Saturday, December 22, 2018

ඔහේ කවුපි ගන්නවැයි ?

උඩවලවේ ජලාශය-
ඩවලවේ වැව් බන්ට් එක දිගේ ගිය ගමනක් ගැන සිලිකන් වැල්ලේ ලිව්වා . එහෙම යද්දී පරණ සිද්දියක් මතක් වී තනියම හිනා ගියා. මේ දුටු ඔවිනී මගෙන් ඇහුවා "ඇයි තාත්තේ තනියම හිනා වෙන්නේ" . ඉතින් මම කතාවේ කොටසක් ඇයට කිව්වා . මේ කතාවේ ඇයට නොකීව කොටස .
කාලෙකට   ඉස්සර මම ඇඹිලිපිටි කරදාසි කම්හලේ පුහුණුවකට ආවා. මටයි අපේ බැචා පොඩි බමුණුටත්  මතක් කර කර රස විඳින්න පුළුවන් කාලයක් . ඒ දශක කීපයකට ඉස්සර .  ඒ වෙද්දී කරදාසි කම්හලේ නිෂ්පාදන කෙරෙනවා. ඒ කතන්දර මම පත්තරේටත් ලියලා තියෙනවා .

බැචාටත් මටත් නවාතැන් හම්බුනේ කරදාසි කම්මලට අයත් ගෙස්ට් හවුසියේ . එය හොඳම තත්ත්වයේ නවාතැනක් . මෙහිම නවාතැන් ගත් තව කිහිප දෙනෙක් හිටියා . ගර්කින් සහ කෙසෙල් වගා කරන සමාගමක සේවය කළ මිතුරන් දෙදෙනෙක් හිටියා. ඒ දෙන්නාට තිබ්බ විවිධ උන වර්ග නිසා අපි නම් දෙකක් දාලයි තිබ්බේ ඩෙංගු සහ සහලෝලා කියලා .  ඒ දෙන්නා  හරිම ක්රියාශීලීයි. වැඩ, වලි , සිරා ටෝක්.කෙළවරක් නෑ.

ඒ කාලයේ මම ඉරිදා හවස බණ්ඩාරවෙලට ඇවිත් එතනින් කොළඹ බස් එකක රතන්පුර තිබ්බ බමුණුසින්හලා ගෙදරට යනවා . බමුණුගේ  අම්මාගේ ආදර සැලකිලි ලබමින්,  තාත්තාගේ පොරටෝක් හා රස කතා අසමින් රාත්‍රිය ගත කොට අපි පහුවදා පාන්දර බස් එකේ ඇඹිලිපිටි යනවා.  යද්දී හම්බවෙන ගම් නගර නාමවල පවා තිබ්බේ අමුතු රසයක් .  පැල්මඩුල්ල, කෙටේතැන්න , කහවත්හ, වැල්ලඳුර, ගොඩකවෙල, කොළඹගෙආර  . ..

සිකුරාදා ආපහු ගෙදර යනකොට මම තෝරා ගත්තේ ඇඹිලිපිටි ඉඳන් උඩවලව වැව් බන්ට් එක දිගේ තණමල්විලටත් එතැනින් වැල්ලවාය හරහා බණ්ඩාරවෙලටත් යන මාර්ගය.
උඩවලවේ ඉඳන් තණමල්විල පාර ඒ දවස්වල හරිම දුෂ්කරයි. බස් ඉතාම අඩුයි , වැව් බන්ට් එකෙන්  එහාට හද්දා දුෂ්කර ගම්මාන. ඉලුක් හෙවිල්ලු වරිච්චි ගෙවල්  තැනින් තැන තිබුනා .පෙට්ටි  කඩයක් හෝ දෙකක්  තිබුනා .

