(මේ නවකතාවේ මුල් කොටස මෙතනින් .. )
මනම්පෙරී මහත්තයාද එව්වේ කියා ඇසු විට තුටු පහටු මුහුණින් යුතුව තරුණයා .
' ඔව් මහත්තයා මෙන්න දෙන්න කියල දුන්නු ලියුම " යි පරෙස්සමට නැවු කරදාසියක් මනෝරන්ජන් වෙත පෑවේය.
"ඕනි නෑ.ඔය ලියුමේ තියන දේවල් මම දන්නවා . නම මොකක්ද කිව්වේ ?"
"අසේල මහත්තයා ".
"මම අසේල කියන්නද නැත්නම් මහත්තයා කියන්නද ?"
මුලින් වික්ෂිප්ත වූ තරුණයා ඊළඟට හිකිස් ගා හිනා වුනේය . වරද නිවැරදි කරගෙන ආයෙත් කතා කළේය
' මගේ නම අසේල. අසේල ලංසක්කාර"
' වාඩි වෙන්න '
අසේල වටපිට බලා බොහෝ යටහත් පහත්ව වාඩි වුනේය. මේ අතර මනෝරන්ජන් ප්ලාස්ටික් වතුර බෝතලය ගෙන වීදුරුව පුරවා බීගෙන බීගෙන ගියේය '. එක වතුර බින්දුවක් ඉහිරවන්නේ නැතිව බෝතලය හා කෝප්පය හැසිරවූ විලාසය දෙස බලා සිටි අසේලට සිතුනේ මෙතැන නම් හරි පිළිවෙලට ඉන්න වෙනවා. කියලාය.
' වතුර ඕනිද ? "
" එපා මහත්තයා "
' එහෙනම් සැර බීමක් බොනවද ?"
අසේල තිගැස්සී ගියේය . ඒත් චකිතය සඟවාගෙන සිය බෑගයේ සිපරය ඇර සහතික මිටිය එලියට ගත්තේය
සහතික දැමු ෆයිල් කවරය අතට ගත් මනෝරන්ජන් එය උඩින් පල්ලෙන් පෙරලා බලන අතරේම පෙර ඇසු ප්‍රශ්නය නැවත ඇසුවේය.
'සැර ජාති බොනවාද ?"
අසේල කල්පනාවට වැටුනේය . මේ ඔහු පැමිණ සිටින්නේ ඉන්ටවිව් එකකට බව යලි සිහියට ගත්තේය .
"මෙහෙමයි මහත්තයා ඉඳ හිටලා බියර් එකක් බොනවා . සැර බීමක්නම් බොහොම කලාතුරකින් . සයිට් එකේ ස්ලැබ් එකක් දාන දවසට එහෙම .."
එවේලේ මනෝරන්ජන් කන්තෝරු දොරෙන් එලියට බැස සිල්වා යි මුර ගෑවේය .
සිල්වා වනාහී ඉතා විශාල ශරීරයක් ඇති හිසේ කෙස් සේම මුවේ දත් ද සියල්ල වියෝ වී ගොස් සිටියද මුව පුරා හොඳින් සිනාසෙන සිල්වාමය. ඔහු හැමදාම ඇන්දේ අලුතින් සෝදා මදින ලබන ටී ෂර්ටයක් හා කොට කලිසමකි . ඔහු එකම ඇඳුම් කට්ටලය එක දිගට දවස් දෙකක් ඇන්දේම නැත .
සිල්වා දොරෙන් ඇතුලට එද්දී මනෝරන්ජන්ට කල්පනා වුනේ මුල්ම දවසේ සිල්වා ඉන්ටවිව් ආ හැටියි. වැඩබිම් කන්තෝරුවට සහායකයෙක් ඕනෑ බව දන්වා ගාලු පාරේ තේ කඩ කිහිපයක අලවා තිබු දැන්වීමක් දැකපාර සොය සොයා මෙතැනට ආ පිරිස අතරේ ඔහුද සිටියේය .ඒ දැන්වීමේ සම්මුඛ පරීක්ෂණයට අයුතු දිනය හා වෙලාවද ලියා තිබුනේය.
