Tuesday, September 4, 2018

මල් පාරේ ආදර බෝම්බය




කොලඹ මල් පාර හරිම ආදරණීය පාරක්. කාලයක්  අපි වැඩ ඇරිලා ආදර හැඟුම් එක්ක වෙලී වෙලී  ආපු පාරක්.

දෙදාහා අවුරුද්දේ ජනවාරි පස් වැනිදා මල් පාරේ බෝම්බයක් පිපිරුවා. අගමැති කාර්යාලය ඉලක්ක කරගෙන. පාරේ ගිය හා අවට හිටි දුසිමක් විතර මිය ගියා.
අපේ හාම්නේ  හිතුවේ මම ඕකට අහු වෙලා සෙට්ට පෝච්චි වෙන්න ඇති  කියල . එහෙම හිතන්ට  සාධාරණ හේතුවක් තිබබා . මේ කියන්නේ අර අබුද්දස්ස කාලේ කතාවක් . මං  ඒ දවස්වල  කොන්ත්‍රාත්තුවක් කරපු තට්ටු ගොඩනැගිල්ල තිබ්බේ මල්පාර  කිට්ටුව. කිට්ටුවම නොවුනත් මම කියල තිබ්බේ මල් පාර කිට්ටුව කියල.

මම ඔතෙන්ට ගිහින් දවසේ  වැඩ පටන් ගන්න කලින් ගෙදරට කෝල් එකක් දෙනවා. මේ කියන දවසේ කෝල් කරන්න  වුනේ නෑ . ෆෝන්  එක චාර්ජ් වෙලා නැතියෙන් පැත්තකින් තියලා අලුත් ගොඩනැගිල්ලේ පලංචි පොලු  අතරින් රිංගා රිංගා ගියා . දවසෙම වැඩ. මනිනවා .ලියා ගන්නවා. පොඩ්ඩක් පහළට ඇවිත් ප්ලේන්ටියක් බොනවා. ආයෙම වැඩ පටන් ගන්නවා .

එදා හවස් වෙනකන් මම ගෙදර හා අවට ලෝකය ගැන මෙලෝ ගනිච්චියක් නැතිව හිටියා . කොන්ක්‍රීට්, ගඩොල් යකඩ පොලු අතර අලුත් සිමෙන්ති සුවඳ විඳිමින්  දවස ගෙවුනත් තරමක් එපිටහින් වෙලා තිබ්බේ ඊට හාත් පසින්ම වෙනස් දෙයක් .

අගමැති කාර්යාලය ළඟ බෝම්බයක් පුපුරලා . දහ  පහළොස් දෙනෙක් මැරිලා. තව  බර ගානකට තුවාලයි. තැන තැන කට කතා පැතිරෙද්දී අපේ නෝනා මෙන්ම ගොඩක් නෝනලා තම තමන්ගේ මහත්වරුන්ට හා පෙම්වතුන්ට කෝල් කරලා  . මගේ පැත්තේ සද්දයක් නෑ . වෙනද වැඩබිමට ගිය ගමන් කෝල් කරන මෑන් අද සද්ද වහලා. ෆෝන් එකත් ප්‍රතිචාරයක් නෑ . දැන් ටික ටික රත් වී  එනවා. යාළුවො එකා දෙන්න එනවා ලඟට. කන්තෝරුවේ වෙන්ඩ නරක ආරංචිය තටු ගසා ඉගිල්ලුනා .

"අරයාගෙන් කෝල් එකක් නෑ . වෙනදනම්  මේ වෙනකොට  දෙපාරක්  විතර  කතා කරලා" .

"ඉස්සර පුරුද්දට  මල් පාරේ ඇවිදගෙන ගියාද දන්නේ නෑ". යාළුවො හිනා වෙනවා. "ඇස් රතු වෙන විහිලු කරන්නෙපා". කෙනෙක් කියනවා.
ටික ටික වෙලාව යනවා. පපුව ගැහෙනවා. ගෙදරට කියන්නත් බෑ . ගෙදරින් බය වෙනවා. අම්මා කතා කළා .
බෝම්බයක්ලු නේද ? අර ළමය කොහෙද?
නෑ අම්මා කරදරයක් නෑ . ඇය කිව්වට කට හඬ වෙවුලනවා .

තවත් දවල් වෙන්න වෙන්න හිත කලබලයි. යාළුවො වට වෙලා. තාම ආන්සර්  එකක් නැද්ද? ඔයා දන්නේ නැද්ද වැඩ කරන සයිට් එකක් . අඩු ගානේ යාලුවෙක්ගෙ නමක්වත්????

ඇත්තටම ගෙදරින් දන්නෙම නෑ . තාවකාලික වැඩබිම් උප කොන්තරක්  ඉංජිනේරු . දන්නා කියන යාලුවන්ට කතා කරා සමහරු සම්බන්ධ කර ගන්න බෑ . සමහරු කතා කරත් කියන්නේ මාස ගානකින් ඌ  ඉන්න තැනක් දෙන්නේ නැති වග .

ඉතින් බැරිම තැන වෙච්ච දේ ෂුවර් වගේ හිතිච්ච යාලුවෙක් කිව්වා අපි හිතේ සැකේ ඇර ගන්ට හොස්පිටල් එකට කතා කරමූ . "අපේ මාම කෙනෙක් එහෙ වැඩ කරනවා."

ඉතින් කතා කරා. ඇතුලත් කරපු ලෙඩ්ඩුන්ගේ   නම් හෙව්වා. සිහිය නැති අයගේ  විස්තර . ඒ කා අතරවත් ගෙදර මනුස්සයා නෑ.

