Saturday, October 14, 2023

කොන්ස්තන්තිනෝපල් සවාරිය

දෙදාස් හත  අවුරුද්දේ  කසකස්ථානයේ රස්සාව කරන කාලේ හමු වූ මිතුරියක් මට කිව්වේ ලංකාව ගැන ඇය ඉස්කෝලෙදි ඉගෙනගෙන තියෙනවා කියලය . මොනාද ඉගෙනගෙන තියෙන්නේ ? මම ඇහුවා . ඇය  අත්දෙක  එකතු කරලා බුද්ධා කිවා. ඊට පස්සේ චෙයි හෙවත් තේ ගැන කිවා . ආයේ මෙහෙම කතාවක් කිවා . 'රටේ දේශ සිමා වෙනස් නොවී එකම රටක් හැටියට වැඩිම කාලයක් තියෙන රට තමයි ශ්‍රී ලකාව කියලත් අපිට ඉස්කෝලෙදි උගන්නලා තියෙනවා " ඒක  හෙන අලුත් කතාවක් . කතාව ඇත්ත වුනත් මමනම් ඒ ගැන ඊට කලින් කවදාවත් අහල තිබ්බේ නෑ . මම ඒ වගක් නොදන්වා දන්නවා වගේ හිටියා .

ඒ කසක්ස්තානු  ප්‍රොජෙක්ට් එකේ හිටි කොන්ත්‍රාත් සමාගම තුර්කියට  අයිති එකක්. ඒ නිසා තුර්කි භාෂාව මගේ කණට  හුරුපුරුදුයි.  අත්‍යවශ්‍යම දේවල් සන්නිවේදනය කරගන්න ඕනි වචන ටික මම දැනගෙන හිටියා .

ඒත්  අවුරුදු පහළවක්  විතර පාවිච්චි නොකරපු ඒ වචන දුසිම් දෙකතුන මට මුළුමනින්ම අමතක වෙලා කියලයි මට හිතුනේ . ඒත් මේ පාර ඉස්තාන්බුල් නුවරට ගොඩ බැහැපු ඇසිල්ලේ අර වචන කනට ඇහෙද්දීම ඒවගේ තේරුමත් එක්ක මට ඒ සියල්ල වගේ මතක් වුනා . මිනිස් මොලයේ සමහර මයික්‍රෝ චිප්  සිසිර කාරක නින්දට ගියත් යලි සුපුරුදු පරිසරය ආපුවහම ඒවා පණ ගහල එනවා. 

තුර්කි භාෂාව ගැන වෙනම ලියන්න ඕනි. ලෝකේ මොන රටේද  ජාතියක් එකතු වෙලා  ජාතික භාෂාව අවුරුදු දෙක තුනක් ඇතුලත මුළුමනින්ම වගේ වෙනස් කරගෙන තියෙන්නේ. රටපුරා  තිබ්බ සියලුම දැන්වීම් පුවරු වල අකුරු  වර්ගය වෙනස් කිරීම, රාජකාරි ලියකිවිලි, ඉස්කෝලේ පොත පත , පාඩම් සියල්ල සමග මේක කොහොමද කරේ කියල මට හිතා ගන්නත් බෑ . ඒක  මේ ලෝකේ වෙච්ච සාර්ථකම චේන්ජ් මැනේජ්මන්ට්  එක වෙන්න ඕනි.

කසාක්ස්තාන් මිතුරිය කී  දේශ සිමා වෙනස් වීම් ගැන මට ආයෙත් හිතන්න උනේ තුර්කියට ගොඩ බැස්සට පස්සේ . මේක ම පුදුම රටක් අවුරුදු දෙදහස් පන්සියකට වඩා ඉතිහාසයක් තියෙනවා. ඉතිහාසේ කවදාවත් නටබුන් වෙලා අවුරුදු සිය ගණන්  අත ඇරිලා තිබ්බේ නෑ . වරින් වර දේශ සිමා වෙනස් වෙමින් , රටේ නම වෙනස් වෙමින් එක එක අධිරාජ්‍යයන් යටතේ ඒත්  බටහිර කිසිදු රටක කොලනියක් නොවී තිබෙන පුදුම රටක්. මේ රට අන්තර් මහද්වීපික රටක් . භූගෝලීය වශයෙන් යුරෝපයේ දේශසීමාව වැටෙන්නේ රටේ ප්‍රධාන නගරය වන ඉස්තාන්බුල් දෙකඩ කරමින්. 

