Sunday, May 3, 2020

අටවිසි මහල 11 ( බිම් මහල )- අම්රිතා මහා රෑ වැඩබිමට එයි




මේ පලවෙන්නේ කොටස් වශයෙන් පලවන අටවිසි මහල නවකතාවේ එකොලොස් වන කොටසයි . මින් පෙර පළවූ කොටස් මෙතැනින්

රාධා පැවසු ආරංචිය නිසා අසේලගේ මනස ව්‍යාකුල වී තිබුනේය . ඔහු හිටි තැනම  ටික වෙලාවක් ගල් ගැසී බලා සිට "යන්නම්" යැයි පොදුවේ හැමෝටම කියා රිය වෙත ගියේය . මේ සිදු වුයේ කුමක්දැයි තේරුම් ගත නොහැකිව එතැන සිටියෝ බලා සිටිද්දී රථයට ගොඩ වූ අසේල හෝන් එක මහා හඬින් හඬවා  රිය කවුළුවෙන් ඔලුව එලියට දමා " අම්රිතා මිස්  යමු පරක්කු වුනා  " කියා කෑ ගැසුවේය .

අම්රිතා වරදකාරී සිතුවිල්ලෙන් රාධා, අනුරාධා හා ඔවුන්ගේ මව දෙස බලා සිට  " යන්නම් බොහොම ස්තුතියි රස කෑම වේලට . මං හිතන්නේ අසේලට සයිට් එකට යන්න ඇති හදිස්සියෙන් " කියමින් යුහුසුළුව රථය වෙත පැමිණියාය . ඉන්පසු කවදාවත් නැති ආකාරයෙන් අසේල  දෙස රවා බැලුවාය .

මේ කිසිවක් නිරීක්ෂණය කර ගැනීමට සිහියක් නැති අසේල    රොබෝවෙකු මෙන් වාහානය පණ ගන්වාගෙන ඉදිරියට ඇදුණේය. කිසියම් හෝ අවනඩුවක් සිදු වී ඇතියි  අම්රිතාට වැටහුනේය. අසේල සැර දමාගෙන පිටත් වන්නට පෙර ඔහු හා රාධා අතර රහස් කතාවක් සිදුවනු අම්රිතා  දුටුවාය. ඒත් එවැන්නකින් මේ තරම් බරපතල චිත්තවේගයක් මේ කොල්ලා තුළ ඇති කරවන්නට  පුලවන් කමක් නැතැයි කියාද   අනෙක් අතට ඕවා හාර අවුස්සා බලන්නට යන්නේ මොකටදැයි ඇය සිතුවාය .

" අසේල පරෙස්සමින් යමු නේද පාර තරමක් ලෙස්සනවා. පොඩි හිරිපොදක් ආවනේ ' ඇය හෙමින් කීවේ තත්වය සන්සුන් වනු පිණිසය.

ඒත් මෙවේලේ අසේල කල්පනා කරමින් සිටියේ මේ කතාව අම්රිතාට කියනවාද නැත්ද කියලාය. අනෙක් අතට කියන්නට ඕනෑ වුනත් ඒතරම් ආවේගකාර යමක් කියන්නට ඔහුට භාෂාවේ ගැටලුවක්ද තිබුනේය. මේ මාස දෙක තුනට අම්රිතා සමග අදහස් හුවමාරු කරන්නට පුළුවන් තරමේ ඉංග්‍රීසි , සිංහල හා හින්දි වචන මිශ්‍ර වූ භාෂාවක් ඔහු තනාගෙන තිබුනේය. එහෙත් ඒ භාෂාවෙන් දුක කියන්නට බැරිය. කේන්තිය කියන්නට බැරිය.  . තමා හැර අන් සියලු දෙනාට මනොරන්ජන්ට, නංගිලාට, අම්මාට පමණක් නොව සිල්වාට හා මිස්කින්ට පවා ඉංග්‍රීසි බස හසුරුවනට පුලවන් වී තිබියදී තමාගේ බැරිකම ගැන අසේලට යලිත් වරක් අසේලට ආත්මානුකම්පාවක් ඇති වී තිබුනේය.

