Friday, October 31, 2014

හිතවත් මහැදුරුතුමා වෙත




මේ මා දැනට ඉන්නා හෝ හිටපු සරසවි මහාචාර්යවරයකුට ලියන පළමු ලියුමයි  


මහාචාර්ය විතානගේ මැති තුමා
හිටපු භූ විද්‍යා මහාචාර්ය /හිටපු මණ්ඩපාධිපති
පේරාදෙණිය සරසවිය


හිතවත් මහැදුරුතුමා වෙත


ඔබතුමාට මේ ලිපිය ලියන්නේ සතියක් ඇතුළත ඔබව තුන් වතාවක් මට මතක් වූනු නිසයි. පහුගිය සතියේ කඳුකරයේ  ඉන්නා මගේ සොයුරියකට කතා කරද්දී ඇය  කිව්වේ  සති ගානක් තිස්සේ වහින අනෝරා වැස්ස නිසා ඇය බියෙන් තැතිගෙන සිටින බව. ඇය වැඩිපුරම බය වී සිටින්නේ කොයි වෙලේ පස් කණ්ඩියක් ඉහට උඩින් කඩා පාත් වේවිද කියල.


එතකොට තමයි  මෑත කාලයේ මුල්වරට මට ඔබතුමා මතක් වුනේ. 1990 අවුරුද්දේ දවසක පළමු වසරේ සරසවි සිසුවෙක් වෙච්ච මම විද්‍යා පත්තරේකට නාය යෑම් ගැන ලිපියක් ලියන්නට ඔබතුමා  මුණ ගැසෙන්න ආවා මතකද?. නාය යාමේ අවදානම ගැනත් පදිංචියට සුදුසු නුසුදුසු තැන් ගැන ජාතික ප්‍රත්පිපත්තියක් තියෙන්නට වුවමනා බවත් එදා කීවත් ඔබ වැඩිපුරම කතා කලේ මහා මහවැලි ජලාශ නිසා ඇති වනන්නට ඉඩ තිබෙන අවධානම් ගැනයි. කඳුකරයේ ගැඹුරු ජලාශ නිසා සුළු භූ චලන පවා ඇති වෙන්නට පුළුවන් වග ඔබ එදා කිව්වා .නිරන්තරයෙන්  ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනෑ  වග ඔබ කීවා.


ඔබ එදා කී දේවල් අපේ පත්තරේ මුල පිටුවෙන් විතරක්  නෙවෙයි කතුවැකියෙන්ද , උලුප්පා පෙන්නුවේ ඒ නිසයි. දැන් ඒ ගැන මොනවා වෙනවාද කියා දන්නේ නෑ.


රක්ෂිත වන්නාන්තරවලට අමතරව කඳුකරේ විශේෂයෙන් තියෙන්නට ඕනෑ රිසර්වේෂන් ඉඩම් ගැන ඔබ එදා කියද්දී මට මතක් වුනා ඉස්සර අපේ ගමේ තිබ්බ රිසවේෂන් ඉඩම් ගැන. දිය උල්පත් , කඳුරු වගේම වගුරුබිම්  අහලකවත් ගෙයක් දොරක් ගොවිතැනක් කරන්න තියා ගහක්වත් කපන්න කවුරුවත් ලැස්ති වුන් නෑ . නා ඉරි කියලා තැන් තිබ්බා. කවුරුත් ඒ ඉඩම්වලට අත තිබ්බේ නෑ.


ගිය සතියෙම දෙවන වර මට ඔබතුමා  මතක් වුනේ ඉස්සර සමනලවැව ව්‍යාපාරයේ කන්තෝරු කාමර තිබ්බ තැන දැන් හදා තිබෙන තක්ෂලාවේ කොල්ලන්ට කෙල්ලන්ට පොලුවලින් තලන හැටි දැක්කම. ඔබතුමාත් 1976 අවුරුද්දේ පේරාදෙණිය සරසවියේ පාලකයාව ඉන්දැද්දී  ඇති වෙච්ච  සිසු අරගලයක් අතිශය දරුණු ලෙස මර්ධනය කරන්න ගියාලු නේද? අහිංසක වීරසුරිය පොලිස් වෙඩි පාරින් මැරුම් කාල තියෙන්නේ එතකොට කියලයි මම අහලා තියෙන්නේ . මොනා උනත් ඒ වැඩෙන් පස්සේ  ඔබේ පට්ටමත් නැති වුනා තිබ්බ ආණ්ඩුවත් පෙරලුනා . ඔබට ඒ කාලේ තිබ්බ දේශපාලන හිතවත්කම නිසා හරියට උඩඟු වෙලා  හිටිය කියලයි අපේ වැඩිහිටියෝනම් කිව්වේ.


