Sunday, November 24, 2024

මගේ හපන්කම් හා ගෆුර් ගුලොම් -ඉස්තාන්බුල් දිනපොත 4

                     

ම කලක්  කසක්ස්තානයේ ඇතිරෝ   නගරාසන්න  ඛනිජ තෙල් කැණීම්  සම්බන්ධ සමාගමක   සේවය කළෙමි . ඇතිරෝ යනු කැස්පියන් මුහුද අද්දර පිහිටි භුගොලියව යුරෝපයට අයත් එහෙත් ආසියාතික නගරයකි. ඉස්තාන්බුල් යුරෝපීය කොටසත්ඒ වගේම පිහිටීමක් ඇති නගරයකි. එය භුගොලීයව  යුරෝපයේ තිබුනාට තාමත් ආසියාතික රටකට අයත් ආසියාවේ මුල් තිබෙන වැසියන් බහුතරයක් වෙසෙන රටකි . ඇතිරෝ නගරයේ සිට  කැස්පියන් මුහුදේ නැගෙනහිර ඉවුරට සමාන්තරව ස්ටෙප් තණබිම දිගේ කිලෝමීටර් තුන්සීය පණහක්  පමණ දකුණු දිසාවට යනවිට ටෙන්ගීස් ඛනිජ තෙල් ගම්මානය හමුවෙයි, මේ වැඩබිමේදී මට බොහෝ තුර්කි ජාතිකයන් හමු වී තිබේ.

තුර්කි  අසර්බයිජාන්, ටර්ක්මෙනිස්තාන් , කිර්ගිස්තාන්, තජිකිස්තන්    හා උස්බෙකිස්තාන්  ආදී මධ්‍යම ආසියාතික හෝ  යුරේසියානු පුරවැසියෝ බොහෝ දෙනෙක් අප සමාගමේ  සේවය කළ  අතර ඔවුන් සියලු දෙනාට තම තමන්ගේ භාෂාවලින් කියන දේ එකිනකාට වැටහෙන නිසා ඉතා පහසුවෙන්  සන්නිවේදනය කර ගත හැකි විය. මෙන්න මේ  භාෂා කලාපය ටර්කික් භාෂා කලාපයයි.  කැස්පියන් මුහුදේ නැගෙනහිර ඉවුර හා කිලෝමීටර් සිය දහස් ගණනක් නැගෙනහිර දිසාවට විහිදී ගිය ස්ටෙප් භුමි කලාපයේ ටර්කික් ජනයා මුලින්ම ජිවත් වී ඇත. දැන්  කැස්පියන් මුහුදේ බටරා  දිශාවට වෙන්න පහිටි තුර්කියේ සිටින මුල් තුර්කි  ජාතිකයන්  ලෝකයේ සිටින විශාලම ටර්කික් ජන කොටසයි . දෙවන වැඩිම ටර්කික්  ජනයා සිටින්නේ උස්බෙකිස්තනයේය . මේ ආකාරයට තුර්කියේ සිට මොන්ගෝලියාවේ, චීනයේ හා රුසියාවේ සමහර ප්‍රදේශවලද ඇතුළුව මිලියන් දෙසීයක් පමණ ටර්කික් ජනතාවක් ලෝපුරා වෙසෙති .
ටර්කික් රටවල්වල භාෂා අතර යම් යම් වෙනස්කම් තිබුනද අක්ෂර හෝඩියේ වෙනස්කම් තිබුනද එදිනෙදා ජිවිතයේ භාවිතාවෙන වචන සිය ගණනක් එක හා සමානය. මෙන්න මේ භාෂා සමානාත්මතාව මිනිස් සම්බන්ධතා පාලමක් වන හැටි කියන්නට උදාහරණ තිබේ.  කසක්ස්ථානයේදී අප සමග සේවය කළ තුර්කි ජාතික තරුණ ඉංජිනේරුවන් තිදෙනෙක්ම කරකාර බැඳ ගත්තේ කසාක්ස්තාන් තරුණියන්ය. ඔවුන් දැන් සිය පවුල් පිටින් තුර්කියට පැමිණ  ඉස්තාම්බුල් නගරයට තරමක් දුරබැහැර ප්‍රදේශවල වාසය කරති . තවමත් නොවෙනස් වූ අපේ මිත්‍ර සමාගම නිසා මේ නන්නාදුනන රටේදී  මට තනිකමක් නොදනුනේය .එහෙත් අපේ භාෂාවට ඉතා වෙනස් මූලයක් තිබෙන ටර්කික් භාෂාව හෝ කසාක් භාෂාව අපට පහසුවෙන් ඉගෙන ගැනීමට බැරිය.

කසාක්ස්තාන් වැඩබිමේදී අපේ භාෂා පරිවර්තිකාව වූ උස්බෙක් ජාතික අයිසුලුට  උස්බෙක්, කසාක් හා තුර්කි යන ටර්කික් භාෂාවලට අමතරව ඉංග්‍රීසි හා රුසියානු භාෂාද චතුර ලෙස කතා කරන්නට පුළුවන්  විය . එකම භාෂා පවුලකට අයත්` භාෂා රාශියක් කතා කරන්නට පුළුවන් වීම  සමාජ, සංස්කෘතික  හා  ආර්ථික කටයුතුවලදී ඔවුන් සියලු දෙනාට වාසිදායකය . අනෙක් අතට අපේ රටේ ප්‍රධාන භාෂා දෙක වන සිංහල හා දෙමල භාෂා මුලාශ්‍ර  දෙකකින් පැවතෙන නිසා අප එකිනෙකාට අපේම භාෂා ඉගෙන ගැනීම අපහසු වී ඇත. නොඑසේනම් අපේ රටේ ඉතිහාසය මීට වඩා සුන්දර වන්නට ඉඩ තිබිණි.

කසක්ස්ථානයේදී අපේ පරිවර්තිකාව වූ උස්බෙක් තරුණියගෙන් මම ගෆුර් ගුලොම්  දන්නවාදැයි ඇසුවෙමි. මම ළමා කාලයේදීත්  තරුණ කාලයේදීත් දහ  පහළොස් වතාවක් කියවා ඇති දැදිගම වී රුදෘගු විසින් සිංහලට  පරිවර්තනය කළ  උස්බෙක් ලේඛක ගෆුර් ගුලොම්ගේ 'මගේ හපන්කම්' ගැන කියද්දී ඇය ප්‍රීතියෙන් පිනා ගියාය. එය ඔවුන්ගේත් ජනප්‍රියම පොතකි. ඇය  මට ඒ පොත ඇසුරෙන් නිපදවූ 'ෂුම් බෝලා' චිත්‍රපටය ගැනද කිව්වාය .

