Sunday, May 31, 2026

ස්ටෙප්ස් බිමේ ඉදි වූ මායාවී නගරය

 

තෙන්ගිස්  යද්දී දුටු  දුම්රිය ගැල්පෙළක් 

ටහිර කසාක්ස්තානයේ ‘තෙංගීස්’ තෙල් නිධිය ආසන්න වැඩබිමක සේවය කරන්නට ගිය ගමනත්, එහිදී දැනගන්නට ලැබුණු අරාල් මුහුදේ පාරිසරික ඛේදවාචකයත් ගැන පසුගිය ලිපිවලින් මම කතා

 කළෙමි. අද මා ලියන්න සැරසෙන්නේ, මිනිස් වාසයෙන් තොර වූ, කර්කශ මහා ස්ටෙප්ස් තණබිම් කෙළවරක ‘Tengizchevroil’ (TCO) සමාගම වෙනුවෙන් බහුජාතික දැවැන්ත ශ්‍රම බළකායක් උදෙසා ක්‍රමවත්ව නිර්මාණය කර තිබූ අපූරු ‘කඳවුරු නගරය’ සහ එහි පාලනය පිටුපස තිබූ විස්මයජනක ව්‍යාපෘති කළමනාකරණ විනය ගැනය.

ඛනිජ තෙල් ගවේෂණය, මහා පොළොවෙන් තෙල් ගැනීම, පළමු නිස්සාරණය සහ ගබඩා කිරීම වැනි එකිනෙකට වෙනස් වූ සිය ගණනක් සංකීර්ණ ක්‍රියාවලී ඉටු කිරීම උදෙසා නොයෙක් නොයෙක් අන්තර්ජාතික සමාගම් මෙහි සම්බන්ධ වී සිටි අතර, ඒ වෙනුවෙන් දස දහස් ගණනක ජනතාවක් එකම බිමක රැස් කරනු ලැබ තිබිණි. කෙසේ වුවද, තෙංගීස් යනු සාමාන්‍ය මිනිස් ජනාවාස හෝ ස්වාභාවික ගම්මාන බිහි වී තිබූ ප්‍රදේශයක් නොවේ. එය තනිකරම කෘත්‍රිමව ගොඩනැඟූ කාර්මික ජනපදයක් විය. අතිරෝ නගරයේ සිට තෙංගීස් බලා එන ගමනේදී පවා අපට හමු වූයේ එකිනෙකට කිලෝමීටර් සියයක පමණ ඈතින් පිහිටි කුඩා ජනාවාස හෝ නගර කිහිපයක් පමණි. ඒ මුළු මහත් හිස් අවකාශයම මහා පාළු ස්ටෙප්ස් බිමට සින්නක්කරේ හිමිව තිබුණේය. එවැනි හුදෙකලා බිමක, ලොව පුරා ඒ වන විට සොයාගෙන තිබූ සියලු ආකාරයේ නවීන ඉංජිනේරු ක්‍රියාවලි ඒ තෙල්වලින් පොහොසත් භූමිය මත සක්‍රියව ක්‍රියාත්මක වෙමින් තිබිණි.

අප සමාගමට පැවරී තිබුණේ ඛනිජ තෙල් කර්මාන්තයට අත්‍යවශ්‍ය යටිතල පහසුකම් නිර්මාණය කිරීමේ වගකීමයි. දැවැන්ත ගබඩා සංකීර්ණ, කාර්යාල, ආපණශාලා, ලේඛනාගාර ගොඩනැඟිලි, ප්‍රවේශ මාර්ග මෙන්ම කර්මාන්තශාලාවලට අවශ්‍ය උණුසුම් හා සීතල ජල රැහැන්, භූගත කේබල් පද්ධති සහ ක්‍රමවත් අපද්‍රව්‍ය බැහැර කිරීමේ අංගණ ඉදි කිරීම අපේ දෛනික ඉංජිනේරු ජීවිතයේ කොටසක් විය. කර්කශ දේශගුණය මැද මේ සා විශාල කලාපයක් පාලනය වූයේ වෙනම ස්වාධීන රාජ්‍යයක් බඳු, කසාක්ස්තාන් රජය හා තෙල් සමාගම් ඒකාබද්ධ වූ දැඩි, නොබිඳිය හැකි පාලන රාමුවකිනි. ඒ කලාපය සතු ආර්ථික හා ව්‍යාපෘතිමය ස්වෛරීභාවය කොතරම්ද යත්: එහිම පරිහරණය උදෙසා වෙනම කුඩා ගුවන් තොටුපොළක් මෙන්ම විශේෂ රේගු මධ්‍යස්ථානයක්ද ස්ථාපිත කර තිබිණි.

තෙන්ගිස් ආසන්න ප්‍රධාන නගරය ඇතිරෝ 

එහෙත්, ඒ සියල්ලට වඩා මා මවිතයට පත් කළේ මේ සියලු වැඩකටයුතු බාධාවකින් තොරව, ඔරලෝසු යන්ත්‍රයක් මෙන් සිදුවීම සඳහා පසුපසින් ක්‍රියාත්මක වූ දැවැන්ත සැපයුම් ජාලයයි. අපට ලැබෙන එක තෙල් බින්දුවක් පිටුපස මිනිස් හා යාන්ත්‍රික ක්‍රියාකාරකම් දහස් ගණනක් ඇති බව වැටහෙන්නේ මෙවැනි බිමකදීය.

