අනේ අම්මේ ඒක නම් කරන්න බෑ .මම මේ බ්ලොග් එක මුලින්ම ලියන්න පටන් ගත්තේ පස් දෙනෙක් සතුටු කරන්නටය. ඔවුන් අප්‍රිය කරන දෙවල් ලියන්නට මට සිත් දෙන්නේම නැත .ඒ පස් දෙනා නම් අපේ පොඩි උන් දෙන්නාත් මා නිසා තිස්සෙම කරදර වන මාගේ ආදරණීය බිරිඳත් අපේ වියපත් අම්මා හා තාත්තාත් යන පස් දෙනාය. මේක කියවන සියලුම දෙනා ඒ අතර වයස් පරතර වල සිටිනා, තමන්ටද ළමා කාලයක් තිබුණු හා වයසට යන්නට බලාපොරොත්තුවෙන් සිටින්නන් නිසා මා ලියන දේවල් සමෝසමේ පත්තියන් වෙනවා ඇතැයි මට සිතෙයි.
මම දේශපාලනේ ගැන නොලිව්වාට පහේ පන්තියේදී මම මුල් පෙලේ පක්ෂ තුනකට උද්යෝගයෙන් සහයෝගය දී තිබේ. අපේ බාප්පා සමග (පසු කාලයක අපිට ඉගැන්වූ )සිල්වා සර් මුලික වී ගමේ හන්දියේදී රතුපාට අති දැවැන්ත රැළියක් සංවිධානය උනේය. ඒ අනුව මුලින්ම සම සමාජ පක්ෂයට චන්දය දෙන්නට මම තීරණය කර ගතිමි.
රැස්වීමේ ප්‍රධාන කතිකයා වුනේ පසුව බොහෝ කලක් පාර්ලිමේන්තුවේ සිටි ඇමතිවරයෙකි. එදා ලැලී ස්ටේජ් එකේ රබර් බෝලයක් මෙන් පෙරළෙමින් ගම දෙවනත් වෙන්නට ඔහු කළ කතාව අසා සිටි මටනම් හිතුනේ මේ පක්ෂය ඊළඟ චන්දෙන් උඩින්ම දිනනා බවයි. ස්ටේජ් එකේ සිටි තුන් හතර දෙනාත් එසේ සිතා සිටිනා බව පුංචි උනත් මට නිරීක්ෂණය කර ගන්නට පුළුවන් විය.
මහා ජනතාවට සිටියේ හරියටම හතර දෙනෙකි. මමත් ඕනෑම අංජබජල් වැඩකට මා සමග එන අපේ රන්ජි අයියාත් , අපේ පන්තියේ ගාමිණීත් සමග ඒ වනවිට චන්දය දෙන්නට වයස සපුරා සිටි එකම පුද්ගලයා වූ, කැකුණ ගහේ බැඳ තිබු තඩි ස්පීකර් සැට් එකේ අයිතිකාරයද ඒ හතර දෙනාය.
ඊට පස්සේ අපට ගෙවල්වලට හා කඩවලට බෙදන්නට කියා රතු පාට පත්තර ටිකක් ලැබුණි. මේවා බෙදද්දී වැඩිහිටි තරුණයෙක් කිව්වේ ගියපාර නිලට මේ පාර කොළට. වැඩේ හරි ගියේ නැත්නම් ඊළඟ පාර සත්තයි අපි මේකට දෙනවා කියලාය. ඔහු 71 කරදරවලට අසු වී හිරේ සිට ආ අයෙකු බව මම පසු කලෙක දැන ගත්තෙමි.
මම ගෙදර ගොස් අපේ අම්මයි තාත්තයි කැන්වසින් කළෙමි. ගෙදර සියල්ලෝ හිනා උනා මිස කවුරුවත් මගේ වචනයක් ගණනකට නොගත්තෝය. අම්මලා චන්දය දෙන්නේ කාටද කියා ඒ දවස්වල දැන ගන්ට හැටියක් නොතිබුණෙන් මම පමණක් සම සමාජයට වැඩ කරමින් සිටියෙමි.
දින කීපයක් ගෙවුනාට පසු තවත් හැන්දෑවක අපේ නෑදෑ ගෙදරකට කාර් කීපයක් ආවේය. මේ ආරංචියත් සමග අපි හැල්මේ එදෙසට දුව ගියෙමු. සැනෙකින් පවුල් කීපයක විස්සක් තිහක් පැමිණ ඒ ගදර සාලයේත් මිදුලේත් තැන් තැන්වල එක් රොක් වී කාර්වලින් එන අමුත්තන් දිහා විමසිල්ලෙන් බලන්නට පටන් ගත්තෝය.
ඒ යු ඇම්පී එකෙන් චන්දය ඉල්ලන අපේක්ෂකායාය. එදා මළ ගෙදරකදී මෙන් මාරි බිස්කට් හා අලියා බීමවලින් ආ හැමෝටම සංග්‍රහ කළා මතකය. පසු කලෙක රටේම බලගතු දේශපාලකයෙක් වුනෙත් අපේ පවුලේ නම් ජන්මාන්තර වයිරයට පාත්‍ර වුනෙත් මේ පුද්ගලයාය. ඒ අපේ තාත්තාට දේශපාලන දඬුවම් මාරුවක් දෙන්නට මොහු මුල් වූ බවට වූ සාධාරණ විශ්වාසයයි.
