Sunday, December 29, 2024

ගමනාන්තය තරම්ම අසිරිමත් ඔරියන්ට් එක්ස්ප්‍රස් ගමන -ඉස්තාන්බුල් දිනපොත 9

තා ජනාකීර්ණ, ඉතිහාසගත නාවික තොටුපලක් වන එමිනොනු පිහිටියේ පැරණි කොන්ස්තන්තිනෝපල් නගරය ආසන්නයේය. එම නැව්තොටේ  සිට ඇවිද යන දුරින් පිහිටි සර්කෙසි දුම්රිය ස්ථානය සියවසකටත් වඩා පැරණි  ජාත්‍යන්තර දුම්රියපොළකි .  අදටත් දුම්රියෙන් දේශ සිමා හරහා ගමන් කරන  මගීන් සැහෙන දෙනෙක් මේ දුම්රිය ස්ථානයේදී හමු වෙයි  . නොඑසේනම් එය ජාත්‍යන්තර මගීන්ට වටිනා ගමනාන්තයකි.  ඉස්තාන්බුල් දිස්ත්‍රක්කයට උදාවූ  සරත් සමයේ මැද වැසිබර දවසක මම එමිනොනු නැව්තොටෙන් බැස සර්කේසී  දුම්රිය ස්ථානය දෙසට ඇවිදගෙන ගියෙමි. කහ පැහැ  ගත්  ඕක් කොළ මතට වැහි බිඳු පතිත වෙද්දී ඒවා නටුවෙන්ගිලිහී  ගොස් තෙතබර බිම්ගඩොල් මත පතිත වෙයි.

දුම්රිය   වේදිකාව සිසාරා සැන්දෑ  හිරු දිගු සෙවනැලි ඇඳ තිබේ . ඔටෝමාන් හා යුරෝපීය මිශ්‍ර  ගෘහනිර්මාණ ශිල්පය මෙසේයැයි කියපන  විශිෂ්ට පර්යන්ත ගොඩනැගිල්ල, 1889 දී මුල්වරට එවකට කොන්ස්තන්තිනෝපල් ගමනාන්තය වූ මෙහි  ආ ඔරියන්ට් එක්ස්ප්‍රස් දුම්රිය පිළිගන්නා විට සිටි ආඩම්බර පෙනුමෙන්ම හා  1977 අවුරුද්දේ ඔරියන්ට් එක්ස්ප්‍රස් දුම්රිය සිය අවසන් දුම්රිය පිටත් කළ දවසේ සිටි නිහඬ මුහුණින්ම  සිටියි . මම විසිතුරු ඔරලෝසු කණුව පරීක්ෂා කරමින් සිටියදී මායාමය තිමිරය මැදින්  ඇය දුටුවෙමි. ට්වීඩ් ඇඳුමකින් සැරසී සිටින  කාන්තාවක් , හාත්පස පෙණෙන සෑම  විස්තරයක්ම අල්ලා ගන්නා බවක් පෙනෙන තියුණු ඇස්වලින් වටපිට බලමින් සිටියාය.

එය විය නොහැක ... නමුත් එය මට පෙනේ . පහුගිය සියවසේ මුල් භාගයේ ලෝපුරා ආදරය ලද ලියන්නිය අගතා ක්‍රිස්ටි  1930 ගණන්වල ඡායාරූපවල සිටියාක්  මෙන් මා ඉදිරියේ දර්ශනය වේ. පැරිස් නගරයේ සිට කොන්ස්තන්තිනෝපල්  දක්වා ගමන්ගත් අධි සුඛෝපභෝගී ඔරියන්ට් එක්ස්ප්‍රස් දුම්රිය ගාවාගෙන  ලිඅවුණු පොත් හා නිර්මාණය වුනු චිත්‍රපට දුසිම් ගණනක් අතරින් වඩාත් ජනප්‍රිය වු ඇය ලියු  Murder on the  Orient Express පොත  මෙන්ම ඒ අනුව නිර්මාණය වූ චිත්රපට ගැනද  දැන සිටි මම  දෙවරක් නොහිතා  ඇය වෙත ඇවිද  ගියෙමි.

"පුදුමෙනුත් පුදුමයි . ක්‍රිස්ටි මහත්මිය. ඔබ මෙතැන?"

ඇය ලෙන්ගතු   සිනහවකින් මා දෙස බැළුවාය .

"ආහ්,  ඔබ   මාව අඳුරනවා. පුදුම වෙන්න දෙයක් නැහැ, අපි මේ ඉන්න තැන නිසා වෙන්නැති . මේ ස්ටේෂන් එකේ කතා ගොඩක් තියෙනවා නේද?"

"ඇත්ත වශයෙන්ම ඔව් . ඔරියන්ට් එක්ස්ප්‍රස් හි ගමනාන්තය  - ඔබ විසින්  ප්‍රසිද්ධියට පත් කළ දුම්රිය හා දුම්රිය ස්ථානය ."

"ඔබ දන්නවාද' ඇය ඇසුවාය , "පළවෙනි  ඔරියන්ට් එක්ස්ප්‍රස් 1883 දී පැරිසියේ ගැරේ ඩි ලෙස්ට් සිට පිටත් වූදා පටන් , එය මිනිසුන් සංචාරය ගැන සිතන ආකාරය වෙනස් කළා . ඒ  එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට යාම පමණක් නොවෙන ගමනක්'

රෝද සහිත ගමන් මලු තල්ලු කරගෙන  ස්මාර්ට්ෆෝන් අතින්ගත් සංචාරක පවුල් අප දෙස බලා අත වනමින් යන හැටි ඇය මදක් බලා සිට මෙසේද  කිව්වාය

"දැන් ඔබ මදක් වටපිට බලන්න, ඉස්සර කොන්ස්තන්තිනෝපල් දැන්  ඉස්තාන්බුල් නම විතරක් වෙනස් වුනාට නගරය එහෙම්මමයි   ඒ  අසිරිමත් මායාව නැති වෙලා නෑ ; එය හුදෙක් නව මුහුණු  එකතු කරගෙන  විතරයි . අර ඈත පෙනෙන ඊජිප්තු බසාරයේ වෙළෙන්දන් තාමත්   කුංකුම සහ එනසාල්  විකුනනවා . දේවස්ථානවල  යාඥා හඬ  තවමත් ගෝල්ඩන් හොර්න් ජල පහර  හරහා දෝංකාරදෙනවා ඇහෙනවා නේද ? ."

ග්‍රෑන්ඩ් බසාර් වෙත යන පාර සිය මොබයිල් තිරයේ උපකාරයෙන් සොයමින්  යන සංචාරකයින් පිරිසක් අප  අසලින් ගමන් කළහ.

" බලන්න"  අගතා ක්‍රිස්ටිගේ ඇස් දිලිසිණ  "ඔය යන මගින් මිට අවුරුදු එකසිය විස්සකට ඉස්සර බෙඩේකර් කියන  මාර්ගෝපදේශක පොත්වල උදව් අරන් ගමනේ ගිය මගීන්ට වඩා එතරම් වෙනස් නෑ . ඉස්තාන්බුල් සෑම විටම නැගෙනහිර සහ බටහිර ලෝකයා හමුවීමේ නවාතැනක් . ඔරියන්ට් එක්ස්ප්‍රස් දුම්රිය ඒ වගේ හමුවීම් සුවිශේෂ  කරා.ගාම්භීර කරා ."

"ඒකද  ඔබ  ප්‍රසිද්ධ මාරක  කතා  පොතට   මේ කෝච්චිය සම්බන්ධ කරන්න හිතුවේ ?"

"බාහෙට ඇත්ත . ඒත්  ඊටත් වඩා, එය සංකීර්ණ මිනිසුන් එකට සිටි  සංවෘත අවකාශයක් , විවිධ රටවල විවිධ අදහස් තියෙන  ආගන්තුකයන් එකට කොටුකරලා  වෙන් කරන්න බැරි  සමීපභාවයක් ගොනු කරපු පරිසරයක් එතැන තිබුනා  . ඉස්තාන්බුල් වගේ  - ඔටෝමාන් මන්දිරවල බයිසැන්තියානු කැටයම්   තිබෙන  නගරයක්, යුරෝපීය හෝටල් සංකීර්ණ  සෙවනේ ආසියානු කුළුබඩු වෙළඳපොලවල් වර්ධනය වෙන අමුතු එකමුතුවක් ."

"ඔබේ කාලයට වඩා දැන් මේ  නගරය ගොඩක් විශාල වෙලා . දියුණු වෙලා ," මම කීවෙමි.

