කාටූනයකි -ඩයිනසෝරයෙක් දොඹකරයක් මෙන් යොදාගෙන විශාල ගලක් උස්සන විකට රුපයක් |
අවුරුදු තිහකට විතර එපිට ගම්උදා වැඩ තිබ්බ කාලෙ,රජරට පැත්තේ ගමක පොඩි පාරක්, යකඩ පාලමක් හා නළලිං වගේකුයි හදන්න පැවරිලා තියෙන්නේ මගේ වැඩිහිටි මිතුරෙක් උන දයාලාල්ට. මිනිහා ආණ්ඩුවේ සංස්ථාවක පළපුරුදු ටී ඕ මහත්තයෙක්. දැන් දයාලාල් ඇතුළු පිරිස පරණ පොඩි ක්‍රේන් එකක්, ඩෝසරයක් , ට්‍රැක්ටරයක් අරකක් මේකක් අරන් ගිහින් අදාළ පළාතේ නවාතැනක් හොයාගත්තා. ඒ පැන්ෂන් ගිය රජයේ සේවකයෙක් වෙච්ච රාලහාමිගේ ගෙදර.
මේ සුළු යන්ත්‍රෝපකරණ කීපය දාන්න එයාගේ වත්තේ ඉඩ තිබ්බා . ඒ පැත්තේ හැටියට ගේ විශාලයි. රාලහාමිට ගෑණු දරුවෝ හිටියේ නැති නිසා ගෙදර පැත්තක් හත් අට දෙනෙක් වෙච්ච ඉදි කිරීම් නඩේට දෙන්න රාලහාමි බොහොම කැමැත්තෙන් එකඟ වුනා.
ඔන්න දැන් රාලහාමි කාන්ඩේ එක්ක හොඳ ගානට සැට් වෙලා . මෙයා වැඩ කරන තැනටත් එනවා . උපදෙස් දෙනවා . දයාලාල්ටනම් මරු ඇණයක් වෙලා . මහා බක පණ්ඩිතයෙක් .බලාගෙන ගියාම නොදන්නා දෙයක් නෑ .
ටික දවසක් ගියාම රාලහාමි දයාලාල්ගෙන් පොඩි උදව්වක් ඉල්ලුවා.
‘මහත්තයෝ මට බෑ කියන්නේ නැතිව ක්‍රේන් එකෙන් පොඩි වැඩක් කරලා දෙන්න ඕනි. මේ විනාඩි පහක වැඩක්’.
' අප්පෝ දුර යන්න නැත්නම් කරලා දෙන්නම්. ' මොකක්ද වැඩේ ?
‘ඒක පස්සේ කියන්නනම් . මේ වත්තෙමයි වැඩේ තියෙන්නේ . සෙනසුරාදා හවස මහත්තයාල කලින් වැඩ ඇරෙනවනේ. ලබන සතියේ සෙනසුරාදා හවස කරන්න ඇහැකිනම් ලොකු දෙයක් ‘.
‘හරි හරි’
‘ඔන්න දැන් දවස් ගෙවෙනවා. රාලහාමි කොහෙන්දෝ ගෝලයෝ දෙනනෙක් ගෙනල්ලා වත්තේ ලිඳක් හාරනවා’.
‘ඇයි රාලහාමි මේ තව ලිඳක් හාරන්නේ? .
‘අපේ ලිඳ ඉස්සරහ දොරට උතුරින්නේ තියෙන්නේ. ඔය පිහිටීම හොඳ නෑ කිව්වා. ගෙට අපලයිලු .
ඉතින් මම මේ අලුත් ලිඳ හාරලා පරණ ලිඳ වහනවා’
ඉතින් ඉක්මනට දවස් ගතවුනා. ඊළඟ සතියේ සෙනසුරාදා උදා උනා
උදේම දයාලාල් ලඟට ආපු රාලහාමි මෙහෙම කීවා .
‘මහත්තයෝ අර වැඩේ අද හවස කර ගන්න ඕනි’
‘ හරි හරි අද අපි කලින් එනවා. ගෝලයොත් ඉන්නවනේ’ .
‘මම කට්ටියටම සීල් බෝතලයක් ගෙනල්ලා තියන්නම්’,
ඔන්න දයාලලාල්ලා හවස එනකොට රාලහාමි තව ගමේ කීප දෙනකුත් එක්ක අලුතින් කපපු ලිඳ ගාව බොහොම උජාරුවෙන් පෙරමග බලා ඉන්නවා .
