එදා මා සහභාගී වූ වැඩ මුළුවේ තේමාව වුයේ අත්පත් කර ගැනීමයි. සමාගමට තවත් කුඩා සමාගමක් අත්පත් කර ගන්නට උපාය මාර්ගික සැලසුම් සකස් කරන හැටි ගැනය. එය ව්‍යාපාරික ලෝකයේ අරුමයක් නොවුනත් මේ දෙසුම්වලට ඇහුම්කන් දී සිටි මගේ හිතට අතීතයට නොගොස් ඉන්නට බැරි වී අපේ කුඹුරට අල්ලපු කුඹුර වූ කුඹුක් ගහ උල්පත වෙත ලඟා වුනේය. එය සුනිමල්ලාගේ කුඹුරයි.
සුනිමල් ඉගෙන ගත්තේ අපේ පන්තියේමය.ඉස්කෝලෙත් ගමේත් අපි දෙන්නට හිටිය හොඳම යාළුවෝ දෙන්නා අපි දෙන්නාමය. සුනිමල්ගේ තාත්තා අපේ තාත්තාත් එකිනෙකාට ගව්රවය මුසු මිත්රත්වයකින් ඇසුරු කළහ. සුනිමල්ගේ අම්මාට අපේ අම්මා හිතවත්ව සිටියාය.
එත් මේ හිතවත්කමට පුංචි කහටක් එක්කරේ මේ කියන දිය උල්පතමය.
එය පිහිටා තිබුනේ හෙල්මළු ලියදි නගිමින් කන්ද මුදුනට යද්දී සුනිමල්ගේ කුඹුරේ හරි මැදට වන්නට පිහිටි මහා කළුගලක් පාමුලය. ඊට යාබදව පිහිටි රූස්ස කුඹුක් ගහත් දෝතුළු ගස් මන්ඩියත් නිසා කුඹුර මැද පුංචි ක්ෂේම බුමියක සිරි මැවී තිබිණි.
මේ උල්පතින් උනන දිය පහර නිසා කුඹුරේ හරි අඩක් අස්වැද්දීමට සුනිමල්ලාට හැකි විය. වැඩිපුර වතුර අවුරුද්ද මුළුල්ලේම ඔය පාරට ගලා ගියේය.
වී වගා කරන්නට තරම් වතුරක් නොලැබුණු නිසා අපේ කුඹුරේ අවුරුද්ද පුරාම වාගේ වගා කෙරුනේ නොයෙකුත් එළවලු වර්ගය. ඉඳ හිට අවුරුදුවලදී කුඹුරේ කොටසක වී වැපිරුවා වුවද මේ කොයි දේටත් වතුර සපයා ගැනීමට මහත් පරිශ්රමයක් දරන්නට සිදු වුනි. කුඹුරේ සිට හැතැප්ම දෙකක් පමණ ඈත සිට ගලා එන ඇල පහරකින් වතුර ගෙන එන්නට සිදුවුනි. ඇලට වතුර ලැබුනේ ඔයේම ඉහල ස්ථානයක පිහිටි අමුණකිනි.
අපේ කුඹුරට වතුර වැද්දවීමට ඕනෑ විට මේ අමුණටම ගොස් වතුර හරවා ගෙන එන්නටත් ඒ අතර මැද පිහිටි තවත් කුඹුරු වලට වතුර හරවන වක්කඩ ළඟදී මුර දමාගෙන රැක ගැනීමටත් සිදු විය. මේ වතුර කඩන වලදී අපේ ගෙදර ළමයින් තැනින් තැන මුරට නවත්වා තාත්තා කුඹුරට වතුර සපයා ගතතේය .
විලම්බීත, ගම්පෙරලිය, මඩොල් දුව, උම්මග්ග ජාතකය වැනි පොත් බොහොමයක් අප කියවුයේ මේ වතුර මුර කරන තැන්වල ගල් පඩියක වාඩි වී සිටිද්දීය.
