වල , සොක හා ගැට්ට
කියන්නේ පේරාදෙණියේ සරසවි ජීවිතය සුන්දර කරපු වචන තුනක් . හන්තාන පාමුල මහවැලි නිම්නයේ
තිබ්බේ ප්‍රේමය හා චමත්කාරය විතරක් නෙවෙයි. පේරාදෙනි සානුවෙන් අහසට නැගිලා ලෝකය
දිහා බලන්න පුළුවන් කවුළු කීපයකුත් තිබ්බා. ෆිල්ම් සොක ඒවායින් එකක් කියලයි මට හිතෙන්නේ
වල කිව්වේ සරච්චන්ද්‍ර
එළිමහන් රංග පීඨයට , ගැට්ට කිව්වේ කඳු නගින්න්නගේ හෙවත් ගවේෂකයන්ගේ
සංගමය. University Film Society හෙවත් චිත්‍රපට සංගමය
තමයි අපේ ආදරණීය සොක.
ඒත් 89 අවුරුද්දේ වල, සොක හා ගැට්ට අකර්මන්‍ය වෙලා තිබ්බා . පන්ති වර්ජන , භීෂණය, අතුරුදහන් වීම හා මාස ගණන් සරසවිය වසා තැබීම වගේ
ඒවා නිසා.
ඒ අඳුරු කාල පරිච්චේදෙන්
පස්සේ හන්තාන අඩවියට ආයෙමත් සෞන්දර්යය රැගෙන එන්න වෑයම් කරපු ගුරු සිසු නඩයේ මමත් සාමාජිකයෙක් වුණු බව සතුටින් මතක් කරනවා.
1990 අවුරුද්දේ අප්‍රේල්
තමයි අපි පළමු අවුරුද්දේ විබාගය ලිව්වේ . ඊට පස්සේ එළඹුණු අධ්‍යයන වාරෙදි
කවුදෝ ඉල්ලගෙන ආපු A passage to India චිත්‍රපටයේ VHS කැසට් එකක් අපට හම්බුනා . EM පොස්ටර්ගේ
නවකතාවක් ඇසුරෙන් ඩේව්ඩ් ලීන් හදාපු සුවිශේෂ චිත්‍රපටයක් තමයි A Passage to India.
ලංකාවේ රුප ගත කරපු Bridge on the river Kwai චිත්‍රපටය නිර්මාණය කලෙත් ඔය ඩේවිඩ් ලීන්ම තමයි.
ලංකාවේ රුප ගත කරපු Bridge on the river Kwai චිත්‍රපටය නිර්මාණය කලෙත් ඔය ඩේවිඩ් ලීන්ම තමයි.
අපි කීප දෙනෙක් කතා වුනා
කොහොම හරි මේ චිත්‍රපටිය හැමෝටම බලන්න පුළුවන් තැනක පෙන්නමු කියල .
ඉංජිනේරු පීඨේ මීඩියා යුනිට්
එකට ගිහින් එහි තිබ්බ මල්ටිමීඩියා ප්‍රෝජෙක්ටරේ
ඉල්ලගත්තා .ලංකාවට ආපු මුල්ම විද්‍යුත් ප්‍රක්ෂේපන යන්තරේ ඒක වෙන්ටත් පුළුවන්. වර්ණ තුන
නිකුත් කරන වෙන වෙනම ටෝච්
තුනක් තිබ්බා . හරි විශාලයි .
අපි කොහොමින් කොහොම හරි
චිත්‍රපටය පෙන්නුවා පොඩි ලෙක්චර් රුම් එකක . හිතුවට වඩා වැඩි සෙනගක් ඇවිත් හිටියා .
පළමු VHS ච්ත්‍රපටය පෙන්නුවේ
මිතුරු පිරිසක් එක්කාසු වෙලා. ඒ කැසට් එක සොයාගෙන ආපු මිතුරාම දෙවනවරට සත්‍යජිත්
රායිගේ අපූ ත්‍රිත්වය VHS කැසට්පට තුනම නුවර ඉන්දියානු මහකොමසාරිස් කන්තෝරුවෙන් ඉල්ලගෙන ආවා. අපි පොඩි ප්‍රචාරයක් එහෙම
යවලා ඉංජිනේරු පීඨයේ තිබ්බ ලොකුම ශාලාව
වෙච්ච ඊ ඕ ඊ පෙරෙයිරා තියටරේ නැත්නම් සුඛාවතියේ මේ චිත්‍රපට තුන පෙන්නන්න කටයුතු
කළා. මට තමයි හැඳින්වීම කරන්න පැවරුනේ . ඒකට සුදානම් වෙන්න පුස්තකාලය පීරමින් විභුති
බැනර්ජි ගැනයි සත්‍යජිත් රායි ගැනයි
කියෙව්වා මතකයි.
අපි බලාපොරෝත්තු උනාට වඩා වැඩි සෙනගක් ගඟෙන් එහා පැත්තේ ෆැකල්ටිවලිමුත් ඇවිත් හිටියා . දැහැන්ගතවෙලා
වගේ පතෙර් පංචාලි, අපු සංසාර්, හා අපරාජිතෝ කුඩා ස්ක්‍රීන් එකින් බලන්න දවස්
තුනක් තිස්සේ ඇදී ආපු සෙනග පෙන්නුම් කළේ සාහිත්‍ය කලාවට පේරාදෙණියේ ඒ වෙනකොට තිබ්බ පිපාසය.
