ලංකාවේ ගෙදරක වැඩිපුරම පාවිච්චි වෙන වචනය අම්මානම් දෙවැනි වචනය 'තේ' විය හැකිය. තුර්කියේනම් සමහරවිට එය පළමු වචනයදෝ කියා හිතෙන තරමට මෙරට වැසියන් තේ බිමට ඇබ්බැහි වී තිබේ. ලෝකයේ වැඩිපුරම එක පුද්ගල තේ බීම ඇත්තේ තුර්කියේ බව මම කියවා ඇත . එය වසරකට තේ කිලෝ තුනහමාරක් විතරය . සාමාන්‍ය පුද්ගලයෙක් තේ කෝප්ප හතරක්වත් බොන බව කියවුණත් මට හමු වූ පුද්ගලයන්නම් දවල් කාලයේ පමණක් තේ විදුරු දහයක්වත් බොති. පැයක මිටීමක් ඇතුලත තුන්වරක් තේ බෙදාදෙන අතර සීනි ඇටයක්වත් නැති තේ එක ගිජුලෙස රස බලන මගේ සගයන් දෙස මම පුදුමයෙන් බලා සිටිමි. මැදපෙරදිගදීනම් සමහරවිට පැය බාගෙන් බාගෙට සිගරට් එකක් බිලා එන විවේකය හැමෝටම ලැබුනද මෙහිදී ඒ පුරුද්ද මම දැක්කේ නැත. ඒත් සමහරුන් අත කන්තෝරු කාමරෙන් පිට සිටින විට අනිවාර්යයෙන් දැල්වෙන දුම්වැටියක් තිබෙනු දුටු අතර කන්තෝරුව ඇතුලේ සිටිද්දීනම් දුම් දමන තේ වීදුරුවක් තිබුනේය .
මේ රටටම ආවේනික තේ බොන විදුරු වර්ගයක් තිබේ . නගරයේ වීථි පුරා තැනින් තැන තිබෙන එළිමහන් අවන්හල්වල වාඩිවී මේ විදුරුවලට පුරවාගත් තේ බොමින් අල්ලාප සල්ලාපයේ යෙදෙන තරුණ හා වැඩිහිටි මහලු ගැහැණුන් හා පිරිමින් ප්‍රියමනාප දසුනකි . සිනි කැට දැමූ බඳුනක්ද සීනි දියකරගැනීමට ලී හැන්දක්ද අහල පහලම තිබුනත් කිසිවෙක් සීනි මුසුකරගනන්වා මා දුටුවේ නැත . අපේ කන්තෝරුවෙත් ඉඳහිට හෝ සිනි කැටයක් 'ටකලන්' සද්දයෙන් වීදුරුවට දමා ගත්තේ මා පමණකි . එසේ දමා ගනිද්දීත් ළඟ සිටින හිතවතෙක් සිටියානම් මෙසේ කියයි. "සීනි කියන්නේ වස". මා දන්නා මෙරට මිනිසුන් සිනි හා ලුණු භාවිතය අවම කරගෙන සිටින අතර එහෙමට තෙල් කන පුරුද්දක්ද ඔවුන්ට නැත .
මා කන්තෝරුවට ගිය මුල්ම දවසේ පැයක් දෙකක් යද්දී තේ එකක් බොන්නට ආසාවක් ඇතිවුනේ කන්තෝරුවේ බොහෝ මේස මත තේ කෝප්ප දුම් දමමින් තිබුන නිසාය . ඔවුන් වරන්වර අසල කාමරයකට ගොස් වීදුරුව පුරවාගෙන එති. මා සමග මුව පුරා හිනැහුණු වැඩිහිටි ඉංජිනේරුවෙක් මා කැඳවාගෙන ගොස් තේ තිබෙන තැන පෙන්නුවේය.ඔයාට තේ එකක් ඕනි වුනාම මෙතනින් බොන්න . කොපි බොන්න ඕනි වුනාම පහළ තට්ටුවේ විවේක කාමරයට යන්න .