අදත් එදා වගේම ගොඩක් උගත්තු බලයක් හම්බුනාම පහේ පන්තියෙනුත් පහළට වැටෙනවා. ඔබතුමානම් පස්සේ වැරදි හදාගෙන ආපහු  රටට වැඩදායක පර්යේෂණවල යෙදුනා. එඩිතර ප්‍රකාශ කරා. මිනිසුන්ගේ හිතේ ඔබ ගැන රිසවේෂන් එකක් තිබ්බ නිසා ඔබට ආයෙම නිසි පිළිගැනීම ලැබූනා .


මතකද සමනල වැව හදන්ට කලින්ම ඔබතුමා  කිව්වා ඔය තෝරාගෙන තියෙන තැන වැරදිය. ජලාශේ හැදුවොත් ලීක් වෙනවා කියලා.පොළොවේ ඇතුලේ තියෙන මාබල් තට්ටු වගේම විශාල පැලුම්  ගැන සඳහන් කරමින්. ඉතිං තාමත් ඒක ලීක්.

91 අවුරුද්දේද කොහෙද  අපේ බැචෙක් එක්ක (දැන් මිනිහ රටේම නමගිය බලශක්ති ලොක්කෙක්) තැපැල් නයින්ටියක  නැගලා  බලන්ගොඩ, කපුගල,  රජවක, දෙහිවින්න පැත්තේ ගම්මාන නමයක ඇවිද්දා. හැම ගමකම ලිං හිඳිලා ඒ වෙනුවට අලුතින් කපාපු  සමනලවැව උමගෙන් එලියට වතුර ගඟක් වගේ ගලනවා. ජලාශේ හදලත් නෑ . පස්සේ අධි පීඩන යන්ත්‍රවලින් කොන්ක්‍රීට්  ඉන්ජෙක්ට් කරලා තමයි ඒ උමගේ කාන්දුව වැහුවේ. එහෙම කරනකොට වටේ පිටේ ගම්වල ලිං  වලිනුයි තැනින් තැන කුඹුරු ලියදිවලිනුයි කොන්ක්‍රීට්  මතු වුනා. මේ මහපොළොවේ හැමතැනම ලොකු කුඩා පැළුම් රාශියක් තියෙන බව මට හොඳටම පැහැදිලි වුනේ එතකොටයි.


ඉතින් ඔය වගේ දෙපාරක්ම ඔබතුමා මතක් වුනු නිසා  මම  යාලුවන්ට පොරොන්දු වුනා ලබන මාසේ ඔබතුමා ගැන ලිපියක් ලියනවා කියල.

ලිපිය දාලා දවස් දෙකක් යන්න වුනේ නෑ මීරියගොල්ලේ අමීරි කතාව හද කම්පා කරද්දී මට ඔබ තුමාව ආයෙමත් පාරක් මතක් වුනා .


අනූ අටේ අවුරුද්දේ  දළදා මාලිගාවට බෝම්බ ගහපු ආරංචිය කණට වැටුණු වෙලාවේම ඔබතුමා පපුව අල්ලාගෙන ඇස් දෙක පියා ගත්තේ නැත්නම් මීරියගොල්ලෝ කතාව අහපු දවසේ අනිවාර්යයෙන්ම ඔබතුමාගේ හදවත දෙදරන්න ඉඩ තිබුනා කියල මට හිතුනා .


මිනිස්සුන්ට පදිංචි වෙන්න හොඳ තැන් නුසුදුසු තැන් ජාතික ප්‍රතිපත්තියකින් තීරණය වෙන්න ඕනි කියලා ඔබ තුමා කිව්වා අපි එක්ක. ඉතින් ඒ ජාතික ප්‍රතිපත්ති පැත්තෙන් අපි අඩියක්වත් ඉස්සරහට ගියේ නෑ කියලයි සමහරු කියන්නේ. අපිත් ඒ කාලේ විද්‍යාවට, තාක්ෂණයට, පරිසරයට, අධ්‍යාපනයට ඒ වගේ ජාතික ප්‍රතිපත්තියක් තියෙන්ට ඕනිය ඒක හදන්නේ කොහොමද කියල සෑහෙන්න කතා කළා .