කන්තෝරු ඉස්තෝප්පුවේ සිල්වා වාඩි වී සිටියේ තමන්ගේ වාරය එනතුරුය. එදාත් ඔහු ඇඳගෙන ආවේ කොට කලිසම හා ටී ෂර්ට් එකය . කාමරය ඇතුලේ වෙනත් සාකච්චාවක හිටියා වුනත් මනෝරනජන්ට එළියේ පොරොත්තු පුටු පෙලේ වාඩි වී සිටින පිරිස පෙනේ. ඒ අතරින් සිල්වා කැපී පෙනුනේය . සිල්වා ආගන්තුක බවක් නොපෙන්වා තමන් ඉදිරියේ බිත්තියේ එල්ලා තිබු කුඩා කන්නාඩිය අසලට ගොස් එහි දාරයේ වූ පනාව අතට ගන්නා හැටි හා ඉන්පසු සිය කෙස්ගස් එකකුදු නැති හිස මත අතුල්ලා ආපහු පනාව තබන හැටි , හිනැහෙමින් සිය අසුනවෙත යන අයුරු ඇතුළේ සිටි මනොරන්ජන් බලා සිටියේය, එදා ඉන්ටවිව් පටන් ගන්නා වෙලාවට ඒ වැඩේ කිරීම ස්ටෝර්කීපර්ට බාර දෙමින් මනොරන්ජන් රහසක් කියා පිට වී ගියේය.
"ඔය කට්ටිය එක්ක පොඩ්ඩක් කතා කරපන් . ඉන්ටවිව් එකක් තිව්ව කියන්නත් එපැයි. ඊට පස්සේ අර ඉන්න තට්ට මහත මෑන්ට හෙට ඉඳන් වැඩට එන්න කියාපන් "
මේ ලෙස කල්පනා ලොවකට වැදී සිටින සිය ලොක්කා දෙස සිල්වා මද වෙලාවක් බලා සිටියේය.
සිල්වා හා ඔහුගේ ලොක්කා යන දෙදෙනාම දෙස අසේල කුහුල් සිතින් බලා සිටියේය . ඒ අතරේ රුහුණූ කුමාරී කෝච්චිය හඬ තලාගෙන මුහුද අද්දරින් හැල්මේ දිව්වේය .
කෝච්චියේ ශබ්දය නිසා මනොරන්ජන් හා සිල්වා අතර කෙරුණු සංවාදයේ එක වචනයක්වත් අසේලට අසුනේ නැත . ඒත් අර දෙන්නාට දෙන්නා කතා කරන දේ ඇහෙන්නේ කොහොමදැයි ඔහු කල්පනා කළේය.
අඳුර වැටෙද්දී අලුත් සුපර්වය්සර්වරයා තේරීමේ සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙමින් තිබිණි . අයදුම්කරු අතේ අඩක් පිරවූ සැර බීම වීදුරුවක් තිබුණු අතර ඔහුගේ සහතික තිබු ෆයිල් කවරය කලින් තිබූ තැන දැන් බැදපු සුදුළුණු පීරිසියක් තිබුනේය .
මනෝරනජන් ඉන් එක ලුණු ගෙඩියක් ගෙන රොඩු ඉහිර වෙන්නේත් නැතිව ලස්සනට පොතු හැර බික් සියල්ලම එකින් එක වරින් වර හැපුවේය.
' අසේල මේ ඉන්ටවිව් එකෙන් තේරිලා මෙහෙට ගත්තොත් එහෙම මේ වගේ හැමදාම බොන්න ලැබෙන්නේ නෑ . ස්ලැබ් වල කොන්ක්‍රීට් දාන දවසට විතරයි. ඒ කියන්නේ ඉස්සරහ අවුරුදු දෙකටම විසිඅට පාරයි "
බොනවා වගේ පෙන්වන්නට වීදුරුවට දමා ගත් ජින් ස්වල්පයට වැඩිපුර ටොනික් දමා මුවට ලං කරගත් මනොරන්ජන් යලි වීදුරුව පැත්තකින් තිබ්බේය . ඉන්පසු පුටුව පස්සට දමාගෙන යලි කෙලින් වී වාඩි වුනේය
මේ වනවිට නුපුරුදු බීමෙන් වඩි දෙකක් උගුරෙන් පහළට යවාගෙන ලා බමන මතයකින් සිටි අසේලගේ කෝල ගතිය දියවී ගොස් තිබුනේය.
