ඒත් මේ ගැන හරියටම කියන්නට පුළුවන් වෙන්නේ මානුෂීය ගුණයෙන් යුත් අති සංවේදී කවියෙකුටම පමණි.
බෝගන බෝකන්ද කවියා සිය මිතුරු කවියෙක් ගැන අපුරු ගීයක් ලීවේය. විශාරද සරත් පීරිස් එය සංගීතවත් කළේය . නෙලූ අධිකාරි මධුර හඬින් එය ගීතවත් කළාය. මේ ඒ ගීයේ පදවැලයි.
සොඳුරු කවි සිත්තම්
දූගේ පන්හිඳ අගින් පත් ඉරු මතට කැන්දන් ඒ
මිතුරු කිවියාණනේ
මිතුරු කිවියාණනේ
දෙනෙත් රැඳී ඝන අඳුර විනිවිද
කාල අවකාශයේ සරමින
තෙවැනි ඇසකින් දකින ලෝකය
මිතුරු කිවියාණනේ
බිතෝවන්ගේ මියුරු සත්සර
වැන්ගොගේගේ සිතුවමක් මත
නිබඳ කරනා සමෝදානය
මිතුරු කිවියාණනේ
ගීතයෙන් කියන්නේ දෙනෙත් අඳ කවියෙකු ගැනයි. ඔහුගේ කවි අකුරු කෙරෙන්නේ දියණියගේ පන්හිඳෙන්ය. අඳුර විනිවිද කාල අවකාශයේ සරමින් තෙවැනි ඇසකින් ලෝකය දෙස බලා කවි ලියන මිත්‍රයා ගැන බෝගන බෝකන්ද කවියාගේ හදවත උතුරා බිහිවුණු ශෝකී උපහාරය එයයි.
සිරිපා හිමේ කුඩා කඳුගැටයක අරලිය ගස් සෙවනේ සැතපෙන සිය අම්මා හා අප්පච්චී ගැන බෝගන කිවිඳුන් ලියු ගීතයත් විශාරද සරත් පීරිස් විසින් සංගීතවත් කොට ගායනා කළේය.
මාගල් ගඟ ගලා බසින සිරිපා හිමයේ
සීතල කැදලි බඳින පුංචි කඳු ගැටේ
අරලිය සෙවණේ සදා නිදනා අම්මේ
අප්පච්චී ළඟම සදා නිදනා අම්මේ
උණු දිය පරුවතයට හිස තියාන
ශීත ගඟුල ශීතල පා ඔබාන
මහගිරිදඹේ සෙනගට සෙත් පතාන
පෙරුම් පුරනවද බුදු බව පතාන
පොවා රුහිරු කිරි කොට අප වැඩු අම්මා
මහා මෙරක බර නීති ඉසිළූ අම්මා
බවෙන් බවේ වීමෙන් ඔබ අපේ අම්මා
පියාණන් සමග නිවනින් සැනසෙම්වා
මේ අලුත් ගීතය ඔබට ඇසීමට සලසන්නට ඕනෑ නිසා මම මේ සබැඳිය ලබා ගත්තේ මා සුමිතුරු ජයවීර බණ්ඩාරයන්ගේ මුහුණු පොතිනි.
මේ ගීත දෙක මා ශ්‍රවණය කලේ ඊයේ හවස්වරුවේය. ගීත එවා තිබුනේ ගායක සරත් පීරිස්මය.මේ ගී දෙක මා අසා මුසපත් වුවාට පසු සරත් මට ඒ දුක්බර පුවත දැන්වීය.
'මට ඒ සින්දු දෙක ලියල දුන්න බෝගන බෝකන්ද මහත්තයා අද උදේ නැති වුනා'
ගී අසා මා පිවිස සිටි මනෝභාවය, සරත් පණිවිඩය කී ශෝකී විලාශය සමග මුසු වී මගේ හදවත මොහොතකට නතර වුනේය.
සීතල සිරිපා හිමේ කුඩා කඳුගැටයක සිය අම්මා හා අප්පච්චී නිදන සොහොන් ගැබ අසලම ඔහුද හෙට සිට නිදනු ඇත.
සුන්දර කවියාගේ කවි අසන්නට රිසි අරලියා මල් පිපී පරවී වැටෙමින් ඔහුගේ සුවඳ ඇති කුඩා බිම්කඩේ හිස හොවා ගනු ඇත. ඒවා මත සීතල කඳුළු පිනි කැට අනවරතව කාලයක් තිස්සේ වැටෙනු ඇත. ගිරෙන් ගිර සරමින් නොනවතින සවාරියක යෙදෙන නොයිඳුල් සුළන් රැල් එතැන මදක් නැවතී ගිමන් හරිනු ඇත.
මිතුරු කිවියාණනේ. සුබ ගමන් !!
