Saturday, January 25, 2020

ලිප්ටන් හා ලෙනාඩ් වුල්ෆ් සමග කොස්ලන්ද තානායමේ මීටිමක්

තනපුර බණ්ඩාරවෙල පාර පුනරුත්තාපනය කරන කාලේ මම හිටියේ කියන්නෑම් සමාගමේ සැලසුම් අංශේ.  මාසෙකට දවසක් පැවැත්වෙන ප්‍රගති සමාලෝචන රැස්වීමත් හරිම උද්කවේගරයි, භයානකයි.  ඒත් අවසන් කොටස රසවත් .  මේ වගේ රැස්වීම් තිහකට විතර මම ඉන්න ඇති . අපි සේරම රැස්වීම ඉවර වූ හැටියේ දවල් කෑමට ගියේ බෙලිහුල්ඔය රෙස්ට් හවුසියට. මම පළමු වතාවේ හනිමුන් ගියෙත් ඔතෙන්ට තමයි.   ඒ නිසා බෙලිහුල්ඔය  කියන්නේ මට සෙන්ටිමෙන්ටල් ස්ථානයක්.

දවසක් කොළඹ ඉඳන් මහා පාන්දර ඇවිත් කලින්දා නින්දකුත් නැති නිසා නිදි කිර කිරා රැස්වීමටත් ඉඳලා රැස්වීමේ රසවත් කොටස ගෙවා දමන්න බෙලිහුල්ඔය යන ගමන් අපේ රතු පාට කැබ් එක එලවාපු රියදුරු කරුණාතිලක මෙහෙම කිව්වා . "ඉක්මන් කරලා යන්න ඕනි අද දවල් කෑම ලැස්ති කරලා තියෙන්නේ බෙලිහුල්ඔය නෙවෙයි කොස්ලන්දේ  රෙස්ට් හවුස් එකේ ".

දුර වැඩි නිසා ගමන ටිකක් ප්‍රමාද වුනත් කොස්ලන්ද  රෙස්ට් හවුස් එකත් හරිම රමණීය පෞරාණික තැනක් නිසා එහි රථගාලේ නවත්වාපු කැබ් රියෙන් මම බැස්සේ ප්‍රබෝධමත් සිතින්. මම යනවිට රැස්වීමට දෙදෙනෙක් ඇවිත් හිටියා . දෙදෙනාම සුදු ජාතිකයන්.  එහි සිටි  කුඩා වියපත් සුදු ජාතිකයා තමන්ව හඳුන්වා දුන්නා . ' මම 1911 මෙහෙන් ගියාට පස්සේ තමයි මේ පාර ලංකාවට ආවේ"
.
මම දනිපනි  ගාලා කැලැන්ඩරේ දිහා බැලුවා. 1960 මාර්තු 25.   කුඩා සුදු ජාතිකයා දිගටම කතා කළා .
' මම ලංකාවේ වැඩ කලේ අවුරුදු තුන හතරයි .  හම්බන්තොට ඉඳන් හපුතලේ යද්දී ඒ  කාලේ අනිවාර්යයෙන්ම කොස්ලන්දේ තානායමේ රැයක් ඉඳලා  තමයි ගියේ.
මම තාමත් අන්දුන්  කුන්දුන්ව සිටනා බවක් පෙන්වූ නිසා ඔහු මෙහෙම කිව්වා .
' මම තමයි ලෙනාඩ් වුල්ෆ් '
"නෑ.. හෑ..." කියාගෙන විවර කරගත්  මුවින්ම මම අනිත් සුදු ජාතිකයා දෙසට හැරුනා .
මේසයේ පසෙකින් තුබූ සුදු ටොප් හැට් තොප්පිය හිසේ රුවා ගත් ඔහු "මම තෝමස් ලිප්ටන්" යැයි කියද්දී මම නැවතත් පුදුමයෙන් කැලැන්ඩරය දෙස බැලුවා . එවිට එහි තුබුන ලී පුවරුවක අතින් ලියන ලද දින සටහනක් අනුව අද දවස 1894 මැයි හත් වැනිදා කියා මම දැන ගත්තා .