කොහොමින් හෝ එදා රැස්වීම ඉවර වෙනකොට මේ මුඛරි අපේක්ෂකයා එතන සිටි පිරිස අමුතු ඇන්දවිල්ලකට ලක් කළ නිසා මටත් යු අන් පී කාරයෙක් වෙන්නට සිතුනේය. එදා ගමේ පාර දිගේ කෙටි පෙළපාලියකද මේ රථ කිහිපය පස්සෙන් ගියේය. අලියාට ජයවේවා කියා කියා ගිය මේ පෙළපාලියට මමද රන්ජි අයියාද එකතු වුනෙමි. එදා සිට දවස් කීපයක් යනකන් මම යු ඇම් පී කාරයෙක් වීමි.
ඔහොම ඉඳිද්දී ගමේ සිරි ලංකා කාරයෝ පිරිසක් අපේ ගෙදරට පැමිණ තාත්තා මෙවර නිස්සබ්ද මොකදැයි ප්‍රශ්න කරන්නට පටන් ගත්තෝය. 'අපි එදා ඉඳන් වාමාන්ශිකයි තමයි ඒත් මේ පාර කාටවත් වැඩ කරන් නෑ'. තාත්තා කිව්වා මතකය.
ඒත් තාත්තාට ඒ විදිහට ඉන්න වුනේ සතියකට අඩු කාලයකි . තාත්තාට පනස් හයේ දේශපාලනයේදී හමු වූ, අපේ ආසනය බාර මන්ත්‍රීවරයා වූ, හිටපු ඇමතිගෙන් ලියුම් කරදහියක් ලැබී තිබිණි.
' හිතවත් ඉස්කෝලේ මහත්තයා, මම මේ පාර චන්දෙ ඉල්ලන්නේ නෑ. මම ඒ වෙනුවෙන් ඉතා දක්ෂ උගත් ඉඩම් හිමි වැවිලිකරුවෙක් වන මගේ නෑදෑයෙක් නම් කළා. ඔබෙන් මා ඉල්ලන එකම දෙය නම් මොහු මා වෙනුවෙන් ගමේ හිතවතුන්ට හඳුන්වා දෙන ලෙසයි'.
කිව්වත් වාගේ අපේක්ෂකයා හඳුන්වා දෙන රැස්වීම ගමේ කඩයක් අබියසදී පැවැත්විණි. ගමේ සිරි ලංකා කාරයෝ කිහිප දෙනෙක් පැමිණ තාත්තා කැඳවාගෙන ගියෝය. අනිවාර්යයෙන්ම කරනා පරිදි මමද ඒ පස්සෙන් ගියෙමි.
බඩ මහත බුරුසු රැවුලක් තිබුණු සිරි ලංකා අපේක්ෂකයා අනිත් දෙන්නාට තරගයක් දෙන්නට තරම් නොවන බව පෙනෙන්ට තිබිණි.
පරදින බව දන්නා මොලේ ඇති හිටපු ඇමතිවරයා බිලි බෝයි කෙනෙක් සටනට ඒවා ජාම් බේරාගෙන මාරු වෙලාය.
හඳුන්වා දීමෙන් පසු අලුත් අපේක්ෂක තුමා නැගිට්ටේය. මහත බඩ නිසා තිස්සෙම එල්ලා වැටෙන කලිසම අත් දෙකෙන්ම උස්සා උස්සා කතාව පටන් ගත්තේය. බුරුසු රැවුල අස්සෙන් ඔහු කියනා කිසිම දෙයක් කාටවත් තේරුනේ නැති ගානය. ඔහු වචන හොයා හොයා ආග් ආග් ගාමින් තැටමුවේය. පිටිපස්සේ සිටි තරුණ ගැටවුන් ' මොකට මේ මනුස්සයා එව්වද චන්දය ඉල්ලන්න කියලා කිව්වා මට ඇසුනි.
කොහොමින් කොහොමින් හෝ ඊළඟට කතා කළ ගමේ සමිති සබාපතිගේ වචන නිසා සබාව ආයෙමේත් උද්යෝගයට පත් වුනේය. දැන්නම් දිනන්නේ මේ පක්ෂය බව මට සිතුනි.. අනිත් රැස්වීම් දෙකටම වඩා මේකට සෙනගද වැඩිය. කොහොමත් අපේ ගමේ වැඩිපුර හිටියේ සිරි ලංකා කාරයෝය.
එදාද රැස්වීම අහවර වී ටික දුරක් ගිය පෙළපාලියක අපි සටන්පාට කියමින් උද්යෝගයෙන් ගියෙමු. 'නිල්පාටට ජයවේවා . අපේ අත රත්තරන් අත'
එදා හිට ටික කලක් යනකන් මම සිරි ලංකා කාරයෙක් වී සිටියෙමි.
මේ මම පහේ පන්තියේදී දේශපාලනය කළ හැටියි.
මම දේශපාලන පක්ෂ සියල්ල අත හැර දැම්මේ පහේ පන්තියෙන් ඉහළටද ඉගෙන ගන්නට සිදු වූ නිසාය.
ඒත් කරුමය කියන්නේ මා මුලින් කී පස් දෙනාද ඇතුළුව අපි හැමෝගෙම ජීවිත ඉරණම තීරණය කරන්නේ පහේ පන්තියෙන් ඉහළට ගොඩ නොවූ අර දේශපාලනයම වීමය.
photo: thehindu.com