එහෙත් ඔහු දන්නා භාෂාවෙන් අම්රිතා සමග ප්‍රශ්නය කතා කරන්නට තීරණය කළේය .
" ඔයා දන්නවද මනෝ මහත්තයා    මහා කරදරේක පැටලවෙන්නයි යන්නේ?" අසේල කීවේය.  කිසිදාක සිය ඉහල නිලධාරියා ගැන ඔහු නැති තැනක නරකක් කියා නැති අසේල මේ කියන්නට හදන්නේ කුමක් කියන්නදැයි අම්රිතා විමතියෙන් බැලුවාය '

" මෙහෙමයි අම්රිතා අපේ බොස්ගේ  ඔලුව අවුල් උනොත් මේ එක එක ජාති හින්දා අපිට අට විසි මහල හදා ගන්න බැරි වෙනවා . ඒක අපි කාටත් හොඳ නෑ "

" මොකක් ගැනද ඔයා ඔය කියන්නේ අසේල ?"
" මම කෙලින්ම කියන්නම් . මනෝ  මහත්තය මේ එහා පැත්තේ මුඩුක්කු  ගෙදරක කෙල්ලෙක් එක්ක යාලු වෙලා . ඒ ළමයාගේ චරිතේ  හොඳ නෑ කියල මට රාධා කිව්වා "

අසේල බලාපොරොත්තු වුනේ අම්රිතා ශෝකයට හෝ කෝපයට පත් වෙනු ඇති බවයි. ඒ වෙනුවට ඈ මහා හඬින් සිනා සුනාය .
" අයියෝ අසේල ඕක දැන ගත්තාමද ඔයා අර පිටිපස්ස ගිණි අරං  අම්මටවත් කියන්නේ නැතිව යන්න පිටත් වුනේ . ඔයා හරි බොළඳයි අසේල "

ඉන්පසු ඈ යලි වගකීම් සහගත ඉරියව්වක් මුහුණින් පළ කරමින් මෙසේ ඇසුවාය .
" හරි දැන් කියන්න මොකක්ද වෙලා තියෙන්නේ කියල "

අම්රිතාගේ මුල් ප්‍රතිචාරය පිලිබඳ අසේල කෝපයට පත් වී සිටියත් හෙමිට හෙමීට කතාව පටන් ගෙන නෙතදරා පිලිබඳ ඔහු දන්නා සියලු පුවත්  දිග හැරියේය .

එය සාවදානව අසාගෙන සිටි අම්රිතාගේ මුහුණේ පිටතට පෙනෙන කිසිදු වෙනසක් සිදු නොවුනමුත් ඇගේ අභ්‍යන්තරය තුල යම් වෙනසක් සිදු වෙමින් තිබුනේය  . අසේලට නෑසෙන්නට ඈ හිතින් පමණක් කී කතාව මේ විදිහය.

' අසේල මෙහෙමයි. මනෝ වයසින් මේරුවත්  එයත් බොළඳ මනුස්සයෙක්. තමන්ගේ හිත ඇතුලෙම තියෙන පුරාජේරු කම් , මුරණ්ඩුකම් හින්දා අනන්ත විඳවපු මනුස්සයෙක්. ඒත් එයා කියන්නේ එහෙම නෙවෙයි කියල. කැම්පස් එකේ දෙවැනි අවුරුද්දට එනකම් විතරක් ඉගෙන ගෙන යන්තම් පණ බේරාගෙන රටින් පැනගත්තා . ඊට පස්සේ ඩුබායි වල සයිට් එකක දැන් ඔය අසේල කරන රස්සාවම කර කර ඉන්නකොට තමයි අපි හම්බුනේ .මේ කාලේ අපේ ජීවිතේ මොන තරම් ලං වීම් ඈත් වීම් උනාද ? එතකොට  රිචර්ඩ්" . අසේලට මම මේ කතා සේරම වෙලාවක කියනවා "

අසේල  රාවතාවත්ත හන්දියෙන් රිය දකුණට  හරවා  "අම්රිතා මිස් මොනාද ඒ ගමන කල්පනා කරන්නේ?" කියා ඇසුවේය .
තමාගේ තෙත් වී තිබු දෑස කවුළුවෙන් එලියට යොමු කරමින් ඈ බොරුවක් කීවාය .

" නෑ මම කල්පනා කරේ ඊයෙයි අදයි මොන තරම් දේවල් අලුතින් දැක්කද කියල. අපි කොච්චර දුර ගියාද? . මේ වෙනකම් කිසිම ගමන් මහන්සියක් දැනුනේ නැ. හැබැයි දැන්නම් ටිකක් ඔලුව කකියන්න පටන් ගත්තා "

එසේ කියත්ම රිය විල්ලෝරාවත්ත හන්දියට ආසන්න වෙමින් තිබුණි.

"අසේල ඔය ඉස්සරහ පොඩි කඩේ ලඟින් දකුණට හරවන්න" ඈ කීවාය "

විශාල මිදුලක් තියෙන කුඩා හුරු බුහුටි ගෙදරක වසා නොතිබුණු ගේට්ටුවෙන් රිය ඇතුල් වුණි.  මහලු යුවලක් ඉස්තෝප්පුවේ වාඩි වී පාර බලා සිටියෝය .

