Sunday, February 26, 2017

සමන් ගිහිං අවුරුද්දයි




කලින් පෝස්ට් එකක කිව්වනේ  අපි කසකස්තානේ ඉද්දි  ව මාර පරිප්පුවක් කාලා පරිප්පු හොයාගත්තේ  කියල. පරිප්පු හොයා ගත්තට මොකද මෙතන ඉන්න කිසිම කෙනෙක් පරිප්පු උයන්න දැනන් හිටියේ නෑ . ඉතින් අපි මොකද කලේ ? පරිප්පු උයන විදිහ කරලා පෙන්වන්නම් කියල අපි කුස්සිය පැත්තට යන්න ආවා.

හෝව් හෝව් හෝව් !

පළමු කොරිඩෝවෙන් එහාට එක අඩියක් තියන්න අපට ලැබුනේ නෑ . කුස්සියට කිසිම පිටස්තරයෙකුට එන්න අවසර නෑ. ඒ සඳහා දොස්තර  නෝනාගෙන් විශේෂ බලපත්‍රයක් ගන්න ඕනි . කුස්සියට අඳින විශේෂ කබා හා හිස් වැසුම් පළඳින්න ඕනි .

මේ කෑම්ප් සයිට් එකේ හිටිය දොස්තරලා දෙන්නෙක්. එක්කෙනෙක් නෙවාසිකයන්ගෙ නිතිපතා කෙරෙන  ප්‍රතිකාර, ප්‍රථමාධාර හා මාසික රෝග පරීක්ෂණ සඳහා කැපවුණා . අනිත් දොස්තර නෝනාගේ රාජකාරිය උනේ කුස්සියේ හා නේවාසිකාගාරවල සනීපාරක්ෂාව, ආහාර සුරක්ෂිතතාව, රියදුරන්ගේ බීමත්කම වගේ දේවල් ගැන හොයන්න . මේ දෙවන දොස්තර නෝනා දවසකට වතාවක් සැම නෙවාසිකගාරයකටම ගොඩ වැදුනා.  නිලධාරී නේවාසිකාගාර , කාන්තා නේවාසිකාගාර හා සේවක නේවාසිකාගාර වෙන වෙනම තිබ්බා . නේවාසිකයන් සඳහා උයන සෑම කෑම වේලක්ම දොස්තර නෝනාගේ පරීක්ෂාවට ලක් වුනා . ඒ විතරක්ද සතියේ වැඩ  දිනවල  උදේ හත වෙද්දී  සැම රියදුරෙක්ම, යන්ත්‍රෝපකරණ ක්රියාකරුවෙක්ම මෙතුමියගේ කාර්යාලයට ගිහිල්ල බීමත්කම හොයන පරීක්ෂාවකට ලක් වෙන්න ඕනි . ඒ සහතිකේ නැත්නම් ගේට්ටුවේ ඉන්න මරුමුස් සේකුරිටි නිලධාරීන් ගෙන්  කිසිම  කෙනෙක්ට එලියට යන්න අවසර ලැබුනේ නෑ .

ඔන්න ඔයාකාරයෙන් කාර්ය බහුල දොස්තර නෝනා හමු වෙලා තමයි  පරිප්පු උයන්න කුස්සියට යෑමේ අවසර ගන්න සිද්ද වුනේ . එයා මේක විහිලුවකට ගන්න උනත් තිබ්බා . කුස්සියේ පාලිකාව වුනු අයිනගුල් අපිත් එක්ක දොස්තර නෝනා මුණ ගැසෙන්න ආව. දොස්තර නෝනට අපේ පරිප්පු අමාරුව තේරුම් කරන්න ගොඩක්ම අමාරු වුනා. අවසානේ අපේ කන්කරචලෙන් බේරෙන බැරි තැන අවසරේ  දුන්නේ කොන්දේසි දෙකක් පිට.

  1. කුස්සියේ සේවකයන් පාවිච්චි කරන හිස් වැසුම් හා කබා පළඳින්න ඕනේ
  2. පරිප්පු උයන වැඩේට පමණක් උපදෙස් දී විනාඩි විස්සක් ඇතුලත කුස්සියෙන් පිට වෙන්න ඕනි. 
මේ කොන්දේසි දෙකටම යටත් වෙලා අපි කුස්සියට ගොඩ උනා . ඔය විදිහට සමන්ගේ උපදෙස් පිට එදා පරිප්පු වැන්ජනයක් පිළියෙළ කෙරුනා . වැඩේ  ගොඩ. එදා සිට අපේ කෑම වේලේ අනිවාර්යයෙන්ම පරිප්පු හොද්දක් හරි තෙම්පරාදුවක් හරි තිබුබා, අපරාදේ කියන්න බෑ කුස්සි ටීම් එකත් දවසින් දවස අලංකාර එකතු කරමින් පරිප්පුවට සාධාරණය ඉටු කළා. 