කාලය කෙමෙන් ගෙවී ගොස් පසුගිය අවුරුදේ මම ඉස්තාන්බුල් නව ගුවන් තොටුපළින්  මේ නගරයට ගොඩ බැස්ස සැනින් මට ගෆුර් ගුලොම්ගේ පොතේ  හිටි කරවොයි නම් වූ පිරිමි දරුවා මතක් වුනේ මක් නිසාදැයි හිතා ගන්නට බැරි වුනේය. මම හෝටල් කාමරයට පැමිණ සඳලු තලයට ගොස් ඈත  තෙරක් නොපෙනෙන තට්ටු ගෙවල්වල ඉඳහිට දකින දුම්කවුළු වන් ඉස්මතුවීම්  දකිද්දී මට හිතුනේ අර දඟකාර පැන්චා කරෙවෝයි හොර මුලෙන් බේරෙන්නට ගෙවල්  පේළියේ වහල දිගේ දුවද්දී ඇද වැටෙන්නට ඇත්තේ මේ පේන කවුළුවකින් වෙන්න ඇති  කියාය .

පාරේ යන දඟකාර කොලු ගැටයින් දකිද්දී කුස්සියෙන් සොරාගත් දුම් තෙල් කුට්ටියක්  බඩතුරේ ගසාගෙන  , බිත්තරයක්  තොප්පියේ සඟවාගෙන කොල්ලන් සමග දුම්තෙල් බත් උයන්නට දුවන කරවෝයි මතක් වුනේය.  මෙන්න මේ හේතුව නිසා ඉස්තාන්බුල් නගරයට සේන්දු වූ පළමු සතියෙම මම ශුම්බෝලා චිත්‍රපටය අන්තර්ජාලයෙන් හොයාගෙන බැලුවෙමි .  ඒ බලද්දී මිට වසර සියයකට පෙර උස්බෙකිස්තානයේ අගනුවර තශ්කෙන්ට් නගරයේ ජීවිතය අද හෝ එදාත් ඉස්තාන්බුල් නගරයේ ජිවිතයට වඩා බොහෝ සෙයින් දුක්ඛදායක එකක් බව  පෙනී ගියේය . අප උඩ පැන  පැන  හිනා වෙමින් කියවූ දඟකාර කරවොයිගේ වීරකම් යටින් දිවෙන  දුක්බර ජිවන අරගලය  ශුම් බෝලා චිතරපටය බලද්දී ඉස්මතු වී පෙනුණේය  .  අනෙක් අතට චිත්‍රපටය අවසන් වන්නේ අකරතැබ්බ පිරි රස්තියාදුව හමාර කර ආපසු ගෙදර එන කරවොයි  සිය මව ඉන් දින කිහිපයකට පෙර මිය ගියායැයි  දැන ගන්නා ශෝකිය ජවනිකවත් සමගය. සමහරුන් කියන්නේ චිත්‍රපටයේ කතාව ගෆුර් ගුලොම්ගේ සත්‍ය ජිවිත කතාවට සමීප කරන්නට ඒ වෙනස කළ  බවයි. ගෆුර්ගේ මවත් ඔහුට වයස අවුරුදු 9ක් වෙද්දී මිය ගියාය.

කෙසේ වතුදු මට කියන්නට වුවමනා කරන්නේ ටර්කික් ජන කොටසකින් විකාශනය වී තුර්කියට ආ ජනයා සෙසු මධ්‍යම ආසියාතික රටවලට  වඩා ප්‍රගතියක් ලබා ඇති බවයි. අනිත් අතට ග්‍රීසියේ, රෝමයේ හා යුරෝපයේ මුසුවීම් , ඔවුනට සියවස් ගණනාවක තිස්සේ  ප්‍රතාපවත් නගරයක් පවත්වා ගන්නට ඉඩ සලසා තිබේ.

 මේ කලාපයේ භාෂාවට හා සාහිත්‍යයට ටර්කික්  ජනතාවගෙන් ලැබූ පෝෂණය අමතක කරන්නට බැරිය. ලෝකය පුරා සිටින ටර්කික් ජනතාවගේ සංස්කෘතික කටයුතු රැකගනු වස් ටර්ක්සොයි නමින් වෙනම සංගමයක් බිහි වී තිබේ. පසුගියදා එම සංගමයේ වෙබ් අඩවියක අපූරු පුවතක් මම කියෙව්වෙමි . මේ අවුරුද්දේ මාර්තු මාසයේ තුර්කි අගනුවර අන්කාරා නගරයේදී ගෆුර් ගුලොම්ගේ 120 වැනි ජන්ම දිනය සමරනු වස් ඔහුගේ 'තරු පිරි අහස' පොතේ තුර්කි පරිවර්තනය එළි   දක්වා තිබේ. මේ උත්සවයට  විශේෂ අමුත්තෙක් වශයෙන් ගෆුර් ගුලොම්ගේ දියණියක්ද සහබාගි වී තිබුනේය.  ඇය  සඳහන් කර තිබුනේ සිය පියා ලෝ පුරා වෙසෙන සමස්ත ටර්කික් ජනතාවගේ හැඟීම් තේරුම් ගෙන ඔවුන් වෙනුවෙන් ලියු බවයි.

2023 වසරේදී BBC ආයතනය විසින් ලොව මෙතෙක් බිහි වූ හොඳම ළමා පොත් අතරට ගෆුර් ගුලොම්ගේ දඟකාර පොඩ්ඩා හෙවත් ශුම් බෝලා  පොතද තෝරාගෙන තිබුනේය . ඒ අනුව බලන කළ  ටර්කික්  සාහිත්‍යය ඒ කලාපයට පමණක් නොව සමස්ත ලෝකයටම ආලෝකයක්  සපයා තිබේ.

මෙහි මුල් ලිපිය 2024 නොවැම්බර් 3 දින සිළුමිණ ඉරිදා සංග්‍රහයේ පළවිය 



Saturday, November 16, 2024

තුර්කි පාතරාසයක රස ( ඉස්තාන්බුල් දිනපොත 3)

                                               

කෙටි හෝ සංචාරයකට තුර්කියට ගොස් තිබෙනවානම් ඔබ අනිවාර්යයෙන්ම තුර්කි පාතරාසය හෙවත් ලෝක ප්‍රසිද්ධ ටර්කිෂ් බ්‍රෙක්ෆස්ට් එක රසබලා තිබෙනවා නොඅනුමානයි . තුර්කියේ සමාජයීය , සංස්කෘතික හා අහාර රටා ගැන සමස්ත කතාව මේ තුර්කි පතරාසයේ තියෙනවා .