මම ඔහු බලා සිටිද්දීම තේ එකක් වීදුරුවට පුරවා ගත්තෙමි. දුම් දදා උතුරන වතුර භාජනයක් උඩ කුඩා තේ පෝච්චියක් තබා තිබුණේය. තේ පෝච්චියෙන් තේ වීදුරුවට පුරවා ගනිද්දී මගේ සගයා කොක්හඬලා සිනාසෙමින් " ඔහොම නෙවෙයි තුර්කිෂ් සැමෝවාර් එකෙන් තේ බොන්නේ . ඔයා ලංකාවේ නිසා තේ බොන විදිහ හොඳට දන්නවා කියල මම හිතුවේ." මම ඔහුගේ උපදෙස් අනුව උතුරන වතුර බඳුනේ උඩ තිබූ තේ පොච්චියෙන් ස්වල්පයක් වීදුරුවට දමාගෙන පහලින් වූ උතුරන උණුවතුර බඳුනෙන් වීදුරුවේ ඉතිරිය පුරවා ගත්තෙමි.
" එතකොට මේ සමෝවාර් එකක්. අපේ නෝනා කලකට පෙර රුසියාවෙන් ගෙනා එලෙක්ට්‍රික් සැමෝවාර් එකක් අපේ ගෙදර තිබුනද එය අරුමෝසම් භාණ්ඩ අතර කැබිනෙට්ටුවක් මත තබා තිබුනේය. කාලයක් කසක්ස්තනෙත් සිටියා කියන්නේ කොහොමද සැමෝවාර් එකකින් තේ හදාගෙන බිලා නෑ කිව්වම. ඒත් කසක්ස්තනයේදීත් මැද පෙරදිගදිත් අපට තේ හදාගෙන බොන්නට වුවමනා වුනේ නැත්තේ අපට තේ කොපි මේසය ළඟටම ගෙනත් දෙන කාර්ය මණ්ඩලයක් හිටි නිසාය . දැන් ලෝකය පුරා මේ පිරිස අඩු කර ඇත.
කොහොම කොහොම හෝ ඉස්තාන්බුල් තේ සංස්කෘතියට අනුගත වී මේස මත තිබෙන අඩු කහට වැඩි කහට තේ කෝප්ප වල ව්චිත්‍ර වර්ණ දෙස බලා සිට විනෝදවීම මගේ දිනචරියාවට එකතු වී තිබේ . සමහරුන් බොන්නේ තද කහටය . සමහරුන් බොන්නේ ලාම ලා කහටය. මේ වගේ ලා පාට තේ එකක් හදන පුංචි අම්මාට අපේ ආච්චි ඉස්සර සැර කරනවා මම අසා ඇත .
" මොනාද බන් එළිජ්ජ වගේ තේ හදන්නේ යහමින් තේකොළ ටික දාහන්කො "
මෙහෙ ප්‍රොජෙක්ට් එකකදී හමුවූ ඉංග්රීසිකාර මිතුරෙක් මගේ මේසය ලඟට පැමිණ පොඩි පාර්සලයක් පෙන්නා වරෙන් පොඩ්ඩක් ආලින්දෙට කියා මාවත් ඇදගෙන උණුවතුර කෝප්ප දෙකක් ටීපෝව මත තබා පාර්සලය ලිස්සේය. "මෙන්න උඹලගේ රටේ තේ . මට මෙහෙ පොඩි කඩේක තිබිල හම්බුනා" . මම ඒ ලේබලය දකිද්දීම "මේ ලංකාවේ තේම නොවෙයි ඔය සමාගම ලෝකේ රටවල් ගානක පැතිරිච්ච එකක්. එක එක රටවල තේ බ්ලෙන්ඩ් කරලා හදන්නේ" කියා කිව්වෙමි . ඊන්පසු අපි ලිප්ටන්ගේ උපන්ගම හා ලංකාගමනය ගැන කතා කළෙමු . මම ඔහුට මෙහෙම කතාවක් කිව්වෙමි.
