අපේ ගෙදරින් එලියට බහිද්දීම හමු වන කුඩා තාර පාරේ
රේසර් රෝද හතරක් සවි කළ ඩක්කු කරත්තය තබා වාඩි වූ විට එය කෙලින්ම ගොස් නතර වන්නේ
ආච්චිලා ගෙදර මිදුලේය. ආච්චිලා ගෙදරට අපේ ගෙදර සිට හැතැප්ම කාලක් පමණ තිබ්බත් එය
තනි බෑවුමකි. මේ බෑවුම එක දිකට අද්දන්නට හිතාන සැර දමා ගෙන එන කිසියම්ම හෝ වාහනයක් බෑවුම මැදදී, අනේ නතර නොවී තිබුනේ එහෙමත් වෙලාවකය.
අපේ ආච්චි මේ කන්ද බොහොම අමාරුවෙන් නැග දනිස් දෙකට දැත් තියාගෙන අපේ ගෙදරට ගොඩ වෙන දර්ශනය අපේ පවුලේ පමණක් නොව ගමේ හැම දෙනාම
පාහේ අනේක වාරයක් දැක තිබේ. ඒත් ඇය වතාවක් ඇඹුල් කැත්තක් කර තබාගෙන මේ කන්ද නොනැවතී දිව ආ අපුරුව දැක්කේ මා පමණකි.
දැනුත් ඉඳ හිට දරු
පැටියන් සමග ගමේ ගිය විට මේ පල්ලම දිගේ ගොස් ආච්චිලා ගෙදර තිබු තැන නටබුන් නරඹා කන්ද
දිගේ ආපසු දිව
එන්නට අපි පුරුදු වී සිටිමු. එවිට ආච්චී මට ඉදිරියෙන් දිව යන්නාක් සේ මට පෙනෙයි.
ආච්චී පිලිබඳ මගේ මතකය පටන් ගන්නේ හැත්තෑව දශකය මුල සිටය.පොඩි මාමාගේ මළගමින් පසු ඇය
දිගින් දිගටම හුල්ලමින්, සුසුම් හෙලමින් ලොකු පොරෝනය තුළ වකුටු වී දවසම ගතකල කාලයක් තිබිණි. ගෙදරට
කවුරුන් ගොඩ වුවාත් ඇය හඬා වැළපුනාය.අවුරුදු
හතරක්ම ඇඳේ වැතිරී ඇය සිය ආදරණීය බඩ පිස්සා, යස ඉලන්දාරියකුව සිටියදී ඇගෙන් උදුරා
ගැනීම නිසා හඬ හඬා සිටියාය. වරින් වර ඇතිවන ඇවිලිල්ල හා හතිය නිසා පපුවේ ගාන්නට සිද්දාර්ථ, සර්වවිෂාධී හා කෝළ සෙලෙෂ්මා තෙල් කුප්පි පේලියක් ඇඳ ළඟ කනප්පුවක තබා තිබුනා මතකය.
ආච්චී සිසිර කාරක නින්දෙන් නැගිට්ටා සේ යලි අළු
ගසා දමා නැගිට්ටේ සීයා මිය ගිය ගොස් සතියක්
දෙකක් යද්දී ගේදොර වතු පිටි අරාජිකා වී යන ශෝකය නිසාය. ඇය මිදුලට වැටෙන කොස් කොළ හා සපු කොළ අතු ගා
ගිනි තැබුවාය. ගෙය් දොරකඩටම හොස්ස පොවන්නට ලක
ලැහැස්ති වී සිටි ගඳපාන, බුත්සරණ හා ගම්පාලු ලැහැබ් ඇයගේ උදලු කෙටියට බියෙන් ඈතින් ඈතට පලා ගොස් රැ කුමරිය ලන්දේ ඔලුව හංගා ගන්නා හැටි මට පෙනිණි. ඒ වෙනුවට මිදුලට අතු ඉති දික්කර ඇයගේ මල් වට්ටිය පුරවා ලු සේපාලිකා, සමන් පිච්ච හා වතුසුදු
පඳුරුවලටද ඇය බුදුන් පුදද්දී පින් දුන්නාය. .
