පසුගිය ලිපියෙන් මා කතා කළ " සන්නිවේදන කරළිය එක දෙක කරන අතුරු ජාලය' යන හෙඩිමෙන් යුත් සතියේ විශේෂාංගය මවිසින් විදුසරට ලියන ලද්දේ 1994 අගෝස්තු මාසයේය .
සිංහලෙන් ලියන ඉන්ටනෙට් පිලිබඳ ලිපියක් හෝ කිහිපයක් අභියෝගයට ලක් කළ ' හිම කන ඔටුවෝ' නිර්නාමික ලිපිය පළ වුයේ ඊට පෙරද පසුද කියා සොයා ගන්නට විදිහක් නැති නිසා එය මගේ ලිපියම ඉලක්ක කරගෙන එල්ල කළ විවෙචනයක්යැයි හරියටම කියන්නට බැරි වුනත් , මමද තොප්පිය දා ගන්නට කැමැත්තෙමි.
ඇත්තෙන්ම 1994 මැදක් වන විටත් ඉන්ටනෙට් යන්නට හරි හමන් සිංහල නමක් තිබුනේ නැත . ඒ වන විට සමහරුන් ' අන්තර් ජාලය' යන වචනය භාවිතා කරමින් තිබුනත් එය පිළිගත් බවක් පෙන්නේන්ට තිබුනේ නැත . සමහරුන් ඊට කීවේ "අන්තර් ජංජාලය" කියලාය .
එසේ හෙයින් විශේෂාංගය ලිවීම සඳහා ඉන්ටනෙට් යන්නට අලුත් සිංහල වචනයක් සෙවීමට තීරණය කළෙමි. මේ සඳහා මා උපදෙස් ගත්තේ වරලත් ඉංජිනේරු ඊලියන්ද සිල්වාගෙනි. ඉංජිනේරුවා වෙනුවට මැවිසුරා කියනවාට කැමති වූ ඊලියන්ද සිල්වා කුමාරතුංග මුනිදාසයන්ගේ පුරෝගාමිත්වයෙන් බිහි වූ හෙළ හවුලේ නයුවෙකි . තවත් වැදගත් කරුණක් වන්නේ ඔහු ප්‍රවීණ කලාකරු ටයිටස් තොටවත්තයන්ගේ වැඩිමහල් සහෝදරයා වීමයි .
ඉන්ටනෙට් එකට සිංහල නමක් ලෙස ඔහු යෝජනා කලේ ' අතුරු දැලටිය" යන්නයි.
"අන්තර් මැතිවරණෙට අතුරු මැතිවරණය කියනවා . අන්තර් කියන වචනෙට පිරිසිදු සිංහල වචනය තමයි අතුරු. අනික අතු ඉති ඇති ජාලයක් හඳුනවා දෙන්න හොඳම විදිහ 'දැලටිය' . ඔහු කීවේය.
අතුරු දැලටිය- අන්තර් ජාලය . වචන දෙක දෙපැත්තට කිරා බලමින් සිටි මම ලිපිය සකසා දීමට පොරොන්දු වූ දවසේ උදේද කල්පනා කරමින් සිටියේ internet යන්නට හොඳම සිංහල වචනය කුමක්ද කියලාය . ඕනි එකක් වෙන්නට කියා මම කලින් තිබ්බ නමෙන් කොටසක් හා ඊලියන්ද සිල්වා දුන් නමෙන් කොටසක්ද ගෙන ' අතුරු ජාලය ' ගැන ලිපිය සැකසීමි .
ලිපිය පළ වී දවසකින් විතර පසු මම මැවිසුරු ඊලියන්ද සිල්වා ඇමතුවේ ස්තූතියක් කිරීම සුදුසු යැයි හිතුනු නිසාය .
මොකක්ද ඉන්ටනෙට් එකට දාපු නම ? ඔහු ඇසුවේය
"අතුරු ජාලය" මම කීවෙමි
ඔහු ඊට තදින් කිපුනේය.
" මොකක්ද ඒ ?. කිසිම ගැලපීමක් නැති පදයක්නේ ළමයො. අර කලින් තිබ්බ වචනේ ' අන්තර් ජාලය' තව හොඳයි. මේක අතුරු ජාලය නෙවෙයි. අතුරු දැලටිය , දලටිය දැලටිය.. . ඔහු දිගටම කියෙව්වේය.