අපට කුඹුර අත්යවශ්ය වුනේ තාත්තාගේ හා අම්මාගේ ගුරු වැටුප හදමින් තිබු ගෙදර වැඩටත් ලොකු දරු පවුලක ඉගෙන ගැනීමේ වැඩවලටත් නොසහුණු නිසාය. අනෙක් අතට රටපුරා සාගතය පැතිරුණු හත්තෑ හතරේ අපේ කුසගිනි නිව්වේ මේ කුඹුරේ පළදාවෙනි. සරුසාර වූ කන්නවලදී හොඳ අමතර ආදායමක්ද ලැබිණි.
මේ වතුර ප්රශ්නය නිසාම සුනිමල්ගේ කුඹුරේ දිය උල්පත ගැන පොඩි පහේ තෘෂ්ණාවක් අප කා තුලත් අඩු වැඩි වශයෙන් තිබුනේය.
'අර ඔයට බැහැලා යන වැඩිපුර වතුර ටික අපේ කුඹුරට හරවා ගන්න කතා කර ගන්නකො සුනිමල්ලා තාත්ත එක්ක' අම්මා කිහිපවරක්ම තාත්තාට කීවාය
තාත්තා ඒ ගැන ඔහුගෙන් අසුවාදයි නැත්දැයි කවුරුත් දන්නේ නැත. ඒ වෙනුවට ඔහු සිතා සිටියේ සුනිමල්ලා තාත්තා විසින්ම සිය කැමැත්තෙන් උල්පත් වතුර අප සමග බෙදා ගන්නට කතා කරනු ඇත කියලාය.
එහෙත් එවැන්නක් සිදු නොවුනි. එළිපිට කතා නොකළ අප්රකාසිත වුවමනාව වුයේ උල්පත් වතුරයි .
කාලය ගෙවී යද්දී සුනිමල්ලා ටික ටික කුඹුරෙන් ඈත් වන්නට පටන් ගත්තෝය. කුඹුක් ගහ උල්පොත වෙනුවට ඊට ඔබ්බෙන් පිහිටි වියලි ලියදි තීරුවක වගා කරන්නට පටන්ගෙන තිබුනේ ඕනෑවට එපාවාට මෙනි
මේ අල්ලපනල්ලේ අපට ආරංචි වුයේ කුඹුක්ගහ උල්පොත කුඹුරේ හැබෑ අයිතිකාරයා ඈත ගමක පදිංචි වී සිටින සුනිමල්ලා ලොකු තාත්තා බවය. ඔහුට එය පවුලේ උරුමයෙන් ලැබුනා වෙන්නට පුළුවන.
සුනිමල්ලා ලොකු තාත්තා විසින් කුඹුර විකුණන්නටට හදන කතාවක් ඒ අතර ආරංචි විය. ඔහු ගමේ දෙතුන් දෙනෙකුට ඒ ගැන කතා කර තිබිණි.
'ඔය කුඹුර විකුනනවානම් ණයක් තුරහක් වෙලා හරි අපි ගමුකො. ඇල දිගේ ඇවිදලා තවත් දුක් විඳින්න ඔනෑ නෑනේ එතකොට' නරකද සුනීමල්ලා තාත්තා එක්ක කතා කරලා බැලුවොත්. එයාගේ අයියට කියයිනේ '
අම්මාගේ මෙවදන් තාත්තා වගකීමකින් බාර නොගත්තා වුවද ඔහු නිහඬවම අනුමත කලේ ඒ කුඹුර අපම ගත්තානම් හොඳ බවය. ඒ උල්පතේ වතුරින් අපේ කුඹුරේද බාගයකට වතුර සපයා ගන්නට පුළුවන් වෙන නිසාය.
මෙවරත් තාත්තා කිව්වේ මම කතා කරලා බලන්නම් කියලාය. ඔහු එය සුනිමල්ලා තාත්තා සමග කතා කරාදැයි නැත්දැයි කවුරුත් දන සිටියේ නැත.
