Sunday, August 24, 2014

සුද්දා යන්ට ගියේය

මාක් යනු සුද්දෙකි. කොටින්ම කිව්වොත්  සුද්දා මාක් සුද්දෙකි. ඉතා අවිහිංසක  සිනාවකින් නිරතුරු මුහුණ වසා ගෙන සිටි ඔහු කලකට පෙර අප සමග එකම වැඩ බිමක සේවය කළේය. ඔහු දවස තිස්සේ ආමන්ඩ් ඇට හෝ වියලි ඇප්‍රිකට් පෙති හපමින් ලිය කියවිලි අතරේ සැරි සරුවේය. මගේ කාමරය ලඟින් යන විට මදක් නැවතී මොකක්  හෝ වදනක් දොඩා යන ඔහු මාද එසේම කරනවාට කැමැත්තෙන් සිටියේය.

ශ්‍රී ලංකාව කියා වෙනම රටක් තියෙන බව ඔහුට ඉස්සෙල්ලාම  කිව්වේ මමයි. මට හමු වූ බොහෝ යුරෝපීයයන් සේම එතෙක් ඔහුද සිතා සිටියේ ලංකාව යනු ඉන්දියාවට අයත් ප්‍රදේශයක් බවයි.

වැඩබිමේ ප්‍රගති වාර්තා හා  රුප අටහන්වලට අමතරව ඔහුගේ කන්තෝරු කාමරයේ බිත්තිය සැරසුවේ  පවුලේ සේයා රු කිහිපයකි . ඔහුට සිටියේ දියණියන්ම  තිදෙනෙකි.   බාල දියණිය දක්ෂ  ටෙනිස් ක්‍රීඩිකාවක් වුවාය. ඇයගේ දක්ෂතා ගැන වරින්වර ඔහුගේ රටේ  පුවත් පත්වල පළ වූ පින්තුර කතා  කිහිපයක්ද ඒ අතර විය. මොන විදිහේ රාජකාරි වැඩකට වුව ඔහුගේ කාමරයට ගොඩ වදින ඕනෑම කෙනෙක් පළමුව අර.සේයා රූ ගැන යමක් කියන්නේ නම් මාක් බෙහෙවින් සතුටු වුණේය.

ඔහුගේ වැඩිමල්  දියණියන් දෙදෙනාම කලා අංශයෙන් උපාධී ලැබුවන්ය . මගේ දියණියන්ද කලා  අංශයෙන් ඉහළට ඉගෙනගන්නවානම්  මම කැමතියි . කියා දවසක් මම කිව්වෙමි.

'එපා ඒකනම් කරන්න දෙන්න එපා'. ලංකාවේ සාම්ප්‍රදායික වැඩිහිටියෙක් සේ ඔහු කිව්වේය. 'කලාව කරලා  වැඩක් නෑ . කීයක් හරි හොයා ගන්න පුළුවන් තාක්ෂණ අංශෙකට  දාන්න. දැන් අපේ දෙන්නාටම රස්සා නෑ. ඔහේ ගෙදරට වෙලා ඉන්නවා'. ඔහු කිව්වේ මා කිසිදා අසන්නට බලාපොරොත්තු නොවූ කතාවකි. .

වරක් ඔහුගේ වැඩිමහල් දියණිය ඇගේ පෙම්වතා සමග අප හිටි  මැදපෙරදිග රටට ආවාය. සතියක් පමණ නිවාඩුවේ ගත කර අප හැමෝම සමග බොහෝ හිතවත් වූ ඔවුහු  පෙරළා මව් රටට ගියෝය.
එසේ ගොස් ටික දවසකින් මාක් කීවේ දුව සල්ලි ඉල්ලලා එවල  තියෙනවා එයාට අලුත් පෙම්වතාත් එක්ක ඔස්ට්‍රලියාවේ ටුවර් එකක් යන්න ඕනි කියලා .

