Monday, May 25, 2020

අටවිසි මහල 14- සිල්වාට පහර දුන්නේ කවුද ?


කොටස් වශයෙන් පලවන අටවිසි මහල නව කතාවේ 14 වන කොටසයි . මින් පෙර කොටස් මෙතැනින්


නොඉවසිල්ලෙන් කවරය ලිහා බැලුවද ලියුම හිතු තරම් දිග එකක් නොවීය

දයාබර  මහත්තයා වෙතටයි,

මහත්තයා කොච්චර කිව්වත්  නම කියා කතා කරන්නට මට බෑ.  සමහරුන් මෙන් අයියා කියන්නට් හිතෙන්නේ නැති නීසාත් මහත්තයා  අකමැති වුනත් දිගටම  මහත්තයා කියා කතා කිරීමට අවසරයි  .

මහත්තයා  එදා වරකාපොලදී හමු නොවුනානම් මම මේ ලියුම නොලියා ඉන්නත් තිබ්බා . මම කැම්පස් තේරිලා ඉන්නා බව කලින් නොකීවේ හේතු කාරනා කීපයක් නිසයි.  ඇත්තටම අම්මාත් වජිරා ටීචත්  ඇරුණුකොට මම ඉන්නේ කොහෙද කියල කාටවත් කියන්න  මට  වුවමනාවක් නෑ. මම දැන් ඉන්න තැනවත්  ඉස්සරහට ඉන්න තැනවත් ඔය කවුරුවත් දැන ගන්නේ නැති එක මට සහනයක් .

මහත්තයා පළමුවෙන්ම මුණ ගැහිච්ච දවසේම මට ඔය තැන්පත් කමට ලෝබ හිතුනා . ඉන් පස්සේ පස්සේ ටිකක් ලොකු බැඳීමක් වුනේ ඒකම තමයි . ආයේ හංගන්න දෙයක් නෑ මහත්තයාත් මා ගැන ලෙංගතු බව මම දන්නවා . එදා බුකියේ රේස් තුන්ඩුවක් ලියන්න මහත්තයා පෑන  අතට ගන්න කොට මට ලොකු හිතේ දුකක් ඇති වුනා .   එදා දැක්ක දවසෙම  වුනත් මහත්තයා හොඳ කෙනෙක් කියලා තේරුණ නිසා. මේ සූදුව කියන්නේ අපායක් . මහත්තයා ඒකෙන්ගැ ලවෙන්න ඕනි . ඒ වගේමයි මගේ ලෝකය කියන්නේ මහත්තයලගේ පැත්තෙන් බලද්දී  අපායක් . මහත්තයා මගෙනුත්  ගැලවෙන්න ඕනි. ඒක ඉල්ලන්නයි මේ ලියුම ලියන්නේ  .

අපි හම්බ වෙච්ච කීප වතාවේ මට තේරුනා මහත්තයා මගේ ජීවිතය ලස්සන දිනපොතක නැතිනම් කෙටි කතාවක ලියන්න කැමැත්තෙන් ඉන්නවා කියල. ඒත් මනෝ මහත්තයා ඔය පොත්වලට ගන්නේ අපේ ජීවිතේ මතු පිටින් පේන මහා බොරුවක් . අපේ දුක සැප ඔය කියන දේට වඩා වෙනම විඳවිල්ලක්. සමහරවිට මහත්තයට කවදා හරි මේ කතාව තේරෙයි . ඒත් අපි අතර තියෙන ගැලපීම් වලට වඩා නොගැළපෙන දේවල්  ලොකුයි නේද මහත්තයා . බොරු  කියන්නේ මොකටද මම මහත්තයාට ආදරෙයි. ඒත් ඒක නැති වෙන්න මුලක් වෙන්නේ අපි ආයේ හම්බුනොත් වෙන්න තියෙන දේවල්ම තමයි . ඒ නිසා කවදාවත් මාව මුණ ගැහෙන්න එන්නේ නෑ කියල මහත්තයා මට පොරොන්දු වෙන්න . කලින් හිටියා වගේ  වෙන රටකට ගිහිල්ලා අර ලස්සන  අම්රිතා නෝනත් එක්ක හොඳින් ඉන්න. ඒ නෝනාගේනම් තියෙන්නේ අමුතු ලස්සනක් මහත්තයා . ඒ වගේම කාටවත් බය නැති හොඳ කෙනෙක් වගේ මම දැක්කේ .

අපේ පළමු වැනි වාරේ වැඩ අමාරුවක් නෑ . මෙහෙ  තියෙන නවක වදේ මටනම් මෙලෝ තේරුමක් නෑ. ගංවතුර  කාලෙට රෙදි පොට්ටනි ලට්ට ලොට්ට උස්සාගෙන ඇවිල්ලා ගාලු පාර අයිනේ දවල් රෑ ගානක් ඉටි රෙදි පොරවාගෙන  හිටපු අපව රැග් කරන්න පුලුවන්ද මහත්තයා ? ඒත් සමහර වෙලාවට හිත රිදවීම් වැඩියි. උඹේ  ගම කොහෙද? ඉස්කෝලේ කොහෙද ? තාත්තා මොනවද කරන්නේ ? අම්ම මොනවද කරන්නේ ? කියල අහන එකත් මට හිරිහැරයක්. වජිරා ටීචර් කියපු නිසා මම පානදුර ඉස්කෝලෙදි මා ගැන කිව්වේ බොරු විස්තරයක් . එතකොට මම ටිකක් ලොකුයි. බොරු කියන්න ඕනි වුනේ ඇයි කියලා මම දැනගෙන හිටියා. ඒත් ඩෙංගු හැදිලා සති දෙකක් ඉස්කෝලේ නොයා  ඉන්නකොට ගෙදර හොයාගෙන ආපු පන්තියේ යාළුවො නිසා මම නරක මුඩුක්කු ළමයෙක් බවට රෙජ්ස්ටර් වුනා .  ඒ තත්වේ මට පේරාදෙණියේදී උදා කර ගන්න බෑ.
ඒත් මට එක වෙලාවකට හිතෙනවා  මේ  විස්තර හාර  හාර අවුස්සන සීනියර් කෙල්ලෙකුට හරි කොල්ලෙකුට හරි  හොම්බට දෙකක් ඇනලා ගෙදර එන්න .

ඒ අතරේ යාලු වෙන්න අහන කොල්ලොත් ඕනි තරම්. අන්තිම අවුරුද්දේ කොල්ලෙක් වුනත් මට පෙන්නේ මට වඩා බාලයි බොළඳයි කියලා. මම වයසට වඩා මෝරලා වගේ නේද මහත්තයා  . ඒ නිසා මට දැම්ම ඒ වගේ දෙයක් හිතේවිද දන්නේ නෑ. මහත්තයාට මම එදත්  කිව්වා වගේ මට වියදමට සල්ලි එවන්න කරදර වෙන්න එපා. වජිරා ටීචර් මට උදව් කරනවා.  මහපොලයි ඒ සල්ලියි මට වැඩිපුරත් එක්ක ඇති . මම මාස තුනකට විතර පාරක් ගෙදර එන්න හිතාගෙන ඉන්නවා. ඒත් මේ කැම්පස් එක එක හේතු හහින්දා මාස දෙක තුනකට වතාවක් වහනවලු .

මෙහෙ පරිසරේ ලස්සනයි . ඒක මට දරා ගන්න අමාරුයි. මම ජීවත් වෙච්ච පරිසරෙත් එක්ක තියෙන පරතරේ වැඩිද මන්දා ?
මම හොඳින් ඉන්නවා. අපිට හොස්ටල් එකේ නම  සංඝමිත්තා . අපේ රූමි  සේරුවිල කාවන්තිස්සපුර කෙල්ලෙක් . උසස් පෙළ කරලා තියෙන්නේ කුරුණෑගල. එයාගේ පාඩුවේ ඉන්නවා. මම කැමතිම දේ තමයි මම කිව්වේ නැත්නම්  කිසි දෙයක් මගෙන් අහන්නේ නැති එක. මට ඉතින් එයාට කියන්න ඒ හැටි දෙයක් නෑ.

