කැම්පස් වලට නැව් එන කතා අහලා ඇතිනේ. ඒ කියන්නේ අලුත් බැච් එකක් එන එක. මේ නැව එනකම් දෙටු සිසුන් බලා ඉන්නවා නැවේ තමන්ගේ පන්ගුකාරයා එනවා කියලා. සමහරු නැව ළඟටම එනකන් ඉන්නේ නැතිව ඔය ගෙල්ට් පාටමාලා එහෙම තියෙන තැන්වල කැරකෙනවා. එහෙම එව්වන්ට කිව්වේ මුහුදු යන්නෝ කියලා.
ඔය අතර බෝට්ටු එන වෙලාවලුත් තියෙනවා. ඒ නැවේ එන්න බැරිවුනත් පස්සේ ලැබෙන පුරප්පාඩු වලින් කිහිප දෙනෙක් සරසවියට ගන්නවා අන්න එහෙම එන එව්වන්ට තමයි බෝට්ටු ඇත්තෝ කියන්නේ.
අපේ කැම්පස් එකටත් බෝට්ටුවක් ආවා. මේක නිකම්ම බෝට්ටුවක් නෙවෙයි කොන්ක්‍රීට් බෝට්ටුවක්. කවුරුත් දන්නවනේ ඉන්ජිනේරු පීඨය එහෙම නැත්නම් කම්මල ගැන.
ටාන් ටාන් ටාන් . මහවැලි මිටියාවත දෙවනත් කරගෙන ඇහෙන කම්මලේ යකඩ තලන හඬ .
එක්දහස් නවසිය අනු දෙක අවුරුද්දේ පේරාදෙණි කම්මලේ රිදී ජුබිලිය . කම්මල කොළඹින් පේරාදෙණියට ගෙනල්ල අවුරුදුම විසි පහයි. ඔය අව් අස්සේ මේ රිදී ජුබිලිය ඉහලින්ම සමරන්ට ඕනිය කියලා තිබ්බේ නැද්ද ලොකු ප්‍රදර්ශනයක් .
නොයෙක් විදිහට සරසලා වැඩ දාලා දැන් ඉතින් මහා ප්‍රසිද්දියක් දුන්නා .
මේක බලන්න එන ජනී ජනයා අතරේ අපේ අම්මයි තාත්තයි හිටන් ආවා
අරෙහෙන් මෙහෙන් තියෙන එව්වා බලලා මම අම්මයි තාත්තයි එක්කරගෙන ගියා මැටීරියල් ලැබ් එකට . ඒකේ තිබ්බ මහා ගොඩක් අමුතු අමුතු ජාති අතරේ තියෙනවා හරි උහ අපූරු තාලේ බෝට්ටුවක්.
ඒක තනිකර කොන්ක්‍රීට්
මේක මොකක්ද මේ අපේ තාත්ත ඇහුවා.
ප්‍රදර්ශන භාණ්ඩ ගැන විස්තර කියල දෙන්න හිටපු පළවෙනි අවුරුද්දේ මානවිකාවෝ සාරි හෙම ඇඳලා හරියට ලක ලැස්ති වෙලා දැන් දෙනවා විස්තරේ එළට.
'ඔය තියෙන්නේ අන්කල් තනිකර කොන්ක්‍රීට්වලින් හදපු බෝට්ටුවක්'
මහා මෝඩයෝ රැලක් දිහා බලන්න වගේ තාත්තා කෙල්ලෝ දෙන්න දිහා බලලා ඔලොක්කු හිනාවක් දැම්ම.
මගේ දිහාත් බැලුවා මොන මෝඩ දේවල්ද උඹලා මේ ඉගෙන ගෙන තියෙන්නේ අහන්නා වගේ.
ඔය කොන්ක්‍රීට් කියන්නේ ළමයෝ වතුරට දාපු හැටියේ ගිලෙන එකක්නේ. මේක මොන විහිලුවක්ද කොන්ක්‍රීට්වලින් බෝට්ටු හැදුවම. වතුරට දාපු හැටියේම ගිලිලි යාවි . ආයෙත් හිනා උනා
පොඩි කෙල්ලෝ දෙන්නා මොකුත් කියා ගන්න බැරිව තතනනවා. 'අන්කල් උත්ප්ලාවකතාව , ආකිමිඩීස්,වතුරේ ගිලෙන ගණත්වය', අනන් මනං කියවනවා . එතනට තව කට්ටිය රොක් වුනා
තමන්ගේ ප්‍රදර්ශිකාවෝ දෙන්නා වැටිලා ඉන්න අමාරුව දුටු සහාය කතිකාචාර්යවරයෙක් දුවන් ආවා එතැනට. මම තාත්තා අතින් ඇදගෙන යන්නයි හැදුවේ පස්සේ මේ ගැන කියලා දෙන්නම් කියලා.