ඛනිජ තෙල් නිධිය ආශ්‍රිතව සේවය කළ දහස් සංඛ්‍යාත මිනිසුන් වෙනුවෙන්ම වෙන් වූ නගරයක් තුළ වෙන වෙනම වැඩබිම් හා කඳවුරු සංකීර්ණ රාශියක් එහි විය. අප සමාගමට වෙන් කර තිබූ කඳවුර අක්කර දහයක පමණ විශාල භූමියක නිමවා තිබූ අතර, එතුළ අංගසම්පූර්ණ තරු පන්තියේ නවාතැන්පොළක සියලු ලක්ෂණ ගැබ්ව තිබිණි. එහි විශේෂඥ ඉංජිනේරු කාර්ය මණ්ඩලය, යන්ත්‍ර ක්‍රියාකරුවන් සහ සාමාන්‍ය සේවකයන් වෙනුවෙන් වෙන වෙනම අතිශය නවීන, සුවපහසු කාමර සහ සනීපාරක්ෂක පහසුකම් සලසා තිබුණේ ඉතා ක්‍රමවත් අයුරිනි. නවාතැන් සංකීර්ණයට ඇතුළු වන ඕනෑම අයකුට දැනෙන්නේ තමා ලෝකයෙන් හුදෙකලා වූ කාන්තාරයක සිටින බව නොව, සුවපහසු හෝටල් සංකීර්ණයක වෙසෙන බවකි.

මේ කඳවුරු පාලනයේ තිබූ විනය සහ නීතිගරුකභාවය අතිශයින්ම දැඩි විය. හැම සේවා දිනකම උදෑසන, වැඩබිමට යෑමට පෙර සියලු රියැදුරෝ සහ යන්ත්‍රෝපකරණ ක්‍රියාකරුවෝ විශේෂ වෛද්‍ය පරීක්ෂණයකට ලක් කරනු ලැබූහ. ඔවුන් මත්පැන් පානය කර ඇත්දැයි පරීක්ෂා කර, වෛද්‍යවරයා විසින් නිකුත් කරනු ලබන විශේෂ සහතිකය ලබාගැනීම අනිවාර්ය විය. මේ සහතිකය නැතිව කිසිදු වාහනයකට හෝ යන්ත්‍රයකට අංගණයෙන් පිටතට යෑමට අවසර නොලැබිණි.

දිනක් අපේ ප්‍රවාහන අංශයේ ප්‍රධානියෙක් මා සමඟ මෙසේ පැවසීය:

“තිලකසිරි, අර ගේට්ටුව ළඟ ඉන්න සිකියුරිටි ඔෆිසර්ස්ලා දැක්කද? ඔය සහතිකේ නැතුව ප්‍රොජෙක්ට් ඩිරෙක්ටර්ගේ වාහනේ ආවත් දශමයක් ඉස්සරහට ගන්න දෙන්නෙ නෑ. මෙතන තියෙන්නෙ නීතිය විතරයි, පුද්ගලයා කවුද කියන එක වැඩක් නෑ.”

එය සැබවින්ම සිස්ටම් එකක් සතු බලයයි. ගේට්ටුව අසල සිටි බලගතු ආරක්ෂක නිලධාරීහු වෛද්‍ය සහතිකය පරීක්ෂා කිරීමෙන් පසුවම පමණක් වාහන පිටතට මුදා හැරියහ.

කඳවුරේ ජීවත් වූ දහස් ගණනකගේ සෞඛ්‍ය සහ පෝෂණය වෙනුවෙන්ද එවැනිම දැඩි නීති පද්ධතියක් ක්‍රියාත්මක විය. ආපණශාලාවල පිළියෙල කරන ආහාරවල ගුණාත්මකභාවය, පිරිසුදුකම මෙන්ම මුළුතැන්ගෙයි සහ සනීපාරක්ෂක පහසුකම්වල ප්‍රමිතිය නිරන්තරයෙන් පරීක්ෂා කිරීම සඳහාම විශේෂ වෛද්‍යවරයකු අනුයුක්ත කර සිටියේය. මීට අමතරව, සේවකයන්ගේ රෝගාබාධ සහ හදිසි ප්‍රතිකාර වෙනුවෙන්ම වෙන්වූ වෙනත් වෛද්‍යවරයකු සහ වෛද්‍ය මධ්‍යස්ථානයක්ද කඳවුර තුළ ක්‍රියාත්මක විය.

