![]() |
කාටූනයකි -ඩයිනසෝරයෙක් දොඹකරයක් මෙන් යොදාගෙන විශාල ගලක් උස්සන විකට රුපයක් |
අවුරුදු තිහකට විතර එපිට ගම්උදා වැඩ තිබ්බ කාලෙ,රජරට පැත්තේ ගමක පොඩි පාරක්, යකඩ පාලමක් හා නළලිං වගේකුයි හදන්න පැවරිලා තියෙන්නේ මගේ වැඩිහිටි මිතුරෙක් උන දයාලාල්ට. මිනිහා ආණ්ඩුවේ සංස්ථාවක පළපුරුදු ටී ඕ මහත්තයෙක්. දැන් දයාලාල් ඇතුළු පිරිස පරණ පොඩි ක්‍රේන් එකක්, ඩෝසරයක් , ට්‍රැක්ටරයක් අරකක් මේකක් අරන් ගිහින් අදාළ පළාතේ නවාතැනක් හොයාගත්තා. ඒ පැන්ෂන් ගිය රජයේ සේවකයෙක් වෙච්ච රාලහාමිගේ ගෙදර.
මේ සුළු යන්ත්‍රෝපකරණ කීපය දාන්න එයාගේ වත්තේ ඉඩ තිබ්බා . ඒ පැත්තේ හැටියට ගේ විශාලයි. රාලහාමිට ගෑණු දරුවෝ හිටියේ නැති නිසා ගෙදර පැත්තක් හත් අට දෙනෙක් වෙච්ච ඉදි කිරීම් නඩේට දෙන්න රාලහාමි බොහොම කැමැත්තෙන් එකඟ වුනා.
ඔන්න දැන් රාලහාමි කාන්ඩේ එක්ක හොඳ ගානට සැට් වෙලා . මෙයා වැඩ කරන තැනටත් එනවා . උපදෙස් දෙනවා . දයාලාල්ටනම් මරු ඇණයක් වෙලා . මහා බක පණ්ඩිතයෙක් .බලාගෙන ගියාම නොදන්නා දෙයක් නෑ .
ටික දවසක් ගියාම රාලහාමි දයාලාල්ගෙන් පොඩි උදව්වක් ඉල්ලුවා.
‘මහත්තයෝ මට බෑ කියන්නේ නැතිව ක්‍රේන් එකෙන් පොඩි වැඩක් කරලා දෙන්න ඕනි. මේ විනාඩි පහක වැඩක්’.
' අප්පෝ දුර යන්න නැත්නම් කරලා දෙන්නම්. ' මොකක්ද වැඩේ ?
‘ඒක පස්සේ කියන්නනම් . මේ වත්තෙමයි වැඩේ තියෙන්නේ . සෙනසුරාදා හවස මහත්තයාල කලින් වැඩ ඇරෙනවනේ. ලබන සතියේ සෙනසුරාදා හවස කරන්න ඇහැකිනම් ලොකු දෙයක් ‘.
‘හරි හරි’
‘ඔන්න දැන් දවස් ගෙවෙනවා. රාලහාමි කොහෙන්දෝ ගෝලයෝ දෙනනෙක් ගෙනල්ලා වත්තේ ලිඳක් හාරනවා’.
‘ඇයි රාලහාමි මේ තව ලිඳක් හාරන්නේ? .
‘අපේ ලිඳ ඉස්සරහ දොරට උතුරින්නේ තියෙන්නේ. ඔය පිහිටීම හොඳ නෑ කිව්වා. ගෙට අපලයිලු .
ඉතින් මම මේ අලුත් ලිඳ හාරලා පරණ ලිඳ වහනවා’
ඉතින් ඉක්මනට දවස් ගතවුනා. ඊළඟ සතියේ සෙනසුරාදා උදා උනා
උදේම දයාලාල් ලඟට ආපු රාලහාමි මෙහෙම කීවා .
‘මහත්තයෝ අර වැඩේ අද හවස කර ගන්න ඕනි’
‘ හරි හරි අද අපි කලින් එනවා. ගෝලයොත් ඉන්නවනේ’ .
‘මම කට්ටියටම සීල් බෝතලයක් ගෙනල්ලා තියන්නම්’,
ඔන්න දයාලලාල්ලා හවස එනකොට රාලහාමි තව ගමේ කීප දෙනකුත් එක්ක අලුතින් කපපු ලිඳ ගාව බොහොම උජාරුවෙන් පෙරමග බලා ඉන්නවා .