දැන් බලන්න computer එකට සිංහලෙන් දාගෙන තියෙන නම ' පරිගණකය ' ඒ වචනේ යොදා ගන්න පුලුවන්ද ඕනි ඕනි විදිහට . පරිගණක ගත කිරීම පරිගනකීකරණය බලන්න මොනතරම් අවලස්සන වචනද ? ඉන්ටනෙට් එකට හරි යන්නේ ' අතුරු දැලටිය තමයි ' කියා ඔහු දුරකථනය විසන්දි කළේය .
කොහොමින් කොහොමින් හෝ ' අතුරු දැලටිය' වෙනුවට ' අන්තර්ජාලය' ස්ථාපිත වූ අතර එහෙටත් නැති මෙහෙටත් නැති මගේ වචනය ' අතුරු ජාලය" යන්න යොදා ගත්තේ මා ලියු පළමු ලිපියේ විතරය. ඉන් පසු මේ රටේ කවුරුවත් ඒ වචනය යොදා ගත්තේ නැත ,
ඒ වුනාට ඊලියන්ද සිල්වා නිර්මාණය කළ තාක්ෂණ වචන රාශියක් අප නිතිපතා භාවිතා කරමින් සිටිමු.
තෙකලා ව්දුලිය , පිරිපහදුව , රැහැන වැනි වදන් දහස් ගණනක් ඔහු විසින් හඳුන්වා දෙනු ලැබූ අතර තොටවත්තගේ ඊලියන්ද සිල්වා හා ටයිටස් තොටවත්ත යන දෙසොහොයුරන් සිංහල භාෂාවට හා සාහිත්‍යයට කරන ලද සේවය හරි හැටි ඇගයීමකට ලක් වී නැත , මේ ගැන කරුණු සොයා බලා ලියන්නට සිතා සිටිමි.
මේ අතරේ මට පරණ කතාවක් මතක් වුනේය .
මහේන්ද්‍ර ප්‍රසාද් යනු එකල විදුසරට ලියු පේරාදෙණිය කෘෂි ව්ද්‍යා පීඨයේ සිසුවෙකි. මගේ හිත මිත්‍රයෙකි. ඔහු දිනක් ඊලියන්ද සිල්වා හමු වන්නට ගියේ යම් විෂයයක් ගැන සම්මුඛ සාකච්චාවක් ලබා ගන්නටය.
මහේන්ද්‍ර කියන පරිදි කතාබහ අවසානයේ ඊලියන්ද සිල්වා මෙසේ ඇසුවේය.
මොකක්ද ඔය ළමයාගේ නම
'මහේන්ද්‍ර ප්‍රසාද් '
' අයියෝ තනිකර අසිංහල නමක්නේ "
එවිට මහේන්ද්‍ර කිසිවක් නොකියාම ඊලියන්ද සිල්වා දෙස මද සිනහවකින් යුක්තව බලා සිට ඇත .
මේ මද සිනහවේ පණිවිඩය තේරුම් ගත ඊලියන් ද සිල්වා මෙසේ කීවේය .
' ඇත්ත නේන්නම් මගේ නම ඊලියන්ද සිල්වා . ඒකත් අසිංහල නමක් වෙලා තියෙද්දී අනුන්ගේ නම් ගැන මම කතා කරන්නේ කොහොමද."
ඉන්පසු ඔහු සුසුමක් හෙලා ' මට ඒ නම දෙමාපියන්ගෙන් ලැබුණු නිසා වෙනස් කරන්න බැරි වුනා "
සිංහල තාක්ෂණ වදන් දහස් ගණනක් හඳුන්වා දුන් ඊලියන්ද සිල්වාට ඔහුගේම නම වෙනස් කරගන්නට බැරි වුනා වගේම 'අන්තර්ජාලය' වෙනුවට ඔහු හඳුන්වා දුන් හුරුබුහුටි වචනය වන ' 'අතුරු දැලටිය' ට සාධාරණයක් කරන්නට අපටද බැරි විය.
මේ ඔහු පිළිබද සිතුම් කොදෙව්වේ ලියවුනු බ්ලොග් සටහනකි ඉහත සේයාරුව ලබා ගත්තේද එම බ්ලොග් අඩවියෙනි.
පසු සටහන :
මගේ දෙවන පොත වන "තිලකසිත දෙක" මේ සිකුරාදා(පෙබරවාරි 15) එලි දකින අතර පොතත් මමත් දෙදෙනාම කොළඹ මහජන පුස්තකාලයේ 15-16 දෙදනා පුරාම ඔබ හමු වීමට බලා ඉන්න බවත් දන්වන්නේ සතුටිනි. 16 සෙනසුරාදා හවස මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේදී බ්ලොග් හා තීරු ලිපි ගැන රසික කතා බහක්ද පැවැත්වේ, වැඩි විස්තර හෙට .