අන්කුරි, රත්ති හා
වසුපැටියන් තෙමි තෙමී නිදා ගත් ගාල අලුතින්
පිදුරු දමා සෙවිලි කෙරෙව්වාය. කිරි අම්මා දානයක්ද, දේව දානයක්ද, අවුරුදු පතා දෙන මාමාගේ දානයද, සීයාගේ
දානයද ලක ලැහැස්ති කරමින් දසත විසිරී පවුල් පන්සල්
වී සිටි දරු මුණුපුරන් අවුරුද්දකට අඩුම තරමින් හතරවාරයක් එක් රැස් කෙරෙව්වාය.
මෙකී නොකී කාරිය බහුල කඩිසර දිවි පෙවෙතක් ගෙවූ
ආච්චිගේ දෙවන උපත අපේ ජීවිතවලට මිහිර උපරිමයෙන් ගෙන ආවේය. වට වන්දෙනවේ යද්දී
අගේ තනියට ගෙදරින් ගියේ මමයි. ඇය සිරීපාදය නැග්ගේ මගේ අතින් අල්ල්ලාගෙනය. නගරයේ
පුංචි සිනිමා ශාලාවේදී අජාසත්ත හා සිරිපතුල චිත්‍රපට
බලන්නට මම ගියේ ඇය සහ අගේ ම්තුරු උපාසක අම්මලා පිරිසක් සමගය.
අජාසත්තගේ අණින් බිම්බිසාර රජ්ජුරුවන් සිරකොට ඔහුගේ
දෙපා පලා ලුණු දමන දර්ශනයේදී ඇය මහා හඬින් බැන වැදුනාය. ' පවුකාරය උඹ දැනගනින් ඔය කරගන්න යන්නේ ආනන්තරීය පාප කර්මයක් බව'.
වරින් වර ආච්චී හා ඇගේ මිතුරියන් සාදුකාර දුන්නෝය. සමහර
විට ඉකි බිඳ හඬා වලපුනෝය.
ආච්චිගේ කඩිසර එහෙත් ශාන්ත දාන්ත පැවැත්ම වෙනස් වු
එක්තරා වකවානුවක්ද විය. එය සිදු වුයේ මහා ඡන්දයකින් පසු
අපේ ගෙදර ගිනි තබා සුන්නද්දුලි කරනවායයි පැතිරුණු ආරංචියත් සමගය. පොලිසියටද නිවාඩු දී තිබු ඒ දවස් වල අපේ පිහිටට සිටියේ ආච්චීත්, ගමේ
හිතවතුන් පිරිසත්ය. අලවංගු හා එරමුදු පොලු අතේ තියාගෙන තාත්තාත් සමග ගමේ හිතවතුන්
ගෙදර රැකවල් කළෝය. හැන්දෑ වන විට ආච්චී ඇඹුල් කැත්තද
කර තබාගෙන ඇවිත් අක්කලා හා පොඩිවුන් ආච්චිලා ගෙදරට
කැඳවාගෙන ගියාය. ඔවුන්ට නිදන්නට ඉඩ සලසා දී ඇය ගේ වටා හක්මන් කළාය. මේ බියමුසු කාලකන්නි දවස් කීපය ගෙවී යමින් තිබියදී දවසක් ආච්චිලා ගෙදරත් අපේ ගෙදරත් අතර වූ
කුඩා හතරමන් හන්දියේ ගොම්මන් අඳුරේ සිටි එකෙක් මට කිව්වේ ‘අන්න අරුන් ඇවිල්ල
මල්ලිලා ගෙට පහළ හැංගිලා ඉන්නවලු’. කියලාය.
‘අරුන්’කියද්දී ඒ කවුදැයි මට
වැටහිණි. මම වේගයෙන් දිව ගොස් ආච්චීට ආරංචිය කිව්වේ
ඇය ඒ වන විට අපේ පවූලේ සිටි කල්පනාකාරීම ආරක්ෂකයා බව
මට ඉවෙන් මෙන් දැනී තිබුණු නිසාය.