දයාලාල්ගේ පරණ 31 ශ්‍රී කොළපාට ජීප් එක නැවැත්තුව හැටියේම ලඟට දුවගෙන ගිය රාලහාමි.
‘මහත්තයෝ අපි ලැවරියා හැදුවා. කට්ටියම කාලා තේ බොන්න ‘ .
'ලැවරියා පස්සේ කන්න පුළුවන් රාලහාමි කියන්නකෝ අර වැඩේ'
මෙන්නේකයි මහත්තයෝ
මම අලුත් ලිඳ කැපුවනේ.
ඔව් !
එතකොට අපි පාවිච්චි කරන ලිඳ ඒ හැටි පරණ නෑනේ
ඔව්!
ඒක හොඳ සිමෙන්තියෙන් බැඳලා අලුත් බොලොක්ක දණ්ඩක් හෙම දාලානේ තියෙන්නේ
ඔව් !
එත් ඒ ලිඳ දැන් වහන්න වෙනවනේ
ඔව් රාලහාමි මට කලින් කිව්වනේ
"අන්නේකයි මහත්තයෝ . ඔය අලුත් ලිඳට ආයිමත් වට බැමි හරස් ලී මොකුත් ඕනි නෑ. මහත්තයාට තියෙන්නේ ක්‍රේන් එකේ ළමයට කියල පරණ ළිං බැම්ම චුට්ටක් උස්සලා අලුත් ලිඳ උඩින් තියල දෙන එක "
‘මළ හත්තිලව්වයි රාලහාමි ඒකනම් කීයටවත් කරන්න බෑ’
‘ඇයි මහත්තයෝ ඒ. මම මහත්තයාලට මෙච්චර උදව් කරලත්…? ‘
' ඒ හින්දා තමයි කරන්න බැරි. ඔය තියෙන්නේ කළුගලුයි, ගඩොලුයි බැඳලා සිමෙන්ති කපරාරුව උඩින් ගහපු වට බැම්මක්. නැතිව කොන්ක්‍රීට් වලල්ලක් නෙවෙයි. උස්සපු ගමන් ගල් ගෙඩි ටික සී සී කඩ යයි’.
' මහත්තයෝ යමුකො බලන්න . මම යමක් කල්පනා නොකර කරන මිනිහෙක් නෙවෙයි.'
දයාලාල් ලිඳ ලඟට යනකොට දුටුවේ අමුතුම වැඩක්. ලිඳ වටේ ගෝනි ඔතලා කඹ වලින් බැඳලා . ඇතුලෙන් ලී තහඩු බැම්මට හේත්තු කරලා මුක්කු සිය ගානක් ගහලා ලිඳ ඇතුලෙන් හිර වෙන්න. හරියට බයිසිකල් රෝදෙක පෝක් කම්බි වගේ .
දයාලාල් මේවා නිරීක්ෂණය කරනකම් රාලහාමි බලාගෙන හිටියේ කට කොනකට නගාගත් ආඩම්බර හිනාවකුත් එක්ක .
‘අනේ රාලහාමි මේ මොනවා කෙරුවත් මේ ගල් ගොඩයි සිමෙන්ති ගොඩයි උස්සන්න බෑ. කඩන් හැලෙනවා”
රාලහාමිට හොඳටම කේන්ති ගියා.
‘හරි එහෙමනම් මට මේක කරන්න දෙන්න. මට මහත්තයාලා ක්‍රේන් එකේ වැඩ කරන ගෝලයාට කියන්න මේ වැඩේට උදව් කරන්න කියල . මහත්තයා පොඩ්ඩක් කාමරේට ගිහින් හාන්සි වෙන්න’
' ඕනි මගුලක් කර ගන්නවා කියා මුණටම කියන්නට බැරි නිසා දයාලාල් මුවින් නොබැන කාමරයට වැදී දොර වහ ගත්තේ ක්‍රේන් ඔපෙරේටර්ට රාලහාමි කියන දෙයක් කර දෙන්නැයි පවරමින් .