ඊළඟට හොස්පිටල් එකේ වැඩ කරන මාමා  කී දේ නිසා ඇඟ හීතල වෙලා ගියා. මෝචරියේනම් දහයක් විතර ඉන්නවා අඳුර ගත්තේ නැති .

හිත හිරි වැටිලා . ඒත් කමක් නෑ යාලුවා මෙහෙම කිව්වා .
'බලන්න තියෙන්නේ එකම තැනයි."

කවුරුත් මුකුත් කිව්වේ නෑ . ශෝක බරිතව බලා හිටියා . යමු! පිටත් වුනා .

මගේ පිය බිරිඳව වාත්තු කරගත් යාළුවො දෙන්නෙක් සමග බෝම්බයෙන් තැලී පිළිස්සුන මළ සිරුරු අතරේ දැන් දැන් මාව හමු වේවි යැයි බියෙන් ගැහෙමින් මිනී ලාච්චුවෙන් ලාච්චුවට  ට්‍රොලියෙන් ට්‍රොලියට  මාරු වෙනවා .

අන්තිමේ එතනත් බලාපොරෝත්තු  කඩ වුනා . ගෙදර ගියා . කාට කියන්ඩද?

මුළු ගෙදරම තුෂ්නිම්භුතයි. අර ගොල්ලන්ගේ ගෙදරට කියනවද ? කොහේ කියල හොයන්නද ? උකටලීව එහෙ මෙහෙ වැතාරෙමින් වතුර උගුරක්වත් බොන්නට හිතක් නැතිව පැය කීපයක් ගෙවුනා . හැන්දෑවේ අඳුර වැටෙන සද්දේ යටපත් කරගෙන ගේට්ටුවේ උණ බටයක් බිම වැටුනා.
මෙච්චර වෙලා මළා කියලා හිතන් හිටි පොර  එනවා සින්දුවක් කියාගෙන .

'මැණිකේ මම ආයේ ගෙදර එනවා ...

අපේ නෝනා පැන්න ඉස්සරහට අල්ල ගත්තා කොලර් එකෙන් .  . ගැහුවද? නෑ . අපි ගුටි කයි ගෑනුන්ගෙන්.

ඔයි කතාව ගැන ලියන්න හිතන් හිටි ඊයේ හවස ගෙදර එන ගමන් මම කොළ පාට ගැහිච්ච කීල්ස්  එහෙකට ගොඩ වෙලා ලොකු චොකලට් එකක් ගත්තා . ටිකක් ගණන් වුනත් බැදපු කජු ලොකු පැකට් එකක් ගත්තා. සල්ලි ඇති වුන නිසා තව කාඩ් එකකුත් ගත්තා . මට ටිකක් වගේ  ලැජ්ජාවකුත් හිතුනා .  ගෙදර  ගියා.බඩු ටික හැංගුවා.

සුළු වෙලාවකින් තේ එකක් හා ලඩ්ඩුවක් ලැබුනා  . කෑවා. තේ බීවා .  ලඩ්ඩුනම් රසයි කියා මම කීවා.
යාලුවෙක්ගෙන් ලැබුනා වුනත් අපේ නෝනා  එයාම හැදුවා වගේ  ආඩම්බර බැල්මකින් ප්‍රතිචාර දැක්වුවා.

ටික වෙලාවකින් නිකාන් පුරුද්දට වගේ එයා  තේ මේසේ උඩ තිබ්බ මගේ පර්ස් එක අවුස්සන්නට පටන් ගත්තා .
හද්දෙය්යනේ චොකලට් බිල ඒක ඇතුලේ.
මම පැන්න ගමන් පසුම්බිය උදුරා ගත්තා .  ඒත් ඇය මේ  වෙලාවට  මට වඩා ප්‍රචණ්ඩ වුනා
 . හුණුවටයේ රජ බිසව වගේ මගේ පර්ස් එකයි බිලයි ළඟටම ඇදලා ගත්තා . ලයිට් එකට ලංවෙලා කන්නාඩි නැතිව ඇස් පොඩි කරලා කීල්ස් බිල කියවලා බැලුවා. කජුයි චෝකලටූයි.

"ඔයා ඊයේ පුංචි අම්මලා ගෙදර යනකොට ගත්තු ඒවා නේද? ඉතින් බිල හංගන්න හදන්නේ ඇයි ? මම කවදාවත් එපා කියල තියෙනවද නෑදෑයෙකුට මොකුත් අරන් දෙන්න "

 ඉන් පස්සේ පහුගිය අවුරුදු විසි  දෙකක් තිස්සෙම  වැඩිම වාර ගනනක් කියපු ආදර වදන් සෙට් එකත්  කියල දැම්මා  .

"ඔයා දැන් හරි වෙනස්'

මම පෙනෙන්න  හිනා වුන් නෑ . බොරුවට වරදකාරී මුණක් හදා ගත්තා .

එයා වෙනදාට වඩා වේගෙන් ගේ අතුගාමින් එහෙ මෙහෙ පාවෙවී ඉඳිද්දී  මම මගේ ඉපැරණි බ්ලොග් සටහන් කියවන්න පටන් ගත්තා. සැප්තැම්බර් හතර වෙනිදාවල ලියපුවා ගොඩක් තියෙනවා . මේ ඉන් එකක් .

2018 සැප්තැම්බර් 04

චිත්‍රය : ඔවිනි