මට හිතෙන්නේ   මේ දේවල නෙවෙයි රටේ නීතිය, ආරක්ෂාව, ආර්ථිකය වගේ  හැම තැනකම ඔය ජාතික ප්‍රතිපත්තියක් නැතිකමේ අහේනියෙන් දුක් විඳිනවා . ඒවාත් රටේ රිසවේෂන් ඉඩම් කියලයි මට හිතෙන්නේ . ඒවායේ  හිතු හිතු හැටියේ වැටවල් ගහලා පදිංචි වෙන්න පටන් ගත්තොත්, කානු කපලා අර්තාපල් හදන්න පටන් ගත්තොත්, රා තැබෑරුම් දාන්න පටන් ගත්තොත් මීරියගොල්ලේදී  වුනා වගේම අසරණ අහිංසක පොඩි මිනිස්සු ටික යට කරගෙන මුළු රටේම තැන තැන නාය යන්න පුළුවන් නේද කියලා මට හිතුනා.


ඔබ තුමන්ලා මොන වැරැද්ද්ද කරත් මිනිස්සුන්ගේ හිත්වල පොඩි රිසවේෂන් එකක් තියෙනවා, කොයි වෙලාවේ හරි ඇවිත් රටේ රිසවේෂන් ටික පරිස්සම් කරලා දෙයි කියලා. ඒ ගැන අපි තාම බලාපොරොත්තුවෙන්  ඉන්නවා.


මේ 29 වැනිදා තැලී පොඩි වෙච්ච මගේ හිත මම කරදාසියකට මිරිකුවා.මේ තියෙන්නේ ඒක .

සෙල්ලිගේ කරාබුව 
හපුතලේ උකස් කඩයට
බාර දීලා යන්නට 
ආ නිසා මහා පාන්දර 
පණ බේරුනා කිව්වා 
පියාපත් තෙමී වැහැරුණු 
ලැයිමේ උන් සමනලෙක්

කෝවිලේ වහල ගැලවී
මල්පාත්තිත් එක්කම
දියළුම එක්ක ගියවග
කියා ආපිට ඉගිලුනා
ඔලුව ගහගන්න කියලා
හපුතලේ කන්ද මත්තෙම

වෙහෙරගල පාර අයිනේ
දුර ඈත සුව දසුන
පොටෝ අල්ලන මහතුනි
නොබලනු මැනවි දෙස
මල්වැරූ පහල බෑවුම


මේ ගැන ඔබතුමාගේ අදහස ලියලා එව්වොත් බොහොම පින්. ඒ ලියවිල්ල පත්තරේ ගියාම, අලුත්ම පත්තරේකුත්  අරන් අක්බාර් පාලමින් ගොඩවෙලා ඔබතුමා බලල යන්න එන්නම්.

එතෙක් ඔබට සුව නින්දක් 

මම 

තිලක සිත  


Monday, October 27, 2014

මෙය පෝස්ට් එකක් නොවේ


මා මේ පහතින් ලියා ඇති පෝස්ට් එක කිසිසේත් පෝස්ට් එකක් නොවන බව කරුණාවෙන් සලකන්න

දවස් ගණනාවක් තිස්සේ හිතේ හා ගතේ තිබ්බ කුසීත සොබාවය නිසා 'ගෝ' එකක් නැති ජීවිතේ ඔහේ පාවෙමින් තිබ්බා. ඉපැරණි ඉස්කයිප් තාක්ෂනය ඔස්සේ ගෙදර ඇත්තන් බැහැ දැකල පොඩ්ඩක් කතා බහ කලාට පස්සේ ආයෙමත් වැකියුම් එකක් මා ඉදිරියේ ඉතිරි වෙන්නට  පටන් ගත්තත් එය කිසි සේත්ම යමක් කියවන්නට ලියන්නට හිතෙන විදිහේ එකක් වුනේ නෑ .