ඔහේ අර්තාපල් ගැන ලියනවා නේද? ඒත් අර්තාපල් වසංගතය නිසා අපේ අම්මයි තාත්තයි දහදුක් විඳලා තියෙනවා. ඒ ගොල්ලෝ අයර්ලන්තෙන් පලා ගියෙත් ඒ හින්දා . රටේ ප්‍රධාන ආහාරේ වෙච්ච අර්තාපල් වලට හැදිච්ච රෝගේ හින්දා ලක්ෂ ගානක් කන්න නැතිව මැරුණා . ඒ කරදර මැද උපන්න මම ලෝකේ හැම තැනම කරක් ගහල උඹලගේ රටේ වතු වවන්නත් ආවා  . අපේ වතු වැවිලි  කාරයෝ නිතර මේ තානායමට එකතු වෙනවා. කොළඹ යන්න ඕනි උනාම මෙහෙදී  එකතු වෙලා අශ්ව කෝච්චියෙන් යනවා හපුතලේ ඉස්ටටේෂමට   . ආ දැන් හපුතලේට දුම්  කෝච්චිය එනවනේ"

කතාව ඇදී  ඇදී යනවා මිස රැස්වීම පටන්ගන්නා සෙයක් පෙනෙන්නේ නෑ . ලිප්ටන් හා වුල්ෆ් දෙදෙනා වරින් වර ඉදිරි පාර දෙස බලනවා දුටු මම 'වෙන කවුද එන්න ඉන්නේ?" කියා ඇසුවා.

ඇයි ලියෝ ප්‍රනාන්දු මේ පාරේ ඉස්සෙල්ලම බස් දාපු හාදයා. කොස්ලන්ද තානායම ගැන ලියනවානම් ලියෝ  ප්‍රනාන්දුගේ බස් ගැනත් ලියන්න ඕනි. 1940  ගණන් වල පැට්‍රල් ලොරි බස්වලට හරවලා ගාල්ලේ  ඉඳන් වැල්ලවාය හරහා බදුල්ලට  බස් දැම්මේ නැත්නම් .. ඔවුන්  මා දෙස බලා සරදම් සිනාවක් පාමින් දිගටම  කතා කරා.

' මේ පාර දිගේ තමයි දකුණේ ව්‍යාපාරිකයෝ කන්ද උඩ රටට ආවේ .  ඔහේ දන්නවද මේ වෙනකොට ලියෝ ප්‍රනාන්දුට  බස් 350යි ලොරි 200යි  තියෙනවා කියල . තව තේ අක්කර දහදාහක් විතර.  බුත්තල මන්ත්‍රී වෙලා හිටි කාලේ එයා  නිතර මෙහෙ අවා ගියා"

ලස්සනම වැඩේ කියන්නේ ඉංග්‍රීසි රජ පවුලට  අයිති  වෙලා තිබ්බ ගීකියන කන්දේ  ඉඩම  ආපහු ගත්ත හැටි . ඔප්පුව ලියා ගන්න මිනිහා බකින්හැම් මාලිගාවටම ගියානේ ".

මම ආයෙමත් කැලැන්ඩරය දිහා බැලුවා. 1953 දෙසැම්බර් 15 .

මීටීම මදක් ප්‍රමාද  වන බව පෙනුණා . අමුත්තන්   දෙදෙනා පරණ කතා බහක. මට අදාළ පාටක් පෙනුනේ නෑ. මම   බීර වීදුරුවක් තොල ගාමින්  බැදපු මාලු පෙත්තක් හප හපා මකුළු දැල් බැඳීච්ච   මගේ බ්ලොග්  එකට සටහනක්  ලියන්න තීරනය කළා. මේ වගේ මීටිමක් මැද අහම්බෙන් වෙලාවක්  හම්බුනොත් තමයි.