මහත්තයාට බුදු සරණයි

නෙතදරා


*****

ලියුම එක් වරක් පමණක් කියවුවාට පසු මනෝරන්ජන්ට  එහි ඇති සෑම අකුරක්ම වචනයක්ම  කට පාඩම් හිටියේය . ඒ නිසා ඔහු ලියුම  යලි  කවරය තුලට දමා සිය මේස ලාච්චුවේ අඩියෙන්ම තැබුවේය.
"ආයේ මේ ලියුම මට ඕනි වෙන්නේ නෑ . නෙතදරා කියන්නේ නොගැලපීමක් ගැන . මට හිතෙන්නෙම ඒ කියන්නේ ගලපීමක් ගැන . ආයේ හම්බ වෙන එපා කියන එකේම තියෙන්නේ අපි ඉක්මනට හම්බ වෙමු කියන පණිවිඩේ " .

ඉන්පසු ඔහු හාත්පස සිදුවන යුහුසුළු එහා මෙහා යාම් හා සාද සිරිය මුළුමනින්ම අමතක කොට ඉස්සරහ  පුටු කකුල් දෙක උස්සාගෙන පැද්දී පැද්දී කල්පනා කළේය. තමා  එකම වතාවක් පේරාදෙණිය සරසවිය ඇතුලට ගිය හැටිත් මොරටුවේ සිට දේශපාලන වැඩකට එහෙ ගියත් ඔහුට එදානම් එහි පරිසරය  ගැන මෙන්ම ප්‍රේමවන්තයන්  ගැන වත් පේරාදෙණිය පුරා පිපී තිබු ලස්සන රොබරෝසියා මල් ගැනවත් කල්පනා කරන්නට නොහැකි වුනේය. වරින් වර ඔහු කියවූ චිත්රපට කතාවල තිබු, මිතුරන්ගේ කතා බහේදී ඇසුණු පේරාදෙනි විස්තර නිසා එය  වෙනම ලෝකයක් වගේ ඔහුට පෙනුනේය.

මනෝරන්ජන්ගේ කල්පනා ලෝකය කඩා බිඳ හැලුනේ , නහයෙන් ලේ  පෙරාගෙන අඬාගෙන තමන් වෙත දිව ආ සිල්වා නිසාය. මේ වැඩිහිටි පුද්ගලයාගේ කඳුළු හා ලේ දැකීම නිසා මනොරන්ජන්  බඩේ ගින්දරින් දැවී ගියෙය.

" අසේල මහත්තයා මට ගැහුවා .මම ගෙදර යනවා මහත්තයා " කියද්දීම අසේල කන්තෝරුව දෙසට දිව එනු දුටු නිසා සිල්වා එතනින් පැන ඉවතට දිව්වේය.

අසේලගේ දැස් කේන්තියෙන් රතු වී තිබුනේය . ඔහු ඉදිරියට කඩා පිනූ මනොරන්ජන් කේන්තියෙන් වෙවුලමින් අසේලගේ කමිස කරෙන් අල්ලා තමන් වෙත ඇද ගත්තේය .

' තමුසේ මොන වසලයෙක්ද  ඕයි අර තමන්ගේ තාත්තා වගේ ඉන්න අහිංසකයට ගැහුවේ?  '  කියා ගිගුරුවේය .
අසේල හිස ඔසවා බැලුවේය .  එසැනින්ම එතනට දිව ආවේ අම්රිතා හා රිචර්ඩ්ය . මිස්කින් හා ගෝල පිරිස කන්තෝරුවට  මදක් ඔබ්බෙන්  රැස්වී මේ සිද්දිය දෙස බලා සිටියෝය .


-මීළඟ කොටස  -





Image Source : Guyana Times 

Tuesday, May 19, 2020

අටවිසි මහල 13 - පේරාදෙණියෙන් ආ ලියුම



අටවිසි මහල නවකතාවේ මීට පෙර කොටස්  මෙතැනින්

ළමු මහලට කොන්ක්‍රීට් තට්ටුව දමන දවස උදා උනේය . මේ වනවිට  මනෝරන්ජන් , අසේල හා අම්රිතා සිටියේ දෙවන මහලේ වැඩත් ඔලුවේ තබාගෙනය. බිම් තට්ටුව දැමීම , අලුත් උප කොන්ත්‍රාත්කරුවන් ඇවිත් වැඩ පටන් ගැනීම . තිදෙනෙකුගේ අණසකට යටත්ව සරලව කරගෙන ආ වැඩ කටයුතු සංකීර්ණ ස්වාබවයක් ගැනීම , ලහි ලහියේ  කොන්ක්‍රීට් කණු මතු වීම,  ඒ මත ලී ෂටරිම ඉදි වීම . ෂටරිම උඩින් කම්බි දැමීම , හතරපැත්තේ තිබු සේවා කුටීර , කුණු දමන කුටීර ක, විදුලි සෝපානවලට වූ ඉඩ  , දෙපැත්තේ පිය ගැට පේලි ,   කාමර දෙකේ ගෙවල් ක් හා කාමර තුනේ ගෙවල්  වශයෙන් වූ සැලැස්ම .යනාදිය පමණක්ම පහුගිය දින තිහේ මාතෘකා බවට පත් වුනේය . මේ ආදී කලබලකාරී දවස් තිහක අවසානයේ සියල්ලෝ ඉසිඹුවක් ලබන දවස උදා උනේය .

එදා එකම දවසේ කොන්ක්‍රීට් පටවාගත්  ට්‍රක්රථ  දුසිම් ගණනක් විශාල  බත් කූරන් මෙන් සිය  පසුපස බඳ නොනවත්වා කරකවමින් ගාලු පාර දිගේ ඇවිත් ලුනාව පාරට හරවා තැන තැන ලැගුම් ගෙන බලා සිටියෝය . පාර අවහිර වී ගාලගෝට්ටියක සිරි ගත්තද ගම්මාන වැසියෝ ඒ පිලිබඳ උරණ නොවූහ. කොල්ලෝ කුරුට්ටෝ පමණක් නොව ගෙවල්වල සිටි මහල්ලන්ද  පාර අද්දරට වී යන එන බර වාහන දෙස බලා සිටියේ කෑමක් බීමක් ගැනද නොතකමිනි . ගෙවල්වල සිටි කාන්තාවෝ වෙනදාට වඩා  වේලාසන  උයා පිහා, තමන්ට තිබෙන අලුත්ම ඇඳුම ඇඳගෙන සිටියෝය. පාරේ තැන තැන නවත්වා ඇති ට්‍රක් රථ රියදුරෝ ගැහැණුන් දෙස බලා දන්නා අඳුරන  ලෙස සිනා පාන්නට පටන් ගනිද්දී , ඔවුහු නව යව්වනියන් මෙන් ලැජ්ජාවට පත්ව ගෙතුලට  ගොස් ජනෙල්  රෙදි ඈත් මෑත් කර  පාර දෙස බලන්නට වුහ .

සවස පහ හය වන විට කලින් සැලසුම් කර තිබු පිළිවෙලටම වාගේ පළවෙනි කොන්ක්‍රීට් තට්ටුවේ වැඩ නිම වෙමින් තිබුනේය. උදේ පාන්දර පටන් රිචර්ඩ් තුන්කාලේ දිග කලිසමක්, රවුම් සුදු මිනිදෝරු තොප්පියක් හා දුඹුරු අවු කන්නාඩියක් දමාගෙන වැඩබිම පුරා ඇවිද්දේය. ඔහුට අසේල හා මනොරන්ජන් සමග වචනයකට දෙකකට වඩා කතා කරන්නට බැරි වුනේය . අම්රිතාට අද දවසේත් කන්තෝරුවේ ලිය කියවිලි වැඩ එමට තිබුනේය. ඇනවුම් කළ කොන්ක්‍රීට් ට්‍රක් ගණන්, තත්ත්ව පරීක්ෂණ වැඩ, දවසේ අනෙකුත් විය හියදම් වැඩ අතරේම අද හවස සුදානම් කෙරෙන අමුතුම තාලේ රාත්‍රී බෝජන සංග්‍රහයක්ද ඇය, සිල්වා හා මිස්කින් සමග සූදානම් කරමින් සිටියාය .