ඔය විදිහට සතුටින් ගෙවුණු කසකස්තාන් කෑම්ප් ජීවිතේ මට යලි මතක් වුනා මම ඊයේ පෙරේදා  සමාගම් තුනක නිලධාරී හා සේවක නිවාස ඉදිවෙමින් යන අපුරුව දකිද්දී .  මේ සම්බන්ධ වැඩ වගේකට මම  කතා කළා චන්දරේට.

සමන් අවිස්සාවේල්ල පැත්තේ සයිට් එකක් පටන් ගද්දි ඒ එක්ක හිටි තරුණ ඉංජිනේරුවා චන්දරේ . එහෙත් වැඩබිම්  කෑම්ප් එකක් තිබිලා තියෙනවා. 

මේ කාලෙම අලුතින් වැඩට ආ ඉංජිනේරුවන් කිහිප දෙනෙකුටම නවතින්න  කාමර වෙන්කරලා  , ඇඳන් මේස දාලා හදල දීලා තියෙන්නේ ව්‍යාපෘතියේ කළමනාකරු වෙච්ච සමන්ගේ මැදිහත්වීමෙන් .

දවසක් සමන් සහ චන්දරේඅලුතින් හදන පාර බලන්න චාරිකාවක් යනකොට සමන් මෙහෙම කිව්වලු . ' මල්ලි උඹ ඔය සයිට් බාරව ඉන්න ඉංජිනේරුවන්ගේයි සුපර්වයිසර් ලගෙයි වැඩවල පිළිවෙල හා පිරිසිදුකම බලපන් ,හවසට අපි පොඩි වැඩක් කරන්න තියෙනවා'
 ඒ කාලේ ෆෝන් කැමරා එහෙම නැති නිසා මේ විස්තර මතකයේ තමයි ඇඳගන්න වෙලා තියෙන්නේ . මෙහෙමයි උපුල් බලන පාලම ළඟ මිනිස්සු බුලත් කෙල ගහල ලී කෑලි විසුරුවලා , බත් ඔතපු කොළ, සිගරට් බීඩි කොට , නාස්ති කරපු සිමෙන්ති නිමක් නෑ . කමල්ගේ අතුරුපාර හදන සයිට් එකේ එක කුණු බින්දුවක් නෑ. පිරිසිදුයි පිළිවෙලයි. ඔය විදිහට එකිනෙකාගේ බාරයේ තියෙන උප වැඩබිම්වල වග විස්තර හිතේ තියාගෙන දෙන්නත්තෙක්ක ගිහිං තියෙන්නේ කෑම්ප් සයිට් එකට හෙවත් නිලධාරී  නේවාසික කඳවුරට . ඒ වෙලේ කවුරුත්ගි ඉඳලා නෑ කෝකියා ඇරුනහම.  බැලින්නම් අර සයිට් එකේ පිළිබිඹුවක් එතන තියෙනවලු. 

උපුල්ගේ ඇඳේ රෙද්ද නමල නෑ . ඇඳේ පැත්තක පොත් , හෝදපු නැති ඇඳුම්. බිම සිගරට් කොට, කඩල ඇට. බීර මුඩි.  බිම  මාසෙකින්  දෙකකින් අතුගාල නෑ . 
කමල්ගේ ඇඳ ඇතිරිලි අලුතින් හෝදලා , නමල , පොත් පත්තර ලස්සනට අහුරලා පොඩි මේස කැල්ලක . කාමරේ එදා උදෙත් හොඳට අතුගාලා  තියෙනවා.  අනිත් ඇත්තන්ගේත් ඔහොමලු. සයිට් එක කොහොමද? කාමරේත් එහෙම්මලු. 

පහුවදා උදේ සියලුම ඉන්ජෙනේරුවන් හා සුපර්වයිසර්වරුන් රැස් කරපු  සමන් හොඳ දේශනාවක් දුන්නලු . ඉංජිනේරුවෙක් වෙනකොට තමන්ගේ ඉන්න හිටින තැන තියා ගන්න කවුරුවත් කියලා  දෙන්න ඕනි නෑ . ඒත් උඹල මට  බාර දුන්න නිසා මගේ පිළිවෙලට ඉන්න වෙනවා . කැමතිනම් හිටපල්ලා නැත්නම්ව වෙන රස්සාවක් හොයාගෙන  පලයල්ලා කියල .
මට ඕනි පිළිවෙලක් තියෙන මිනිස්සු ටිකක් හදන්න . ඒ නිසා අපි කාමරේ ඉඳන් කොලිටි කොන්ට්‍රෝල් පටන් ගමු කියලත් කිව්වලු.