මම ලැප්ටොප් එක දිග හැර කල්පනා කරා . හොට්ස්පොට් දා ගත්තා . ඒ අතරේ  මෑතකදී මිතුරෙක් කී දෙයක් මතක් වුනා. ' උඹ රස්සාව  කරද්දී ලියන්නේ කියන්නේ  ස්මාර්ට්  ප්‍රවාහන විදි ගැන , වරාය නගරය ගැන , අහස උඩින් යන කෝච්චි ගැන , තොරතුරු තාක්ෂණ  පද්ධති  ගැන, මොබයිල් ඇප්‍ ගැන  . ඒත් බ්ලොග් එකේ ලියන්නේ දුම්මැස්ස ගැන නැත්නම් ආදී කාලේ වංගෙඩි ගැන. ඒක හරි කුහක කමක් බාන්..  "  මේ කතාවත් හිතේ තියාගෙන මම ලියපු බ්ලොග් කතන්දරේ තමයි මේ .

******************

වැලිමඩ පැත්තේ  සිටි මගේ ආදරණීයම  මිතුරෙක් ඔහුගේ ආච්චිගේ ආච්චි ගැන මා සමග කතා කළේ පිට රටක රස්සාව කරද්දීය. ඔහු කිව්වේ පරම්පරා හයක අතීතය දැන ගන්න ඕනිනම්  ළමයෙකුට තියෙන ස්වර්ණමය අවස්ථාව වන්නේ තමන්ගේ  ආච්චීගෙන්, ආච්චිගේ ආච්චි කී කතන්දර හා ගම රට විස්තර පුළුවාන් තරමක් අසා දැන ගන්නා එකය .
ඔහු කිව්ව කතාවේ සාරය වෙනස් නොකර මම කතාව තරමක් සංස්කරණය කළා .

මේ කියන කාලේ ආච්චිගේ ආච්චි වැන්දඹුවක්. දරුවන් මල්ලන් ළඟක හිටියේ නෑ. ගේ කෑල්ලට අමතරව ආච්චිට තිබ්බා අක්කරේක විතර ගොඩ ඉඩමක් . පුවක්  ගස්, කොස් ගස්, සපු ගස් කීපයක්, තව කොපි ගස් කීපයක් තිබ්බ මේ ඉඩමෙන්  ඒ හැටි ආදායමක් නොලැබුනත්  ආච්චිගේ ආච්චිට තිබ්බ මහාර්ඝ වස්තුව, එයාගේ ජීවිතේ වගේ වෙච්ච මේ ඉඩමම තමයි . මේ 1930 දශකයේ කතාවක්. ඉඩමට අවුරුදු පතා අයබදු හැටියට පුංචි මුදලක් ගෙවන්න ඕනි. ආච්චිගේ ආච්චිට එක්තරා අමාරු කාලෙක මේ සල්ලි ගෙවා ගන්න බැරි වෙලා. ප්‍රමාද වුනාම දඩේකුත් ගහනවා. ආරච්චිගෙන්  බුරුලක් නෑ. විඩෙන් විඩේ ඇවිත් මතක් කරනවා. කොහොමින් කොහොම හරි ආච්චිගේ ආච්චිට බදු ඇරියස් හා දඩ මුදල් කියාපු දිනේට ගෙවා ගන්න බැරි වුනා .  ආරච්චි ගෝලයොත් එක්ක ආවා ඉඩම වටේ තිබ්බ මහා ගස්වල දැන්වීම් කීපයක් ඇලෙව්වා.

මහා රාජෝත්තමයාගේ ආණ්ඩුවට පවරා ගන්නා ලද ඉඩමකි . අනවසරයෙන් ඇතුළුවීම තහනම් .
අණ පරිදි . ආරච්චිල,  අහවල් වසම

ආච්චි දහ අතේ කල්පනා කළා එහෙට දිව්වා මෙහෙට දිව්වා. ගෙයි  තිබ්බ කොස් ඇට, පරණ කෝපි , තඹ සෙම්බු, පිටලෑලි විතරක් නෙවෙයි පිඟන් කෝප්ප හිටන්  විකුණලා දැම්ම .  කවදාවත් කාටවත් ඇත නොපා ජීවත් වෙච්ච ආච්චිගේ ආච්චි විශ්වාසවන්ත කීප දෙනෙක්ගෙන් අතමාරු හිටන් කර ගත්තා. අන්තිමේදී  බදු සල්ලියි, දඩෙයි දෙකටම හරි යන්න සල්ලි හොයාගෙන ආරච්චිගේ ගෙදරට ගියා.