ටයිටස් හා ඊලියන් දෙදෙනාම මිල කළ නොහැකි සම්පත්. ඔබේ මේ සිහිපත් කිරීම ඉතාම වටිනවා
ReplyDeleteඔව් ඔවුන් ගැන තව දුරටත් ලියවෙනන ඕනි . ස්තුතියි ගුණසිංහ මහත්මයා
Deleteහැබැයි තාක්ෂණ අංශේ තියෙන සමහර සිංහල නම් කොහෙත්ම කියවගන්නවත් බෑ!
ReplyDeleteඅලුත් පොතට සුබ පැතුම්!
විදුලි ඉන්ජිනේරු ග්ලොසරි එක කියවන්නම වටිනවා. සමහර වචන නිකම් කිවිසුම් යවනවා, කහිනවා, බර්ප් කරනවා වගේ ඇහෙන ඒවා
Deleteයුනිවර්සල් ජොයින්ට් එකට සර්වලෝක පූට්ටුව කියලනෙ නම දාලා තියෙන්නෙ... :D
Deleteඔව් ඉතාම අඩුවෙන් භාවිතාවෙන මෙලෝ විදිහකින් තේරුම් ගන්න බැරි වචන තියෙනවා මේවයේ. ඊට වඩා ඉංග්‍රීසි වචනෙම දාන එක හොඳයි. මගෙන් කවුදෝ අහල එවලා තිබ්බා 'Cyber' කියන එකට සිංහල වචනයක් මම ලිව්වේ 'සයිබර්' .
Deleteතිලකේ අයියාගේ පළමුවැනි පොත තමයි මට තරු අක්කාව මුණ ගැස්සුවේ.තවම මතකයි ඒ දවස.මේ පොතටත් සුබ පැතුම්.එන එක අවිනිශ්චිතයි.එත් පොත ගන්නම්.
ReplyDeleteමට නම් ඒ තරම් හොඳ දවසක් නෙමෙයි. ඉවාන් ලව්පූසාව මුලින්ම මුණ ගැහුන දවස. අපොයි.
Deleteමමත් එදා ආවාට මගේ වෙලාවට මේ කරදරකාරයෝ කවුරුත් ඒ වෙනකොට දැනගෙන හිටියේ නෑ.. :))))
Deleteඑදා ආවානම් කොච්චර හොඳද මනෝජ්. සෑහෙන යාළුවො ටිකක් ඇවිත් හිටියා. ළඟදී හමුවෙමු. ස්තුතියි
Deleteඅතුරු දැලටිය ට වඩා අන්තර්ජාලය මටනම් ලස්සනයි.
ReplyDeleteඅතුරුදැල කිව්වනම් ඉවරයිනෙ. කවුද කැමති දැලටිය කියන්න
Deleteමොට්ටම එක "ගුවන් විදුලිය".
DeleteHindenburg ලිපිය ලියද්දි සිංහල වචන නැති නිසා මට වචන දෙකක් හදන්න වුනා..
Ballast water = තුලන ජලය
Mooring mast = ගාල් කුළුන
මමත් ඇහුවා අතුරුදැල කියල දාමුද කියලා. ඔහුගේ අදහස වුනේ දැල් රාශියක් එකතු වෙලා තමයි දැලටිය හැදෙන්නේ කියලා
Deleteසෙන්නා විසින් සිංහල භාෂාවට එකතු කරපු වචන ගැන අසන්න ලැබීම සතුටක් . ඊලියන් සිල්වා හඳුන්වා දීපු පිරිපහදුව හා රැහැන වගේ වචනවලට මම කැමතියි
DeleteEngineer - මැවිසුරු
ReplyDeleteTurbine - තලබමනය
ඊලියන් සිල්වා එක් එක් වගාවන් සදහා භාවිතා කරන්න යොදාපු පොදු නම තමයි 'වගායුරුව'. කෘෂිකර්මය කියන්නෙ වී වගාවට. ඊලියන් සිල්වා බල්ලට සුනඛයා කියන එකටත් තදින් විරුද්ධයි.
සුනඛයා කියන වචනේ කොහෙන් ආපු එකක්ද මන්දා අර අච්චර සරල වචනයක් තියෙද්දී
Deleteඑතුමා තමන්ගෙ නම ඉලියන සිළුවාණ කියල බොහොම ටික කාලයක් භාවිතා කලාය කියල මම අහල තියනවා.