![]() |
ක්‍රේන් එකකින් ලොකු ගෝවා ගෙඩියක් ඔසවන ඔවිනිගේ චිත්‍රයක්. මේ කතාවේ රාළහාමි කමිසයකුත් නැතිව තොප්පියක් දාගෙන එක් පසෙක සිටී. ගෝලයකුද රුපයේ සිටී |
මේ කලබගෑනිය ඇසී වසාගෙන සිටි කාමරෙන් මිදී දයාලාල් එලියට ආවා. ක්‍රේන් ඔපරේටර් උපනන්ද සෙනග දැකීමෙන් ඇති වූ අමුතු කික් එක නිසා ක්‍රේන් හැසුරුම් කුටියට නැගී බූම් දණ්ඩ එහා මෙහා කරමින් පෙළහර පාමින් හිටියා .
මේ අතරේ රාලහාමි දොඹකර නියමකයෙකු වෙලා . සෙනග ඈතට කරලා උපදෙස් දුන්නා. ලිඳේ බෝලොක්කේ දාන හරස් යකඩ පොල්ලට කේබල් කොක්ක දාගන්න උදව් වූනා . ඊට පස්සේ හස්ත සංඥා ලබා දුන්නා . සාමාන්‍යයෙන් මේ කිසි විදිහකින් අවසර දෙන්න බැරි දෙයක්. පළපුරුද්දක් නැති කෙනෙකුට ඒ වගේ වගකීමක් දෙන්නේ නෑ. රස්සාව ගහලා යන වැඩ. දයාලාල් ගෙයි පිලිකන්නේ බිත්තියට හේත්තු වෙලා උදාසීනව බලා හිටියා .
දැන් බොලොක්ක කඳේ දෙපැත්තට කේබල් එක හොඳට හිර වෙලා. රාලහාමි උනන්දුවෙන් හෑන්ඩ් සිග්නල් දෙනවා .
'උස්සන්න'
කොහේ කෙරෙන වැඩක්ද ? ලිඳක් උස්සන්න පුලුවන්ද? මහදැනමුත්තාගේ කතා අහල තියෙන ගමේ මිනිස්සු ඔච්චම් කසු කුසු ගානවා.
ඒත් එක පාරම ළිඳ සසලවෙලා මුලින් ඉදිරුනා වගේ උනා . දත් දොස්තරගේ අඬුවට බුරුල්වෙච්ච පොරෝ දතක් වගේ ක්‍රේන් කේබල් එකට පහලින් ළිඳ දෙපැත්තට සැලුනා .
රාලහාමිගේ මූණේ මල් හිනා විසිරුණා
ආඩම්බරෙන් වටේම බලල උපනන්දට සංඥාව දුන්නා . ඇඟිල්ල උඩට වේගෙන්.
උපනන්ද ඉස්සුවා.
සලබල සලබල ගාල මහා හඬක් නගාගෙන ළිං බැම්මේ පස් ගල් ගඩොල් සිමෙන්ති සේරම ලිඳ ඇතුලට කඩා වැටුණා . බලද්දී ක්‍රේන් එකේ එල්ලී එල්ලී තිබ්බේ බොලොක්ක දණ්ඩ විතරයි.
සෙනග අතරෙන් හීනියට පටන් ගත්තු හූව මහා වේගෙන් ලියලා අවට කඳු වළලුවල වැදී දෝංකාර දුන්නා . ඇට්ටර කොල්ලන්ගෙන් පටන් ගත්ත හූව, පොඩි උන්, මහාඋන් හා වයසක ඈයොත් අනුකරණය කරා.
සරම කැහැපොට ගහගත්තු රාළහාමි බිම බලාගෙනම වෙඩිල්ල වගේ ගෙට රිංගුවා
එදා සිට තවත් මාස ගානක් යනකන් ගමේ කාටවත් රාලහාමි දවල් කාලෙක මුලිච්චි වුනේ නෑ.
තව සතියකින් විතර වැඩ ඉවර වෙලා ආපහු එන්න කලින්ග දයාලාල්ල ගෙවල්කුලී පියෙව්වෙ රාලහාමිගේ ලොකු පුතාට.
‘තාත්තට පොඩ්ඩක් කතා කරන්න අපි යනවා කියන්නවත්’ .
ඇතුලට ගියපු පුතා ආපහු ආවේ පණිවිඩයක් අරන් .
‘තාත්තා එන්න බෑ කියනවා. ඒත් මහත්තයාට කියන්න කිව්වා ආයේ මේ පැත්තෙන් ගියොත් අපේ ගෙදරත් ඇවිත් යන්න කියල’ .