' ම්හු උක්කු මැණිකා' . දැන් ඉඩම පවරාගෙන ඉවරයි. දැන් ඔප්පුව ආණ්ඩුවට අයිති වෙලා. උඹ ගනන්වානම් මුළු ඉඩමේම වටිනාකම ගෙවල ආණ්ඩුවෙන් සල්ලි දීල ගන්න ඕනි '.
ආරච්චිගෙන් බුරුලක් නොලබිච්ච තැන ආච්චිගේ ආචිචි බොහොමත්ම කනස්සල්ලෙන් ගෙදර ඇවිත් කන්නේ බොන්නේ නැතිව දවසක් තිස්සේම  කල්පනා කරා.

ඊට පස්සේ මේ වගේ අමාරු අවස්තාවක් උපදෙසක් ගන්න ඉන්න හොඳම කෙනා වෙච්ච වේද මහත්තයා මුණ ගැහුණා.  බලාපොරොත්තු දල්වන සුළු උපදෙසක් ලැබුනා. ඒත් ලබන මාසේ පළවෙනි බදාදා වෙනතුරු ඉවසන්නත් ඕනි .

මේ කියන බදාදා දවස එනකං ඇඟිළි ගැන ගැන හිටි ආච්චිගේ ආච්චි එදා උදේ පාන්දරම ගෙදර තිබ්බ ඉඩම සම්බන්ධ හැම ලියකියවිල්ලක්ම පන් මල්ලකට දාගෙන සිල් ගන්න අඳින ඇඳුමත් ඇඳගෙන ඔලුව වැහෙන්න තව සුදු සාලුවකුත් දාගත්තා . පාන්දර හතර වෙද්දී උන්දෑ පාරේ. ලැසි ගමනින් පයින්ම  වැලිමඩ, පාළුගම, බොරලන්ද , වල්ගහවෙල හරහා හැතැම්ම ගානක්   මග ගෙවාගෙන මද්දහන ගෙවෙන්න ඉස්සෙල්ල හපුතලේට ආවා.

ඒ වෙනකොට හපුතලේ තාවකාලික කුඩාරමක පවත්වාගෙන ගිය ජංගම කච්චේරියේ වැඩ ඉවර වෙන්නත් ලඟයි. ඒජන්ත උන්නැහේ  කොස්ලන්ද තානායමට යන්න ලැස්ති වෙනවා. ඒරොප්පෙන් ආපු අමුත්තෝ වගයක් පිළිගන්න . එතැන හිටි මුලෑදෑණින්ගෙන් ආච්චිට දැන ගැන ලැබුනේ එහෙම . ආච්චිගේ ආච්චිට  මෙච්චර දුර ගෙවාගෙන ආපු දුක් කන්දරාවේ ආවේගය, කෙටි ඒ වුනත් බලසම්පන්න හෑල්ලක්   හැටියට කියා ගන්න  පුළුවන් වුනා .

අනේ වාසනාවන් , දවසේ අවසාන රාජකාරිය හැටියට මේ පලහිලව්වට ඇහුම් කන් දෙන්න ඒජන්ත උන්නාන්සේ කැමති උනා . තෝල්කයෙක් මාර්ගෙන්  හදිස්සියට හදිස්සියට කැරුණු පැහැදිළි කරගත් ඒජන්ත කටු පෑනෙන් සටහනක් දුන්නා . එතැන හිටි ලිපිකරුවෙක් තව මොනවද රාජකාරි පෝරම වගයක් පිරෙව්වා. ආච්චි ගෙනා හිඟ බදු , දඩ මුදල් සේරම අරන් කුවිතාන්සියකුත් දුන්නා .