මේ තරම් සුපතල ඉස්තම්බුල් නගරය ඉතිහාසය පුරා වෙනස් වෙනස් නම් වලින් හැඳින්වුනා . ඉන් ප්‍රසිද්දම නම තමයි කොන්ස්තන්තිනෝපල්   කියන නම .  ඉතිහාසය පුරා ලෝක වෙළඳ මධ්‍යස්ථානයක් . ක්‍රි ව 330 වනතුරු රෝම අධිරාජ්‍යයේ අගනුවර වුනේ මේ නගරයට ඒ නම ලැබුනේ මහා කොන්ස්ටන්ටයින් අධිරජ්‍යයා නිසා. 

හතරවන සියවසේදී  බටහිර රෝම අධිරාජ්‍යය බිඳවැටිලා ගොඩනැගෙන්නේ පෙරදිග රෝම අධිරාජ්‍යය හෙවත් බයිසන්ටයින් අධිරාජ්‍යය . එහි අගනුවර වන්නේත් කොන්ස්තන්තිනෝපල් . නගරය තුල තිබු කොටසක්  නව රෝමය කියලත් හඳුන්වනවා. ක්‍රිව 330 ඉඳන් 1204 වෙනතුරුත් ආයෙමත් 1261 සිට 1453 වනතුරුත් මේ අධිරාජ්‍ය පැවතුනා. 1204 සිට 1261 දක්වා වූ අවුරුදු පනස් හතක මේ කලාපයේ බලය නතුකරගෙන හිටියේ ලතින් අධිරාජ්‍යය . 1453 ඉඳන් 1922 වෙනතුරු සියවස් කීපයක්ම කොන්ස්තන්තිනෝපල්  නගරය  කේන්ද්‍ර කරගත්තු කලාපය පාලනය කලේ ඔටෝමාන් අධිරාජ්‍යය. 1922 ඔටෝමාන් අධිරාජ්‍යය බෙලහීන නාමික තත්වයට වැටි තිබුන කියල මට හිතෙන්නේ. ඉන්පස්සේ තුර්කිය අධිරාජ්‍යයෙන් නිදහස ලබා ගන්නවා. රටේ අගනුවර රට මැද පිහිටි අන්කාරා  නගරය කරා ගෙන යනවා.  කොන්ස්තන්තිනෝපලය ඉස්තාන්බුල් කියල නම වෙනස් කරගන්නවා.

ආයේ කියන්න දෙයක් තියෙනවා කසකස්ථානයත් තමන්ගේ අගනුවර මුහුදුබඩ නගරයක් වන අල්මති සිට රට මැද  පහිටි අස්තානාවලට ගෙනාවා  දශක කීපයකට කලින්.  මේ රටවල් දෙක හා ඒවායේ මිනිස්සු අතර අමුතු බැඳීමක් තියෙනවා . ඒ ගැන වෙනම ලියන්න වෙනවා.

තුර්කිය, ඉස්තාන්බුල් නගරය හා අවට කලාපය ආර්ථික, සංස්කෘතික හා අයිතිහාසික වටිනාකම අතින් මිල කළ  නොහැකි විචිත්‍ර සංකීර්ණ බවක් උසුලනවා. මේක තේරුම් ගන්න හරි අමාරුයි. ගුප්තයි. ආකර්ශනීයයි . මේ නගරයේ ජිවත් වන කාලය ඇතුලත සහ පසුව ලියා පල කරන්න හිතාගෙන ඉන්න දින සටහන් ටික තමයි කොන්ස්තන්තිනෝපල්  දිනපොත .

මේ ඒ ලියවුනු සටහන් අතරින් කීපයක් .

