Sunday, September 20, 2020

විසි අට වෙනි කොටස A - අටවිසි මහල පොත නිකුත් වෙයි

 


(මේ පලවන්නේ අටවිසි මහල නවකතාවේ විසි අට Aවෙනි කොටසයි. මින් පෙර කොටස් සියල්ල මෙතනින් .  මේ  කොටස කියවීමට පෙර කල් වේලා අරගෙන මුල් කොටස් ටික කියවන්නේ නම් වඩා හොඳින් මා ලියු දෙය රස විඳිය හැකි  බව මට විශ්වාසය  )

ලුත වැඩ නිම කල දෙමහල් නිවසේ වහළටත් වඩා අඩි දහයක් ඉහලට නැග්ග  තැන තිබෙන සිමෙන්ති අට්ටාලයේ පසෙකින් විශාල ප්ලාස්ටික් වතුර ටැංකියක් විය අනෙක් පැත්තෙන් කුඩා පුටු දෙකක් හා බෝගන්විලා  පඳුරේ අතු ඉති  බදාගත් අත්වැටකි

මුරුගසන් වරුසාව ඇති දවසක  මිස අනෙක්  සෑම සැන්දෑවක පාහේ  ගෙහිමියා මේ එක් පුටුවක වාඩි වී දෑත් ළයට  බැඳ උජාරු මුහුණින් උතුරු පස වෙරල තීරයේ  පෙනෙන ගොඩනැගිල්ලක් දෙස බලා සිටීම සුලබ දසුනකි . අද  ඔහු අතට පොතක් ලැබී ඇත .  ඒ අටවිසි මහලයි .කතුවරයා පේරාදෙණිය ව්ශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ කථිකාචාර්ය අංජුල සිරිමේඝය . 

පිදුම මෙසේවිය .

" සමබිමක් සොයා වෙහෙසීම අත්හැර   අටවිසි මහල් තන්නන්ට ගල්වැලි අදින අපේ කාලයේ තරුණයන්ට " 

ඒ වචන කියවද්දී  මනෝරන්ජන්ගේ මුහුණේ මදහසක් මැවුනේය . පෙරවදන දුටු පසු  ඒ සිනහව සෝපාහාසය මුසු  එකක් බවට පෙරැලී ඔහුගේ මුහුණේ සෑහෙන වෙලාවක් නොවෙනස්ව  තිබුනේය . 

තමාගේ ඉතාම සමීප අත්දැකීම් මේ පොතට එකතු  කර ඇති බව කතුවරයා ලියා තිබිණි .  භීෂණ සමයේ තහනම් දේශපාලයට යොමු වන්නට කොල්ලන්ට කෙල්ලන්ට ඕනෑ තරම් හේතු කරනා තිබූ  අතර ඒ දේශපාලනය අතහැර පලා යාමට ඊටත් වඩා හේතු තිබිණි . මේ කතාවෙන් කියන්නට උත්සහ කරන්නේ එකී දේශපාලනේ පෝෂණය කර රටින් පලා ගිය තරුණයෙකුට  කලකට පසුව  ඊට ගොදුරුව යම්තමින් දිවි බේරා ගත් ගම්බද  තරුණයෙක්  එකම වැඩබිමකදී හමු වීම ගැනය . ඔවුන්  අලුත් ජීවිතය දෙස බලන ආකාරය යි. අනෙක් අතට ලෝකයේ තවත් කලාප දෙකක උපන්  යුවලක්ද මේ කතාවට මුසු කිරීමෙන් ඒක දේශීය සිතුවිලි වලින් ඔබ්බට පාඨකයා  රැගෙන යාමට උත්සහ කළ බව ඔහු ලියා තිබිණි .

එහි තිබු එක්තරා වැකියක් දෙස මනොරන්ජන් ඇසිපිය නොහෙලා මද වෙලාවක් බලා සිටියේය .

"මේ පොත ලිවීමේදී   චිත්ත  රූප නොවන බොහෝ දෑ මා වෙත සපයාදුන් කුරුළු ජෝඩුව බිම්සර හා නෙතදරාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙමි ".

පරිච්චේද විසි අටක් ලෙස නිමවා තිබු පොතේ මුල් පරිච්චේද සියල්ල ගොඩනගා තිබුනේ මනෝරන්ජන්ගෙන්  දිනපොතේ විස්තර එහා මෙහා කිරීමෙනි . එහෙත් හිතුවාට  වඩා අසේලගේ ගම ගැනත් අසේලගේ සිරගත ජීවිතය ගැනත් ලියා තිබුනේය . 

" ඒකත් එකටම මේ යකා අර පොත නැති වෙන්න ඉස්සෙල්ල අසේලගෙන් සෑහෙන දේවල් අවුස්සලා අරන් තියෙනවා " මනොරන්ජන් සිතුවේය . ඉන්පසු ඔහුවත් නොදැන සිටි අසේලගේ පෙම්වතියන් , අසේලට   හමු වූ සටන්කාමීන් ,  දේශපාලන අවස්ථාවාදීන් හා මිතුරු සිරකරුවන් ගැන ලියා තිබුනේය. ඒවා ප්‍රභන්ධද නැතිනම් සැබෑ ඒවාදැයි සිතන්නට ඔහු නොවෙහෙසුනේය . 

මනෝරන්ජන් ගේ  සැහැල්ලු සිත වෙවුලා ගියේ විසි අටවෙනි පරිච්චේදයට ලං වන විටය එතෙක් වෙලා ඔහු සිතා සිටියේ අම්රිතාගේ දරුවා ගැන රහස පොත ලියු පිරිසට අසු වී නොමැති බවය .දිනපොත නැති වන විට මනෝරන්ජන් පවා  අම්රිතාගේ කතාන්දරයේ එක පැත්තක් නොදැන සිටියේය.  ඒත් ඉන්පසු දිනක  ජීවිතයේ එකම වරක් අම්රිතා තමන් සමග රාත්‍රිය ගතකල ඒ මනරම් හෝටලයේ සඳලුතලයේ සිට ඈත සයුරේ  තරු පිළිබිඹු  හිස දරාගෙන රඟන දිය රල දෙස බලමින් ඔහුට පමණක්ම ඈ කී ඒ කතාව මේ පොතට ආවේ කොහොමද ? කෙසේ වුනත් ඒ කතා කොටසේ රසවත් බව නිසාම ඔහු නැවත කියෙව්වේ ඊට අදාළ සැබෑ නම්ගම් ආදේශ කර ගනිමිනි  . 

අම්රිතා ඩුබායි බලා යාමට ඩිස්පුර් හි ලෝක්ප්‍රියා  ගුවන් තොටට  ප්‍රවේශ වෙමින් සිටියාය ,  ඒ වන විටත් ඇය සිතමින් සිටියේ මනොරන්ජන් ගැනමය.  තමන් අසලින්ම ඉදිරියෙන් ගමන් ගන්නා මිටි හුරු බුහුටි තරුණයා දුටු අම්රිතාගේ සියොළඟ වෙවුලා ගියේය . 

' දෙයියනේ වැන්ග් ඔයා ? " තරුණයා පසුපස හැරුණේය. ඔහුටද දෑස් අදහා ගන්නට බැරි විය . ඉදිරියට ආ හැටියේම ඔහු අම්රිතා වැරෙන් බදා ගත්තේය .  දෙදෙනා වැළඳගත්වනම් සිටිද්දීම මගී පෝලිම ඉදිරියට ඇදී ගියේය .

පොතේ මුල් භාගයේ විස්තර කර නොතිබුණත් ඒ අම්රිතාගේ සෙල්ලක්කාර ලෝකයට ඇතුල් වූ පළමු පෙම්වතාය . සිය නිවස ආසන්නයේ පිහිටා තිබු චීන සමාගමක ලිපිකරුවකු වූ වැන්ග් අම්රිතා නම් යව්වනිය හා මිත්‍රත්වය අරඹන්නේ ඈ සමාජ සේවා කටයුතු කරන NGO එකක තාවකාලිකව රස්සාව කරද්දීය . දත්ත වගයක් ලබා ගැනීමට දෙතුන් දවසක් වැන්ග්ලාගේ වැඩබිමට ගියාට පසු තව වරක් හමු වීමේ වුවමනාව ඔවුන් දෙදෙනා තුලම ඉතිරි වුණේය . ඒ ලෙන්ගතුකම  නිදහසේ අතු ඉතිලා වැඩුනේය. ඒත් හැම දේටම විවෘත අම්රිතාගේ තාත්තා රන්දීබ් මේ  සම්බන්ධයටනම් කොහෙත්ම කැමති  නොවූ අතර "උඹට ඕනිනම්  එංගලන්තේ  හරි අප්‍රිකාවේ  හරි එකෙක් බැඳ ගනින් . හැබැයි චීනේක්නම් එපා" යැයි දැඩි හඬින් කීවේය . මේ ගැටුම දරුණු වූ එක්තරා දවසක රන්දිබ් මග රැක සිට වැන්ග්ට පහර දුන්නේය  . අවසානයේ වැන්ග්ව රස්සාවෙන්  පිටුවහල් කිරීමට ඔහුගේ ලොකු ලොක්කන් පියවර ගත්තේය. එහෙත් අම්රිතා ඒ ප්‍රේමයෙන් ගැලවී ගත නොහැකිව මහා දුක් කන්දරාවක් වින්දාය . ඈට  අහිමි වුනේ වැන්ග් පමණක් නොවේ . කත්මන්ඩු නුවරට ගොස් එතනින්  ටිබෙටය හරහා චීනයට  යාමට ඈ තිළ තිබු සිහිනය බොඳ වී ගියේය . ඒ වගේ ගමනක් කලින් ගිහින් තිබු වැන්ග් ඇයට  ඒ කතාව නගර කෙලවරේ කුඩා කෝපිහලකදී රස කරමින් කියද්දී ඈ සිහින ලෝකයට පිවිසුනාය . "ඒ තමයි මගේ හීනය සතියක් තිස්සේ මග නතර  වෙවී යන ගමන". ඈ තිර ලෙස සිතුවාය . 

අම්රිතා ඩුබායි සිටි මුළු කාලයේම වැන්ග් ගැන කරදර වුනේය . ඈට කිට්ටු  වීමට උත්සහ කල දුසිමක් පමණ වූ පිරිමින් අතරේ  මනොරන්ජන් පිලිබඳ ඈට අමුත්තක් දනුනාය . එහෙත් ඔහු වැන්ග්ට සම කළ නොහැකි වෙනස් ආකාරයක , තැන්පත් මිනිසෙකු වීම ඈට එතරම් අල්ලා ගියේ නැත . මේ අඩුව නොවන්නට හමු වී ටික කලකින් ඈ මනෝරන්ජන්ගේ ඇවිටිලි දෑස දෙස බලා බහ දෙන්නට ඉඩ තිබිණි . 

ඉන්පසු පොතේ සාරවත් ලෙස විස්තර  කර තිබිණතිබුනේ  අම්රිතා හා වැන්ග් අතර යව්වන ප්‍රේමය ඔවුන්ගේ අහඹු වෙන් වීම . වැන්ග් නැවතත් චීනයට  ගොස් විවාහපත් වීම ආදී විස්තරයි. මේ පෙම  මගහැරී ටික කලකින්  ඩුබායි යන්නට සිදු වීමෙන් පසු  අම්රිතාට  එහිදී මොනතරම් තනිකමක් දැනුණත් , නිදහසක් තිබුනත්  තමන්ට ලං වීමට සෑම පැත්තෙන්ම උත්සහ කළ මනෝරන්ජන් වෙත හදවතින් බැඳෙන්නට නොගියේ වැන්ග් ගැන වූ හදට කිඳා බැස තිබු  ආදරය නිසාය . 

කෙසේ වෙතත් එදා අහඹු ලෙස ගුවන් තොටුපලේදී යළි හමු වීමෙන්  පසු සියලු දේ අමතක කර වැන්ග් සමග ටිබෙටය හරහා ලොකු මෝටර් බයිසිකලයක් කුලියට ගෙන  චීනයට  යාමට අම්රිතා කැමති වුනාය . 

ඒ ගමන අතීශයින්  චමත්කාරජනක ලෙස විස්තර කර තිබුනේය . තමන්ට අහිමි වූ පෙම්වතෙකු සමග සතියක් තිස්සේ ජීවත් වීම ගෙදරට බොරු කීම, වීසා හදා ගැනීම , ලොකු මෝටර් බයිසිකලයකට බර මලු පටවා  ගැනීම නේපාලයට යාම , එතැනින් ටිබෙටය හරහා චීනයට ගොඩබිමින් ගිය ගමන ආදී විස්තර සහිත පිටු සියල්ල මනොරන්ජන් කියවාගෙන ගියේ එදා රාත්‍රියේ අම්රිතා සමග හෝටල් සඳලු තලයේදී මේ කතාව මීටත් වඩා සවිස්තරව අසා සිටීමේ ප්‍රීතියද ස්මරණය කරමිනි . 

කෙසේ වෙතත් අම්රිතා චීන ගමනින් පසු ආපසු  නිවෙසට පැමිණීම , වැන්ග් නිසා දරුවෙකු පිළිසිඳ ගැනීම , ඊළඟට ඒ ප්‍රශ්නයට මුහුණ දුන් ආකාරය ලියා තිබුනේ නොසැලකිල්ලෙන් මෙනි . ඒ වුනත්  ටිබෙටය හරහා ගිය ප්‍රේමවන්ත මෙන්ම හිතුවක්කාර  ගමන ගැනවත් , පියෙකු නැති දරුවෙකු ලැබෙන්නට සිටීම ගැනවත් අම්රිතා කිසි ලෙසකින් කම්පා වී  තිබුනේ නැති බවත් ඒ සිද්දි දෙක  ඈ  සිය ජීවිතය සම්පුර්ණ වීමක්  ලෙස කල්පනා  කර තිබූ බවට තමන්ට මතු වූ අදහසම වාගේ පොතේද ලියා තිබීම මනෝරන්ජන් විමතියට පත් කළේය .  

තවත් අවුරුදු දෙකකට පසු අම්රිතා යලි ඩුබායි ආවේ දරුවාගේ හා අබාධිත පියා ඇතුලු පවුලේ නඩත්තුවට මුදල් වුවමනා වූ නිසාය. ඒ ඇවිත් ටික දවසකට  පසු   ඇය පියා නැති දරුවකුගේ මවක් බව මනෝරන්ජන් හා රිචර්ඩ් දෙදෙනාම දැන ගත්හ.   මේ සියල්ල  දැන දැන වුවද මනෝරන්ජන් ඈට දිගටම ප්‍රේම කළේය . ඈ හා දරුවා ආදරයෙන්  භාර ගැනීමට කැමති බව කෙලින්ම කීවේය . එහෙත් අම්රිතා ඒ යෝජනාව ප්‍රතික්ෂේප කළාය. ඈ පසු දිනක කීවේ මනෝරන්ජන් සම්ප්‍රදායික ආසියාතික සිතුවිලි ඇති පුද්ගලයෙක් බවත් එසේ නොවන  බව පෙන්වන්නට කොතෙක් මහන්සි වුනත් වරින් වර සැබෑ පුද්ගලයා මතු වන බවත්ය . මනෝරන්ජන්ට එය පිලි නොගෙන සිටීමට බැරි විය . එහෙත්  අන් පියෙකුගේ දරුවෙක් සමග වුව  අම්රිතාගේ අත ගන්නට  ඇත්නම් තමා  මුල් බැහැගත් චරිතයෙන් ගැලවී නිදහස් වීමට කැමැත්තෙන් සිටියේය . 

 මේ කාලයේදීම රිචර්ඩ් මුල් වරට අම්රිතා තුල ආකර්ශනයක් දුටුවේය . ඔහු ගැහැණුන්  ගැන සිතුවේ ඉතාම නිදහස් හා සෙල්ලක්කාර ආකාරයෙනි . ඔහුගේ සල්ලාල ජීවිතයේ ඔහු සමග කෙටි කාලීනව  විසු චීන , පිලිපීන හා සුදු ජාතික පෙම්වතියන් සමහර දෙනෙක්  ගැන අම්රිතාද දැන සිටියාය. එහෙත් ඔහු හැම විටම අම්රිතාට විනීත හා ගවුරවනීය ලෙස සැලකුවාය . ඈට සියලු උදව් උපකාර කලේ  රන්දිබ් කෙරෙහි වූ  භක්තිමත් මිත්‍රශීලි අදහසිනි .එහෙත්  අම්රිතාගේ පෙරළා පැමිණීමෙන්  පසු ඔහු වෙනස් වන්නට පටන් ගත්තේය . ඔහු පළමු වරට විවාහයක් ගැන හිතුවේය . එක ගැහැණියෙක් සමග පමණ ගෙවන  වැදගත් පවුල් ජීවිතයක් ගැන හිතුවේය . ඒ අනුව ඈ අම්රිතාගෙන් ප්‍රේමය අයැද සිටියේය . අම්රිතා ඊට අකමැති වූ මුත් ඔහු සමග පෙරට වඩා මිත්‍ර වුණාය. සිය ජීවිත කතාව කීවාය . අගේ ජීවිතයේ  ඉතිරි වී ඇති එකම සිහිනය වන කවදා හෝ දියමත පාවෙන   බෝට්ටුවක් නිවෙස කරගෙන දියණියත්  සමග ජීවත් වීමේ උමතු ආශාව ගැනද කීවාය . ඉන් අවුරුද්දකට පසු ඩුබායිහි ව්‍යාපෘතිය නිමවා  ඔවුහු සියල්ලෝ විසිර ගියහ. 

අනූ පහේ අවුරුදේ රිචර්ඩ් ලංකාවේ ප්‍රොජෙක්ට් එකට පත් වී ආ හැටියේම මනෝරන්ජන්  සොයා   තමන් ලඟට ගත්තේය . ඉන්පසු අම්රිතාට ලිව්වේය . ඈ ලංකාවට   එන්නට කැමති බව දැන ගත් ඔහු පස්වනක් ප්‍රීතියෙන් පිනා ගියේය . ඔහු මුලින්ම කළේ බෝට්ටුවක් මුදලට ගෙන එය සියලු පහසුකම් සපිරි  කුඩා නිවෙසක් බවට පෙරලීමය. එහෙත් ඒ නිවෙසේ පදිංචියට අම්රිතා සමග යාමට ඉවසීමෙන් කල් යල් බලමින් සිටියේය . අවසානයේ ඔහුගේ කැමැත්ත ඉටු වුනේය .

මේ සියල්ල කියවා පොත පැත්තකින් තැබූ මනෝරන්ජන් ඈත පෙනෙන අටවිසි මහලේ විදුලි ආලෝකය දෙස සෙනෙහසින් බලා සිටියේය . 

"සමහර ගොඩනැගිලි තියෙනවා පණ තියෙන හුස්ම ගන්න . අටවිසි මහලත් ඒ වගේ එකක්" ඔහු සිතුවේය. 

තමන්ගේ  පසුපසින්  පැමිණ   ගෙල බදා ගන්නා සියුමැලි ගැහැණු  දෑතක් නොතකමින් ඔහු අටවිසි මහල පිහිටි දිශාවම  දෙස බලා සිට ඉන්පසු ඒ දෑත අල්ලා ගත්තේය . 

කුඩා ටීපෝව මත තිබු පොත දෙස බැලු ඇය " ඔයා පොත කියවලා ඉවර කරාද ? " කියා ඕනෑකමින්  ඇසුවාය . 

"ඔව් රාධා "

-මේ ඔබ කියෙව්වේ  විසි මහලේ අවසාන කොටස නොවේ.-

මිට පෙර ලියන ලද අවසාන කොටස තරමක් සවිස්තරව ප්‍රතිනිර්මාණය කරන්නන්ට තීරණය කලෙමි. මුල් කොටස් සියල්ල කියවූ මිතුරන්ගේ අද උදහස් මෙහිදී වෙසෙසින් සලකිල්ල්ලට ගතිමි. ඔවුනට මගේ හද පිරි ස්තුතිය.  නැතිනම් විසි තුන් වන  මහලින් ඉහළ  සියලු කොටස් යලි සංස්කරණය කොට මුද්‍රණය වීමට නියමිත පොතේ  අඩංගු කෙරෙනු ඇති.

අටවිසි මහල නොබෝ දිනකින් බලාපොරොත්තු වන්න 







Tuesday, September 8, 2020

අට විසි මහළ 27- ඒ අපුරු ටිබෙට් ගමන

 


(මේ පළ වන්නේ අටවිසි මහල නවකතාවේ විසි හත් වන කොටසයි . මින් පෙර කොටස් සියල්ල මෙතැනින් )

දොර ඇර බැලු මනොරන්ජන් දුටුවේ සැන්ඩ්විච් හා කෙටි කෑම පිරි සාරවත් තේ බන්දේසියක් අතින් ගත් වෙටර්වරයෙකි .   මනෝරන්ජන් පුදුමයෙන් මෙන් වේටර්වරයා දෙසත් ඉන්පසු කාමරය තුල සිටින  අම්රිතා දෙසත් බැලුවේය.  ඒ දෙදෙනාම කිසි අමුත්තක් නැති විලාසයෙන් සිටියෝය. කාමරය ඇතුල් වීමට ලද අවසරයෙන් පසු කුඩා මේසය මත  තේ බන්දේසිය තබා ආපසු යන ගමන් වේටර්වරයා මෙසේ ඇසුවේය . 

'' සර් ඩිනර් එක මෙහෙට ගේන්නද ? පහළ බුෆේ එකනම් අරිනවා හවස හතට "

මනෝරන්ජන්ට කතා කිරීමට ඉඩක් නොතබා අම්රිතා මෙසේ කීවාය "

" අපි පහලට එනවා රෑ කීය වෙනකම් බුෆේ එක ඇරලද ?" 