සේවකයන්ගේ මානසික සුවය උදෙසා කඳවුර ඇතුළතම ක්‍රීඩා පිටි සහ විනෝදාස්වාද කලාප ඉදි කර තිබිණි. එහිදී මා ලැබූ සුවිශේෂීම සහ සුන්දරම අත්දැකීමක් වන්නේ සයිබීරියානු දේශගුණයට ආසන්න කසාක්ස්තානයේ ගිම්හාන කාලයේ අත්දැකීමයි. එහි ගිම්හාන මාසවලදී රාත්‍රී 10 වන විටත් සූර්යයා සම්පූර්ණයෙන්ම බැස නොගොස්, අහස තවමත් සැඳෑ ආලෝකයෙන් බැබළෙමින් පවතී. රාත්‍රී දහයටත්, මහා දවල් මෙන් දිස් වන ඒ මලානික සූර්යාලෝකය යටතේ බහුජාතික සේවකයන් මහත් උද්‍යෝගයෙන් වොලිබෝල් ක්‍රීඩා කරන අයුරු දෙස බලා සිටීම අපට ගෙන දුන්නේ අපූර්ව දෘශ්‍ය ආස්වාදයකි. එය සොබාදහමේ විස්කම් සහ මිනිස් විනෝදාංශ අතර වූ අපූරු මුසුවක් විය.

පෞද්ගලික ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු සිදු වූයේ ඉතා සූක්ෂ්ම ලෙසය. විදේශිකයන් වූ අපට යම් අවශ්‍යතාවක් සඳහා කඳවුරෙන් පිටතට යෑමට අවශ්‍ය වූ සෑම අවස්ථාවකදීම, ප්‍රාදේශීය භාෂාව සහ වටපිටාව දන්නා දේශීය කාර්ය මණ්ඩල සාමාජිකයකු අප සමඟ අනිවාර්යයෙන්ම ගමන් කළ යුතු විය. එය අපගේ ආරක්ෂාව මෙන්ම සන්නිවේදන පහසුව උදෙසා ගත් අත්‍යවශ්‍ය පියවරක් විය.

ඛනිජ තෙල් කර්මාන්තයේ ආර්ථික බලාධිකාරිය දරන දේශීය හා අන්තර්ජාතික සමාගම් හා ආයතන රාශියක් මේ ‘කඳවුරු ගම්මානයේ’ ක්‍රියාත්මක විය. මෙය සැබවින්ම පොළොව යටින් තෙල් උනන මහා උල්පතකි. මොන තරම් ලාභදායි වුවත්, එහි කැණීම් හා බෙදාහැරීම් කටයුතු අතිශයින්ම දුෂ්කරය; අනෙක් අතට අතිශයින්ම අනතුරුදායකය. ඒ නිසාම මේ මුළු ක්‍රියාවලිය පුරාම ඉහළම මට්ටමේ විනයක් පැවතීම අනිවාර්ය විය.

තෙංගීස්හි අප ලැබූ ඒ සජීව තෙල් බිම් තාක්ෂණික අත්දැකීම්වල තොරතුරු ගැන ඉදිරි ලිපිවලින් කතා කරමු.

ස්ටෙප් අර්ධ කාන්තාරය 


(First published in  Silumina 24-05-2026- Tilakasiri Ekanayaka )

Sunday, May 17, 2026

මධ්‍යම ආසි­යාවට අහිමි වූ පංචා­යු­ධය :අරාල් මුහුද


ල­කට පෙර මම බට­හිර කසා­ක්ස්තා­නයේ ‘තෙංගීස්’ තෙල් නිධිය ආසන්න වැඩ­බි­මක සේවය කරන්න ගිය ගමන ගැන පසු­ගිය ලිපි­යෙන් කතා කළෙමි. කසා­ක්ස්තා­නයේ ගිනි­කො­න­දිග ප්රදේ­ශයේ පිහිටි ‘අල්මටි’ නග­රයේ සිට බට­හිර කෙළ­වරේ පිහිටි ‘අතිරෝ’ නග­රය දක්වා මහා ස්ටෙප් තණ­බිම් මැදින් කිලෝ­මී­ටර් දෙද­හ­ස­කට වැඩි දුරක් පියඹා එද්දී, මට විමසා බල­න්නට මඟ­හැරී ගිය වැද­ගත් යමක් ගැන අපේ පරි­පා­ලන නිල­ධා­රියා පසුව මතක් කර දුන්නේය. ඔහු මගේ ආහාර වේල ගැන ඉතා සැල­කි­ලි­මත් වූ කෙනෙකි.

“ඔයාගෙ යාළුවා සමන්ට නම් මාළු නැතිව බෑ. ඒත් මේ කඳ­වු­රට නැවුම් මාළු ලැබෙන්න අමා­රුයි,” ඔහු කීවේ මෘදු සිනා­ව­කිනි.

ඇත්ත නේන්නම්. අපේ සමන් කැන්ටි­මට ගොස් නිත­රම “බලික් වර්මා?” කියා අසන අයුරු මට එවිට සිහි­පත් විය. එහි අර්ථය ‘මාළු තිබෙ­න­වාද?’ යන්නයි. තුර්කි භාෂා පවු­ලට අයත් බොහෝ මධ්යම ආසි­යානු භාෂා­වල ‘බලික්’ යන වදන මාළුවා හැඳි­න්වී­මට යොදා ගනී.