"ඔව් , ඉස්තාන්බුල් සෑම පැත්තෙන්ම  අතිවිශාල වෙලා . එය දැන් වඩාත් දෘශ්‍යමාන වෙලා . අපේ කාලයේ , අභිරහස් අඳුරු  පටු මංතීරුවල සහ බොස්ෆරස් ඉවුරු දිගේ ලී මන්දිරවල සැඟවී තිබුණ කතන්දර දැන් වඩා උස්මහත්වූ මන්දිරවලට මාරු වෙලා  . නමුත් ඒවා තවමත් අභිරහස් කතා හා ප්‍රේම කතා ලියන්න බිජ සපයනවා  නේද?" කියමින් ඇය සිනහසුනාය

ඈත මුහුදු යාත්‍රාවක නලා   හඬක් දුම්රිය නැවතුම්පොළ පුරා දෝංකාර දුන්නේය . කබාය සකස් කරගනිමින් අගතා  ක්‍රිස්ටි  වටපිට බැලුවාය .

"මගේ නවකතාව  ගැන සහ ඉස්තාන්බුල් ගැන මිනිසුන් හරියට තේරුම් ගන්නේ නෑ . ඔවුන් සිතන්නේ එය අතීතය ගැන, නොස්ටැල්ජියාව ගැන කතාවක් කියල. නමුත් ඒවා  ඇත්ත වශයෙන්ම අතීතය සහ වර්තමානය එකට නර්තනයේ යෙදෙන තැන්.   . මේ සර්කෙසි ස්ටේෂන්  එක දිහා  බලන්න: තවමත් ප්‍රතාපවත්ව සිටගෙන, තවමත් එහි අරමුණ ඉටු කරමින් සිටිනවා , පරණ ඔරියන්ට් එක්ස්ප්‍රස් තවදුරටත් මෙහි නොආවත් . දැන් බලන්න ඔබ කොහි සිටද මේ විස්තරය හොයාගෙන ආවේ. අර එළියේ පින්තූර ගන්න මිනිසුන් දිහා බලන්න. අර වියපත් යුවල සමහරවිට මිට අවුරුදු හතළිහකට කලින් මධුසමය ගෙවන්න තෝරා ගත්තේ මේ ඔරියන්ට් එක්ස්ප්‍රස්  දුම්රිය වෙන්නැති . ඒක  ගමන්කරන තරු පහේ හෝටලයක් වගේ තිබ්බේ "

"පොදුවේ දුම්රිය ගමන්වල තිබ්බ අර රොමැන්ටික් ගතිය දැන්  අඩුවෙලා වගේ" මම සුසුමක් හෙලුවෙමි.

"එහෙමද?" ඇය ඇහිබැම එසවූවාය. "නැත්නම්  එහි  ස්වරූපය වෙනස් වෙලාද ද? අර දුම්රිය එනතුරු ඉන්න  තරුණ බැක්පැකර්වරු - ඔවුන් අතේ තියෙන  මෙවලම් එක්ක  අපි ගෙවපු ජිවිතයම හොයනවා වෙන්න බැරිද?.'

ඇය දුම්රියපොළේ විසල් බිත්ති  ඔරලෝසුව දෙස බැලුවාය. "ඔබ සංචාර  ගැන කතා කරන විට, මගේසංචාරයත්  දිගටම කරගෙන යාමට වෙලාව හරි. එත්

 අර බලන්න" . ඇය නුදුරේ පේන ටොපකපි  මාලිගයට පිටුපාමින් හිරු බැස යන අයුරු  පෙන්නුවාය . "1889 දී පළමු ඔරියන්ට් එක්ස්ප්‍රස් පැමිණි දා පටන්ම  ඒ  දර්ශනය වෙනස් වෙලා නෑ . ඒ වගේ  ඉස්තාන්බුල්වල  සමහර දේවල් සදාකාලිකව තියේවි ."

බොස්ෆරස් දියතලය මත  රන්වන් ආලෝකයක් මවමින්  හිරු බැස යද්දී, මම ඇයට සමුදීමට  හැරුනෙමි - නමුත් දුම්රිය ස්ථානයේ විකාශන හඬ හා මුසුවූ ඒ මායාත්මක සංවාදයේ  දෝංකාරය පමණක් ඉතිරි කරමින් ඇය නොපෙනී ගොස් සිටියාය .මම දුම්රියපළෙන්  පිටතට පියවි සිහියෙන් ඇස්  යොමද්දී , සුපුරුදු පරිදි  ඉස්තාන්බුල් නගරය  ජීවයෙන් ස්පන්දනය  වෙමින් තිබිණි :  සංචාරක යුවලක්  වීදි බළලුන් ඡායාරූප ගත කරති.   ග්‍රිල් කළ කෙබාබ් සුවඳක් වාතයේ මුසුවිය. එවිටම  නවීන මැදිරි පිරි ට්‍රෑම් රියක් සුල්තාන්මෙහ්මෙට් නගරය දෙසට ඇදී ගියේය.

ඔරියන්ට් එක්ස්ප්‍රස් තවදුරටත් මා සිටින සර්කේසි දුම්රිය ස්ථානය වෙතආ ගමන අවසන් වුවද. මගේ චිත්ත රූපවලට හමුවූ  අගතා  ක්‍රිස්ටි අදහස් කළේ කුමක්දැයි මට වැටහුණි. සංචාරයේ ආදර කතා, ඉස්තාන්බුල්හි සුන්දර අභිරහස් , ලෝක වාසීන්ගේ  රැස්වීම් පොළ  - ඒවා  අවසන් වී නොතිබුණි. ඒවා  හුදෙක් පරිණාමය වී ඇති අතර, මේ නගරයේ වීදිවලට යටින් ස්තර වශයෙන් ඇති ශිෂ්ටාචාරවල පරිච්චේද සමග  සුරැකිව පවතී.

මට හිතුනේ ඔරියන්ට් එක්ස්ප්‍රස් ගමන එහි  ගමනාන්තය වුන කොන්ස්තන්තිනෝපලය තරම්ම අසාමාන්‍ය හෝ අසිරිමත් එකක් වෙන්නට ඇති බවයි.

(මෙය මුලින්ම පළවුණේ 2024 දෙසැම්බර් 15 දින සිළුමිණ පත්රයේය )


Saturday, December 21, 2024

කසල බඳුන් හා වැසිකිළි ඇති නගරයක සිරි

 

ම  සතියේ දවස්වල රස්සාව කරනවා.  සෙනසුරාදා ඉරිදා  හා රජයේ නිවාඩු දවස්වල  මම සංචාරකයෙක්. දිග නිවාඩුවක් තිබුනොත් නගරයෙන්  පිට පළාතක් බලන්න යනවා .සමහර දවස්වල  ඉස්තාන්බුල් නගරයේම විශේෂ ප්‍රදේශයක්  බලන්න යනවා. එහෙමත් නැති  දවස්වල මම අපේ නිවාස සංකීර්ණයේ ඉඳල කිලෝමීටර් දෙකක් විතර දුරකින් තියෙන කාතානේ උප නගරය වෙත යනවා. විසල් ඉස්තාන්බුල් නගරයේ කුඩා කුඩා උප නගර රාශියක් තිබෙනවා. මේවා පරිපාලනය කරන්න වෙනම නගර සභා ඒකක තිබෙනවා. . එතන කුඩා  නගරයක් හා උද්‍යාන කිහිපයක් , අවන්හල් පෙළක් හා මෙට්‍රෝ දුම්රිය ස්ථානයක්  තියෙනවා. සාමාන්‍ය  ප්‍රමාණයේ වෙළඳසැල්  , ෆාමසි  , බාබර් සාප්පු  දෙක තුනක් , ටේලර් සාප්පුව හා රට සල්ලි මාරු කරන තැන  ආදීයට අමතරව ඉරිදා පොලක් ආසන්නයේම පැවැත්වෙනවා.  නගර සභාවෙන් හදපු  ස්මාරකයක් අසල සමහර දවස්වල පොඩි පොඩි රැස්වීම්, ප්‍රවර්ධන වැඩ හා කුඩා සංගීත ප්‍රසංග පැවැත්වෙනවා.

