Wednesday, May 3, 2023

පේරාදෙණියෙන් කල්පිටියට


මේ  මගේ ට්විස්ටින්ග් දිනපොතේ දින සටහන්. දිනය පටලවා නොගෙන ප්‍රවේශමින් කියවන්න 

1993 අප්‍රේල් 30

අද අපට අවසාන අවුරුද්දේ අන්තිම විභාගේ .අන්තිමට තිබ්බ සබ්ජෙක්ට් එක කාර්මික ඉංජිනේරු විද්‍යාව . අතිරේක විෂයක් . තෝරා ගන්න තිබ්බ සබ්ජෙක්ට් එකක්.  

අවුරුදු හතර වෙනුවට හතක්  වින්ද දුක අහවරයි.හවසට ඊරියගම පැත්තේ ඇවිදලා කිතුල් රා ටිකක් හරි හොයා ගන්න ඕනි .  ඒ මදිවට  හෙට කැම්පස් ග්‍රවුන්ඩ්  එකේ දැවැන්ත සාදයක් ගැන කසුකුසු ඇහෙනවා. ඒත්  කා ගාවවත් සල්ලි නෑ . එන සති අන්තය හොස්ටල් එකේම  ඉන්නවා. ඔහොම හිත හිතා  අපි අක්බාර් පාලම පහු කර‍ගෙන ලයිබ්රිය පැත්තෙන් වීරසුරිය ස්මාරකෙත් පහුකරලා, වී සී හවුස් එක ඉදිරිපිට පාරේ  අඳුරු සොඳුරු ගස් අතරින් ඇවිත් කිස් බෙන්ඩ් එකත්  පහු කරා. ලස්සනට හදාපු ෂර්ලි  ද අල්විස්ගේ  නිර්මාණශීලි  මන්දිර හා භුමි සැකැස්ම මැදින්  ජේමිස් පිරිස් ශාලාවට පිවිසෙන  අඟර  දඟර  පඩිපෙළ නැග්ගා . සතර දිබ්බාගෙන් ඇවිත් අවුරුදු හතක් වාත වේවි වැඩේ  හමාර කළ අපි තව දවසකින් දෙකකින් විසිරිලා යනවා . කරන්නේ මොකක්ද  කියල නිශ්චිත නෑ .ගොඩක් දෙනෙක්ගේ අතේ පිච්චිය නෑ . ලබන අවුරුදේ අපි මොනවා කරයිද කියන්න කවුරුත් දැනගෙන හිටියේ නෑ  තව අවුරුදු දෙකකින් අපි මොන වගේ මිනිස්සු වෙයිද ?  අවුරුදු තිහකින්? අනේ හිතා  ගන්නවත් බෑ . සිරා පොරවල් වෙයි. සමහරවිට ලොන්ත නාකියෝ වෙලා ඉඳියි .

කොහොමත් අපි සියලු අනාගත බලාපොරොත්තු අමතක කරලා අද රාත්‍රියේ හා හෙට පැවැත්වෙන සාද ගැන කතා කරමින් හා හිතමින් තමයි හොස්ටල් එකට ගියේ. 

2023 අප්‍රේල්  30

අද අපි හැට  දෙනෙක් කොළඹින් එක බස් එකකත්  කුරුණෑගලින් තව බස් එකකුත් අරන් පිටත් වුනේ අපේ සරසවි දිවියේ අවසන් දිනය සිහිපත් කරන්න . හරියටම කිවොත් තිස්වන සංවත්සරය. අපි යමින් හිටියේ පුත්තලමින් වම්  පැත්තේ මුහුදට දික්වෙලා තියෙන ලංකාවේ සුලැඟිල්ල  කෙළවරට . කල්පිටියට.  

අර අක්බාර් පාලමින් විභාගේ ඉවරකරලා ගාටපු  කොල්ලේ කෙල්ලෝ දැන් තනිකර තලත්තෑනි වෙලා . ඒත්  සියලුම ජානමය ගති ලක්ෂණ එක බිඳුවකින් වෙනස්වෙලා නෑ . හවස පාටියයි හෙට පාටියයි ගැන  කතා කරා. මඩ  අවලාද . තිස් හතලිස් පාර ඇහුනු එකම විහිලුව ආයේ ඇහුනා . ඒත්  ඇස්වලින් කඳුළු පනිනකම් හිනා වුනා . සමහර පොඩි විහිලු කෑලිවලට බෝම්බ පුපුරන සද්දෙන් හිනා පුපුරා ගියා . අතරින් පතර දේශපාලනේ ගැන කතා කළා. බයියෝ, ටෝයියෝ ටෝබයියෝ ඔක්කොම ඉන්නවා. 