පරි­පා­ලන නිල­ධා­රියා සුසු­මක් හෙළා මෙසේද පැව­සීය:

“කැස්පි­යන් මුහුද තිබු­ණත්, ධීව­රයෝ හිටි­යත් තෙංගීස් පැත්තට මාළු ලැබෙන්නෙ අඩු­වෙන්. ඉස්සර මම හිටියේ ‘අරාල් මුහුද’ පැත්තේ. එහෙ නම් ගජ­රා­මෙට ධීවර කර්මා­න්තය කෙරුණා. දැන් බලන්න ඒ මුහු­දට වෙලා තියෙන දේ...”

කල­කට පෙර මුළු ශ්රී ලංකා­වේම භූමි ප්රමා­ණ­යට ආසන්න වශ­යෙන් සමාන වූ ‘අරාල් මුහුද’ නම් මහා ජල කලා­පය ඒ වන විට විශාල වශ­යෙන් සිඳී ගොස් ඇති බව අසා මම කම්පා වීමි. එවිට මට හැඟුණේ තෙංගීස් තෙල් නිධියේ ඉංජි­නේරු කතා ලිය­න්නට පෙර, අරාල් මුහුදේ පාරි­ස­රික ඛේද­වා­ච­කය ගැනත්, ඒ මුහු­දට යළි ජීවය දීමට දරනු ලබන ඉංජි­නේ­රු­මය උත්සා­හ­යන් ගැනත් මුලින්ම ලියා තැබීම සුදුසු බවය.

‘අරාල් මුහුද’ යනු සිති­ය­මක තිබූ නමක් පම­ණක් නොවේ. එය දූපත් දහ­ස­කට අධික සංඛ්යා­ව­කින් පිරී තිබූ නිසා ‘දූපත් මුහුද’ ලෙස ද හැඳි­න්විණි. 1960 දශ­කය වන තෙක් එය කසා­ක්ස්තා­න­ය­ටත්, උස්බෙ­කි­ස්තා­න­ය­ටත් සමු­ද්රීය පරි­ස­ර­යක ආස්වා­දය ගෙන දුන් මහා ජල කඳක් විය.

කසා­ක්ස්තාන පාර්ශ්වයේ ‘අරල්ස්ක්’ වැනි නගර කාර්ය­බ­හුල වරාය විය. එතැන් සිට සෝවි­යට් දේශයේ විවිධ ප්රදේශ කරා ටින් කළ මාළු ප්රවා­හ­නය කෙරිණි. දැන් ඒ මුහුද කුඩා විලක් දක්වා පසු­බැස ගොස් තිබු­ණද, පැරණි වරා­ය­වල දොඹ­කර තව­මත් අහස දෙස බලා සිටින්නේ මිය­ගිය යුග­යක මතක සට­හන් ලෙසිනි. ඇට­සැ­කිලි වූ නැව් හා මුහුදු යාත්රා දැන් කාන්තා­ර­යක් වී ඇති මුහුදු වෙරළේ තුෂ්ණී­ම්භූ­තව දිරා යමින් තිබේ.

දකුණු අරාල් කලා­පයේ පිහිටි ‘මොයි­නැක්’ වරා­යද එදා සෝවි­යට් දේශයේ විශා­ල­තම මාළු ටින් කරන කර්මා­න්ත­ශා­ලා­ව­ලට නිව­හන විය. දහස් ගණන් මිනිස්සු මුහුදේ සුවඳ සමඟ ජීවත් වූහ. අද එහි ඉති­රිව ඇත්තේ ‘නැව් සුසාන භූමි­යක්’ පමණි. වැලි කඳු මත දිරා­පත් වන යකඩ නැව්, මිනි­සාගේ අදූ­ර­දර්ශී සංව­ර්ධන තීර­ණ­ව­ලට නිහඬ සාක්ෂි දරයි. ඒ කතාව පසු­පස ඇත්තේ පසු­ගිය සිය­වසේ සිදු වූ දැවැ­න්තම පාරි­ස­රික විනා­ශ­ව­ලින් එකකි.

1960 දශ­ක­යේදී සෝවි­යට් පාල­නය මධ්යම ආසි­යාවේ කාන්තාර ‘සුදු රත්රන්’ හෙවත් කපු වගා­වෙන් පිර­වීමේ මහා සංව­ර්ධන සැලැ­ස්මක් ආරම්භ කළේය. ඒ සඳහා අරාල් මුහුද පෝෂ­ණය කළ ‘අමු­දර්යා’ සහ ‘සර්දර්යා’ යන මහා ගංගා දෙකේ ජලය අති­වි­ශාල වාරි­මාර්ග පද්ධති වෙත හර­වනු ලැබීය. මුලදී එය ආර්ථික ජය­ග්ර­හ­ණ­යක් සේ පෙනිණි. නිසරු ස්ටෙප් බිම් සරු­සාර කපු වගා යාය­වල් බවට පත් විය. මධ්යම ආසි­යාව ලොව විශා­ල­තම කපු නිෂ්පා­දන කලා­ප­යක් බවට පත් විය.