සෙවනගල උක් පර්යේෂණ ආයතනය ඉදි කරන්න අපේ අයියාගේ හොඳම යාලුවෙක් වූ කරු අයියා ඇවිත් හිටියා. ඔහුට පරණ නිල නිවෙසක්ද තුබුණා. එක සිකුරාදාවක් හවස ඔහුගේ නවාතැනේ ගතකර සෙනසුරාදා පාන්දර උඩවලවේ බන්ට් එක උඩට ආවේ තණමල්විල බසයක් අල්ලා ගන්නයි.

පැය බාගයක් විතර හිටියාට බස් එකක් නැති පාටයි. ඒත් ඒ හරියෙන් කොළඹින් බඩු පටවා ගත් ලොරි කීපයක්ම ගියා. මේ ලොරිවලත් ඉඳ හිට මගීන් එකෙක් දෙන්නෙක් ගමන් කළා. ඒ නිසා අපි ලොරි වලටත් අත දැම්මා .

එක කුඩා ලොරියක් නතර කළා . රියදුරා විතරයි . බුරුස් රැවුලක් තියෙන හිනා වෙන්නේ නැති කෙනෙක්.
' තනමල්විලටද යන්නේ? කරු අයියා ඇහුවා /
බුරුස් ඔව් කිව්වේ  අංග චලනයෙන්.
' මේ අපේ මල්ලී  තණමල්විලෙන් බස්සලා යන්න පුලුවන්ද. ගානක් දෙන්නම් '
බුරුස් ' හ්ම්" කිව්වා  .
මම ලොරියේ වම්පස අසුනෙන් ඉඳගත්තා. යනගමන් මම ඔහුව කතාවට අල්ලා ගන්න හැදුවා .
කොළඹ ඉඳන්ද එන්නේ ?
'ම්හු'  කිව්වා
එහෙනම් රත්නපුර  ඉඳලද :
'හ්ම්'
මට දුක හිතුනා . අනේ ගොළු මනුස්සයෙක් . මමත් එතනින් එහාට අතින් පයින් පොඩි පොඩි කතාවක් කරැගෙන මේ ගොළු හිතවතා එක්ක දිගටම යනවා.

ඔහොම ලොරිය ටික දුරක් ගිහින් . පාලු තැනක තිබ්බ කඩයක් ගාව නැවැත්තුවා. වට්ටක්ක ගෙඩි ටිකක්. ඉරිඟු , කුරක්කන්  වගේ ඇට පිරිච්ච කුඩා බක්කි කීපයක් ඇරෙන්න කෙහෙල් කැනක්වත් ඒ කඩේ තිබ්බේ නෑ.
ඒත් කඩේ ඇතුලේ හිටි මුදලාලි හාමිනේ පුෂ්ටිමත් මෙන්ම පැහැපත් එකියක් වුනා . අපේ රියදුරා දුටු හැටියේම ඇගේ මුහුණ පිපී ගියා .

ඔහු ලොරියෙන් බැස්සා . මෙන්න කතා කරන්න බැරි මිනිහා මහා හයියෙන් අහනවා .
" අලුත් කවුපි ආවේ නැතෙයි ?
"ආවා අවා එන්ඩ එන්ඩ අයියා
 ඇය කීවා . බුරුස් කඩේට ගියා . කඩ බක්කිය අද්දර ඔහේ කතා කර කර හිටි  දෙදෙනාම ටික වෙලාවකින් මගේ දර්ශන පථයෙන් ඈත් වුනා වගේ  දැනුණා  .

මම තනියම කල්පනා කරනවා. මාර තොප්පිය මේ යකා කොච්චර වෙලා මෙතන ලගියිද දන්නේ නෑ . බැහැලා යන්න  හැටියකුත් නැතියෙන් මම ඔහේ බලාගෙන හිටියා. මට පොඩි නින්දක් ගිහින් ඇහැරෙනකොට බුරුස් බුලත් විටකුත් එහෙම  කාලා පොඩි හිනාවක් දාගෙන එනවා අත් දෙකම වනමින්.