මම: ' කව්ද අලුත් පෙම්වතා කියන්නේ එදා ආපු හාදයා මෙයත් එක්ක දැන් සෑහෙන කාලයක් ආශ්‍රය කරනවා නේද' .
ඔහු :සිනාසුනේය. 'ඒ හුටපටේ ඉවරයි  . මේ ගමන යන්නේ වෙන එක්කෙනෙක් එක්ක'.

ඊටත් මාස දෙක තුනකට පමණ පසු මාක් ඉතා ප්‍රීතියෙන් මුහුණ පුම්බාගෙන සිටිනු දුටුවෙමි. ඊට හේතුව වුයේ ඔහුගේ වැඩිමල් දියණිය අම්මා කෙනෙකු වෙන ලකුණු පහළ වී තිබීමය.

ඔහු කෙතරම් ප්‍රීතිමත්ව සිටියත් ඔහුගේ කාර්යාල මිතුරෝ ඔහුගේ ඉරණම ගැන බොහෝ සෙයින් කම්පා වී සිටියහ . දියණියන් තිදෙනාගේ හා තරමක් නාස්තිකාර බිරිඳගේ විය හියදම් වලට අමතරව අලුත් බෑණාගේද නඩත්තුව හොයන්නට ඔහුට සිදු වී තිබිණි.

ඔය අතරවාරයේ දවසක් ඔහුගේ එංගලන්ත නිවසට හොරු පැන සේසතම අත ගාගෙන ගොස් තිබිණි. ඔහුගේ රාජකාරී  වැඩ  දිගින් දිගට අතපසු වීම නිසා රස්සාව අහිමි වන තැනට කටයුතු යෙදෙමින් තිබුනේය.

දවසක් මා සමග ඔහු කිව්වේ මහගෙදර විකුණා දමා ඒ සල්ලි තමන්ට බෙදා දෙන ලෙස දුවරුන් යෝජනා කරන බවයි.

'මට ඒ ගෙදර විකුනන්න බෑ .මට ඒ ගෙදර ඉන්න ඕනි වයසට ගියාම. ඒක මට සැන්ටිමැන්ටල් වටිනාකමක් තියෙන ගෙයක්. ඒ වගේ  ඉඩ පහසුව තියෙන තරමක් නගරෙන් ඈත නිස්කලංකව තියෙන ගෙයක්. ඉතින් ඕක විකුනලා කොහොමද?' . ඔහු විඩෙන් විඩේ මේ ගැන කියමින් ලත වුනේය. ඔය සැන්ටිමැන්ටල් කියන වචනය ඔහු නිතර පාවිච්චි කළ එකකි

දවසක් ඔහු ළඟ තිබු කුඩා මේස පිහියක් කෑම කාමරයේදී නැති වී ඔහු ඒ ගැන මහත් අරගලයක් කළේය. 'මගේ ෆෝන් එක නැති වුනත් කමක් නෑ මගේ ලැප්ටොප් එක නැති වුනත් කමක් නෑ . එත් මට ඔය පිහිය සැන්ටිමැන්ටල් වටිනාකමක්  තියෙන එකක්. ඒක මට ඔනිමයි' .

කරදර එනවිට එක පිට එන්නේය. දක්ෂ ක්‍රීඩිකාවක් වූ මාක්ගේ බාලම දියණිය පාදයේ ආභාධයකට ගොදුරු වුවාය. 'ඔපරේෂන් එකක් කරන්න ඕනි බර ගානක් යනවා' ඔහු කීවේය.

මාක්ගේ මුහුණේ කනස්සලු ගතිය එන්න එන්නම වැඩි විය. වැඩ අතපසුවීම් හා නිවාඩු ගැනීම් අතොරක් නැති විය. අවසානයේ ඔහුගේ රස්සාව බේරා දෙන්නට අප කාටවත් පුළුවන් වුයේ නැත. ඔහුගේ සේවය අවසන් කරන ලියුම ලැබිණි .

'මට ගෙදර ගිහිල්ලා බෑ මම මෙහෙ එන්න කලින් අවුරුදු දෙකක් රස්සාවක් නැතිව හිටියේ, අම්මෝ එහෙම කාලයක්. මට දුවගේ ඔපෙරේෂන් එකට සල්ලි බර ගානක් ඕනි'. ඔහුට කතා කර ගන්නට බැරි වී ඇස්වල කඳුළු පිරුණේය.