එහෙත් ස්වභා­ව­ධ­ර්මය වෙනත් ආකා­රයේ ගණන් තැබී­මක් කර­මින් සිටි­යේය. මුහු­දට ගලා එන ජල ප්රමා­ණය අඩු වීමත් සමඟ අරාල් මුහුද කෙමෙන් කෙමෙන් සිඳී ගියේය. දශක කිහි­ප­යක් තුළ එහි ලව­ණ­තාව ඉහළ ගොස්, මත්ස්ය පද්ධ­තිය මුළු­ම­නින්ම බිඳ වැටිණි. ධීවර කර්මා­න්තය අතු­රු­දන් විය. වරාය නගර වැලි කාන්තාර මධ්යයේ තනි විය. අද ඒ වියළී ගිය මුහුදු පතුල ‘අර­ල්කුම්’ නම් නව කාන්තා­ර­යක් ලෝක සිති­ය­මට එක් කළේය. මුහුදු පතුලේ තැන්පත් වූ ලුණු සහ විෂ රසා­යන ද්රව්ය සුළඟ සමඟ වාත­යට මුසු වෙමින් මිනිස් සෞඛ්ය­යට අති­ශය අහි­ත­කර බල­පෑම් කළේය.

මා මුලින්ම කසා­ක්ස්තා­න­යට ගිය කාලයේ අරාල් මුහුදේ උතුරු කොටස රැක ගැනී­මට ඇරඹූ විශාල ඉංජි­නේ­රු­මය ව්යාපෘ­ති­යක් අව­සන් වී තිබිණි. ඒ, ‘කොක්-අරාල්’ වේල්ලයි. ලෝක බැංකුවේ සහය ඇතිව 2005 දී ඉදි කරන ලද මේ වේල්ල මඟින් සර්දර්යා ගංගාවේ ජලය රඳවා තබා ගෙන උතුරු අරාල් මුහුදේ ජල මට්ටම යම් ප්රමා­ණ­ය­කින් ඉහළ නැංවී­මට හැකි විය. එහි ප්රති­ඵ­ල­යක් ලෙස සීමිත වශ­යෙන් ධීවර කර්මා­න්තය යළි පණ ලැබූ බව සඳ­හන් වේ. සම­හර ගම්මා­න­ව­ලට නැවත ජීවි­තය ලැබී ඇත.

එහෙත් විද්යා­ඥ­යන් පව­සන්නේ පැරණි අරාල් මුහුද යළි කිසිදා මුල් තත්ත්ව­යට පත් නොවන බවයි. ඒ සඳහා හේතු ගණ­නා­වක් තිබේ. පළ­මුව: දශක ගණ­නා­වක් තිස්සේ වියළී ගිය පාරි­ස­රික පද්ධ­තිය සම්පූ­ර්ණ­යෙන්ම වෙනස් වී ඇත. දෙව­නුව: අමු­දර්යා සහ සර්දර්යා ගංගා දැන් රට­වල් කිහි­ප­යක කෘෂි­කා­ර්මික හා බල­ශක්ති අව­ශ්යතා සඳහා සම්පූ­ර්ණ­යෙන්ම භාවිත වන බැවින් ඒ ජලය යළි මුහු­දට මුදා හැරීම දේශ­පා­ල­නි­කව සහ ආර්ථි­කව අති­ශය දුෂ්ක­රය. තෙව­නුව: දේශ­ගු­ණික විප­ර්යාස ඇතුළු සාධක හේතු­වෙන් මධ්යම ආසි­යාවේ උෂ්ණ­ත්වය ඉහළ යමින් පවතී. හිම කඳු දිය වීමේ රටා වෙනස් වෙමින් පව­තින අතර, අරාල් මුහුද වැනි මහා ජල කලා­ප­යක් අහිමි වීම නිසා ප්රදේ­ශයේ ස්වාභා­වික දේශ­ගුණ පාලන හැකි­යා­වද බිඳ වැටී ඇත.

තෙංගීස් කඳ­වුරේ සේවය කළ කාලයේ සති අන්ත­වල අප විනෝ­දය සඳහා ගියේ කැස්පි­යන් මුහුදු වෙර­ළ­ටය. එය ලොව අද්වි­තීය පාරි­ස­රික කලා­ප­යකි. එහෙත් දේශ­ගු­ණික විප­ර්යාස ඇතුළු සාධක හේතු­වෙන් කැස්පි­යන් මුහුද පවා මේ වන විට යම් යම් වෙන­ස්කම් පෙන්වන බව වාර්තා වෙයි.

එදා අපේ සගයා සමන් ‘බලික්’ සොයා කැන්ටිමේ කළ අර­ග­ලය අද මට වෙනස් අර්ථ­යක් ගෙන දෙයි. එය සැබ­වින්ම මිනි­සාගේ දියු­ණුව සහ ස්වභා­ව­ධ­ර්මයේ පැවැත්ම අතර පව­තින අර­ග­ලයේ කුඩා සෙව­ණැ­ල්ලකි.