සැපතැම්බර්  16

ඉස්තාන්බුල් ගුවන්තොටුපලෙන් ගොඩ බැහැලා හිතේ සංකාවක් තිබ්බ . මම ප්‍රොජෙක්ට් වලට  ගිය රටවල් කීපයකදීම මාව ගන්න ගුවන්තොටුපලට ආ නිලධාරියා හෝ රියදුරා මගේ නම තියෙන බෝඩ්  එකක් අල්ලාගෙන බලා හිටියා . මේ සියලුම ප්‍රොජෙක්ට්වලදී වගේ මගේ සමීප හිතවතෙක් වුනේ ඒ ආපු පුද්ගලයා . ඒත්  ඉස්තාන්බුල් නුවරදී මම එලියට එනකොට කිසි කෙනෙක් හිටියේ නෑ . ඒ වෙනකොට තාක්ෂනය දියුණුයි අපි වට්ස්ඇප්  වලින් නොම්මර හුවමාරු කරගෙන ෆොටෝ හුවමාරු කරගෙන හිටියේ.  මම එලියට ඇවිත් මට දීලා තිබ්බ නොම්මරයට කතා කළා . මොහොතකින් මට පණිවිඩයක් ආවා . මම අටවෙනි දොරටුව ගාව ඉන්නවා එතනට එන්න .  මම හිටියේ 13 වන ගේට්ටුවේ  එතනට යනගමන් මම කල්පනා කරා . ' මේ මනුස්සයට ඉංග්‍රීසි පුළුවන් . ඒක  හොඳයි"    මම අටවෙනි ගේට්ටුව ගාවට යද්දී මගේ නම තියෙන බෝඩ් එකක් උස්සගෙන අර මනුස්සය ඉන්නවා . මම කතා කරාට එයාට භාෂාව බෑ . එහෙනම් කොහොමද මැසේජ් එව්වේ? මේ සියලු දෙනා කිසි කිසි ගලා ට්‍රාන්ස්ලේට් ඇප් පාවිච්චි කරනවා. මේ ඇප්  එක හරහා හොටෙල් එකට එනතුරු අපි දෙන්නා කතා කර කර ආවා .

සැප්තැම්බර් 17

අද උදේම ටීවී එකේ චැනල් ටික කරකවා කරකවා බැලුව ඉංග්‍රීසි හෝ දන්නා භාෂාවක එකක් තියෙනවද කියල . චැනල් එක්දහස් ගණනක් පිරුවා. ඉතාම අඩුයි . ඒ අතරේ සුපුරුදු මුහුණක් දැක්කා . කවුද කියල බලනකොට මේ කදර්නේ . අර අපේ රටේ නාලිකාවක ගිය තුර්කි මාලා  නාටකය මුතු අහුරේ හිටි ගැහැණු ළමයෙක් . පස්සේ හොයල බලනකොට සොන්ගුල් හා ඇගේ යහළු යෙහෙළියෝ  ඉන්නේ මේ අවට තමයි.  Orphan Flowers  කියන්නේ මෙහෙත් ජනප්‍රිය නාට්‍යයක්ලු ඒ කාලේ .

සැප්තැම්බර් 17 හවස 

ඉස්තාම්බුල් වල ලියවුණු  ඉංග්‍රීසි පොත් හොයනකොට ඔර්හාන් පමුක් හම්බවුනා . 2006 අවුරුද්දේ සාහිත්‍යය ට නොබෙල් තෑග්ග හම්බ වෙච්ච ඔහුගේ පොත් දෙකක්  අපේ නිලුක කදුරුගමුව පරිවර්තනය කරලා තිබ්බ. නිලුකගේ රාජ්‍ය සම්මාන ලබපු නිල්වරලැති ලිය මම ගත්තත් කියවන්න බැරි වුනා . තව ටිකක් බලාගන ගියාම තුර්කියේ ලියවෙච්ච හොඳම පොත් මොනවද කියල ඉලියඩ් හා ඔඩිසිත් තියෙනවා. අර ට්‍රෝජන් ආශ්වයා ආව කියන ට්‍රෝයි  නගරය තියෙන්නේ මම ඉන්න තැන ඉඳල වැඩි ඈතක නෙවෙයි .

බලාගෙන ගියාම මේක මාර ගමනක් . වැඩ කෝටියක් තියෙයි මට .