කොන්ක්‍රීට් ලැබෙන ප්‍රමාදයෙන් ඒවා කළු මහත බටයකින් උඩ තට්ටුවට පොම්ප කරමින් තිබුනේය. මෙතක් කලක් අහල පහල කොහේ හෝ බිල්ඩිමක කොන්ක්‍රීට් දමද්දී සිය නඩයේ උන්ට ගතමනාවක්  ලැබෙන නිසා පොකුටු නන්දේ උදේ පාන්දර සිට වැඩබිම අවට කැරකුනේය. ගේට්ටුවෙන් එලියට ගිය සිල්වා ඔහු සමග කටු කුටු ගාමින් සිටිනවා දුටු මනොරන්ජන් අලුත් ලී තට්ටුවේ සිට ඒ දෙස බලද්දී නන්දේ දෙකට නවාගෙන සිටි සරම පහලට දමා ගරු සරු ඇතිව තමා දෙස බලනු දුටුවේය . ඉන්  මනොරන්ජන්ගේ සිත මදක් රිදුනේ ඒ සමග ඔහුට නෙතදරා සිහිපත් වුන නිසාය . පසුගිය මාසයක තිස්සෙම තමන්ට ඒ කෙල්ල ගැන කිසි දෙයක් සොයන්නට තියා අඩුම ගානේ හිතන්නටවත් බැරි වුනා නේදැයි සිතුවේය . අම්රිතා හා අසේල කුමන්ත්‍රණකරුවන් දෙදෙනෙකු මෙන්  තමන්ට  ඈ ගැන සිතන්නට අවස්තාව නොදී වැළක්වුවාවත් දෝයි ඔහු සැක  කළේය .

තත්ත්වයෙන් බාල වූ හෝ ඉතිරි වූ කොන්ක්‍රීට් දැමීමට ඉඩමේ කෙළවරක  පොඩි සිමෙන්ති අඩිපාරක් දැමීමට  සැලසුම් කර තිබුනේය. ඒ වැඩේ බාර දී තිබු උප කොන්ත්‍රාත්කරු කැඳවාගත් මනෝරන්ජන් මෙසේ කිව්වේය.

" ජයවීර අන්න අර එළියේ සිල්වා එක්ක ඉන්න මනුස්සයයි එයාගේ ගෝලයෝ ටිකටයි පුළුවන්නම්  අද දවසට පොඩි ගානක් හොයා ගන්න වැඩක් ලැස්ති කරලා දෙනවා . මොකද ඔය මිනිස්සු මේ වගේ කොන්ක්‍රීට් එකක් එහෙම දාන දවසට තමයි කීයක් හරි හොයා ගන්නේ '
ජයවීර පුදුමයෙන් මෙන් වැඩබිම් ඉංජිනේරු මනොරන්ජන් දෙස බලා සිටියේය. ඒ බැල්මේ තිබුනේ මෙතෙක් කල් මනෝ බොස් ගැන වැඩ බිම මුළුල්ලේ තට්ටු විසි අටටත් ඉහලට එස වී තිබු ප්‍රතිරුපය පළුදු කරන අන්දමේ කල්පනාවකි. මනෝරන්ජන් දැඩිව අවවාද කොට තිබුණේ අහල පහල පෙනෙන මානයේ වෙසෙන   කිසි කෙනෙක් සේවයට නොගන්නා ලෙසයි . මෙහි සිටි සියලුම කොන්ත්‍රාත්  කරුවන් වැඩට මිනිසුන් ගෙනාවේ පුලවන් තරම් ඈත පලාත්වලිනි. ඇඹිලිපිටිය, වාරියපොළ, මැදවච්චිය  ආදී පයින් එන්නට බැරි දුර ඈත පලාත්වලිනි  .
දැන්  ඔහුම කියන්නේ  ඒ අවවාදයට පිටුපාන්නටයි. කල්පනා කරන්නට වෙලාවක් නැත. ලොක්කා ඒ වන විටත් තවත් තැනකට  ගොස් කාටදෝ මොනවාදෝ කියමින් සිටී. ජයවීර ලී ඉනිමග දිගේ  බැසගොස් සිල්වා හා නන්දේ කතා කරමින් සිටි තැනට  ගියේය. ඔහු නන්දේ දෙස බලමින් . " ඔහේ ගාව තව හොඳ මිනිස්සු තුන් හතර දෙනෙක් ඉන්නවානම් එක්කගෙන එනවා" යැයි කීවේය.  ඒ සැනින් නන්දේගේ මුහුණ එලිය වැටුනේය . නන්දේ සිය ගෙවල් මණ්ඩිය දෙසට හැල්මේ ඇවිද යන  අයුරු ජයවීර බලා  සිටියේය .

" මේ යක්කු සයිට් එක අස්සේ දාගෙන යකඩ බටයක්වත් පරෙස්සම් කරගන්න  වෙන්නේ නෑ ඉස්සරහට " ඔහු තනියම කිව්වේ සිල්වා ලඟපාත සිටින බවවත් නොතකමින්ය .

" එහෙම කියන්න එපා ජයවීර බොස්. ඔය අපේ මනෝ  බොස්ගේ මාමනේ . අපේ බොස් බඳින්න ඉන්නේ ඔය හාදයාගේ දුව "

ජයවීර සිල්වාගේ ඉස සිට දෙපතුල දක්වා බැල්මක් හෙලුවේය. සිල්වා ජයග්‍රාහී ලෙස බලා සිටියේය. ජයවීර හිතේ  මවාගෙන තිබු  මනෝරන්ජන් නම් වූ බල සම්පන්න ඉංජිනේරුවරයා සම්බන්ධ ප්‍රතිරූපයේ තවත්  පළුවක් ගැලවී වැටුණේය. සිය ගෝලයෙකු හා අවට තරුණියක්  සම්බන්ධ  හුටපටයක් දුරදිග යාම නිසා තමාව වැඩබිම් කන්තෝරුවට කැඳවා මනෝ බොස් දුන් අවවාදය ජයවීරගේ  සිහියට ආවේය .

" මතක තියා ගන්නවා ජයවීර, මේ සිමෙන්ති කොන්ක්‍රීට් රස්සාව කරද්දී වැඩ වල විතරක් නෙවෙයි තමන්ගේ පැවැත්මෙත් කොලිටියක් තියා ගන්නවා . ඒ කොලිටිය තියෙන ගෝලයෝ ටිකකුත් හදා ගන්නවා. එතකොට දුර ගමනක් යන්න පුළුවන්. කිසිම දවසක සයිට් එකක් අහල පහළ ගෑණු පස්සේ යන්න එපා. ගෝලයන්ටත්   කියනවා. තමන් රස්සාව කරන තැනයි වටපිටාවෙයි  උන්  ඇර ලෝකේ වෙන ඕනි තැනකින් කෙල්ලෝ හොයා ගත්තට කමක් නෑ "

සුර්යයා ලුනාව  කලපුවට ඔබ්බෙන්  රත් පැහැ වලාකුළු අතරින් රිංගා ගොස් සිතිජ ඉමේ ඇති මහුදු ජලයේ ගිලී  විඩා නිවා ගන්නට හදන වෙලාවේ වැඩබිමේ සිටි සියලු දෙනා දවසේ රාජකාරිය හිතුවාටත් වඩා කලින් ඉවර කර ගන්නට පුළුවන් වීමේ ප්‍රීතියෙන් සුවපත්ව සිටියෝය. මුහුද අයිනට වෙන්නට වූ බිමක සාදයකට  සුදානමකි. අම්රිතාට වුවමනා වුයේ අසේලලාගේ ගමේ  දේවාලේ උත්සවය දා දවල් කෑම බෙදා දුන් සිරියෙන්  යුතුව හැමෝටම කෑම වේලක් දෙන්නටය. එහෙත් මාසයක් තිස්සේ එක දිගට වෙහෙසී සිටි පිරිමින් සිහින මවමින් සිටියේ තමන් වෙනුවෙන් රිචර්ඩ් මහත්තයා ගෙනත් ඇතැයි සිතූ තිබු රට බීම  බෝතල් ටික විවර වනු දැකීමටය .
අසේල ඉතා තෘප්තිමත්ව සිටියේය . තමා බලාපොරොත්තු වූ විදිහටම  වැඩේ ගොඩ දමා ගැනීමට හැකි වීම ගැන ඔහු ආඩම්බර වුනේය. "මේ වැඩබිමට පැමිණ ගත වූ මාස දෙකත් හරි  පසුගිය අවුරුදු පහමත් හරි" . අලුතින්  කරුණු කාරනා දැන ගන්නා අතරේම මහපොළවේ ජීවත් වී , අනේක විදිහේ  දුක් කන්දරා අනුභව කොට ලබා ගත් හැම අවභෝදයක්ම , දැනුමක්ම පහුගිය මාස දෙකේ වුවමනා වුණා නේදැයි ඔහු සිතුවේය . "මාර චරිත තුනක් තමයි" ඔහු සිතුවේ අම්රිතා , මනෝරන්ජන් හා රිචර්ඩ් ගැනය. ඒ ඇසිල්ලේ  ඈත ගෙදරකින් ළදැරියකගේ ගී  හඬක් ඇසීමෙන් ඔහුට අම්රිතාගේ ගෙදර පින්තුරයේ සිටි ළමයා මතක් වුනේය. එදා අම්රිතා තමන්ගෙන් වසන් කරන්නට හැදු ඒ කතාව අද වෙනකම් අසා ගන්නට බැරි වීම ගැන ඔහු කම්පා වුනේය. අනුන්ගේ කුණු හාරන්නට එපා යැයි මනම්පේරි  මහත්තයා මෙන්ම මනෝ මහත්තයාද ඔහුට කියා තිබුණ මුත්  අසේලට ඒ හැටි  විනීතකමක්  හෝ ඉවසිල්ලක් නොවීය. ' අද රෑට අහනවා " ඔහු තමාටම කියා ගත්තේය .