" දහය වෙනකම් මැඩම්"

මෙතැන සිදු වෙන්නේ මොනවාදැයි තෙරුම් ගන්නට නොහැකිව කාමරය තුලට ඇතුළු වූ මනෝරන්ජන් දුටුවේ කන්නාඩි මේසය මත තබා ඇති ටියුලිප් ඇඳුම් සාප්පුවේ ලාංචනය සහිත පොලිතීන් උර දෙකකි . ඔහු  අතට ගෙන බැලුවේය . 

අලුත් ටී ෂර්ටයක් , කොට කලිසමක් හා  රාත්‍රී ගවුමක්  ආදී ඇඳුම් කිහිපයක්ම ඒවායේ  තිබිණි  . 

ඔහු දෙස නොබලාම අම්රිතා  කන්නාඩි මේසය මත රඳවා තිබූ ඇගේ අත් අකුරින් ලියු කුඩා සටහනක් පෙන්නුවාය .

- මම හෙඩ් ඔෆිස් එකට යනවා . ඉක්මනින් එනවා. ඔයා හොඳට නිදා ගන්න-

" ඔයා නිදි අතරේ මම මේක ලියල තියල  ගිහින් ඇඩ්වාන්ස් එක්ක අරන් ආවා. ඔය ඇඳුම් ටික ඉක්මනින් ගත්තු ඒවා  . ආ අපට  හෙට දවල් වෙනකන්   මෙහෙ ඉන්න පුළුවන්. මම  එන ගමන් මේ  කාමරේට  සල්ලි බැන්දා"

මනෝරන්ජන්  බොරු තරහක් මවා ගත්තද ඔහුගේ ඇතුලාන්තය ප්‍රීති ප්‍රමෝදයකින් ඉතිරී  යමින් තිබු නිසා ඔහුගේ ගෙල පිටු පසින් බදාගෙන හිස සිප ගන්නා අම්රිතාගේ උණුසුම ඔහුට අමතර   කම්පනයක් නොගෙනා තරම්ය  . ඉන්පසු ඒ කාමරය තුල ඔහු සිතින් සිය දහස්වර සිහින මවා තිබූ කොටින්ම අද උදේ ඇති වූ  රළු සිතුවිලි අතරෙත් මතු වූ එකම බලාපොරෝත්තුව  වූ ඒ සිදුවීම්  සියල්ල නැවුම් ආකාරයෙන් සිදු විය . නොසෑහෙන වෙලාවක්  මුවින් නොදොඩා ප්‍රේමාලිංගනයේ  යෙදුනු මනෝ හා අම්රිතා ඉන්පසු  ඉතාමත් සැහැල්ලු සිතින් අත් පටලවාගෙන රාත්‍රී ආහාරය සඳහා ඇවිද යමින් සිටියෝය. 

ඊට පෙර අම්රිතා හා මනෝරන්ජන් එකිනෙකාට පොරොන්දු දෙකක් හුවමාරු කර ගත්තෝය . 

" ඔයා අද රාත්‍රියෙන් පස්සේ  ආයෙමත් මගේ හොඳම යාලුවා විතරයි . ඒ නිසා මේ හැම දේම අතීත සිදු වීම් කියල හිතල සාමාන්‍ය විදිහට ඉන්න ඕනි හොඳද  ? '

ඒ වන විට සිය මානසික හා ශාරීරික  ආතති සියල්ලෙන් මිදී අලුතින් ලැබුණු  ජීවිතාවබෝධයක් හා යයහපත් සිහි කල්පනාවෙන් මනෝරන්ජන්  සිටියේය. අම්රිතාගේ  ශරීරය පිලිබඳ දිගින් දිගටම ලෝබ බැඳ ගැනීම අරුත් විරහිත බව ඔහු තේරුම් ගත්තේය .

" හොඳයි මම අමාරුවෙන් උනත් පොරොන්දු වෙන්නම්. හැබැයි මටත් එක දෙයක් පැහැදිලිව දැන ගන්න ඕනි " 

" ඒ මොකක්ද ?"

" ඔයා 90 අවුරුද්දේ නිවාඩු ගිහින් අතුරුදන් වුනේ කොහෙටද? කෝ ඔයාගේ දුවගේ තාත්තා ?"

අම්රිතා ඒ ප්‍රශ්නය බලාපොරොත්තුවෙන් සිටියාය. මින් පෙර ඒ ගැන වැඩිපුර හාරා ඇවිස්සුවේ නැතිමුත් මනෝරන්ජන්ට එය දැන ගැනීමේ වුවමනාව තදින් තිබුණු බව අම්රිතා දැන සිටියාය . ඒ අමුතුම ගමන යාමට කලින් ඩුබායි සිට නිවාඩු එද්දී අම්රිතා හා මනෝ විවාහ ගිවිස ගත් පෙම්වතුන් බව බොහෝ දෙනෙක් සිතා සිටියා මෙන්ම මනෝ මුළු හදින්මද අම්රිතා තරමක් දුරස්ත ලෙන්ගතු කමකින්ද එකිනෙකාට  හා බන්දනය වී සිටියෝය . ඔහුට ඇය සිය පෙම්වතිය වූ අතර ඇයට ඔහු හොඳම මිතුරා වුනේය. එහෙත් ඈ ඒ නිවාඩුවට යාමට අසන්න වෙත් වෙත්ම මනෝ කෙරෙහි  ආලවන්ත බඩේ ගින්දරක් තමන් තුළ වැඩෙන බව තේරුම් ගෙන සිටියාය . අවසානයේ ඇය තීරණය කර සිටියේ නිවාඩු ගොස් පැමිණි පසු මනෝරන්ජන්ගේ ආයාචනාත්මක යොවුන් ප්‍රේමයට කැමැත්ත දෙන බවය . 

ඉන්සු සියල්ල සිදු වුනේ නොසිතූ ලෙසය. එහෙත් ඉතිහාසය පුනරාවර්තනය වෙමින් තිබේ . 

" ඔච්චර කල්පනා කරන්න දෙයක් නෑ. කියන්න බෑ කියල හිතනවානම් මම බල කරන්නේ නෑ" මනෝරන්ජන් කීවේය. 

ඔහු කෙරෙහි උපන්  අලුත් සෙනෙහසකින් අම්රිතා මෙසේ කීවාය . 

" අපි පහළට ගිහින් කෑම කමු . ඊට පස්සේ ටිකක් ඇවිදින ගමන් මම ඔයාට කතාව කියන්න පටන් ගන්නම් "

මනෝ ඈ තමන් වෙත ඇදගෙන උණුසුම් හාද්දක් දුන්නේය . 

" දරුවා ගැන කියනවානම් අර අපුරු ටිබෙට් ගමන ගැනත් කියන්න වෙනවා " අම්රිතා සිතුවාය 

 

- මීළඟ කොටස -


Image Source _Prikrama Treks and Expeditions 

Tuesday, August 25, 2020

අටවිසි ම හල 26- මනෝගේ දිනපොත හොරු ගනී

 

(මේ පළවන්නේ අටවිසි මහල නවකතාවේ විසි හය වැනි කොටසයි . මින් පෙර කොටස් මෙතනින් )

හා අසේල අතේ තිබූ විදුලි පන්දම උදුරා ගත්  මනෝරන්ජන් එය කුඩාරම් රෙද්දේ ගෑවීගෙන නැවී  වාඩි  වී සිටින මිනිස් රුවක් වැනි නෙරුමක් වෙත එල්ල කර  මුළු වැර  යොදා  කුඩාරම්  රෙද්ද තල්ලු  කළේය .   දඩස්  ගා යමෙක් ඔබ්බට  පනින හඬ ඇසිණි . 

සිද්දියේ බරපතලකම අසේලටත් වැටහුනේ  එවිටය. ඔහු මනෝරන්ජන්  එතැනින් ඉවතට ඇදගෙන ගියේ සද්ද නොකරන ලෙස සිහින් හඬින්  නමුත් දැඩි ලෙස පවසමිනි. 

"මටත් හිතෙන්නේ අර කොල්ලෝ දෙන්නම හරි ඉන් එකෙක් හරි අපේ කතාව අහගෙන හිටියා . දැන් ඉතින් මෙතන සද්ද බද්ද කරලා ඕක හාර අවුස්සනන ගියොත් වැඩේ හත් පොලේ ගා ගන්න වෙනවා. අපි ඔලුව කල්පනා කරලා  වැඩ කරමු . වෙච්ච දේ උනා. අර වෑන්  කාරයා ඇහැරවල  සීට් දෙකක් කඩා ගෙන පැයක්  හරි නිදා ගමු.  යං  යං"

මනෝරන්ජන් අසේලගේ අණට  කීකරු වී යකැදුරා  පසුපස යන ආතුරයෙකු මෙන් ඔහු  සමග වෑන් රිය දෙසට ඇවිද  ගියේය.  

පසුවදා කෙල්ලන් පිරිස ඉමහත් ප්‍රභෝධයෙන් අවදි වී ලහි ලහියේ උදේ තේ වේල  පිළියෙළ කළහ . රාත්‍රිය පුරා නින්දක් නොලබා සිටියද ඒ වග හා සිය මානසික ව්‍යාකුල භාවය  අඟවන්නේ නැතිව සිටින්නට මනෝරන්ජන් අපමණ වෙහෙසුනේය. ඔහු උදා හිරු එළියේ දිලිසෙන වැව් දිය දෙස බලමින් නෙතදරා හා අතිනත පටලාගෙන වැවු බැම්ම දිගේ  මද දුරක් ඇවිද ගියේය . 

අසේල අම්රිතා, වාසුකී , රාධා , අනුරාධා හා රිචර්ඩ් කැකිරි පලමින් විහිලු තහළු කර ගත්තෝය. පාතරාසය ගෙන ගම පුරා ඇවිදින හැටි කතා කළහ. පුල්ලෙයාර් දේවාලයත් , ගමේ නිදහස් ජීවිතයත් , සශ්‍රීක වගාබිම් ගැනත්  කතාබහ  කළහ. 

දවල් කාලය තිස්සේ ගම පුරා ඇවිද අසේලගේ නෑ පරපුරේ ආදර සැලකුම් ලබා සියල්ලෝ ඉතා සොම්නස් වුහ. අන්තිමේදී ගම දාලා යන්නට බැරි තරමේ ලෝබ  කමකින් ආපසු යන්නට පිටත්වන විට හවස් වීගෙන  එමින් තිබිණි . 

අසේල මේ සියල්ල අතරේ අලුත් කොල්ලන් දෙන්නා  දෙසත් මනෝරන්ජන් හා නෙතදරා දෙසත් විමසිලෙන් සිටියේය. රිචර්ඩ් අම්රිතා ගේ පාළුව හා කනස්සල්ල දුරු කිරීමට පරෙස්සමින් ඈ අසල දැවටුනේය. සම වයසේ කෙල්ලන්ට කතා කරනන්ට ඕනෑ තරම් දේවල් තිබුනේය .

පසුවදා සිට අටවිසි මහලේ වැඩ කටයුතු විදුලි වේගයෙන් කෙරීගෙන ගියේය . වැඩ අදික කම නිසා දවස් වේගයෙන් ගෙවී ගියේය .  රුහුණු කුමාරී දුම්රිය වැඩ බිම අසලින් මිත්‍රශීලී හූවක් කියාගෙන දිව්වේය  . සියල්ලන්ගේ අවධානය මහලින් මහල ඉස්මතු වන ගොඩනැගිල්ල  සමග ඒකාත්මික  වීම නිසා පුද්ගලාන්තර ගැටුම් හා ආරවුල් අවම කාලයක් උදා  විය . අම්රිතාගේ හා අසේලගේ පෙරැත්තය නිසා සිල්වා ආපසු වැඩබිමට ගැනීමට මනෝරන්ජන් එකඟ වුනේය .  අම්රිතා කියන විදිහට දැන් ආපහු පරණ අලකලන්චි කණ්ඩායම සකස් වී තිබෙන නිසා එකිනෙකා ළඟ පුද්ගලික අඩු පාඩු කොච්චරවත්  තිබ්බත් වැඩ කර ගෙන යාමේ ජවය හා පහසුව ඉස්මතුවී තිබේ . 

මනෝරන්ජන් සති අන්තයට  පේරාදෙණි පැත්තේ ගොස් පැමිණියේය .  එදා ට්‍රිප් එක යන්නට ආ කොල්ලන් දෙදෙනාගෙන් රැවුල් කාරයා වූ බිම්සර  කීප වතාවක් අසේල හමු වීමට කොළඹ සයිට් එකටද ආවේය . ඔහු සිල්වා සමගද කුළුපග වුනේ පළමු හමුව දවසේමය . බිම්සර  බොහෝ ආචාර සම්පන්න ලෙස මනෝරන්ජන් ඉදිරිපිට හැසිරුණේය .  එදා අසේලගේත් ඔහුගේත් රහස් කතා බහ කොල්ලන් දෙදෙනා  අසා සිටියා යැයි වූ සැකය සහමුලින්ම ඉවත් වී ගියත් පස්වන  මහල කොන්ක්‍රීට් කර සති දෙකකට පසු  සිදු වූ එක්තරා සිදු  වීමක් නිසා සැකයේ බීජ වහ වහා දළුලන්නට විය . වැඩබිම කන්තෝරුවට කෝල් එකක් දුන් මනෝරන්ජන්ගේ  මිතුරු සරසවි ඇදුරා දර්සන කීවේ ඔහු හමු වන්නට ආ සමාජ විද්‍යා ශිෂ්‍යයෙක් මනෝගේ සරසවි ජීවිතය ගැන විස්තර විමසු බවයි . එසේ වුයේ මනෝ පේරාදෙනි ගොස් නෙතදරා හමු වීමට බැරි වී හිස් අතින් ආ දවසට දින දෙකකට පසුය. 

ඊළඟ සති අන්තයේත් මනෝරන්ජන් මග හැර යාමට නෙතදරා  කටයුතු කළේය . හෙල්ත් සෙන්ටර් එකට ගොස් ආපසු එන වාසුකී අහම්බෙන් හමු වීමත් සමග මනෝරන්ජන් ට සියල්ල පැහැදිලි විය . 

" අපි හැමදේම දැනගත්තා මහත්තයා . මහත්තයා ළමයෙක් ඉන්න තාත්තා කෙනෙක්නේ.  නෙතදරාලා ගොඩක් දුක් වින්ද මිනිස්සු බව  මහත්තයා දන්නවනේ . ඒ අහිංසක කෙල්ල මොන තරම් දුක් කන්දරාවක් වින්දද මේ ආරංචිය ඇහුවම. ඒ හිත ආයේ හදන්න බැරි වෙයි . ඒ නිසා දැන් ඔය දෙන්නා දෙපැත්තට වෙලා ඉන්න . ඒක දෙන්නටම හොඳයි  '

කිසිත් නොදොඩා  බොහෝ වෙලාවක් බලා සිටි මනෝරන්ජන් යලි හිල්ඩා ගහ යට  ගල් බංකුවේ වාඩි වී හොඳටම කළුවර වැටෙන තුරු ඔහේ බල සිටියේය. ඉන් පසු පේරාදෙනි තානායමට ගොස් මැදියම්  රාත්‍රිය වනතුරු බීර බිව්වේය. ඔහු කොළඹ බස් එකට ඇරලුවේ කවුදැයි අද වනතුරු මනොරන්ජන් දන්නේ නැත . 

එදාට පසුදා සිට  ඔහු අම්රිතා දෙස වයිරයෙන් බැලුවේය  . වුවමනා  දෙයක් තිබේනම් අසේල අත දන්වා යැවුවේය. ඈ හමු විය හැකි හැම ආකාරයක්ම මග ඇරියේය . ඒ වුනත් අම්රිතා සියල්ල ඉවසමින්  විස්සෝප වෙමින් ඔහු පසුපස ආවේය . වැඩපොළේ සාමය පවත්වා ගැනීමටත් අසේලගේ මානසික  මට්ටම පවත්වා ගැනීමටත් අම්රිතා අසේල සමග   වෙහෙසී වැඩ කළාය. 

හය වැනි ස්ලැබ් එක දැමු දවසට දින දෙකකට පසු    ඊළඟ විජ්ජුම්බරය සිද්ද වුනේය .   උදේ පාන්දර කන්තෝරුවට ආ මනෝරන්ජන් සිය මේස ලාච්චුවේ යතුරු තහඩුව පන්නා එය විවර කර තිබෙන බව දුටුවේය. 

" දෙයියෝ සාක්කි මගේ දිනපොත  නෑ. සිල්වා සිල්වා කවුද ඊයේ මෙහෙ අවේ"

. වැඩ බිමේ සේකුරිටුද මිස්කින්ද  සිල්වාද  කාමරයට ගෙන්වා ගෙන පරීක්ෂණය ඇරඹිණි .

මනෝරන්ජන් මාරාවේශ  වී  සිටියේය . "මගේ මුළු සේසතම ගෙනිච්චත් කමක් නෑ ඒත් කවුද යකෝ මේ පාහර වැඩේ කරේ. මට මගේ දිනපොත  දරුවෙක් වගේ "

 සිල්වා සමග හොර රහසේ හිතවත්කම් පාමින් බිම්සර වරින් වර වැඩබිමට එන බවත් රාත්‍රී කාලයේදී නිදා ගන්නට කන්තෝරු කාමරය සකසා දෙන බවත් ආරංචිය ලැබුනේ ඒ සිද්දියෙන් පසුවය. එදා හවසත් කලබලකාරී වැඩබිමේ ඔහු ගැවසී තිබුනේය. ඔහු කිහිප වතාවක් අසේල හමුවන්නට පැමිණ තිබූ නිසා ඔහු අනවසර අමුත්තෙක් ලෙස කවුරුත් කල්පනා කර තිබුනේ නැත . 

සිල්වා  මේ වතාවේ පහර කන්නට ගියේ මුල් වතාවේ ඔහුව ගලවා ගත් මුලාදෑනියා වන මනෝරන්ජන්න්ගේ අතින්ම  වීම දයිවෝපගත දෙයක් විය. සිල්වා වැඩ බිමෙන් තිර ලෙසම  පන්නා දැමීමෙන් පසු මනෝරන්ජන්ගේ හැසිරීමේ ප්‍රචණ්ඩ ස්වරුපයක් මතුව ආවේය. කන්තෝරු කාමරයෙන් පිටත ගිය ඔහු බ්‍රැන්ඩි බෝතලයක් රැගෙන යලි ආවේය. දහවල් වනතුරු ඉන් ටික ටික බිව්වේය . තමා ලඟට එන සියල්ලන් එලවා දැමුවේය . මේසයේ ඔලුව ගසාගෙන හැඬුවේය.

ඔහු දහවල්  ආහාරය ගත්තේ නැත . රාත්‍රී  ආහාරය ගත්තේ නැත . මොන තරම් රුදු ලෙස සැලකුවත් අම්රිතා මනෝරන්ජන් අසලින් සෙලවුනේවත් නැත . එදා රාත්‍රිය පුරා ඔහු හූල්ලමින්  සිටියේය . පාන්දර වනවිට හෙම්බත්ව නිදා වැටුනේය.අම්රිතා  නොනිදා කන්තෝරු  කාමරයේ ඔබ මොබ  ඇවිද්යදාය. නිදි කිරා වැටෙන බීමත් මනොරන්ජන්ගේ හිස හා පිට පිරිමැද්දාය . උදේ පාන්දර වනවිට ඔහුට ක්‍රැකර් විස්කෝතුවක් හා කිරි වීදුරුවක් පොවා ගැනීමට අම්රිතා සමත් වුවාය .  තමන්ගේ උදව්වට ආ අසේල ඈ පිටත් කර ඇරියේ "මම මනෝ ගැන බලාගන්නම් ඕගොල්ලෝ අපට නිදහසේ ඉන්න දෙන්න " කියමිනි . අඩ සිහියෙන් සිටි ප්‍රචණ්ඩ ඉංජිනේරුවා ටික ටික මෙල්ල වෙමින් සිටියේය . 

" මනෝ මේ අහන්න මේ හැම දේටම වැරදි කාරී  සමහර විට මම වෙන්න ඇති . මම කී පාරක් ඔයාව ප්‍රතික්ෂේප කරලා තියෙනවද? ඒත් මම ඔයාට කොච්චර ආදරේ කලාද ? මොකක් හරි හේතුවක් නිසා මට ඔයාගේ වෙන්න බැරි වුනා . දැන් ගිය දේ ගියා . හැම දේම අමතක කරලා අද දවස අපි එකට ඉමු. මම එක දවසකට ඔයාගෙම වෙන්නම් . ඔයා කැමති තැනකට කැමති දේකට  මාව අරගෙන යන්න " අම්රිතා මනෝරන්ජන් වාඩි වී සිටි පුටුවේ පිටුපසුන් පැමිණ ඔහුගේ ගෙල බදා ගත්තාය. සිය හිසට තෙරපෙන අම්රිතාගේ ළය මඩලේ සියුම් රුධිර නාලිකා වල උණුසුම් සජීවී බව ඔහුට දැනෙද්දී මනෝරන්ජන්ගේ ආත්මය වසා සිටි සියල්ල පටලවාගත් මේරු මිනිසා තිරිහන් වී ඔහුගේ සිරුරේ ලේ ගමනාගමනය වේගවත් විය. කම්මුල් පිරී ගියේය " ඔහු හුනස්නෙන් නැගිට්ටේය .

"යමු " ඔහු කීවේය . හිලෑ මුවැත්තියක සේ අම්රිතා මනෝරන්ජන් පසුපස ආවේය . මනෝ යන ගමන් සිය පසුම්බිය ඇද බැලුවේය. රුපියල් පන්දහස් ගණනක් එහි තිබුනේය . 