අපි අන්තිම දවසේ කරපු විභාගේ මතක්වුනා.  ඒ කාර්මික ඉංජිනේරු විද්‍යාව. පාලවියෙන් පොඩ්ඩක් හැරිලා පුත්තලම්  සිමෙන්ති ෆැක්ටරිය ටිකක් බලාගෙන ගියේ ඒ  හින්ද . 1993 වෙනකොට ලංකාවේ සිමෙන්ති ෆැක්ටරි  දෙකක් තිබ්බ  . දෙකම ආණ්ඩුවේ. පුත්තලමේ හා කන්කාන්තුරේ. 1996 ඉඳන් කන්කසන්තුරේ ෆැක්ටරිය දිරාපත් වෙමින් අතහැරලා දාලා තියෙනවා  . පුත්තලම පුද්ගලික සමාගමකට දීලා  කරගෙන යනවා. මෙතැන  තමයි ලංකාවේ වැඩියෙන්ම විදුලි බලය පාවිච්චි කරන  තැන . ලංකාවේ උණුසුම්ම  තැන . දවසකට ගල් අඟුරු ටොන් සිය ගණනක් ගිලින උඳුන සෙන්ටිග්‍රේඩ් අංශක දෙදහකට විතර රත් වෙනවා .

 හවස තිබ්බ කෙටි උත්සවේ වෙලාවේ මට අපේ අතීතය මතක් කරලා දෙන්න තිබ්බ. 1971 කැරැල්ල වෙනකොට බහ තෝරපු, හැත්තෑ  පහේ අවුරුද්දේ පාන් පෝලිමේ  ඉඳපු , හැතතෑ  හතේ ධර්මිෂ්ට පාදඩකරණය  බලන් හිටපු. 83 , 89 90 පහුකරලා දසක දෙක තුනක් කට්ට කාපු අපේ පරම්පරාවට විශේෂයෙන් පිට රටකට නොයා මෙහෙම ඉන්න තීරණය කරපු උන්ට  ඉන්පස්සේවත්  සැනසිල්ලේ තැන්පත් වෙන්න බැරි වුනා.  අසාර්ථක ජරාජීර්ණ පාලන කාල යලි යලිත් ආවා.  කොවිඩ් ආවා , පැට්‍රල් පෝලිම් ආවා , අරගලේ ආවා . දැන් 93දී අතේ සතේ නැතිව හිටි අපිට ඒ හා තරමක් සමාන  කාලයක් ආයෙමත්  ඇවිත් .මහලොකු මැද  පන්තියේ හිටියට ගොඩක් දෙනෙක්ගේ ආදායම වියදමට වඩා අඩු වෙලා. මාස අටකින් පඩි හම්බවෙච්ච නැති ඉංජිනේරු ලොක්කොත් අපිත් එක්ක හිටියා. ලබන අවුරුදේ අපි මොනවා කරයිද කියන්න කවුරුත් දැනගෙන හිටියේ නෑ.

1993 මැයි 01

අද නැගිට්ටේ පරක්කු වෙලා ඒත් රට වෙලාගත්තා නොසන්සුන්කම කෘර පාලනයක ලක්ෂණ එක්ක දේශපාලනේ මඩ  ගොහොරුවක් වෙලා  . කිසිම විදිහක  සාධාරණ මතයකට ඉඩ  දෙන්නැති උද්දච්ච පාලකයෙක් ඉන්න රටක සමාජෙට බහින්න අපි තරමක් බයෙන් ඉන්නේ. ඒවා අමතක කරලා නුවර ගියා උදෙන්ම. අපි ආපහු එනකොට  පාර දෙපැත්තේ සෙනග පිරිලා  . මිනිස්සු ජයකෙහෙලි නංවනවා. චීන පටස් පුපුරනවා. 

'ලොක්ක මැරිලා . ආමර් වීදියේදී බෝම්බ ගහල .  එතැනමයි ' . දකින දකින  මුහුණුවල තිබ්බේ සතුටක් සැහැල්ලුවක්, උත්සවශ්‍රියක් . 

මම ගලහ බස් එකේ හිටගෙන හිටියා . මම  හිටි තැනට කිට්ටු අසුනේ කුඩා දරුවන් දෙන්නෙක් සහ මවක් හිටියා. පොඩි දුව අවුරුදු හතක විතර ඇති. ඇය  මෙහෙම කිව්වා 

' අපි අදනම් පාටියක් දාන්නම ඕනි අම්මේ  '

මල්ලි මෙහෙම කිව්වා ' තාත්ති මට අයිස්ක්‍රීම් අරන් දෙන්න ඕනි "

මේ කතාව දුරදිග යන්න කලින් හිටගෙන හිටි තාත්තා සිය පැටවූ  දෙන්නගේ මුවපොඩි  දෙක අතින්  වසා ගත්තා . ඒ වෙනකොටත් භීෂණයේ භීතිය යන්තමින්  තිබ්බා. මිනිහෙක් මළාම  සතුටු වීම අශෝබන වුනත් රටේ තිබ්බ පීඩනය හා ජන මනස්වල තිබිච්ච  අසහනය පිටවුනේ එහෙම තමයි. 