ඔහු අවසාන මාසයේ අළුත් රස්සා බර ගානකට ඉන්ටවිව් ගියේය. ඔහුට තිබු සුදුසුකම් අනුව රස්සාවක් සොයා ගැනීම ඒ හැටි කාරියක් නොවනමුත් ඔහු ගිය  හැම තැනදීම කලින් රස්සාව නැති වූ හේතුව අවංකවම  කියන්නට ගොස් වැඩ වරද්දා ගත්තේය. ඉතින් මෙහෙම වැඩ නොසලකා හරින බව පිළිගන්න කෙනෙකුට තව කවුරුවත් රස්සා දේවිද. අවසානයේ ඔහුගේ විසා කාලය අවසන් වී බඩු මුට්ටු සියල්ල හකුලාගෙන සියරට බලා යන්නට සිදුවිය.

'මේ කලාපෙන් හොයා ගත්තේ නැත්තම් ආපහු අපේ රටට ගිහිල්ලා නම්  මට තියෙන වියදම්වලට ඔරොත්තු  දෙන  රස්සාවත් හොයන්න බෑ ' ඔහු අවංකව කිව්වේය. ඉන්ටවිව් වලදීත් එහෙම කියන්නට ඇත .

ඔහු කන්තෝරුවට එන අවසන් දවසේ කුඩා සාදයක් තිබිණි.  ඊට ඔහුගේ බිරිඳද ආවාය.

බොහොම හැඟුම්බර සමුගැනීමකින් පසු මාගේ සුමිතුරා. මාක් යන්නට ගියේය.

දුක,සතුට  හා  පවුලේ බැඳීම් මිශ්‍ර චක්‍රයක කරකැවෙමින් සිටින්නෝ ලෝකේ හැම අස්සක්‌ මුල්ලකම සිටින බව මට වඩාත් හොඳින් පසක් වුයේ ඔහු අන්තිම දවසේ මා සමග කී කතාවකිනි.

එනම්  මාක්ගේ රස්සාව නැති වුනා මදිවාට රටින්ද යන්නට සිද්ද වන බව තහවුරු වූ දවසේ ඔහුගේ  බිරිඳ පැය තුනක් එක දිගට හැඬු කතාවය.

photo : bestukireland.com

Monday, August 18, 2014

තනිකඩයාගේ මව


ස්සෙල්ලාම මේක කුරුටු ගෑවුනේ මගේ හිතවතෙකු අම්මා ගැන කීව කතාවකින්. මැදිවියට  ආසන්නමුත් තනිකඩව සිටින ඔහුගේ ගෙදරට සතියකට වතාවක් ගොඩවන සඳ මඩලක් හිටියා . ඒ තමයි නංගිලා ගෙදරට වෙලා ඉන්න අම්මා . නංගී රස්සාවකට යන නිසා පොඩි පැටවුන් බලාගෙන ඉන්න වෙන්නේ අම්මාට . අම්ම ළමයි බලා ගන්නවා .ඉවුම් පිහුම් කරනවා. උයද්දී අහක දාන සුන් සහල් ටික සීරුවට එකතු කරලා ඉරිදා උදෙන්ම  කිරිබතක් උයාගෙන පුතා බලන්න යනවා.

ඔය කතාවෙන් පස්සේ කල්පනාවට වැටුණු මම මුලින්ම කුරුටු ගැව සටහන් මේ. මම ලියන හැම දේම වගේ මේකටත් තාලයක් විරිතක් නෑ .