ඊළඟට දෙදෙනා රැගත් තුන්රෝද රිය අගනුවර අලුත්ම අලුත්  නිවුන් ගොඩනැගිල්ලක් පාමුල නතර වුනේය. අම්රිතාගේ අතින් හැගීමකින් තොරව  අල්ලා ගත් ඔහු ඒ ගොඩනැගිල්ලේ තිබු මහේශාක්‍ය අවන්හලට ගොඩ වුනේය . 

මනොරන්ජන් හොඳම හොඳ පාතරාසයක් ඇනවුම් කළේය . ඔවුන් දෙදෙනා කෑම ගත්තේ කලබලයකින් තොරව  හොඳ හැටි වෙලාව  ගනිමිනි . තමන්  ඊළඟ පැයේ කළයුතු සියල්ල ඔහු සිතින්  සැලසුම් කළේය . ඔහුගේ වත රත් පැහැයට හැරී තිබිණි . කෑම කා කෝපී කෝප්පයද හමාර කරනතුරු ඔහු අම්රිතා සමග කිසිවක් දෙඩුවේ නැත . ඊට පසුව  ඒ අවන්හල අසලින්ම ඇදුනු පටු කොරිදෝරය දිගේ ටික දුරක් ගිය ඔවුන් පිවිසුනේ අගනුවර සුප්‍රසිද්ද  තරු පහේ හෝටලයක ආලින්දයටයි. 

පිළිගැනීම් කවුන්ටරය වෙත ගිය මනෝරන්ජන් ' අපිට හෙට උදේ වෙනකම් ඉන්න කෑමත් එක්ක කාමරයක් ඕනි ' සිය ඇනවුම් පොත පෙරලා බැලු එහි සිටි තරුණිය  මෙසේ ඇසුවාය ." හරි  දෙන්න පුළුවන් සර්ලා මෙහෙ  මීට කලින් ඇවිත් තියෙනවද . නැතිනම් බුක් කරලා තියෙනවද ? "

" නෑ අද තමයි ඉස්සෙල්ලම ආවේ " 

" එහෙනම් සර් ෆුල්බෝඩ් පේමන්ට් එක මුලින් කරලා ඉන්න ඕනි "

" කීයද ?"

"රුපියල් අටදාහයි . මට අයිඩෙන්ටි කාඩ් එකක්  හරි පාස්පෝට් එකක් හරි දෙන්න"

' මනෝරන්ජන් පසුම්බිය ඇද්දේය . මුලින්ම හඳුනුම්පතත් ඉන්පසු එතුල තිබු රුපියල් හාරදහස් ගණනකුත් එලියට ගත්තේය . 

' ඒ දෙස බලා සිටි අම්රිතා එහෙනම් අපි දවල්ට කෑම කාලා ටිකක් මෙහෙන් ඉඳලා යමු " කියා කීවාය . 

මනෝරන්ජන් නැවත කවුන්ටරේ සිටි තරුණිය ඇමතුවාය . 

" එහෙනම් අපට හවස් වෙනකම් ඉන්න කාමරේ දෙන්න " 

' හරි සර් හාරදාහක් ගෙවන්න . හැබැයි හවස හතරට රුම් එක ඕනි " 

මනෝරන්ජන් ඉන් සෑහීමකට පත්  වුවේය. ඔවුන්ට සිව්වන මහලේ ඉන්දියන් සාගරයේ පියකරු දසුනින් පෝසත් වූ  කාමරයක් හිමි විය . මනොරන්ජන් කාමරයට ගිය හැටියේම අම්රිතාව සිප වැළඳ ගන්නට සිතා සිටියත් දොර වසා දැමු අම්රිතා කීවේ ඔහු ඇඟපත දොවාගෙන හොඳ  විවේකයක් ගත යුතු බවය . ඔහු කවදාටවත් වඩා අම්රිතාගේ අණට කීකරු වුනේය . තව නොබෝ වෙලාවකින් එළඹෙන  ප්‍රීතිමත් හෝරා කීපය ගැන සිතමින් හොඳින් නෑවේය . ලොකු තුවායෙන් තෙත මාත්තු කරමින් අම්රිතා ප්‍රිය කරන හින්දු  සින්දුවක් උරුහන් බාමින් නාන කාමරයෙන් එලියට   ආවේය . අම්රිතා ඔහුට මදක් හාන්සි වී විවේක  ගන්නා ලෙස කීවාය . ඉන්පසු ඈ නාන කාමරය තුලට වැදුනාය . 

සියලු වහෙස මහන්සි දුරස් වී ගොරවමින් නිදන්නට වන් මනෝරන්ජන් දෙස ඈ සෙනෙහසින් බලා සිටියාය . ඔහුගේ හිස පිරි මැද්දාය . ඔහුගේ නින්ද නොබිඳෙන පරිද්දෙන් ඒ විඩාපත්  මුහුණ සිප ගත්තාය . ඉන්පසු පසෙකින් තිබු යුගල පුටුවක වාඩි වී කල්පනා කරන්නට වුණාය.

සුවදායී නින්දකට වැටුණු මනෝරන්ජන්ට ඇහැරුනේ දොරට තට්ටු කරන හඬක් නිසාය  . ඔහු සිහි එලවාගෙන තමා සිටින්නේ කොහේදැයි මතක් කිරීමට වෙහෙසෙද්දී දොරට තව වරක් තට්ටු  කරන හඬ නිසා  පසෙකින් නිදමින් සිටි අම්රිතාද අවදි වුවාය . මනෝරන්ජන්ට දවසේ  සිද්දි දාමය සිහිපත්  වුනේය . ඔහු බෙඩ් සයිඩ් කබඩය  මත තිබූ  අම්රිතාගේ කුඩා අත් ඔරලෝසුව අතට ගත්තේය . ඔහුගේ මුහුණ විස්සෝපයෙන් පිරී ගියේය .

"වෙලාව හතරයි" .

 බිඳුණු හඬින් කියමින් ඔහු දොර අසලට ඇවිදගෙන ගියේය .

-මීළඟ කොටස  -

Image Source : Bookstr

Wednesday, August 19, 2020

අටවිසි මහළ 25- අසේලගෙන් පාපෝච්චාරණයක්

 


( මේ පළවන්නේ අටවිසි මහල නව කතාවේ විසි පස් වන කොටසයි. මින් පෙර කොටස් මෙතැනින්)
"එතකොට අර පානදුරේ ඉන්නේ අසේලගේ අම්මා නෙවෙයිද ?" කියා මනෝරන්ජන් ඇසුවේ නැත . ඔහු සියල්ල තේරුම් ගත්තාක් මෙන් ආපහු යන්නට හැරුනේය . 
" අසේල මේ වෙලාවේ   අලි , වලස්සු එහෙම ඉන්න පුළුවන් .අපි ඉක්මනින් ගෙදර යමු . ගිහින් කතා කරමු"

මෑත ගම්මානයෙන් ඇසෙන බිලිඳු හැඩීමක් ද ඈත වනපෙතින් නැගෙන අද්භූත හඬවල්ද  වරින් වර මතු වෙද්දී  වැව්  දිය රැළි සිහින් සංගීත රිද්මයක් පවත්වා ගත්තේය . කතාවකින් තොරව ඇවිද ආ ඔවුහු වාඩි වෙන්නට තැනක් බැලුවෝය. ගෙය අගුලු ලා ඇත . වැව් පිටියේ නතර කර ඇති වැන් රථයේ කවුළු හැර දමා ඇත. එතුල රියදුරා නිදනවා  ඇති . ගෙදර ඉද්දී අසේල හැන්දෑ වරුවල වාඩි වී හිඳින සොබාවික ගල් බංකුව  තිබ්බේ  එක් කුඩාරමක ට යාබදවය . එහි  කොල්ලන් දෙදෙනා සැපට නිදනවා ඇති.  

බංකුවේ  මුලින්ම වාඩි වූ මනෝරන්ජන් වටපිට බලා මෙසේ කීවේය . 

" මම අනුමාන කළා අසේල ,ඔයාගේ අම්මා මේ ගමේ ඉන්න ඇති කියල. පානදුරේ අම්මගේ දුක හංගා  ගත්ත  මුණ , ඔයයි තාත්තයි ගමට ආපු කතන්දරේ වගේ ඒවා හින්දා. මම ඇහුවේ නැතිවට මේ වගේ කතාවක් අහන්න බලාපොරොත්තුවෙන්   හිටියා ."

" නෑ මනෝ මහත්තයා. මම කවදාවත් ඔයාට කියන්නේ නෑ කියල හිතපු කතාවක් මේක.   ඒත් මොකක්දෝ එහෙකට අද දවසේ සිද්දි ටික දැක්කම මට කියල දාන්න  කියල හිතුනා .  අපි හිතන තරම්ම ලේසි පාසු නෑ, සරල නෑ  බැඳීම් නැති කරලා දා ගන්න එක . ඒකයි" 

මනෝරන්ජන් මුවින් නොබැන  ඉඳිද්දී අසේල දිගටම කතා කළේය .

" මනෝ මහත්තයා ඔයාට මම ආයෙමත් කියන්නේ ඔයා ආපස්සට යන්න ඕනි මිනිහෙක් නෙවෙයි. ඔයා නොකීවට මට එදා ඔයාගේ කැම්පස් යාලුවා දර්ශන මහත්තයා කියපු දෙවලිනුයි මනම්පේරි මහත්තයාගේ කතා වලිනුයි  තේරුනේ අපි කර ගහපු තරුණ කැරැල්ලේ  ඕගොල්ලොත් ඉස්සරහින් හිටියා . සමහර විට එහෙම සංවිධානයකට  එකතු කර ගත්ත තුන්වැනි මට්ටම වෙන්න පුළුවන්. අපි ඔයාල පස්සෙන් වැටිච්ච සොල්දාදුවෝ විතරයි.  අපි වගේ මෙලෝ සංසාරයක් දන්නේ නැති මිනිස්සු එකට ඇද ගන්න ඔගොල්ලොත් මුලික වුනා  . ඕගොල්ලන්ගේ සෙට් එකේ සමහරු අතුරුදන් වුනා, සමහරු රට ගියා, සමහරු හිතන්න බැරි තරම් ආත්මාර්තකාමියෝ වුනා. අපේ සෙට් එකේ සෑහෙන දෙනෙක් විනාශ වුනා. අවුරුදු කීයක් අපේ ජීවිතවලට  නැති වුනාද ?'

මනෝරන්ජන් කලබලයට පත් විලාශයෙන්  වටපිට බැලුවේය මෙවෙලේ අවදියෙන් සිටි කිසිවෙක් ළඟ පාතක නොසිටි බව සැක හැර දැනගත් ඔහු තරමක් සිත සැහැල්ලු කර ගත්තේය. එහෙත් ඔහු නොදැන සිටියාට තමා ළඟ ඇති කුඩාරම් රෙද්දට මුවා වූ පුද්ගලයෙක් හොඳ සිහි කල්පනාවෙන් අවදියෙන් දෙසවන් විවර කරගෙන දෑස් පමණක් පියාගෙන නිසලව සිටින වග ඔහු නොදත්තේය .

" අසේල දැන් ඔයා අම්මගේ කතාවනේ කියන්න ආවේ දැන් මෙතනට දේශපාලනේ වැඩක් නෑනේ "

' හරි ඒ කතාවත් කියන්නම්  . දේශපාලනේ  වැඩක් නෑ නෙවෙයි . ඒකත් තියෙනවා. ඕගොල්ලෝ දේශපාලනය  ගැන ,තමන්ගේම  චරිත සහතිකේ  ගැන කරදර වෙච්ච, අපිට  පරමාදර්ශ වෙන්න හදපු අය. අපේ තාත්තලා එහෙම අය නෙවෙයි .  හැමදේම නිදහස්. උගත් කමක් නෑ. දේශපාලනේ ගැන කිසි උනන්දුවක් නෑ. ඒවා ගැන  පුරාජේරු නෑ. ඔය දෙන්නාගෙන්  ළමයෙක් එක්ක ගෑනියෙක් තනි කරලා කිසිම හිතක් පපුවක්, තර්කයක්  නැතිව තවත් ගෑනියෙක් ලඟට වෙන්න  කාටද සදාචාර අයිතියක් තියෙන්නේ ? "

'මනොරන්ජන් නිරුත්තරව මද වෙලාවක් අඳුරු වනපෙත  දෙස බලා සිට  යලි කතා කළේය .

'මම ඒ හැම දේම අත ඇරියා. දේශපාලනේ  මුලින්ම අත ඇරියා , ඒත් මට කියල ජීවිතයක් තියෙන්න ඕනි. මම මුලින්ම හදා ගත්ත රාමුවේ එල්ලිලා හැමදාම ඉන්න ඕනි නෑ අසේල" .

" ඒ උනාට මනෝ මහත්තයා ලෝකේ ඔයාගෙන් බලාපොරෝත්තු  වෙන දෙයක් තියෙනවා කියල මට හිතෙනවා.  බලන්න මට තනියම කියල පුළුවන්නේ බාස්ල ටික දෙනෙක් හොයාගෙන කපරාදුවක් පේන්ට් එකක් කරන්න විතරයි. මනෝ මහත්තයා එහෙමද ? ඔයාට පුළුවන් නන්නාදුනන රටවල මිනිස්සු එකතු කරගෙන තට්ටු විසි අටේ නෙවෙයි පනස් හයේ උනත් බිල්ඩිමක් හදන්න . ඔයා මුලින් වැඩ කරපු විදිහට මට  පුදුම හිතුනා .ඔයා ලෝකයක් ගැන දැනුමක්, අත් දැකීමක් තියෙන මිනිහෙක්. මට හිතා ගන්න බෑ ඔයා ටික ටික පල්ලම් බැස්ස විදිහ . ආයෙමත් ඒ ජීවිතේට එන්න. අපිවත් ගොඩ දාගෙන ඉහළට  යන්න "

මනෝරන්ජන් විධානයක ස්වරයෙන් මෙසේ කීවේය : "අසේල ඔය කතාව නවත්තලා  අම්මා ගැන කියන්න" .

" ගමේ  අම්මයි තාත්තයි එක ගේකට ඇවිත් එකට ඉඳල තියෙන්නේ බොහොම ටික දවසයි   . 

අපේ   තාත්තා  ඒ කාලේ  ගොවිතැන් කරන්න කම්මලියිලු  . මොනා හරි දුෂ්කර කාලයක් එනකොට කොළඹ ගිහින් රස්සාවක් කරන්න හිතනවා . ඉතින් අලුත බැඳපු ගෑනි ගමේ දාලා ලොරියක නැගලා කොළඹ එනවා . එතැනින් පස්සේ වෙච්ච් දෙයක් ගැන ගමේ  කවුරුවත් දන්නේ නෑ එයා බැටරි කොම්පැනියක රස්සාවට යනවා.  බැටරි ගෙන්වන කොම්පැනියක වාහනේ අත්  උදව් කාරයෙක් විදිහට . ඒජන්සිය අයිතිකාරයා තමයි පානදුරේ අම්මගේ තාත්තා .සීයාගේ  හොඳම ගෝලයා  වෙච්ච නිසා අපේ තාත්තා ඒ ගෙවල් පැත්තේ නිතර සැරි සරනවා .

ඉතින් ඒ මනුස්සයාගේ දුව ඇහැට කනට පේනවා . ඒ ඇතිවන ආශාව හරි ආදරේ නිසා  ගම අමතක කරනවා. ඒ දෙන්නා පවුල් කනවා. ළමයි දෙන්නෙක් හම්බ වෙනවා . අපේ තාත්තා හිටි ලෝකයේ හැටියට ඒ වැඩේ වැරද්දක් එයාට පෙනුනා කියල මම හිතන්නේ නෑ . 

ඒත්  ඔයාට එහෙම කරන්න අයිතියක් නෑ . 

මගේ තාත්තා මාව හම්බ වෙන්න ඉද්දි අම්මව තනි කරලා දාලා ගියා. නගරේ විච්චුරන වලින් වශී වුනා . ඒ තාත්තා පතපු විදිහ . අන්තිමේ නෑ ගමනක්  ගිය ගමේ මිනිහෙක් තාත්තා පානදුරේ ඉන්නවා දැකලා  තියෙනවා. ඊට පස්සේ තමයි  ගමේ  කාණ්ඩයක් තාත්තව  හොයාගෙන ගිහින්  තිබ්බේ. ඒත් තාත්තා ගමට එන්න කැමති වෙලා  නෑ . ගමේ අම්මා මැරෙනකොට මට අවුරුදු දෙක හමාරයිලු . මට ඒ ගැන හීනෙන් වගේවත් මතකයක් නෑ . අම්මා ලෙඩ ගානේ ඉඳල මැරුණා .ආරංචිය අහපු  පානදුරේ අම්මා තමයි තාත්තට බල කලේ ගිහින් දරුවාව අරන් එන්න කියල . අපේ නිවුන් නංගිලාට අවුරුද්දක් වත් නැති කාලේ පවුලට වැඩි මහල් සහෝදරයෙක් එකතු වෙනවා . එදා ඉඳන් පානදුරේ අම්මා මාව බලා ගන්නවා . තාත්තත් එක්ක සියලු සම්බන්ධකම් අත අරිනවා. ඒත්  එක වහල යට ඉන්නවා  "

අසේල නොනවත්වා කතා කළේය . මනෝරන්ජන් අසා සිටිනවාද නැද්ද  යන වගවත්  ඔහුගේ ප්‍රතිචාරයක් ගැන වත්  ඔහු වද වුනේ නැත.

"අන්තිමේ මම අටේ පන්තියේ ඉද්දි තාත්තගේ රස්සාව නැති වුනාම පවුලේ අඩ  දඹර වැඩි වෙනවා . ඒකට  මුල් වෙන්නේ පානදුරේ අම්මගේ වෙනස්කම් වලට වඩා තාත්තගේ මානසික කඩා  වැටීම . ඊට පස්සේ මාවත් කර පින්නාගෙන තාත්තා මේ ගමට එනවා . ඔන්න ඕක තමයි කතාව "

"දැන් අසේල ඔයාගේ කතාව කිව්වනේ . මම ත් කෙටියෙන් කියන්නම්"

 .මම හරි ආසාවෙන් හිටියා පේරාදෙණියේ කැම්පස් එකට එන්න .අන්තිමට  මොරටුවට ගියා . දේශපාලනේට සම්බන්ධ  වුනේ  අවංකව . මට ඕනි වුනා මිනිස්සුන්ට ආදරේ කරන්න . හැමෝටම සර්ව සාධාරණ රටක් හදන්න . ඒත් මට ටික කාලයක් යද්දී තේරුනා මම තෝරා ගත්ත මාර්ගය වැරදියි කියල. මම අදටත් මිනිස්සුන්ට ආදරෙයි. ඒ ප්‍රතිපත්තිවලම ඉන්නවා. සමහර වෙලාවට මම පැල්පත් ගෙදරක  ඉපදුනු නෙතදරා තෝරා ගත්තේ මගේ හිතේ රැඩිකල් වෙන්න තිබ්බ වුවමනාවට වෙන්න ඇති . අනෙක් අතට මම කැම්පස් කොල්ලෙක් වෙලා ඉද්දි මගේ  ජීවිතේ හිටි ගමන් නතර වුනා . ඒ වෙනකොට මෝරගෙන එමින්  තිබ්බ තරුණ හිත සීල්  කරලා තිබ්බට අසම්පුර්ණව වරින් වර  ආයෙත් මතු වෙනවා .   වයසින් වැඩිමහල් වුනාට  ආපහු කලින් හිටි වයසට මම හිතින් යනවා හැමදාම වගේ. මට මේ ටික  කියා ගන්න කෙනෙක් නෑ . මම  එලියට පෙන්වන්නේ වෙස් මුණක් .  මම පීඩනේ නැති කර ගන්නේ හැම දේම දින පොතේ ලියල "

" අන්න ඒක  තමයි මනෝ මහත්තයා කියන්නේ . ඔයාගේ මනුස්ස කමවත් මුලින් තිබ්බ බලාපොරොත්තුවත් වෙනස් වෙලා නෑ . සංවිධානේ හිටි ගොඩක් දෙනෙක් මම දන්නවා . ගමේදියි හිරේදියි හම්බ වෙච්ච අය .  අඩු පිරිසක් තමයි තමන්ගේ මුල් මනුස්ස කමයි බලාපොරොත්තුයි ඒ විදිහටම  තියාගෙන ඉන්නේ. ඒත්  මට කියන්න තේරෙන් නෑ  මනෝ මහත්තයා, ඔයාට වෙනස් විදිහක ඉස්සරහක් තියෙන්නේ. අපි හැමෝම බලා කියාගෙන ඇදගෙන යන්න ඔයාට පුළුවන්. මම බලාපොරෝත්තු  වුනේ අටවිසි මහල ඉහලට යනවා වගේ ඔයාගේ ජීවිතේ ඉහළට  යනවා දකින්න . අපිට හෙවන දෙන ගහක් වෙනවා දකින්න  "

"ඒ වුනත් අසේල මගෙන් කවුරුවත් එහෙම දෙයක් බලාපොරෝත්හ්ටු වෙන එක මට කරන අසාධාරනයක් නේද ? . මට කියල පවුලක් නෑදෑයෙක්  නෑ . භීෂණ කාලේ මාව බේරලා රටින් එලියට යැව්ව අයියා ඒ භීෂනේටම බිල්ලක් වුනා . තාත්තා සයිට් එකක සේකුරිටි කෙනෙක් වෙලා ඉඳිද්දී මලා. ඔස්ට්‍රේලියාවට ගිය නංගී අම්මව එහෙට්ට ගත්තා . මම ඒ ගොල්ලෝ එක්ක සම්බධ වෙන්න උනන්දු වුනේ නෑ . . ඉතින් මේ හැම දේම මැද  මම පුංචිම පුංචි මිනිහෙක්.ලේ මස් නහර හෝමෝන ඔක්කොම අලුත්වෙනවා . මම  සහෝදර කමෙන් කියන්නේ අසේල . මොන තරම් බොළඳ විදිහට ඔයා දැක්කත් මට අර කෙල්ලට  නිදහසේ  ආදරේ කරන්න ඕනි . හැම දේම අමතක කරලා. මමත් මනුස්සයෙක් කියල විතරක් හිතන්න. මට කරදරයක් වෙන්න එපා '"

අසේල වහා නැගිට සිටියේය . ඔහුගේ ස්වරය දැඩි විය . දෑස්  රතුවන්ව අඳුරේ දිළිසුනේය .