මම  එක පාර මෙහෙම ඇහුවා  . ( ඒ වෙනකොට මම මාතර ඇඹිලිපිටි කටවහරට හුරුවෙමින් හිටියේ )
" ඔහේ කවුපි ගත්තේ නැතෙයි ?"
අපේ යාලුවා කතා නොකරම ලොරිය මදක් ඉදිරියට පදවා ආපහු වේගය අඩු කර මගේ දිහා බැලුවා . ඒ බැල්මේ තිබ්බේ මෙහෙම එකක් .

' ඔහේ කවුපි ගන්නවැයි?



සේයාරුව : දෙව්නි
_
සිලිකන් වැල්ලට මෙතනින් යන්න 





Sunday, December 2, 2018

ගෙට්ටු ගෙදර හා ගොඩමුන්නේ

ම්මේ මෙහෙනම් මට ඉන්ඩ බෑ තාත්තගේ ගෙට්ටුගෙදර යමු..  කියමින් බෙරිහන් දෙන අපේ හිතවත් පවුලක දියණියක් එසේ අඬන්නේ මන්දැයි වරක් මම විපරම් කළෙමි .

එවිට දැන ගන්නට ලැබුනේ මගේ මිතුරාගේ  ඩිප්ලොමා පන්තියේ උන්  විසින් ලොකු හෝටලයක සාර සොබාවට  වාර්ෂික මිතුරු හමුව පවත්වා ඇති බවය . නැටුම් ගැයුම් වැයුම් හා රසමසවුළු පිරි රාත්‍රිය දරුවන්ටද අසිරිමත් එකක් වූ සෙයකි. ගෙදර ආ වෙලාවේ ඉඳන් පොඩි එකා කෑ මොර දෙන්නේ ආපහු සාදය තිබුණු හෝටලයට  එක්කාගෙන යන ලෙසයි.

මේ  get-together සාද  හෙවත්  ගෙට්ටු  අපේ මිතුරන් අතරේ හරි ජනප්‍රිය වදනකි. බලාපොරෝත්තු  දනවන්නකි . මගේ සමහර වැඩිහිටි මිතුරන් අවුරුද්ද ජීවත් කරවන බලාපොරොත්තුව ඊළඟ ගෙට්ටුවට යෑමය. ලැබෙන ඇරයුම් සියල්ල පිළිගන්නවානම් සතිපතා මොකක් හෝ ගෙට්ටුවක් තිබේ.   පන්තියේ උන් සෙට් එක. ඉස්කෝලේ උන්ගේන්  ගෙවල් ගාව ඉන්න සෙට් එක . ඉස්කෝලේ කොළඹ ඉන්න සෙට් එක . අහවල් රටේ වැඩ කරලා ඇවිත් ඉන්න සෙට් එක. මරණාධාර සමිතියේ සෙට් එක හා අර කොම්පැනියේ වැඩ කරපු උන් කට්ටිය  වාගේ විවිධ හමුවීම්  අතරින් මම වඩාත් කැමති මිතුරු හමු එකක් දෙකක් තිබේ .  මම කැමති විවිධත්වයෙන් යුක්ත වූ මිනිසුන් හමුවන තැන්වලටය. අපේ අල්ලපු ගෙදර අන්කල් ගේ වැඩිහිටි මිතුරු  පාටියේ ගෙට්ටුව එහෙම එකකි. නගරාසන්න මුල් ගම් වැසියන්, ඉඩම් හිමියන්, විශ්‍රාමිකයන් මෙන්ම සාමන්‍ය ගම්වාසීන්ද  එකතුවන මේ පාටියට මම සහභාගී වුනේ අමුත්තෙකු ලෙසයි. එය ඉතා දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන එන විසිතුරු මිනිස් එකතුවකි. .