පොත ලිව්වත් හරි ඉන් මත්තේ හරි හමන් පොස්ට් එකක් ලියන්න බැරි වුනා නේදැයි කල්පනා කරමින් කුස්සියටත් සාලයටත් ඉනික්බිති කාමරයටත් යමින් එමින් තිබු ජීවිතේ අන්තිමට ෆ්‍රිජ් එකේ දොර ළඟ නතර වුනා.  කූල් බියර් එකක් බීලා සින්දුවක් අහනවා ඇරෙන්න  වෙන මොකක්වත් සිද්ද වුනේ නෑ . අදවත්  ඊට වෙනස් හොඳ මිනිහෙක් වෙන්න ඕනිය කියල හිතල  බ්ලොග් කියවගෙන කියවගෙන යනකොට  ආයේ හැමදේම වෙනස් වෙන්න පටන් අර ගත්තා .

ඔන්න මන් පහුගිය ටිකේ ලියන්න පටන් අරන් බාගෙට අත ඇරලා දාපු පොස්ට් වල සමරියක්.

1. නන්දා මාලිනි දෝහා වලට ආවනේ පහුගිය මාසේ . අම්මාවරුනේ ප්‍රසංගය ඇහුව. පරණම සත්‍යයේ ගීතය මතක් වුනා . එදා රෑ මම  චමත්කාරජනක හීනයක් දැක්ක . ඉස් ඉස්සෙල්ලම සත්‍යයේ ගීතය අහන්න ගිය කාලයේ හිතේ වැඩකරපු සුන්දර මතක හා සිද්දි තැවරිච්ච .. ඒකත් දිග කතාවක්  . ඒත් හීනේනම් දවසක් තිස්සේ මාව ප්‍රමෝදයෙන් තිබ්බා. නන්දා මාලිනී එදා ගැයූ  ගීතයක් තමයි  ' මගේ දේශය මගේ ජාතිය මට ලබා දුන් චින්තනය නිවහල් .. . ඉතින් මේ 'නිවහල් චින්තනය' තියෙන්නේ ජනප්‍රවාදවලින් මතුවෙච්ච කල්පිත අතීතයක් උඩ දම දමා  මෝහයෙන් විලම්බීත වෙන්ට  නෙවෙයිය, හැමෝටම සැහැල්ලුවෙන් සමගියෙන් ජීවත් වෙන්න පුළුවන් සුපුෂ්පිත අනාගතයක් උදා කර ගන්නට නේදැයි හිතුනා. අපි ඒ කාලේ හිතුවෙත් එහෙමයි . ඒ ගැන සවිස්තරව ලියන්න ගියොත්.. එක්කෝ පස්සෙම ලියනවා (ඈනුමක් හරිමින් )

2.  මම දෙවනියට ලියන්න ගියේ මේ දවස්වල තැනින් තැන මතු වෙන  සරසවි සිසු අරගල හා ළඟදී  අපේ චෙපාකි මිත්‍රයා මගේ පෝස්ට් එකකට දාපු කොමෙන්ටුවක් නිසා ඇවිස්සෙච්ච 1976 වීරසුරිය ඝාතනයටත් සම්බන්ධ කතාවක්. ඒත් මම වැඩිපුරම ලියන්න උත්සහ කලේ වීරසුරිය සිසුවා ගැන නෙවෙයි ඒ කාලේ හිටි මණ්ඩපාධිපති  මහාචාර්ය පී ඩබ්ලිව් විතානගේ ගැනයි. අපි පේරාදෙණියට ගොඩවෙන්නේ වීරසුරිය මියගිහිල්ල අවුරුදු දහයකටත් පස්සේ. වීරසුරිය වෙනුවට අපිට හමුවෙන්නේ මහාචාර්ය විතානගේ.