 අම්රිතා රියෙන් බැස මහලු යුවලට ආචාර  කොට ගෙදර වම් පැත්තේ තිබු ඇනෙක්සියේ දොර හැර ඇතුලත විදුලි පහන් දැල්වුවාය  . ඉන්පසු  කතාවක් බහක් නැතිව පැමිණ රියේ පිටුපස තිබු  සිය ගමන් බෑගය හා ආම්පන්න තනිවම ඔසවා ගෙන ගොස් ගෙතුලින් තැබුවාය . ඈ යලි පැමිණියාය . ඒ වන විට අසේල රිය ආපසු හරවාගෙන පිටත්වී යන්නට එන්ජිමේ සැර දමමින් සිටියේය .

' අසේල චුට්ටක් ඔහොම ඉන්න මම ආපහු එනවා " ඇය කීවාය.
අසේල තරහ මුහුණ නොපෙනවා එන්ජිම නිවා දැම්මේය. අසුන පිටුපසට කඩා හාන්සි වුනේය . පානදුරේ යන ගමන් තමන් කුහුලෙන් හා කිතියෙන් සිතු අම්රිතා ආපසු ඇරලවන බලාපොරොත්තුව පිළිබඳව වත් ඇගේ නිවෙසට ගොඩ වීමේ ආසාව ගැනවත් දැන් ඔහුට මතකයක් තිබ්බෙම නැත .

අසේල නැවත අවදි වද්දී අම්රිතා අලුත්ම ඇඳුමක් ඇඳගෙන, තෙත කෙහෙවල්ල යන්තමින් බැඳගෙන පැමිණ සිටියාය . අගේ අතේ ඇලුමිනියම් පාට කෑම බඳුනක් හා ප්ලාස්ටික්  බෑගයක් තිබුනේය . ඈ හඬා ඇති බවක් නොපෙනුනේ මුහුණ පුරා අලුත් වත්සුණු තවරාගෙන සිටි නිසාය . ඇය නොකියාම පැමිණ ඉදිරිපස වම් පැත්තේ දොර ඇර වාඩි වුනාය .

" යමු " ඈ  කීවාය . අසේල රිය පණ ගන්වද්දී ඔහුට රියේ ඩීසල් සුවඳ පරයා නැගෙන මිහිරි  සැවන්දරා මල් සුවඳක් දැනුනේය .

ඔහු කොහේදැයි නෑසුවේය. වැඩබිම බලා යන්නට සිතාගෙන රිය පදවුවේය . අම්රිතා  කතා කළාය.

" අසේල දැන් අපිට විහිලු කරන්න කාලයක් නෑ. අපි තුන් හතර දෙනාම සීරියස් වැඩ කරන්න ඕනි . මනෝ වුනත් ඔය කල්පනාවලින් ගලවාගෙන වැඩට ඇදලා ගන්න ඕනි . අපි අද රෑ කොහොම හරි මේ ලිය කියවිලි ටික පිලිවෙලක් කරලා වැඩ ටික ප්ලෑන් කරමු . මනෝ අපට ගොඩක් කලින් , වැඩ පටන් ගන්නත් මාසෙකට දෙකකට කලින් මේ සයිට් එකේ ඇවිත් පදිංචි වෙලා හිටියේ . එයා ඉස්සෙල්ලම කලේ මේ ගම්වල, වැල්ලේ පාරේ හැම තැනම ඇවිදලා අපි ඉන්නේ මොන වගේ තැනකද කියල හොයල බලන එක . ඒකත් ඉතින් බිල්ඩිමක පදනමට ඕනි . තට්ටු විසි අටේ බිල්ඩිම හැදෙන්නේ ඔය කණු ටික උඩම නෙවෙයි. අපි හැමෝම එකතු කර ගත්ත අවබෝදේ උඩ'" එසේ කී ඈ දෙස අසේල පුදුමයෙන් මෙන් බැලුවේය.