"මනෝ මහත්තයා ඔයා මොන කෙල්ලෙක් එක්ක මොන  විදිහට ආදරේ කරත් මට ඇති ප්‍රශ්ණයක්  නෑ .  නොතේරෙන කාලේ මට තාත්තෙක් හිටියේ නෑ . මාවත් අම්මවත් දාලා ගිහින්  තාත්තා තමන්ගේ සතුට හොයා ගන්න තීරණේ කළා . ඒත් අපි කී දෙනෙක් විඳවන්න ඇත්ද ?  අන්තිමේදී තාත්තා සතුටින් හිටියා කියලද හිතන්නේ?. එතකොට පානදුරේ අම්මා .තාම හොරෙන් හොරෙන් අඬනවා. හැමදාම. ඒ මනුස්සයාගේ ජීවිතේම කඳුළු කතාවක්."

මනෝරන්ජන් හුන් තැනක් නැගිට තරමක් ඈතට ඇවිද ගියේය . වනයෙන් නැගෙන නුහුරු මූසල  ශබ්ද තුනී වී ගොස්ය  . දැන් එලි වන්නට ආසන්නව ඇත .ඔහු යලි අසේල සිටි තැනට ආවේය . 

"අසේල ඔයාගේ පවුලේ කතාව හරිම සංවේදියි තමයි . ඒ ගැන මටත් කනගාටුයි . ඒත් මගෙයි නෙතදරාගෙයි කතාවේ ඒකට  සමාන කමක් නෑනේ '"

අසේල රුදු ලෙස  මනෝරන්ජන්  දෙස හැරී බැලුවේය. 

"අයි නැත්තේ? . ඔයා අර අහිංසක  අම්රිතයි ඔයාගේ ලෙයින් උපන්න  දරුවයි  අත අරින්න හිතාගෙන නෙවෙයිද  නෙතදරා පස්සෙන් යන්නේ ?"

මනෝරන්ජන් හුන් තැනම ගල් ගැහුනේය.  එවිටම තමා අසල තිබෙන කුඩාරම්  රෙද්දට ඇතුලතින් හේත්තු  වී තිබෙන  මිනිස් සිරුරක මද චලනයක්  දුටුවේය




Image Source: Airbnb

Tuesday, August 11, 2020

අටවිසි මහල 24- කාලය හරහා ගිය විනෝද චාරිකාව

 

(මේ පළවන්නේ අටවිසි මහල නව කතාවේ විසි තුන් වන කතාවයි . මින් පෙර කොටස් මෙතැනින් කියවන්න ) 

ථයෙන් බිමට බට මනොරන්ජන් තරුණයන් දෙදෙනා දෙස  තරමක් දැඩි බැල්මක් හෙළා නෙතදරා හා වාසුකී දෙසට හැරී. " හරි ඔය දෙන්නත් නගින්න . යන්න අපු ගමන යන්න. මම වාහනෙ ඔයාලට  දෙන්නම් .   " කියා  සුවිසල්  මාර ගහ යට තිබු  ගල් බංකුවේ  නරුම ලෙස වාඩි වී බිම බලා ගත්තේය .

' කෙල්ලන් දෙදෙනා  හඬන්නට ආසන්නව සිටි අතර . මනොරන්ජන් මද වෙලාවකට පසු  උපේක්ෂා සහගතව මෙසේ ඇසුවේය .

" මොකක්ද නෙතදරා මේකේ තේරුම?. දෙන්නෙක් වෙනුවට හතර දෙනෙක් ආවම වැඩේ අවුල් වෙනවනේ.   . නිකමට හරි මට කලින් කියන්න තිබ්බනේ. මේවගේ පිළිවෙලක් තියෙන්න   ඕනි. වාහනේ  තව කී දෙනෙක් යනවද ? ඒ ගොල්ලන්ට කරදරයක් වෙන්නේ නැද්ද ,ඉඩ තියෙනවද  වගේ දේවල් බලන්න ඕනි නේද ? 

නෙතදරා සිය වේදනාව සඟවාගෙන කතා කාලය. 

" අනේ මහත්තයා එහෙනම් අපි  දෙන්නත් නවතින්නම්. අනේ සමා වෙන්න මහත්තයා . කෑ  ගහන්නත්  එපා . නැත්නම් මේකේ වසාලා හමාරයි. අපි ඇත්තටම් අද ටිකක් කලින් මෙතෙන්ට ආවා. ඒ එනකොට දොළහ වෙලත් නෑ. අපි සෑහෙන වෙලා  බෑග් දෙහෙකුත් එල්ලාගෙන බලා ඉන්නව දැකලා තමයි මේ දෙන්නා ආවේ. මේ එක්කෙනෙක් අපේ බැච් එකේ අනික් එක්කෙනා ටිකක්  සීනියර්. '

මේ ජවනිකාව දෙස බල බලා සිට රථයෙන් බැස  ආ රැවුලා  කතා කළේය 

"මොකක් හරි ප්‍රශ්නයක්ද ? අපි ආපු එක ඔය මහත්තයාට කරදරයක්නම් අපි නවතින්නම් . හැබැයි පවුලේ කෙනෙක් නැතිව  වෙන කාටවත් මේ ළමයි දෙන්නා  දවස් දෙකක ට්‍රිප් එකක් එක්කරගෙන යන්න දෙන්න බෑ"

මනෝරන්ජන් ගේ මුහුණ රත් පැහැයට හැරුනේය. ඔහුගේ තොල්  වෙවුලුවේය.  නැවතත් ඔහු බිම බලාගෙන දෝතින් නිකට අල්ලා ගත්තේය. 

මදක් වෙලා කල්පනා කරමින් සිට  මෙසේ කීවේය  . 

" හරි හතර දෙනාම නගින්න . අපි ගමන දිගටම යනවද කියල මගදී තීරණය කරමු " 

මනෝරන්ජන් එනතුරු කෑම නොකා මග බලා සිටි  රාධා හා අනුරාධා රියෙන් බැස තමන් දෙසට එන පිරිස අතර සිය පන්තියේ උගත්  යෙහෙළිය නෙතදරා සිටිනු  දැක පුදුම වුහ. රාධාගේ මුහුණේ කේන්තියක් හා ශෝකයක් තැවරී ගත්තත් එය කිසිවෙකුගේ අවදානයට යොමු නොවීය. අම්රිතා උපේක්ෂා සහගතව සිනා සුනාය . අලුත් යහළු යෙහෙළියන්ට තමන් ඇසුරේ  සුව පහසු නවාතැනක් වන බව අවංක අබිනයෙන්  පෙන්නුවාය . 

රිචර්ඩ් ඔවුන් ඉතා සුහදව පිළිගත්තේ ය. ; 

"මනෝ ඔයා සංගීත කණ්ඩායමක් හොයාගෙන එන්න ගියාද? නියමයි නියමයි" කියා කීවේය. 

අසේල මේ පිරිස මගහැර මදක් ඈතට වී බලා සිටියේය . ඔහු මනෝරන්ජන් ගේ මුහුණ දෙස නොබලා ඉවත  බලා ගත්තේය. 

'මේ මනුස්සයා මේ තරම් ජීවිතේ පටලවා  ගන්නේ මොන එහෙකටද.?"සිතමින් ඔහු කෑමට වාඩි වුනේය. 

අලුතින් එකතු වූ තරුණයන් දෙදෙනා තලු මරමින් කෑවෝය. වාසුකීද සබ කෝලයකින් තොරව  කෑම  ගත්තද නෙතදරා හා රාධා බත් පත අත ගගා සිටියා පමණකි.

අසේල නිහඬ බව බින්දේය . 

"කවුරුත් දන්නේ  නැති වුනාට එක පන්තියේ ඉගෙන ගත්තු තුන් දෙනෙක් මෙතන ඉන්නවා" . 

.මේ හෙළිදරව්වත් සමග තව දුරටත් නන්නාදුනන පිරිසක් ලෙස සිටින්නට පන්ති යෙහෙලියන් තිදෙනාට නොහැකි විය.  සිංහල හා ඉංග්‍රීසි මිශ්‍ර කතා බහ , කෙලි කවට කම්, විහිලු තහළු ටිකෙන් ටික එලියට එන්නට විය. 

අවසානයේ විනෝදමත් ගමන් නඩයක්  වීමට ලැදියාවක් ඇතිව  සියල්ලෝ  රථයට ගොඩ වූහ .

රථයේ ඔක්කොම එකොළොස්  දෙනෙක් විය . රියදුරා, මනෝරන්ජන්, රිචර්ඩ්, අසේල, අම්රිතා , රාධා , අනුරාධා, නෙතදරා, වාසුකී හා නෙතදරාගේ යහළුවන් දෙදෙනාත් වශයෙනි .

 තරුණයන් දෙදෙනා ඒ හැටි අවහිරයකින් තොරව පිරිස හා සෙට් වුහ . රැවුලා  අතොරක් නැතිව ප්‍රශ්න අහන්නට වුනේය. අසේලට ඔහු අල්ලා ගිය සෙයක් පෙනිණි .අනෙකා හොරෙන් හොරෙන්  කෙල්ලන් දෙස බලමින් ඔහේ ආවේය. 

"මල්ලි කියමුකෝ සින්දුවක්. උඹ ගිටාර් එක ගෙනාවේ අතේ පාලුවටද "අසේල අසද්දීත් රැවුලා  ගිටාරය දමා සිටි බෑගයේ  සිපරය අරිමින් සිටියේය. නොබෝ වේලාවකින් ක්ලැරන්ස්ගේ ගීත ගොරහැඩි ලෙස ගැයුනේය. සින්දු තේරුවේ අසේලය . ටික වෙලාවකින් කෙල්ලන්ද ගායනයට හවුල් වුන අතර හැම සින්දුවක්ම අවසානයේදී රස කතා වටයක් තිබිණි. 

රැවුලා  හැම දෙනෙක්ගෙන්ම හැම තොරතුරක්ම අසන්නට පටන් ගත්තේ මේ රස කතා අතරතුරය.

මේ  කොල්ලා නම් ලෝක කපටියෙක් බවත් ඔහු ගැන පරෙස්සම් විය යුතු බවත් මනෝරන්ජන් සිතන්නට වුනේය. 

දඹුල්ලේදී රථයේ පසුපසින් වයින් ස්ප්‍රීතු සුවඳක් හැමුවේය.

කලින් දවසේ හඳගල ගම්මානයට එන විට මද්දහනය  වී තිබුනද මේ වෙලාවේ නම් හතර කොනින් කළුවර වී තිබුනේය.  කෙලින්ම රථය නතර කෙරුනේ වසා දමා තිබු අසේලගේ ගෙදර අසල වැව් පිටියේය. 

රිචර්ඩ් ප්‍රමෝදයට හා විස්මයට  පත්ව  දෑත් හිසේ බදාගෙන කෑ  ගැසුවේය. "මේ තරම් ලස්සන  තැනක ගේ පොඩ්ඩක් තියෙන උඹ  හරි වාසනාවන්තයි ". ඔහු අසේල වැළඳ ගත්තේය . 

"උඹ මේ ගෙදරයි  වැවයි විකුනනවානම් කියපන් . කියන ඕනි ගානක් දීලා මම ගන්නම් "ඔහු හඬ නගා කීවේය. සියල්ලන්ගේ  මුහුණුවල සිනහව පුපුරා යද්දී අසේල මෙසේ කීවේය. 

'මේ වැව උඹට විකුනලා සල්ලි ගත්තොත් අපි දෙන්නට හිර ගේ ඇතුලේ ඉඳන් තමයි අටවිසි මහල හදන්න වෙන්නේ "

වහ වහා ගේ සුද්ද පවිත්‍ර කෙරිණි එළියේ කුඩාරම් දෙක ඉදි වුනේය. සුවිසල් ගිනි මැලයක්  ඇවිලිණි. මස් මාළු හා  මගදී ගත් ඉරිඟු කරල් පිලිස්සෙන්නට විය. රාත්‍රී අහර ගත්තට පසුවත් ඔවිහු වැව් ඉවුරේ සින්දු කීවෝය. කතා බහ කලෝය. වරින් වර එකා දෙන්නා හා හැම දෙනා  එකතු වී ආ ගිය තොරතුරු කතා කලෝය . මනෝරන්ජන් රැවුලා ගැන විපරමින් සිටියේ යම්කිසි නුහුරු  අමුත්තක් දැනුනු නිසාය . රැවුලා කෙල්ලන්ව සත පහකට ගණන් ගත්තේ නැති සෙයක් පෙන්නුවේය. ඒත් ඔහුට හැම දෙයක්ම දැන ගන්නට වුවමනාව තිබුනේය. 

ඔහු සමාජ විද්‍යාව හදාරන බවත් සිය ආචාර්යවරයෙකුට පර්යේෂණයකට උදව් පදව් කරන බවත් හෙළි කර ගන්නට මනෝරන්ජන්ට පුළුවන් වුනේය. එහෙත් මනෝගේ සියොළඟ කිලිපොලා ගියේ ඔවුන්ගේ පර්යේෂණයේ මාතෘකාව ඇසු  විටය. 

"අසූඅට අසුනවය භීෂණයෙන් බල පෑමට ලක් වූ  තරුණ තරුණියන්ගේ සමාජ පැවැත්ම හා චර්යා  විෂමතා "

මධ්‍යම රාත්‍රිය පසු වූ විට කෙල්ලන් ගෙතුලට  ගොස් දොර වසා ගනිද්දී  රිචර්ඩ් එක කුඩාරමකට වැදී නින්දට වැටුනේය . අනෙක් කුඩාරමේ රැවුලා හා ඔහුගේ මිත්‍රයා නිදන්නට පටන්ගත්තෝය  . 

තරු පිරි පැහැපත් අහසත්  අඩ අඳුරේ  රැළි නගන වැව් දියත්  දෙස බලමින් ගල් තලාවේ වැතිරී සිටි මනෝරන්ජන් අසලට අසේල ආවේ විදුලි පන්දමක්ද රැගෙනය .

"මනෝ මහත්තයා සද්ද නොකර මගෙත් එක්ක එන්න." .  මනෝ මදක් බලා සිට අසේල  පසු පස ඇදුනේය. වැව් ඉවුර දිගේ ටික දුරක් ගිය අසේල කුඩා  කණ්ඩියකින් ඉහලට ගොඩ වුනේය. මනෝරන්ජන් එනතුරු ඔහු ටෝච් එක අල්ලාගෙන සිටියේය .  ගස් ගොම්මනෙන් වැසී තිබුණු කුඩා තැනිතලා ඉඩක පාත්තියක් මෙන් සකසා වටේට ගල් බෝඩරයක් ඇල්ලු තැනක් විය. මලින් බර අරලියා ගස් කීපයක් එතැනට හෙවණ සැපයිය .

" මෙතන නිධානයක්වත් තියෙනවද අසේල? "

" ඔව් මම කවදාවත් ඇහිං දැකපු නැති ආයේ දකින්න ලැබෙන්නෙත් නැති නිදානයක් " කී අසේල සුසුමක් හෙලා මනෝරන්ජන්ගේ උරපත්ත මත අතක් තැබුවේය .

"මනෝ මහත්තයා මේ තමයි මගේ අම්මගේ සොහොන !"


-මීළඟ කොටස  -




Image Source : Clipartpanda.com

Wednesday, August 5, 2020

අට විසි මහල 23- අසේල දඹුල්ලෙන් කොළඹට




(මේ අටවිසි මහල නවකතාවේ විසිතුන් වන කොටසයි . මින් පෙර කොටස් සියල්ල මෙතනින් )

තුන්වන කොන්ක්‍රීට් තට්ටුව දමා හමාර  වීමෙන් පසුවද සුපුරුදු පරිදි සතුටු සාදයක් පැවැත්වීමටත්  ඊට පසුව කලින් කතා කරගෙන සිටි  ට්‍රිප් එක යාමටත්  සූදානමක් තිබුනේය . 
සාදය හා විනෝද චාරිකාව හැමෝගෙම හිතට සැහැල්ලුවක් ගෙන එන බවට පෙර මග ලකුණු පෙන්වමින්  ඒ සඳහා සුදානම් වීම පවා ප්‍රභෝදමත් මෙන්ම  විනෝදශීලී කටයුත්තක්ම විය. 

සිව්වන  මහලේ වැඩ කටයුතු කරගෙන යන ආකාරය පිලිබඳ ස්ලැබ් එක දමන්නටත් කලින්   රැස්වීමක් තිබ්බේය.  එහිදී අලුත් වැඩ සටහනක් සම්බන්ධයෙන් දීර්ඝ   වශයෙන් කතා කෙරුණේය . අසේල ස්ථිර වශයෙන්ම අටවිසි මහලට ගෙන්වාගෙන පලවෙනි මුල  ඉඳන්ම ඇතුලත නිමාවේ  වැඩ පටන් ගන්නා ලෙස පැවරුවේය . මොඩල් නිවාසයේ වැඩ ඉක්මනින් අවසාන  වී තිබුනෙන් අමුත්තන් නිතර නිතර  වැඩ බිමට පැමිණෙන්නට පටන් ගෙන තිබුනේය. ඒ නිසා ඉතා ඉහළ මට්ටමින් වැඩපලේ  පිරිසිදු කම පවත්වා ගත යුතු බවත්  සියලු සේවකයන් නිසි ඇඳුමින් සැරසී විනීතව සේවයේ නිරත විය යුතු බවත් මේ කොම්පනියේම ප්‍රතිපත්තිය විය. තාක්ෂණික පැත්තෙන් වැඩ කටයුතු හොඳින් කෙරෙද්දී මේ වගේ ලස්සන පිළිවෙලක් තිබෙන  වැඩබිමක් පවත්වා ගැනීමේ අභියෝගය මනෝරන්ජන් හා අම්රිතා පළ පුරුද්දෙන්ම කරගෙන ගියෝය  . ඒ අතරට ෆිනිෂින්  වැඩ සම්බන්ධ අසේලගේ අත් හුරුව හා  මිනිසුන් මෙහෙය වීමේ අපුරු හැකියාව එක්කාසු වීම නිසා වැඩ බිම හිතා ගන්නට  කිරීමට බැරි තරමේ සිත් ගන්නා සුළු එකක්  වුනේය.

අසේලගේ පෙරලා පැමිණීමෙන් පසු අම්රිතා හා මනෝරන්ජන් මුහණ දී තිබු මානසික ගැටුම සෑහෙන දුරට හමාර වී ගියේය. අසේල හා අම්රිතා කුමන්ත්‍රණය කළේ සිල්වාත් කොහොමින් කොහොම හරි මේ වැඩ බිමටම ගෙන්වා ගැනීමටයි . 
' අපි ටීම් එකක් හැදුනා. හොඳට කාලයක් වැඩ කරා. එක එක්කෙනාගේ නොගැලපීම් , අඩු පාඩු තිබ්බා ඒත් අපි එකතුවක් හැටියට සාර්ථකයි කියල මම හිතන්නේ. එක හොඳ නරක මිශ්‍ර වෙලා හැදිච්ච බදාමයක් වගේ ' අම්රිතා කීවාය .

ගබඩාව  ඉදිරියෙන් වූ හිස් ඉඩ පිටතින් ගෙනවිත් තබන ලද මලින් පිරුණු නෙක පැහැයේ  බෝගන් විලා පඳුරු වලින් මනස්කාන්ත වී තිබුනේය. හතර වන තට්ටුවේ ස්ලැබ් එක දැමීමට අවශ්‍ය සියලු කළමනා හා පිරිස ලක ලැස්ති කර තිබුණෙන්  රිචර්ඩ්, මනෝ , අම්රිතා , අසේල ඇතුළු මුල් පෙලේ නියමුවන්   දවසක් දෙකක් නිවාඩු ගත්තාට ඒ හැටි පාඩුවක් වෙන්නේ නැත   . මිස්කින් තමන්ගේ  නිවාඩුව  ගැනීම කල් දැම්මේ ට්‍රිප් එක යාමට සහාය පල කිරීමක් වශයෙනි . අලුත් සුපර්වයිසර්ලා හා උප කොන්ත්‍රාත් කරුවන් වැඩි දෙනෙක්   නොනවත්වා වැඩ කරන්නට ඕනෑය.

පහළොස් දෙනෙකුට යා හැකි වායු සමනය සහිත වැන්  රථයක් රිචර්ඩ් විසින් ලෑස්ති  කරගනු ලැබූවේය . අලුත්ම කුඩාරම් දෙකක්ද ඔහු මිලයට ගත්තේ මේ ගමන සඳහාමය. ඔහු කවරදාවත්  නැති උනන්දුවකින් ගමනට ලක ලැහැස්ති වුනේය . එකම ගමන දෙවැනි වතාවත් යන්නට වීම කිසි කෙනෙක් උදාසීන කරවා නොතිබුනේය. 