දෙවැන්න  අපි 1986 නත්තල් දවසේ පටන් ගත් දහයේ පන්තියේ සිටි උන්ගේ ගෙට්ටුවයි. සහුර්දයන්ගේ රාත්‍රිය නමින් කරගෙන ගිය මේ පාටි දැමිල්ල . පොඩි ට්‍රිප් එකකින් , කඳු නැගීමක්  හෝ වෙනත්  ආකාරයේ  දෙකින් අමුතු මිහිරක් දෙමින් කෙරගෙන ගිය එකකි .  දහයේ පන්තියේ සිටි උන් විවිධ විෂය ක්ෂේත්‍ර වලට බෙදී ගියෝය. කමුදා පොලිස් නිලධාරියෝ , ගුරුවරු ,ඉන්ජිනේරුවෝ , දොස්තරලා, ලොයර්ලා  මෙන්ම ප්‍රාදේශීය සභා  මන්ත්‍රීලා, කඩ මුදලාලිලා , ගොවි  මහත්තුරු මේ හැමෝම එතැන සිටින නිසා එම හමුව පණ ගැහෙන විචිත්‍ර එකකි. මේ පන්ති ගෙට්ටුවේ ජීවය වී ඇත්තේ  එක් දිරිමත් මිතුරෙක්ගේ හයියයි. අවුරුදු තිස් දෙකක් තිස්සේ වැඩිම බරක් අදින්නේ ඔහුය .

ඒ අතරේ අපේ බැච් එකේ ගේට්ටුවත්  නරකම නැත. බොහෝ දෙනෙක් සමරන්නේ තමන්ගේ පන්තියේ මිතුරු සාදය හෝ සරසවි බැච් ගේට්ටුව යන දෙක හෝ ඉන්යි එකකි . ඉස්සර අපි කැම්පස්  ඉන්නා කාලේ පවා ගේට්ටු තිබුනේය. අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ආපු මුළු සරසවියෙම විවිධ පීඨ වල ඉගෙන ගන්නා  කොල්ලෝ  කෙල්ලෝ අවුරුද්දකට සැරයක් පළාත් ගෙට්ටුවක් දැම්මෝය.   ඒ අනුව  බදුලු බණ්ඩාරවෙල උන්, කුරුනෑගල උන් ආදී වශයෙන් වෙන වෙනම සෙට් වුනෝය.

ඉස්කෝල ගෙට්ටුද කැම්පස් එකේ තිබුන අතර ඒවා සමහර විට කාන්තා හා පිරිමි ඉස්කෝල දෙකක් හවුලේ තිබිණි. ඒවා හරි ආඩම්බරෙන් හා අවශේෂ උන්ගේ ඉරිසියාව දනවන සිරියෙන්  පැවැත්විණි . අනුරාධපුර ගෙට්ටුව සංවිධානය කළ අපේ STB අත අවුරුද්ද පුරා පයිල් කවර දෙකක් තිබුනේය. ඉන් එකක සියලු අධ්‍යයන විෂයන්ට අදාළ සටහන්, කෝස්වර්ක් ආදිය සම්බන්ද ඒවාය. අනිත් පයිල් එකේ තිබ්බේ ගෙට්ටුව් සම්බන්ධ ලිය කියවිලිය.

අපේ බැච් එකේ දෙසිය  පණහක් විතර හිටියාට මුල් කාලයේ ගෙට්ටුවට එකතු උනේ යන්තම් විසිපහක් විතරය. . ඒ කාලයේ අපට වඩා අවුරුදු දහයක් විතර වැඩිමල් ජයසේකකර මහත්තයාගේ  බැච් ගෙට්ටුවට හත්තෑවක් විතර  හිටියේ මුළු ගණන එකසිය පනහකිනි .ඔහු අපේ වැඩබිමේ උපදේශක සමාගමේ නේවාසික ඉංජිනේරුවා වූ අතර මම හිටියේ කොන්ත්‍රාත්  සමාගමේ සැලසුම් ඉංජිනේරුවා හැටියටයි . ජයසේකර මහතා නිල රාජකාරිමය හෝ ඇකඩමික් විදිහට ඇර උනන්දුවක් දැක්වූ වෙනත් කිසිම අංශයක් ගැන මා හැර වෙන  කවුරුත් දැනගෙන හිටියේ නැත . එහෙත් එවැන්නක්ම ම දැන සිටියෙමි . ඒ ඔහුගේ වාර්ෂික බැච් ගේට්ටුවයි . ඒ නිලය අල්ලා ගත්තාට පසු මම සමහර වැඩ කර ගත්තේ ඔහුට ලබා දුන් මානසික  අල්ලස්වලිනි .