ඉරිදා පොළ පටන් ගන්නේ හවස . උදේ වරුවේ ඉතා පිරිසිදුව තිබෙන පොළ විථිය  , පොළ ඉවර වුනු සැනින් උදේ තිබ්බා වගේම රොඩු  බොඩු සුද්ධ පවිත්‍ර වී සාමාන්‍ය විථියක් බවට පත් කෙරෙනවා. ප්‍රධාන නගර හා උපනගර ඉතා පිරිසිදුව පවත්වාගෙන යන හැටි අගේ කරන්නට පුළුවන්.

මේ කඩ මන්ඩියේ බොහෝ දෙනෙක්  මම අඳුනනවා. ජැන්ඩියට  ඇඳ පැළඳගත්  විශ්‍රාමික පිරිමින්   කුඩා උද්‍යානයේ හා කඩපෙළ  අවට දවස තිසේම ගැවසෙනවා . තරුණ තරුණියන් හා පවුල් පිටින් ඇවිත් එළිමහනේ තියෙන ආපන ශාලාවලින් නිවී සැනසිල්ලේ කෑම කාලා යනවා. දරුවන් වතුර් මල් අවට ගස් හෙවනේ සෙල්ලම් කරනවා .  මිට  තරමක් ඔබ්බෙන් තවත්  විශාල උද්‍යානයක් තියෙනවා අක්කර තිහ හතළිහක් ඇති. එහි නගර සබාවෙන් නඩත්තු කරන විශාල අවන්හලක්, ක්‍රීඩාගාරයක්  , ඇවිදින මං තීරු , පාපන්දු පිටියක් හා දිය පොකුණු තිබෙනවා. විශේෂයෙන්ම ගිම්හාන සමයේ බොහෝ නගරවාසීන් සති අන්තය හා සන්ධ්‍යා කාලය ගෙවන්නේ මෙවන් එළිමහන් උයන්වල. ඒවාට අවශ්‍ය තරම් ඉඩකඩ වෙන් කරලා තියෙනවා.

මේ විසල් බිමේ  එහා මෙහා සරමින් දවසක් වුනත් ඉන්නට පුළුවන් . එහෙම ඉන්නකොට බඩගිනි දැනුනොත් කඩේකට ගිහින් කන්න  පුළුවන්. එහෙමත් නැත්නම් දුරුම් කියන චිකන් රෝල් එකක් හා වතුර බෝතලයක් ගෙනත් උද්‍යානයේ ලී  බංකුවේ  ඉඳගෙන කන්න පුළුවන් . හිස් වතුර බෝතලය, කෑම  ඉතිරි බිතුරු, දවටන  හා අත පිහින කොළ දාන්න මීටර් විස්සෙන් විස්සට විතර කසල බඳුන් තිබෙනවා. මේවා මොනම වෙලාවකවත් පිරිලා ඉතිරිලා යන්නේ නෑ . කඩිසරව ඔබ මොබ යන සේවකයන් මේවායේ පිරුණු කසල ඉවත් කරනවා. වෙනත් සනීපාරක්ෂක වුවමනාවක් තිබ්බොත් නගර සබාවෙන් නඩත්තු කරන පිරිසදු වැසිකිලි තිබෙනවා .

මේ වගේ බොහෝ සති අන්තවල අපි  වෙනත්  සංචාරක කලාපවල උද්‍යානවල හා උපනගර හා වෙරළ  තීර වල ඇවිදින අතරේ කිසිම දවසක කසල බඳුනක් හෝ වැසිකිලියක් හොයා ගැනීමේ  අපහසුතාවක්  මතු වෙලා නෑ .මේ  සියල්ල හොඳින් පිරිසිදුව නඩත්තු කරමින් තිබුනා. කසල බඳුන් කිසිවක් පිරී ඉතිරී  යමින් තිබුනේ නෑ . තරමක් විශාල පුද්ගලික අවන්හලකදී හෝ වෙළඳ සැලකදී අපට සනීපාරක්ෂක පහසුකම් පාවිච්චි කරන්න පුළුවන්. ඒවායේ පාරිභෝගිකයන්  වෙන්නම අවශ්‍ය නෑ .

සංචාරකයන් නරඹන විශේෂ  ස්ථාන අසල අනිවාර්යයෙන්ම හොඳම තත්වයේ  මහජන වැසිකිලියක් තියෙනවා.දුම්රිය ස්ථානවල  , නාගරික උද්‍යාන අසල එහෙම තැනක් වරදින්නේ නෑ . ඉතාම පිරිසිදුවට නඩත්තු කරන මේ වැසිකිළි පාවිච්චියට කුඩා මුදලක් අය කරනවා. වැදගත්ම දේ මේ කොතනකවත් සල්ලි එකතු කරන්නට සේවකයෙක් නැති වීම. සියලු මුදල් ගෙවන්න තියෙන්නේ අපි බස්, කෝච්චිවල යන්න තියෙන ඉස්තාන්බුල් කාඩ් එකෙන්. කාඩ් එක කියවන ස්වයංක්‍රිය ගේට්ටු තියෙනවා.  මේ මුදල් ගෙවීම් සියල්ල මධ්‍යගත කරලා තියෙන්නේ.  මේ හේතුව නිසා මිලියන් දහසයක් වූ නගරවාසීන් හා තවත් මිලියන් ගණනක් වූ සංචාරකයන් නගරයේ සැරි සරද්දී අපහසුතාවයට පත් වෙන්නේ නෑ.

මේ සියල්ල නඩත්තු කරන පරිපාලන ආයතනවල මෙහෙයවීම ඉතා ක්‍රමවත් බව පෙනෙනවා. මේවා පිරිසිදු කරන්න ඉන්න සේවකයන් සම්පුර්ණ නිල ඇඳුම්  , පැළඳුම් හා   තම රාජකාරියට අවශ්‍ය උපකරණ කට්ටලවලින් සන්නද්ධ වෙලා ඉන්නේ. නිතර දෙවේලේ ජනී ජනයා පාවිච්චි කරන  නිසා වැසිකිලියක් වුනත් දිනකට  සැහෙන වාර ගණනක්  පිරිසිදු කරනවා. නගරය හා කසල බඳුන් පිරිසදු කිරීමත් දවසකට සැහෙන වාර ගානක් කෙරෙනවා.

මා දුටු කිසිම සනීපාරක්ෂක සේවකයෙක්ගේ මුහුණේ වෙහෙසකර  ගතියක්, කනස්සල්ලක් හෝ තමන් කරන රස්සාව ගැන අකමැත්තක් ඇති බවක් පෙනුණේ  නෑ .  ඔවුන් ඉතාම ආඩම්බරෙන් හා කැමැත්තෙන් තම රස්සාව කරනවා. සංස්කෘතිකව පිරිසිදුව ඉන්න තිබෙන පුරුද්ද, නගර සබාවේ මැදිහත්වීම  වගේම මෙන්න මේ සේවක ආකල්පත් ඉස්තම්බුල්  නගරය ඉතාම පිරිසදුව පවත්වාගැනීම පිටුපස තියෙන  බලවත්  සාධකයක්. මම අද වදිපුරක කතා කරන්න යන්නේ ඒ ගැන .
 ඕනෑම රැකියාවක් වැදගත්  වෘත්තියක් ලෙස සලකන විශේෂයෙන් කසල ශෝධනය වගේ ජන ජිවිතයට අත්‍යවශ්‍ය සේවා කරන්නට අගයකරන ආකාරයේ  පිළිගැනීමක් මේ සමාජයෙන් ලැබෙනවා. මේ වැසියන්ගේ වහරේ  තිබෙන ඉතාම සෞම්‍ය  වචනයක් තමයි  ' කොලයි  ගයිසම්' කියන්නේ . මේ වචනයේ තේරුම ' ඔබේ කාරිය පහසු වේවා' වගේ එකක් .  වැසිකිලිය  පවිත්‍ර කරමින් ඉන්න සේවකයාට පවා  සුබ පතන පුරුද්ද ඉතා දියුණු සමාජයක තියෙන දෙයක්. ඉතින් ' කොලයි  ගයිසම් ' කියා සුළු සේවකයාටත්, ඉහළ  නිලධාරීන්ටත්, රියදුරන්ටත් ඕනිම්  කෙනෙකුට කියන්න පුළුවන්. පිරිසිදු කරන අයෙක් දුටුවොත් එතනින් යන ඕනිම කෙනෙක් මේ සුබ පැතීම කරනවා . එය අසන  පවිත්‍රතා සේවකයෙක් බෙහෙවින් සතුටට පත් වෙනවා. තමන්ට  ලැබුණු හිතවත්කම හා පිළිගැනිම නිසා වඩාත් හොඳින් තමන්ගේ කාරිය කරගෙන යනවා. මේ පොතක තිබුණු න්‍යායයක් නෙවෙයි. මම උදේ හවස දකින දෙයක්.