' මේක අරන් පළයන් අම්මේ . දැන් ඉඩම ආයෙමත් උඹේ!"  කියල ආරච්චිට දෙන්න ලියමනකුත් දුන්නා .

ආච්චිගේ ආච්චිට වෙහෙස, බඩගින්න , කකුලේ අමාරු කිසි දෙයක් මතක නෑ. සන්තොශේ ඉහවහ ගිහින් ආපහු එනපාරේ දැක්ක මනුස්සයෝ, බල්ලෝ බළල්ලු, දිගේලි කරපු හරක් මේ සේරටම ' ඉඩම ආපහු හම්බ වෙච්ච සන්තොශේ' පෙන්න පෙන්නා  කට්ට කළුවරේ ගෙදරට ආවා.

පහුවදා නැගිටපු ආච්චිගේ ආච්චි අත් උදව්වට කොලු ගැටයෙකුත් එක්කගෙන ගිහින් අර ඉඩමේ අලවලා  තිබ්බ ආරච්චිගේ තහනම් නියෝග දැන්වීම් ගලවලා ඉරල දැම්ම . ඉඩම් මායිමේ වල් බුටැව යන්තමින්  සුද්ද කරලා , පොලොස් ගැට දෙකකුත් කඩාගෙන ගෙදර ආවා.

දවල් කෑම කාලා ඉස්තෝප්පුවේ පැදුරක් එළාගෙන අහල පහළ හිතවත්තු කීප දෙනෙක් එක්ක ආච්චිගේ ආච්චි ඉඩම බේරා  ගත්තු එකේ පුරාජෙරුවයි , ඒජන්ත උන්නාසේගෙයි මුලාදෑනින්ගේයි වරුණාවයි  කියව කියවා කැකිරි පල පලා ඉන්දැද්දී පොලව දෙදරවාගෙන කේන්තියෙන් පුපුරමින් එතනට කඩාපාත් උනේ  ආරච්චිල .

' උක්කු මැණිකා මම උඹව පොලිසියට බාර දෙනවා. තහනම්  දැන්වීම් කොලේ ගලවලා ඉඩමට ඇතුළු උනාලු නේද. උඹයි අප්පු කොලුවයි දෙන්නටම අච්චු කරනවා. උඹලා හිරේ දානවා".  කියපු ආරච්චිල තමන් එක්ක ආපු ගෝලයෙකුට අලුත් කොළයක් දුන්නා   "මෙන්න මේ දැන්වීම් කොලේ  අලවාපිය  මුන්දෑගේ   ඉඩමේ උස ගහක" .

ආච්චිගේ ආච්චි හිනා මුණින්ම නැගිට්ටා.

"කොලුවෝ ඔහොම හිටින්. ඔය දැන්වීම් කොලේ අලවන්න හොඳ තැනක් මං කියන්නම්" කියල නැමිලා පිටුපස්සට හැරිලා මෙන්න මගේ මේ පැත්තේ අලවාපිය කියල තමන්ගේ ප්‍රශ්චාත් භාගය පෙන්වද්දී  ආරච්චිල විතරක් නෙවෙයි එතන හිටි හැමෝම තුෂ්නිම්භූත වෙලා ගියා , ඒ අල්ලපනල්ලේ ආච්චි ගෙට දුවල ට්‍රන්ක පෙට්ටියේ පතුලේ තිබ්බ ලියමනක්  ගෙනල්ල ආරච්චි දිහාට විසික් කරා.

ආරච්චි ඒක කියවලා. ඒතැන තිබ්බ රතු පස්  ගොඩල්ලෙන් දුවිලි විසි වෙන්න පයින් පාරක් ගහලා යන්න  ගියා.

ආච්චිගේ ආච්චිගේ ගෙදරින් අහිච්ච කැකිරි පාලන හිනා හඬ එදා රෑ මැදියම වෙනකම් නතර වුනේ නෑ.