එඬේර යුගයේ සිට තැනින් තැනට ගොස් ජිවත් වූ මේ කලාපයේ ජනයා සිය ජංගම අහර ගබඩා ලෙස රැගෙන ගියේ එළුවන්, බැටළුවන් හා හරකුන් . ඒ නිසා කිරි හා මස් සම්බන්ධ කෑම වට්ටෝරු සිය ගණනක් මේ ජනයා අතරේ තිබෙනවා . චීස් , බටර් හා ක්‍රීම්  වර්ග විශාල ගණනක් ගෘහස්තව නිපදවා ගන්නවා.
මෙන්න මේ හේතුව නිසා තුර්කියේ  පාතරාසය හෙවත් ප්‍රධාන ආහාර  වේල චීස් හෝ බටර් සමග පාන්  මූලිකව  සැකසී තිබෙන්නේ දුරාතීතයේ පටන්මයි . මේ සරල උදෑසන අහර කෙමෙන් කෙමෙන් විකාශනය වීමෙන් අද තිබෙන විචිත්‍ර තුර්කි පාතරාසය නිර්මාණය වී තිබෙනවා  .  

ගේදොර, ගෘහ භාණ්ඩ පමණක් නොව කෑම බීම පවා  විච්ත්ර ලෙස නිර්මාණය කර ගන්නට තුර්කි ජනයා කැමැත්තක් දක්වනවා . පාන් ගෙඩියක වුනත් කැටයම් හා  මෝස්‌තර දමන්නට  ඔවුන් කැමතියි  ,

තුර්කියේ විශේෂ ආහාර වට්ටෝරු හා පුරුදු  බොහෝ තිබෙන අතර ඉන් වැදගත්ම වන්නේ  අහාර ගැනීම සමාජ හා සංස්කෘතික කාරණයක් ලෙස සැලකීම . කොටින්ම ඔවුන්ට පොහොසත් ආහාර  සංස්කෘතියක් තිබෙනවා  .
 
කෑමට පෙර  හමුවන සියලු දෙනා උණුනුන්ට   යහපත් ආහාරයක් වේවා යන අරුතැති  ' ආපියෙට් ඔල්සුන් ' කියා  සුබ පතා ගන්නවා  .සමහර විට උදේට 'ගුඩ් මෝනින්'  කීවත් සද්ද නැතිව ඔහේ ඉන්න සමහරුන් කෑම වෙලාවේදී එකිනෙකාට උණුසුම්ව සුබ පතා ගන්නට පැකිළෙන්නේ  නෑ . තුර්කි ජාතිකයන් උදෑසන අහර වේල  සලකන්නේ දවසේ සුවිශේෂම ආහාරය ලෙසයි. නිවාඩු දවසකනම් අහර පිළියෙළ කර ගන්නට ඉතා සුළු වේලාවකුත් ආහාරය භුක්ති විඳීමට  ඉතා දිගු වෙලාවකුත් ගැනීම ඔවුන්ගේ පුරුද්දක් . මේ තරම් අහර ද්‍රව්‍ය පිරුණු මේසයක් ඉක්මණින්  පිළියෙළ කරන්නේ කොහොමද? එය පහසුයි . මෙහි තිබෙන සියයට අනූවක් පමණ වන චීස් වර්ග, බටර්, යෝගට් මිශ්‍ර ආහාර  , ජෑම් වර්ග , ඔලිව් ආදී සියල්ල සති ගණනකට පෙර  සුදානම් කර ගන්නා ඒවා. එවෙලේ කරන්නට  තිබෙන්නේ අලුත් පාන් ගෙඩියක්, අලුත් කොළ , තක්කාලි හා කියුකම්බා ගෙඩි පෙති ගසා ගැනීමය .
ඉතින් මේ හේතුව නිසා අපට නොලැබෙන වාසියක් ඔවුන්ට අත් වෙනවා . ඒ ගෙදර ගෘහණිය සමග   සියලු පවුලේ සාමාජිකයන් හා අමුත්තන් එක්ව වාඩි වී සොම්නස් කතා බහක යෙදෙමින් බොහෝ වෙලාවක් කෑම  ගැනීම‍ට  ලැබීම. බඳුන් සියල්ල එකවර මේසයේ අසුරා ගන්න නිසා වරින්වර අලුත් දීසි ගෙන ඒමත්  ' අනේ තව ටිකක් කන්ටකෝ' කියා පෙරැත්ත කිරීමක් අවශ්‍ය වෙන්නේ නෑ.

අප  වරක් ගිය ප්‍රාදේශීය සංචාරයකදී නවාතැන් ගත්තේ යුවලක් විසින් පවත්වාගෙන යන කුඩා ගෙස්ට් හවුසියකය. කොටින්ම එය ගෙදරක්මය. සියලු අමුත්තන් වෙනුවෙන්  අහර ගෙනත් තැබුවාට පසු මේ යුවළද අප හා අනිත් අමුත්තන් සමග වාඩි වී අල්ලාප සල්ලාපයේ යෙදෙමින්   අහර ගත්තෝය.  මම මුල්ම වරට සම්පුර්ණ තුර්කි පාතරාසයක  රස වින්දේ ඔවුන්ගේ නිවෙසේදී.