3. මේ රටේ විද්‍යා හා තාක්ෂනය වෙනුවෙන් ආයෙමත් මොනවා හරි ලියන්ට ඕනි කියලාත් බ්ලොග් පෝස්ට් ටිකකින්ම පටන් ගන්දෝයි කියලත් හිතුනා. මීට අවුරුදු විසිපහකට කලින් 'මහා පාරේ කතාව ලියමින් 'ලංකාවට මාර්ග ප්‍රතිපත්තියක් සකස් විය යුතුයි කියල කතා බහක් ඇති කරමින් ... එක්කො ඒ ගැන පස්සේ කතා කරමු. ඒත් තිලක සිත පොත දොරට වඩින දවසේ මාධ්‍යවේදී අසෝක ඩයස් කිව්වේ 'ලංකාවේ මාර්ග ප්‍රතිපත්තිය' ගැන  1989 වෙනකොට ඒ මට්ටම්න් ජාතික මාද්දියක කතාබහ කරලා තිබ්බේ නෑ වගේ මතකයි කියල .නොදන්නා කාලේ ලිව්වාට ඔව්වා දැන් ලියන්න මට තියෙන සුදුසුකම මොකක්ද කියලත් හිතෙනවා වෙලාවකට.

4. පෑලියගොඩ ඉංජිනේරු සංස්ථාවේ හිටපු අපුරු මැසෙන්ජර් කෙනෙක් වෙච්ච තෝමස්  ගැනත් ඔලියමුල්ලේ පෙට්ටිකඩේ හිටි බට්ටි ගැනත් පොස්ට් එකක් ලියන්න පටන් ගත්ත. ඒකත් මග නැවතුනා .අපේ කන්තෝරුවේ සිටි වයසක කොල්ලන් හවසට හවසට බට්ටිගේ කඩේට ගොස් තොලකට පිහිදාමින් උම්බලකඩ කෑල්ලක් හපමින් ආපසු එන වරුණ ගැනත් ලියන්න හිතුනා.

5. තව රසවත් කතාවක් තමයි මම මස් රොටියක්  ඉල්ලලා පාර දිගේ හැතැම්ම දෙකක් අඬ අඬා ගිය එක . මේ සිද්දිය මතක් වුනේ  නිශ්ශංක විජේමාන්නගේ 'තාරා මගේ දෙව් දුව' කියවද්දී හමු වෙච්ච බෝනික්කෙකු ඉල්ලා හඬන දැරියගේ කතාව නිසා .

6. වැඩබිම් කන්තෝරුවේදී මට හමු වූ ටිබෙට් ජාතික තරුණියකගේ දේශාටන සටහන් හා ඇයගේ පවුල් සංස්ථාවේ රස කතා හා  දුක හිතෙන කතා ඇතුලත් බරපතල පෝස්ට් එකකුත් මම එහෙන් මෙහෙන් ලියන්න පටන් ගත්ත.

ඉතින් මේවා ටික ටික හෙමිහිට ලියන්නට ලබන මාසයේ හිතාගෙන ඉන්නවා .එතකොට ලබන මාසයට පෝස්ට් හයක්.  හැබැයි මේ සටහනත් නොලීවානම්  මේ මාසය ලැයිස්තු ගත වෙන්නේ එකම එක පොස්ටුවක් ලියු මාසය හැටියට.
බ්ලොග් එක පාලුවට යෑම වලක්වා ගැනීමට ලීවා මිස මෙයද පොස්ට් එකක් නොවන්නේ ඒ හින්දයි.

( මේ අස්සෙම පොත් ආරංචි දෙකක්ද  කියන්න තියෙනවා . සරල බ්ලොග් ලිවීම ඉක්මවා ගොස් කාලීන සමාජ මෙහෙවරක් කරන සහෝදර බ්ලොග් ලියන්නියක් වන බෝධිනී සමරතුංගගේ   'අනිත් කොන' පොත ගැන කතා බහක්  මේ 31 වැනිදා පැවැත්වෙනවා . ඊට අමතරව 'අනිත් කොන පොත' සහ 'තිලක සිත' යන පොත් දෙකම www.easyhome.lk  ඔස්සේ ලංකාවේ ඇතුලත ඕනිම තැනක සිට ඔන්ලයින් මිලදී ගැනීමේ පහසුව සලසා  තියෙනවා. ඉදිරියේදී සහෝදර බ්ලොග් මිතුරු මිතුරියන්ගේ පොත් සාමුහික වැඩ පිළිවෙලක් යටතේ අලෙවි  කර ගන්නත් අපි කතා බහ කරමින් යනවා. )

චිත්‍රය : ඔවිනි

Sunday, October 12, 2014

වේවැල් කසාය හා සඳුදා අක්කා



ගත් පාඩම්වලින් වැඩ ගැනීම හා පෙර සුදානම මා කුඩා කල සිටම හුරු වී  සිටි හොඳ පුරුදු දෙකකි . මේ අතුරු කතාව ඊට සාක්කි කියනු ඇත.
*****
දඬුවම් හා දැඩි දඬුවම් ගැන ළමා මනෝ විද්‍යාව ආශ්‍රිත කතා බහකට යාමට මේ වෙලාව නොවෙයි .