2023 මැයි  01

අද නැගිට්ටේ පරක්කු වෙලා . ඊයෙ  සාදයේ සැර  වැඩිකමට නින්ද  ගියා  . කල්පිටි වෙරළේ ඇවිද්දා. ඊයේ  හවස ගිය ධීවරයෝ එහෙන් මෙහෙන් එනවා . එච්චර සරු අස්වැන්නක් නෑ . ධීවරයෝ මුහුදු ගියාට අදත්   කොළඹ මැයි රැලි. අවිනිශ්චිතතාවය , ආර්ථිකයේ අනාරක්ෂිත බව අවුරුදු තිහකට කලින් වගේම තමයි. 

එනගමන් නොරෝච්චෝලේ පැත්තටත් ඔලුව දාලා ආවා. මෙගාවොට් තුන්සියේ විදුලි ජනක තුනකින් දවසකට ගල් අඟුරු මෙට්‍රික් ටොන් තුන්දහස් පන්සියයක් දවමින්  රටට බලශක්තිය  දෙන රටේ ලොකුම බලාගාරය. 1993 වෙනකොටත්  රටේ බලශක්ති සැපයුම පිලිබඳ මහා සැලසුම් තිබුනා. ජයිකා ආධාරවලින් හදන්න තිබ්බ ගල් අඟුරු බලාගාරේ මාවැල්ලෙන් , සාම්ම්පුර්වලට, සාම්පුර්වලින් නොරෝච්චෝලේට වගේ තල්ලු වෙමින්  ගිහින් අන්තිමේ හෙන ගානක් වියදම් කරලා චීන ණයකින් හදා ගන්න තැනට රට පත් කළේ කවුද? මේ සියලු දේ ගැන ඉදිරි සටහනකින් සවිස්තරව කතා කරමු .

 මොනා උනත් දැන්නම් නොරොච්චෝලේ බලාගරේ පුළුවන් උපරිමෙන් රටට විදුලිය සපයනවා. ඒත් කෝකටත් තයිලය වගේ තියෙන්නේ මේක විතරක් වුනාම මොනා හරි වෙලා නොරොච්චෝලේ කැඩුනොත් රටටම විදුලිය  කපන්න වෙනවා. වෙන රටවල ඒ  වගේ වෙලාවට බල ගන්වන බැකප් බලාගාර  තියෙනවා.අපට නැහැ.  ළඟ කාලේක  ඉදි කිරීමක් පේන්නත් නෑ . බලශක්ති අර්බුදේ වගේම අනෙක් අර්බුද ගැනත් විසඳුමක්  පෙන්න නෑ 

අවුරුදු තිහකට කලින් තිබ්බ සැලසුම් විරහිත, සුන්දර රටේ සිදුවෙමින් ඇති එකම වෙනස අපි වයසට යාම විතරයි.   

මේ අවුරුදු  තිහෙන් විසිතුනක් සැලසුම් ඉංජිනේරුවෙක් වෙලා හිටි  මගේ රස්සාව ගැන තව දුරටත් පම්පෝරි ගහන්න බෑ  . ඒත් මේ අවුරුදු තිහම දේශපාලනේ හිටි කිසිම කෙනෙකුට මේ ගැන කම්පාවක් ඇති වගකුත් පෙන්න නෑ 

22 comments:

  1. 1993 මැයි මාසෙ පලවෙනිදා කියන්නෙ රටේ මිනිස්සු අලුත් බලාපොරොත්තු ගොඩගහපු දවසක්... 1994 දේශපාලන පෙරලිය ඒ බලාපොරොත්තු තවත් තීව්‍ර කරා.... අද 2023 මැයි 03... අපි තාමත් එතැනද එතැනටත් පහලද කොයලාවත් හිතාගන්න බෑ...

    ReplyDelete
    Replies
    1. චක්කරේ කැරකෙනාව . හිටි තැනම ඉන්නව වගේ තේරෙන්නේ චක්කරේ විශාල වෙන්නේ නැති නිසා

      Delete
  2. ඔය මෙගාවොට් 300 විදුලි ජනක තුනකින් ත්‍රිකුණාමලේ හදන්න තිබ්බ තාප බලාගාරය තමා මගේ උපාධි නිබන්ධනයට කළේ 1991. මගේ ස්පෙෂලිටි එක වුනේ විදුලි බලාගාර නිසා. . විස්තර දුන්නේ එවකට විදුලි බල මණ්ඩලේ හිටපු සියඹලාපිටිය සර් 1990 දී. එතකොටත් ප්ලෑන් කරල තිබ්බේ. අන්තිමට හැදුවේ 2009 නේද වෙන කොහෙවත් නේද