"වතාවක් මට කසක්ස්තානේදීත් ඔයවගේ සිලෝන් ටී කියල ලේබලයක් තියෙන තේ පැකට් වගයක් හම්බුනා . බැලින්නම් ඒවා ඉන්දියාවේ හදල පෙට්ටියේ කවුද ස්ටිකර් එකක් අලවලා සිලෝන් ටී කියල"
මම ලංකාවෙන් ගෙනා කළුබෝවිටියන තේ පැකට් දෙකෙන් එකක් ඔහුට දුන්නෙමි . අනෙක මම අපේ රියදුරාට දුන්නෙමි.
රියැදුරා කිව්වේ "අපේ හාමිනේ තේ තියෙන පලාතක කෙනෙක්. එයා එක එක විදිහේ තේ වලට හරි කැමති. ලංකාවේ තේ පැකට් එක දැක්ක ගමන් හරි සතුටු වෙයි" කියලය .
එතකොට ඔහේ සිලෝන්ටී වලට කැමති නැතිද කියා මම ඇසුවිට ඔහු මෙහෙම කිව්වේය .
" මම මේ තුර්කිෂ් තේ වලට ඇබ්බැහි වෙලා ඉන්නේ. මේවා ඇර වෙන දෙයක් මට හරියන එකක් නෑ "
හීනි රෙසිනමය රසක් දිවට දැනෙන ත්ර්කිෂ් තේ ඇබ්බැහි වෙන සුළුය. ඒවා දකිද්දී අර මකුණු රසක් ආ එහෙත් ඇබ්බැහිවෙනසුලු මුල්කාලයේ හැනපියර් බ්‍රැන්ඩි බෝතල් මතක් වෙයි. කන්තොරුවේදී තේ කෝප්ප දහයක් විතර බි ගෙදර යන මම කිසිදා මගේ අපාර්ට්මන්ට් එකේදි තේ එකක් බි නැත. ගෙදර යද්දී අර කන්තෝරු තේ රහ කටේ රැඳී තිබෙන අතර සති අන්තයේ දවස් දෙකෙදිවත් එය මැකී යන්නේ නැත .
මගේ අලුත් නවාතැන මට ලැබෙන විටදීත් එහි කුස්සියේ මේසය මත අලුත්ම අලුත් ලොකු තේ බෑග් පෙට්ටියක් තිබුනේය. මම එය තාමත් අතින් නෑල්ලුවේ ඒ නිසාය .
සටහන:
පුරාතන සේද මාවතේ කේන්ද්‍රස්ථානයක් වූ කොන්ස්තන්තිනෝපලයට චීනයෙන් තේ ලැබෙන්න ඇතැයි සැලකෙන්නේ සියවස් ගණනාවකට පෙර සිටයි. එහෙත් තුර්කියේ තේ වගාවේ හා තේ බිමේ නව ප්‍රවණතාව ඇරඹෙන්නේ විසිවන සියවසේ මුල පටන්ය. මා අන්තර්ජාලයෙන් සොයා බැලූ අන්දමට ලංකාවේ මෙන් හතර ගුණයක් තුර්කියේ තේ නිපදවෙයි. මේ ප්‍රමාණය තුර්කියේ පාරිභෝජනය කරන ප්‍රමාණයට වඩා වැඩියි. එහෙත් ඔවුන් තේ පිටරටින් ගෙන්වයි. අපනයනයද කරයි . මේ විවෘත ලෝක වෙළඳපලේ හැටිය . එපණක් නොවේ තුර්කිය වැඩියෙන්ම තේ ගෙන්වන්නේ ලංකාවෙන්ය. ශ්‍රී ලංකාව තේ වැඩියෙන්ම යවන රටවල් අතර මුල් කිහිපයේ තුර්කිය තිබෙයි.