රිචර්ඩ් අලුත දැමු කොන්ක්‍රීට් තට්ටුව  හොඳින් පෙණෙන පලංචි කට්ටලයකට වී බොහෝ වෙලාවක් සැන්දෑ හිරු එළියෙන් දිලිසෙන සිමෙන්ති පාට දෙස බලා සිටියේය. ' නියමයි . නියමයි " ඔහු තනියම කීවේය.
" හෙට මේ තුන් දෙනාම බෝට්ටුවට එක්කරගෙන යන්න ඕනි. හොඳම  පාටිය හෙට තමයි.  " රිචර්ඩ් සිතුවේය.

ඇඟපත දොවාගත් මනෝරන්ජන් සැහැල්ලු ඇඳුමක් ඇඳගෙන සිගරටුවක් උරමින් කන්තෝරු කාමරයට ඇවිද ආවේය. සාදයේ  වැඩ කටයුතු අතරේම ඉස්පාසුවක් ලබාගත් අම්රිතා මනෝරන්ජන් ගැන හෝදිසියෙන් සිට ඔහු කන්තෝරුවට යනු දැක ඒ පස්සෙන් ආවාය  .

' අනේ සමාවෙන්න ඕනි . මේ ලියුම  ඇවිල්ලා ටික දවසක් වෙනවා. ඒත් අපි වුවමනාවෙන්ම ඔයාට දෙන එක ප්‍රමාද කළා .  දැන් ඉතින් සැහැල්ලුවෙන් කියවන්න පුළුවන්නේ . " කියමින් සිය මේස ලාච්චුවේ පතුලේ සඟවා තිබු කුඩා ලියුම් කවරය මනෝරන්ජන් අත තබා සැනෙන් පිට වී  ගියාය.

' මනෝරන්ජන් පුටුවේ හරි බැරි ගැහී වාඩි වුනේය. ලියුමේ අත් අකුරු ලස්සනය. කවරයේ මුද්‍රාව  මුහුණට ලංකර බැලුවේය . " පේරාදෙණිය " ඔහුගේ මුහුණ ලේ රත් පැහැයක් ගත්තේය.  ලියුම් කවරය අරින්නට පෙර ඔහු කල්පනා කළේය . සිංහලෙන් ඇඩ්රස් එක තියෙන ලියුම මට කියල අම්රිතා කොහොමද දන්නේ ? ඒකත් එකටම අසේල මේක අරන් තියලා  දෙන්න ඇති "

මනෝරන්ජන්  පරෙස්සමට  කවරය ඇර ලියුම දිග ඇරියේය .

-මීළඟ කොටස -








Image Source: pdn.ac.lk

Monday, May 11, 2020

අටවිසි මහල -12 පින්තුරයේ හිටි ළමයා කවුද ?



මේ කතාවේ මුල් කොටස් මෙතැනින්

දනම්  නිදා ගන්නට වෙන්නේ නැති බව දැනගත්  සිල්වා  ලොකු උණුවතුර බෝතලය පිරෙන්නට අලුත් කෝපි හදා ගෙනැවිත් කන්තෝරු මේසයේ කෙලවරක තැබුවේය.

නැත්නම් මනෝ බොස්ට  කෝපි  කෝප්පයක් ඕනෑ  වූ ගමන් තමන්ගේ කුකුල් නින්දට බාදා වෙන බව ඔහු දැනගන හිටියේය  . අනෙක් අතට අම්රිතාගේ පැමිණීම ගැන සිල්වා සතුටු වී සිටියේය . ඈ තනිපංගලමේ, රැයේ  රාත්‍රියේ පිරිමින් පමණක් සිටින කන්තෝරුවකට පැමිණීම පිලිබඳ සිල්වාගේ මෙන්ම වෙන කවුරුන් තුලත් කහටක් නොතිබුණේය . ඈ  මොන තරම් ආකර්ශනීය  කාන්තාවක් වුනත් තමන් අසලටම කිසිවෙකුට ලං  වීමට බැරි වෙන විදිහේ අදෘශ්‍යමාන ආරක්ෂක වළල්ලක් පවත්වාගෙන යන බවක් ඔවුන්ට දැනිණි .

"මනෝරන්ජන් කෑම  කන්න " අම්රිතා කියද්දී මනෝරන්ජන් උප කොන්ත්‍රාත්කරුවන්ගේ ලැයිස්තුව පිරික්සමින් සිටියේය .  හැම දේටම මිනිස්සු ඉන්නවද කියල බලන්න එපැයි " ඔහු කිව්වේ තවත් චෙක් ලිස්ට් එකක හරි ලකුණු දමාගෙන යන ගමන්ය.

" කෑම  කන්න " අම්රිතා නැවතත් කිව්වේ තරමක් උස හඬකිනි . ඒත්  එය පෙර වතාවට වඩා මෘදු ආදරණීය බවක් පල කළේය .
" මම සිල්වාට කියල ආප්ප ගෙන්නාගෙන කෑවා . අම්රිතා අපරාදේ කරදර වුනේ " මනෝරන්ජන් එසේ කියද්දීත් ඔහු අම්රිතා ගෙනා ආහාරය රස විඳීමට කැමැත්තෙන් සිටිනා බව අම්රිතා දැන  සිටියාය . බටර් නාන්  රොටියක් මිංචි කොළ ස්වල්පයක්, නිවිති කොළ  පනීර් සමග අඹරා  තැනු  පාලප්පනීර් හෝ චිකන් මසාලා හොද්දක් එහි තිබෙන්නට පුළුවන " ඒත්  මේ හදිස්සියේ අම්රිතාට ඒවා උයන්නට බැරි වෙන්නට ඇති ". ඔහු සිතුවේය .

 මනොරන්ජන්ගේ  ප්‍රතිචාරය ගණනකට නොගත්  අම්රිතා ප්ලාස්ටික් බෑගය අතට ගත්තාය .   ඇලුමිනියම් කොළයේ  එතු රොටිය දිග හැර  නිකල් පාට භාජනය පරිස්සමින් විවර කර මේසය මත තැබුවාය  .

" මම යකඩ කම්බි ෂෙඩුල්  එක බලන්නම් " ඇය  කීවාය .

කාමරය පුරවා විහිදෙන මිහිරි  කෑම  සුවඳත් සමග මනෝරන්ජන්ගේ  සිත අතීත ස්මරණ  තොටිල්ලක පාවෙන්නට පටන් ගත්තේය . ඔහු කෑම  ගත්තේ තනිකරම සිත මෙතැනින්  ගැලවී ඈත  මැද පෙරදිග වැඩබිමක හෝ  පුංචි ගෙයක හෝ කෝපි  හලක තබාගෙනය . ඒ හැම තැනම අම්රිතාද සිටියාය .  

 මීට අවුරුදු හයකට කලින් ඉදි කිරීම්, සැලසුම්, කම්බි විස්තර, ඒවායේ ප්‍රමාන  ආදී මේ කිසිවක් නොදැන තම වැඩබිමට ආ අම්රිතා මේ කාලය තුල ලබාගෙන තිබු දැනුම ගැන ඔහු පුදුම වුනේ නැත  . මුල් කාලයේ ඇය  රහස් පරීක්ෂිකාවක මෙන් තමන්ට අදාළ හා අදාළ නොවන හැම   දේම ගැන හාරා අවුස්සද්දී ඔහු මෙන්ම තවත්  කිහිප දෙනෙකුට එය නුරුස්නා කාරණක් වුනේය. ආරක්ෂක පහසුකම් සපයන අංශයේ ලිපිකාරිණියක් මෙන් රස්සාවට ආ තරුණිය තමන්ගේ තරමට ඉදිමෙන්නට ඕනෑ කියා ඔහු ඒ කාලයේ සිතුවේය.