ඔහු මොන තරම් රුලට වැඩ කලාද යත් ඉස්පිල්ලක් පාපිල්ලක් වැරදුනත් වාර්තාවක් සැලැස්මක් අනුමත කලේ නැත . වතාවක් වගා ඇලක් සඳහා පාරේ  බෝක්කුවක් දමන කටයුත්තකදී ඔහු අපේ උන්ට දස වද දුන්නේය.
" අපි වැඩ කරන්නේ ගොවිතැන්  කරන මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක . ඒක නිසා මේ වැඩේ හරියටම   කරන්න ඕනි" .  මේ වැඩේ සැලැස්ම . වැඩ කරන පිළිවෙල,  දළ සටහන් ආදී සියල්ල කීප වරක් සංශෝධනය කරා වුනත් අනුමත වූයේ නැත . වැඩේ එක තැන හිර වෙලාය. අපේ විදෙස් ජාතික ප්‍රොජෙක්ට් මැනේජර්ද ඔහු සොයා ගොස් පින්සෙන්ඩු උනත් ඔහුත් පරාදය.

ඔහු ආපසු පැමිණ මේසය උඩ හැම දේම දමා ගසා මේසේ කීවේය.
' මේකේ තාක්ෂණ කරුණු ඔක්කොම හරි. කොන්ක්‍රීට්, කම්බි , බෝක්කු බට , දිග පළල හැම දේම පොතේ හැටියට . තවත් මොනවද ?

" මේ වෙලාවේ මම ලකණු දමා ගැනීමට සරසුනෙමි. "
දෙන්න ඕක මං දෙකක් කතා කරන්නම් . ජයසේකර උන්නැහැ අද මගෙන් පාඩමක් ඉගෙන ගනන්වා .

' මම මුළු කන්තෝරුවටම ඇහෙන්න හඬ  නගා පැවසුවෙමි . ඉන්පසු අපෙ ලොක්කා දමා ගැසූ ලියකියවිලි ටිකත් උස්සාගෙන ජයසේකර මහත්තයාගේ කන්තෝරුව පැත්තට  වේගයෙන් ඇවිද ගියෙමි .

මම ඇතුළු වත්ම . ඔහු මද සිනා  පෑවේ ඔහෙත් ඕක ඉස්සාගෙන ආවාදැයි අසමිනි .

"නෑ නෑ . මම මේක මගදී අපේ ලොක්කගෙන් ඉල්ලා ගත්තේ. නිකම් බලන්න  කියල  . මේ එක නෙවෙයි මිස්ටර් ජයසේකර මේ සැරේ බැච් ගෙට්ටුව කවද්ද තියෙන්නේ ?"
  කියා ඇසුවේ එය පසුගිය සතියේ ජයට පැවැත්වූ  බව ඔහුම කී හැටි  අමතක වුන විලාසයෙනි.

වහා හරිබරි ගසා වාඩි වූ ඔහු මුහුණ පුබුදු  කර ගන්තේය .

' ඈ ඒක තිබ්බනේ ළමයෝ ගිය සුමානේ දඹුල්ලේදී . මේ සැරේ නියමයි. රට ඉන්න සෙට් එකත් ඇවිල්ලා හිටියා. : අපි සේරමල්ල සීගිරි ගියා 'අපි කතා උනේ ලබන පාර එක මේ දැම්ම ඉඳලා ඔර්ගනයිස් කරන්න පටන් ගන්න .
ඔහු හොඳටම අප් වෙලාය .