( විශේෂ ස්තුතිය : 'ශනිදා  දහයයි දහයට' කියා මොකක්දෝ සම්‍යක්ප්රෝයෝගයක් දාගෙන පැන්ෂන් ගිය බ්ලොග්කාර්යන් හා කාරියන් ලවා බැරිමරගාතේ  මොනා හරි ලියවන්න වෙහෙසෙන තට්ටයාගේ බ්ලොග් කොළම  , ඩ්රැකී  ඇතුළු මිතුරු නඩයට )


38 comments:

  1. කාලෙකින් තිලක සිත බලන්න ලැබුනේ. අතීතවර්ජනය ඔස්සේ දැනුමක් ගන්න හැකිවුනා මෙයින්. ජයවේවා ... ( කවි දුමී )

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දුමි . අපි ආයේ ලියමු

      Delete
  2. තට්ටයා, කොළොම්පූර් ගත් ශනිදා දහය උත්සාහය ට ස්තූති. මේ මගේ ශනිදා දහයට
    https://dumindasanchare.blogspot.com/2023/10/blog-post_14.html

    ReplyDelete
    Replies
    1. නියමයි. ඒ පැත්තේ එන්නම්

      Delete
  3. තුර්කිය කියන්නේ අපූරු රටක් නොවැ... ස්තාන්බූල් පසුකරන් බොස්ෆොරස් හරහා කලුමුහුදට ගිය හැම වාරයකදීම දෙපැත්තේ සිරි නැරබිම තමයි කොළොම්පුරයා හැමදාමත් කෙරුවේ.. දෙතුන් වාරයක් ස්තාන්බූල් ගොඩබැස්සත් කරුමෙට එලිපහලියේ රවුමක් ගහන්න අවස්ථාවක් ලැබුනේ නෑ නොවැ...

    ReplyDelete
    Replies
    1. මමත් කලින් ට්‍රාන්සිට් එකකට ඇවිත් තිබ්බට රටට ගොඩ බැස්සේ මේ වතාවේ තමයි. බොස්පෝරස් සවාරියක් ගියා ගිය ඉරිදා . ලියන්නම්

      Delete
  4. Interesting historical facts. I am big fan of fascinating history and evolution of the Ottoman Empire. Last year we were in Antalya and fortunate enough to discover the Roman influence in the region’s culture and history. Also compare to many European countries I have visited, I found Turkey is well advanced and developed in infrastructure and public services. Can’t wait to explore Istanbul in few weeks.

    ReplyDelete
  5. අපිට ඉස්තාන්බුල් හෙවත් කොන්ස්තන්තිනෝපලය ගැන උගැන්වෙන්නේ පාසැලේ අටේ පංතියේ සමාජ අධ්‍යනය පාඩමට.
    ඒක එන්නේ කුරුස යුද්ධය සමග.
    ඊළඟට කියැවෙන්නේ කුරුස යුද්ධය නිමාවත් සමග කොන්ස්තන්තිනෝපලයේ තිබුනු පත පොත පරිශීලනය කිරීමෙන් යුරෝපයේ බුද්ධි ප්‍රභෝදයක් ඇති උනා කියලා!

    ඇත්තටම ඔය දේවල් පාඩම් කල අප තබා අපට උගන්වපු ගුරු භ්වතියන්වත් හරියට දැනගෙන උන්නාදැයි සැක සහිතයඉ.
    ඒ කෙසේ වෙතත් පැරණි නගරයක් නැරඹීමට යාම කියන්නේ වෙනමම ආතල් එකක්! ඒකත් හැමෝටම විඳින්න බෑ!
    අපි වාගේ නොස්ටැල්ජියානු පිස්සන්ට තමයි මේවා රස විඳින්නට පුළුවන් වන්නේත්!

    සම්‍යක්ප්‍රයෝගයක්මත් නෙවෙයි!
    පොඩි කැම්පේන් පාරක්!
    මොනවා උනත් අපිත් එක්කම ලියන්න පටන් ගත්තු එක නම් මාරම ගැම්මක් තිලක් අයියේ!

    ReplyDelete
    Replies
    1. මේකේ ලියල ඉවර කරන්න බැරි තරම් දේවල් තියෙනවා . ලියන්න පුළුවන් වුනොත් ශනිදා හයිය නිසා තමයි

      Delete
  6. අපිට ඉස්තාන්බුල් හෙවත් කොන්ස්තන්තිනෝපලය ගැන උගැන්වෙන්නේ පාසැලේ අටේ පංතියේ සමාජ අධ්‍යනය පාඩමට.
    ඒක එන්නේ කුරුස යුද්ධය සමග.
    ඊළඟට කියැවෙන්නේ කුරුස යුද්ධය නිමාවත් සමග කොන්ස්තන්තිනෝපලයේ තිබුනු පත පොත පරිශීලනය කිරීමෙන් යුරෝපයේ බුද්ධි ප්‍රභෝදයක් ඇති උනා කියලා!