"මේක මෙහෙම වෙන්න ඇත්තේ රිචර්ඩ්  වගේ කෙනෙක් අපිත් එක්ක හිටපු හින්දා වෙන්න ඇති" .

මනෝරන්ජන් කල්පනා ලෝකයෙන් එලියට එද්දී ඔහු අතේ තිබු අන්තිම රොටී කැබැල්ල මසාල හොද්දේ අන්තිම බින්දුව හොයමින් බඳුන අඩියේ එහා මෙහා ඇතිල්ලෙමින් තිබුනේය .  

ඔහු කා බී තෘප්තිමත් වුවාට පසු සුපුරුදු කතාව පටන් ගත්තේය .
" අම්රිතා දන්නවාද එම්පයර් ස්ටේට් බිල්ඩිම තට්ටු එකසිය දෙකක්. ඒක  සැලසුම් කරලා හදල ඉවර කරන්න කොච්චර කාලයක් ගියාද කියල ?"

ඒ වනවිට අසේල යළි පැමිණ  සිටියේ  කාබෝලික් සබන් සුවඳ තාමත් ඉතිරි වී තිබු  සිරුර අලුත් ටී ෂර්ටයකින් හා දිග කලිසමකින් වසාගෙනය .
ඔහු උනන්දුවෙන් මනෝරන්ජන් ගේ කතාව අසන්නට හරි බරි ගැහුනේය. අම්රිතා සිය කාරිය නතර නොකරම මීට පෙර කිහිප වතාවක් අසා සිටි මේ කතාවට යම්තමින් සවන් දුන්නාය .

එම්පයර් ස්ටේට් තියෙන්නේ ඇමෙරිකාවේ නිව්යෝක් නගරෙ. බිල්ඩිමේ නමට  දාලා තියෙන්නේ නගරෙට කියපු වෙනත් නමක්. ඉතින් මේ බිල්ඩිම තමයි 1931 ඉඳන් 1970 වෙනකම් අවුරුදු හතළිහක්  ලෝකේ උසම බිල්ඩිම  වුනේ .

"තට්ටු කීයද මනෝ  මහත්තයා ?"

" මං  දැන්  සැරයක් කිව්වනේ . තට්ටු එකසිය දෙකයි . ඒ මුළු බිල්ඩිමේ ඩ්‍රෝවින් ඇඳලා , මේ වගේ ඉස්සරහ වැඩ ටික සැලසුම් කරලා , හදල ඉවර කරන්න ගියේ මාස විස්සයි . අපිට තට්ටු විසිඅට හදන්න විතරක්   මාස විසි හතරක්ම  දුන්නා. ඒ දෙනකොට ඔක්කොම ඩිසයින්  කරලා ඉවරයි. අපි දැන් මාස තුනක්ම ඉවර කරගෙන තියෙන්නේ  "

අසේලගේ මුහුණේ  යම් වරදකාරී මෙන්ම අසතුටුදායක පෙනීමක් මතු වී එද්දී   මෙතක් වෙලාවක් කතාවට සම්බන්ධ වී නැති බවක් පෙන්නුම් කළ  අම්රිතා කට ඇරියාය .
" ඔය කතාව  කල් ඇතිව ප්ලැන්  කරලා  පුංචිම විස්තරෙත් කල් ඇතිව ලියාගෙන වැඩ කරන එකේ වාසිය කියල දෙන්න ගන්න උදාහරණයක් . අමතක කරන්න එපා ඒක  යකඩ බිල්ඩිමක්. එක තට්ටුවක් සතියෙන් අමුණන්න  පුළුවන් . යකඩ ටික වෙන තැනක් හදලා , කපල, තවු විදලා, පාට ගාලා ගෙනල්ලා හයි කරන එකනේ තියෙන්නේ . ඒත් අපි හදන්නේ කොන්ක්‍රීට් බිල්ඩිමක්. මේකේ අලුත් කොන්ක්‍රීට් තට්ටුවක් හයි වෙන්න සති දෙකකට වඩා යනවා . මොනවා කලත් එක තට්ටුවක් හදන්න සති තුනක්වත් යනවා . "

ඒ තරම් සන්තෝෂයෙන් නොවුනත් මනෝරන්ජන් කතාව නවතා යලි වැඩට බැස්සේය .  ඒ අතරේ අසේල කලින් නවත්වා තිබු රුප සටහනක වැඩ කටයුතු කරගෙන ගියේය . එනම් වැඩබිම එක එක වර්ගයේ සේවාවන් සඳහා කලින් කලට පාවිච්චි  කරන්නට ඕනෑ භුමි  සැලැස්මයි.  මේ හරියෙන්  පොලොව යට වතුර ටැංකිය එනවා . මේ හරියෙන් ස්ථිර සේකුරිටි කාමරේ එනවා. මෙතන පඩිපෙළ. මෙතන ලිෆ්ට් එක.    පොඩි පොඩි ඔෆිස් , ගබඩා සේරම බිල්ඩිම හැදෙන තැනෙන් එලියට .  බිම කොන්ක්‍රීට් දාන්නේ මේ පිළිවෙලට. ඉස්සරහ පැත්ත කලින් ඉවර කර ගත්තොත්  බඩු  ගේන  ඒවාට ලේසියි. පලංචි බඩු  මෙතනින් . ටවර් ක්රෙන්  එක මෙතනින් ආදී වශයෙන් කලින් පිළියෙළ කර තිබු වැඩ පිළිවෙල ඔහු හාර හාරා කල්පනා කළේය. ටික වෙලාවකින් මනෝරන්ජන්ද ඔහු හා එකතු වුනේය . දෙන්නා තර්ක විතර්ක මැද  පාන්දර වෙද්දී සතුටුදායක එකඟතාවයකට පැමිණ සිටියහ .

අම්රිතා දිගටම යකඩ කම්බි අඩුම නාස්තියක් වෙන පරිද්දෙන් කම්බි ලයිස්තුවේ හැටියට  විශාල කොන්ක්‍රීට් තට්ටුවට ඔනෑ  කරන සියලු දේ වෙන් කර ගත්තාය .  පාන්දර එලිය වැටීගෙන එන විට අසේල වාඩි  වී හුන් පුටුවෙම හිඳගෙන  ගොරවන්නට විය. ඔහුට හීනෙන් පෙනුනේ පළමු තට්ටුව දමන දවසේ මුහුදු වෙරළේ පැවැත්වෙන දැවැන්ත සාදයකි. හිරම හිර කොට කලිසමක් ඇඳගෙන සිටි අම්රිතා හැමෝටම ඉහලින් වූ තැනක රිචර්ඩ් හා නටමින් සිටියාය . අනෙත් සියල්ලන් බීමත්ව ඔවුන්  අසල වටයක් සෑදී   කෑ කෝ ගසමින් සිටිද්දී කොහේදෝ සිට පැමිණි  මනෝරන්ජ්න්  රිචර්ඩ්ගේ  කමිසයෙන් ඇද බිමට හෙලුවේය . ඉන්පසු ඔහු  අම්රිතා සමග නටන්නට පටන් ගත්තේය.  මුහුදු වතුර ඉස්සී ගසාගෙනවිත්  ඔවුන් දෙදෙනාම තෙමී  ගියාට පසු මනෝ රන්ජන් සමග නටමින් සිටියේ අම්රිතා නොව නෙතදරාය.  ඈ  ඇඳ  සිටියේ මොහොතකට පෙර අම්රිතා හැඳගෙන  සිටි ඇඳුම් කට්ටලයමය .

මොහොතකින් සුදෝ සුදු ලෝගුවක් ඇඳගෙන තමා අසලට ආ අම්රිතා  සිය  අතින් අල්ලා ගනිද්දී අසේලට  ඒ අත  ඉතාම සීතලට දැනිණි .  ඔහු නින්දෙන් පිබිදුණේය

' අසේල ගිහින් කාමරෙන් නිදා ගන්න . කෝපි කෝප්පයක් තොලගාමින් සිටි මනෝරන්ජන් සිනාසෙමින් කීවේය. අසේල අම්රිතා දෙසත් මනෝරන්ජන් දෙසත් පුදුමෙන් මෙන් බැලුවේය. ඔවුන්ගේ මුහුණේ නිදි මැරු  පාටක් හෝ වෙහෙසකර බවක් නොපෙනිණි .
අසේල හිනැහෙමින් ගොස් කාමරයට පිවිස ඇඳේ  වතිරුනේය  .