දයාලාල්ගේ පරණ 31 ශ්‍රී කොළපාට ජීප් එක නැවැත්තුව හැටියේම ලඟට දුවගෙන ගිය රාලහාමි.
‘මහත්තයෝ අපි ලැවරියා හැදුවා. කට්ටියම කාලා තේ බොන්න ‘ .
'ලැවරියා පස්සේ කන්න පුළුවන් රාලහාමි කියන්නකෝ අර වැඩේ'
මෙන්නේකයි මහත්තයෝ
මම අලුත් ලිඳ කැපුවනේ.
ඔව් !
එතකොට අපි පාවිච්චි කරන ලිඳ ඒ හැටි පරණ නෑනේ
ඔව්!
ඒක හොඳ සිමෙන්තියෙන් බැඳලා අලුත් බොලොක්ක දණ්ඩක් හෙම දාලානේ තියෙන්නේ
ඔව් !
එත් ඒ ලිඳ දැන් වහන්න වෙනවනේ
ඔව් රාලහාමි මට කලින් කිව්වනේ
"අන්නේකයි මහත්තයෝ . ඔය අලුත් ලිඳට ආයිමත් වට බැමි හරස් ලී මොකුත් ඕනි නෑ. මහත්තයාට තියෙන්නේ ක්‍රේන් එකේ ළමයට කියල පරණ ළිං බැම්ම චුට්ටක් උස්සලා අලුත් ලිඳ උඩින් තියල දෙන එක "
‘මළ හත්තිලව්වයි රාලහාමි ඒකනම් කීයටවත් කරන්න බෑ’
‘ඇයි මහත්තයෝ ඒ. මම මහත්තයාලට මෙච්චර උදව් කරලත්…? ‘
' ඒ හින්දා තමයි කරන්න බැරි. ඔය තියෙන්නේ කළුගලුයි, ගඩොලුයි බැඳලා සිමෙන්ති කපරාරුව උඩින් ගහපු වට බැම්මක්. නැතිව කොන්ක්‍රීට් වලල්ලක් නෙවෙයි. උස්සපු ගමන් ගල් ගෙඩි ටික සී සී කඩ යයි’.
' මහත්තයෝ යමුකො බලන්න . මම යමක් කල්පනා නොකර කරන මිනිහෙක් නෙවෙයි.'
දයාලාල් ලිඳ ලඟට යනකොට දුටුවේ අමුතුම වැඩක්. ලිඳ වටේ ගෝනි ඔතලා කඹ වලින් බැඳලා . ඇතුලෙන් ලී තහඩු බැම්මට හේත්තු කරලා මුක්කු සිය ගානක් ගහලා ලිඳ ඇතුලෙන් හිර වෙන්න. හරියට බයිසිකල් රෝදෙක පෝක් කම්බි වගේ .
දයාලාල් මේවා නිරීක්ෂණය කරනකම් රාලහාමි බලාගෙන හිටියේ කට කොනකට නගාගත් ආඩම්බර හිනාවකුත් එක්ක .
‘අනේ රාලහාමි මේ මොනවා කෙරුවත් මේ ගල් ගොඩයි සිමෙන්ති ගොඩයි උස්සන්න බෑ. කඩන් හැලෙනවා”
රාලහාමිට හොඳටම කේන්ති ගියා.
‘හරි එහෙමනම් මට මේක කරන්න දෙන්න. මට මහත්තයාලා ක්‍රේන් එකේ වැඩ කරන ගෝලයාට කියන්න මේ වැඩේට උදව් කරන්න කියල . මහත්තයා පොඩ්ඩක් කාමරේට ගිහින් හාන්සි වෙන්න’
' ඕනි මගුලක් කර ගන්නවා කියා මුණටම කියන්නට බැරි නිසා දයාලාල් මුවින් නොබැන කාමරයට වැදී දොර වහ ගත්තේ ක්‍රේන් ඔපෙරේටර්ට රාලහාමි කියන දෙයක් කර දෙන්නැයි පවරමින් .
ක්‍රේන් එකකින් ලොකු ගෝවා ගෙඩියක් ඔසවන ඔවිනිගේ චිත්‍රයක්. මේ කතාවේ රාළහාමි කමිසයකුත් නැතිව තොප්පියක් දාගෙන එක් පසෙක සිටී. ගෝලයකුද රුපයේ සිටී |
මේ කලබගෑනිය ඇසී වසාගෙන සිටි කාමරෙන් මිදී දයාලාල් එලියට ආවා. ක්‍රේන් ඔපරේටර් උපනන්ද සෙනග දැකීමෙන් ඇති වූ අමුතු කික් එක නිසා ක්‍රේන් හැසුරුම් කුටියට නැගී බූම් දණ්ඩ එහා මෙහා කරමින් පෙළහර පාමින් හිටියා .