**********************************
අර ලියන මහත්තයා ලිඳේ වැටිච්ච වෙලාවේ පොරොන්දු වුනානේ අපේ කාලයේ මහදැනමුත්තෙක් ගැන ලියනවා කියල . මේ තමයි ඒ කතාව . වෙච්ච පොරොන්දුවක් පහුවෙලා හරි ඉටු කරන්න ලැබීම සතුටක්
Figure : whendinosaursruledthemind.wordpress.com
ඒ පින්තුරයේ ඉන්නේ ෆ්‍රෙඩ්. ඔහු තමයි ෆ්ලින්ස්ටොන්ස් නම් කාටූන් චිත්‍රපට මාලාවේ ප්‍රධාන චරිතය.
ReplyDeletehttps://en.wikipedia.org/wiki/The_Flintstones
වැඩ කරන්න ලින්ක් දාන්න කුප්පියක් දාන්නං ඕන්නං... :-)
Deleteබොහොම ස්තුතියි රසික . මම මේ ලින්ක් එක පින්තුරේට පහළින් දැම්මා
Deleteතෑන්ක්ස් රාජ්
-මම දාන පින්තුරවලට යටින් අද ඉඳන් වැඩිපුර විස්තරයක් එක් කරන්නේ විශේෂ දෘශ්‍ය අවශ්‍යතා ඇති මිතුරු මිතුරියන්ගේ පහසුව සඳහායි
අර ගල් අදින්නෙ අපේ ගිරිපුර ඇත්තො එකේ ගලේ නෙ.අපි දන්නෙ එහෙමයි.
Deleteවැඩ කරන ලින්ක්:
Deletehttps://en.wikipedia.org/wiki/The_Flintstones
ඔය කතාව මම අහල තියනවා , ඔය රාලහාමී වැව් ඉස්මත්තගේ සීයා
ReplyDeleteනියමයිනේ . මගේ යාලුවා මේ කතාව කියලා මට අවුරුදු විස්සක් විතර වෙනවා. මම සමහර නම්ගම් වෙනස්කරලා ලිව්වේ. වැව් ඉස්මත්තගෙන් අහගන්න ඕනි වැඩිපුර විස්තර
Deleteමහදැනමුත්තාගේ ඥාති පරපුරේ කෙනෙක් වගේ...
ReplyDeleteඒ පරණ උපහාස කතාවලින් සමහරක් ඇත්තම මේ වගේ සිද්දි නිසා හැදුනද දන්නෙත් නෑ
Deleteමේ වගේ අය කවදත් මේ සමාජය තුළ ඉන්නවා. මෙවැනි සිදුවීම් නිසා ඔවුන් නිරාවරණය වෙනවා. බොහොම රසවත් කතාවක්.
ReplyDeleteහැම ගමකම මේ වගේ කතාත් දෙක තුනක් තියෙනවා .ස්තුතියි විචාරක
Deleteඇත්තම කිව්වොත් ඒ වගේ මිනිස්සු එක්ක තර්ක කරල වැඩක් නෑ. පාඩම ඉගනගන්න දෙන්න ඕන අත්දැකීමෙන්ම.
ReplyDeleteමට වැඩ කරන තැන්වල මේ විදිහේ මිනිස්සු සෑහෙන හම්බ වෙලා තියෙනවා. සමහර විට අපිත් මේ වගේ හැසිරෙන්න ඇති. වැඩේ අනාගෙන තමයි ඉගෙන ගන්න වෙන්නේ
Deleteකාල වරෙන්කො
ReplyDeleteහෙහ් හේ
Deleteහොඳ වෙලාවට මුට්ටියක් ඇතුළට ඔලුව දා ගත්තේ නැත්තේ! එහෙනං බෙල්ල කපලා තමයි පස්ස බලන්නේ
ReplyDeleteඒ වගේ සිද්දීත් ආයේ වෙලා ඇති ආරංචි නොවුනට
Deleteකොක්ක දාල උස්සල තියෙන්නෙ වැරදි තැනින්. ලොකු ආදො අල්ලල බිලී කොකු හතරක් විතර ලිං බැම්මෙ යට ඉදං දාල හොද තංගුස් පොටවල් ටිකක පටලවල උඩට ඇද්දනම් හරි.
ReplyDeleteඅන්න අයිඩියාස් . නියමයි කම්මල
Deleteරාලහාමි ලිඳ ඉස්සුවා වගේ කියලා ජන වහරට එකතු කරන්න වටිනවා.