"මේ ටික කර ගත්ත නිසා අද හවස මීටිමට මට හොඳ විශ්වාසෙකින් යන්න පුළුවන්. කට ඇරලා කතා කරන්න පුළුවන් " මනෝරන්ජන්  කීවේය .
" ඒ ටික දන්නා නිසා තමයි අපි ඊයේ රෑ  ඇවිල්ල උදව් කලේ. ඔයා එක එක ඒවාගෙන් ඔලුව අවුල් කරගෙනනේ ඉන්නේ " අම්රිතා කීවාය .

මනෝරන්ජන්  ප්‍රශ්නාර්ථය මුසු බැල්මක් අම්රිතා වෙත හෙලද්දී ඈ  යලි කතා කාලය .
" එක අතකට මට අයිතියක් නෑ ඔයාගේ පුද්ගලික ජීවිතේට ඇඟිලි ගහන්න . අනික් අතට නැත්තෙමත් නෑ . මොකද ඔයාගේ ඉරණමේ හොඳ හරි නරක හරි වෙනසක් කරන්න මමත් සම්බන්ධ වුනානේ  මනෝ . ඒ නිසයි මම කියන්නේ . ඔයා විහිලුවට ආදරේ කරන කෙනෙක් නෙවෙයි. අර ගෑනු ළමයා එක්ක මොනා හරි සම්බන්ධයක් තියෙනවනම් ඒක  වෙන දෙයක්ද කියල ඉස්සෙල්ල හොයල බලන්න. පස්සේ ඔයා ආයෙමත් විඳවනවා බලන්න මම කැමති නෑ "  අම්රිතා "ආයෙමත් " යන වචනය අවධාරණය කරද්දී අගේ දෙනෙත් ලිහී කඳුළු කැට පේලියක් රූරා  වැටුණේය.

 මනෝරන්ජන් නිහඬ වුනේය . ඊයේ හවස නෙතදරා අහම්බෙන් හමු වීම . ඈ  නොකියාම සරසවි යන්නට පටන් ගැනීම . මේ සියල්ල අතරේ මනෝ රන්ජන් සිය අතීත චාරිකාව යලි ඇරඹීය .

ඉන්පසු ඔහු බොහෝ වෙලාවක් නිහඬව කල්පනා කළේය. විටින් විට එලියට ගොස් සිගරට් බිව්වේය. කෝපි  බිව්වේය. සිල්වා, මිස්කින්, අසේල සියල්ලෝ නින්දේය. අම්රිතා මේසයට ඔලුව ගසාගෙන ඉකි බිඳිමින් සිටිමුත් දැන් ඇයට  නින්ද ගිහිල්ලය .  මනෝරන්ජන්ට දැඩි වෙහෙසක් දැනුනේය. අම්රිතා ගෙදර ඇරලවා එන්නට සිතා ඔහු රථයේ යතුර සෙව්වේය. එහෙත් එය සොයා ගැනීමට බැරි වූ නිසා යලි හෙමින් සැරේ ඇවිදගෙන සිය නිදන කාමර පෙළ  වෙත ගියේය . 
නින්දේ සිටින අසේල අහරවන්නේ නැතිව යතුර සොයා ගන්නට නොහැකිය . ඔහු අසේලගේ බාහුවට අතක් තබා සෙලවුවේය .
පැය  දෙකක කෙටි  නින්දෙන් අවදි වී වහා ඇඳ  උඩ  ඉඳගත් අසේල තියුණු ලෙස හාත්පස බලද්දී  මනොරන්ජන් පැමිණ සිටින බව තේරුම් ගියෙන් ඔහු නැගී සිටියේය .

අසේලගේ මේ ආකාරයේ පරෙස්සම් සහගත හැසිරීම ඔහුට පුරුදු වුයේ  ඔහු මරණ බයෙන් ජීවත් වූ කාලයකදී  බව මනෝරන්ජන් දනී .

"අසේල තරහ වෙන්නෙපා නින්ද කඩුවට මට වාහනේ යතුර හොයා ගන්න බෑ . අම්රිතාව ගෙදරට අරලවලා එන්න ඕනි ."

එසේ කියද්දී අසේලට යතුර තැබූ තැන සිහිපත් විය. පෙරදා ඇඳගෙන සිටි කලිසම් සාක්කුවේය. යතුරු හා සියලු අම්පන්න තැබිය යුතු වෙනම තැනක් වැඩ බිමේ හා නවාතැනේ විය. ඒ මනොරන්ජන්ගේ අණයි .

අසේල යතුර රැගෙන මනෝරන්ජන් වෙත දිගු කරන විට මනෝ මහත්තයාගේ  ඇස්  දොඹ ගෙඩි මෙන් රතු වී මුහුණ තඩිස්සි වී තිබෙනු දැක මෙසේ කිව්වේය.

" මනෝ මහත්තයා එක ඩිංගක්වත් නිදා ගත්තේ නෑ  නේද ? හවස මීටිමටත් යන්න තියෙන නිසා දැන් ටිකක් නිදා ගන්න . මම මිස්ව බස්සලා එන්නම් "

පුටුවේ නිදා හුන් අම්රිතාව අවදි කරගෙන ඇය   ගෙදර ගෙන ගොස් ඇරලු  අසේල ඇය   රියෙන් බසිද්දී  බෑගය හා  කැම  බඳුන ඈ  අතට දී මද දුරක් ඈ  සමග ඇවිද ආවේ  කල්පනාවකින් තොරවමය.

එන්න අසේල තේ එකක් බීල යන්න . ඈ  කීවාය . අසේල ඈ  පසුපස ගියේය . දොර හැර ගෙතුලට ගිය අම්රිතා මුලින්ම කලේ මේසය මත වූ රාමු කළ  ෆොටෝ එකක් වැසෙන  සේ සිය අතේ තිබු ප්ලාස්ටික් බෑගය  තැබීමය .

' ඒ සේයාරුවේ හිටියේ ඉතා හුරුබුහුටි  කෙළි  සිඟිත්තියක් තුරුළු කරගත් අම්රිතාමය."

එතකොට ඒ ළමයා  කවුද ? අසේල කල්පනා කරමින් මේසය මත තිබු ප්ලාස්ටික් බෑගය දෙස බලා සිටියේය


Image Source : Pixels

Sunday, May 3, 2020

අටවිසි මහල 11 ( බිම් මහල )- අම්රිතා මහා රෑ වැඩබිමට එයි




මේ පලවෙන්නේ කොටස් වශයෙන් පලවන අටවිසි මහල නවකතාවේ එකොලොස් වන කොටසයි . මින් පෙර පළවූ කොටස් මෙතැනින්

රාධා පැවසු ආරංචිය නිසා අසේලගේ මනස ව්‍යාකුල වී තිබුනේය . ඔහු හිටි තැනම  ටික වෙලාවක් ගල් ගැසී බලා සිට "යන්නම්" යැයි පොදුවේ හැමෝටම කියා රිය වෙත ගියේය . මේ සිදු වුයේ කුමක්දැයි තේරුම් ගත නොහැකිව එතැන සිටියෝ බලා සිටිද්දී රථයට ගොඩ වූ අසේල හෝන් එක මහා හඬින් හඬවා  රිය කවුළුවෙන් ඔලුව එලියට දමා " අම්රිතා මිස්  යමු පරක්කු වුනා  " කියා කෑ ගැසුවේය .

අම්රිතා වරදකාරී සිතුවිල්ලෙන් රාධා, අනුරාධා හා ඔවුන්ගේ මව දෙස බලා සිට  " යන්නම් බොහොම ස්තුතියි රස කෑම වේලට . මං හිතන්නේ අසේලට සයිට් එකට යන්න ඇති හදිස්සියෙන් " කියමින් යුහුසුළුව රථය වෙත පැමිණියාය . ඉන්පසු කවදාවත් නැති ආකාරයෙන් අසේල  දෙස රවා බැලුවාය .