' ඉතින් ඉතින් ජයසේකර මහත්තයාගේ පරණ ගෑණු ළමය එහෙමත් එන්න ඇති නේද ? ;

ජයසේකර කොක් හඬලා සිනා සේද්දී මම හීන් සීරුවේ ෆයිල් මිටිය දිග ඇරියෙමි. මේ බලන්න අපේ උන්ට කිව්වට වැඩක් නෑ . අනේ මිස්ටර් ජයසේකර ලොකු අඩුපාඩුවක් නැති එකේ මෙන්න මේක ඇප්රූ  කරලා දෙන්න .

' ඔහු සිනා සෙමින්ම මගේ ලියකියවිලි තොගය අතට  ගත්තේය' ඉන්පසු ඇත්තටම ඉතිරිව තිබු පොඩි පොඩි ස්පෙලින්ග් මිස්ටේක්  කීපය  සකසා දී අනුමතයි කියා සටහනක් යෙදුවේය'

ඔහු දිගටම  ගෙට්ටුව ගැන කියද්දී  මම පස්සේ කතා කරන්නට එන්නම් කියා ඔහු අස්වස්සා ආපසු කන්තෝරුවට දිව ආවෙමි.

මම අපේ ලොක්කාටත් වඩා වේගෙන් කොළ කෑලි ගොඩ රවුම් මේසය උඩ අත හැරියෙමි .
' හෙට වැඩ පටන් ගන්න කියන්න කට්ටියට '
මගේ ප්‍රොමෝෂන් පිටුපස මේ වගේ කතාද තිබෙයි.

******************

මේවා කොයි හැටි උනත්  අද උදේ මම ගෙට්ටුවක් ගැන කල්පනා කරමින්  හිටියේ මේ විදිහට ලියන්නට නෙවේය. හැමදාම හැම තිසේම දකින එකම ක්ෂේත්‍රයේ උන් හමුවීම එපා වී සිටි සමයක අපේ ඉස්කෝලේ ගෙට්ටුව මෙන්ම නැවුම් තාලේ කැම්පස් ගෙට්ටුවක් ගැන ලියන්නටය .විද්‍යා, කලා, ඉංජිනේරු, මෙඩිකල් , ඩේන්ටල්, ඇග්රි ඇතුළු ෆැකල්ටි සියල්ලේම එකතුවෙන් පටන් ගෙන මෝදු වෙන තවත් විසිතුරු ගෙට්ටුවක් ගැනය.  වැඩේ හරියට කරන්න නම් මේ කියන ෆැකල්ටි සියල්ලේ සිටි හැමෝම දන්නා එකෙක් සිටිය යුතුය. ඔහු හෝ ඇය  අවුරුදු විසි පහක් තිස්සේවත්  හමු වූ සියලු දෙනා සමග අඛණ්ඩ ඇසුරක් පවත්වාගෙන යන හොඳම හොඳ පී ආර් එකක් තිබෙන එකෙක් විය යුතුය.

පුදුමය කියන්නේ එහෙම එකෙක් සිටියේය . මා දන්නා උන් අතරින් හොඳම මානව සම්බන්ධතා හැකියාවන් තුබුණේ ඔහුටය. ඔහු කරමින් සිටියේ ඔහුගේ හැකියාවට ගැලපෙනම රස්සාව වූ පේරාදෙනි සරසවියේ මහජන සම්බන්ධතා නිලධාරී තනතුරයි.   ඒත් අවාසනාවක මහත අපට ඒ ගෙට්ටුව හෙවත් මිතුරු හමුව තියන්නට වන්නේ අපේ සමකාලීන සරසවි සගයෙකු  වූ, මේ සුවිශේෂ මිතුරාගේ  මළ ගෙදරදීය. අද උදේ කුමාර  ගොඩමුන්නේ හර්දයාබධයකින් මිය ගියේය. ඒත් සමග ඉසියුම් තතකින් දශක දෙක හමාරක් තිස්සේ එක්කාසු කොට  තිබූ බොහෝ මිනිස් බැඳීම්  ජාලයක්ම  දුර්මුඛ වී ගියේය.