ඔච්චර පිළිවෙල ගැන හිතන  සමන් මෙච්චර අපිළිවෙල මයේත්  එක්කත් එක ගෙදර බෙදාගෙන කාලයක් හිටියනේ කියල මතකවෙනකොට පුදුමත් හිතෙනවා. කාගේවත් පර්සනැලිටියට වැඩිය බාධා කරන්න සමන් ගීයේ නෑ . අනික හදන්න බැරි දේ බෑම කියල මිනිහා දැනගෙන  හිටියා .

මේ කෑම්ප් කතා බහ අතර තුර චන්දරේ මතක් කරා එන විසි අට වැනිදාට සමන්ගේ අවුරුද්දේ දානේ තියෙනවනේ කියල . ඔවුනේ සමන් ගීහිල්ලා අවුරුද්දයිනේ . දානේ ගෙදර යන්න සෙට් වෙන්න  එපැයි. බන්දු, උපාලි, ගැමුණු , සුදත් , මාහිටි අපි සේරම එකම වහනෙක යන්නේ  . අඩේ සමනුත් හිටියනම් මේ ගමන නියම ජොලි ට්‍රිප් එකක් වෙන්න ඉඩ තිබ්බා ,
Photo :caravanistan.com

Saturday, February 18, 2017

රහිමී රහිමී හා හිල්මී හිල්මී

මීට වසර කීපයකට පෙර බ්ලොග් ලියන්න පටන් ගත්තායින් පසු මා මෑතකදී ගත කළේ දීර්ඝතම බ්ලොග් නොලියා සිටීමේ කාලයයි. ඒ ගිය අවුරුද්දේ නොවැම්බර් 24 වැනිදා සිට අද එනම් පෙබරවරී 18 දක්වා මාස තුනකට ආසන්න කාලයයි.

මේ තෙමසක කාලයේ මගේ  දින චරියාවේ සිදු වූ වෙනස්කම්, හඳුනාගත් අලුත් අලුත් පුද්ගලයන් හා මුහුණ දුන් වීචිත්‍ර සිදුවීම්  මීට පෙර අවුරුදු තුනක් ඇතුලත මා ලැබූ එවැනි අත්දැකීම් සියල්ලට ප්‍රමාණාත්මකව සමාන බවක් මට දැනේ .

සිදුවූ එක් වෙනසක්නම් මා දවසකට තිස් හතලිස් වතාවක් ‘රහිමී රහිමී’ කියා අමතන ඇමතුම ‘හිල්මී හිල්මී’ කියා වෙනස් කරන්නට සිදු වීමය .

රහිමී කියන්නේ මැලේසියානු ජාතික තරුණ සැලසුම් ඉංජිනේරුවෙකි. ලංකාවේ මුදලින් රුපියල් බිලියන තුන්සීයක් වැයකොට ඉදිකරන අධිවේගී මාර්ගයක මගේ සහයක ඉංජිනේරුවකු  වශයෙන් ඔහු පත් වුනේ 2013 අවුරුද්දේය. එතැන් පටන් රස්සාව නිසා මගේ ඔලුව අවුල් වී හෝ ගිනිගෙන තිබිය යුතු අවස්ථාවල මම කුල් පිට ඊළඟ සැලසුම් ගැන හිතුවේ  රහිමිගේ පිහිට නිසාය . ඔහු මට ඕනෑම වාර්තාවක් හෝ වගුවක් සුළු උපදෙස් කීපයකින්  පසු මා  බලාපොරෝත්තු වූවාටත් වඩා හොඳින් පිළියෙළ කර දුන්නේය. එවැනි දෙයක් යලි වුවමනා වන්නේ කවදාදැයි ඉවෙන් මෙන් අනුමාන කළ රහිමී මා කියන්නත් කලින් ඒවා ලක ලැස්ති කළේය.