මගේ ගොතය මැද්දෙන් කියැවුණු පණිවුඩය වහා වටහා ගත් ආච්චී ඒක්ෂණයකින් ඇඹුල් කැත්ත අතට ගත්තාය. ' හත් දෙයියනේ කෙල්ලෝ දෙන්න මට එක්කරගෙන එන්න
බැරි වුනා' කියා විලාප දුන්නාය. ඉන්පසු මැරතන්
ශුරියක් පරදන වේගයෙන් ඇඹුල් කැත්තද කර තබාගෙන චීත්ත පොටක් උඩට නවාගෙන හැල්මේ කන්ද දිගේ අපේ ගෙදරට දිව්වාය.ඇය කෙලින්ම ගෙදරට දිවගොස් අම්මාද
අක්කලාද ඇගේ බාරයට ගත්තාය. එදා මැරයන් අපේ ගේ
ගිනි තබන්නට නොආමුත්,වැරදිලාවත්
ආවානම් ඉන් එකෙක්වත් ආච්චිගේ ඒක පුද්ගල ආරක්ෂක බලකායේ සීමා බිඳ අප අසලට ළං නොවන බව නම් ස්ථිරය. උන්දෑගේ දෑසේ එවේලේ තිබු අදිෂ්ටාන ශක්තිය දේවතා එළියක් වී හාත්පස ඒකාලෝක
කරමින් මා ඉදිරියෙන් ඉඳ හිට දිස් වෙයි.
උඹේ ලියවිල්‍ල මම කියෙව්‍වෙ ජනවර්‍ජන "කලෙකින් ලත් බොජුන පායානයක් මෙන් " කාපු විදිහටයි. ඒ ලියවිල්‍ලෙ රස ධාතු ක්‍ෂනයකින් මගේ මොල නියුරෝන තුලට වැදුනෙ හත් අවුරුදු නියං සායකින් පස්‍සෙ දූවිලි වැල්‍ලකට වැහි පොදක් වැටුනා වාගෙ. ඇයි ඒකනායක නම තාමත් විකුම්‍සිහ, පලන්‍සූරිය ගොඩේ නැත්‍තෙ? උඹ ලියූ ලියවිල්‍ල මගේ ඔලුවෙ එකිනෙකට ගැටගැහුනු පුශ්‍න බර ගණනක් පැල කරා. මාර්‍ටින් වික්‍රමසිංහ පාවිච්‍චි කල ජාතියෙ නැමි කුඩ සීයක් බොල් පොලොවක ඇන්‍නා වාගෙ...
ReplyDeleteරුක්‍මණී දේවි මිය ගිහින් දවස් දහ පහලොහක් යනකල් රේඩියෝවෙන් ඇහුනෙ මැවිලා පෙනේවි, සිරි බුද්‍ධගයා සිංදු. මේ දවස් වලම තාත්‍ත ගෙනත් දුන්‍න ඇඹිටිල්‍ලං බේබි පියානෝවෙන් මම මේ සිංදු වාදනය කරන හැටි අඩවල් දොරෙන් එබීගෙන කටවල් ඇරගෙන අම්‍මයි තාත්‍තයි බලාගෙන හිටියා. පොඩිකාලෙ ඉඳන් මම සංගීතයට ගැලුම් ගණන් කෙල පෙරුවත්, ලංසි මියුසික් ටීචර් ට සිය ගණන් ගෙව ගෙවා මගෙ දෙමව්‍පියො පියානෝ පන්‍ති යැව්‍වෙ, පදේට මේසෙකට තට්‍ටු කරන්‍ට බැරි අක්‍කව! කොල්‍ලන්‍ට උගන්‍නලා වෙද්‍දු ඉංජිනේරුවො කරවන්‍ටත් කෙල්‍ලන්‍ව පොලිෂ් කරලා විවාහයට සූදානම් කරන්‍ටත් පුරුදු වුනු හැට ගණන් වල මැද පන්‍ති පිළිවෙත ඕකට හේතුව වෙන්‍ට පුලුවනි. මම උපන් ගෙයි කලා කාරයෙක් කියනවා නෙවෙයි, නුමුත් මගේ මේ වගේ ආකල්‍ප නිසා කී ලක්‍ෂයක් නම් උපන් ගෙයි කතු වරු, යති වරු, සිත්‍තරු, නැට්‍ටුවො, ගයන්‍නො, වයන්‍නො, අඩමාන කම්‍මැලි හිතින් වෙද, ඉංජිනේරු පාරෙ යන්‍ට පටන් ඇරන් මග නතර වෙන්‍ට ඇත්‍ද? හතලිස් පණස් ගණන් වල අපේ රටේ පාත්‍ති, දෙවට, ළඳු කැලෑ පුරා පිපුනු සඟ, පාදිලි, කලා මල් පොකුරු වලට හේතුව, මට හිතෙන තාලෙට, ඒ කාලෙ මේ වෙද ඉංජිනේරු හීන වලට තිබුනු දුරස්‍ථ බවමයි. අමරසිරිගෙ "මගේ පුංචි රෝස මලේ මමයි නුඹේ වියපත් බඹරා" සහ සුනිල්‍ගෙ "යොවුන් සිතුවිලි විපිලිසර වී මහලු ලොව තුල මිය ඇදේ" ඇහෙනකොට මට මතක් වෙන්‍නෙ හැබෑ කරගන්‍ට බැරි වුන, හැබෑ කරගන්‍ට කවදාවත් බැරි වෙන, මගේ යටිහිත දැක දැක අහක බලාගත්‍තු හීන. අර මාලිනී බුලත්‍සිංහලගෙ "අහක බලාගෙන මග දිග යන විට නෑ මට වාවන්‍නේ" ගායනය වගේ.