ස්ලැබ් එක දැමු දවසේ  සාදය කල් ඇතිව අවසන් වුනේය. කලින්  ස්ලැබ් දෙකක් දමා ලබා තිබු පළපුරුද්ද වගේම මේ වාරයේ අලුතින් එකතු වූ ජවයක්ද සමග කළුවර වැටෙන්නටත් කලින්  තට්ටුව දමා අවසන් කිරීමට හැකි විය . ඊට පහුවදා උදේ අට හමාර වෙද්දී කොළඹින් පිටත් වීමට කතිකා කරගත් පිරිස විසිර ගියෝය . 

අම්රිතා රාත්‍රිය නතර වීමට පානදුරේ ගෙදරට ගියේ  පසුවදා ගමන යාමට රාධා හා අනුරාධා සමග එන්නටය . මේ පාරවත් අසේලගේ අම්මා ගමනට එකතු කර ගැනීමට කොයිතරම් උනන්දු කරත් හරි ගියේ නැත . අවසානයේ අම්මා කීවේ මෙවැන්නකි . 

"ඔය ගම මගේ  මහත්තයාගේ ගම තමයි ඒත්  මට  කවදාවත් එහෙ යන්න හිතෙන්නේ නැති හේතුවක් තියෙනවා. ඒක  මම කවදා හරි දවසක ඔයාට කියන්නම් "
අම්රිතා පුදුම වුවාය. එහෙත් සතුටු වුනාය . හැම   කෙනෙක් ගාවම  කාටවත් කියන්නේ නැති එක් වැදගත් රහසක් තියෙන්න ඕනි බවත්  කවදා හෝ දවසක ඒ රහස කියා  දැම්මාට පසු ඒ පුද්ගලයා ළඟ ඉතිරි වන්නේ අපුර්වත්වයෙන් අඩු ජීවිතයක් බවත් ඈ  තේරුම් ගෙන සිටියාය. 

"කමක් නෑ  අම්මේ . අම්ම ඒ රහස නිසා තව දුරටත් දුක් විඳින්නේ  නැත්නම් ඒක කාටවත් කියන්න ඔනි නෑ . මගේ ලඟත් කාටවත් නොකී රහසක් තියෙනවා. ඒකත්  මට දුකයි සතුටයි දෙකම ලබා දෙනවා. අනික් අතට මන් ගාව  මොකක් හරි වටිනාකමක් තියෙනවනම් තියෙන්නේ ඒ රහස හින්දා  කියලයි මම හිතන්නේ. "අම්රිතා කීවාය. 

 එදා ගමනේදී දවල් කෑම පේරාදෙණිය තානායමේදී  ගැනීමට කතිකා කරගෙන  කර තිබුනේය . පිරිස තානායමේදී  රියෙන් බස්සවා මනොරංජන්  රියැදුරා සමග  ගියේ නෙතදරා හා ඇගේ මිතුරිය වාසුකී කැටුව ඒමටය.  

 මනෝරන්ජන් ඒ කතාව අසේලට හරියටම කීවේ පෙරදා රාත්‍රියේය . තරමක් බමන මතින් සිටි මිතුරන් දෙදෙනා සාදය අවසන් වී තවත් පැය  කීපයක් ලුනාව වෙරළ අද්දර වාඩි වී කතා බහ කළහ . 

"මේක අසේල ට කිව්වම මගෙත් එක්ක අමනාප වෙන්නත් පුළුවන්  , මම එදා නුවරින් බැහැලා අසේල අරලුවාට පස්සේ ආයෙමත් කැම්පස් එකට ගියා ." 

ඉන්පසු ඔහු අසේලට කියන්නට ඕනෑ සියල්ල මනසින් දිග හැරියේය . 

"ඇත්තෙන්ම එහෙම යන අරමුණින් නෙවෙයි මම නුවරින් කොළඹ  බස් එකට නැග්ගේ . ඒත්   පේරාදෙණිය හරියට බස් එක ආපහු එනකොට මට මොනා උනාද කියලා හිතා ගන්න බැරි වුනා . මම දඩි බිඩියේ බැහැලා  ත්‍රී වීල් එකක්  අරන් නෙතදරාගේ හොස්ටල් එකට ගිය . එතෙන්ටම ගියාට පස්සේ මට හිතුනා ආපහු හැරිලා යන්නත් . මට වඩා ගොඩක් බාල තරුණ ජෝඩු  අතර මග   හිටියා. මම අමුත්තෙක් වැඩි හිටියෙක් විදිහට මේ ගමන් යන එක හරි නෑ කියලම තමයි හිතුනේ . ඒත්  දැන්  ආපහු හැරෙන්න විදිහක් නෑ . මම පොඩ්ඩක් හොස්ටල් එකේ අමුත්තන්ට ඉන්න තැනක් තියෙනවද කියල බැලුවා. ඒත්  නෑ.  මම එතනින් ගිය ගෑනු ළමයෙකුට කතා කරා . 
"මිස් මට පොඩි උදව්වක් කරන්න පුලුවන්ද ? අපේ නංගී  කෙනෙක් ඉන්නවා නෙතදරා කියලා . එයාට කතා කරන්න ඕනි ". 
'රූම්  නම්බර් එක මොකක්ද අයියේ? "කියල අහද්දී මට හිතුනා මම ඒ හැටි වයසින් වැඩි එකෙක් නෙවෙයි කියල . . 
ඒක නම් දන්නේ නෑ නංගී  . කළමනාකරණ පීඨේ. පළවැනි අවුරුද්දේ ඉන්නේ "

ඉන්න මම බලල කියන්නම් අර කැන්ටිමෙන් වාඩි වෙලා ඉන්න කියල ඒ ළමයා ඉගිල්ලුනා . 

සෑහෙන වෙලා ගියා. ටික වෙලාවකින් ආයෙත් ඒ  ළමය වෙනුවට තවත් ළමයෙක් ඇවිත් වට පිට බලල මගෙන් අහපි.
"මහත්තයා  නේද නෙතදරා හෙව්වේ ? එයා   ඉක්මනින් එයි . මහත්තයා  වාඩි වෙලා ඉන්න "

හීන් කළු පාට කෙල්ල  අහිංසකයි. තියුණු ඇස් තිබ්බේ . 

" ඔයා  කාවන්තිස්ස පුර නේද ගම .?
"ඔව්  . ඔය මනොරන්ජන් මහත්තයා නේද ? "
" ඔව් ඔව් කොහොමද දැන ගත්තේ ?"
" මට නෙතූ හැම විස්තරයක්ම කියල තියෙන්නේ . මම එයා තනියම කියවන  හැමදේම අහගෙන ඉන්නේ"
මොනාද මං ගැන නෙතදරා කිවිවේ ?
" මොනාද නොකිව්වේ .? හීනෙනුත් මහත්තයා ගැන තමයි කියන්නේ " කියල කෙල්ල අහක බලාගෙන හිනා වුනා .
" මහත්තයා ඉන්න මම ඉක්මනට නෙතූ එවන්නම් කියල  දිව්වා  . 
ඔන්න තවත් විනාඩි විස්සකට විතර පස්සේ තමයි  නෙතදරා හෙමින් හෙමින්  ඇස්වල සතුටයි ලැජ්ජාවයි   පුරවාගෙන එතැනට ආවේ . කහපාට ලස්සන ගවුමක් ඇඳලා. කොන්ඩෙන් වතුර බේරෙනවා . ඒ මුණේ  තිබ්බේ මෙච්චර කාලයක් ප්‍රමාද වුනේ ඇයි එයා  බලන්න එන්න කියල වගේ එකක් . අර  කර්කශ ජීවිතේ නිසා දරදඬු වෙච්ච මෝරාපු කෙල්ල නෙවෙයි එතැන හිටියේ .

' ඉතින් එදා අපි ඉන්  එහාට කතා කරේ කාලාන්තරයක් තිස්සේ ප්‍රේමවන්තයෝ දෙන්නෙක් වෙලා හිටියා  වගේ.දැන් ආපහු හැරීමක් නෑ අසේල "

චිත්‍රපටියක රුප පෙළක් මෙන් තම මතකයේ මැවෙන මේ  සිද්දියේ තෝරා බේරා ගත් සාරාංශය පමණක් ඔහු අසේලට කියන්නට පරෙස්සම් වුනේය . අනෙක් අතට නිවාඩු ගොස් සිටි අම්රිතා පෙරළා එන්නට පෙර නෙතදරා හමු වී තීරණයක් ගන්නට ඔහුට හදිස්සියක් තිබුණු බවත් ඔහු අසේලට නොකීවේය . 

අසේල ඒ කතාව  අසා සිටියත් කිසිවක් නොකීවේය . එහෙත් ඔහුගේ මුවේ මතු වූ සරදම් සිනහව මනෝරන්ජන් දුටුවේ නැත .

කලින් ලියුමෙන් දැන් වූ විදිහට  මනෝරන්ජන් නෙතදරාලා  ගන්නට එන්නේ දහවල් දොළහත් තිහත් එකත් අතරය . ඈ හිල්ඩා ගහ ළඟ බස් හෝල්ට් එකට වාසුකී සමග පැමිණ සිටින බව ලියා තිබුණාය  . 

කියාපු වෙලාව පහු වෙන්නට ඔන්න මෙන්න  තිබියදී මනෝරන්ජන් සමග වෑන් රිය හිල්ඩා ගහ යට නතර  වුනේය . ඒත් පොරොන්දු වුන දෙන්නාට අමතරව කොල්ලන්   දෙදෙනෙක්ද  එතන සිටියෝය. රැවුල වවා සිටි කොල්ලාගේ  අතේ ගිටාරයකි  . අනෙකාගේ අතේ ගමන් බැගයකි.

රථය නතර කළ සැනින් රියට ගොඩ වුයේ ඒ කොල්ලන් දෙදෙනාය . රතු කරගත් වරදකාරී  දෑසින් යුතුව නෙතදරා හා වාසුකී පාරේ හිටගෙන සිටියෝය  . 

මනෝරන්ජන් සිටින කවුළුව අසලට ගිය නෙතදරා බොහෝ බයාදු ලෙස මෙසේ ඇසුවාය . 
. "මනෝ මහත්තයා අපේ මේ යාළුවො දෙන්නත් ආවට කමක් නැද්ද ?'
ඈ දෙස මදක් බලා සිටි මනෝරන්ජන් රථයෙන් බිමට බැස්සේය .
 


Image: Freepik

Sunday, July 26, 2020

අටවිසි මහල 22 - එක්සයිට්මන්ට්ස්



(මේ පලවන්නේ අටවිසි මහල නව කතාවේ විසි දෙවන කොටසයි . මින් පෙර කොටස් සියල්ල මෙතැනින්)

රිචර්ඩ් සිතා සිටින්නේ අම්රිතා සිත් වේදනා විඳින්නේ පියාගේ අසනීප තත්ත්වය හෝ වෙනත් පවුලේ ප්‍රශ්නයක් නිසා බවය . අනෙක් අතට ඇගේ   මේ  වෙනස නිරීක්ෂණය වෙන්නට පටන් ගත්තේ අම්රිතා නිවාඩුවට ගොස් යළි වැඩට  ආ දවසේ පටන් නිසා රිචර්ඩ් එහෙම හිතන එක සාධාරණය . එහෙත්  මේ කියන චිත්තාර්බුදය ආපසු එන ගමනේදී  මෝරා එන්නට වුනේ   කටුනායක ගුවන් තොටුපොලට ගොඩ බැස්ස තැන පටන් බව තේරුම් ගැනීමට තරම් සියුම් සංවේදී කමක් රිචර්ඩ්ට තිබ්බේ නැත . ඇරත් ඒ සංවේදීකම තිබෙන්නට ඕනෑම මිනිසා වන මනෝරන්ජන් තුලත් එවැන්නක් තිබුනේ  නැති සෙයකි .

අම්රිතා මෙවර ආවේ දෙපැත්තට වැනි වැනී  තීරණයක් ගන්නට බැරිව සිටි ගැටලුවකට ස්ථිර අදහසක් අරගෙනය. ඒත් ඒ තීරණය ඇතුළු සිතේම  දවා ගිල දැමීමට ඇයට සිදු වී තිබීම මේ වේදනාවේ කතාන්තරයයි . සමහර විට එදා ගුවන් තොටුපළෙන් තමාව පිලිගැනීමට මනෝරන්ජන් ආවානම් වාහනයේ එනගමන් ඔහුට මේ සියලු කතන්දර කියන්නටත් එදා රාත්‍රියේ ඔහු සමග ගත කිරීමටත්  පවා ඉඩ තිබිණි . ඒත් ඈ සිතු සේ නැතිනම් නොසිතූ සේ  තත්ත්වය වෙනස් වී තිබේ.
අම්රිතා ළයට  තුරුළු කරගෙන සනසවන්නට වෙහෙසෙන රිචර්ඩ් මේ වගක් හාන්කවිසියක් දැන  සිටියේ නැත .
මනෝරන්ජන් මේ  වෙනස නිරීක්ෂණය නොකලාක් මෙන්  අසංවේදීව සිටින  බවක් පෙන්නුවද ඔහු අම්රිතා කෙරෙහි ඇති වී තිබෙන සංකීර්ණ මානසික විපර්යාසය තේරුම් ගෙන සිටියේය  . ඈ පිලිබඳ  අවදානයෙන් සිටින්නැයි ඔහු අවසානයේ රාධාගෙන් ඉල්ලා සිටියේය. වැඩි වැඩියෙන් අම්රිතා සමග කතාබහ කරන ලෙසත්  ඈව තනි නොකරන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය . අම්රිතාගේ පානදුර ගමන් වැඩි  කරවීම මේ කුමන්ත්‍රණයේ ප්‍රතිපලයක් වුනේය. අනෙක් අතට අම්රිතා ඒ අම්මා හා දුලා දෙන්නාගේ සමාගමයට කැමති වුනාය . ඔවුන් ඇසුරේ අගේ මනස ලිහිල් වුයේය . සැනසුමක් දැනුනේය.

මනෝරන්ජන් ගේ දින සටහන් අතරින් තේරා බේරා ගත්  මේ කතාවේ ඔහුගේ පැත්තේ විස්තරය මේ වගෙය .
1988 අවුරුද්දේ අයියාගේ බල කිරීම මත ඔහු දන්නා ඒජන්සියක් මගින් හොර සහතිකද සාදාගෙන  ඩුබායි වෙත පටවා අරිනු ලැබූ මනොරන්ජන්  රිචර්ඩ්ලා  කොම්පැනියේ ආධුනික සුපර්වයිසර් වරයෙකු විදිහට වැඩට බැඳුනේය . ඒ වන විට ඔහු ඇදී යමින් තිබෙන දේශපාලන වංකගිරියේ  ඔහුගේ පැවැත්ම පිලිබඳ බිහිසුණු අවිනිශ්චිත තාවක් මැ වෙමින් තිබුනේය . කෙසේ හෝ ඔහු ඩුබායි හි රස්සාව කරන අතරතුර  කවුරුත්  ළෙන්ගතු  කටකාර වැඩිහිටි සුපවයිසර්වරයා  සන්ජිබ්  අර කාලකන්නි අනතුරට මුහුණ දුන්නේය . අවසානයේ ඔහුට කකුලක් අහිමි වුනේය. සදාකල් පවතින කොන්දේ හා බෙල්ලේ අමාරු මතු වුනේය . මේ තත්වය තුල ඔහුට තව දුරටත් රස්සාව කර ගැනීමට නොහැකි වුයෙන් ඔහු සියරට පටවා හැරීමටත් අවුරුදු පහක් යනතුරු විශ්‍රාම වැටුපක් ගෙවීමටත් කොම්පැනිය එකඟ  වුනේය .

ඒත් සන්ජිබ්ගේ ඉල්ලීම එය නොවීය . ඉස්කෝලේ ඉගෙනුම හමාර කර සිටි සිය එකම දරුවාට රස්සාවක් ලබා   දෙන ලෙස ඉල්ලමින් ඔහු හඬා වැටුනේය . අන්තිමේ ඒ දරුවාට වීසා ලැබිණි . දෙමසකට පසුව  සන්ජිබ්ගේ එකම දරුවා  ඩුබායි වැඩබිමට ආ දවසේ කාගේත් ඇස් ඉහළ ගියේය . හිතේ මවාගෙන සිටි අව්වට කළු ගැහුණු රළු පෙනුමක් ඇති ඇසෑමයේ කොල්ලා වෙනුවට වැඩබිමට ආවේ විසි හැවිරිදි මනස්කාන්ත රූ සපුවක් ඇති උස අදිටන්ශීලී කෙල්ලකි.  . වැඩබිම් කන්තෝරුවේ හැරුණු විට හදන බිල්ඩිමේ  පලංචියේ නගින කාන්තා පාර්ශවයේ කිසිවෙක් ඒ වැඩ බිමේ සිටියේ නැත .

මනෝරන්ජන් ගේ  යොවුන් සිත සලිත වන්නට පටන් ගත්තේ එදා පටන්ය . එහෙත් නොබෝ කලකින්ම තමා දකින ආපහු ගමට යෑම එහි කුඩා ගෙයක් හදාගෙන ජීවත් වීම ,  සාධාරණ සමාජයක් වෙනුවෙන් දිගටම  සටන් කිරීම වගේ තරමක් පරණ තාලේ  අරමුණු ඈ කෙරේ කොහොමත් නැති බව ඔහු තේරුම් ගත්තේය .

ඒ වෙනුවට  දැරිවියක සන්දියේ සිට ඈ දැල්වුණු  සිහින තුනක් තිබෙන බවත් එක්සයිට්මන්ට් වලට තමා ආකර්ෂණය වන බවත් අම්රිතා කීවේ කාටත් ඇහෙන පරිදි හවස තේ  බොන වේලාවේදීය . ඒ වැඩට ඇවිත් සතියක් ගිය විටය.

ඒ සිහින   තුන මොනවාදැයි අම්රිතා මනෝරන්ජන්ට කීවේ අලුත් රස්සාවට ඇවිත් දෙමාසයක් ගියාට පසු ඔහු සමග කෝනිච් වෙරළේ ඇවිදිමින් සිටියදීය .
ඇගේ පලවෙනි සිහිනය වී තිබුනේ කවදා හෝ පිට රටක රස්සාව කිරීමය . දැන් ඒ සිහිනය නොසිතු ලෙස ඉටු වී තිබෙන අතර  දැන් සිහිනය  "පිට රටක" යන්න "පිට රටවල් ගොඩක" ලෙස වවාගෙන සිටියාය. දෙවැනි සිහිනය වුනේ නේපාලය හා ටිබෙටය හරහා ශුෂ්ක සුන්දර මාවතේ  මෝටර් සයිකලයකින් චීනයට සවාරියක් යෑමය. ඒ සිහිනය ඈ තුල රෝපණය කලේ ඇගේ පළමු පෙම්වතා විසිනි . තුන්වන සිහිනයනම් විවාහයෙන් පසු දිය මත පාවෙන ගෙදරක ජීවත් වීමය,

පේරාදෙනි ග මනින් පසු නෙතදරාට ලියුම් ලියන අතරේත් මනෝරන්ජන්ට අම්රිතාගේ සිහින ගැන වරින් වර සිහියට නැගුනේය . තාමත් ඉටු වුයේ අගේ පළමු සිහිනය පමණක් බවත් ඒ සිහිනය විසින් ඈ දුකට ඇද දමා තිබෙන බවත් ,. අම්රිතාගේ අනෙක් සිහින දෙකටම තමාගේ උනන්දුවක් නොමැති බව   අම්රිතාට  වැටහීමම ඈ වෙතින් තමාව දෙවරක්  ප්‍රතික්ෂේප වීමට බල පෑවා යන්න  මනෝරන්ජන්ගේ  කල්පනාව විය .
 ඒ වුනත් අම්රිතා තමාගේ දෙවන සිහිනයද ඉටු කරගෙන තිබෙන බව මනෝ රන්ජන් ඒ වනවිට නොදැන සිටියේය . අනෙක් අතට අම්රිතාගේ තුන්වන සිහිනය හොරකම් කර ගැත්තෙක් තමන් සමගම සිටින බවද මනෝරන්ජන් තේරුම් ගෙන නොසිටියේය .

ඔහු යලිත් නෙතදරාගේ රුව මවා ගත්තේය. ඊළඟට සියල්ල අමතක කර වැඩබිම වටා රවුමක් ගියේය. සුපර්වයිසර් වරුන් සමග කතා කළේය. ඉතිරි සතියේ වැඩ ටික සැලසුම් කළේය. අඩුපාඩු ලැයිස්තුවක් හැදුවේය. තව සතියකින් තුන්වන ස්ලැබ් එක දානවා . ඊට කලින් අසේල ගෙන්නා ගන්නට ඕනෑ.

අනෙක් අතට අසේලගේ පැමිණීම අම්රිතාටත් සතුටක් වනු ඇත . යලිත් මුල් කාලයේ මෙන් හිනාවෙන් කෙලි කවට කමින් පිරුණ  එහෙත් වේගයෙන් යහමින් වැඩ කෙරෙන වැඩ බිමක් හදා ගන්නට පුළුවන් වේදැයි  සැකය . එහෙත් අටවිසි මහල මීට වඩා ප්‍රබෝදමත් වැඩ බිමක් කරන්නට මොනවා හරි කරන්නට වෙන බව ඔහුට ස්ථිරය .
තව තට්ටු විසි පහක් . මාස විසි දෙකක් .