හවස් වී  මා නවාතැනට පැමිණි පසු පොත් කියවන්නත් බ්ලොග් ලියන්නත් පරිසරය සැකසු  සුවිශේෂ මිතුරෙක් සිටියේය. ඔහු මෙන්ඩිස්ය. වරලත් සිවිල් ඉංජිනේරුවෙක් වූ මෙන්ඩිස් ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ කටාර් ශාකාවේ සබාපතිවරයාද විය.  2014 අවුරුද්දේ අග සිට එකම චමරියේ මා සමග උයාගෙන කන්නට පටන්ගත් මෙන්ඩිස් මා උයන ඒවායේ මෙලෝ රහක් නැති බව වටහාගෙන  මා නැගිටින්නට කලින් උදේ පාන්දර තුනට හොර රහසේ අවදි වී තුන්වේලටම ඇති වන්න බත් මාළු පිනි උයා තබා ඇවිදින්නට ගියේය . මා නැගිට ඔහු පිසූ පාතරාසය වළඳා දවල් බත් එකත් බැඳගෙන වැඩට ගියෙමි . ජීවිතේ නිස්කලංකව ගෙවුණි.

ඉතින් එවැනි කාලයක බ්ලොග් කියවන්නත් බ්ලොග් ලියන්නත් නිදහස ලැබීම අහන්නත් දෙයක්ද?. ජීවිතේට බ්ලොග් හො පොත් කියවන්නේ නැති මේ දෙදෙනා ගැන පොත් දෙකක්ම වුනත්  ලියන්නට කරුණු මා ගාව එක්කාසු වී තිබේ .

මා ඊළඟට ලියන පොතේ තමන් ගැනත් ලියන්නයි මට කී මිතුරු මිතුරියන් අතර  මා කටාර් රටේ සේවය නිමවා ලංකාවට එන ආරංචියට සමුගැනීමේ සාද පැවැත්වූ රටවල් කීපයකම  මිතුරු මිතුරියෝ  වෙති. සිංහල කියවන්නට බැරි වුනත් ඔවුහූ වැඩි දෙනෙක් මා බ්ලොග් ලියන බවත් පොත් ලියන්නට සිතා සිටින බවත් දැනගෙන සිටියෝය. ඔවුන් අතර අපේ සමාගමේ කාර්යාල සහකාර ලෙස කලවංචිකුඩි සිට කටාර්ගි ගිය ජෙයකුමාර්ද සිටියේය. ඔහු මගෙන් දිනයක් වෙන් කරවාගෙන මට දිවා බෝජන සංග්‍රහයක් පිළියෙළ කළේය.

ජෙයකුමාර්ගේ හොඳම මිතුරා ඉංජිනේරු රහිමිය. ඔවුන් දෙදෙනා එකට කෑම ගත්තෝය. හොඳ වැටුපක් ලබන රහිමි  ඇනවුම් කොට ගෙන්වා ගන්නා බත් පාර්සලය ජයකුමාර් සමග බෙදාගෙන කන හැටි මම බොහෝ වාරයක් දැක ඇත.

වසර පහකට ආසන්න මගේ කටාර් ජීවිතය රසවත් වුයේ එහිදී හමු වූ රහිමි, මෙන්ඩිස්, ජෙයකුමාර්, සුසන්ත, ෂෙරීන් , එෆි , ඩෙනිස්, වහීඩ් , ලොයිඩ් ,ඩෙනිස් හා  මාක්ස් ඇතුළු මිතුරු මිතුරියන් නිසාත් මාසයකට වතාවක් මට ගෙදර ඇවිත් යන්නට නිවාඩුත් ගුවන් ටිකට් වියදමුත් සැපයු අපේ සමාගමත් නිසාය .  බොරු පොරොන්දු නොවේ ඔවුන් ගැන වෙන වෙනම ලියන්නට මම අදිටන් කරගෙන සිටිමි .

ඉතින් දැන් මම ගෙදර ඉඳන් වැඩට යමි . ගෙදර ඇවිත් මාසයක් නිදහසේ ඉන්නට මට ඉඩක් ලැබුනේ නැත. තවත් අධිවේගී මාර්ගයක වැඩට යන්ට සිද්ද වෙලාය. මගේ කන්තෝරුවේ සේවයට පැමිණි පළමු සහයක නිලධාරියා හිල්මිය . මම ඔහුගෙන් මෙවැනි ඉලලීමක්  කලෙමි.
මම ඔබට ටික කලක් යනතුරු හිල්මී නොකියා රහිමී කියා කතා කරන්නද ?
ඔහු ඊට එකඟ වුන නිසා මට ආයෙමත් බ්ලොග් ලියන්නට පුළුවන් කාලයක් උදා වෙමින්  තිබේ .