    ඇත්තටම ඔය දේවල් පාඩම් කල අප තබා අපට උගන්වපු ගුරු භ්වතියන්වත් හරියට දැනගෙන උන්නාදැයි සැක සහිතයඉ.
    ඒ කෙසේ වෙතත් පැරණි නගරයක් නැරඹීමට යාම කියන්නේ වෙනමම ආතල් එකක්! ඒකත් හැමෝටම විඳින්න බෑ!
    අපි වාගේ නොස්ටැල්ජියානු පිස්සන්ට තමයි මේවා රස විඳින්නට පුළුවන් වන්නේත්!

    සම්‍යක්ප්‍රයෝගයක්මත් නෙවෙයි!
    පොඩි කැම්පේන් පාරක්!
    මොනවා උනත් අපිත් එක්කම ලියන්න පටන් ගත්තු එක නම් මාරම ගැම්මක් තිලක් අයියේ!

    ReplyDelete
    Replies
    1. ගැම්මෙ සතුට වැඩිකමට කමෙන්ට්ස් දෙකක්ම... 😀

      Delete
    2. හිනා වෙන්න එපා බං! අපි වයසක මිනිස්සුනේ? පොඩ්ඩක් අත වෙව්ලුවා!!

      Delete
    3. ආදරේ වැඩි හින්දයි

      Delete
  7. පැන්ෂන් ගිහිං? එහෙව් බවක් පෙනෙන්නැත
    ඔහොම කතන්දර ඔයාට ඔබින්නැත
    පෝස්ටුවක් නොව පොතක්ම ලියා ඇත
    නියමයි; අපූරුයි; කදිමයි 'තිලක සිත"

    ReplyDelete
    Replies
    1. තැන්කිව් නිදි කවියෙන් හිත තැව්වාට
      පැන්ෂන් යන්න බෑ මේවා ඇහෙනකොට
      බැරියෙන් වුනත් නිදිමරලා ටයිප්කොට
      වැඩියෙන් යමක් ලියනවා එන ශනිදාට

      Delete
    2. නව පණ ලබා අවදිව යළි blog ලෝකේ
      සරු කරවන්න ඕනේ හොඳදෝ තිලකේ!

      Delete
  8. https://en.m.wikipedia.org/wiki/Dirili%C5%9F:_Ertu%C4%9Frul
    සීසන් එකක් බැලුවා. ඉතිහාසය නරක නෑ, ඇක්ටිං නම් දුර්වලයි

    ReplyDelete
    Replies
    1. ඒක බලන්න ඕනි . ස්තුතියි ප්‍රා

      Delete
  9. නියමයි තිලකෙ. ඔහොම යං.🙏👌🫠

    ReplyDelete
    Replies
    1. එහෙම යන්න බෑ. ප්ලේං එකෙන් තමයි යන්න වෙන්නෙ. ඉඳගෙන.

      Delete
    2. එන්න කට්ටියම යමු. ස්තූතියි බස්සා

      Delete
  10. මොකද කියන්නෙ ට්‍රෝයි වලට ට්‍රෝජන් අශ්වයෙක්

    ReplyDelete
    Replies
    1. ඔව් ඉන්නවලු . බලන්න යන්න ඕනි

      Delete
  11. ස්තූතියි අතීත පාඩමට.
    ඒ වගේම මතක සටහන් බෙදා ගන්නවට. දිගටම ලියමු. ආසාවෙන් කියවන බ්ලොග් අතර තිලක සිතත් උඩිංම තියෙන එකක්.
    ජය

    ReplyDelete
    Replies
    1. ආයේ පරණ වේගෙන් ලියන්නන බෑ මහේෂ් . ඒත් ලියමු. ස්තුතියි

