Saturday, January 12, 2019

ඝරේ බයිරේ හෙවත් ගෙදර සහ ලෝකය



වින්ද්‍රනාත් තාගෝර්ගේ ඝරේ බයිරේ  නම් නවකතාව ඇසුරෙන් සත්යජිත් රායි  එනමින්ම යුත් චිත්‍රපටියක් නිර්මාණය කලේ 1984 දීය . ඝරේ බයිරේ යන බෙන්ගාලි යෙදුමේ තේරුම  'නිවාස හා ලෝකය' වගේ එකක්ලු.

ඔහුගේ කතාවේ තේමාව  එහි නම තරම් සරල එකක් නොවුවත් මම කියන්නට යන ගෙදර හා ලෝකය ගැන කතාව අමුතුම එකකි .

මධ්‍යම අධිවේගය පාරේ මිනුම් වැඩ වගේකට  යද්දී එක්තරා ගම්මානයකදී මා දුටුවේ පාලු වී ගිය සුවිසල් නිවහන්ය . විශාල  උයන් වතු මද හැදු  මේ නවීන පන්නයේ ගෙවල් බොහෝ ඒවා හිස්ව පැවතීම මට මහත් ගැටළුවක් විය. මගේ කුතුහලය නිවා ගැනීමට ගම්වැසියෙක් උදව් වුනේය.

' ඔය ගෙයක් දොරක්  දුක් මහන්සියෙන් ලස්සනට හදන මිනිස්සු ඔක්කොම වගේ ළමයින්ටත්  හොඳට උගන්වනවා. අනේ අර ඉගෙන ගත්තු ළමයි ගමේ තියා රටේවත් ඉන්නේ නෑ . හදාපු ගේ තනියම ඉන්නේ මහළු ජෝඩුව  විතරයි.  නැත්නම් ඒ දෙන්නත් කවුරුහරි ගාවට  වෙලා ඉන්නවා. ගොඩක් ගෙවල් වගලා".

මේ කතාවත් සමග මට මතක් වුනේ ගෙයක් හදන්නට අවුරුදු තිහක් උත්සහ කළ මගේ වැඩිමහල් මිත්‍රයෙක් ගැනය. ඔහු දක්ෂ ඉංජිනේරුවෙකි. අවුරුදු තිහක්ම රස්සාව කළේ පිටරටය. සල්ලි හොය හොයා ලංකාවට එව්වේය. ළමයින්ට උගන්වා රට යැව්වේය .

ඔහුගේ එකම සිහිනය උනේ කවදාහරි ලංකාවට ඇවිත් ලස්සන ගෙයක් හදාගෙන නිදහසේ විශ්‍රාම දිවියක් ගෙවීමය .

මැද  පෙරදිග රටකදී වරක්  ඔහු කී කතාවක් මට තාමත් මතකය .

"තිලක මම පුංචි කාලේ සිද්දියක් කියන්නම්.  අපේ තාත්තා රජයේ නිලදාරියෙක් . නොයෙක් මිනිස්සු ඔහුගෙන් රාජකාරී වැඩ කරවාගන ගෙදරට එනවා . එහෙම ආපු කෙනෙක්  දවසක් ලස්සන ලොකු චොකලට් පෙට්ටියක් ගෙනාවා . මම දොරට මුවා වෙලා බලා හිටියා ඒ මනුස්සයා පිටත් වෙලා යනකම්. ටී පෝව උඩ තිබ්බ චොකලට් පෙට්ටිය දිහා ඇසිපිය දල්වාගෙන.  ඒ තරම් විශාල ලස්සන කවරෙක දාපු චොකලට් පෙට්ටියක් මීට කලින් මට ලැබිලා තිබ්බේ එකම වතාවක් විතරයි "

ඔන්න දැන් මනුස්සයාගේ වැඩේ ඉවරයි . තාත්තට  අත් දෙක එක්කහු කරලා ආයුබෝවන් කියල යන්න දොරට බැස්සා. මම සාලේ ටීපෝව දිහාට අඩියක් තියන්න හදනකටම අපේ තාත්තා  අර පිටත් වෙලා යන අමුත්තාට  කතා කළා.
"පොඩ්ඩක් ඉන්න මේ ඔයා ගෙනාව පාර්සලෙත් අරන් යන්න. මම තෑගී ගන්නේ නෑ '