මේ කිසිවක් නිරීක්ෂණය කර ගැනීමට සිහියක් නැති අසේල    රොබෝවෙකු මෙන් වාහානය පණ ගන්වාගෙන ඉදිරියට ඇදුණේය. කිසියම් හෝ අවනඩුවක් සිදු වී ඇතියි  අම්රිතාට වැටහුනේය. අසේල සැර දමාගෙන පිටත් වන්නට පෙර ඔහු හා රාධා අතර රහස් කතාවක් සිදුවනු අම්රිතා  දුටුවාය. ඒත් එවැන්නකින් මේ තරම් බරපතල චිත්තවේගයක් මේ කොල්ලා තුළ ඇති කරවන්නට  පුලවන් කමක් නැතැයි කියාද   අනෙක් අතට ඕවා හාර අවුස්සා බලන්නට යන්නේ මොකටදැයි ඇය සිතුවාය .

" අසේල පරෙස්සමින් යමු නේද පාර තරමක් ලෙස්සනවා. පොඩි හිරිපොදක් ආවනේ ' ඇය හෙමින් කීවේ තත්වය සන්සුන් වනු පිණිසය.

ඒත් මෙවේලේ අසේල කල්පනා කරමින් සිටියේ මේ කතාව අම්රිතාට කියනවාද නැත්ද කියලාය. අනෙක් අතට කියන්නට ඕනෑ වුනත් ඒතරම් ආවේගකාර යමක් කියන්නට ඔහුට භාෂාවේ ගැටලුවක්ද තිබුනේය. මේ මාස දෙක තුනට අම්රිතා සමග අදහස් හුවමාරු කරන්නට පුළුවන් තරමේ ඉංග්‍රීසි , සිංහල හා හින්දි වචන මිශ්‍ර වූ භාෂාවක් ඔහු තනාගෙන තිබුනේය. එහෙත් ඒ භාෂාවෙන් දුක කියන්නට බැරිය. කේන්තිය කියන්නට බැරිය.  . තමා හැර අන් සියලු දෙනාට මනොරන්ජන්ට, නංගිලාට, අම්මාට පමණක් නොව සිල්වාට හා මිස්කින්ට පවා ඉංග්‍රීසි බස හසුරුවනට පුලවන් වී තිබියදී තමාගේ බැරිකම ගැන අසේලට යලිත් වරක් අසේලට ආත්මානුකම්පාවක් ඇති වී තිබුනේය.

එහෙත් ඔහු දන්නා භාෂාවෙන් අම්රිතා සමග ප්‍රශ්නය කතා කරන්නට තීරණය කළේය .
" ඔයා දන්නවද මනෝ මහත්තයා    මහා කරදරේක පැටලවෙන්නයි යන්නේ?" අසේල කීවේය.  කිසිදාක සිය ඉහල නිලධාරියා ගැන ඔහු නැති තැනක නරකක් කියා නැති අසේල මේ කියන්නට හදන්නේ කුමක් කියන්නදැයි අම්රිතා විමතියෙන් බැලුවාය '

" මෙහෙමයි අම්රිතා අපේ බොස්ගේ  ඔලුව අවුල් උනොත් මේ එක එක ජාති හින්දා අපිට අට විසි මහල හදා ගන්න බැරි වෙනවා . ඒක අපි කාටත් හොඳ නෑ "

" මොකක් ගැනද ඔයා ඔය කියන්නේ අසේල ?"
" මම කෙලින්ම කියන්නම් . මනෝ  මහත්තය මේ එහා පැත්තේ මුඩුක්කු  ගෙදරක කෙල්ලෙක් එක්ක යාලු වෙලා . ඒ ළමයාගේ චරිතේ  හොඳ නෑ කියල මට රාධා කිව්වා "

අසේල බලාපොරොත්තු වුනේ අම්රිතා ශෝකයට හෝ කෝපයට පත් වෙනු ඇති බවයි. ඒ වෙනුවට ඈ මහා හඬින් සිනා සුනාය .
" අයියෝ අසේල ඕක දැන ගත්තාමද ඔයා අර පිටිපස්ස ගිණි අරං  අම්මටවත් කියන්නේ නැතිව යන්න පිටත් වුනේ . ඔයා හරි බොළඳයි අසේල "

ඉන්පසු ඈ යලි වගකීම් සහගත ඉරියව්වක් මුහුණින් පළ කරමින් මෙසේ ඇසුවාය .
" හරි දැන් කියන්න මොකක්ද වෙලා තියෙන්නේ කියල "

අම්රිතාගේ මුල් ප්‍රතිචාරය පිලිබඳ අසේල කෝපයට පත් වී සිටියත් හෙමිට හෙමීට කතාව පටන් ගෙන නෙතදරා පිලිබඳ ඔහු දන්නා සියලු පුවත්  දිග හැරියේය .

එය සාවදානව අසාගෙන සිටි අම්රිතාගේ මුහුණේ පිටතට පෙනෙන කිසිදු වෙනසක් සිදු නොවුනමුත් ඇගේ අභ්‍යන්තරය තුල යම් වෙනසක් සිදු වෙමින් තිබුනේය  . අසේලට නෑසෙන්නට ඈ හිතින් පමණක් කී කතාව මේ විදිහය.

' අසේල මෙහෙමයි. මනෝ වයසින් මේරුවත්  එයත් බොළඳ මනුස්සයෙක්. තමන්ගේ හිත ඇතුලෙම තියෙන පුරාජේරු කම් , මුරණ්ඩුකම් හින්දා අනන්ත විඳවපු මනුස්සයෙක්. ඒත් එයා කියන්නේ එහෙම නෙවෙයි කියල. කැම්පස් එකේ දෙවැනි අවුරුද්දට එනකම් විතරක් ඉගෙන ගෙන යන්තම් පණ බේරාගෙන රටින් පැනගත්තා . ඊට පස්සේ ඩුබායි වල සයිට් එකක දැන් ඔය අසේල කරන රස්සාවම කර කර ඉන්නකොට තමයි අපි හම්බුනේ .මේ කාලේ අපේ ජීවිතේ මොන තරම් ලං වීම් ඈත් වීම් උනාද ? එතකොට  රිචර්ඩ්" . අසේලට මම මේ කතා සේරම වෙලාවක කියනවා "

අසේල  රාවතාවත්ත හන්දියෙන් රිය දකුණට  හරවා  "අම්රිතා මිස් මොනාද ඒ ගමන කල්පනා කරන්නේ?" කියා ඇසුවේය .
තමාගේ තෙත් වී තිබු දෑස කවුළුවෙන් එලියට යොමු කරමින් ඈ බොරුවක් කීවාය .

" නෑ මම කල්පනා කරේ ඊයෙයි අදයි මොන තරම් දේවල් අලුතින් දැක්කද කියල. අපි කොච්චර දුර ගියාද? . මේ වෙනකම් කිසිම ගමන් මහන්සියක් දැනුනේ නැ. හැබැයි දැන්නම් ටිකක් ඔලුව කකියන්න පටන් ගත්තා "

එසේ කියත්ම රිය විල්ලෝරාවත්ත හන්දියට ආසන්න වෙමින් තිබුණි.

"අසේල ඔය ඉස්සරහ පොඩි කඩේ ලඟින් දකුණට හරවන්න" ඈ කීවාය "

විශාල මිදුලක් තියෙන කුඩා හුරු බුහුටි ගෙදරක වසා නොතිබුණු ගේට්ටුවෙන් රිය ඇතුල් වුණි.  මහලු යුවලක් ඉස්තෝප්පුවේ වාඩි වී පාර බලා සිටියෝය .

 අම්රිතා රියෙන් බැස මහලු යුවලට ආචාර  කොට ගෙදර වම් පැත්තේ තිබු ඇනෙක්සියේ දොර හැර ඇතුලත විදුලි පහන් දැල්වුවාය  . ඉන්පසු  කතාවක් බහක් නැතිව පැමිණ රියේ පිටුපස තිබු  සිය ගමන් බෑගය හා ආම්පන්න තනිවම ඔසවා ගෙන ගොස් ගෙතුලින් තැබුවාය . ඈ යලි පැමිණියාය . ඒ වන විට අසේල රිය ආපසු හරවාගෙන පිටත්වී යන්නට එන්ජිමේ සැර දමමින් සිටියේය .

' අසේල චුට්ටක් ඔහොම ඉන්න මම ආපහු එනවා " ඇය කීවාය.
අසේල තරහ මුහුණ නොපෙනවා එන්ජිම නිවා දැම්මේය. අසුන පිටුපසට කඩා හාන්සි වුනේය . පානදුරේ යන ගමන් තමන් කුහුලෙන් හා කිතියෙන් සිතු අම්රිතා ආපසු ඇරලවන බලාපොරොත්තුව පිළිබඳව වත් ඇගේ නිවෙසට ගොඩ වීමේ ආසාව ගැනවත් දැන් ඔහුට මතකයක් තිබ්බෙම නැත .