 රාජකාරිය නිම කරලා හොඳින් හැඳ   පැළඳ ගත්ත සේවකයෝ ඉතාම සාමාන්‍ය මිනිසුන් ලෙස  සමාජය හා මුසු වෙනවා . මේ රැකියා කරන බොහෝ දෙනෙක් ප්‍රමාණවත් ඉගෙනුමක් හා පුහුණුවක්  ලබපු අය බව පේනවා. යම් රටක සමාජයේ පිඩාවට පත් වූ  හෝ අඩුවෙන් අධ්‍යාපනය ලද ජන කොටස්වලින් සනීපාරක්ෂක සේවා  කරන්නට ඔනෑ කියා මෙහෙ සම්මතයක් නෑ . මේ හේතුව නිසා එය රාජකාරියක් ලෙස ඉතා හොඳින් කෙරෙනවා . ඔවුන් පුදුම උනන්දුවකින්  ආසාවකින් සේවයේ යෙදෙනවා. ඒ සඳහා පුහුණුව තියෙනවා, සුදුසු ඇඳුම් පැළඳුම් තියෙනවා, පිරිසිදු කරන ද්‍රව්‍ය හා උපකරණ තිබෙනවා.  අනෙක මේ මිනිස්සුන්ගේ සාමාන්‍ය ජීවිතය පවතවා ගන්න තරම් සරීලන වැටුපක් ලැබෙනවාත්  ඇති.

ඉස්තාන්බුල් නගරයේ පිරිසිදුකම කතා කිරීමේදී සනීපාරක්ෂක සේවකයන් තමයි කොඳු නාරටිය .ඊට ප්‍රශස්ත  නගර පාලනය, සංස්කෘතිය හා නව තාක්ෂනය මිශ්‍ර වී තිබෙනවා.  සියවස් ගණනාවක් ඉඳන් පිරිසිදු නගර කලමනාකරනය තුර්කියේ ප්‍රධාන නගරවල සිදුවී  තිබෙනවා. ඉතින් අර වැසිකිලියකට යාමේදී අය  කරන නාමික ගාස්තුවට අමතරව විශාල මුදලක් වැසිකිලි පවත්වා ගැනීමට හා කසල කළමනාකරණයට නගර සභා විසින් වය කරනවා. මේවා අතරට තොරතුරු තාක්ෂණයද එකතු වී තිබෙන බව මා කියෙව්වා . නඩත්තු අවශ්‍යතා ගැන අවදානයෙන් සිටීමට, පිරිසිදු කිරීමේ සේවක කාලසටහන්  නිරීක්ෂණය කිරීමට හා දුගඳ නිරීක්ෂණයට දුරස්ථව තොරතුරු තාක්ෂනයන්ගේ සේවය ලබා ගන්නා බව පැහැදිලියි.
අපි ප්‍රසිද්දියේ කතා නොකලාට වැසිකිලි යාම මුලික මිනිස් අවශ්‍යතාවයක්. එය තේරුම් ගත් පාලනායක්  හා සංස්කෘතියක් තිබෙන රටවල ජනයා වාසනාවන්තයි . එවැනි රටක සංචාරය කිරීම ප්රියජනකයි.
--
මෙය මුලින්ම පළවුයේ 2024 දෙසැම්බර් 8 වනදා සිළුමිණ පත්රයේය)

Sunday, December 15, 2024

බෙල්ග්‍රේඩ් වනයේ සවාරියක් - ඉස්තාන්බුල් දිනපොත 7

 

පේ කන්තෝරුව පිහිටා ඇත්තේ බෝලේවාර්ඩ් ඒකකය. එනම් දෙපස ගස් වැවුණු නිස්කලංක මංපෙතක දෙපැත්තේ පිහිටි ගොඩනැගිලි පෙළක් ලෙසය. මේ එක්  එක ගොඩනැගිලි අතරත් මල් පඳුරු හා දිය පොකුණු නිර්මාණය කර තිබේ . කන්තෝරු  මිදුලට බැස බලද්දී මීටර් පන්සියක් විතර දුරින් වනාන්තරයක් පෙනෙයි . මම හිතුවේ මේ පෙනෙන කඳුගැටය වසාගත් අක්කර කිහිපයක වනරෝදක්  වන්නට ඇත කියාය. ඇරත් ලෝකයේ ජනගහනය වැඩිම මෙගා නගරයක් වන මෙහි මිලියන් දහසයක් වන ජනී ජනයාට වාසස්ථාන හා රැකියා ස්ථාන ඉදිකළාට  පසු තව වනාන්තරයකටත් ඉඩක් තිබේද .   නගරයේ ඇතැම් තැන්වල එකදු බිම් අඟලක් ඉතිරි නොවන සේ තට්ටු නිවාස ඉදිකර තිබුනත්  උද්‍යාන හා විවේක ස්ථාන සඳහා ඇතිපදම් ඉඩකඩද වෙන්කරගෙන තිබේ. එසේ වෙන්කරගත්තටත්  පසු නගරය මැදම  වනාන්තරයකුත් රැකගෙන තිබෙන්නේ කොහොමද ? මේ ගැන විමසීමේදී මට දන ගන්නට ලැබුනේ මේ එසේ මෙසේ වනාන්තරයක් නොව අක්කර දහතුන්දාහක් පමණ වන ඉතිහාසය පුරා සුරැකිව රැකගන්නා වන සම්පතක් බවයි. ඒ නිසා මට පෙනීගියේ ඉස්තාන්බුල් නගරවාසීන් කෙසේ හෝ නිදහස් භුමි හා වනාන්තර එසේම රැක ගනිමින් තම විසල් ජනගහනය සඳහා ඉදිකිරීම් අනෙක් ඉතිරි වී ඉඩකඩේ අසීරුවෙන් හෝ කරගන්නා බවයි .

මෙකී වනපෙත හඳුන්වන්නේ බෙල්ග්‍රේඩ් වනාන්තරය ලෙසයි . එය අප කුඩාකල දැන සිටි යුගොස්ලෝවියාවේ අගනුවරයි. දැන් සර්බියාවේ අගනුවරයි. දහසයවන සියවසේදී බෙල්ග්‍රේඩ් නගරයෙන් ගෙන්වාගත්  වැසියන් පිරිසක් මේ වනාන්තරය අද්දර ගම්මානයක පදිංචි කරවීම නිසා බෙල්ග්‍රේඩ් නම අසල්වැසි වනයටද  සින්න වී ඇත .

බෙල්ග්‍රේඩ් නුවර වැසියන් මෙරටට එන්නට ඇත්තේ ඩැනියුබ් ගඟ දිගේ ඇවිත් කලුමුහුද හරහාය . කෙසේ වුවද බෙල්ග්‍රේඩ් වනය ඔටෝමන් අධිරාජ්‍ය කාලයේත් ඉන්පෙර රෝමන්වරුන්ගේ කාලයේදීත්  නගරවසියන්ට අවශ්‍ය  ජලය දෙන උල්පත් රක්ෂිතය ලෙස රැක බලාගෙන තිබේ. මේ නගරයේ තැන තැන දකින්නට ලැබෙන ඉපැරණි ආරුක්කු පාලම් ආකාරයේ ජලමාර්ග කඳු අතර යාකරමින් ඉදිකර තිබේ. බෙල්ග්‍රේඩ් වනපෙත ඇතුලතත් ඉතිහාසගත ජලාශ්‍ර, වැව් බැමි,  හා ජලපාලම් වල නටබුන් ඉතිරිව තිබේ. නගරයේ තැන කිහිපයක අදටත්  හොඳින් සංස්කරණය කර පවත්වාගෙන යන ඉපැරණි ආරුක්කු පාලම් කිහිපයක් තිබේ. ඒවා ඉදිකර ඇත්තේ කඳු දෙකක් අතර නිම්නය හරහා අනෙක් පසට ජලය ගෙන යාමටය.  සමහරක් ආරුක්කු පාලම් මත ඉදිවූ ඇළ මාර්ග  දිගේ ගලාගියේ බෙල්ග්‍රේඩ් වනයේ උල්පත්වලින් උපන් වතුරයි.