ReplyDeleteදැන ගත්තේ අදයි. ස්තුතියි රවී
Deleteග්ලොසරිවල ඇති වචන සිල්ලම පාහේ සංස්කෘත වචනයි. උදාහරනයක් විදිහට අන්වීක්ෂය දුරේක්ෂය වැනි වචන, මේවාට දී ඇති සිංහල වචන අනුදක්නය, දුරදක්නය එම වචන අපූරුවට ගැලපෙන හැටි බලන්න, සිංහලෙන් ජාතික ගීය වත් හදාගන්න බැරි ජාතියක් අපි, ජාතික ගීයෙ සිංහල වචන කීයද තියෙන්නෙ. නමෝ නමෝ මාතා කියල පටන් ගන්නෙම සංස්කෘතෙන්. අපේ බොහෝ අය සිංහල බෞද්ධනෙ. හැබැයි බෞද්ධ කියන එකත් සිංහල නොවෙයි.
ReplyDeleteඅනුදක්නය , දුරදක්නය වගේ වචන හරි සරලයි වගේම නැවුම් . ඒවගේම රෝහල, සරසවිය වගේ වචනත් අලුතින් එකතු වෙච්ච හොඳ වචන
Deleteමේ වනවි්ට සිඅංහල බසට කලහැකි හොඳම වැඩිදියුණු කිරීම වන්නේ "එක" ,"කරනවා", "කරණය",කියන වචන වෙනුවට යොදාගත හැකි අකුරක හෝ අකුරු දෙකක උපසර්ගයක් සොයා ගැනීමයි.
ReplyDeleteඋදාහරණයක් හැටියට;
"පාඩම් කරනවා" වෙනුවට "පාඩම්..." ලෙස තනි වචනයක් හදා ගන්න පුළුවන්නම් ඒක සිංහල බසේ යෝධ ඉදිරි පිම්මක්
එකඟයි ජගත් . මේ වගේ කාලීන වැඩිදියුණු කිරීම්වලින් භාෂාවට හානියක් වෙයි කියලා මම හිතන්නේ නෑ
Deleteපාරිභාෂික වචන වශයෙන් සිංහල භාෂාවට ඇතුලත් කර තිබෙන බොහෝ වචන වහාම සංස්කරණය කළ යුතු බව නම් පෙනෙනවා. 1960 ගණන් වලදී ඉගැන්වීමේ මාධ්‍යය සිංහල කළ කාලයේ සිටම විද්‍යා අධ්‍යාපන කටයුතු වල නියැලුණු අප මේ ගැන කිහිප වරක්ම පෙන්වා දුන්නා. අතරින් පතර යම් වෙනස් කම් කර තිබෙනවා. මා සිතන ආකාරයට සංස්කෘතයෙන් වචන ගන්නවාට වඩා ඉංග්‍රීසි වචන සිංහලට හුරුවන ලෙස සකස් කර ගැනීම පහසුයි. Data යන වචනයට දත්ත යනුවෙන් යෙදීම හොඳ උදාහරණයක්.
ReplyDeleteඋදාහරණයක් ලෙස බස්,කාර් යන වචන බස් එක, කාර් එක කියල කියන්න පුලුවන් උනත් විබත් වල වරනැගීමෙදී බස් එකෙන්, බස් එකට , බස් එකේ යනුවෙන් එක කියන එකනෙ වර නැගෙන්නෙ. බසය, කාරය යනුවෙන් කීවොත් විබත්වල වර නැගෙනවා. ඒත් බලන්න දුම්රිය යන වචනය එය අපූරුවට වර නැගෙනවා. වචනයට තේරුමක් තියෙනවා. බසය , කාරය වචන වලට දුම්රිය වගේ තේරුමක් නැහැ. ඉරේසර් කියන වචනයට මකනය කියල අපූරු වචනයක් තියෙනවා. ඉතින් මේ මකනයෙන් මැකෙන්නෙ නැද්ද?
Deleteඅපේ රටේ පාලකයන් කොයි කවුරු ආවත් ඔවුන් අතර විද්වතුන් නැහැ. ඔවුන් සිංහලය පාවිච්චි කරන්නේ ජාතිවාදයට උඩගෙඩි දී බලයට පැමිනීම සඳහා පමණයි. ඔවුන්ගෙන් සිංහලයට හෝ සිංහල බසට වන සේවයක් නැහැ. සිංහලේ කියල ත්‍රී වීලරේ පස්සෙ ගහ ගත්තට නම් අපේ ජාතිය නැගෙන්නෙ නැහැ. මූලිකවම බස නිවැරිදි විය යුතුයි.