මාතර ලාල් මට කිව්වේ ඔහු කුඩා කාලයේදී ඉස්කෝලේ ලොකු මහත්තයා කෝටුවක් අතේ තියාගෙන හැන්දෑ වෙද්දී  ගම වටේ රවුමක් යන බවයි. පාරේ රණ්ඩු කරන කොල්ලන් හා අවදානම් ගස් උඩ  නගින කොල්ලන් හමුවුවහොත් තැන නොතැන නොබලා කෝටු පාර දෙන බවය.

නේපාල ජාතික මගේ යෙහෙළියක් කිව්වේ ඔවුන්ගේ තාත්තාද ගමේ ඕනිම ළමයෙක් වැරද්දක් කරන්න්නේනම් කෝටුවකින් තලන්නට පුරුදු වී සිටි බවයි.

ඒත් දියුණු ලෝකයේ එසේ කරන්නට බැරිය. එහෙදීනම් ළමයෙකුට දඬුවම් කිරීම යනු හිරේ ලගින්නට වෙන වැඩකි. බටහිර රටක වෙසෙන මගේ මිතුරෙක් මට කිව්වේ හදන්නට බැරි තරම් මුරණ්ඩු තම පුත්‍රයාට බිරිඳ බනින්නේ මෙසේ කියමින් බවයි.
'යමන්කෝ ලංකාවට. කටුනායකින් බැහැපු ගමන් මම උඹව හම ගහනවා! '

ප්‍රසිද්දියේ ලජ්ජාවට පත් උනොත් හෝ කවුරුවත් වැඩිපුර අවවාද කලොත් ගෙදර හැර දමා යන්නට සැරසෙන දිවි නහ ගන්නට හදන සමහර දරුවන් දකිද්දී  ' සඳුදා අක්කා' වැනි අයට තිබ්බේ කොහොම හිතක්ද කියා මට සිතෙයි.

මීට අවුරුදු තිස් පහකට විතර ඉස්සර සඳුදා දවසක උදේ ඉස්කෝලේ ඇසෙම්බ්ලි එකේ මහා අමුතු වැඩක් සිද්ද වුනේය. විදුහල්පති තුමා ලව් ලේටර් එකක් කියෙව්වේය .

' මම ඔයාව ඉස්සෙල්ලම දැක්කේ සඳුදා දවසක
ඔයා මගේත් එක්ක ඉස්සෙල්ලම කතා කලෙත් සඳුදා දවසක
ඔයා මට ඉස්සෙල්ලම ලියුමක්  දුන්නෙත් සඳුදා දවසක
මම ඔයාට මේ පළවෙනි ලියුම ලියන්නෙත් සඳුදා දවසක'

මෙය හඬ නගා කියවූ විදුහල්පතිතුමා ලොකු පන්තියක සිටි කොල්ලෙක් හා කෙල්ලෙක් තමන් අසලට ගෙන්වා ගත්තේය.

'එතකොට හැම දේම වෙලා තියෙන්නේ සඳුදා දවසක නේද ?

දැනගනිල්ලා මම උඹල දෙන්න හම ගහන්නෙත් සඳුදා දවසක' කියමින් දෙදෙනාටම මහා ප්‍රසිද්දියේ වේවැල් පහර කීපයක්  එල්ල කළේය.

මේ සිද්දියෙන් පසු පත්තරේ  වැටෙන අලකලංචියක්  නොවුනේ කවුරුවත් මේ වගේ දේවල් මහා බරපතලේට නොගත් නිසාය. සිදු වුයේ අර ඉහළ පන්තියේ අක්කාට 'සඳුදා අක්කා' කියා කාඩ් එකක් වැදීම පමණය. කවුරුත් ඒ නම කියා කොලොප්පන් කරනවා  ඇසුනොත් ඇයත් ඔවුන් සමග සිනා සුනාය. .