කාර්ය බහුල බව නිසා බොහෝ දෙනෙක්ට ඔය තරම්  කාලයක් අරගෙන නිතිපතා කෑම  කන්නට ලැබෙන්නේ නෑ . ඒත් ඉරිදා දවස නම් ඔවුන් මේ සඳහා වෙන්කරගෙනම තියෙනවා . සෙනසුරාදා මුළු රත්රියම  වැඩිපුර නිදිමරණ බොහෝ නගරවැසියන්  බොහෝ දෙනෙක් ඉරිදා අවදි වන්නේ උදේ දහයෙන් පසුවයි . ඉන්පසු උදේ කෑම දෙන අවන්හලකට ගොඩවන සමහරුන්  තේ බොමින්, දුම් බොමින් පැය දෙකකට වැඩි කාලයක්  වැය  කරන්නේ පාතරාසය ගැනීමට .
වතාවක් අපි වන උයණක්  බලන්නට ගොස් එහි කෙළවරක තිබූ  ප්‍රියමනාප  රෙස්ටෝරන්ට් එකකට ගොඩවැදී  දවල් කෑම ඉල්ලුවේ දවල් දොළහට විතර. අපිව කාරුණිකව පිළිගත් වෙටර්වරයෙක් ඉල්ලා සිටියේ තව  පැය බාගයක් ඉවසා සිටින ලෙස. ' තාම  අපේ කස්ටමර්ස්ලා උදේ කෑම  ගන්න ගමන්'  ඔහු කිව්වේ  සුහද සිනහවක් පාමින් .  මේ පැය  බාගය තිස්සේ  විසල් භෝජනාගාරය සිසාරා බැලුම් හෙළූ   මට පෙනී ගියේ සශ්‍රික හා විචිත්‍ර අහාර මේස වටා ඉඳගෙන නිවී සැනසිල්ලේ සතුටු සාමිචියේ යෙදෙන අතරේ සොම්නසින් කෑම  කන ගැහැණුන් , පිරිමින් හා දරුවන්.

තුර්කියේ සිටින්නේ බෙහෙවින් නවීකරණය වන ජාතියක් නිසා ඔවුන්ගේ අහාර වට්ටෝරුද නිරතුරු නවීකරණය වෙනවා . ඒ වුනත් මේ සියල්ල වෙන්නේ සිය අනන්‍යතාවයද පවත්වා ගනිමින්  . තුර්කි පාතරාසයක අනිවාර්යයෙන්ම පාන් පෙති පිගානක් තිබෙන අතර තේ පෝච්චියක්ද මේසයේ කෙළවරක තිබෙනවා .  ඊට  අමතරව කුඩා කුඩා බඳුන් විස්සක් හෝ තිහක් අතර ප්‍රමාණයක දැමු චීස් වර්ග තුන හතරක්, යෝගර්ට් මුසු කර තැනු  කෑම වර්ග සෝස් , ඔලිව් ගෙඩි වර්ග ඒ අතර වෙයි.
උදේ කෑ ම ගන්න අතරතුර ටියුලිප් හැඩයේ කුඩා වීදුරුවට පුරවා තේ කෝප්ප හතරක් පහක් බීම  ඉතා සාමාන්‍ය පුරුද්දක් .

අපි ගිය ඉරිදා උදේ කෑම  ගත්තේ අපේ නිවාස ආසන්නයේ පිහිටි ප්‍රසිද්ද අවන්හලකින්  . මා සමග ගිය ඉංග්‍රීසි මිතුරා ඇලන්ගෙන්  මේ කෑම  වර්ග අතරින් ඔහු කැමතිම වර්ග දෙක මොනවාදැයි මම ඇහුවා . ඔහු කිව්වේ මීකිරි සමග මීපැණි මුසුව හා බටු සමග මාළුමිරිස් පුළුස්සා සකස් කර තිබූ රස දීසියට වඩාත් කැමති බව  .
අපි දෙදෙනාම කැමති පොදු අහරක් වුයේ මීකිරි  මීපැණි  මුසුවය. තුර්කියේ  මී ගවයන් සිටින බව මා දැන ගත්තේ මේ රස අහාරය ගැන කරුණු විමසද්දිය. ඇත්තටම මේ මුදවපු මීකිරි නොවෙයි.  මිකිරිවලින් ලබා ගත් ක්‍රීම් එකය. එය මී පැණි සමග ගෙන ආවේ අපේ කිරිපැණි රසයට බෙහෙවින් සමාන රහක් .
මම දෙවනියට කැමති වූ  බඳුනනම්  සිහින්ව ලියලා ගත් කැරට්  යා යෝගට් මුසුව.   කියුකම්බා පෙති  සමග මිශ්‍ර කරගත් තවත් යෝගර්ට් බඳුනක්ද තිබුනා.
අපේ මේසයේ තිබුනේ චීස්  වර්ග හතරක්  , ජෑම්  හා චට්නි වර්ග හතරක් , ඔලිව් වර්ග දෙකක් හා ඔලිව් හා ඉරිඟු ඇට දැමූ අච්චාරුවක්, අමු පලා , තක්කාලි පෙති, කියුකම්බා පෙති, කොකෝවා චොකලට්  තවරුම,  බටු හා මාළු මිරිස් ආශ්‍රිත වට්ටෝරු දෙකක අහාර ඇතුළු  අයිතම විසි ගනණක  එකතුවක් . ප්‍රෝටීන් අවශ්‍යතාව සපුරා ගැනීමට බිත්තර තක්කාලි මුසුවක්, විශාල ඔම්ලට් එකක් හා සියුම්ව අඹරාගත් මස් හා තුනපහ මිශ්‍ර ලුණු මිරිසක්ද තිබුන  .

දැන්  ඔබ සිතනවා ඇති මේ සියල්ල සමග අප දෙදෙනාගේ  ආහාර  බිල ඉතා විශාල එකක් කියා. එහෙත් එය ඒ වර්ගයේ ලංකාවේ කෑම  වේලකට වඩා මිලෙන් අඩුයි  . එසේ වන්නේ මෙරට චීස් , බටර් , පාන්, එළවලු හා පළතුරු ඇතුළු මූලික  අහර ඉතා පහසු මිලකට හොඳ තත්වයෙන් මිලදී ගන්නට තිබීම නිසා . කෘෂිකර්මය හා කෘෂි  නිෂ්පාදන බෙදාහැරීමේ ක්‍රියාවලිය ඉතාම ක්‍රමවත්.

අපි මේ අහර බඳුන් සියල්ලෙන් එකක් හෝ මග ඇරෙන්නට නොදී රස බලද්දී එය තුර්කිය වටා ගිය චාරිකාවක් හා සම වුනා  .
ඇප්රිකට් , ෆිග් හා ස්ට්‍රෝබෙරි ජෑම්  රස බලද්දී අපි අන්තාලියාව  හා කළු මුහුද  අද්දර පළතුරු වතුවල ඇවිද්දා .  අඹරාගත්  තල  ඇට  පේස්ට්  එක රස බලද්දී ගොකාවා පළාතේ විශාල කෙත්වතු වල ඔබ මොබ යමින් හිටියා .
වර්ග තුන හතරක් වූ චීස්  වර්ග  රස අපව  කොන්යා දිස්ත්‍රික්කයේ කඳුකර ගොවි  ගම්මානවලට රැගෙන ගියා

තුර්කි  උදේ අහාර වේල කියන්නේ  මුළු තුර්කියම තමයි  . එය තුර්කියට සංචාරකයන් අද්දන බලගතු  කාන්දමක් . 

