නි කමක් දැනෙනවා’

“කැමතිනම් කියපන්” . මම කිව්වෙමි .

‘මෙහෙමයි අපේ ගමේ ලස්සනම ලස්සන කෙල්ලෙක් හිටියා. මම ජීවිතේටම දැකලා නෑ ඒ වගේ ලස්සන වෙන කෙනෙක් . මේ කෙල්ල අල්ලපු ගමේ කොල්ලෙක් එක්ක යාලු වුනා ”.

“ඒක මහා පුදුම කතාවක්නේ” . මම කියද්දී ඔහු කිව්වේ “ඒක පුදුම ආදර කතාවක්” කියලාය  .
‘මුන් දෙන්නා කොහේදී මුණ ගැහුනද කොහේදී ආදරේ කරාද අර මනුස්සයා ආවේ ගියේ කොහොමද හිතා ගන්නත් බෑ’

“ඉතිං”

“ඉතින් මොකද කරන්නේ ගමේ  කොල්ලෝ ටික මග රැක ඉඳල මහා පාන්දරක කොල්ලට ගහල එලෙව්වා . එදායින් පස්සේ ආයේ පැත්ත පළාතේ ආවේ නෑ. මිනිහ අතුරුදහන් වුනා” . ඔහු සුසුමක් හෙලීය .

“මට දුක ඒ ගමනට මමත් ගිය එක” .

මම ගොළුව බලා හිටියෙමි.
ඉන් ටික දවසක් යනතුරු ඔහු මගේ මුහුණ බලා කතා කරේ නැත .ඔහු කීවේ ගෙතූ කතාවක් යැයි සිතන්නට මම උත්සහ කළෙමි. ඇරත් එහෙම හිතන එක ඔහු දකිද්දී  මට සහනයක් ගෙන දුන්නේය.

ඔහු පසුව මගේ හිත හදන්නට මෙන් මෙසේ කිව්වේය.
“අර ගමන මම ගියාට අපට ඉස්සරහින් තව කොල්ලෝ කට්ටියක්  ගියා . ඒගොල්ලෝ තමයි ගැහුවා කිව්වේ .ඇත්තද බොරුද මම  දන්නේ නෑ’

'ඒත් මට එක දෙයක් කියපන් ' මම මොබින්ගෙන් පසු දිනක ඇසුවෙමි.

"අර කෙල්ල ගැන උඹේ හිතෙත් ආදරයක් තිබ්බ නේද ?"

ඊට උත්තරයක්  නොදී මා මග හැර  ගිය මොබින් ඉන් සෑහෙන දිනකට පසුව මට මෙහෙම කිව්වේය  .
'සමහර විට අපේ ගමේ ගොඩක් කොල්ලෝ වගේ මමත් ඈට ආදරේ කරන්න ඇති. ඒත් අර සිද්දියෙන් පස්සේ මට ගම එපා වුනා . එහෙන් පිටමන් වෙලා ආවේත් ඒකමයි.

මගේ සිතේ  චිත්‍රපටියක මෙන් ඒ සිද්දියේ අතුරු කතා වරින්වර මැවී බොඳවී ගියේය . මමද  ඒ නොදන්නා දුර්ඝයකට වී වියෝ දුකින් වැලපෙන සුන්දර තරුණිය ගැන සිතන්නට සැහෙන කාලයක් වැය කරන්නට ඇත .සමහර විට මොබින්ටත් වඩා මම ඈට පෙම් කරා වන්නටද පුළුවන .