-මීළඟ කොටස -









Image Source : WallHere

Sunday, July 19, 2020

අටවිසි මහල -21 - ගුවන් තොටින් පානදුරට



(කොටස් වශයෙන් පළවන අටවිසි මහල නවකතාවේ විසි එක් වන කොටසයි . මින් පෙර කොටස් මෙතැනින්.)
ම්රිතා ගන්නට එයාපෝර්ට් එකට එන බව මනෝරන්ජන් පොරොන්දු වුනේ ඈ නිවාඩු යන බව පවසා ඔහුට  ඇමතුමක් දුන් වෙලාවෙමයි. ඒත් ඇ පෙරලා එන දවස අද බවත්  ඈට වූ පොරොන්දුවත් ඔහුට මුළුමනින්ම අමතකව ගොස් තිබුනේය . මේ මොහොත වන විට අම්රිතා ගොඩ බසින්නට ආසන්නය . රාත්‍රී අට හමාරටත් නුවර කොළඹ බසයක නැගී  කඩුගන්නාව පල්ලම බසින  තමා කටුනායකට යනවිට අවම වශයෙන් තව පැය තුනක්වත් ගත වනු ඇති බව මනෝරන්ජන්  තේරුම් ගත්තේය .
නිසි  කල්පනාවෙන් තොරව දවස් දෙකක්ම  ගත වුනා නේදැයි ඔහුට සිතිනි. අම්රිතා පිලිබඳ සඟවා ගත් ආදරයත් ඇය මේ මොහොතේ පත්ව තිබෙන අනාදරය ගැනත් මතු වූ සිතිවිල්ල ඔහුගේ සිතට වේදනා  දුන්නේය.
කොම්පැනියෙන් ලැබුණු ගඩොල් බාගේ ජංගම දුරකථනය අරන් එන්නට පුළුවන් වූවානම් මේ වෙලාවේ ගුණසේනට හෝ බැරිමනම් රිචර්ඩ් ට  හෝ  කෝල් එකක් දෙන්නට තිබ්බාය. අම්රිතා කතා කළොත් හැර කතා කරන්නට බැරිය . ඈ ලඟත් දූරකතනයක් නැත .

" අම්රිතා මීට කලිනුත් තනියම ඇවිත් තියෙනවා. එයා ඒ ගැන බය වෙන් නෑ . එකම දේ අම්රිතා රස්තියාදු වෙන එකයි හිත් වේදනා ගන්න එකයි තමයි. ටැක්සියක් අරගෙන පරෙස්සමින් එයි . දැන් කෙලින්ම යන්න ඕනි අම්රිතාගේ බෝඩිමට"

මෙසේ සිතමින් මනොරන්ජන් සිය වරදකාරී හිත හදා ගන්නට උත්සහ කළේය . ඒත් ඔහුගේ මනස අතිශයින් නොසන්සුන් වී තිබුනේය.  ඒ සමගම ඔහුට අද හවස නෙතදරාගේ කතාව ඉක්මනින් එකලාසයක් කර ගන්නට වුවමනා වුයේ ඔහුගේ යටි සිතේ මතු වෙමින් ආ අම්රිතා සම්බන්ධ චංචල සිතුවිල්ලක් වැඩෙන්නට නොදී  යටපත් කර ගැනීමට නොවේදැයි කියා සිතුනේය . පළමු වාරයේත් , දෙවන වාරයේත් දුක්මුසු පරාජය වීම් වලින් කෙලවර වූ එකම කතාන්දරය තුන්වන වාරයටත් මතු වීම වලක්වා ගන්නට ඔහුට වුවමනා වී තිබුනේය .
කෙසේ වෙතත් බසය වරකාපොලට පැමිණ තේ බොන්නට නතර කළ සැනින් ඔහු  කඩයට  මුදල් ගෙවා රිචර්ඩ්ට ඇමතුමක් ගත්තේය .

" ආ මනෝරන්ජන්  ඔයා හොඳින් නේද ? මොකද උනේ ?  ඇයි යන තැනක ෆෝන් එක ගෙනියන්නේ නැත්තේ ?.  අපි ඔක්කොම ඔයා හොයනවා. අම්රිතා චෙන්නායි එයාර්පෝර්ට් එකේ ඉඳන්ම ඔයාට කතා කරන්න ට්‍රයි කරනව. පස්සේ මට කතා කලේ. අන්න මම එයාව ගන්න වහනයක් ලැස්ති කරා  "

මනෝරන්ජන් සැනසුම් සුසුමක් හෙලුවේය . ' තැන්ක්ස් රිචර්ඩ් . මම හොඳින් . මේ කොළඹ එන ගමන් . හෙට ඇවිත් සේරම කියන්නම්.  වෙච්ච අඩුපාඩුවලට  සමා වෙන්න "

" කමක් නෑ. පරිස්සමින් එන්න. හෙට හමුවෙමු "

මනෝරන්ජන් දිගටම  කල්පනා කළේය.

"ඒකත් එක්ක අම්රිතා ඉන්න ඇත්තේ සෑහෙන හිතේ ප්‍රශ්නවලින් . නැත්නම් මගින් මගට අපි කාවවත් හොයන්නේ නෑ. වෙනදට  යකඩ ගෑනි වගේනේ වැඩ. ඕනනම් පහුවදාට පලු යන්න බනීවි . ශේහ් අද මට යන්නම තිබ්බ දවසක්."

පිටකොටුවෙන් බැස්ස හැටියේම ත්‍රී වීලරයක් ගෙන සුවාරපොල, අම්රිතාගේ ඇනෙක්සිය බලා ඉගිල්ලූන  අසේල ගෙදර ඉස්තෝප්පුවට වී  මහලු යුවලත් සමග රෑ මැදියම වන තුරු බලා සිටියත් අම්රිතා ආවේ නැත.

එදා රාත්‍රියේ අම්රිතා පානදුර නිවසට ඇරලවා ගත් බවත් . අසේලගේ මවගේ  උරහිසේ හිස ත්තබාගෙන වැළපුන බවත් , එළිවන විට ඈගේ සියලු කතන්දර හා චිත්ත වේදනා ඈට පවසා හිත නිදහස් කර ගත බවත් මනෝරන්ජන් දැන ගත්තේ බොහෝ කාලයකට පසුවය .

******

පසුවදා සිට ඉතාමත් යුහුසුළුව , පිළිවෙලකට අටවිසි මහල තෙවන මහල ඉදි කිරීමේ වැඩ කටයුතු පටන් ගත් අතර පළමු හා දෙවන මහලේ සේවා සැපයුම්, ගඩොල් බිත්ති  හා කපරාදු වැඩ පටන් ගෙන තිබිණි . නානා ප්‍රකාර අලුත් ගෝල බාලයන් හා  බඩු භාණ්ඩ වැඩපලට එකතු වෙමින් තිබිණි. ඒ අතරේ  පළමු මහලේ එක් නිවාස ඒකකයක් තෝරාගෙන සියලු වැඩ නිමවා ප්‍රදර්ශන නිවෙසක් ලෙස පිළියෙළ කර ගනිමින් තිබිණි. මේ මොඩල් හවුස් එකේ  වැඩවලට සතියකට වතාවක් අසේලත් කොළඹ ආවේය. සුපුරුදු පරිදි ගාලු පාරේ කොච්චි හු කියමින් දිව්වේය. මනෝ, අසේල, අම්රිතා, සිල්වා, මිස්කින් හා රිචර්ඩ් ඇතුළු මුලින්ම එකතු වූ  චරිත ඇසුරේ ගොඩ නැගුනු මානුෂික  සම්බන්ධතා නිසා මුල් කාලයේ වැඩපළේ තිබුණු  ප්‍රීතිමත් ක්‍රියාශීලී ගතිය වෙනස් වී ඒ වෙනුවට නිල හා යාන්ත්‍රික ජවයක් එකතු වී තිබුනේය.   සියල්ලෝ යම්කිසි අදෘශ්‍යමාන ආතතියක් හා දුරස්ත බවක්  දරා ගනිමින් වුවද  රාජකාරී වලදී එකමුතුව කඩිසරව වැඩ කලෝය.

අම්රිතා හුදෙකලාව කල්පනා කරන්නට වෙලාව හොයා ගත්තේ  වරින් වර වැඩ බිමේ පාලු කෙළවරවල්  නිරීක්ෂණය  කරන්නට ගොසිනි . ඈ තුල යම් කිසි අමුත්තක් පෙනෙන්නට  තිබුනත්  මනෝරන්ජන්ට පෙරට වඩා වැඩ තිබ්බේය . යුහුසුලු වැඩ බිමේ කටයුතු නිමවා ඔහු නොකඩවා දිනපොත ලිව්වේය. ලියුම් ලිව්වේය.

මේ දවස්වල අම්ර්තා වඩ වඩාත් අසේලගේ පානදුරේ ගෙදරට සමීප වෙමින් සිටියාය . සතියකට වතාවක්වත් ඈ එහි ගොස් අම්මා , රාධා හා අනුරාධා සමග රැයක් ගත කළාය. රිචර්ඩ් සමග ඉඳ හිට රාත්‍රී කෑමකට ගියාය . වරක් දෙවරක් මනෝරන්ජන්ට හා ඈට සරස්වතියෙන් මසාල තෝසේ ගෙන්වා ගත්තාය

සමහර රැස්වීම් වලදී අම්රිතා ශාලාවේ වාඩි වී  සිටින මිනිසුන්ගේ සැඟවුණු පුද්ගලික සිතුවිලි  මොනවාදැයි කල්පනා කරන්නට පටන් ගත්තාය . මෙතැන සිටින රළු , කළහකාරී, මෘදු , නිල රාජකාරී දේ පමණක් කතා කරන ආදී සියලු දෙනා තුලම වෙනස් ජීවියෙකු වෙසෙන බවත් ඔවුන් සියල්ලන්ටම රාජකාරියෙන් පිටත විශාල රහස්  කතන්දරයක් තිබෙන  බවටත් ඈට වැඩි වැඩියෙන් දැනෙන්නට පටන් ගෙන තිබිණි  මේ කාලයේ ඈ හැසිරුනේ පෙරටත් වඩා දයාබර විලාශයකින් නිසා ඈ සමග වැඩ කිරීමට අලුත් උප කොන්ත්‍රාත් කරුවන්, සුපර්වයිසර් වරුන් හා සේවා සපයන්නන් කැමැත්තක් දක්වද්දී ඇයගේ සමහර තීරණ පිලිබඳ  රිචර්ඩ් උරණ වුණේය.

සියලුම බඩු භාණ්ඩ හා උපකරණ තමන්ම දමා වැඩ කිරීමට ගිවිසගත් සමහර උප  කොන්ත්‍රාත් කරුවන්  අම්රිතාගේ අත්සන රවට්ටා ගෙන මිස්කින්ගේ ඉස්ටෝරුවෙන් ණයට බඩු ගැනීම එවැන්නකි . සාම්පල් අනුමත කර ගන්නා තුරු සිටින්නේ නැතිව  තියෙන බඩුවලින් වැඩ පටන් ගන්නට  වෝටර් ප්රුෆ් කරුවන්ට ඈ අවසර දී තිබුණාය .

බැරිම තැන ඔහු ඇයට  දොස් පැවරුවේය.

" බලන්න අම්රිතා ඉස්සර සයිට්වල  වැඩ කාටත්  වඩා පිළිවෙලට, පොතේ විදිහට කරන්න උනන්දු වුනේ ඔයා. ඔයාටත් වගකීමක්  තියෙන්න ඕනි.  සේෆ්ටි ට්‍රේනී කෙනෙක් හැටියට  ඔයාව වැඩට අරගෙන  සයිට් වැඩ උගන්ගනලා , කෝස් වලට යවලා හැම දේම කළේ කොම්පැනියෙන්. මමත් ඔයාගේ පිටිපස්සෙන් හිටියා. මට ඕනි වුනේ ඔයා හොඳ  මැනේජර් කෙනෙක් කරන්න කවද හරි . ආපස්සට  යන්න එපා මොන වෙලාවෙවත් . අපේ හිතවත් කම් වෙනමම  තියාගන්න . රාජකාරිය හරියට කරන්න "

 මහත් කරගත් දෑසින් බල බලා  රිචර්ඩ්ගේ කතාව අසා සිටි අම්රිතාගේ මුහුණ අවසානයේ  කළු වලාවකින් වැසී ගියේය . දෑස් අග කඳුළු එකතු වුනේය . මේ දුටු රිචර්ඩ් ඇතුලාන්තයෙන් උණු වී ගියේය . වෙනදානම් මේ වගේ කතාවක් කී විට එයට ගරු සරු ඇතිව ප්‍රතිචාර දක්වා  අවසානයේ  විහිළුවක් කොට සිනාසෙන මේ තරුණිය දැන් කිසියම්  චිත්ත පීඩාවකින් පෙලෙන බව රිචර්ඩ්ට දැනී ගියේය .  මේ වෙනස සිදු වුයේ අම්රිතා නිවාඩුවට ගෙදර ගොස් ආ දවසේ සිටය. එකෙනෙහිම ඔහුට යමක් සිහිපත් විය.

" කොහොමද අම්රිතා ඔයාගේ තාත්තා සන්ජිබ් එහෙම? . එයාගේ තොරතුරක්වත් කතා කරන්න  බැරි වුනා මේ වැඩ වලට හිර වෙලා "

සන්ජිබ් ගැන අසද්දී අම්රිතාගේ අඳුරු වී තිබු ලවනත හරහා කඳුළු වැස්සක් ගලා හැලුනේය. ඈ මේසයට හිස තබා ගෙන ඉකි ගසන්නට පටන් ගත්තාය .

කාලයක්  තිස්සේ තමන්ට දයාබරව සිටින මේ කෙල්ල කිසි දිනක මේ ලෙස දුක්බරව  අඬා වැළපෙනු දැක තිබුනේ නැති රිචර්ඩ්ට  වසර හතකට එපිට බර්ඩුබායි වැඩබිමේ දී සිදු වූ ඒ කාලකන්නි අනතුර මතකයට ආවේය.

පළවැනි  තට්ටුවේ වැඩ බලමින් සිටි සුපර්වයිසර් සන්ජිබ් ආරක්ෂක වැට කඩාගෙන  මැද පෙරදිග මහ  පොළවට ඇද වැටී තිබුනේය. ගිලන් රිය පැමිණ ඔහුව ඊට නග්ගා ගැනීමට ඔසවද්දී ඔහු මහත් වූ වේදනාවෙන් මෙසේ කීවේය .
" අම්රිතා . අම්රිතා . දෙයියනේ අම්රිතා .."

අම්රිතා යන  නම මුල්වරට රිචර්ඩ්ගේ සවනත වැදුනේ එදාය .

අතීත දැහැනින් මිදී ඉදිරියට ගිය රිචර්ඩ් අම්රිතාව පුටුවෙන් නැගිට්ටුවාගෙන සිය ළයට තුරුළු කර ගත්තේය .

අම්රිතා දිගටම වැළපුනාය

-මීළඟ කොටස -











Image Source : Dribble.com

Sunday, July 12, 2020

අටවිසි මහල විසිවන කොටස - අම්රිතාට විවාහා යෝජනාවක්


(මේ පළවන්නේ අටවිසි මහල නවකතාවේ විසි වන කොටසයි . මින්  පෙර කොටස් මෙතැනින්)

න්ජිබ් ටැක්සි රියදුරාට කීවේ වැඩිපුර ගස්සන්නේ නැතිව පරෙස්සමට රිය පදවන ලෙසයි. වෙලා ගත්තට කමක් නැත . සැහෙන කල්වේලා ඇතිව ඔවුන් ගෙදරින් පිටත් වී තිබිණි . ඔහු එසේ කීවේ  හේතු කාරනා කීපයක් නිසාය . සිය දියනියගේ උකුලේ  නිදන දැරියගේ නින්දට භාධා නොකිරීම . ඔවුන් දෙදෙනා  එකිනෙකාගෙන්ව වෙන්වීම පුළුවන් තරම්  ප්‍රමාද  කිරීම මෙන්ම   සිය එකම දියණිය  පුළුවන් තරම් වෙලාවක් ලඟින් සිටිනවා දකින්නට ඇති  කැමැත්තය .

මේ මොනවා කලත් තවත් පැය දෙකකින්  කුඩා ගුවන් තොටුපළෙන් අහසට නගින  යානයක්  සන්ජිබ් ගේ  ප්‍රාණසම දියණිය  මෙන්ම නීශා දැරියගේ මවද වන අම්රිතා  රැගෙන  ඈතකට ඉගිල්ලෙනු  ඇත . අද රාත්‍රිය ඇ නිදන්නේ සිය දියණිය තුරුළු කරගෙන නොවේ. පවුලේ කිසිවෙකුගේ  ඇස් මානයේ ඇති තැනකත් නොවේ . ඈ කොහේ සිටියත් සතුටින් සිටිය යුතු බව සන්ජිබ් සිතුවේය . තමා සාම්ප්‍රදායක පියෙකු වුවේනම් අම්රිතා දැන් ගුරුවරියක හෝ සාත්තු සේවිකාවක් ලෙස තම ගම්මානයට වී සිටිනවා ඇත . එසේ වූවානම් මේ වන විටත්  ඇය දරුවන් කිහිප දෙනෙකුගේ මවක්  වන්නට තිබ්බාය..සමහර විට සිවිල් සේවකයෙකුට හෝ ධනවත් ව්‍යාපාරිකයෙකුට ඈ බන්දලා දෙන්නට තමන්ට පුළුවන් වනු ඇත .එවන් විටෙක  ඇගේ ජීවිතය කෙබඳු එකක් වන්නට ඉඩ තිබිණිද ? සන්ජිබ් තමන් දන්නා හඳුනන අම්රිතාගේ වයසේ තරුණියන් කිහිප දෙනෙක් ගැනම කල්පනා කළේය. අම්රිතා  ඔවුන් අතරින්   එකෙකු වගේවත් වනවාට සන්ජිබ් සතුටු උනේ නැත . " ඔය ඉන්න විදිහ හොඳයි" ඔහු අන්තිමේදී සිතුවේය.

අවුරුදු විසි ගණනකට පෙර  ඈත දිනකට  ඔහුගේ මතකය දිව ගියේය .  ඔහු   ඉදිකිරීම් සමාගමක සුපර්වය්සර් වරයෙක් වී  දුර බැහැර  නගරයක ගොඩනැගිල්ලක්  හදමින් සිටි කාලයයි.  ඔහු වැඩබිම අද්දර පාරේ බසයක් එනතුරු බලා සිටින ජනී ජනයා, සාරි ඇඳගත් කාන්තාවන් හා  ගැමි පිරිමින් අතර දිග කලිසම් හා තඩි බෑග් දෙක බැගින් අතින් ගත්  සුදු තරුණියන් දෙදෙනක් සිටිනු දුටුවේය . ඔවුන් වරින් වර එතැන සිටි මගීන්ගෙන් මොනවදෝ ඇසුවත් කිසිවෙක් උත්තර දෙන පාටක්ද නැත . එහි  සිටි කිසිවෙකුට සුදු තරුණියන්ගේ භාෂාව නොතේරෙන බවකි පෙනුණේ . හෙමි හෙමින් සිය ආරක්ෂක කබාය හා  සුදු ප්ලාස්ටික්  තොප්පිය ගලවා ගේට්ටුවට බාර දුන් සන්ජිබ් බස්පල පැත්තට ඇවිද ගියේය .

" ඔයාලට  මගෙන් උදව්වක් වුවමනාද ?" ඔහු සුදු තරුණියන්ගෙන් ඇසුවේය . සතුටින් පිනා ගිය තරුණියෝ ඔහු දෙසට හැරුනේ ඔහුට ඉංග්‍රීසි බස  හොඳින් හැසිරවිය හැකි බව තේරුම් ගත් නිසාය.

අපිට  ගුවාහටි  එයාර්පොර්ට්  එකට යන්න ඕනි මෙතනින් බස් යනවද කියල දැනගන්න පුලුවන්ද ?'

"අපෝ පුළුවන් . දැන් පොඩ්ඩකට කලින් ගිය බස් එකෙත්  යන්න තිබ්බනේ.  පැය බාගෙකින් විතර තව එකක් එන්න ඕනි " සන්ජිබ් කිව්වේ ඔහුගේ අත් ඔරලෝසුව දෙස බලමිනි .

ඉන්පසු ඔවුහු   මිතුරු කතා  බහකට   වැටුනෝය. මේ තරුණියන් දෙදෙනා ඉන්දියාව පුරා තනි තනිව සංචාරය කර කලින් කතිකා කර ගත් පරිදි හමු වී ඇත්තේ මේ නගරයේදීය. අවුරුදු විස්සක් වත් නැති මේ කෙල්ලන් දෙන්නා තනිවම සංචාරය කිරීමේ අවසරය , ඔවුන්ගේ නිදහස් ඇඳුම් පැළඳුම් හා සජීවී  ප්‍රීතිමත්  මුහුණු මේ ගම්පලාතේ කෙල්ලකට නම් කවරදාවත්  නොලැබෙන දේ  බව සන්ජිබ් සිතුවේය.
බස්රිය ආ විට එහි  අතුරු සිදුරු නැතිව සෙනග පිරී සිටියේය . කෙල්ලන් දෙදෙනාට යන්තමින් නගින්නට ඉඩ තිබුනත් ඒ දැවැන්ත ගමන් මලු හතර දමන්නට එහි ඉඩක් නොවීය .