මොන , අපේ තාත්තා එහෙම ලේසියෙන් කියන දෙයක් අහන කෙනෙක් නෙවෙයි. අපි ඒ අතින් කොච්චර හොඳද?
පුංචි ඇදුරුතුමා දුන්නේ නැද්ද හොඳ විස්තරයක්.
මේකනේ ඔබ හැම දන්නවා යකඩ උනත් වතුරේ ගිලෙන බව. ඒත් මහා නැවු හදලා තියෙන්නේ යකඩින්. මෙතෙන්දි වෙන්නේ යකඩ වතුරේ ගිලුනා වුනාට විශාල කුහරයක් තියෙන භාජනයක් යකඩින් හැදුවම බව්තික විද්‍යා සිද්දාන්ත අනුව ඒ භාජනය ගිලෙන්නේ නෑ. ඒ වගේමයි යකඩ නැත්නම් කොන්ක්‍රීට් බෝට්ටු .
'ඒත් ඉතින් මහත්තයෝ ඒ යකඩනේ. මම කිව්වේ මේ කොන්ක්‍රීට් . මේකනම් ගිලෙනවා' .තාත්තාත් වැඩේ අරින්නේ නෑ.
යං යං මමත් කිව්වා . අම්මත් කිව්වා .
මේ කොන්ක්‍රීට් බෝට්ටු වැඩේ හා වාද පිටිය දැකපු දෙටු ඇදුරුතුමා විදිලි වේගෙන් එතනට සැපත් වුනා .
ඉන්න මම පැහැදිලි කරන්නම් . ඔහු බොහොම පරිණත විදිහට කතා කරා .ලස්සන සිංහලෙන් පැහැදිලි කළා බෝට්ටුවක් එහෙම නැත්නම් නැවක් ලීවලින්ම නැතිව වෙනත් බර දේකින් හැදුවත් ගිලෙන් නැති වෙන්න හේතුව. ඊට පස්සේ උදාහරණ ඉදිරිපත් කළා. බෝට්ටු විතරක් නෙවෙයි මහා විශාල නැව් කීපයක්ම ලෝකේ තිබිලා තියෙනවා කොන්ක්‍රීට්වලින් හදාපු. ඔහු කිව්වා.
දෙටු ඇදුරුතුමා කොච්චර ලස්සන වචන පාවිච්චි කරාද කියනවානම් වටේ හිටි හැමෝම වශී වුනා. පළමු වසරේ ප්‍රදර්ශිකාවෝ දෙන්නයි පුංචි අදුරු තුමයි තමන්ගේ දෙටු ඇදුරා දිහා ස්තුතිපුර්වක ගරුසරුවකින් බලා ඉන්නවා .
තාත්තා තරමක් සන්සුන් උනා .
ඇදුරුතුමා දිහා බැලුවා . පූංචි හිනාවක් දැම්මා
ඔය මොනවා කිව්වත් ....
කියලා බෝට්ටුවට පිටි අල්ලෙන් දුන්නා සද්දේ එන තට්ටුවක්
ඊළඟට රිදෙන ඇඟිලි ටික අනිත් අතෙන් අතුල්ලන ගමන් මෙහෙම කිව්වා.
'ඔය මොනවා කිව්වත් මේ බෝට්ටුව වතුරට දැම්මොත් ගිලෙනවා.'
මගේ හිතවත් ප්‍රදර්ශිකාවෝ දෙන්නයි, පුංචි අදුරු තුමයි දෙටු අදුරු තුමයි තුෂ්නිම්බුත වෙලා බලා හිටියා.
මේ කතාව තටු ලබලා අලුතින් ලුණු ඇඹුල් එකතුකරලා සරසවි බිම පුරා පැතිරෙනවා.
එදා හැන්දෑ වෙනකොට අක්බාර් ලියුම් බෝඩ් එකේ මගේ නමට තැපැල්පතක් ඇවිල්ලා. එවලා තිබ්බේ අපේ තාත්තා එවන හැටියට. (අත් අකුරුවලින් මන් ලියපු එකා හොයා ගත්තා)
පුතේ,
උඹලා ඉගෙන ගන්නේ මොනවාද කියලා මට පුදුම හිතුනා.
ඔය ප්‍රදර්ශනේ ඉවර වෙලා කට්ටිය අර බෝට්ටුවේ කොහේ හරි යන්න කතා කරොත් උඹ මග ඇරලා ගෙදර වරෙන්.
ඕකනම් ගිලෙනවා පුතෝ!
චිත්‍රය -ඔවිනිගෙන්