ReplyDeleteඒ පළාතේ ජනවහරේ දැනටමත් ඇති එහෙම කතාවක්
Deleteඅපරාදේ සිමෙන්තියෙන් ලිඳක් හදලා ඒකේ ඇතුලෙන් කඩපු එක තියලා , අලුත් ලිඳ කපන තැන හයි කලා නම් වැඩේ හරි. :P
ReplyDeleteඑහෙම කරානම් වැඩේ ගොඩ D. අද මම මෙඩුසාගේ බ්ලොග් එක කියෙව්වා . ඒක මරු
Deleteඅර ගස් පිටින් උගුල්ලගෙන ගිහින් හිටවන මැෂින් ඩිසයින් කරන අදහස් එහෙමත් මිනිස්සුන්ට එන්න ඇත්තේ ඔය වගේ රාළහාමිලා හින්ද තමයි.. හෙහ් හෙහ්..
ReplyDeleteඇත්තටම රාලහාමිගේ අගය කරන්න ඕනි ගුණයක් තමයි වැඩේ අත් අරින්නේ නැතිව ට්‍රයි කරන එක . ඒ උත්සාහය හරි ක්‍රමෙන් ගියානම් අර වගේ මැෂිමක් උනත් හදයි මනුස්සයා
Deleteඅදහාගන්න බැරි තරම් ආතල් බං. ඔවිනිගෙ තියෙන්නෙ අමුතු හිතක්. ඇයි ගෝව ගෙඩියක්ම ඇන්දෙ කියලා එයාගෙන්ම තමයි අහන්න ඕනෙ.
ReplyDeleteහෙහ් හේ . සීරියස් නොවන කතාවලට චිත්‍ර අඳිනකොට ඔවිනි එහෙම කරනවා . ස්තුතියි ඩුඩ්
Deleteමචං. ඔවිනි දුව අඳින්නෙ Microsoft Paint වලින්ද?
Deleteඔව් මචං
DeleteAsk her to download "Art Rage 2 starter edition" and try.
DeleteAn "My Paint" also free
DeleteMany Thanks Dude. I'm sure she will like these new tools
DeleteLassana katawak ayemath! Api eth balan hitiya ko me mahadenamuththa kyla...
ReplyDeleteThank you uncle! Ah attatama ai ovini gova gediyakma ande?
Btw uncle langadima enawa neda...
Uvini=)
ස්තුතියි දුව . ඔවිනිගෙන් අහන්න ඇයි ගෝවා ගෙඩියක් ඇන්දේ කියල . අර දුව ලියපු කතාව ලස්සනයි. තව ඒ වගේ ටිකක් ලියල තියන්න . මම ළඟදීම එනවා
DeleteThank u uncle..
ReplyDeleteLassanai.. shooi.. :)
Mona unt e ralahami anith aya kiypu pliyata eyge wishwse nti krgtte nane.. krlm bluwne.. ekath hondai.. :)
Uncle kawadda enne..?
ගොඩක් ස්තුතියි දුව . ඔව් ඔව් අනුන් කියපු පලියටම යමක් පිළිගන්න හොඳ නෑ.ඒත් මෙතන්දීනම් රාලහාමිට වැරදුනා . මට තව සති දෙක තුනක් මෙහෙ ඉන්න වෙනවා දුව
Deleteඔහොම මිනිස්සුන්ට උපදෙස් නොදී තමන්ම වැඩේ වරදින විදිහ දැන ගන්න අරින්න ඕන. නැත්නම් කවදාවත් හැදෙන්නේ නෑ.
ReplyDeleteඔව් දිනේෂ් හැබැයි මේ වගේ පාඩම් හරිම මිලෙන් අධිකයි .
Deleteමේ වගේ මිනිස්සු බ්ලොග් පවා ලියන්නේ...
ReplyDeleteසියල්ල දත්, ඒත් මක්කත් නොදත්...
මේ වගේ මිනිස්සුත් ඉන්න ඕනිනේ මාතේ . ලෝකේ විවිධත්වය නැත්නම් අමු බෝරින් තැනක්
Deletehttps://www.facebook.com/NTDTelevision/videos/1285103564865084/?pnref=story
ReplyDeleteතෑන්ක්ස් ප්‍රා
Deleteමහදැනමුත්තා අලුත් වර්ෂන් එක.
ReplyDeleteරාළහාමි හිතන්න ඇති අවශ්‍ය යන්ත්‍රෝපකරණ තියෙන එකේ වැඩේ එළකිරි වගේ කරන්න පුළුවන් වේවි කියලා.
ඒ නිසා එයා ටිකක් මොඩර්න් මහදැනමුත්තෙක්
Delete