මේ කතාවෙන් මට තවත් පරණ කතාවක් මතක් උනා. අපි අර වලියක්‍දා ලියන්‍ට යෙදුනු රසායන ඉංජිනේරු අංශ භාර මහාචාරිය තුමිය දවසක් දා අපේ කතු තුමාගෙන් මෙහෙම අහුවා. "ඔබ සියලු කලා කටවුතු වලට නිසගයෙන් දක්‍ෂයි. ඔබට යම් සංගීත භාණ්‍ඩයක් වාදනය කිරීමටත් හැකිද?" අපේ කතු-තුමා අර දවසක් දා කියන්‍ට යෙදුනු කටු කරෝසන වූත් විශ්‍වාස කළ යුතුවාම වූත් හඩින් මෙසේ දැනුම් දුන්‍නේය. ""මම බට නලා වාදනය ඉගෙන ගත්‍තා... කොතරම් උත්‍සහ කළත් මාස හත අටක් යන තුරුත් එයින් කිසිම හඩක් නගා ගන්‍නට මට පුලුවන් උනේ නැහැ. නුමුත් නොපසු බට උත්‍සාහයෙන් එහිම යෙදුනු මට අවසානයේදී බට නලාවෙන් හඩක් නගා ගන්‍නට හැකි වුනා. නුමුත් ඊට බෙරයකුත් උවමනා උනා... "
මෙච්චර ලස්සනට ලියන්න පුළුවන් රුවන් මොකද බ්ලොග් එකක් නොලියන්නෙ ? අපිට කියවන්න අපූරු කතා ඇති..
Deleteනෑ සරත් ඔය රුවන්ගේ හැටි මම හොඳට දන්නවා. දැන් මෙහෙම ලියන්න අරිමු. ටික ටික අපි ඇදලා ගමු. අවුරුදු දහ අටකින් සිංහල අකුරක් නොලියපු මිනිහෙක් මෙහෙම හරි ආයිමත් ලියන්න පටන් ගත්ත එක කොච්චර දෙයක්ද?
Deleteඅද සෙනසුරාදා. තිලකසිතට ආවෙ බැරිවෙලාවත් මොකවත් තියෙයිද බලන්‍න. ආච්‍චි ගැන කතාව ආයෙත් කියවලා ජනේලෙන් එපිට බලාගෙන කෝපි කෝප්‍පය බොන වෙලාවෙ මට පාවෙල්‍ගෙ අම්‍මා මතක් වුනා. ඊට පස්‍සෙ මතක් උනේ අපේ අම්‍මා වතාවක් කරපු මැර වැඩක්. අසූ අටේ ජනාධිපතිවරනෙ පැවැත්‍වුනේ තර්‍ජන ගර්‍ජන බෙලි කැපිලි මිනී මැරුම් මැද්‍දෙ. මැතිවරණ රාජකාරියට තාත්‍තා මහවට පිටත් උනේ මාසෙකට දෙකකට කන්‍න බොන්‍න වගේම අපට කියවන්‍න පොත පතත් ගෙදරට ගෙනත් දාලයි. තාත්‍තා යන්‍න කලින් අපට ස්‍ටෑන්‍ඩිං ඕඩර්ස් බෙදුවා. මොනම හේතුවකට වත් අපිට ගෙදරින් පිට යන්‍න තහනම්. මහව පැත්‍තෙන් කළබල ගැන ආරංචි ආවොත් බයවෙන්‍න තහනම්. තාත්‍තා ආපහු එනකල් නුවුමනා දේ කාලා ලෙඩ වෙන්‍න තහනම්. සාලෙ ජනෙල් තිර ඇඳ ඇතිරිලි වලින් ඩබල් කරලා අඩු සද්‍දෙන් අපි රූපවාහිනිය දිහා බලාගෙන ඉන්‍නෙ කොයි වෙලාවෙ මොකක් පුපුරයිද නොදැන. ඉන්‍ටර්‍නෙට් නැති ඒ කාලෙ මම මගේ කාමරේ තිබුනු ජේවීසී කෙටි තරංග රේඩියෝව කෙළවරක් නැතුව කරකවන්‍නෙ කොයි රටකින් හරි ලංකාව ගැන කියන විශ්‍වාස කළ හැකි යමක් අහගන්‍නයි. මැතිවරණ දවසෙ උදේ පලමුවෙන්‍ම