ගී කියන කවි ලියන තනිකඩ මගේ දොරකඩ
උදෙන් පෑයු  චන්ද්‍රයා විලස ඔබ
සුන්සාල් කිරිබතක් අතින් ගෙන

උයන්නට දෙයක්  තිබ්බානම් අහලක
බුද්ද පුජාව සේ බැතියෙන් සකස්කර
ඔබට  කවනවාමයි දවල් දානෙට

සන්තකේ තිබු රුපියල් සීය ගුලිකර
මල්ලක වී දෙකක් දමලා නුඹ පිටත් කෙරුවේ
බොහෝ දුර යන්න තියෙනා නිසා අම්මේ
පරෙස්සමින් පලයන් මගේ පණ
සාගින්දරේ  හඬනවා ඇති නංගිගේ පැටවුන්

අම්මා ආසාම වෙල් මාළු හොද්දෙන් අනා
උයලා කැකුළෙන්ම   බතක්
නුඹටත්  කට කට කවන්නට
දවසක් ලැබෙනවානම් මට
ඊට වැඩි මොකවත් ඕනි නෑ  ජීවිතෙන්

මේකම මම ටිකක් වෙනස් කරලා ලියපු එක :

විරහ ගී විසුල මගේ පැළට
සුන්සාල් කිරිබතක සුවඳ ගෙන
හැම  ඉරිදාම පායනා සඳමඩල
ගෙබිම ගෙමිදුල සිතද අමදින

දමා මල්ලට වී දෙකක්
පිටත් කෙරුවේ මහා දවාලේම
දුර යන්න තියෙනා නිසා අම්මේ
මග බලන් ඇති  නංගිගේ පැටවුන්

උයලා කැකුළෙන් රස බතක්
එක කටක් අම්මට කවන්නට
ඉඩක් ලැබුනොත් දිනෙක අම්මේ
තවත්නම් මට කුමකටද නිවනක්

 එදා සරත් කිව්වේ මොකක්ද? මෙන්න මේක:
(මේ තමයි තිලක සිත පොත දොරට වඩින දා විශාරද සරත් පීරිස්  සංගීතයද සපයා ගායනා කරපු අලුත් ගීතය . පොත දොරට වැඩිය දා පිලිබඳ සොඳුරු මතකය පස්සේ ලියන්නම්. මේ ගී නිර්මාණය එලි දක්වන්න වෙහෙසුණු සරත් පීරිස්  හා ජයවීර බණ්ඩාර  මිතුරන්ට නොමද ස්තුතිය)

Monday, August 4, 2014

එදාට එනවා නේද?

ඹ නිවාඩුවේ එහෙ මෙහෙ ඇවිදිනවා විතරයි.මොනවා හරි බ්ලොග් එකටත් ලියලා දාපන්, නැත්නම් අර වතාවක් දුවට කියල ලියලා දැම්ම වගේ පොස්ට් එකක්වත් දාහන්. එහෙම කිව්වේ මගේ බ්ලොග් එක ගිය මාසේ පාලොස් වැනිදා ඉඳන් පාලුවට ගිහින් තියෙනවා දැකපු මගේ හිතවතියක්.

ගිය මාසේ 24 වැනිදා නිවාඩු එන්න ඕනි නිසා රෑ දොළහ විතර වෙනකන් අමතර වැඩ කරලා තමයි තියෙන වැඩ ටික සේරම හමාර කලේ . ඒ ආපු හැටියේම මට ලංකාවේ වැඩ මුළුවක් සඳහා සේවා දායකත්වය සපයන්න තිබ්බා . මාස ගානක් ඇරියස් වෙලා තිබ්බ වැඩ කටයුතුවල  නියැලෙන ගමන් සමුළු වැඩේ සාර්ථකව හමාර උනා කියමුකෝ . මෙන්න බොලේ මේ අට වැනිදා තියෙන පොතක් දොරට වඩින උළෙලකට ලක ලැහැස්ති වෙන්න වෙලා.