( ප්‍රසිද්දියේ දරුවන් ලැජ්ජාවට පත්කිරීම හා ළමයින්ට දඬුවම් කිරීම නොකළ යුතු බව මගේ අදහසයි. අනෙක් අතට දරුවන්ගේ හිත්ද මීට වඩා ශක්තිමත් කරවියයුතු බව කියන්නට මෙය ලියමි)

මේ විදුහල්පතිවරයාම තවත් දවසක් අපේ පන්තියේ හිටි 33 දෙනෙකුට තට්ටම් වල පළු  මතුවන තුරු වේවැල් කසාය දුන්නේය. පාසලට ආ ප්‍රභූවරයෙක් සමග විදුහල්පතිතුමා පාසලේ අසිරිය පෙන්වමින් ඇවිද යද්දී අපේ පන්තියෙන් ඇසුණු අශෝබන හු හඬක් නිසා ඒ ගුටි පුජාව ලැබිණි.

ප්‍රභූවරයා නික්ම  ගියාට පසු දිග වේවැල් දෙකක්ම අතින් ගෙන රතු කරගත් මුහුණින් අපේ පන්තියට කඩා වැදුණු ලොකු සර්  ' කෝ කියනවා බලන්න හු කිව්වේ කව්ද කියල , නැත්නම් ඔක්කොටොම ගුටි  කන්න වෙනවා' කියා පන්තිය දෙවනත් කළේය .
ම්හ්! එකෙක්වත් කියන්නේ නැත.

ඉතින් ඔහු මොනවා කරන්නද? එක එකා ගෙන්වා ගුරු  මේසය දෑතින්ම අලලා  ගන්නැයි  කියා තට්ටමට  අතේ හිරි යනතුරු වේවැලෙන් තඩි බෑවේය. සමහරුන් පළමු පහර වදිද්දීම අඬන්නට පටන් ගත්  අතර සමහරු ගුටි කා ගොස් පුටුවේ වාඩි වෙන්නට යද්දී දැනුනු ගිණි කන වේදනාව නිසාය හඬා වටුනෝය. විදුලි සැරයක් වදුනාක් මෙන් පුටුවෙන් නැගී හිටි සමහරෙක් පස්ස අත  ගගා හිටගෙනම ඇඬුවෝය .

ඒත් අපේ මෙත්තා හෙවත්  මෙත්සිරි එක කඳුළක් හෙළුවේ නැත . ඒ උගේ චිත්ත ශක්තිය නිසා නොව ඔහු ඇඳගෙන හිටි කලිසමේ ශක්තිය නිසාය. ඒ දවස්වල ඉතා ඝනකම ඇති රෙද්දකින් වෙළඳපලට ආ බේල් කලිසමක් ඔහු හැඳ සිටියේය .ඔහුගේ තට්ටමට වේවැලෙන් තලන විට දවස් ගානකින් සෝදා නොතිබුණු කලිසමේ තිබු දුවිලි හා රටහුණු කුඩු දුමාරයක් සේ විසිරී  ගියේය.මේ අසිරිය බල බලා සිටි අපට පසුපසින් දැනුණු  වේදනාව අමතකව ගොස් සිනහ ආවේය .

මේ දුර්දාන්ත සිද්දිය හමුවේත් මගේ සිතට නැගුණු  සිතුවිල්ල වුයේ ගන්න ඕනේ මේ වගේ බේල් කලිසමක් කියලාය .

ඉන් සතියක් දෙකක් අවෑමෙන් බණ්ඩාරවෙල පොලේ ආ දවසක අම්මාට පෙරැත්ත කර බේල් කලිසමක් ලබා ගන්නට මටද හැකි විය.

ටික කලක් යනතුරු මගේ ප්‍රියතම ගමන් කලිසම වුයේ බේල් කොට කලිසමයි. අපිට ගෙදරට අඳින්නට පුංචි සරම් පොඩි තිබුනේය .

ඔය කාලයේම මට උගත් පාඩම්වලින් වැඩ ගන්නට ඉඩක්  ලැබුණි.