බිම්කඩේ හිස හොවා ගනු ඇත. ඒවා මත සීතල කඳුළු පිනි කැට අනවරතව කාලයක් තිස්සේ වැටෙනු ඇත. ගිරෙන් ගිර සරමින් නොනවතින සවාරියක යෙදෙන නොයිඳුල් සුළන් රැල් එතැන මදක් නැවතී ගිමන් හරිනු ඇත.// :(
ReplyDeleteඔහුට සුබ ගමන්!!!
Kiwindata niwan suwa pathami. Lassana kathawa..
ReplyDeleteසමහර වටිනා කියන දේ අපට අහිමි වෙන්නේ අවශ්‍යම වෙලාවලදි..ඔහුට නිවන් සුව!
ReplyDeleteඔහුට නිවන් සුව පතමි.
ReplyDeleteඔහුට නිවන් සුව
ReplyDeleteඔහුට සුබ ගමන්!!!
ReplyDeleteඔහු වෙනුවෙන් ඔහුගේ කෘතීන් ජීවත් වේවි.. කලාකරුවෙකුගෙ නික්මයාම රුවෙන් පමණයි..
ReplyDeleteසොඳුරු කවියාට සදාතනික සැනසුම....
ReplyDeleteමෑත භාගය සහෘද වියෝවන්ගෙන් පිරිලා.... වේදනාවක් වගේම මහා හිස් හැඟිමක් දැනෙනවා..
මිනිස්සු එහෙම තමා. එනවා යනවා.. ටික දවසක් යනකං මතක තියෙනවා. ඊට පස්සේ අමතක කරනවා. සුභ ගමන් කිවියාණෙනි..
ReplyDeleteඔය ගමන දවසක අපිටත් යන්න වෙනවානේ.සුබ ගමන් ඔහුට.!!!
ReplyDeleteසහෘද රස කාමියෙකුගේ නික්මීමක් හිතට දුකක්...
ReplyDeleteඔබට සුබ ගමන් කිවිදුනි
ඔබට සුබ ගමන් සහෝදරයා..!
ReplyDeleteකිවිදුනි නුබට නිවන් සුව!.
ReplyDeleteසරත් ගෙන් මේ ගීත සියල්ල මම ඉල්ලාගත්තා , ඇත්තටම මේ පණිවිඩය හද සසල කළා , ඔහුට සුබ ගමන්
ReplyDeleteසුබ ගමන් මිතුරා.. සොඳුරු මතකයන් ඉතිරි කර තබා ගියාට ස්තූතියි.
ReplyDeleteඔහු වරක් මා සමඟ දුරකථනයෙන් කතා කොට තිබෙනවා.. මා විමසූ තොරතුරකට පිළිතුරක් දීමට. දන්නා කියන අය නික්ම ගිය බව අසන විට දැනෙන්නේ හිස් සහ සෝකී හැඟීමක්. සුබ ගමන් කියනු හැර වෙන කුමක් කියන්නද.. එහෙත්.
ReplyDeleteකවියෝ මැරෙන්නේ නැහැලුනේ නේද..? අලුත් කවි ලියන්නැතුව ඉන්නවා විතරයි...
ReplyDeleteඔහුට සුභ ගමන්..!
නියම කතාව බීටලේ..
Deleteඔහුගේ ගීත ඇසෙන සැම විටම ඔහු පිලිබඳ මතකය අලුත් වේවි.
ReplyDeleteනොමියෙන නිර්මාණයන් ඔහුව හැමදාට ම ජීවත් කරවාවි.................
ReplyDeleteසුභ ගමන්
සිය සිය ගව් දුර ගිනි ගත් වැලි කතරේ
ReplyDeleteකොහේද කොහේද වරදක් ඇත අම්මේ
දෙවියන්ගෙ කැමැත්ත ද නොදනිමි මම අම්මේ
ගිනි ගත් වැලි කතරේ මේ ගිනි ගත් වැලි කතරේ
දුප්පත්කම සිඟමන් යදිනා
මනස් නොමැත්තෝ කහවනු පොඳි බඳිනා
මේ ගින් ගත් වැලි කතරේ
කොහේ ද කොහේ ද වරදක් ඇත අම්මේ
පර්දාව විවර කර බලන්න මගෙ අම්මේ
රන් දම්වැලක් සැපූ ගෙලක් ගහලයෙකු අත වූ
කගක් ළඟදි අසරණ වී
පර්දාව විවර කර බලන්න මගෙ අම්මේ
ගිනිගත් වැලි කතරේ මේ ගිනි ගත් වැලි කතරේ
* පද රචනය - බෝගන බෝකන්ද
* සංගීතය – මිලින්ද ප්‍රභාත් තෙන්නකෝන්
* ගායනය – විශාරද පියුමි මධුෂිකා ධර්මසේන
මේ ගීතය කොහේ තියෙනවාද කියා හොයාගන්න බැහැ.සින්දු ඇනෝ වෙන බ්ලොග් එකක කමෙන්ට් එකකට දාලා තිබුනේ.
එතුමාට නිවන් සුව.