දැනගන්‍න ලැබුනෙ ජන්‍දෙ දාන්‍න ගිය මිනිස්‍සුන්‍ට කීප තැනකදි වෙඩි තියාපු බව. මේ විස්‍තරය ගෙදර අයට කියම්‍ද නොකියම්‍ද කියා හිතමින් උදේ නැගිට්‍ට වනින් ඇඳේ හිටි මම නැගිට කුස්‍සියට ගිය ගමන් කතාව කීවෙමි. අම්‍මා මහත් කලකිරීමෙන් "ඔන්‍න රටේ හැටි" යැයි කීවාය. තාත්‍තා ගැන බිය වූ අක්‍කා සුපුරුදු පරිදි කිසිත් නොකියා බකන් නිලා ගත්‍තේය. දවස ගෙවෙත්‍ම ඇසුනු ආරංචි කොහොත්‍ම සුබ නොවීය. පාලු ජන්‍ද පොලවල් ගැනත්, මරා දැමුනු අහිංසක රජයේ ජන්‍ද නිළධාරින් ගැනත්, ජන්‍දය දමන්‍නට ගොස් මැරුම් කෑ මිනිස්‍සු ගැනත් තොරතුරු නොකඩවා ගලා ආවේය. අම්‍මාගේ හිතවත් "මිසිස් එන් එම්" ලෙහෙසියකට බය වෙන ගැහැනියක් නොවේ. නමුත් ඇයත් ගෙට වී දොර ජනෙල් වසා ගත්‍තාය. දවල් එක දෙක වන විට පාර තොට හිස් විය. නගර සේවා බස් රථ කීපයකට වෙඩි තැබුනායෙන් ඒවාද නතර විය. අවට වැහි බර බීරුම් මූසල නිහැඩියාවකි. හිටි වනම අම්‍මා සාරියක් පටලන්‍නට පටන් ගත්‍තාය. "කොහෙද යන්‍න හදන්‍නෙ? මොකද්‍ද මේ කරන්‍න හදන්‍නෙ?" අක්‍කා අම්‍මාගෙන් දැඩිව විමසුවාය. "මමත් එනවා!" මම කීවෙමි.
ReplyDelete"ඕගොල්‍ලො ඔහොම ඉන්‍න" අම්‍මාගේ මුරන්‍ඩුව ලෙහෙසියකට නැමෙන්‍නක් නොවේ. අපගේ බැගෑව සතයකට මායිම් නොකර කුඩයකුත් ගෙන දොර ලඟට ආ අම්‍මා කෙලින්‍ම අපේ බියපත් මුහුණු දෙස බලා මෙසේ කීවාය. "මේක මගේ පුද්‍ගලික අයිතිය ගැන පුශ්‍නයක්. මගේ රටවැසි අයිතිය කිසි කෙනෙකුට උදුරාගන්‍න බැහැ...".අපි කටවල් ඇරගෙන බලා සිටියදී ඇය "දොරවල් වහගෙන ගෙට වෙලා ඉන්‍න" යැයි කියා පයින්‍ම පිටත් වුනේ සැතපුම් තුනක් පයින්‍ම ගොස් ජන්‍දය දැමීමටය. අම්‍මා පිටත්‍ව ගොස් තරමක වෙලාවකි. ඇහෙන්‍නේ රතිඤ්ඤා හඩද වෙඩි හඩදැයි තෝරාගත නොහැක. අපේ බය කෝපයට හැරුනේ පැය තුන හතරකට පසු අම්‍මා ගේට්‍ටුවත් ඇරගෙන මිදුලට එනු දුටු විටය. ඇඳුම් මාරු කළ ඇය කේතලය ලිප තබා විත් සාලයේ වාඩි වුනේ "තේ එකක් බොමු නේද" කියාගෙනය. ඇය තකහනියක් ගොස් ජන්‍දය දැමුවේ කාටදැයි දැනගැනීමට අපට උවනා වූ මුත් තාත්‍තා පිළිබඳ බියෙනුත් අම්‍මා පිළිබඳ කෝපයෙනුත් හුන් අප රූපවාහිනිය දෙස විරවාගෙන බලා සිටියේ කිසිවක් නොකියාය. ජීවිතය පරදුවට තබා ඇය ගියේ ජන්‍දය කටු ගා දැමීමට බව අප දැනගත්‍තේ ඊට වසර කීපයකට පසුවය.