** *
අන්න ලියෝ ප්‍රනාන්දු මහත්තයා එනවා කී තානායම් පාලකගේ හඬ නිසා මම  නින්දෙන් ඇහැරුණා. අපේ රැස්වීමේ කතාව ඊළඟ කොටසින් ලියන්නම්








11 comments:

  1. ගීකියනකන්දට රජ පවුලේ තියන සම්බන්ධය ගැන කියෙව්වාම ඒක සම්බන්ධ සිද්ධියක් මතකයට ආවා. ලියෝ ප්‍රනාන්දු මහතාගේ දෙවෙනි දුව වන මල්ලිකා බැන්දේ රොනී ද මැල් මහත්තයාව බව මම කිවයුතු නැහැනේ. අන්තිමට ගීකියනකන්ද වතු යායේ අයිතියත් එතුමාටම ලැබුනා. මේ වත්තේ බංගලාවට හොරු පැනලා එංගලන්ත රජ පවුලෙන් තෑගි ලැබුන ඔරලෝසුවක් හොරකම් කරලා පරණ යකඩ වලට විකුනාපු එක තමයි ඒ සිද්ධිය. ඒක ගැන Daily Mirror එකේ තිබුන ලිපියට ලින්ක් එක පහතින් .

    http://www.dailymirror.lk/28456/ronnies-precious-clock-in-scrap-metal-shop

    ReplyDelete
    Replies
    1. ඒ විස්තරෙත් කියෙව්වා බොහොම ස්තුතියි මේ තොරතුරු එකතු කලාට

      Delete
  2. ගී කියන කන්ද වත්ත රජ පවුලට අයිති අන්තිම කාලේ වත්ත භාරව සිටියේ, Till කියලා සුදු වතු පාලකයෙක්. ඒ කාලයේ කුඩා බාලදක්ෂයෙකුව සිටි මා, 'Chips-for-jobs' සඳහා වරකාගොඩ පැත්තේ සිට තවත් මිතුරෙකු සමග කබල් බයිසිකලයකින් වත්තේ බංගලාවට ගියා. පාර කඳු සහිත නිසා බයිසිකලය සැතපුම් දෙකක් පමණ තල්ලු කරගෙන ගියේ. අපට හොඳින් සංග්‍රහ කළ වතු පාලකවරයා, මල් පාත්තියක තණකොළ ගැලවීම අපට පැවරුවා. ඔහු අපේ 'Chips-for-jobs'කාඩ් එකේ සටහන් කලේ 'For climbing two miles pushing the push cycle' කියා. අප දෙදෙනාට රුපියල් සියය බැගින් දුන්නා. ඒ කාලේ රුපියල් සියය විශාල මුදලක්.

    ReplyDelete
    Replies
    1. ඒක රසවත් කතාවක්. බොහොම ස්තුතියි දයා මහත්තයා

      Delete
  3. ගීකියනකන්ද කිව්වාම මගේ මතකයට ආවෙත් රොනී ද මෙල් ව තමයි.
    ඉස්සර තිබ්බේ රොනී පනී කියලා කතාවක් එහෙමත්.

    තිලකේ අයියාව සෙනසුරාදා මුණ ගැසීම සතුටක්.

    ReplyDelete
    Replies
    1. ඔව් එදා මනෝජ් හමු වීමත් සතුටක්. මම හිතන්නේ මේ රටේ මෑත ඉතිහාසයේ ලියෝ ප්‍රනාන්දු කියන්නේ හදාරන්න ඕනි චරිතයක්

      Delete
  4. ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ප්‍රා

      Delete
  5. blog syndi ekk https://sithuvili.info/ blog kiyawanna me patha ennna

    ReplyDelete
  6. බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය පාලනය සඳහා ඔයවගේ "නරක" ආරච්චිලා සහ "හොඳ" ඒජන්ත උන්නාන්සේලා අවශ්‍යයි.
    ඒ හරහා යටත් විජිත වැසියන්ට සුද්දා කෙරෙහි ගෞරවයක් ඇතිවි එම පාලනය රැකෙනවා.

    එලාරත් ඔයවගේම වැඩක් කල බව මතක තබාගත යුතුයි.

    ReplyDelete