සම­හර ඉංජි­නේරු ක්රියා­වලි විස්කම් විසි­තුරු සේ පෙනු­ණද අරාල් මුහු­දට පණ දීමේ ව්යාපෘ­තිය වැරදි නිවැ­රදි කිරී­මට දරන ඉංජි­නේ­රු­මය උත්සා­හ­යක් පමණි. කොක් අරාල් වේල්ල වැනි ව්යාපෘති බලා­පො­රො­ත්තුවේ සල­කු­ණුය. එහි දෙවැනි පිය­වර පිළි­බඳ ශක්යතා අධ්ය­යන කට­යුතු 2025 වස­රේදී ඇර­ඹිණි. මේ කොයි හැටි වුණත්, මධ්යම ආසි­යාවේ ගෙල පැලඳි සිසිල් පංචා­යු­ධය වූ අරාල් මුහුද යළි ප්රකෘති තත්ත්ව­යෙන් අපට දකි­න්නට නොලැ­බෙනු ඇත.

( Silumina 17-05-2026 Tilakasiri Eianayaka, Image ; worldbank) 

Sunday, May 10, 2026

කැස්පියන් හඳේ නොපෙන්නූ පැත්ත

 

ගේ වෘත්තීය ජීවි­තයේ හැර­වුම් ලක්ෂ්යය සල­කුණු වන්නේ අන්ත­ර්ජා­තික ව්යාපෘති සමඟ අත්වැල් බැඳ ගැනී­මට මා තුළ වූ නොස­න්සුන් උන­න්දු­වත් සම­ඟය. ශ්රී ලංකාවේ ක්රියා­ත්මක වූ විදේ­ශීය ව්යාපෘ­ති­ව­ලින් ලද පළ­පු­රුද්ද, කර­දිය වළ­ල්ලෙන් එපිට ලෝකය ගවේ­ෂ­ණය කිරී­මට මට පාර කැපීය. මේ උන­න්දුව මා හා සමා­න­වම බෙදා ගත් මගේ සමී­ප­තම මිතුරා වූයේ ඉංජි­නේරු සමන් රංජිත්ය. කසා­ක්ස්තා­නයේ ඛනිජ තෙල් වැඩ­බි­මක සේවය කර­මින් සිටි ඔහු, මටද ඒ සඳහා අව­ස්ථාව උදා කර දුන්නේය. කසා­ක්ස්තා­නය, කටාර් රාජ්යය සහ ඔස්ට්රේ­ලි­යාව වැනි රට­වල කීර්ති­මත් ඉංජි­නේ­රු­වකු ලෙස සේවය කළ සමන්, මින් දස වස­කට පෙර අප අත­රින් වියෝ වූ අතර, අද මා මේ අත්දැ­කීම් සිංහල පාඨ­ක­යන් සමඟ බෙදා ගන්නේ ඔහුට උප­හා­ර­යක්ද පුද කර­මිනි.