(මෙය මුලින්ම  පළවුයේ 2024 ඔක්තෝබර් 20 සිළුමිණ පත්තරේය)

Monday, November 11, 2024

ආසියාව, යුරෝපය හා බොස්පරස් -ඉස්තාන්බුල් දිනපොත 2

 

සෙනසුරාදා මම පින්තූර  ප්‍රදර්ශනයක් බලන්න ගියා . ඒක  තිබ්බේ මෙට්‍රෝ ස්ටේෂන් එකක උඩම තට්ටුවේ පිහිටි කලාගාරයේ. උඩම තට්ටුව කිව්වට ඒ  සාමාන්‍ය පොළව මට්ටම. සබ්වේ දුම්රිය මග  තියෙන්නේ මීටර් විස්සක්  විතර පොළව  ඇතුලේ. මේ  ස්ටේෂන් තරමින් විශාලයි. සංකීර්ණයි. හැම එකක්ම කලාත්මක ලෙස නිර්මාණය කරලා තියෙනවා. 

ඉතින්  කලාගාරයේ මේ සතියේ තිබ්බේ හන්ග්රියානු කැමරා ශිල්පින් තිදෙනෙකුගේ පින්තුර. ප්‍රදර්ශනයේ තේමාව ජලය. 

මේ පින්තූර  අතර හංගේරියාවේ ටිස්සා  ගංගාව සම්බන්ධ පින්තූර  කිහිපයක්ම තිබ්බ. ටිස්සා  ගංගාව යුරෝපයේ රටවල් දහයක්  මැදින් එන ඩනියුබ් ගඟේ අත්තක්  මේ ඩනියුබ් ගඟ තමයි කළු මුහුදට වැඩිම වතුර කන්දරාවක් ගේන්නේ. 

ප්‍රදර්ශනය බලල ඉවර වෙලා අපි පේන මානයේ තිබ්බ  කබාටාස් තොටුපළට ඇවිදගෙන ආවා .  තොටුපලට ඔබ්බෙන් පේන විසල් මුහුදු තීරයේ  මගී යාත්‍රා  මෙන්ම වෙළඳ නැව් සෑහෙන ගණනක් එහා මෙහා යනවා . මෙන්න මේ ස්වභාවික මුහුදු ඇළ තමයි බොස්පරස් කියන්නේ . ආසියාව හා යුරෝපය වෙන් කරන අන්තර් මහද්වීපික දේශ සීමාව එයයි . ඒත් පුදුමය කියන්නේ මේ දේශ සීමාවෙන් එතෙර මෙතෙර  තියෙන්නේ එකම නගරයක කොටස් වීම . මම ඉන්නේ යුරෝපියන් කොටසේ . අනෙක් පස ආසියාව. මගේ තුර්කි ජාතික යාලු මිත්‍රයෝ බොහෝ දෙනෙක් ජිවත් වෙන්නේ ආසියානු කොටසේ නොහොත් ඇනටෝලියන් කොටසේ .  ඔවුන් කන්තෝරු ඇරිච්ච හැටියේම ලහි ලහියේ සුදානම් වී බොස්පරස් මුහුදු ජල තීරය   යටින් දුවන මාමරේයි  දුම්රියේ නැගල අනෙක් කලාපයට යනවා. සියුම්ව බලපු කෙනෙකුට  මේ දෙපැත්තේ තියෙන වෙනස්කම්  තේරෙනවා. යුරෝපීයන් කොටසේ තරමක්  තද බදයක් සහිත වාණිජමය ස්වභාවයක් තියෙනවා කියල සමහරු කිව්වට මටනම් හිතෙන්නේ මේ තදබදය මැදින් සුවපහසුව ජිවත් වෙන්න අවශ්‍ය සියලු දේ ඒ කලාපයේ තියෙනවා කියල . බොස්පරස්  සමුදුරු ඇලට ලම්බකව උතුරු දිශාවේ පිහිටි බල්ගේරියානු දේශසීමාව පැත්තට  යනකොට කෙමෙන් මේ ජනාක්ර්ණ බව අඩුවෙනවා.  ඒ වුනත්  ආසියානු කලාපය  තරමක් සරල හා  සශ්‍රික,  ජිවත් වෙන්න වඩා සුදුසු කලාපයක් කියල හිතන මගේ මිත්‍රයන් එක්ක එකඟ වෙන්නත් වෙනවා. 

කිලෝමීටර් තිහක්  දිග   මේ සමුද්‍ර තීරය හෙවත් බොස්පරස් කියන්නේ  ඉස්තාන්බුල් නගරයේ හදවත . මිගමු ජනයාට මිගමු කළපුව වැදගත් වන්නේ යම්සේද ඊජිප්තු වැසියන්ට නයිල් නදිය වැදගත් වන්නේ යම්සේද ඊටත් වඩා බරපතල විදිහට ඉස්තාම්බුල් නගරයටත්, මුළු තුර්කියටමත් , කළු මුහුද ඉවුරේ පිහිටි රටවල් සියල්ලටමත්  , ඩනියුබ් හා ඩොන්  ගංගා හා සම්බන්ධ වෙන අනෙකුත්  රටවලටත් බොස්පරස් මුහුදු මාර්ගය වටිනවා. 

ඉස්තාන්බුල් නගරය දෙකඩ කරන මේ මුහුදු අළ මාර්ගය ලෝක ඉතිහාසයේ වැදගත් කොටසක්, නවීන මුහුදු ගමනාගමනයේත් ලෝක ආර්ථිකයේත් , ජාත්‍යන්තර සහයෝගීතාවෙත් වැදගත් පරිච්චේදයක්. අර මා මුලින් කී පින්තූර ප්‍රදර්ශනයේ දුටු හංගේරියානු ටිස්සා ගංගාව හා සම්බන්ධ ජර්මනිය ඕස්ට්‍රියාව  ඇතුළු යුරෝපයේ රටවල් දහයක් දිගේ එන ඩනියුබ්  ගංගාව වගේම  රුසියානු කලාපය හරහා ගලන අනෙක් ගංගා  දිගේත් ඉතිහාසය පුරා යාත්‍රිකයෝ මේ බොස්පරස් වෙත ඇවිත් එතනින් මධ්‍යදරණී  මුහුදෙන් මහා සාගරයට ප්‍රවේශ  වෙලා තියෙනවා. 