කාලයක් විශ්ව විද්‍යාලේ ජනප්‍රියම කලා සංගමයක් වෙච්ච ෆිල්ම් සොක හරහා AT එක හෙවත් කලාගාරයට යලි ගොඩ වෙන්න ඇත්නම් කියල ඒ පැත්තෙන් යන එන හැම වාරේම අපට හිතුනා .
ටික දවසකට පස්සේ චිත්‍රපට සංගමයේ රැස්වීමක් . සයන්ස් ෆැකල්ටියේ කැන්ටිමේදී තිබ්බ. 91-92 අවුරුද්ද වෙනුවෙන් නිලධාරී මණ්ඩලයක් පත් වුනා . සබාපති මැතිව් මම සම ලේකම්.
අපේ ගුරු උපදේශකයන් උනේ ගාමිණී හත්තොට්ටුවගම මහත්තයයි , මාරි සවරිමුත්තු
මහත්මියයි. මේ දෙදෙනාම සිනමාව ගැන පුළුල්
දැනුමක් තිබ්බ ඉංග්‍රීසි සාහිත්‍යය හොඳින්
හදාරා සිටි ආචාර්ය මණ්ඩල සාමාජිකයන්.
Gamini Haththottuwogama , Photo from Wikipedia |
සංගමේ යලි ජීවමාන කරලා ගත්තයින් පස්සේ මුලින්ම අපි කළේ ලංකාවේ තිබ්බ
තානාපති කාර්යාල සියල්ලට ලියුම් දැමීම . අපේ සංගමේ ගැන විස්තර කරලා ච්ත්‍රපට තියෙනවනම් ණයට ලබා දෙන්න කියල ඉල්ලුවා . බොහෝ ඒවායින් උත්තර ලැබුනා. අපි ලෙක්චර්ස් කට්
කරගෙන කොළඹ ගිහින් චිත්‍රපට උස්සගෙන අවා. බොහෝ වෙලාවට චිත්‍රපටි රෝල තිබ්බ පෙට්ටි එම්බසියේ ඉඳන් කරේ තියාගෙන
බස් හෝල්ට් එකට උස්සාගෙන ආවා .
අවුරුද්දකට චිත්‍රපටි
24ක් පෙන්නන කොටු 24ක් තිබ්බ කාඩ් එකක් තමයි රුපියල් විස්සකට වික්කේ . ඒත් මේ
කියන අවුරුද්දේ චිත්‍රපටි තිස් ගානක් පෙන්නන්න අපට පුළුවන් වුනා . ඒවා
නිකම්ම ඒවා නෙවෙයි ලෝකේ විවිධ රටවල උසස් ගනයේ සිනමා කෘති.
පොඩි කාලේ අපට මේ ලෝකේ
තිබ්බ විශ්වකර්ම තැනක් වුනේ සිනිමා හෝල් එක. රීගල් එකේ වැඩ කරපු මිනිස්සුන්ටත් මාර ගවුරවයක් හිතේ තිබ්බේ .
ඒත් ෆිල්ම් සොක කරන කාලේ අපිටම කියල ෆිල්ම් හෝල් එකක් තිබ්බා . ඒ පේරාදෙණියේ සරසවි
කලාගාරය හෙවත් AT ( Arts
Theater) එක . මේකේ ඇතුලේ එළියේ හැම තැනම අපේම තමයි .
ෆිල්ම් එකක් පෙන්නනන
තීරණය කරාම ඒ ගැන විස්තරේ සොකේ මුද්‍රාව
සහිත A3 කොලේක ලස්සනට ලියනවා චිත්‍රපටියේ
නමයි දිනයයි වෙලාවයි. මේක හැම හොස්ටල් එකකම , කැන්ටින් එකකම ඇලවෙනවා. AT ශාලාව
පිරෙන්න සෙනග එනවා. මේ ලස්සන පෝස්ටරේ අත් අකුරෙන් ඇන්දේ අපේ මේඩ්ඩො සෙට් එක, මහේෂ්, නානා
හා කුමුදු ඇතුළු පිරිස .
දවසක් මෙඩ්ඩන්ට විබාග
තදවෙච්ච වෙලාවක ෆිල්ම් සොකේ පෙන්නන්න හිටියේ La Ronde කියන ප්‍රංශ චිත්‍රපටිය . ඒකෙ පෝස්ටරේ අඳින්න එකෙක් නෑ . පස්සේ මමම මගේ අවලස්සන අත් අකුරින් ඇන්දා පාට පෑනක් අරන් . දැන් මේ පෝස්ටරේ
ඉස්ස්සෙල්ලම අක්බාර් කැන්ට්මේ අලවලා ඊට
පස්සේ ගියේ WUS කැන්ටිමට . කළු ආරි ඇතුළු කීප දෙනෙක් මගෙත් එක්ක හිටියා .