වර්ෂ 2007 අප්රේ­ලයේ අලුත් අවු­රුදු උත්සව අව­සන් වූ විගස මා මවු­බි­මෙන් පිටත් වී ගියේ ජීවි­තයේ පෙර­ළි­කාර ගම­න­කට මුල­පු­ර­මිනි. එව­කට ශ්රී ලංකාවේ කසා­ක්ස්තාන තානා­පති කාර්යා­ල­යක් නොතිබූ බැවින්, වීසා ලබා ගැනීම සඳහා මුලින්ම නව­දි­ල්ලිය බලා යෑමට මට සිදු විය. සති දෙකක පමණ කාල­යක් දිල්ලියේ රැඳී සිටි­මින් අවශ්ය ලිය­කි­ය­විලි සම්පූර්ණ කර ගත් මම මධ්යම ආසි­යාවේ විසල් රාජ්යය වන කසා­ක්ස්ථා­නය බලා පියා­සර කළෙමි. මගේ ගම­නා­න්තය වූයේ එරට බට­හිර කෙළ­වරේ, කැස්පි­යන් මුහු­දට ආස­න්නව පිහිටි සුප්ර­කට ටෙංගීස් තෙල් බිමයි. එහි සැල­සුම් ඉංජි­නේරු රැකි­යා­වක් ලැබීම මගේ වෘත්තීය දිවියේ නව කඩ­යි­මක් විය.
කසා­ක්ස්තා­නය යනු ශ්රී ලංකාව මෙන් හත­ළිස් ගුණ­යක් විශාල, ලොව නව­වැ­නි­යට විශා­ල­තම රාජ්යය වන අතර, අප කුඩා කල කියවූ සෝවි­යට් සාහි­ත්යයේ නිර­න්ත­ර­යෙන් වර්ණනා වූ මහා ස්ටෙප් භූමි­යෙන් වැඩිම කොට­සක් හිමිව ඇත්තේ කසා­ක්ස්තා­න­ය­ටයි.
මුලින්ම කසා­ක්ස්තා­නයේ පැරණි අග­නු­වර වූ ඇල්මටි නග­ර­යට ළඟා වූ මම එහි රැයක් ගත කළෙමි. චීන­යට ආස­න්නව පිහිටි ඒ සුන්දර නග­රයේ සිට අතිරෝ නග­රය බලා යෑමට මහා ස්ටෙප් භූමි­යට ඉහ­ළින් අභ්ය­න්තර ගුව­න්යා­න­ය­කින් පියා­සර කිරී­මට මට සිදු විය. අහ­සට පෙනෙන ඒ නිමක් නැති තැනි­ත­ලාව දෙස බලද්දී, මේ භූමිය ඔස්සේම දුම්රි­යෙන් දින ගණ­නා­වක් ගිය මගේ මිතු­රකු කළ විස්ත­රය මට සිහි­පත් විය. කැස්පි­යන් මුහුද අද්දර පිහිටි අතිරෝ නග­රය භූගෝ­ලීය වශ­යෙන් යුරෝ­ප­යට අයත් නග­ර­යකි. සුප්ර­කට වොල්ගා නදිය රුසි­යාව හරහා ගලා විත් කැස්පි­යන් මුහු­දට එක් වන්නේද මේ නග­රා­ස­න්න­යෙනි. අතිරෝ සිට තවත් කි.මී. 350ක් දකු­ණට වන්නට, කැස්පි­යන් මුහුදේ නැඟෙ­න­හිර ඉවුර දිගේ විහි­දුණු ඒ දීර්ඝ මාවත මුළු­ම­නින්ම වැටී තිබුණේ මහා ස්ටෙප් තීරය මැදිනි.
ස්ටෙප් යනු වච­න­යෙන් විස්තර කළ නොහැකි තරම් අද්භූත සුන්ද­ර­ත්ව­යක් සහිත භූමි­යකි. අහ­සත් පොළො­වත් මුණ­ගැ­සෙන ක්ෂිති­ජය දක්වාම විහි­දුණු, ගහක්-කොළක් නැති තැනි­තලා කලාප එහි වැඩි කොට­සක් වසා ගනී. වස­ර­කට අඟල් 10 සිට 20 දක්වා වූ ඉතා අඩු වර්ෂා­ප­ත­න­යක් ලබන මේ අර්ධ ශුෂ්ක කලා­පය, වනා­න්තර සහ කාන්තාර අතර පව­තින අත­ර­මැදි ලෝක­යක් වැනිය. රුසි­යානු භාෂා­වෙන් ‘ස්ටෙප්’ යනු පැතලි තණ­බිම යන අර්ථය වුවද, එහි ඇත්තේ කර්කශ වූත්, වින­ය­ග­රුක වූත් ගති­යකි. කසා­ක්ස්තා­නයේ භූමි ප්රමා­ණ­යෙන් 40%ක් පමණ වන මේ භූමිය පෘථි­වියේ ඇති දැවැ­න්තම කාබන් ගබ­ඩා­වක් ලෙස ක්රියා කරන අතර, ගෝලීය දේශ­ගු­ණික රටා­වන් පාල­නය කිරී­ම­ටද එහි ඇති පස මහඟු දාය­ක­ත්ව­යක් දක්වයි.