මම ඉස්තාන්බුල් නුවරට ආපු මුල් දවස්වල මේ මහා විසල් නගරය තේරුම් ගන්න පාවිච්චි කරපු බේස්ලයින් එක තමයි බොස්පරස් කියන්නේ. ඒක  හරියට සිතියම් දන්නා කෙනෙකුට කොළඹ නගරය තේරුම් ගන්න බේස්ලයින් පාරේ පිහිටීම හදාරන එක  වගේ වැඩක්.

මට ලැබුණු නවාතැන පිහිටියේ බොස්පරස් තීරයට කිලෝමීටර් හය හතක දුරින්. එතැන ඉඳන් මගී බසයක නැගල  කබාටාස් කියන නැව්තොටට එන එක  මම කැමතිම සති අන්ත ගමනක් . මේ නැව්තොට තරමක් විශාල හා රමණිය යාත්‍රා තොටුපළක්  හෙවත් ජෙටියක්. එතැනින්  මගී  යාත්‍රාවක  නැගල ආසන්නයේම පිහිටි අනෙක් මහද්වීපයේ  පිහිටි නගර උප නගර හා කුඩා දුපත්වලට යන්න පුළුවන් .පැයක් හෝ පැය  බාගයක් ඇතුලත යුරෝපය හරහා ආසියාවට කුඩා යාත්‍රාවක යන ගමන  අශ්වදනියයි .

ඉස්තම්බුල් ආගමනයෙන් ටික දවසකට පස්සේ මමත් තව මිතුරු මිතුරියන් පිරිසකුත් පුරාණ කොන්ස්තන්තිනොපල් නගරයේ ප්‍රසිද්ද නිල්  පල්ලිය එහෙම බලල උද්‍යානයක ගිමන් හරිමින් හිටියා  . හාත්පස තේ සුවඳයි. සිමිට් සුවඳයි. සිමිට් කියන්නේ රවුම් බනිස් ගෙඩියක් වගේ මැද හිස්  ඩෝනට් හැඩයේ ජනප්‍රිය කෑමක්. තිරිගුපිටි බනිසේ තලඇට ඉහපු  මේ සිමිට් එක පලා  චීස් හෝ චොකලට් පේස්ට්  තවරලා  විකුණන්න  තියෙනවා. ඔන්න ඔය සප්පායම ගනිමින් තිබියදී අපි ලඟට ආ මැදිවියේ පුද්ගලයෙක් මෙහෙම  කිව්වා.

"බොස්පරස් දිගේ පැය  එක හමාරක යාත්‍රා සවාරියක් යන්න කැමතිද?  එක්කෙනෙකුට යුරෝ විස්සයි. යුරෝපය පැත්තේ  ඉවුර දිගේ  කළු මුහුද කිට්ටුවටම ගිහින් ආසියාව පැත්තෙන් ආපහු එන්නේ. ඉවුරු දෙකේම තියෙන වැදගත් ස්ථාන, මාලිගා එහෙම විස්තර කරලා පෙන්වනවා . 

අමුත්තාගේ කතාවෙන් වශී වුන අපි හවස උස්කුදාර් කියන ආසියානු  කලාපයේ කුඩා නගරය බලල රෑට කෑම  කාලා එන සැලැස්ම අවලංගු කරලා මේ ගමන යන්න තීරණය කළා . 

 කටකපල සෙනග හිටි යාත්‍රාවේ  ශබ්ද විකාශන යන්ත්‍රයෙන් ඒ ඒ විශේෂිත වූ ස්ථානය අසලින් යනකොට ප්‍රමාණවත් පැහැදිළිලි කිරීමක් ප්‍රචාරය වුනා  . යුරෝපීය ඉවුරෙයි ආසියානු ඉවුරෙයි තියෙන මනරම් ගොඩනැගිලි  හා වැදගත් ස්ථාන බලාගෙන විස්තරෙත් අහගෙන මූළු  ගමන ගිහින් එන්න පැය දෙකක් විතර ගත වුනා .  මේ ගමනේදී මුළු බොස්පරස් තීරයම  ආවරණය වුණේ  නැතත්  සති කිහිපයක් ලියන්න තරම් තොරතුරු ලැබුණා.

වාණිජ නිෂ්පාදන, ඛනිජ තෙල් හා ධාන්‍ය  රුසියාව, යුක්රේනය වගේ රටවල ඉඳන් පිටත ලෝකයට අරන් යන්නේ මේ මුහුදු තීරය  දිගේ.  නාවුක  අංශයේ වැඩ කරන මගේ යහළු මිත්‍රයෝ නිතරම කියනවා බොස්පරස් ඇවිත් බංකරින් කරපු කතා . බංකරින් කියන්නේ මුහුදු යාත්‍රාවලට තෙල් සැපයුම්  කිරීම . ඉස්තාන්බුල්වල තියෙන බංකරින් තොටුපළ ඉතා ප්‍රසිද්ධයි . මේ ඇළ  අයින දිගේ කාර්ය බහුල වරායවල් කිහිපයකුත් තියෙනවා. 

බොස්පරස් කියන්නේ කළුමුහුදට තියෙන එකම පිටවීමේ මාර්ගය . බොස්පරස් දිගේ යන යාත්‍රා තුර්කි භුමිය  තුලම පිහිටි මාමරා මුහුද හරහාත් යන්න ඕනි , එතනින් පසු  ඒජියන් මුහුදටත් ඉනුත් ඉක්බිති මධ්‍යධරණී මුහුදෙන් මහා සාගරයටත් ප්‍රවේශ වෙනවා.

මෙන්න මේ නාවික ගමනාගමන කේන්ද්‍රය නිසා හා තවත් නොයෙකුත් හේතු නිසා තමයි ඉතිහාසයේ වරින්වර ලෝකයේම  අග නගරයක්  හැටියට ඉස්තාන්බුල් නගරය ඉස්මතුවෙලා තියෙන්නේ.