අප වනයට පිවිසුනේ අපේ  කන්තෝරුව ආසන්නයේ තිබු  සිස්ලි දොරටුවෙනි . වනපෙතට ඇතුල්වෙන තැනම විශාල වාහන නැවතුම්පලක් තිබුණු අතර ඉන් ඉදිරියට පයින් යා යුතුව තිබුනේය. මුල්ම කොටස ජනතාවට ඇවිදිය හැකි , විනෝද විය හැකි භෝජනාගාර , ඇවිදින මංපෙත් හා විවේක ස්ථාන ආදියෙන් සමන්විත විය. වනයේ සමහර ප්‍රදේශවලට  විශේෂ අවසරයකින් තොරව සාමාන්‍ය ජනයාට පිවිසෙන්නට බැරිය. ඒවායේ ඇති සුවිශේෂ පරිසර පද්ධති හා නටබුන්වල ආරක්ෂාව සඳහා එසේ කර තිබේ. අප එහි ගියේ මෙරට ළමා දිනය වෙනුවෙන්  රජයේ නිවාඩුවක් ලබා දී තිබු පසුගිය අප්‍රේල්  විසිතුන් වැනිදාය .
අප  යනවිටත් සිය දු දරුවන් සමග වනපෙතේ ඇවිදීමට දෙමප්ව්පියන්  බොහෝ පිරිසක් පැමිණ තිබුණි. විවේකාගාර අසල ළමා චිත්‍ර හා මුර්ති තරග පැවැත්විණි . ළමයින් හා පරිසරය ලංකර තැබීමට වෙහෙසෙන නගරවාසින්ද ඒමට සිටින බව මට පෙනිණි. එක අතකට නවීන හා ඉපැරණි ගොඩනැගිලි පිරි  කොන්ක්‍රීට් වනයක් යයි මා මුලින් සිතු නගරය ස්වභාවික ජීවයෙන් පිරුණු දැවැන්ත වනයක්  හා තැනින් තැන ස්වභාවික කලාප නඩත්තු කරයි.

අප මුලින්ම ගිය ගමනේ දවස පුරාම වනපෙතේ අවිද්ද්මු. බඩගිනි වූ විට යලි වනදොර අබියස තිබු අවන්හලෙන් කෑම ගත්තෙමු.  ඕක් , බිච්  හා චෙස්ට්නට් බහුලව තිබුණු වනයේ මටනම් ඒකාකාරී බවක් පෙනුනේය. එසේවන්නට ඇත්තේ නිවර්තන වැසි වනාන්තර බහුල ශ්‍රී ලකාවේ වනාන්තරවල ජීව විවිධත්වය ඉතා ඉහළ මට්ටමක තිබෙන නිසා වන්නට ඇත . එහෙත් බෙල්ග්‍රේඩ් වනය ඉතා විශේෂ ශාක හා සත්තව වර්ග වෙසෙන ස්වබාවික පරිසරය ගැන අධ්‍යයනය කිරීමට බොහෝ දෙනා යන එන පරිසර සරසවියකි .
සමනල වර්ග හා උරග වර්ග රාශියක් එහි වෙසෙති. මුවන් , නරියන් හා වල් ඌරන්ද , ඉඳ හිට වෘකයන්ද මෙහිදී හමුවේ.
මේ වනය කුරුළු ලෝලීන්ගේ ප්‍රියතම නැරඹුම් කලාපයකි. කොට්ටෝරුවන්, වවුලන්, රොබින් හා නෛටින්ගේල් වැනි පක්ෂි වර්ග රාශියක්ද මෙහිදී බලන්නට පුළුවන. කටාර්  රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කොන්සුලර්වරයා වන  ධර්මසිරි විජේවර්ධන  සිය දරුවන්ගේ පෙරැත්තය නිසා බෙල්ග්‍රේඩ් වනයේ කුරුල්ලන් බලන්නට තකහනියක් පැමිණ සිටි ගමනේදී මට හමු විය . ඔවුන් වනපෙතට ඇතුළු වී තිබුනේ  නගරයේ අනෙක් අනෙක් ඇන්තයෙනි . එම ගමනේදී විශාල ජලාශයක් හා මනරම් බුමි දර්ශනද හමු වේ . කොහොමත් ඉස්තාන්බුල් නගරය තනිකර කඳුකර කලාපයක් නිසා බෙල්ග්‍රේඩ් වනයේ පිහිටීම පුරාණ නගරවාසීන් සිය වාසියට හරවාගෙන තිබේ . ඔවුන් ජලාශවල වතුර රැස්කරගෙන මුළු නගරයේම ජන අවශ්‍යතාව සපුරාගෙන  ඇත. බුගත ජලය තිරස් උමන්, ආරුක්කු  ජලපාලම් හා ක්‍රමවත්ව ගල් ඇතිරූ ඇළ මාර්ග හරහා නගරයට සපයාගෙන ඇත . විසිවන සියවසට පෙර ඔවුන්   නගරයේ තැන තැන තිබු පොකුනුවලට ජලය රැස් කරවූ  අතර. ජනයා බඳුන්වල පුරවාගෙන සිය නිවෙස්වලට රැගෙන යන්නට ඇත . දේවස්ථාන  හා ප්‍රභූ නිවාසවලට වෙනම ජලය  සපයා තිබේ.  සමහර ස්ථානවල පමණක් ඊයම් ජලනල හා සෙරමික් බට යොදාගෙන තිබු බව කියවේ.

19 වන සියවස වනතුරු නිවාස සඳහා ජලනල භාවිත කිරීම ගැන සඳහන් වන්නේ නැත . ඒ වෙනුවට පොදු නාන  ස්ථාන තිබී ඇති අතර සංචාරකයන් අතර ජනප්‍රිය ටර්කිෂ්  හමාම් නාන නිවස්න අදටත් මෙහි තිබේ .
බෙල්ග්‍රේඩ් වනයේ දිය උල්පත් කලක් ඉස්තාන්බුල් නගරයේ සමස්ත ජල අවශ්‍යතාව සැපයුවා වුනත් අද වනවිට ජනගහනය බෙහෙවින් වැඩි වී තිබෙන නිසා නගරයට් ජලය සපයන්නට වෙනත් මුලාශ්‍ර කිහිපයක් එකතු වී තිබේ.

බෙල්ග්‍රේඩ් වනාන්තරය එහි ස්වභාව සෞන්දර්යය හා  ඓතිහාසික වටිනාකම  නිසා වැදගත් වෙයි. එමෙන්ම සිය කාර්යබහුල නාගරික පරිසරයෙන් මිදී  සුන්දර  පලා යාමක් සඳහා සුදුසු කෙම්බිමක්  ලෙස එයට  නගර වැසියන් විසින් ගැඹුරින් ආදරය කරයි. එය නාගරික ජීවිතය ස්වභාවධර්මයට බැඳ තබන අතර ඉස්තාන්බුල්හි ජීවිතය සැහැල්ලු කරන සම්පතකි .

මේ පිරිසිදු ජල මුලාශ්‍රය ඉතිහාසය පුරා  පවිත්‍රව තබා ගැනීමටත් වනපෙත රැකබලාගෙන  එය නගර දිවියේ අත්‍යවශ්‍ය අංගයක් විදිහට සලකන්නටත් නගර වැසියන් උත්සහ  ගෙන තිබේ . ඒ වගේම එසේ ලබාගත් ජලය පිරිසිදුව අපවහනය කරන්නටත් ඔවුන් පියවරගෙන තිබේ. මිලියන් දහසයක් මිනිසුන් වෙසෙන ජනාකීර්ණ නගරයක එකදු උතුරා යන කාණුවක්වක්වත්  දුගඳ හමන දිය පහරක්වත් මා දුටුවේ නැත. 
(මෙය මුලින්ම පළවුයේ 2024 නොවැම්බර් 27 සිළුමිණ පත්රයේය)
--

 

Saturday, December 7, 2024

සබිහාගේ ගුවන් තොටුපලට ගියෙමි -ඉස්තාන්බුල් දිනපොත 6

 