බසයේ පිටුපසින් තිබු ඉනිමග දිගේ ගිය ගැමියෙක්  වහලය මත වූ රාක්කයෙන් එළවලු මිටියක්   බිමට  බාගන්නා  අයුරු බලා සිටි එක් තරුණියක් වහා ක්‍රියාත්මක වී දනී පනී ගා  ඉනිමග දිගේ වහලයට   නැග ගත්තාය . බිම සිටි තරුණිය බෑග් ඉහළට ඔසවා මුල් තරුණිය වෙත පෑවාය . බෑග් හතරම රාක්කයේ සිර කර  ඒවයේම තිබු පටිවලින් බැඳ දැමු සුදු කෙල්ල ඉනිමග දිගේ හනික බැසවිත් සිය මිතුරිය සමග ජයග්‍රාහී ලෙස බසයට ගොඩ වුනාය . මේ සිද්දිය දෙස සන්ජිබ් සෙනෙහෙබර සිනහවකින් බලා සිටියද අන් සුයලු දෙනාට එය පුදුමාකාර නොහොබිනා සිද්දියක්ම විය . සාරි  හා දිග ගවුම් ඇඳ ගත් පිටිසර ඉන්දියානු  කෙල්ලකට මේ වගේ දෙයක් ගැන හිතන්නවත් පුලුවන්ද ?

" මගේ දුවටත් මේ වගේ නිදහස් අනාගතයක් තියෙන්න ඕනි ' සන්ජිබ් සිතුවේය .
ඔහු එදා ගෙදර ගොස් සිය දියණිය තුරුළු කරගෙන ඈට මේ කතාන්දරය කීවාය. එවිට අගේ පෙනුම  දැන් පිටුපස අසුනේ නිදන අම්රිතාගේ දියණියගේම පෙනුමය. වයසත් එච්චර විතරමය .

ඔහු පරෙස්සමට හිස ඔසවා පිටුපස අසුනේ නිදන සිය මිනිපිරිය දෙස බැලුවේය.  පටුසුපසට හැරෙද්දී ඔහුගේ ගෙල පෙදෙසින්  මහත් වේදනාවක් මතු  වුනේය . ඔහු නැවත ඉදිරියට හැරී සිය බොරු කකුල පිරි මැද්දේය .

"දුව . එහෙ ආරක්ෂාව  ඇත්තටම හොඳයි නේද ? හැම දෙයක් ගැනම පරිස්සම් වෙන්න. එච්චර මහන්සි වෙලා වැඩ කරන්න එපා . කෑම බීම ගැන සලකිලිමත් වෙන්න . ඔයා එනකම් අපි නීශා  ගැන බලා ගන්නම්.  මෙහෙ කිසි දෙයක් ගැන කරදර වෙන්න එපා . නීශාට  ඉගෙන  ගන්න සල්ලි ටිකක් හොයා ගත්තම දරුවා ලඟට එන්න .'

 ශෝකය සඟවාගෙන සතුටු මුහුණක් මවාගෙන  සිය පියා කරන්නේ රඟ පෑමක් බවා  අම්රිතා තේරුම් ගත්තාය  .

කලින්දා රාත්‍රියේ ගෙදර සිදු වූ කතා බහේදී ඔහු  කී  කතාවක්  අම්රිතා යලි ස්මරණය කළාය.

' දුව දන්නවනේ මම ඔය පරණ තාලෙට හිතන මිනිහෙක් නෙවෙයි කියල . තාත්තා නැති දරුවෙක් එක්ක ඔයා අපේ ගමේ සමාජේ ජීවත් වුනොත් ඔයාටවත් දරුවටවත් අනාගතයක් නෑ. ඔයා පිට රටක රස්සාව කරනවට මම කැමති ඒකයි.  අනික දරුවට හොඳට  උගන්න ගන්න  සල්ලි ටිකකුත් හොයා ගන්න එපැයි. හැබැයි ඔයා තාම තරුණයි.    ඔයා ට කැමැත්තෙන් ඉන්න යාළුවො දෙතුන් දෙනාගෙන් කවුරු හරි  තෝරා ගන්න . මට තේරිච්ච විදිහට අර මනොරන්ජන් ළමයා  වරදක් නෑ. එයාට මේ හැමදේම කියන්න පුළුවන්නේ. ඔයා කැමති නිදහස් සතුටුදායක  ජීවිතේම ගෙවන්න බැරි වුනත් ටික ටික ඔයත් මෝරන කොට එයාගේ  තැන්පත් ජීවිතේට පුරුදු වෙයි "

මේ කතා බහට එක්කාසු වූ අම්රිතාගේ මව පැවසුවේ  අර කපුවා හොයා දුන් ව්‍යාපාරිකයාට කැමති වන ලෙසය.
" ඔය කාවවත් හරි යන්නේ නෑ. තාත්ත තමයි උඹේ  ඔලුවට එක එක ඒවා දාලා තියෙන්නේ . ලෝකේ පුරා යන්න. ඉහලටම යන්න කියා කියා  . මෙහෙ වගේ හැදෙන්න එපා කියා කියා . පුතේ අපි මෙහෙ ඉපදිච්ච මිනිස්සු අපි ජීවත් වෙන්න ඕනි ගමේ රටේ විදිහට . මිනිහාට සලකාගෙන දරුවා හදා බලාගෙන ඉන්න  එක තමයි අපේ රාජකාරිය . අර කතා කරපු මනුස්සයා  ගෑනි මැරිච්ච මිනිහා උනාට හොඳ දේපලක් තියෙන ඒ හැටි අජූවක් නැති හාදයෙක් . ඔන්න බලපන් දුවේ මම ඉන්තේරුවෙන් කියන්නේ උඹට ඉස්තිරව හරි යන්නේ ඒ වගේ පිළිවෙලක් මිසක් ආගමක් ධර්මයක් නැති , ආතක් පාතක්  නැති පිට රට එකෙක් නම් නෙවෙයි. උන් උඹව ගනියි. තව ළමයෙක් බඩට ආවම උඹ ඒකත් උස්සාගෙන ගෙදර එයි. මනුස්සයා අතුරුදහන් වෙයි.  මතකනේ ගිය පාර වෙච්ච දේ "

කල්පනා ලෝකයේ ගිලී සිටින්නට වෙලාවක් නැත . ඔවුන් ගුවන් තොටුපල රිය ගාලට පැමිණ ඇත . දැරිය නින්දෙන් පිබිදී අම්රිතා වැරෙන් බදාගෙන සිටී ,  මෙවර සමු ගැනීම ඉතා අසීරු එකක් වුනේය. ටැක්සි රියදුරාගේ රැවුම් ගෙරවුම් නැත්නම් තාත්තා හා දියණිය සමග තව ටිකක්  ඉන්නට තිබ්බා නොවේදැයි අම්රිතා සිතුවාය

ගුවන් යානයේ තමා ළඟ වාඩි වී සිටින්නේ කවරෙක්දැයි  අම්රිතා හැරිලාවත් බැලුවේ නැත . ඇයට අන් කිසි දෙයක සිහියක් තිබුනේ නැත .  ඇය  දෑස් පියාගෙන මායා රූ මවා ගත්තාය . වරෙක ඇය සිය දියණිය මනෝරන්ජන්ගේ අතේ තබා බැලුවාය . දියණිය සිටියේ තරමක් බියපත් විලාශයකිනි . එහෙත් මනෝරන්ජන් ගේ මුහුණ ආදරණීය සිනාවකින් පිරී තිබුනේය . ඔහු දියණිය පරෙස්සමින් වඩාගෙන තිබුනේ වගකීම් සහගත විලාශයකිනි . ඊළඟට ඇය  නීෂා රිචර්ඩ්ගේ අතට දුන්නාය . දියණිය ප්‍රීතියෙන් පිනා ගොස් සිටියාය . එහෙත් ආචාරශීලී  මදහසකින් නුහුරට මෙන් දරුවා වඩාගෙන සිටි රිචර්ඩ් ඇයව ඉක්මනින් බිම තැබුවාය . ඊළඟට දිස්පුර් නගර සීමාවේ පැරණි පන්නයේ නිවෙසක මිදුලේ කොලු කුරුට්ටන් පස්සේ දුවන සිය දියණිය ගේ රුව ඇගේ නෙත  ගැටිණි.  ඉස්තෝප්පුවේ කෙළවරක ලී බංකුවක් මත වාඩි වී ගිණුම් පොතක් පිරික්සන උඩු කය නිරුවත්,  උදරය නෙරා ගිය මැදි වියේ මිනිසෙක් ඈ ඊළඟට සිහිනයෙන් දුටුවාය .

 එහෙත් ඈට වැඩි වෙලා සිහින දකින්නට බැරි වුනේ  ගුවන් යානය චෙන්නායි ගුවන් තොටුපලට පහත් වෙමින් තිබුන නිසාය .

****
මේ වෙලාවේ මනෝරන්ජන් නුවර සිට කොළඹ ඇදෙන අර්ධ සුඛෝපබෝගී බස් රියක වාඩ් වී ඉතා සැහැල්ලු මනසින් සිටියේය. ඔහුගේ මුවේ ප්‍රේමවන්ත මදහසක් තිබුනේය  . " දේවල් සිද්ද  වුනේම  මේක නොකෙරන පැත්තට . ඊයේ  නෙතදරාලා වත්තට ගිය වෙලාවේ ඇති වෙච්ච එපා වීම . උදේ දර්සන හම්බ වෙච්ච එක .ඒත් එක්ක දැනෙන්න පටන් ගත්ත මේ වැඩේ තියෙන බරපතල නොගැලපීම. මේ සේරම මැද්දේ දැන් මනෝරන්ජන් හා නෙතදරා පෙම්වතුන් වී තිබේ. සති අන්තයේම ඈ බලන්නට එන බව ඔහු කී විට ඇය රොබරෝසියා මලක් මෙන් විකසිත  වූවාය.  ඉතින් ආයේ එනකොට දර්ශනයාට  මුලිච්චි නොවී එන්නත් වෙනවා . අනික අම්රිතා නිවාඩු ගිහින් හිටි එක හොඳට ගියා . එයා හිටියනම් මොකක් හරි වෙලා මට  මේ ගමන එන්න  හිත හදා ගන්නත් බැරි වෙනවා "

එකෙනෙහිම ඔහුට යමක් සිහිපත් වී ඉහින් කනින් දහදිය දැම්මේය . ඔහු අත් ඔරලෝසුව දෙස බැලුවේය .



මීළඟ කොටස

Image Source:
kmberggren.com


Thursday, July 2, 2020

අට විසි මහල 19 - අම්රිතාගේ දියණිය




(මේ පළවන්නේ අටවිසි මහල නවකතාවේ දහ නව වැනි කොටසයි . මින් පෙර කොටස් මෙතැනින්)
සේලට  හා මනෝරන්ජන්ට  පසුදා අලුයම වනතුරු කතාබහ කරන්නට බොහෝ දේවල් තිබිණි. දෙදෙනාම ඇසින්  නුදුටු පසුගිය මාසයේ සයිට් එකේ විස්තර, ලබන මාසේ  තුන්වන තට්ටුව දමන අයුරු, ඉන්පසු යන්නට සිටින ට්‍රිප් එක  ආදියට අමතරව  ඉන්ටවිව් එක දවසේ අසේලගෙන් වමාරාගත් සමස්ත ජීවිත කතන්දරයේ  සමහර පරිච්චේද ඉතා සීරුවෙන් තව දුරටත්  දිගාරින්නට විය . මේ වෙලාවේවත් මනෝරන්ජන් ඔහුගේ පවුලේ කිසිවෙකු ගැනවත් , සරසවි ජීවිතය  හෝ දේශපාලනය ගැනවත්  වචනයකුදු  කතා නොකළ අතර අසේල ඒවා හාරා අවුස්සනට ගියේ නැති එක ඔහුට මහත් ඉස්පාසුවක් විය .

එහෙත් අසේල මහත් කුතුහලයෙන් අම්රිතා ගැන විමසිලිමත් වන බව මනෝරන්ජන්ට  තේරුම් ගියේය .

" මනෝ මහත්තයා මට තියෙන ලොකු ප්‍රශ්නයක් කියන්නද ? ඔයයි අම්රිතායි මාර විදිහට ගැලපෙන ජෝඩුවක්. යාලුකමකට එහා ගිය ලෙන්ගතුකමක් ඔය දෙන්න අතරේ තියෙනවා කියල මට තේරුනා. ඔය දෙන්න තරුණ වයසේදීම  දෙන්නගෙම් රටෙන් පිටදී තනියම හම්බ වෙලා, දුක සැප බෙදාගෙන ජීවත් වෙලා ආදරවන්තයෝ නොවුනේ කොහොමද කියල මට හිතා ගන්න බෑ. අනෙක් අතට ඔයා නෙතදරා ගැන උනන්දු වෙනකම් මම හිතාගෙන හිටියේ ඔයයි අම්රිතයි අතරේ මොනා හරි හුටපටයක් තියෙනවා කියල . ඇත්තම කියනවානම් ඊට පස්සේ මමත් අම්රිතා ගැන උනන්දු වුනා. මම මර කැමතියි ඒ වගේ කෙල්ලෙකුට. වෙලාවකට අම්මා කෙනෙක් වගේ. වෙලාවකට සෙල්ලම් ඉස්කෝලේ චරිතයක් වගේ. මිනිස්සු එක්ක බැලන්ස් කරගෙන ජීවත් වෙන විදිහ . උනන්දුව , ඇහුම් කන් දෙන එක . පැහිච්ච කම .විනෝදෙන් ඉන්න එක ,  මේ ඔක්කොටම වඩා ලස්සන . '

දිග සුසුමක් හෙලූ  මනෝරන්ජන් මෙසේ කීවේය .

" අම්රිතා  ආදරේ හිතෙන  යාලුවෙක් තමයි අසේල . අපි දෙන්නා අතරේ ආදර සම්බන්ධයක් තිබුනා නෑ වගේ . ඒ කතාව පුදුමාකාරයි. මට ජීවිතේට අම්රිතා අමතක කරන්න බෑ. අම්රිතාටත් එහෙම වෙයි. මම කාලයක්  පණටත් වඩා අම්රිතාට ආදරේ කළා. අම්රිතාගේ ආදරේ ඉල්ලලා බැගෑපත් වුනා . ඒත් ඒ කතාව දිගයි . අසේල අම්රිතා ගැන ඕනිවට වඩා  හිතන්න එපා . ඒ කතාව ඒ තරම් සංකීර්ණයි."

මනෝගේ කතාව නතර වූ හැටියේම අසේල මෙසේ කීවේය .

"හොඳයි අදට අපි කතාව නවත්වමු. අම්රිතා ගැන වගේම එයාගේ දුව ගැනත්  මට තියෙන්නේ ලොකු ප්‍රශ්නයයක්?

" වහා නැගිට ඇඳ මත වාඩි වූ මනෝරන්ජන් පුදුමයෙන් මෙන් මෙසේ ඇසුවේය .

" එතකොට අම්රිතා ඔයාට සේරම කතාව කිව්වද ?"
" නෑ මම එයා ට දුවෙක් ඉන්නවා  කියල අනුමාන කරා . මම ඒ දෙන්න ඉන්න ෆොටෝ එකක් අහම්බෙන් දැක්කා  . ඒ ගැන අපි තව දුරටත් වාද කර ගන්න ඕනි නෑ. අපි වෙන දෙයක් ගැන කතා කරමු'

විනාඩි කීපයක් නිහඬව සිටි මනෝරන්ජන් මෙසේ කීවේය.

" අපි දැන් අටවිසි මහලේ ඉස්සරහ වැඩ ටික හොඳට කරන්න ඕනි . ඔලුව සැහැල්ලුවෙන් තියාගෙන. අසේල දඹුල්ලේ  වැඩ ටික ඉක්මනින් ඉවර  කරලා කොළඹ එන්න ඕනි "

" එතකොට සිල්වා ?" අසේල සෙමින් මිමිණුවේය.
මනෝරන්ජන් කිසිත් නොදොඩා නින්ද ගියාක් මෙන් සිටියේය .

පසුදා මද්දහන පමණ වන විට  මනෝරන්ජන් හා අසේල ගලහ පාර දිගේ පේරාදෙණිය සරසවි භුමිය වෙත ඇවිද යමින් සිටියෝය.
' අපිට කෙල්ලට මුකුත් ගන්නත් බැරි වුනා " අසේල කියද්දී මනෝරන්ජන් කිව්වේ
" ඔව් අපට කිරි හට්ටි හත අටකුයි කුරුම්බා වල්ලකුයි ගන්න තිබ්බා " කියලාය.
දෙදෙනාම  කොක් හඬ ලා සිනා සුනෝය.

ඉන්පසු අසේල බැරෑරුම් ලෙස මෙසේ කිව්වේය.

" අපි මේකේ ඇතුලේ කිසි කෙනෙක් අඳුනන්නේ නෑ. මම  කාලෙකට කලින් එක පාරක් ඇවිත් තිබ්බට අගක් මුලක් දන්නේ නෑ. නෙතදරා ඉගෙන  ගන්න තැන තියෙන්නේ , නැවතිලා ඉන්න හොස්ටල් එක තියෙන්නේ, මේ පාරේ කියල විතරයි දන්නේ. එත් කාගෙන්වත් අහන්න බෑ. මම වාසගමක්වත් දන්නේ නෑ. ඒ උනාට ඒ වගක් කාටවත් පෙන්වන්නේ නැතිව  අපි දන්නවා  වගේ යන්න ඕනි . හරිද ?

එවිටම වාගේ  පිටුපසින් පැමිණි අලුත්ම  ලාන්සර් රථයක් ඔවුන් පසුකර පාරේ අයිනට වෙන්නට නතර කළේය.
රියෙන් බැසගත් රියදුරා දෑත විහිදුවාගෙන දුව ආවේය.

" අඩෝ මචං මනෝ උඹ කොහෙද මේ? . මාර කාලෙකින් දැක්කේ බං. උඹනම් පොඩ්ඩක්වත් වෙනස්වෙලා නැ. මම  උඹල පස්සෙන් හෙමීට හෙමීට සෑහෙන දුරක් ආවා මේ උඹමද කියල සැකේ නැති කර ගන්න . පස්සේ උඹේ අර පාරේ  ගල්වලට පයින් ගහන පුරුද්ද නිසා  තමයි සහසුද්දෙන් මේ උඹමයි කියලා හිතා ගත්තේ ."

අමුත්තා තොර තෝංචියක් නැතිව දොඩද්දී මනෝ හා අසේල තුෂ්නිම්භීත බලා සිටි  අතර සැනෙකින් සිය පළමු වසර සගයා දර්සනයා අඳුරා ගන්නට මනෝරන්ජන්ට  හැකි විය . අසු හයේ අවුරුද්දේ මොරටු සරසවියේ පළමු වසරට ඇතුල් වූ දර්සන වැහි වැහී ඇරෙන සරසවිය  අතහැර ජපානයට ගියේ පවුලේ කවුරුන් හෝ එහෙ සිටි නිසාය. ඔහු නිසා අද ගමනේ අරමුණු සුනු විසුනු වී යනු ඇතැයි මනෝරන්ජන් මදක් සැලුනේය . එහෙත් ඔහු සියල්ල අමතක කර සිය පැරණි මිතුරා  සමග ලෙන්ගතු කමෙන් කතා කළේය.

" මචං මාර සන්තෝෂයි . උඹට අවුරුදු අටකට පස්සෙත් අපි මේ තරම් හොඳට මතක තිබ්බ එක කොච්චර දෙයක්ද ? "

"උඹලා මේ කොහෙද යන්නේ ? උඹ මොකද දැන් කරන්නේ ? " දර්සන අසද්දී කට උත්තර නැතිව හිටි මනෝරන්ජන් යන්තමට උත්තරයක් ගැට ගසා  ගත්තේය .

"අපි මචං බිල්ඩින් ප්‍රොජෙක්ට් එකක වැඩ කරන්නේ. අද නිවාඩු දවසක්. ඊයේ දඹුල්ලේ ගියා . අද ආපහු කොළඹ යන ගමන් නිකමට පේරාදෙණිය බලල ඇවිදලා  යන්න ආවා . ඉතින් කියපන්කො උඹ මොකද මෙහෙ කරන්නේ කියල "

" නියමයි මමත් සෙට් වෙන්නම්. මම බං මෙහෙ ඉනින්ජිනියරින් ස්ටාෆ් එකට ජොයින් උනා . තාම අවුරුද්දක් වත් නෑ.  අනික අද හවස් වරුව ෆ්‍රී . කෝ උඹලගේ වාහනේ ?"

"ඒක  මම ඩ්‍රයිවත්  එක්ක ඇරිය පිලිමතලාවට . නිකං ඉනන එකේ මිනිස්සු ටිකක් පටවාගෙන ඇවිත් කීයක් හරි හොයා ගන්න කියල "

තරමක් පුදුමයෙන් බලා සිටි දර්සන ඉන්පසුව මනෝරන්ජන්ගේ  පිට හරහා පාරක් ගැසුවේය. ඉන් පසු අසේල දෙස බලා  "මල්ලි මේවට තමයි ඉස්සර අපි මනෝ ජෝක් කිව්වේ. මූ බස් එකේ ආවා කියන එක කියපු  විදිහ තමයි ඔය. හා හා නැගපල්ලා නැගපල්ලා. අපි කැම්පස් එකේ වටයක් ගහල  ක්ලබ් එකට ගිහින්  බීලා කාලා කතා කරමු" .