අසේල නැවත අවදි වද්දී අම්රිතා අලුත්ම ඇඳුමක් ඇඳගෙන, තෙත කෙහෙවල්ල යන්තමින් බැඳගෙන පැමිණ සිටියාය . අගේ අතේ ඇලුමිනියම් පාට කෑම බඳුනක් හා ප්ලාස්ටික්  බෑගයක් තිබුනේය . ඈ හඬා ඇති බවක් නොපෙනුනේ මුහුණ පුරා අලුත් වත්සුණු තවරාගෙන සිටි නිසාය . ඇය නොකියාම පැමිණ ඉදිරිපස වම් පැත්තේ දොර ඇර වාඩි වුනාය .

" යමු " ඈ  කීවාය . අසේල රිය පණ ගන්වද්දී ඔහුට රියේ ඩීසල් සුවඳ පරයා නැගෙන මිහිරි  සැවන්දරා මල් සුවඳක් දැනුනේය .

ඔහු කොහේදැයි නෑසුවේය. වැඩබිම බලා යන්නට සිතාගෙන රිය පදවුවේය . අම්රිතා  කතා කළාය.

" අසේල දැන් අපිට විහිලු කරන්න කාලයක් නෑ. අපි තුන් හතර දෙනාම සීරියස් වැඩ කරන්න ඕනි . මනෝ වුනත් ඔය කල්පනාවලින් ගලවාගෙන වැඩට ඇදලා ගන්න ඕනි . අපි අද රෑ කොහොම හරි මේ ලිය කියවිලි ටික පිලිවෙලක් කරලා වැඩ ටික ප්ලෑන් කරමු . මනෝ අපට ගොඩක් කලින් , වැඩ පටන් ගන්නත් මාසෙකට දෙකකට කලින් මේ සයිට් එකේ ඇවිත් පදිංචි වෙලා හිටියේ . එයා ඉස්සෙල්ලම කලේ මේ ගම්වල, වැල්ලේ පාරේ හැම තැනම ඇවිදලා අපි ඉන්නේ මොන වගේ තැනකද කියල හොයල බලන එක . ඒකත් ඉතින් බිල්ඩිමක පදනමට ඕනි . තට්ටු විසි අටේ බිල්ඩිම හැදෙන්නේ ඔය කණු ටික උඩම නෙවෙයි. අපි හැමෝම එකතු කර ගත්ත අවබෝදේ උඩ'" එසේ කී ඈ දෙස අසේල පුදුමයෙන් මෙන් බැලුවේය.

ඒ බැල්මෙන් පසු ඈ යලිත් සිතින් පමණක් කතා කළාය.
" මනෝ මොනතරම් දක්ෂ වුනත් එයා  ලේසියෙන් වැඩ වරද්දා ගන්න  කෙනෙක්. මම කී පාරක් බේරාගෙන තියෙනවද. එයාට තියෙන ලොකුම දුර්වල කම් තමයි අධි තක්සේරුවයි ඕනිවට වැඩි අවංක කමක් පෙන්නන්න යන එකයි . මනෝගේ ඔලුව වැඩ වලින් පිරෙව්වේ නැත්නම් එයාගේ මනස අයාලේ යනවා . ඊට පස්සේ අකරතැබ්බ . දැන් ඉතින් තට්ටු විසි අටම හදල ඉවර වෙනකම් එයාව  හිර කරන්න ඕනි. දැන් ඇහැරවල ගෙන්න ගෙන මේ කෑම ටික කන්න දෙනවා. ඊට පසේ එයාට ටිකක් පම්පෝරි ගහන්න දෙනවා. ඉන් පස්සේ පළමු තට්ටුව දාල ඉවර වෙනකම් හැම දේම සැලසුම් කරලා ඉවර කරනවා . අද රෑම. ඔව් අද රෑම "

රථය වැඩබිමට ඇතුළුවන විට රාත්‍රී දහය පසු වී තිබුනේය . ගේට්ටුවේ  විදුලි බුබුල  මිස අන් හැමතැනම අන්ධකාරයේ ගිලී ඇතැයි සිතා සිටි වැඩබිම මුළුමනින්ම ඒකාලෝක වී තිබුනේය.

කුහුල් සිතින් වැඩබිම් කන්තෝරුවට ඇතුළු වූ අසේල හා අම්රිතා දුටුවේ කන්තෝරු ඇඳුමින් සැරසී සිල්වා හා මිස්කින් පසෙකින් සිටුවාගෙන වැඩ කරන මනෝ රන්ජන්ය.
සැලසුම් වල පිටපත් අතින් ඇඳි පාට සලකුණු සමග බිත්තියේ  හැම තැනම  එල්ලා තිබුනේය .  විශාල කාල  සටහනක අවලස්සන අත් අකුරින් පළමු තට්ටුව දමා අවසන් වන තුරු සියලු වැඩ පියවරෙන් පියවර පෙන්වා තිබුනේය.

'ඔයා තනියම ෆස්ට් ෆලෝ එකේ ස්ලැබ්  එක දැම්මා එහෙනම්?'
ප්‍රීතියෙන් පිනා ගොස් සිටි අම්රිතා කීවාය. මනෝරන්ජන්ද සතුටින් සිටියේය . ඔහු පැමිණ අම්රිතා  වැළඳ ගෙන පිලි ගත්තේය.

' අසේල ගිහින් වොෂ් එකක් දාගෙන එන්න " ඔහු කීවේය


-මීළඟ කොටස මැයි 11 වන සඳුදා -
 .


Image Source: Gulf News


අටවිසි මහල පටුන

කතා  කොටස් විසි අටම පිළිවෙලට මුල සිට නිවී සැනසිල්ලේ කියවන්න . මේ  අටවිසි මහල පටුනයි .

විසිඅටවෙනි මහල -හයවන පරිච්චේදය
පස්වන මහලින් ඉහළට- හයවන පරිච්චේදය 
විසිහත්වන කොටස- ඒ අපූරු ටිබෙට් ගමන 
විසි හය වන කොටස-මනෝගේ දිනපොත හොරු ගනී 
සිව්වන මහල -පස්වන පරිච්චේදය 
විසි පස්වන කොටස- අසේලගේ පාපොච්චාරණය 
විසිතුන්වන කොටස - අසේල දඹුල්ලෙන් කොළඹට 

තෙවන මහල -සිව්වන පරිච්චේදය 
විසි දෙවන කොටස - එක්සයිට්මන්ට්ස් 
විසි එක්වන  කොටස - ගුවන් තොටින් පානදුරට  
විසිවන කොටස - අම්රිතාට විවාහා යෝජනාවක් 
දහනව වන කොටස - අම්රිතාගේ දියණිය 

දෙවන  මහල- තුන්වන  පරිච්චේදය 

දහඅට වන කොටස - දඹුල්ලේ රාත්‍රියක්
දහහත් වැනි කොටස - සර් මට සමා වෙන්න
දහසයවන කොටස- අසේලට ස්ථාන මාරුවක්

පළමු මහල- දෙවන පරිච්චේදය 
පහළොස්වන කොටස - තාත්තලාගේ කතා 
දහහතරවන කොටස -සිල්වාට ගැහුවේ කවුද ?
දහතුන්වන කොටස -පේරාදෙණියෙන් ලියුමක් 
දොළොස්වන කොටස - පින්තුරයේ සිටි දරුවා කවුද ?
එකොළොස්වෙනි කොටස - අම්රිතා මහ රෑ වැඩ බිමට ආවේ ඇයි?
දහවන කොටස - සව් බොරවා පාර්සලය
නවවැනි කොටස - පොකුටු නන්දේගේ ආක්‍රමණය
අටවැනි කොටස - රාධා හා අනුරාධා


බිම් මහල- පළමු පරිච්චේදය 

හත්වන කොටස - අම්රිතාගේ නවාතැන
හයවන කොටස - පලු කෑම හා තුන්පත් රෑන
පස්වන කොටස -කානේෂන් මල් දෙක
හතරවන කොටස - වැඩබිමට ආ සුන්දරිය
තුන්වන කොටස -  අසේල ඉන්ටවිවී එක පාස්
දෙවන කොටස -  අසේලගේ  පාපොච්චාරණය
පළමු කොටස - පොළවෙන් මතු වූ බෝනික්කා