' අනේ මහත්තයෝ මගේ සන්තෝසෙට බොහොම පුංචි තෑග්ගක් ගෙනාවේ. පොඩි  දරුවෙකුත් ඉන්න  නිසා '

' නෑ ඒක මගේ ප්‍රතිපත්තියක්. රාජකාරී  වැඩක් කර ගන්න  ආව කාගෙන්වත් තෑගී ගන්නේ නෑ . ඔහේ මාව හිතවත් කමට බලල යන්න ආපු කෙනක්නම් මට මේක ගන්න තිබ්බ. කරුණා කරලා අරන් යන්න '

තාත්තා ආපසු හරවන්න බැරි දැඩි ස්වරුපයෙන් කියපු නිසා අමුත්තා ඔළුව කහ කහ චොකලට් පෙට්ටියත් අරන් ගියේ වරදකාරී ලෙස පස්ස හැරී හැරී බලමින්

චොකලට් පෙට්ටිය ගැන ආසාවෙන් හිටපු මගේ හිතේ ඇවිලුණු ගින්න මහා ඉකියකින් පිට වුනා
අමුත්තා ගිය හැටියේම මම තාත්තගේ අතේ එල්ලුනා. ' ඇයි තාත්තේ එහෙම කලේ. එයා තෑග්ගක්නේ  ගෙනාවේ . ඒ මටනේ?   '

ඒගමන තාත්තා  මටත් සැර  වුනා . "අපිට අයිති  තෑගී, අයිති නැති තෑගී කියලා දෙවර්ගයක් තියෙනවා පුතා. ඒක හොඳට මතක තියා ගන්න" .

ඔයා දන්නවද එදා මගේ ජීවිතේ මාර විදිහට වෙනස් වෙච්ච දවසක්.
මම පේරාදෙණියෙන් අවුට් වෙලා වැඩ කරන්න හම්බ වෙච්ච ප්‍රොජෙක්ට්  වල ධන ඉල්ලම් තිබ්බ . තෑගී බෝග වැහි වහලා. අවුරුද්දට දෙපාරක් විතර හම්බෙන හැම්පර් එක  ඉස්තරම් . ඒත් මේ එකකටවත් මට ආසා හිතුනේ  නෑ. මගේම සල්ලිවලින්  රට රටවල ඇවිදින එක හොඳ ගෙයක් හදන සිහිනය විතරක් තිබ්බා" .

මම කවදාවත් රට දාල කැනඩාවට ඔස්ට්‍රේලියාවට යන්න හිතුවේ  නැතත් මැද පෙරදිග රස්සාවක්  කරනවා කියල හිතාගෙන පිටත් වුනා . ඒ මීට අවුරුදු 30කට  කලින්. හොඳ ලස්සනට ගෙයක් හදන හීනේ මගේ ළඟ හැම තිස්සෙම තිබ්බා  "

මුලින්ම ඩුබායි හි රස්සාවක්  කළ මා මිතුරා ගෙයක් හදන්නට අවැසි සියලු දේ වරින් වර මිලට ගත්තා. බිම්  ගඩොල්. නාන කාමර කට්ටල, දොර ලොක්, සරනේරු, පැන්ට්‍රි බඩු ඒ අතර වුනා . අවුරුදු කීපයක් රස්සාව කරලා මිත්‍රයා ලංකාවට ආවේ ගෙයක් හදන්න බලාගෙන . එත් ලංකාවට ආ හැටියේම ආපහු හොඳ තනතුරක් එක්ක රස්සාවක් ලැබුනා ඩුබායි වලම. ගෙනාපු බඩු සේරම යාලු මිත්‍රයන්ට බෙදා හදා  දීලා ආපහු රට ගියා . ඔන්න දැන් වැඩට ගිහින් ඇවිල්ලා හවස් වරුවල, සති අන්ත නිවාඩු දවස්වල කඩ ගානේ ඇවිදිනවා . ගෙදර හදන්න හොඳම බඩු  ගන්නවා. ගේ වෙනම කාමරයක් පුරවන්න තරම් දොර ජනෙල් සරනේරු  විදුලි පංකා , කාපට් ආදිය.

ඒත් ටික දවසකින් ඩුබායි සිට කටාර්වලට ස්ථාන මාරුවක් ලැබෙනවා. අර ගේ හදන්න ගත්තු බඩු භාණ්ඩ සියල්ල කන්ටේනරයක පටවාගෙන කටාර් එනවා. මිත්‍රයා මට හමු වනේ ඒ කාලේදී  . මගේ කටාර් ජීවිතය රසවත් කල අපූරු මිත්‍රයෙක් . පවුලේ සියලු දෙනා මිත්‍රශීලීයි. කලාකාමීයෝ .