අපට යාබද ගම්මානයට යන්නට තිබුනේ කුඩා ඔයකින් එතෙර වීලාය. එගමට බස් එන්නේ නැත එනිසා එහි වැසියෝ නගරයට යන්නට දිය පාර තරණය කොට අපේ ගමට පැමිණ බස් එකට ගොඩ විය යුතුය. මේ ගමේ සිටි තාත්තාගේ හිතවතෙක් නගරයේ කන්තෝරුවක රාජකාරී කළේය . ඔහුට බයිසිකලයක් තිබිණි.

බයිසිකලය ගමට ගෙනියන්නට පාරක් නැත . ඒ නිසා බයිසිකලය නතර කර තබන්නේ අපේ ගෙදරය .
බයිසිකලයට ගාන්චුවක්  දමා යතුරක් දමා යන්නට ඔහු අමතක නොකළේය. එසේ කරන්නට එකම හේතුව මාය. මගේ ගජමිතුරු සුනිමල් සහ මම කෙසේ හෝ මේ බයිසිකලය පදින හැටියක්  ගැන සිහින මැව්වෙමු.

එක්තරා සෙනුරාදා දවසක සුනිමල් තඩි සුට් කේස් යතුරක් හොයාගෙන අපේ ගෙදර ආවේය. ගෙදර ඇත්තෝ එකෙල මෙකෙල වෙනතුරු බලා සිට අපි සැලසුම ක්‍රියාත්මක කළෙමු.
හරි යතුර ඇතුළට ගියා. ඒත් තදයි . කරකවමු. තව හයියෙන් . ම්ම්ම්ම් කරුමෙක මහත !
යතුරෙන් කෑල්ලක් සිදුරේය. ඔලුව එලියේය. මොනතරම්  උත්සහ කළද යතුරු කැබැල්ල එලියට ගන්නට අපි දෙන්නට බැරි විය.

හොර පුසන් සේ එතැනින් මාරු වුණු අපි  කල්පනා කළේ සඳුදාට වැඩේ මාට්ටු වූ විට කරන්නේ මොකක්ද කියලාය.
සඳුදාට එලිය වැටුනේය. තාත්තාගේ හිතවතා යතුර දමා බයිසිකල් ලොක් එක අරින්නට යද්දී වැඩේ පත්තු විය. ලොක් එකේ හිරවූ යතුරු කැබැල්ල නිසා ඔහුටද එදා වැඩට යන්නට වුයේ පයින්මය

එදා හවස තිබ්බේ මට දැඩි දඬුවම් පමුණුවන අවස්ථාවට මුහුණ දෙන්නටය.

තඩිමිරහ කෝටුවක්  කඩාගෙන හොඳින් සුදානම් කරගෙන  තාත්තා පිළිකන්නට මා කැඳවීය. මා දඬුවම් විඳින හැටි  බලන්නට ගෙදර අයට අමතරව තවත් කවුදෝ රැස්ව සිටියහ .
අම්මා තරමක් ශෝකයෙන් මුත් මේ කරපු නොසන්ඩාල වැඩේට මට කෝටු පාරක් දිය යුතුය යන බව පෙන්වන මුහුණින්ම සිටියාය .   කණ්ඩියක්‌  මත මා හිටවූ තාත්තා මගේ එක අතකින් අල්ලාගෙන අනිත් අතින් හැකි වෙර යොදා තට්ටමට කෝටු පාර දෙයි. වෙනදා මර හඬ තලමින් තාත්තාගේ අතේ එල්ලෙන මම එදා තාත්තා ගහන ගහන පාරට ඔලොක්කු සිනාවක් පෑම කාගේත් විමතියට ලක් වුණි.

තාත්තාගේ අත රිදෙන්නට ඇත. ඔහුගේ කේන්තිය නිවුණු පසු මගේ අත නිදහස් කළේය. මදක් ඉදිරියට ගිය මම සරම් පොඩිය කඩා දමා දිව ගියෙමි. සරමට යටින් මා ඇඳ සිටි තඩි බේල් කලිසම දුටු කවුරුත් පාහේ හිනාවෙන්නට පටන් ගත් අතර මට වඩාත් උස් හඬින් ඇහුනේ තාත්තා හිනා වෙන හඬයි .

උගත් පාඩම්වලින් වැඩ ගැනීම හා පෙර සුදානම මා කුඩා කල සිටම  ප්‍රගුණ කලේ ඒ ආකාරයෙනි.