සුගිය ජූලි මාසයේදී මගේ  බිරිඳ ලංකාවේ සිට ඉස්තාන්බුල් බලා ඒමට ගුවන් ටිකට්පතක් වෙන් කර ගත්තා.  මම මේ රටේ තරමක් කාර්යබහුලව සිටි  නිසා ටිකට් බුක් කරන  වැඩේ ගැන හොයා බලන්නට බැරි වුනා . මුදල් ගෙව්වාටත්  පස්සේ ටිකට් එකේ විස්තර කියවනකොට තමයි මට දෙලොව රත් වුනේ. ඉස්තාන්බුල් නගරයේ ජාත්‍යන්තර  ගුවන්තොටුපළවල් දෙකක් තියෙන බව ඇයට අමතක වෙලා . මට ඒ ගැන කියන්නත්  අමතක වුනා .  ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ ( IATA ) සංකේත අංක  අනුවනම් IST කියන්නේ ඉස්තාන්බුල් නව ගුවන්තොටුපල . ගුවන්පථ  පහකින් යුත් තවත් දෙකක් ඉදි කෙරෙමින් තිබෙන නව ඉස්තාන්බුල් ගුවන් තොටුපල තියෙන්නේ ඉස්තාන්බුල් යුරෝපිය කොටසේ. එය හීත්රෝ ගුවන්තොටුපල හැරුණු විට යුරෝපයේ තිබෙන කාර්ය බහුලම ගුවන් තොටුපල . මගේ නිවහනට  තරමක් ආසන්නයි. අපේ ගෙදර කිට්ටුවෙන් තියෙන මෙට්‍රෝ ස්ටේෂමෙන් නැගල කෙලින්ම ගුවන්තොටුපලටම  යන්න පුළුවන්.  විනාඩි විස්සේ මෙට්‍රෝ දුම්රියේ ගමනක් .  ඒත්  ආසියානු කොටසේ පිහිටි SAW සංකේත දරණ ගුවන්  තොටුපල තියෙන්නේ ඉතා දුර බැහැර. බොස්පරස් සමුද්‍ර තීරය  හරහා ගිහින් තව දුර යන්න ඕනි .

ඒ නිසා අපි මුලින්ම උත්සහ කලේ  ගුවන් ටිකට් පත වෙනස් කර ගැනීමට. ගමනාන්තය විදිහට අලුත් ඉස්තාන්බුල් ගුවන්තොටුපල වෙනස් කරගන්න උත්සහ කරත් වැඩේ හරි ගියේ නෑ .ගිම්හාන නිවාඩුවට යන එන මගී ඉල්ලුම වැඩියි . අනෙක ආසියානු කලාපයේ මේ කියන ගුවන්තොටුපලට එන යානාවල මිල තරමක් අඩුයි. බජට් එයාර්ලයින් හා රට අභ්‍යන්තරයේ ගමන් කරන යානා තමයි වැඩිපුර ගැවසෙන්නේ .

ඔන්නොහෙ මේ අලුත් අත්දැකීමත් විඳගන්න ඕනි කියල හිතල මම අපේ පරිවර්තිකාවගෙන් ඇහුව සබිනා ගෝකන් එයාර්පෝර්ට් එකට යන්නේ කොහොමද කියල . ඒ මම අකුරු දිහා බලල නම කියවපු විදිහ.   ඒක  සබිනා ගෝකන් නෙවෙයි. 'සබිහා ගොක්චාන්' අපිට ඉස්කෝලවල උගන්වන වීර චරිතයක්.'ඇය  කිව්වා.
 ඉතින් මම හිතුව  මේ කියන්නේ පරණ රජ කෙනෙක් හෝ දේශපාලකයෙක් වෙන්න ඇති කියල . නෑ ඇය ගුවන් නියමුවරියක් බව දැන ගත්තේ මම අහපු ඊළඟ විස්තරේ නිසා
 ' ඔයා ඔය  යන්නේ ගුවන් නියමුවරියක්ගේ නමින් තියෙන ලෝකේ එකම ජාත්‍යන්තර  ගුවන් තොටුපලට . බය වෙන්න දෙයක් නෑ , මෙහෙ  එයාර්පෝර්ට් දෙකටම මෙට්‍රෝ තියෙනවා. ටැක්සියෙන් යන්නත් පුළුවන් . ඒත් ට්‍රෆික්වලට අහුවෙන් නැතිව සුවපහසුව අඩු මුදලකින් යන්න මෙට්‍රෝ එකේ පුළුවන් . ටිකක් කලින් ගියාම හරි ' . ඒ කතාව ඇහුණාම මට අලුත් ගමන ගැන  අමුතු උනන්දුවක් ඇතිවුනා . අනෙක සබිහා ගොක්චාන් ගැන හොයන්නත් තියෙනවනේ .

ගුවන් තොටුපලට යාමට පවා මේ නගරයට එන  දෙස් විදෙස් බොහෝ පිරිසක් යොදා ගන්නේ මහජන ප්‍රවාහන මාර්ග. බස්, ට්‍රෑම් , මෙට්‍රෝ හා මගී යාත්‍රාද එකම ප්‍රවාහන ජාලයකින් සම්බන්ධ වෙලා තියෙන්නේ. මේ කාර්යක්ෂම ප්‍රවාහන සැලැස්ම ගැන මම පස්සේ ලියන්නම්. මේ සියල්ලටම එකම කාඩ්  එකකින් ගෙවන්න පුළුවන්. ඒ වැඩේ ලංකාවේදී කරන්න අපි වරින්වර දරපු උත්සහ වතුරේ ගිය හැටි මට මේ ගමන්වලදී නිතර මතක් වෙන දෙයක්.
එදා සෙනසුරාදා දවසක  මුල්වරට  ආසියානු  කලාපයේ ගුවන්තොටුපළට  යන්න පිටත් වුනේ යානය එන්න පැය දෙකකටත් කලින් . මේ ගමනට මගේ මිතුරෙකුත් එකතු වුනා . මුලින්ම ගෙවල් කිට්ටුව තිබ්බ මෙට්‍රෝ  ස්ටේෂන් එකෙන් දුම්රියේ නැගල ටික දුරක් ගිහින් තවත්  මෙට්‍රෝ ලයින් එකකට මාරුවෙලා අපි සේන්දු වුනා බොස්පරස් සමුදුරු ඇළ  ඉවුරේ පිහිටි ප්‍රසිද්ද තොටුපල නගරයකට. එහි නම යෙනිකපි . ඒ වචනේ තේරුම  'අලුත් දොරටුව' කියන එක. ඇත්තෙන්ම ඒක සංචාරකයන්ට අලුත් දොරටුවක් . මෙතනින් අනෙක් මහද්විපෙට යන මගී යාත්‍රා වගේම මුහුද යටින් යන මාමරායි  උමං  දුම්රිය ගන්නත් පුළුවන්. අපේ උඩරට මැණිකේ කියල කෝච්චියට කියනව වගේ මේ රටේ කෝච්චි පාරවල්වලට  නම් තියෙනවා. කෝච්චි පාරට කියන්නේ රායි කියල  . මාමරායි  කියන්නේ මාමරා මුහුද හරහා  යන කෝච්චි පාර . බුර්සා නගරයේ මෙට්‍රෝ දුම්රිය බුර්සාරායි  .

මුහුද යටින් යන දුම්රියේ ආසියානු කලාපයට ගිහින් එතනින් සබිහා ගොක්චාන් ගුවන්තොටුපලට යන්නම වෙන් කරලා තියෙන
මෙට්‍රෝ රියට ගොඩ වුනා .
කොහොමහරි සභිහා  ගොක්චාන් අලුත් ගුවන් තොටුපළට ළං වුනාට පස්සේ අපේ විඩාව දුරු වුණා. අනෙක ඒ ගමනේදී ඇස ගැටෙන  වටපිටාව හරි දර්ශනීයයි.   එය කුඩා හුරුබුහුටි  ගුවන්තොටුපලක් . අපේ කටුනායක ගුවන්තොටුපලට වඩා තරමක් විශාලයි . ඒත්  කටුනායක ගුවන්තොටුපලේ වගේ කිහිපගුණයක්  මගීන් හා යානා යනවා එනවා . ආපසු එන ගමනේ මම කලින් දවස්වල කියවපු හා විස්තර එහෙන් මෙහෙන් අහගත්ත සබිහා ගොක්චාන්ගේ කතාව බිරිඳට කිව්වා. ඇය කතන්දරයක් අහන පොඩි ළමයෙක් වගේ අහගෙන ආවා.