ඒ බැල්මෙන් පසු ඈ යලිත් සිතින් පමණක් කතා කළාය.
" මනෝ මොනතරම් දක්ෂ වුනත් එයා  ලේසියෙන් වැඩ වරද්දා ගන්න  කෙනෙක්. මම කී පාරක් බේරාගෙන තියෙනවද. එයාට තියෙන ලොකුම දුර්වල කම් තමයි අධි තක්සේරුවයි ඕනිවට වැඩි අවංක කමක් පෙන්නන්න යන එකයි . මනෝගේ ඔලුව වැඩ වලින් පිරෙව්වේ නැත්නම් එයාගේ මනස අයාලේ යනවා . ඊට පස්සේ අකරතැබ්බ . දැන් ඉතින් තට්ටු විසි අටම හදල ඉවර වෙනකම් එයාව  හිර කරන්න ඕනි. දැන් ඇහැරවල ගෙන්න ගෙන මේ කෑම ටික කන්න දෙනවා. ඊට පසේ එයාට ටිකක් පම්පෝරි ගහන්න දෙනවා. ඉන් පස්සේ පළමු තට්ටුව දාල ඉවර වෙනකම් හැම දේම සැලසුම් කරලා ඉවර කරනවා . අද රෑම. ඔව් අද රෑම "

රථය වැඩබිමට ඇතුළුවන විට රාත්‍රී දහය පසු වී තිබුනේය . ගේට්ටුවේ  විදුලි බුබුල  මිස අන් හැමතැනම අන්ධකාරයේ ගිලී ඇතැයි සිතා සිටි වැඩබිම මුළුමනින්ම ඒකාලෝක වී තිබුනේය.

කුහුල් සිතින් වැඩබිම් කන්තෝරුවට ඇතුළු වූ අසේල හා අම්රිතා දුටුවේ කන්තෝරු ඇඳුමින් සැරසී සිල්වා හා මිස්කින් පසෙකින් සිටුවාගෙන වැඩ කරන මනෝ රන්ජන්ය.
සැලසුම් වල පිටපත් අතින් ඇඳි පාට සලකුණු සමග බිත්තියේ  හැම තැනම  එල්ලා තිබුනේය .  විශාල කාල  සටහනක අවලස්සන අත් අකුරින් පළමු තට්ටුව දමා අවසන් වන තුරු සියලු වැඩ පියවරෙන් පියවර පෙන්වා තිබුනේය.

'ඔයා තනියම ෆස්ට් ෆලෝ එකේ ස්ලැබ්  එක දැම්මා එහෙනම්?'
ප්‍රීතියෙන් පිනා ගොස් සිටි අම්රිතා කීවාය. මනෝරන්ජන්ද සතුටින් සිටියේය . ඔහු පැමිණ අම්රිතා  වැළඳ ගෙන පිලි ගත්තේය.

' අසේල ගිහින් වොෂ් එකක් දාගෙන එන්න " ඔහු කීවේය


-මීළඟ කොටස මැයි 11 වන සඳුදා -
 .


Image Source: Gulf News


11 comments:

  1. අපිට තමා තනියෙං ප්ලෑන් කරන්න වුනේ නිදිමරාගෙන , අපිට කොහෙන්ද අම්රිතාලා

    ReplyDelete
    Replies
    1. අම්රිතාලා ඉන්නේ නවකතාවල විතරයි කියල හිත හදා ගමු

      Delete
    2. මට මේ කතාව ගැන අද හිතුනේ - අරබම්බලපිටිය - වැල්ලවත්ත පැත්තේ රේල් පාර ගාව හදපු බිල්ඩිම ගැන ලියන කත්වක්ද කියල

      Delete
  2. වැඩේ නැගලා යනවා. නියමයි. ඇත්තටම මෙ වගේ නෝනලා ඉන්නවද ලන්කාවෙ වැඩ බිම් වල. සුපිරි චරිතයක් නේ.

    ReplyDelete
    Replies
    1. තැන්කිව් මහේෂ් . මේ වගේ චරිත ඉන්නවා . වැඩි දෙනෙක් තේරුම් ගන්නේ නෑ

      Delete
  3. අම්‍රිතා කෙනෙක් හිටියනං හදුන්කූරු ගහලා ප්ලෑන් කරන්නේ :D

    ReplyDelete
    Replies
    1. ඉස්සරහ වැඩවලදී අම්රිතාලා හමු වේවා

      Delete
  4. වික්‍රම ජයසිංහMay 4, 2020 at 9:20 AM


    ඉතා හොඳ කතාවක්. ඉලංගරත්න මහතාගේ කථා විලාශය මතකෙට නැගෙනවා. තව තවත් ලිවීමට හැකි වේවා යැයි ප්‍රර්ථනා කරනවා. සමහරවිට පේරාදෙණියේදී දැක ඇතැයි ද සිතමි. ජය

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි වික්‍රම මහත්මයා . පේරාදෙණියේ හිටියාද? එහෙනම් අපි හමු වෙලා ඇති. මම හිටියෙනම් 87 -93 අතර කාලේ . ජය !

      Delete