මේ පොත මගේම පොතක් හින්දා මග ඇරින්නත් බෑ අර මගුල් ගෙදර කතාවේදී වගේ . ඉතින් මම මුහුණු පොතට දැමු මිතුරු ඇරයුම මගේ බ්ලොග් මිතුරන් වෙනුවෙනුත් මෙහෙම ලියන්නම්,

මේ එන සිකුරාදා, අට වැනිදා මගේ පොත ' තිලක සිත ' නිකුත් වෙනවා
ඔබව මුණ ගැසෙන්නට ආසයි
විටක් කාලා ටිකක් කතා කර කර ඉන්න
එන්න
හවස තුනයි තිහට , කොළඹ හත නිදහස් මාවතේ පිහිටි ජාතික පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවනාගාරයට

මේ පොතේ තියෙන සටහන් බොහොමයක්  මගේ බ්ලොග් පොස්ට්. ඒ වුනත් අලුතින් සංස්කරණය කරලා හැම කතාවටම ඔවිනිගේත් දෙව්නිගේත් චිත්‍රය බැගින් එකතු කරලා තමයි අච්චු ගැහුවේ. කවරය සකස් කිරීමත් හොඳ ටීම් වර්ක් එකක් උනා. රන්ගි, සමන්, හරිෂ්, ලිෂාන් රුවන්  ඒ ගැන බොහෝ වෙහෙසුනා.

මුහුණු පොතේ ඉඳ හිට මා ලියන සටහන් හා බ්ලොග් පොස්ට් වලට ප්‍රතිචාර දැක්වූ මගේ දයාබර මිතුරු මිතුරියනි මේ පොත මෙතරම් ඉක්මනින් බිහි වීමේ යෝධ ශක්තිය මට ගෙන ආවේ ඔබයි.  ස්වභාවයෙන් කම්මැලි ලියන්නකු වන මම අවුරුදු පහළොවකට පසු යලි අතට ගත් පෑන අත  හරින්නට බැරි විදිහේ මිතුරු දිරි ගැන්වීමක් ඔබෙන් මට ලැබුනා . ඊට ප්‍රතිචාර දක්වනු වස් මා කළ  යුතුව  තිබු යුතුකම් බොහොමයක් මගේ අතින් මග අරුනාට ඔබ අමනාප නොවන බව මම දනිමි.

ඉතින් ලෝකයේ කොයි මුල්ලක සිටියත් මේ පොත දොරට වඩින  දා මෙන්ම ඉන් පසුවත් මම ඔබ සමගයි. පුළුවන් කමක් තියෙනවා නම් එන්න .
ආරාධනා පත්‍ර එහෙම ගැහුවේ නෑ .   පුස්තකාල මණ්ඩල ශාලාවේ ඉඩකඩ ටිකක් මදියි . ඒත් අපිට එළියේ තණ බිස්සේ ඇන තියාගෙන හරි ටිකක් කතා බහ කරන්න පුළුවන්. ලොකු දිග දේශන නෑ . උලෙළේ සියලු කටයුතු මෙහෙයවන්නෙත්, පොඩි අදහස් දැක්වීම් දෙකක් කරන්නෙත්, සින්දුවක් දෙකක් කියන්නෙත්  මගේ  ළබැඳි මිතුරන් කිහිප දෙනෙක් .
විශේෂ අමුත්තෝ නෑ.  මොකද එදා එන හැම කෙනෙක්ම මට  අති විශේෂ අමුත්තෙකු වන නිසා

ඊට අමතරව මගේ ජීවන කතන්දර වලදී මා සඳහන් කළ අපුරු පුද්ගලයන් කිහිප දෙනෙක් එදාට එනවා . ඔවුන්ට පොතක් පිළිගැන්වීම තමයි එදා තියෙන සුවිශේෂම අංගය.

ගතින්  බැරිනම් සිතින් හෝ ඔබත්  එදාට එනවා නේද?


(ඔන් ලයින් මිල දී ගන්නට මෙන්න මේ ලින්ක් එකෙන් යන්න. www. books.lk ඔස්සේත් ගන්න පුළුවන් . නුගේගොඩ සරසවි, ගුණසේන ඇතුළු පොත් කඩවලට දාලයි තියෙන්නේ.   බොරැල්ල ඇල්විටිගල පාරේ නො 69/1 හි පුරනී ඔෆිස් එකේත්  පොත් තියෙනවා..මෙය කර්තෘ ප්‍රකාශණයක්)