ඔය විදිහට දවස් ගෙවී යද්දී සුනිමල්ලා තාත්තා බරපතල ලෙස අසනීප වුනේය. උල්පත පිහිටි කුඹුර කවුරුවත් වැඩ නොකර අත හැරුනේය. උල්පතින් උතුරා බුබුළු දැමු වතුර පාර ඔයට ගලා යමින් තිබුණු හැන්දෑවක සුනිමල්ලා තාත්තා සදහටම දෑස පියා ගත්තේය.
උල්පත් දියත් කුඹුරේ ප්රශ්නයත් මුළුමනින්ම අමතක කර අප සුනිමල්ලා සමග මේ සිදුවීමේ ශෝකය බෙදා ගන්නට ඉදිරිපත් වුනෙමු .
තාත්තා ඒ දවස්වල මොනතරම් විස්සෝපයෙන් සිටියේද යත් ඔහු හා සුනිමල්ලා තාත්තා අතර මෙතරම් ගැඹුරු මිත්රතත්වයක් තිබුනා යයි සිතා ගන්නට පවා බැරි විය. මළ ගෙදර අවසන් වන තුරු මම සුනිමල් ලඟින් නොසෙල්ලී ඔහුගේ තනි නොතනියට සිටියෙමි. අපේ අම්මා සුනිමල්ලා අම්මාගේ දුක බෙදා හදා ගත්තේ සොයුරියක සේය.
මළ ගෙදර වැඩ අහවර වී මාසයක් යන්නටත් මත්තෙන් අපේ ගෙදරට අමුත්තෙක් ආවේය. ඒ සුනිමල්ගේ ලොකු තාත්තාය.
උල්පත කුඹුරේ ඔප්පුවත් අතේ තියාගෙන හෙමින් හෙමින් ආපු කාරණාව පැහැදිලි කළේය .
දැන් මේ කුඹුර මම විකුනන්ට තීරණය කළා. මම ඉන්නෙත් ඈත නිසා මේක මට වගා කරන්නත් බෑ . අල්ලපු කුඹුර නිසා මේක වටින්නේ ඉස්කෝලේ මහත්තයාටම තමයි.
මේ අප අසන්නට බල බලා සිටි පුවතක් නොවේද? ඇල දිගේ දුක් විඳිනවා වෙනුවට කුඹුරු දෙක තුනකට අවුරුද්ද පුරා වතුර දෙන කුඹුක් ගහ උල්පත අපේ වෙන්නට යන හැටි. ණයක් තුරහක් වී මේ කුඹුර ගමු යැයි අම්මා කී විට නිහඬවම එකඟ වූ තාත්තාගේ දැන් ප්රතිචාරය කුමක් වේද?
සිවිලින් නොගැසූ වහලය නිසා අල්ලපු කාමරවලටත් කුස්සියටත් මේ කතා බහ හොඳින් ඇසෙයි. සෙමින් සාලයෙන් නික්මුණු තාත්තා අම්මාගේත් අප කාගේත් මුහුණු දෙස බලා නිහඬවම ආපසු ගොස් අමුත්තා ලඟින් ඉඳ ගත්තේය.
ඉන්පසු තාත්තා සිය හදවතේත් පවුලේ සෙසු සාමාජිකයින්ගේ මුහුණුවලත් ලියවී තිබු ඒකමතික තීරණය අමුත්තාට දැනුම් දුන්නේය
'දැන් අපට ඔය කුඹුර ගැනවත් උල්පත ගැනවත් ආසාවක් නෑ .
සුනිමල්ලාගේ තාත්තා හිටියනම් එයත් එක්කත් කතා කරලා අකමැත්තක් නැත්තම් අපි ගන්න තමයි හිටියේ'.
ඉටි කවරයක ඔතා ගෙන ආ ඔප්පු තිරප්පු ආපසු හකුළා ගත් අමුත්තා කරබාගෙනම යන්නට හැරුනේය.
Photo from Scienceviews.com