ඔයා දන්නවද සබිහා ගොක්චාන් කියන්නේ 1913 අවුරුද්දේ ඉපදිලා 2001 වෙනකම් ජිවත් වෙච්ච යුධ ගුවන් නියමුවරියක්. ඇය ලෝකයේ පළමු යුධ ගුවන් නියමුවරිය විදිහට ගිනස් පොතටත් ගිහින් . ලෝකයේ ගුවන්ගමන් ඉතිහාසය ගැන කතා කරද්දී ඇයට විශේෂ තැනක් අයිති වෙනවා . ඒ නිසාම තමයි ඇය මියගිය අවුරුද්දෙම විවෘත කරපු මේ ගුවන්තොටුපළ ඇගේ නමින් නම් කරලා තියෙන්නේ .
සබිහා කුඩා කාලයේදීම දෙමාපියන් මියගිය අනාත දැරියක්. ඇගේ පියා ප්‍රාදේශීය නිලධාරියෙක් . 1925 දී නවීන තුර්කියේ නිර්මාතෘ එවකට ජනාධිපති අටාටුර්ක්ට මේ දැරිය මුණ  ගැසෙන්නේ අපූරු විදිහකට. ඒ එවකට ඇය ජීවත්ව සිටි  බුර්සා නගරයේදී . රටේ නායකයාට මේ  විශේෂ දක්ෂතා තියෙන දැරිය මුණ ගැස්සවීමට කවුරුන් හෝ කටයුතු කරලා තියෙනවා . ඒ කතාබහ කරපු ටික වෙලාවේදී ඇගේ ඉගෙනගැනීමේ ආශාව හා කුසලතාව දකින ජනාධිපතිවරයා ඇය රැකබලාගෙන උගන්වන්න පියවර ගන්නවා . ඒ අනුව ඇයට අන්කාරා අග නගරයේ උසස්ම පාසැලක ඉගෙන ගන්න ලැබෙනවා , යන්තම් තුරුණුවියට එද්දී ඇගේ අගේ එකම සිහිනය  වූ ගුවන් නියමුවරියක් වීමේ ආශාව  ඉටුකර ගැනීමට ඇයට  ඒවියේෂන් පුහුණු පාසලකට යන්න ලැබෙනවා . 

ඒ වෙනකොට සියවස් ගණනක් සම්ප්‍රදායික අධිරාජ්‍ය පාලනයකට නතුවෙලා තිබ්බ තුර්කියේ සිටි කාන්තාවන් විවෘත ලෝකයේ ඉදිරියට ගැනීම සඳහා දිරිගැන්වීමේ රෝල් මොඩල් එකක් වෙන්න සබිහා ගොක්චාන්  සමත් වෙනවා. කාන්තාවන්ට අයත් නැති පිරිමින්ට වෙන් වූවායයි සලකුණ බොහෝ රැකියාවලට  කාන්තාවන් යොමුකරන රජයේ වැඩ පිළිවෙලට ඇය නිසා රුකුළක් ලැබුණා . 
නවීනත්වය, කාන්තාවන් හා ළමයින් ඉලක්ක කරගෙන පසුගිය සියවසේ මේ රට විශාල වැඩ කොටසක් කරලා තියෙනවා. සබිහා ගොක්චාන්  ඒ කාරියේදී  සන්නාම තානාපතිනියක් හැටියට ඉස්මතු වෙලා තියෙනවා    .ඇය ගැන මේ රටේ පාසල්වල උගන්වන බව අපේ කන්තෝරුවේ හිතවතෙක්  බොහොම ගරුසරු ඇතිව කිව්වා .
ඒ වගේම ගුවන් නියමුවරිය්ක් වෙනුවෙන් රටේ විශාලතම නගරයේ දෙවන ජාත්‍යන්තර ගුවන්තොටුපල නම්කරල ඇයට උපහාර දක්වන්න රජය හා රටවැසියන් කටයුතු කරලා තියෙනවා.
මම මේ කතාව  කිව්වට පස්සේ ආසන්න රුමෙනියාවට පැයක ගුවන් ගමනකින් නිතර යනෙන  මගේ මිතුරෙක් ඒ ගමන යන්න ළඟ තියෙන ගුවන් තොටුපළට නොයා පැය  දෙකක් මෙට්‍රෝ ගමනකින් ආසියානු කලාපයේ සබිහා ගොක්චාන්  ගුවන්තොටුපලට ගිහින් තිබ්බා .
අපි ඊළඟ වතාවේ  ලංකාවට එනකොටත් සබිහා ගොක්චාන් බලාගෙන එන්න තමයි හිතාගෙන ඉන්නේ .

(මේ ලිපිය මුලින්ම පළවුනේ සිළුමිණ ඉරිදා සංග්‍රහයේය)

Sunday, December 1, 2024

බල්ලන් හා පූසන්ගේ නගරය -ඉස්තාන්බුල් දිනපොත 5

 

ම අපේ නිවාස සංකීර්ණයේ ඉහළ මහලක ඉඳන් පළවෙනි තට්ටුවට විදුලි සෝපානෙන්  බහිද්දි අටවෙනි තට්ටුවෙන් ගොඩ වුණු තරුණියක් බල්ලෙකුත් වඩාගෙන හිටියා. බොහොම හුරුබුහුටි  බලු පැටියා  මා දිහා බලමින් හෙමින් බුරන්නට වුණා. බල්ලාගේ හිමිකාරිය මා දෙස අහිංසක ලෙස බලා සමාව අයදින ආකාරයෙන් හිනා වුණා. මම පෙරලා මදහසක් පෑවා . ඒ අතරේ පස්වෙනි තට්ටුවේදී නතර වූ විදුලි සෝපානයට ගොඩ වූයේ වියපත් කාන්තාවක් .ඇය පසුපස පුෂ්ටිමත් දුඹුරු පැහැ බළලෙක් ගොඩ වුනා. කාන්තාව බළලා සමග කතා කරමින්ම සිටිද්දී  දෙවැනි තට්ටුවේ ලිෆ්ට් එක නතර වුනේ මුලින් කී  බල්ලා  කැටුව  යන කාන්තාවට බහින්න. ඒ අතරේ අර බළලාද එලියට පැන ගත්තා. වැඩිහිටි කාන්තාව බොහෝ කළබලයට පත්ව, බළලා නැවත ලිෆ්ට් එක තුලට  ගන්න උතසහ කරත් ඌ යලි ආවේ නෑ .විනාඩි දෙකක් තුනක් මේ නිසා අපට  ප්‍රමාදත් වුනා . ඔවැනි සිදදී මේ නගරයේදී ඉතා සාමාන්‍ය දේවල් .

බොහෝ ගෙවල්වල නෙක වර්ගවල බල්ලන් හදනවා  .බළලුන්  බොහෝවිට ජීවත් වන්නේ  ගොඩනැගිලි හා වෙළඳ සැල් ආශ්‍රිත උන්ටම වෙන්වූ අහුමුළුවල.  ඊට අමතරව පාරේ නිදහසේ ඔබ මොබ යන බල්ලන් හා බළලුන් එමට සිටිනවා . මම මේ මහල් ගොඩනැගිල්ලට මුලින්ම පදිංචියට  ආ සතියේ එළිමහනට ගොඩ වූ වෙලාවක  හොඳින් වැඩුණු බල්ලන් දෙදෙනෙක් මා දෙසට  ඇවිදගෙන ආවා. එකෙක් කළුයි අනෙකා සුදුයි. කළු බල්ලා  මා දෙස බලා නැවතී බුරන්නට වුනා . මේ සිද්දිය දුටු  අසලින් ගිය පිට්සා බෙදන තරුණයකු සිය බෑගයේ  වෙනම කොටසක දාගෙන තිබූ පීසා කැබලි කිහිපයෙන් දෙකක් බල්ලන් දෙදෙනාට දී මා දෙස හිතවත්ව බැලුවා. ඒ සිද්දියෙන් පසු කිසිම දවසක් මේ බල්ලන් දෙදෙනා මම එනු දැක බුරන්නට හෝ වෙනත් ප්‍රතිචාරයක් දක්වන්නට ගියේ නෑ . දැන් අවුරුද්දක් තිස්සේ අපේ නිහඬ සමාදානය පවත්වාගෙන යනවා . 

තවත් දිනෙක මම සුපිරි වෙළඳ සංකීරණයක් යාබදව වැටී  තිබූ අඩිපාරක් දිගේ ඇවිදගෙන යද්දි මා ඉදිරියෙන් ගිය තරුණියක් එක වරම නතර වී  බලා සිටියා. ඉදිරියෙන් පාර හරස් කරගෙන සිටින කළු බල්ලකු එවිට මට පෙනුණා . මම දැනසිටි පරිදි මෙරට තරුණියන් ,තරුණයන් සහ ළමයින් බල්ලන්ට හා බළලුන්ට බය නෑ . පාරේ තොටේ දුටුවොත්  ඔවුන්ව අල්ලාගෙන හුරතල් කරනවා. ඒත් මේ තරුණිය බල්ලා සිටින පැත්තෙන්වත් යන්නට බයෙන් ඉන්නවා . ඉතින් මම ඇයත් සමඟ බල්ලා මඟහැර තරමක් ඉදිරියට යද්දී ඇය මට පැවසුවේ ඇය ඉස්තාන්බුල් නගරයේ පදිංචිකාරියක් නොවන බවත් අසල්වැසි රටක සිට ඉගෙන ගැනීමට මේ රටට පැමිණ බවත්ය. ඒ නිසා මේ නගරයේදී  දුටු බල්ලන් හා බළලුන්ට දක්වන ලෙන්ගතුකම ඉස්තාන්බුල් වැසියන් කෙරෙහි වූ විශේෂ ගතිගුණයක්. 