(මෙය මුලින්ම පළවුයේ 2024 ඔක්තෝබර් 13 වන දින ඉරිදා සිළුමිණ පත්රයේය )

 

Wednesday, November 6, 2024

අශ්ව කරත්ත පාරේ ගිය උඩුගුවන් යානා - සිළුමිණ ඉස්තාම්බුල් දිනපොත 1

 

(2024 ඔක්තෝබර්  06 පටන් සිළුමිණ පත්තරේ පළවන ඉස්තම්බුල් දිනපොතේ මුල් කොටස් සති කිහිපයක් ප්‍රමාද වී හෝ   තිලකසිතේ වෙනම කොටසක පළ  කරන්න තීරණය කළා.)

ම ඉන්නේ මානව ඉතිහාසය පුරා ජනී ජනයා එහාට මෙහාට ගිය මංමාවත් ජාලයක්  එකතු වෙන හන්දියක.

එහෙන් සේද මාවතේ බලසම්පන්න කේන්ද්‍රස්ථානයක් . අනෙක් පැත්තෙන් අධිරාජ්‍ය බර ගානක අගනුවරක්. දැන් වුනත් ගුවන් ගමන්වල , දුම්රිය ගමන්වල ආසියාව හා යුරෝපය යා කරන කාර්ය බහුල මංසන්ධියක් . 

මම කරන රස්සාවටත් සම්බන්ධ නිසා කොච්චි  පාරවල් ගැන ටිකක් වැඩිපුර කතා කරන්න වෙනවා. මට නිතර හම්බවෙන යාලුවෝ ගොඩක් වෙලාවට ඒවා  සම්බන්ධ රාජකාරි කරන අය  නිසා මේ තත්වය තවදුරටත් බරපතල වෙනවා. 

ලෝකයේ දෙවැනියට භූගත දුම්රිය මාර්ගයක් හෙවත් සබ්වේ එකක් හදල තියෙන්නේ තුර්කියේ . ඒ ඔටෝමාන් අධිරාජ්‍යය කාලේ 1875 දී . ලෝකෙන්ම පළමු සබ්වේ එක ලන්ඩන් නුවරදී හදල යන්තම් අවුරුදු 13 කදී . තුර්කියේ කිලෝමීටර් 12,500කට වැඩි කෝච්චි පාරවල් තියෙනවා. ඉනුත්  සියයට විස්සකට වැඩිය විදුලි දුම්රිය .

තුර්කියේ ඉඳල කෝච්චියේ නැගල යුරෝපේ ඕනි රටකට යන්න පුළුවන් .  ඉස්තාම්බුල්  නුවරින් කොටසක් තියෙන්න භුගොලියව යුරෝපේ.  ලෝක ප්‍රසිද්ධ අන්තර් මහද්වීපික  සුඛෝපභෝගී දුම්රිය ඔරියන්ට්  එක්ස්ප්‍රස්  1979 වනතුරු ඉස්තාන්බුල් නුවරට ආවා . මේ දුම්රිය පුරාවෘතයක් . ච්ත්‍රපට හා නවකතා බරගාණක පසුබිමේ දිවෙන්නක්. එය ඉස්තාන්බුල් ඇවිත් ගිමන් හරිපු  පරණ ඉස්ටේෂම බලන්න ලඟදි අපි යනවා. ඒ ගියාම ඒ ගැන ලියන්නම්. 

   ඒ විතරක් නෙවෙයි රුසියානු කලාපයේ බොහොමයක් රටවලට ඉස්තාම්බුල් නුවර ඉඳල  කෝච්චියේ යන්න පුළුවන්. ඒත් ඉස්තාම්බුල් ඉඳන් යුරෝපෙට කෝච්චියේ යනකොට වගේ නෙවෙයි රුසියානු කලාපයට යනකොට අලි අකරතැබ්බයකට මුහුණ දෙන්න වෙනවා . මෙහෙන් යන කෝච්චි පාරේ  පළල නෙවෙයි ඒ පැත්තට යනකොට .  ලෝකෙට එක සම්මුතියක් හදා ගන්න බැරි වෙච්ච  දේවල් ගොඩක් තියෙනවා ඉන් එකක් තමයි කෝච්චි පාරවල පළල .

තුර්කියේ භාවිතා වෙන්නේ යුරෝපය පුරා හා ලෝකයේ සියයට  පණහකට  වඩා කෝච්චි පාරවල භාවිතා කරන ස්ටීවන්සන් ගේජ් එක . ජෝජ් ස්ටීවන්සන් ගැන අපි අහල තියෙන්නේ ලෝකයේ පළමුවරට මගී ප්‍රවාහන දුම්රිය නිපදවපු ඉංජිනේරුවා හැටියට. ඔහු සිවිල් හා යාන්ත්‍රික ඉංජිනේරුවෙක්. නවීන දුම්රිය ගමනාගමනයේ පියා හැටියට හඳුන්වන්නේත් ඔහු. ඒත් ඇත්තටම ඔහු සම්මානයට පාත්‍ර වෙන්න ඕනි ලෝකය පුරා  සම්මුතියකට එන්න බැරි වෙලා තිබ්බ කෝච්චි පිලී  දෙකක් අතර ඇතුළෙන් ඇතුළ දුර  සඳහා සුම්මුතියක් හදල දුන්න එකට. අදටත් යුරෝපයේ, තුර්කියේ , චීනයේ, ඇමෙරිකාවේ, කැනඩාවේ  හා ඕස්ට්‍රේලියාවේ භාවිතා වෙන්නේ ස්ටීවන්සන් ගේජ් එක හෙවත් අඩි  හතරයි අඟල් අටහමාරක් වන ගේජ් එක .  ඒත් තාමත් මේ රටවල් වලම වුනත් සමහර පාරවල ගේජ්  අතර මද මද වෙනස්කම් තියෙනවා. 

පුදුමයකට වගේ ලංකාව ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය හා සමහර ලතින් ඇමෙරිකානු රටවල පමණක් වෙනමම ගේජයක් භාවිතා වෙනවා . මේක ස්ටීවන්සන් ගේජ් එකට වඩා පළලින් වැඩියි . අඩි පහ හමාරයි. කැළණි වැලි  දුම්රිය මාර්ගයේ විතරක් 1992 වෙනකම් ඉතා කුඩා අඩි  දෙක හමාරක් පළල ගේජයන් පාවිච්චි වුනා. 

ඉස්සර සෝවියට් සමුහාණ්ඩුවට අයත් වෙලා තිබ්බ රටවලට  විශේෂිත වූ වෙනමම ගේජයක් තියෙනවා. මෙය අඩි  පහකට ආසන්නයි . 