තවදුරටත් දර්සනයාගෙන් ගැළවීමක් නැතියෙන්  මනෝරන්ජන් හා අසේල  ඔහුගේ ලාන්සර් රථයට ගොඩ වුනෝය.  ඉන්පසු  රථය මනස්කාන්ත සරසවි බිම සිසාරා හෙමින් හෙමින් පාවී ගියේ දර්ශනගේ මුවින් තොරණේ කතාව  මෙන් ඉදිරිපත්වන සරසවි බිමේ විස්තර කථනයත් සමගය . ඔය තියෙන්නේ මෙඩිකල් ෆැකල්යටිය  , මේ පාලමෙන් යට කෝච්චි පාර . අන්න බලන්න දකුණු පැත්තේ සරසවි උයන ස්ටේෂම , ලංකාවටම කැම්පස් එකක් ඇතුලේ ස්ටේෂමක් තියෙන්නේ  ඔතන විතරයි  , ඔය තියෙන හෝල් එක ගෑනු ළමයින්ගේ හොස්ටල් එකක්  විජේවර්ධනේ ඉස්සර ඕකේ කොල්ලෝ ඉඳල තියෙන්නේ උන් කොච්චි යන වෙලාවට ජනෙල් උඩ නැගලා විකාර  කරනවා කියල තමයි උන් වෙන අහකට දාල කෙල්ලන්ට මේක දීල තියෙන්නේ . ඔය තියෙන්නේ අරුනාචලම්, ඔය තියෙන්නේ ජයතිලක හෝල් එක , මේ දකුණු පැත්තේ පිට්ටනි ටික .එහා පැත්තේ තියෙනවා ග්‍රවුන්ඩ් එකක් ඒකෙ රනින් ට්‍රැක් එක ගල් අඟුරු දාලා  හදල තියෙන්නේ . එහෙම ඒවත් ලංකාවට එකයි තියෙන්නේ මයේ හිතේ . මේ අල්විස් පොන්ඩ් එක. භීෂණ කාලේ මේක  වටේ  කොල්ලෝ මරල දාල තිබ්බලු "

සුන්දරත්වය වසාගත් වේදනාවක සිරියක් ඒ අවට තිබෙනවාක් මෙන් මනෝරන්ජන්ට දැනිණි . අසේල තමා කිසිදා නුදුටු මනෝරම්‍ය භූමියක රස විඳිමින් සිටියේය. ඉඳ හිට හමුවන පෙම්වතුන් , කල්ලි ගැසී යන කොල්ලන් හා කෙල්ලන් මෙන්ම තණකොළ කපන සේවකයන්ද ඔහුගේ නෙතට අපූරු දසුන් වුනේය .

මීට මාස කීපයකට ඉස්සර පේරාදෙණියට ආ දර්සන මේ තරම් රසවත්ව කියන්නට මේක ඇතුලේ හැම විස්තරයක්ම දන්නේ කොහොමද කියා මනෝරන්ජන් කල්පනා කළේය . ඔහු කළමනාකරණ පීඨය හා සංඝමිත්තා ශාලාවේ ස්ථානීය පිහිටීම හා දර්සන කී පසුබිම් වාර්තා හොඳින්, ඉතාම වුවමනාවෙන් හිතේ  රඳවා ගත්තේය .

අවසානයේ දර්ශන සමග සරසවි ස්ටාෆ් ක්ලබ් එකෙන් බීර වීදුරුවක් බී දහවල් අහර ගත් ඔවුහු  දර්සනගේ  රථයෙන්නුම නුවර බස්පලට ගියෝය. මුලින්ම අසේල දඹුල්ල බස් එකකට නංවා  ඉන්පසු ගුඩ් ෂෙඩ් එක ළඟ නවතා තිබු කොළඹ  ඉන්ටසිටියට මනෝරන්ජන් ගොඩවන තුරුත් දර්සන කතා කියමින්ම සිටියේය .
" ඊළඟ පාර මෙහෙ ආවම දවසක් ඉඳල යන්න වරෙල්ල හොඳද . අපිට බලන්න ඇවිදින්න තැන් තව ඕනි තරම් තියෙනවා  " දර්සන කීප වතාවක්ම කිව්වේය .

දඹුලු බස්රියේ හරි බරි ගැසී වාඩි වූ අසේල අද දවසේ සිද්ද වෙච්ච සියලු දේ ගැන තෘප්තිමත්ව සිටියේය .
" මනෝ මහත්තයා ආයෙමත් වයස විසි දෙකේ තුනේ එකෙක්ගේ ගානට වැටෙන්න ගියාට එයාගේ යාළුවො පිට රට ගිහින් ලොකු ලොකු  උපාධි කරලා කැම්පස් වල උගන්වනවා . මෙයාටත් තියෙන්නේ ආපහු රට ගිහින් හොඳට ජීවත් වෙන්න "

සිය සරසවි සගයා කලකට පසු හමු වීම සතුටක් වුනාට මනෝරන්ජන් බස්රියට වී ජනේලයෙන් ඉවත බලාගෙන සිටියේ තෝන්තුවාවෙන් මෙනි. බස්රිය යලිත් පේරාදෙණිය පාලම මතින් යද්දී ඔහු මහවැලි ගඟ   දෙසත් ඈතින් පෙනෙන සරසවි  මන්දිර  දෙසත් යලි බලා සිටියේය. එක්වනම අසුනින් නැගී සිටි ඔහු "ඉස්සරහ මාව බස්සලා  යන්න" කියා කෑ ගැසුවේය . කොළඹට ටිකට් ගත් මේ හාදයා ආපසු බහින්න හදදදී කොන්දොස්තර කොලුවා සිය මුදල් පසුම්බිය තදින් අල්ලා ගත්තේ සල්ලිනම් ආපහු දෙන්නේ නෑ කියා සිතමිනි .

පේරාදෙණිය ගන්නොරුව හන්දියේදී  බසයේ වේගය අඩු වූ විගස ඉන් බැසගත් මනෝරන්ජන් කන්ද පැත්තට වෙන්න  රිය ගාලේ නතර කර තිබු ත්‍රී වීලරයකට ගොඩ වුනේය .
"ගලහ පාරේ  යමු " ඔහු කීවේය

***
මේ වෙලාවේ අම්ර්තා දිස්පූර් නගරයට ආසන්න ගුවාහටි ජාත්‍යන්තර ගුවන් තොටුපලට ඇදෙන රියක පසුපස අසුනේ වාඩි වී කල්පනා කරමින් සිටියේ දැන්  මනෝරන්ජන් මොනවා කරනවා ඇත්දැයි කියලාය . ඇය ඊළඟට පහත්වී සිය උකුලේ හිස තබාගෙන නිදන දැරියගේ සියුමැලි කම්මුල ඉම්බාය.

-මීළඟ කොටස  -

Photo Source : Divaina

Sunday, June 21, 2020

අටවිසිමහල 18- දඹුල්ලේ රාත්‍රියක්



කොටස් වශයෙන් පලවන අටවිසි මහල නවකතාවේ දහ අට කොටසයි මේ . මින් පෙර කොටස් මෙතැනින්

සිල්වා ආරක්ෂක කුටිය තුලින් එලියට පැමිණ තමා ඉදිරියේ වැඳ වැටී ' මට සමාවෙන්න සර් ' කියද්දී මනෝරන්ජන් සිටියේ  රොබෝවෙකු විලාසයෙනි . වසර ගණනාවක් පිටරටක වහන් වී සිට ලංකාවට පෙරළා ආවාට පසු ඔහුට දැනී එහෙත් පහුගිය දිනවල තුනී වී ගොස් තිබූ එක්තරා භීතියකින් ඔහුගේ සිත ඔද්දල් වී ගියේය.  තමා පසුපස කිසියම්  ඔත්තු කරුවකු හඹා එනවා  යන සැකය යලි මතු වී ආවේය . එවැනි ලුහු බඳින්නෙක් මග හැරීමට දැරූ උත්සාහය අපතේ ගොස් ඇතැයි ඔහුට සිතුනේය . ඔහු සිල්වාගේ වියපත් කුඩා සිරුර පිටිපස සැඟවී සිටින  රහස් පරීක්ෂකයෙකුගේ මායා රූපයක්  දුටුවේය .

මේ අතරවාරයේ වැඩබිම අවට සිටි පිරිස සිල්වා හා මනෝරන්ජන් දෙස තරමක් ඈත් වී බලා සිටියෝය . කවුරුන් හෝ පණිවිඩය කියා තිබු නිසා වැඩබිම් ඉංජිනේරු අසේල පමා නොවී එතැනට  දිව ආවේය .   මනෝරන්ජන්ගේ බාහුවෙන් අල්ලා ගත්තේය .

" යමු යමු මනෝ මහත්තයා ආපු එක කොච්චර දෙයක්ද" කියා සිය කන්තෝරු කාමරයට ඔහුව කැඳවාගෙන ගියේය .
මනෝරන්ජන් සිල්වා ගැන තව දුරටත් හිතන්නේ නැතිව අසේල සමග ඉදිරියට ඇවිද ගියේය .
ඒ කන්තෝරු කාමරය  ඉඩ පහඩු ඇති  හුරු බුහුටි එකක් වුයේය . වැඩ නිම වෙමින් යන හෝටලයේම කොටසක් වූ එහි බිත්ති හා කුළුණුවල ඉස්තරම් නිමාව  දැක මනෝරන්ජන් විස්මයට පත් වුනේය. ඔහු බිත්තිය අසලට ගොස් පාට ගෑ බිත්තිය අත ගා බැලුවේය. පොටි ඇද, පිලර් තට්ටුවක් හා ඒ මත පළමු තීන්ත තට්ටුව පමණක් ආලේප  කර තිබුන එහි  ඉතාමත් හොඳ පෙනුමක්  තිබුනේය.  ඔහු බිත්තිය දෙස බලාගෙන කාමරයෙන් එලියට  පමිණ හෝටල් කොරිඩෝරය  දිගේ ඇවිද ගියේ විස්මයට පත් වූ දෑසිනි .
" මේ ෆිනිෂින් වැඩ ටික කවුද බලන්නේ අසේල ? "  ඔහු තමා අසලින් නිස්සබ්දව පිය නගන අසේල දෙස බලා ඇසුවේය .

' මමම තමයි මහත්තයා . මම ගෝලයෝ ටික හදල ගත්තා . අපරාදේ කියන්න බෑ කපරාදුවට එනකම් වැඩ ටිකත් ලස්සනට කරලා තිබ්බා. ඒ නිසා මගේ වැඩේ ලේසි වුනා ."
මනෝරන්ජන්ගේ වත ආලෝකමත් විය .

" මම මොන තරම් බිල්ඩින් සයිට් වල හිටියත් අපට තියෙන ලොකුම චැලේන්ජ් එක අන්තිම නිමාව  හරියට කර ගන්න බැරි වෙන එක. මේක නම් ඉස්තරම්. මෙහෙ වැඩ කරන ටීම් එක අපි අටවිසි මහලට ගනිමු "
මනෝරන්ගේජන්  මේ ප්‍රකාශයත් සමග  තමා සමග යලි එකට වැඩ කිරීමට ඔහුගේ අදහසක් තිබෙන බව අසේල තේරුම් ගත් නිසා ඔහු හඬ අවදි කළේය .

'රිචර්ඩ් ගිය  සතියේ ආපු  වෙලෙත් මේ හැම තැනම ඇවිදලා බලල මට කීවේ අට විසි මහලේ ෆිනිෂින්  කරන්න පටන් ගන්නේ මම එහෙ ආවම කියල . මේ මාසේ අන්තිමට එහෙට එන්න කිව්වා "

මනෝ පුදුමයෙන් බලා සිටියේය .

" මොනවා  ගිය සතියේ රිචර්ඩ් මෙහෙ ආවා ? මට ඒ වගක් කිවේ නෑනේ . එතකොට රිචර්ඩ් දන්නවද සිල්වත් මෙතැන ඉන්නවා කියල. මම හිතුවේ නෑ මිනිහා අපේ කොම්පැනිය දන්නා කියන තැනක්වත් වැඩට ගනීවි කියල  "

අසේල  කට කොනකින් සිනා සුනේය .
" මම හිතුවේ  මනෝ මහත්තයා දැනුවත්ව තමයි  සිල්වා මෙහාට ආවේ කියල. ඇයි මිනිහට මන් ඉන්න තැන කියල තියෙන්නේ මහත්තයාමනේ "

මනොරන්ජන් වටයක් කරකැවී තමා  පසුපසින් එන අසේල දෙස දැඩි බැල්මක් හෙලුවේය.  ඒ බැල්මේ මවිතය හා කේන්තිය දෙකම සමෝසමේ තිබුනේය .

"සිල්වා මෙහෙ ඉන්නවා කියල රිචර්ඩ් දන්නෙත් නෑ . සිල්වා අපේ කොම්පැනියට අරගෙනත් නෑ . ඒ කතාව මං  පස්සේ කියන්නංකො .  මනෝ මහත්තයා දැන් ඉතින් අපි තේ එකක් බීලා ඇඟ පත හෝදගෙන නිදහසේ කතා කරමු. මහත්තයා ආ එක කොච්චර දෙයක්ද? මම හැබැයි හිතුවා කොයි වෙලේ හරි මේ පැත්තේ එයි කියල"

" නිදහසේ කතා කරන්න වෙලාවක් නෑ අසේල . මට අපහු අදම කොළඹ යන්න ඕනි . මම අර ත්‍රී වීල් එක ගත්තෙත් ආපහු දඹුල්ලට ඒකෙ යන්න බලාගෙන . මම ආවේ අසේල හොඳින් සනීපෙන් ඉන්නවද කියල බලාගෙන යන්න විතරයි "

" ත්‍රී වීල් එක ගැන මම බලාගන්නම්.  ඔන්න  ඔහේ මෙහෙ නිදහසේ අද රෑ ඉඳලා යන්න "
අසේල එසේ කීවත් මනෝරන්ජන්ගේ හිතේ නොමනාපයක් පැවතුනේය. අනෙක් අතට ඔහුගේ යටි සිතේ  මේ නිස්කාන්සු පරිසරයේ දවසක් නැවතී විවේක ගන්නනට වුවමනාවක්ද  තිබුනේය .

පසුව බලන විට  මනොරන්ජන් හමුවුනේ  වැවු බැම්මේ  ඇතිරූ  ටාපොලින් රෙද්දක් මත වාඩි වී සිටිද්දීය. ඔහු එකතු කරගත් චුටි ගල්කැට අහුරෙන් එකින් එක  අඳුරු වැව් දියට  වරින් වර වීසි කළේය . කෑලි වලට කැපු තියඹරා  , තැම්බූ කැරට් අල හා බදින ලද වැවු  මාළු   පිරවූ ප්ලාස්ටික්  පිගන් තුනක්  ඇතිරිල්ලේ එක් කෙළවරක තිබිණි.  අවර්ණ සැර දියරයක් පිරවූ ලේබලයක් නැති බෝතලයක්ද වීදුරු දෙකක්ද රැගෙන ආ අසේල   නිහඬව වාඩි වුනේය .

තවත් ටික වෙලාවකින් වෙලාවකින් අසේල කතා කළේය .
"මනෝ මහත්තයා සිල්වා ආපහු මගේ ලඟට ගත්ත එකට  අමනාපද ? "

" මම අමනාප නෑ. ඒත් මම හිතන්නේ ඒක මෝඩ වැඩක් . භයානක වැඩක් කියලා . මොකද රිචර්ඩ් මේ  හැම දේම කලේ, එහෙම කරද්දී මම සද්ද නැතිව ඉවසාගෙන හිටියේ, අසේලගේ ආරක්ෂාව ගැන හිතලා. සිල්වා භයානක මිනිහෙක් නොවෙයි කියල අසේල හිතනවානම් මිනිහ මෝඩයි කියලවත් හිතන්න.  එහෙම උනත් තව දුරටත් ඒ වගේ කෙනෙක් ළඟ තියා ගන්න එක භයානකයි . මතකනේ අර රජ්ජුරුවන්ගේ ආරක්ෂාවට හිටි මෝඩ වඳුරාගේ කතාව   "

අසේල කොක් හඬලා හිනා වුනේය .

" මේ අහන්න ලොකු මහත්තයා .  ඔයාත් රිචර්ද්වත් මේ ප්‍රශ්නෙදි කලබල වුනාට මහා පොළොවේ අඩිය ගහල ප්‍රශ්නේ විසඳන්න උත්සහ කළේ නෑ. අච්චර  මොලේ කල්පනා කරන ගෑනි අම්රිතාටවත් මේක තේරුම් ගත්තේ  නෑ. සිල්වා වගේ මිනිස්සු  හැම තැනම ඉන්නවා. සිහි කල්පනාව තියෙන ඕනිම කෙනෙක්ගෙන් වැඩක් ගන්න පුළුවන් කියලා මනෝ මහත්තයාමනේ  මා  එක්ක කිව්වේ. සිල්වා කියන්නේ ආවතේව කරුවාගේ වැඩේ නැත්නම් සේකුරිටි වැඩේ හරියටම කරන කෙනෙක් . මිස්කින් කියන්නේ සයිට් එක බලා ගන්න ගමන් ස්ටෝර් කීපර් වැඩේ තිතට කරන මිනිහෙක් . ඒ මිනිස්සුන්ගේ ලෝකේ  පුංචියි සරලයි . ඒත් අපේ දුර්වල තැන් ඒ මිනිස්සුන්ට අහු වෙන්න තියල අපිම කලබල වෙලා මහා ලොකු තීරණ ගන්න එක මෝඩකමක් "

අසේල ලුනාව වැඩ බිමේදී මෙන් නොව දැන් තම මතය නොපැකිළ කතා කරයි. එකෙනෙහිම මේ තමා පැමිණ සිටින්නේ ඔහුගේ ව්මානයට බව මනෝරන්ජන් වටහා ගත්තේය. තමන්ට යටහත් පහත්ව කියනා සියලුම දේ පිළිගත්තාක් මෙන් සිටියාට අසේලටත් මතයක් තිබෙන බව මනෝරන්ජන්ට අමතක වී තිබුනේය .

අසේල යලි හඬ අවදි කළේය .

" දැන් බලන්න සිල්වා මට ආපිට ගහයි කියල හැමෝම බය වුනා. ඒත් සිල්වා ගැන මම දන්නවා. මට සීයෙට දෙසීයක් ෂුවර් මිනිහා මට අතක් උස්සන්නේ නෑ . මිනිහා කරපු වැරැද්ද නිසා ලජ්ජාවෙන් හිටියේ .  මිනිහාට ආයේ වැඩට එන්න ඕනි උනත් එන්න ලැජ්ජයි . බයයි . මිනිහා බය ගුටි දීපු මට නෙවෙයි තමන්ගෙන් වැරද්දක් වුනා කියල හිතෙන මනෝ බොස්ට . එතකොට මිනිහා දුක කියන්නේ තමන්ගේ අලුත් යාලුවා නන්දෙට . නන්දෙ මොන තරම් කචල් කාරයෙක් වුනත් මේ කතාවේ කෙළවරක තමන්ගේ දුවත් ඉන්නවා කියල දන්නවා. තමන්ගේ වැයික්කියේ තැන තියා ගන්න බොරු සද්දයක් දැම්මට නැන්දේ කවදාවත් අපි කාටවත් අතක් තියන්නේ නෑ. මාව  දඹුල්ලට මාරු කළා කියල මනෝ මහත්තයාගේ කටින් පිට වෙච්ච දවසට පහුවදාම මිනිහා සිල්වත් එක්කරගෙන මෙහෙ එනවා. සිල්වා මගේ ගාව වැඩට එන්න කැමතියි . ඒත් කොම්පැනිය දාලා ගිය මිනිහෙක් ආපහු ගන්න බෑ , ඒ නිසා තමයි මම සේකුරිටි කොම්පැනියට කියල ඒකෙ රස්සාව අල්ලලා දුන්නේ"

අසේල පමණක් නොව සිල්වා ඉදිරියේද තමන් පරාජය වී ඇතැයි මනෝරන්ජන් සිතුවේය. ඒත් ඔහු තුල සියුම් සතුටක් මෝරා ආවේය , එය අසේල කෙරෙන් මතුවන පරිණත සමාජ දැනුම නිසා උපන්නකි .

අසේල ඒ අදහස සනාථ කරමින් යලි කතා කළේය.

" සයිට් එකක පොඩි වලියක් කියන්නේ මහා ලොකු මැනේජ්මන්ට් තීරණ අරන් මිනිස්සු එහෙට මෙහෙට මාරු කරලා විකාර වැඩ කරන්න තරම් දෙයක් නෙවෙයි මහත්තයා . සයිට් එකට අල්ලපු වත්තේ කෙල්ලෙක් එක්ක යාලු වෙන්න ඕනි හොර ලියුමක් අහුවුනත් කලබල වෙන්නේ නැතිවෙන්න හිත හදා ගෙන . ඒකිගේ අප්පා බීගෙන  සයිට් එකට ඇවිල්ලා මේ ඉන්නේ මගේ බෑනා කියලා සද්දේ දාද්දීත් ඉවසන්න බලාගෙන . මනෝ මහත්තයා එහෙම තෙම්පරාදු වෙලා නෑ කියල මම දන්නවා. ඒ නිසයි මම ඔය කෙල්ලගේ කතන්දරේට අකමැති වුනේ . නැත්නම් නන්දෙගේ දුව කසාද බැඳගෙන ඒ වත්තේ පදිංචි උනත්  මට ඇති රුදාවක් නෑ"

අසේල අවසාන වාක්‍යය කිව්වේ හඬ නගා සිනා සෙමිනි. මනෝරන්ජන්ද  ඒ සිනාවට එකතු වුනේය.

හත්දින්නක් තරු පොකුර දිහා සිනා සිසී බලා සිටි මනෝරන්ජන් දෑස ඉන්  ඉවත් කර ගන්නේ නැතිවම මෙසේ ඇසුවේය .
"අසේල හෙට අපි පොඩි ගමනක් යමුද ?"
" කොහෙද ?"
"පේරාදෙණිය පැත්තේ "



-මීළඟ කොටස -



Image Source : Lonely Planet