    ReplyDelete
    Replies
    1. ඔව් අවුරුදු තිහකට කලිනුත් මේ සැලැස්ම තිබ්බ . විදුලිබල මාස්ටර්ප්ලෑන් එකක් 1986දීද කොහෙද හදල තියෙනවා . හැදුවේ නොරොච්චෝලේ

      Delete
  3. ලස්සනට ලියපු සමාලේචනයක්. ආයෙ ලියන එක ගැන සතුටුයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි . බස්සා හෙහෙම කියවනවානම් ලියන්න ආසයි . ඒත් ඉස්සර වගේ ලියන ගැම්ම අඩුයි

      Delete
  4. කියෙව්වෙමි; මේ දැන් තිලක සිත
    චංචලයි හොඳටම මගේ හිත
    තිහක් ගොහිනුත් අපි අනාථය;
    අපි වනාතෙය, වරද කොතනද?

    මාර දුකක් තිලකේ!

    ReplyDelete
    Replies
    1. අපේම තමයි වරද

      Delete
    2. දුකට හේතුව කීම නිදි ?
      ගඟට ඉණි කැපුවා මදි

      Delete
  5. ප්‍රේමදාස රටේ ප්‍රශ්ණ වලට ප්‍රායෝගික විසඳුම් දුන්න කෙනෙක්. රටට බෙරක් වෙච්ච වතු පුද්ගලිකකරණය කලා. තවත් පුද්ගලිකරන කීපයක්ම කලා. ජේවීපී භීශණය නැතිකලා. ඇඟළුම් කර්මාන්තශාලා 200 වගේ රැකියා හදන වැඩ කලා. ජනාධිපති වෙලා හිටියේ අවුරුදු 3 යි. චන්ද්‍රිකා, මහින්ද වගේ අවුරුදු 10 ක් ලැබුණනම් අපි ලොකු දුරක් යනවා. මිනිසුන්ට අසීමිත පීඩනයක් දුන්න නිසා මැරුනම මිනිස්සු සන්තෝස වුනා. ඊට පස්සේ ආව පොදු පෙරමුණු ආණ්ඩු තමයි රට ප්‍රපාතයට ගෙනියන්න පටන්ගත්තෙ.

    ReplyDelete
    Replies

    1. ප්‍රේමදාස කරපු හොඳ වැඩ තියෙනවා. ඒත් උද්දච්ච කම, ක්‍රමය නොහදා වන් මෑන් ෂෝ තීරණ ගැනීම් , සොත්ති උපාලිලා වැනි සහචරයන්ට බලය දීම, භීෂණයේ කෘරත්වය වගේ දේවල් නිසා මිනිස්සු පුදුම පිඩනයකින් අප්‍රසාදයකින් හිටියේ.

      Delete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. ?
    /* කතා කරමින් හා හිතමින් තමයි හොස්ටල් එකට ගියේ. */

    මේ ඇත්තම සටහන ද, නැතිනම් එදා ගැන සිතා අද ලියූ එකක් ද?

    මෙහි ඇති හොස්ටල් කියන වචනය එදා 1993 මැයි මාසේ පාවිච්චි වුණා ද?

    අපේ කාලේ නම් හොස්ටල් තිබුණේ පාසල්වල. පේරාදෙණියේ තිබුණේ හෙවත් Halls of Residence හෙවත් නේවාසිකාගාර.

    ReplyDelete
    Replies
    1. එදා ගැන සිතා අද ලියූ එකක්. හොස්ටල් කියා කිව්වේ නෑ තමයි. ජේ පී , එක, අක්බාර් එක , හිල්ඩා එක නැත්නම් හෝල් එක

      Delete
  8. හුම්... දැනුයි දැක්කෙ! ඔන් කියෙව්ව.
    1993 - 2023 වැඩි වෙනසක් නෑ

    ReplyDelete
  9. තිලක ඔබේ ආකෘතිය නියමයි. වසර 30 ක් ගතවෙලත් තාම ඒ වෙනස නොවුණු එක තමයි පුදුමෙ. මම කැමති ඔබ එකිනෙකට වෙනස් සිදුවීම් ගලපන අපුරුවටයි. කාට කාටත් හිතන්න ගොඩක් දේ මේ සටහන ඇතුලෙ තියෙනවා. මේ රටාවටම තවත් එකක් ලියන්න පුළුවන් නම් ප්‍රේමයේ සහ විනෝදාංශ වල වෙච්ච විපර්යාසත් එක්ක. ඊලග සටහන කියවන්න ආසාවෙන් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අනුරුද්ධ . ඒ යෝජනාවත් පංකාදුයි . උත්සහ කරලා බලන්නම්

      Delete