මේ අතරේ රාලහාමි දොඹකර නියමකයෙකු වෙලා . සෙනග ඈතට කරලා උපදෙස් දුන්නා. ලිඳේ බෝලොක්කේ දාන හරස් යකඩ පොල්ලට කේබල් කොක්ක දාගන්න උදව් වූනා . ඊට පස්සේ හස්ත සංඥා ලබා දුන්නා . සාමාන්‍යයෙන් මේ කිසි විදිහකින් අවසර දෙන්න බැරි දෙයක්. පළපුරුද්දක් නැති කෙනෙකුට ඒ වගේ වගකීමක් දෙන්නේ නෑ. රස්සාව ගහලා යන වැඩ. දයාලාල් ගෙයි පිලිකන්නේ බිත්තියට හේත්තු වෙලා උදාසීනව බලා හිටියා .
දැන් බොලොක්ක කඳේ දෙපැත්තට කේබල් එක හොඳට හිර වෙලා. රාලහාමි උනන්දුවෙන් හෑන්ඩ් සිග්නල් දෙනවා .
'උස්සන්න'
කොහේ කෙරෙන වැඩක්ද ? ලිඳක් උස්සන්න පුලුවන්ද? මහදැනමුත්තාගේ කතා අහල තියෙන ගමේ මිනිස්සු ඔච්චම් කසු කුසු ගානවා.
ඒත් එක පාරම ළිඳ සසලවෙලා මුලින් ඉදිරුනා වගේ උනා . දත් දොස්තරගේ අඬුවට බුරුල්වෙච්ච පොරෝ දතක් වගේ ක්‍රේන් කේබල් එකට පහලින් ළිඳ දෙපැත්තට සැලුනා .
රාලහාමිගේ මූණේ මල් හිනා විසිරුණා
ආඩම්බරෙන් වටේම බලල උපනන්දට සංඥාව දුන්නා . ඇඟිල්ල උඩට වේගෙන්.
උපනන්ද ඉස්සුවා.
සලබල සලබල ගාල මහා හඬක් නගාගෙන ළිං බැම්මේ පස් ගල් ගඩොල් සිමෙන්ති සේරම ලිඳ ඇතුලට කඩා වැටුණා . බලද්දී ක්‍රේන් එකේ එල්ලී එල්ලී තිබ්බේ බොලොක්ක දණ්ඩ විතරයි.
සෙනග අතරෙන් හීනියට පටන් ගත්තු හූව මහා වේගෙන් ලියලා අවට කඳු වළලුවල වැදී දෝංකාර දුන්නා . ඇට්ටර කොල්ලන්ගෙන් පටන් ගත්ත හූව, පොඩි උන්, මහාඋන් හා වයසක ඈයොත් අනුකරණය කරා.
සරම කැහැපොට ගහගත්තු රාළහාමි බිම බලාගෙනම වෙඩිල්ල වගේ ගෙට රිංගුවා
එදා සිට තවත් මාස ගානක් යනකන් ගමේ කාටවත් රාලහාමි දවල් කාලෙක මුලිච්චි වුනේ නෑ.
තව සතියකින් විතර වැඩ ඉවර වෙලා ආපහු එන්න කලින්ග දයාලාල්ල ගෙවල්කුලී පියෙව්වෙ රාලහාමිගේ ලොකු පුතාට.
‘තාත්තට පොඩ්ඩක් කතා කරන්න අපි යනවා කියන්නවත්’ .
ඇතුලට ගියපු පුතා ආපහු ආවේ පණිවිඩයක් අරන් .
‘තාත්තා එන්න බෑ කියනවා. ඒත් මහත්තයාට කියන්න කිව්වා ආයේ මේ පැත්තෙන් ගියොත් අපේ ගෙදරත් ඇවිත් යන්න කියල’ .
**********************************
අර ලියන මහත්තයා ලිඳේ වැටිච්ච වෙලාවේ පොරොන්දු වුනානේ අපේ කාලයේ මහදැනමුත්තෙක් ගැන ලියනවා කියල . මේ තමයි ඒ කතාව . වෙච්ච පොරොන්දුවක් පහුවෙලා හරි ඉටු කරන්න ලැබීම සතුටක්
Figure : whendinosaursruledthemind.wordpress.com