මෙන්න මේ හේතුව නිසා තමයි මම අර මුලින්ම කිව්වා වගේ එකම කෝච්චියේ යුරෝපෙට යනවට වඩා කරදරකාරියි ඉස්තාම්බුල් ඉඳන් රුසියානු කලාපයට යන්න . ඒත් යනවා . මේ කෝච්චි පීලි අතර පරතර වෙනසට මුහුණ දෙන්නේ කොහොමද ?

ඉස්තාන්බුල්  සිට පැරණි සෝවියට් කලාපයට ඇතුල් විය හැකි මාර්ග කිහිපයක් තිබෙන අතර සෑම දුම්රියක් පළමුව බල්ගේරියවටත් ඉන්පසු රුමේනියාව හරහාත් යා යුතු වෙනවා. රුමේනියාවේ සිට මොල්දාවියා පැත්තෙන් යනවානම් ඒ දේශ සිමවේදීත් යුක්රේනය පැත්තෙන් යනවානම් ඒ දේශ සිමවේදීත් මේ ගේජ් වෙනසට අනුව වෙනත්  යාන්ත්‍රික චැසියකට දුම්රිය එහෙම පිටින් මාරු කිරීම හෝ මගීන් බස්සවා වෙනත් දුම්රියකට මාරු කිරීම සිදු කරනවා. 

මෙන්න මේ ක්‍රියාවලිය අවුරුදු  එකසිය ගණනක් තිස්සේ නිතිපතා සිදු වෙමින් තිබෙනවා. ළඟදීම මේ මාර්ගයේ ගමනක් යන්නට බලාපොරොත්තු වෙන නිසා තව ටිකක් සවිස්තරව ලියන්න පුළුවන් වෙයි. 

 මේ රේල් ගෙජ් ගැන කතා කරමින් සිටිද්දී නැගෙනහිර රෝම අධිරාජ්‍යය හෙවත් බයිසන්ටින් අධිරාජ්යයේ අගනුවර වෙච්ච පරණ කොන්ස්තන්තිනොපල් නගරය ගැන නොකියම බැහැ .  චිර ප්‍රසිද්ද කොන්ස්තන්තිනෝපලය කියන්නේ වත්මන් ඉස්තාන්බුල් නගරයෙන් කුඩා කොටසක. මෑත දශක කිහිපයේදී ඉස්තාන්බුල් නගරය නොසෑහෙන්න ව්‍යාප්ත වෙලා තියෙනවා. 

ඉතිං මේ  නැගෙනහිර රෝම අධිරාජ්‍යය සෞභාග්‍යයෙන් උතුරන සමයේ අශ්ව රේස් වලට ප්‍රසිද්දයි . ඒ තරග පැවැත්වූ ක්‍රීඩාගාරවල නටබුන් අදටත් තියෙනවා. මෙන්න මේ අශ්ව කරත්ත ගල් අතුරාපු වීථි දිගේ ගිහින් ගිහින් හැදිච්ච  රෝද සලකුණු අතර දුර තමයි පසු කලක  දුම්රිය ගෙජ් වලට ගත්තේ කියල කතාවක් තියෙනව. ඒක බොරුවක් කියල කියන පිරිසකුත් ඉන්නවා. මොකද මෙච්චර තාක්ෂනය , සන්නිවේදනය දියුණු කාලේත්  දුම්රිය පිළී දෙකක් අතර පරතරයට එක සම්මුතියක් නැතිකොට අශ්ව කරත්තවලට   එහෙම සම්මුතියක් තියෙන්නේ කොහොමද? එහෙම සම්මුතියක් තිබ්බා කියන්නට කිසිම සාක්ෂියක් තාම  හම්බ වෙලා නෑ . ඒත් සමහර එකඟතා එන්නේ භාවිතයෙන්. කතා කර ගත්තේ නැති සම්මුති තියෙන්න පුළුවන්. 

මේ කතාව ඇත්ත කියල පිළිගන්න මගේ මිත්‍රයෙක් කියන්නේ රෝම අශ්ව කරත්තවල රෝද අතර  දුරට අභ්‍යවකාශ යානා වලත්  සම්බන්ධයක් තියෙනවා කියල. 

ඒක ටෙක් ප්‍රලාප ගොන්නට වැටෙන  කතන්දරයක්.  වෙන්නේ මෙහෙමයි . අභ්‍යවකාශයට යවන නවීන  රොකට් ප්‍රමාණයෙන් සෑහෙන්න දිගයි. මේවා හදන්නේ අභ්‍යවකාශ මධ්‍යස්ථානේ ඉඳන් සෑහෙන   දුරක පහිටි කර්මාන්ත ශාලාවල . මේ කර්මාන්ත ශාලාවල ඉඳන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයට කොටස් වශයෙන් ගෙනියන්නේ කෝච්චිවල . ඉතින් ඒ පාරේ ප්‍රමාණයට හරියන්න තමයි රොකට්වල ප්‍රමාණය සැලසුම් කරන්නේ .  මෙන්න මේ හේතුව නිසා තමයි රෝමන් අධිරාජ්‍යයේ අශ්ව කරත්ත  , නවීන  අභ්‍යවකාශ යානා අතර නෑ කමක් ඇති වෙන්නේ . 

මේ කතාව  ඇත්ත උනත් නැති වුනත් අතීතය රෝම අධිරාජ්‍යය හරහා ඉස්තාන්බුල් නගරයට ඇවිත් , බල්ගේරියාව, රුමේනියාව හරහා රුසියානු කලාපයට දිව යනවා විතරක් නෙවෙයි අඟහැරු ග්‍රහයා වෙත වුනත් යන්න  පුළුවන්. අනෙක් අතට මුලින්ම රෝදය සොයා ගත් බැබිලොනියන්වරු හිටි මෙසපොතේමියන් සිෂ්ටචාරය පැතිරුණේ යුප්‍රටීස් ටයිග්රිස් ගංගා  නිම්න ආශ්‍රිතව. මේ ගංගා දෙකේ උපත සිදුවන්නේ තුර්කියේ දකුණුදිග කොටසේ. එහෙව් රටේ පුරාණ  අගනුවර ඉඳන් ලියන මේ දිනපොත අතීතය, වර්තමානය හා අනාගතය යා කරන සටහන් පෙළක් කරන්නයි මම සැරසෙන්නේ .

(මෙය මුලින්ම පළවුණේ 2024 ඔක්තෝබර්  06 සිළුමිණ පත්තරයේය.  )