උන්ගේ අත් අකුරු මගේ ඒවාටත් වඩා කැතයි . . මේ වෙලාවේ ප්‍රධාන පුස්තකාලේ පාඩම්
කරමින් හිටි මහේෂ් ඇතුළු මේඩ්ඩන් පිරිස තේ බොන්න ඇවිත් හිටියා . ඔවුන් මොහොතක් අලුතින්ම අලවපු පෝස්ටරය දිහා බලා හිටියා .ඒ බැල්මෙන් පෝස්ටරයේ නිමාව ගැන අදහසක් කියවුනා
“අනේ මචන් අපි මේක ලස්සනටම
කරමු .මට කොළ ටික ගෙනැල්ල දීපන්” මහේෂ් කිව්වා. ඊට පස්සේ උන් ටික විබාගෙට පාඩම් කරන එක නවත්තලා ගිහින් පෝස්ටර් ටික
ලස්සනට ඇඳලා හෝල් ඔක්කොගෙම අලවලත් තිබ්බා.
කලාගාරේ තිබ්බේ එක ප්‍රෝජෙක්ටරයයි
. ඒකේ විනාඩි පහළවෙන් පහළවට චිත්‍රපටය
නවතිනවා. රීල් එක මාරු කරනකන් ඉන්ටවල්
එකක් දෙනවා. යන්ත්‍ර ක්‍රියාකරු වුනේ මෙන්ඩිස්
අයියා.සුදෝ සුදු නැෂනල් එකක් ඇඳගෙන උඩ
පේරාදෙණියේ සරසවි සේවක නිල නිවාසේ ඉඳන් වැඩට ආපු මෙන්ඩිස් අයියා හොඳ කලාකාමියෙක්.
හැම චිත්‍රපටියක්ම පෙන්නන්න කලින් ප්‍රොජෙක්ටර් රුම් එකේ ගල් අරක්කු බාගයක් තියලා එන
සම්ප්‍රදායක් තිබ්බා මෙන්ඩිස් අයියා ඒකෙන්
ටික ටික සප්පායම් වෙවී අර පරණ ප්‍රක්ෂේපන යන්ත්‍රය අම්බන් කරගෙන කොහොම හරි චිත්‍රපටිය පෙන්වනවා.
මෙන්ඩිස් අයියා පෙන්ෂන්
ගන්න 1991 අවුරුද්දේ ඔහු වෙනුවෙන් උපහාර
චිත්‍රපටි උළෙලක් තියන්න යෝජනා වුනා . සරසවියක හිටපු සුළු සේවකයෙක් වෙනුවෙන් කරපු
පළමු චිත්‍රපටි උළෙල වෙන්නැති ඒක.
ලංකාවේ නමගිය චිත්‍රපට අධ්‍යක්‍ෂකවරයෙක්ගේ චිත්‍රපට උළෙලක්ද
අපේ කාලේ සංවිධානය කළා . කලකට ඉස්සර පේරාදෙනි
සරසවි චිත්‍රපට සංගමයේ ක්‍රියාකරියකයෙක්
වෙලා හිටි මේ සම්මානනීය අධ්‍යක්ෂකවරයාත් එක්ක චිත්‍රපට උළෙල ගැන කතා කරන්න අනිවත්තේ පිහිටි ඔහුගේ ගෙදරට
ගියේ මායි රත්නපුරේ රන්ජියි . අපව පිළිගත්තේ
අධ්‍යක්ෂකවරයාගේ දයාබර බිරිඳ. ඔහු එදා දුර
පලාතක දේශනයකට ගිහින්. ඒ වනවිට උළෙල ගැන ඔවුන් තරමක් දැනුවත් කරලා තිබ්බ නිසා වැඩේ පහසු වුනා. චාම් සරල
ගෙදරක පුංචි කැබිනෙට්ටුවක් උඩ එහෙන් මෙහන්
අහුරලා තිබ්බ රාජ්‍ය සම්මාන , සරසවි සම්මාන රාශියක් මම දැක්ක.
“මේ වැඩේට මහත්තයා චිත්‍රපටි
හතරක් දෙන්න කැමැත්තෙන් ඉන්නේ. ඒත් එක
චිත්‍රපටියක් කොහෙද කියල හොයා ගන්න බෑ . කොහොම හරි ලැස්ති කරලා තියන්නම්කො”.
ඒ දයාබර ගුරුමව පැවසුවා.
චිත්‍රපට උළෙල ආරම්බ කරන
දවසටත් මේ අධ්‍යක්ෂකවරයාට එන්න බැරි උනා.
උළෙලේ පෙන්නාපු චිත්‍රපටි
තමයි බඹරු ඇවිත්, සොල්දාදු උන්නැහේ හා පාර දිගේ .
---
මතු සම්බන්ධයි
( ගම්ලත්ගේ බඹරු
ඇවිත් විචාරය, ජපන් තානාපති සරසවියට ඒම, Escape to Victory චිත්‍රපටය හා අරම්බක දේශනය ඇතුළු කතන්දර මීළඟ ලිපියෙන් )
දෙවන කොටස
දෙවන කොටස