      Delete
  12. තට්ටයාගේ කොලමට ස්තුතී කරන ගමන් , මේ ටික කියන්න නලියන නිසා ලියන්නේ. තුර්කිය කියන රට තියන ප්‍රදේශයට 2500 ක ඉතිහාසයක් නෙමේ අවුරුදු 8000 ක විතර ඉතිහාසයක් තියනව. මම අර ග්‍රීක සංචාර ගැන ලීව ලිපි පෙලේ සඳහන් කළා වගේ. ගොබෙල්කි ටෙපේ කියන තැන ගැන හොයන්න පුලුවන්නම් මම බලන්න යන්න ඉන්න තැනක්. ඒ ඉතිහාසය ඉතා වැදගත්. මොකද ඒ මිනිස්සු ග්‍රීසියේ මිනොඅන් ශිෂ්ටාචාරය, ඊජිප්තුව සහ ඉන්දියාව, ශ්‍රී ලංකාව සමග අවුරුදු 6000 කට කලින් සම්බන්ධ වෙලා ඉඳල තියනව. අපට ඉගැන්වුයේ කොන්ස්තන්තිනෝපල් කියන නගරය ගැන හා කුරුස යුද්ධය ගැන නේ . සුල්තාන් සලවුදින් ක්‍රිස්තියානි නගරයක් වන කොන්සතන්තිනොපලය යටත් කරලා ඉස්තාන්බුල් කරපු හැටිනේ. ඉතා වැදගත් කරුණ තමයි වර්තමාන තුර්කියට ඔය කියන 2500 ඉතිහාසය නැහැ.
    නමුත් තුර්කිය හැදෙන්නේ ටුර්ක්මෙනිස්ථානය අවට ජිවත් වුනු නොමෑඩ් ටර්කෙමෙන් ලාගෙන් . උන් තමා තතුර්ක්මෙනිස්තානය , අසර්බයිජානය, කසාක්ස්තානය වගේ රටවල් ඉන්නෙත්. උන්ගේ මුල් නම් උගුට්ස්. ඒ කියන්නේ වර්තමාන තුර්කිය අටවන ශත වර්ෂයේ ඉඳන් තමයි ඇරඹෙන්නේ. ඒක හදන්නේ එර්ටුග්‍රල් කියන ටුර්ක්මෙන් වීරයා සහ එයාගේ පුතා ඔස්මන්. ඒ කියන්නේ වසර 1298 පමනදී තමා වර්තමාන තුර්කිය පටන් ගන්නේ. එයා තමා ඔටෝමන් අධිරාජ්‍යයට මුල් ගල තබන්නේ. නෙට්ෆ්ලික්ස් සීරිස් එකකුත් තියනවද කොහෙද එයා ගැන

    ReplyDelete
    Replies
    1. ඔව් අජිත් මම නොදන්නා තව ගොඩක් විස්තර දැනගත්ත මේ කොමෙන්ටුවෙන් . ටර්කික් සංස්කෘතිය ගැන ටිකක් හොයන්න පටන් ගත්තා . අර දෙදාස්පන්සීය කතාව ලියවුනේ පුරුද්දට වගේ

      Delete
  13. ලියවිල්ල ආසාවෙන් කියෙව්වා . දිගටම ලියන්න 👌, අපි බලන් ඉන්නවා කියවන්න.😊 (ඉස්කෝලේ දි කොන්ස්තන්තිනෝපල් ගැන ඉගඉගැන්නුවා කියලා මෙලෝ මතකයක් නෑ මට නම්🤔. ඒත් ඉතිහාසය ගැන දැනගන්න කැමති නිසා ආසාවෙන් කියෙව්වා . ) මට ඉන්නවා තුර්කී යාලුවෙක් සේරා උතුප් කියලා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි චාන්දනී . දිගටම ලියනවා

      Delete
  14. තුර්කි චිත්‍රපට හරහා රට ගැන ආසාවක් ඇතිවෙලයි ඉන්නේ . ඉඩක් ලැබුණු වෙලාවක යන්න ලිස්ට් එකේ දාගෙන ඉන්නවා .

    ReplyDelete
    Replies
    1. මමත් තුර්කි චිත්‍රපටි බලන්න පටන් ගත්තා . මෙහෙ එන්න බලන්න තැන් එමටයි . අනෙක මට හිතෙනවා සුපුරුදු සංචාරයකට වඩා ටිකක් ජිවත් වෙලා බලන්න වෙන රටක් කියල

      Delete
  15. Replies
    1. බොහොම ස්තුතියි නවින්

      Delete