 ඔහුගේ කැමතිම මාතෘකා වුනේ සංගීතය, ක්‍රිකට්, ෆොටෝග්‍රපි හා ගෙවල් හදන එක .

අනාගත ගෙදරට ඕනෑ ප්රෙසර් පොම්ප,ජල කරාම, විදුලි ස්විච වරින් වර මිලට  ගන්නා ඔහු ඒවා වෙනම කාමරයක අහුරනවා. මේ එක භාණ්ඩයක ගන්න සමහර විට  දවස් ගානක් කැටලොග් බලනවා. ඉන්ටනෙට් පීරනවා, තුන් හතර දෙනෙක් එක්ක කතා කරනවා, කඩ දහයක පහළොවක ඇවිදිනවා.

ලංකාවට එන්න අවුරුද්දකට කලින් හැමදේම සැලසුම් කළා . ආකිටෙක්ට් කෙනෙක් තෝරා ගත්තා , සැලසුම් අන්දා , වෙනස් කරා.  නැවත නැවත  වෙනස් කරා . අන්තිමේ  ආකිටෙක්වත් වෙනස් කරා .
ගිය අවුරුද්දේ ඇඳලා නිමා  කරපු  ලස්සන නිවාස සැලසුමකුත්  අරන් අලුත්  ගෙදර හදන්න  ඕන හාඩ් වෙයාර් අයිටම් මහා ගොඩක් නැවේ දාගෙන ලංකාවට ආවා .

ගේ හදන්න තෝරා ගත්තු ඉඩම කිට්ටුව ගෙයක් කුලියට අරං පදිංචි උනා . දැන් ගේ හදන්න අනුමැතිය ගන්න , කොන්ත්‍රාත් කරුවන්  හොයන්න ඇවිදිනවා. මටත් කතා කරනවා. ඔහොම කාලයක් ගියා . ගේ හදන පාටක් නැ.

අනිතීමේ ඔහු මෙහෙම කතාවක් කිව්වා . "මේක පුදුම රස්තියාදුවක්. මම ගේ හදන එක ඇත ඇරියා . ආකිටෙක්ලත්, ඉන්ජිනේරුවොත්, බාස්ලත්, නගර ස්බාවත් මේ හැමෝම මට ගේ හදන  එක එපා කළා".

ඉතින් දැන් ගෙයක් සල්ලිවලට  ගන්නවද ? මම ඇහුවා .

"නෑ අපි ඕස්ට්‍රේලියාවේ පදිංචියට  යනවා. දුවලත් එක්ක එකට ඉන්න පුළුවන් එතකොට  මම පහුගිය ටිකේ ආසාවෙන් හිටියේ අලුත් ගේ හදලා යාලුවොත් එක්ක සංගීත සාජ්ජ දාන්න. මට ඒක මිස් වෙනවා.  ඒත් අරෙහෙ ගිහින් මම ගෙයක් ගන්නවා".

මට බොහෝ වැඩිමහලු මුත් තරුණයෙකුටත් වඩා ජීවිතය දෙස බලාපොරූත්තු තබාගෙන සතුටින් සිටි මගේ මිත්‍රයා අන්තිමේ රට හැර ගියේ ඔහොමය .

එත් ඔහු කවදා හෝ ලංකාවේ ගෙයක් හදන්වාමයි කියන සිහිනයද යම්තාක් දුරකට සාක්සාත්   කර ගත්තේය .
ඒ මීට වසර 30කට පෙර තම කන්තෝරුවේ සේවය කළ පියන්වරයා තාමත් ගෙයක් හදාගෙන නැති බව ආරංචි වී ඔහු සොයාගෙන ගොස් ලස්සන පොඩි ගෙයක් හදා දීමෙනි .

ගෙදර හා ලෝකය සම්බන්ද වී ජීවිතය ගලාගෙන යන්නේ ඔහොමය. ඒ අතරේ යළි යළිත් ප්‍රත්‍යක්ෂ වෙනවා  අපට අයිති තෑගී හා අයිති නැති තෑගී කියල වර්ග දෙකක් තියෙන වග.


Photo Source :  releasesoon.com