" අසේල මට විස්තර කියන්න . වැඩ කරපු තැන්වලයි සිමෙන්තියි කොන්ක්රීටුයි ගැන විස්තර ඇර ඕනි දෙයක්"
" ඒ කිව්වේ මහත්තයා "
" අම්මා ගැන , තාත්තා ගැන, ගම ගැන ගෑනු ළමයා ගැන. ඔය මොනවා හරි කියන්න "
අසේල කෝල ලෙස හිනැහුනේය. යලි කල්පනාවට වැටුනේය .
අම්මා ගැන ලස්සනට යමක් කියන්නට තිබුනා නම් හොඳ නොවේද? එහෙත් ඈ ගැන කියන එක තේරුමක් නෑ. බැටරි ඒජන්සිය නැති වූදා සිට තාත්තා තමාත් නංගිලා දෙන්නාත් ජීවත් කරවීමට විඳි දුක. අවසාන කාලයේ ආතරයිටිස් හා ඩිමෙන්ශියා රෝගවලින් පීඩා වින්ද ඔහු මිය ගිය අන්දම ශෝකී මතකයක් සේ ඔහු වෙතට ආවේය. එහෙත් ඔහු සොම්නස් සිතින් මතක් කළේ තාත්තා සමග අලුත් කාරයෙන් පානදුර සිට හිනිදුම අම්මලා ගමේ ගිය දවස් ගැනය . අසේලට පොඩි කාලේ පටන්ම කාරයේ ඉදිරි පෙළ අසුනේ යන්නට ඉඩ ලැබුනේ අම්මා තාත්තා අසලින් වාඩි වී යෑමට කැමැත්තක් දැක්වුයේ නැති නිසාය. ජපන් සකාඩා බැටරි ඒජන්සිය තිබුණු කාලේ තාත්තාගේ අතේ යහමින් මුදල් තිබ්බේය. ඒ කාලේත් ඉන් පස්සෙත් අම්මා හා තාත්තා හැසුරුනේ එක ගෙදර සිටිනා අමුත්තන් දෙන්දෙනෙකු වගේය.
මොකක්දෝ හේතුවක් නිසා තාත්තාගේ බැටරි ඒජන්සිය නැතිව ගියේ කාර් එක හැර හැම දේම ඔහුට අහිමි වුනේ ණයතුරුස් නිසාය . මේ කරදර කාලයේදී දවසක් ඔහු අසේලට කතා කළේය. අසේල ඒ වනවිට සිටියේ අටේ පංතියේය .
' පුතේ ඔයා දන්නවනේ ඒජන්සිය නැතිව ගියායින් පස්සේ අපට සල්ලි අමාරු උනා. ෂොප් එකත් දෙන්න උනා . ණයට බඩු ගත්ත මිනිස්සු පොලු තිබ්බා." අසේල තාත්තා දෙස මහත් පුදුමයෙන් බලා සිටියේය. පාඩම් වැඩ ගැන දෙන අවවාද හා නංගිලා සමග රණ්ඩු නොකරන්නැයි කියවෙන තරවටු කිරීම් හැර මේ වගේ බරපතල කතාවකට තාත්තා කවදාවත් තමන්ව අල්ලා ගත්තේ නැත. ඒ නිසා තමන් වැඩිහිටියෙක් බවට පත් වී ඇතැයි යන සන්තෝෂයෙන් අසේල හිනැහුනේය. අනෙක් අතට මේ වගේ තීරණාත්මක දෙයක් කතා කරන්නට කෙනෙක් තාත්තට හිටියේ නැති බව , අඩුම තරමේ අම්මාවත් ඔහුට ඇහුම්කන් නොදෙන බව අසේල දැන සිටියේය.
මදහස පිරි මුහුණින් ඔහු දෙස බලා සිටි මනෝරන්ජන් මෙසේ ඇසුවේය.
' මොකද තාත්තා කිව්වේ කාර් එක විකුනලා කඩයක් දාමු කිව්වද ? "
අසේල තැති ගත්තේය . තමන් මෙතෙක් වෙලා කල්පනා කරමින් සිටියා පමණකැයි දැනුණු හැම දෙයක්ම ඔහු බමන මතින් කියවා ඇත . දැන් ඉතින් මොනවා කරන්නද දිගටම කතා කරනවා .
-මීළඟ කොටස
Photo Source_ Depositphotos.com