ReplyDeleteඑහෙමත් කාලයක් කියලා හිතෙනවා. අපි අවුරුදු තිහක් වෙද්දී පනහක අත් දැකීම් ලබල
Deleteරුවන් බ්ලොග් එකක් නොලියන්නේ ඇයි කියන එක වගේම තිලකගේ ප්‍රොෆයිල් පික්චර් එක මේවගේ නිර්නාමික එකක් වුනේ ඇයි කියලත් මට හිතාගන්න අමාරුයි. ඇයි මචං උඹේ අර කාටුන් එක මෙතනට වැටෙන්නේ නැත්තේ?
Deleteඔබේ අකුරු පොත් ලෙස කියැවීමට බලාපොරොත්තු වන බව ලියා තබමි. ඉතා අගෙයි..
ReplyDeleteස්තුතියි කඳු - සංවේදී රසිකත්වයට හා අගය කිරීමට
Deleteඔය කියන පොලිසියට නිවඩු දුන් ඉලෙක්ෂන් එකෙන් පස්සෙ අපේ ගේ වටකරලා ප්‍රහාරයක් දුන්නා. ගල් මුල් මෑද්දේ ඉස්සරහ දොර ඇරං මම එලියට ගියේ දකුණු අත පස්සෙන් තියාගෙන. මගෙ මූනෙ තිබුණේ ගල් වෙච්ච හිනාවක්.. ඒ මොකද අර සේනාවෙ මුලින්ම හිටියෙ අපේ තාත්ත එක්ක අපි හිටි පැත්තට වැඩ කල උන් දෙන්නෙක්.. මං අතේ තිබුණේ කඩුවක්.. ගල් මුල් නැවතුනා.. සේනාවම පල්ලම් බැස්ස.
ReplyDeleteඅපේ තාත්තා වැඩ කළේ යුඑන්පියට නිසා අපි ඔය අත්දැකීම වින්දෙ 94 දි....
Delete88, 89 අත්දැකීම් නම් පොතක් ලියන්න හැකි.... ඒ වෙද්දි මට අවුරුදු දහයයි.. ඒත් අහපු දැකපු විඳපු කතා හිතේ කෙටිල තියෙනවා...
අද ආච්චි අම්මලගෙ දවස කතන්දර කියවන ගමන් එක බ්ලොග් එකකින් තව එකකට මාරු වෙවී කතන්දර කියවන ගමන් වට වන්දනාවක යනව :-D
ReplyDeleteතිලක්ගෙ ආත්තම්මා බොහොම දහිරියවන්ත ගෑණියෙක් නෙව !
අදට යෙදෙන කාංතා දිනය වෙනුවෙන් ඒ ආච්චි අම්මාට මේ කොමෙන්ටුව.
ReplyDeleteමේක කියවපු කී වෙනි වතාවද මංදා, අදත් කියවගන්න බැරි තරම් ඇස් බොඳ වෙලා කඳුලු ආවා..
ReplyDeleteහරිම සුන්දරයි. ඇත්තටම ගිහින් බලන්න තරම් හිතයි අඩු ගානෙ ඒ වටාපිටාවවත් බලාල එන්න! ඇත්තටම මොකක්ද මේ ඉසව්ව!
ReplyDeleteමරු !!!!!!
ReplyDelete