මේ දැවැන්ත කාර්මික මෙහෙ­යු­ම්ව­ලට පරි­බා­හි­රව, ස්ටෙප් භූමිය තව­මත් ලෝකයේ වැද­ගත්ම කෘෂි­කා­ර්මික කේන්ද්ර­ස්ථා­න­යකි. එහි උතුරු ප්රදේ­ශ­වල ඇති ඉතා සාර­වත් ‘චර්නො­සෙම්’ හෙවත් කළු පස, ලොව විශා­ල­තම ධාන්ය උල්ප­තක් ලෙස සැලකේ. තිරිඟු, බාර්ලි සහ සූරි­ය­කාන්ත නිෂ්පා­ද­න­යේදී මේ කලා­පය ගෝලීය නාය­ක­ත්ව­යක් උසු­ලයි. අතී­තයේ සිටම මේ බිම ජල සංචා­රක එඬේර ජීවි­ත­ය­කට උරු­ම­කම් කී අතර, අශ්ව­යන් සහ බැට­ළු­වන් ඇති කිරීම අද­ටත් ප්රධාන ආර්ථික මූලා­ශ්ර­යකි. මහා යුරේ­සි­යානු ස්ටෙප් තීරය යනු මනුෂ්ය ඉති­හා­සයේ සංචා­රක ගෝත්රි­ක­යන්ගේ නිව­හන වූත්, අද වන විට ගෝලීය ආර්ථි­කයේ මුල්ග­ලක් වූත් සුවි­ශේෂ පරි­සර පද්ධ­ති­යකි. ලෝකයේ මුල්ම ඇපල් ප්රභේද, එනම් ටියු­ලිප් වර්ගද හමු වී ඇත්තේ කසා­ක්ස්තාන් ස්ටෙප් බිමෙන් බව සඳ­හනි.
ගමන අත­ර­තුර අපේ වාහ­නය සෑහෙන වේලා­වක් නතර කර ගෙන සිටි­න්නට සිදු වූයේ සෝවි­යට් යුග­යට අයත් අති­වි­ශාල දුම්රිය ගැල් පෙළ­කට ඉඩ දෙන්න­ටය. තෙල් සහ යන්ත්රෝ­ප­ක­රණ පටවා ගත් ඒ දුම්රිය, වැළ නොකඩී යන කළු මක­රුන් මෙන් දිස් විය. ඒවා යුග­යක අභි­මා­නය සහ කාර්මික ශක්තිය ලොවට කියා­පාන නිහඬ සාක්ෂි­ක­රු­වන් බඳු විය. අතී­ත­යේදී සේද මාවතේ ප්රධාන කොට­සක් වූ මේ භූමිය, අද වන විට ලෝක බල­ශක්ති සහ වෙළෙඳ දාම යා කරන ‘යුරේ­සි­යානු ගොඩ­බිම් පාලම’ ලෙස හැඳින්වේ. මේ ස්ටෙප් භූමියේ දකුණු කලා­පයේ 1961දී යුරි ගගා­රින් අභ්ය­ව­කා­ශ­ගත වූ බයි­ක්නුර් මධ්ය­ස්ථා­නය පිහිටා ඇත්තේය. ලොව ප්රථම අභ්ය­ව­කාශ යානය වූ ‘ස්පුට්නික් 1’ ගුව­න්ගත වූයේද මේ ඓති­හා­සික භූමි­යෙනි.
අතී­තයේ ‘හිස් බිමක්’ ලෙස සැල­කු­ණුමේ ස්ටෙප් තැනි­ත­ලාව, අද ලොව බල­ශක්ති අව­ශ්ය­තාව සපුරා ලන සුළං මෝල් සහ සූර්ය පැන­ල­ව­ලින් පිරුණු බලා­ගා­ර­යක් බවට පත් වෙමින් තිබේ. මීට අම­ත­රව යුරේ­නි­යම්, තඹ සහ රන් වැනි වටිනා ඛනිජ සම්පත් සොයා යන කැණීම් මධ්ය­ස්ථා­නද මේ හුදෙ­කලා භූමිය සජීව කාර්මික කලා­ප­යක් බවට පත් කර ඇත. අව­සා­නයේ අප ළඟා වූයේ ලෝකයේ හය­වැනි විශා­ල­තම තෙල් නිධිය ලෙස සැල­කෙන ටෙංගීස් වෙතයි. ඒ වන විට මේ කලා­පය දිය වී යන සුදු හිමෙන් වැසී තිබිණි. එය මා දුටු වෙනස්ම ලෝක­යක ආර­ම්භ­යයි.
පුදු­ම­ය­කට මෙන්, එදා ඒ කසා­ක්ස්තාන ස්ටෙප් බිමේදී මා පසු කර ගිය ඒ දුම්රිය මාව­තට මා දැන් සේවය කරන ඉස්තා­න්බුල් නග­රය දක්වාම පැමි­ණිය හැකිය. ඊට අම­ත­රව මා සම්බන්ධ වී සිටි­න්නේද මේ මාර්ග­යේම කොට­සක් ඉදි කිරීමේ වැඩ සට­හ­න­ක­ටය. චීනයේ සිට කසා­ක්ස්තා­නය හරහා පැමිණ කැස්පි­යන් මුහු­දෙන් යාත්රා­ව­කට ගොඩ වන වෙළෙඳ දුම්රිය, ඉන් පසු ඉස්තා­න්බුල් හරහා යුරෝ­ප­යට යන බව මා දැන ගත්තේ මෑත­ක­දීය. මා මේ කියන්නේ Trans-Caspian International Transport Route (TITR) හෙවත් අන්තර් කැස්පි­යන් අන්ත­ර්ජා­තික ප්රවා­හන මාර්ගය ගැනය. අතී­තයේ සිට පැවත ආ ස්ටෙප් මාවත අද වන විට ගෝලීය වෙළෙ­ඳාමේ නූතන නහර පද්ධ­ති­යක් බවට පත්ව තිබේ. මගේ ටෙංගීස් තෙල් බිමේ අත්දැ­කීම් සහ එහි තිබූ සුවි­ශේෂ තාක්ෂ­ණික ශික්ෂ­ණය ගැන ඉදිරි ලිපි­යෙන් සාකච්ඡා කරමු. ටෙංගීස් මට කියා දුන් ලොකුම පාඩම නම්, සම්පත් තිබීම පම­ණක් ප්රමා­ණ­වත් නොවන බවත්, ඒවා කළ­ම­නා­ක­ර­ණය කිරී­මට වින­ය­ග­රුක මිනි­සුන් සහ පද්ධති අත්ය­වශ්ය බවත්ය.
Image ; gov.kz
Silumina - 10 May 2026
(කලකට පෙර තිලකසිතේ පළවූ ' කැස්පියන් හඳ' දිග කෙටි කතාවට පාදක වූ අත්දැකීම් අසුරුන් සිළුමිණට ලියන 'තාක්ෂණික' ලිපි පෙළක පළමුවැන්නයි )