 ඉස්තාන්බුල් නගරයේ සිටින බල්ලන්ට හෝ පූසන්ට ස්ට්‍රේ හෙවත් 'අයාලේ යන' යන වචනය යෙදීම බොහෝ නගර වැසියන් ප්‍රතික්ෂේප කරනවා. මේ නගරයේ බල්ලන් හා පූසන් අයාලේ යන්නේ නෑ. මේ නගරය තමයි ඔවුන්ගේ නිවහන . ලක්ෂයකට අධික බල්ලන් සංඛ්‍යාවකුත් ඒ හා සමානම හෝ ඊටත් වැඩි බළලුන් ගණනකුත් ඉස්තාන්බුල් නුවර තැනින් තැන තමන්ගේ ගෙදර වගේ බොහොම තේජාන්විතව සැහැල්ලුවකින් සහ විශ්වාසයකින් ජිවත් වෙනවා. බොහෝ  නගරවාසීන් ඔවුන් සමඟ ඉතා මිශ්‍රශීලීව කටයුතු කරනවා. පාරේ සිටින බල්ලන්ට හා පූසන්ට කෑම බෙදමින් යන මිනිසුන් හා ගැහැණුන් සිය දෛනික රාජකාරියක් සේ සලකා එය ඉතාම භක්තියෙන් කරනවා. අපේ වැඩබිමට අසල ගම්වලින් පැමිණි බල්ලන් හත් අට දෙනෙකු  සිටිනවා. උන්ව හුරතල් කිරීම තමයි අපේ වැඩබිම් සේවකයන්ගේ කෑමෙන් පසු විවේක සතුට . 

සෑම සාප්පු හා නිවාස සංකීර්ණයක් අසලම වාගේ ලස්සන බළල් කුඩු හා බලු කූඩු තිබෙනවා. හොඳ බඳුන්වල කෑම හා වතුර දමා තිබෙනවා. මේවා හිස් වී තිබෙනවා දුටුවොත් ළඟම තියෙන කඩයට ගොස් හෝ කෑම පැකට්ටුවක් ගෙනවිත් දමන්න ඕනිම කෙනෙක් ඉදිරිපත් වෙනවා    . සමහර කඩ හිමියන් වතුර නලයකින් පාරේ සිටින බල්ලන් නාවනවා මම දැක තියෙනවා. බොහෝ නිවැසියන් සුරතලයට බලු පැටියෙක් හදනවා. පාරේ සිටින බළලුන් සුරතල් කරනවා. ඉස්තාන්බුල් නගරයේ බල්ලන් හා බළලුන් ගැන ලිපි ලේඛන හා වාර්තා චිත්‍රපට රැසක් නිර්මාණය වී තිබෙනවා .  2016 වසරේ නිර්මාණය වූ ලෝ පුරා ජනාදරය දිනු Kedi වාර්තා චිත්‍රපටය එවැන්නක්  . 

මේ රටේ සිටින කාන්ගල් නම් ශෙපර්ඩ් වර්ගයේ  බල්ලන් දෙමුහුම් විශේෂයක් .මෙම බල්ලන්ගේ ජාන අනුව ඔවුන් කසකස්ථානය, උස්බෙකිස්ථානය හා තජිකිස්ථානය ආදී ටර්කික් රටවල සිටින බල්ලන් හා නෑකමක් දක්වන බව වරක් මම ලිපියක දුටුවා .   බල්ලන් ඉස්තාන්බුල් වැසියන් හා මේසා ලෙන්ගතු කමක් දක්වන්නේ දුරාතිතයේ පටන්, ඔවුන්ගේ බැටළුවන් බලා ගන්නට එකතු වූ නිසා වෙන්නට ඕනි . මේ ආකාරයෙන් බල්ලන් , පූසන් හා මිනිසුන් අතර බැඳියාවේ කතාව හැම විටම සුන්දර නෑ . බල්ලන්ට හා පුසන්ට කැමති මිනිසුන් මෙන්ම නොයෙක්  හිරිහැර නිසා නගරය උන්ගෙන් නිදහස් විය යුතුයි  කියන පිරිසකුත් ඉන්නවා. ඊට අමතරව දැඩි උණුසුම් හා දරුණු  ශීත  කාලයේදී බල්ලන් හා බළලුන් පීඩා විඳිනවා . අසනීප වූ හා හාමත් වූ බල්ලන් ගැන වැඩි වශයෙන් වාර්තා වුනේ කොවිඩ් වසංගත සමයේ. ඒත් ඒ දුෂකර සමයේත් සතුන් ගැන සොයාබලා  සහන සැපයු මිනිසුන්, ආයතන  හා සංවිධාන ගැන තොරතුරු සෑහෙන්න තිබෙනවා.  

 බල්ලන් නගරයෙන් ඉවත් කිරීමේ අසාර්ථක උත්සාහයන්ද දරා තිබෙනවා. ජල භීතිකා රෝගය හා සපා කෑම්  නිසා වරින්වර උන් නගරයෙන් වෙන් කරන යෝජනා ආවත් 2004 දී රජය බල්ලන් හා බළලුන් ආරක්ෂා කරගෙන ජන ජීවිතය හා සත්තව ජීවිතය යහපත්ව ගෙන යන විශේෂ නීතියක් සම්මත කරගෙන තියෙනවා. ඒ අනුව උන්ව රැක බලා ගැනීමේ  වගකීම පළාත්පාලන ආයතනවලට පැවරෙනවා .මේ රටේ සත්තව අයිතීන් පිලිබඳ බොහෝ ක්‍රියාශීලි සංවිධාන තියෙනවා. නගර සභාව විසින් විශේෂ මහන්සියක් මේ සතුන්  රැක  බලා ගන්නවා. ඔවුන් වන්ධ්‍යාකරණ හා එන්නත්කරන වැඩ පිලිවල් වගේම බළලුන් හා බල්ලන් වෙනුවෙන් ගිලන් රථ සේවාද පවත්වාගෙන යනවා. සතුන් රැක  බලා ගන්නා මධ්‍යස්ථාන හා ආහාරපාන වෙනුවෙන්ද සැලකියයුතු මුදලක් වෙන් කෙරෙනවා. නගරයේ මා දුටු සෑම බල්ලෙක්ගේම වගේ කණේ  කුඩා ටැග් එකක් දුටුවා . එහි අඩංගු වන්නේ බල්ලන්ගේ එන්නත්කරණ  හා වන්ධ්‍යකරන්‍ය හා අදාල වූ තොරතුරුලු . මේ ආශිත වූ දත්ත පද්දති පමණක් නවෙයි සතුන්ගේ තොරතුරු බෙදා හදාගෙන උන් රැකබලා ගන්නට කැප වූ ජන සහභාගිත්වයෙන් ක්‍රියාත්මක  වන මොබයිල් ඇප් කිහිපයක් ගැනද මට අසන්නට ලැබුනා .

 බල්ලන් හා බළලුන් නගරයෙන් වෙන් කරනවා වෙනුවට ඔවුන්ව අල්ලා එන්නත් කරන්නත්, වන්ධ්‍යකරණය කරන්නත්, උන්ට අහර හා සෙවණ සලසන්නත් ඉතා සාර්ථක වැඩ සටහන් කිර්යත්මකයි . ඉදිරි කාලයේදී උන් වෙනුවෙන් AI තාක්ෂනය ආශ්‍රිත පහසුකම්ද සැපයෙනවා නොඅනුමානයි . මොනවා උනත් ඉස්තාන්බුල් නගරයේ ජීවිතය  කියන්නේ පුරවැසියන්, මංමාවත් , ගොඩනැගිලි  හා ඉතිහාසගත ස්ථාන විතරක් නෙවෙයි. ඊට බල්ලන්  හා පූසන්ද ඇතුලත්  වෙනවා  .


-මෙහි මුල් කොටස 2024 නොවැම්බර් 10 දින සිළුමිණ පත්‍රයේ පළවිය