ඩේටා=දත්ත කරගත් විදියට යුරෝපීය වචනවලට තත්සම වචනහදා ගැනීමෙන් එකී විෂයයන් පිළිබඳ මුල් කෘති ලියැවී ඇති ඉංගිරිසියෙන් ඇති විෂය කරුණු වෙත යාමට සිංහලෙන් උගන්නා දරුවනට මහඟු අත්වැලක් ලැබෙනවා. ඔබතුමාගේ අත්දැකීම් අනුව ඔබ විෂයක්ෂේත්‍රයට අලුත් පාරිභාෂික පද කෝෂයක් ලියන ලෙස ආරාධනය කරනු කැමැත්තෙමි. ඔබේ රචනාවල ඇති සරල, පැහැදිලි නිර්මාණාත්මක ශෛලිය නිසා ඊට ඔබ සමත්යයි හිතන නිසයි මෙහෙම කියන්නෙ.
Deleteබොහොම ස්තුතියි දයා මහත්මයා. මගේ භාෂා දැනුම ඉතාම සීමිතයි. විශ්‍රාම ගිය කාලෙක සිංහල භාෂාව හොඳින් හදාරන්නත් විද්‍යා හා තාක්ෂණ පැත්තෙන් වැඩිදුර පොත පොත ලියන්නත් හිතාගෙන ඉන්නවා. මේ යෝජනාව ගැනත් හිතලා බලන්නම්
Deleteඔය ටයි මහත්තයා අපෙ නෝනගේ ලඟම නෑදෑයෙක් නිසා මාර රස කතා දන්නවා. අයියයි මල්ලියි මරු ඩබලක් අප්පා. දන්න අය දන්නවා...
ReplyDeleteඒ දෙන්නගේ භාෂාව වගේම අරූ කියන කතා ටිකත් රසවත් ඇති . වෙලාවක අහ ගන්නම්
Deleteලංකාවෙ බුඩිමතුන් හදපු බහුතරයක් විද්‍යාත්මක වචන බහුබූත.බල්ලෙකුට තේරෙන්නැ
ReplyDeleteහැමෝටම තේරුනාම අපට තැනක් නැති වෙනවනේ
Deleteලස්සන කතාවක් . මං හිතන්නෙ තව පොත් කීපෙකට හරියන්න තොරතුරු තිලක ගාව තියෙනවා වගේ . මගේ පිටපත් දෙක ලැබෙනකම් බලාගෙන ඉන්නවා .
ReplyDeleteබොහොම ස්තුතියි අනුරුද්ධ . ලියන්න දේ ගොඩක් ඉතිරි වෙලා තියෙනවා. ඒත් කාලෙන් කාලෙට අවිවේකී වෙන එක තමයි ප්‍රශ්නේ . පහුගිය මාසෙම බ්ලොග් එක දිහාවත් බලන්න බැරි වුනා
Deleteඅපට වැරදුණු ඒවාත් කිහිපයක් තියෙනවා Government Analyst කියන එක පරිවර්තනය කරලා තියෙන්නේ රජයේ රස පරීක්ෂක කියළා. නමුත් පසුකාලීනව බහුලව භාවිතා වුණු System Analyst කියන වචන සහ තවත් කිහිපයක් නිසා, විශ්ලේෂක කියන වදන ආවා. රස පරීක්ෂක කියනවට වඩා විශ්ලේෂක කියන එක තමයි හරි යන්නේ. රස කියපු ගමන් දිව සිහියට එනවා. අනිත් එක Fiber කියන එක කෙඳි කියළා පරිවර්තනය වී තිබීම. මේ නිසා අපේ වැඩිහිටියෝ තේරුම් ගත්තේ ආහාර් ජීර්ණයට කෙඳි තියෙන කෑම තමයි හොඳ කියළා. ඉතිං අපේ තාත්තලා කෙහෙල් බඩ කන්න හරිම උනන්දු වුණා. නමුත් ඒවායේ නියම ආහාර ටික කැඩෙන සුළු ඒවා. කුරක්කන්, ගස්ලබු, ඇපල් වගේ දේවල්. ආහාරමය එකට වෙනත් නමක් තියෙන්න තිබුණා.
ReplyDelete