එක් සුබ පැතුමකින් සතියක් ජිවත් වෙන්න පුළුවන් කියා කවුදෝ ප්‍රසිද්ධ පුද්ගලයෙක් කියා තිබේ. සුබ පැතීම් හා ආචාර කිරීම් වැඩිම රටකි තුර්කිය. එහි විශේෂත්වයනම් මේ සුබ පැතුම්වලට කිසිම බේදයක් නැති වීමයි. මහල් පහළොවක නිවාස සංකීර්ණයක එකොළොස්වැනි මහළේ වෙසෙන මම නිතිපතා ලිෆ්ට් එක භාවිතා කරමි. උදේ කලකනම් ලිෆ්ට් එකට ගොඩ වෙනවිට එහි ලොකු කුඩා ගැහැණු පිරිමි ඕනෑම වර්ගයක කෙනෙක් සිටියොත් ' ගුණයිදන් ' හෙවත් සුබ උදයක් කියා කීම බොහෝ විට සිදු වේ . ඉන්පසු කොරිඩෝවේ හමුවන පිරිසිදු කරන්නන්, කාර්මිකයන් කවුන්ටරයේ සිටින තරුණ තරුණියන් එතැනින් යන එන සියලු දෙනා සමග සුබපතා ගැනීම අනිවාර්යයෙන් පාහේ සිදු වේ . උදෑසනක් නොවන අවස්ථාවක අපි ලිෆ්ට් එකට ගොඩ වුනොත් එහි සිටින කවුරුන් හෝ හොස් ගැල්දිම් ( වෙල්කම්) කියා ඉඳ හිට කියයි. ඒත් හවසකනම් ලිෆ්ට් එකෙන් බැසයන ඕනිම කෙනෙකුට සුබ සන්ධ්‍යාවක් පැතීම සිදු වේ.
දවසේ වැඩකරන තැන්වල සිටින්නන්, පාරේ පිරිසදු කරන්නන් , කාර්මිකයන් , රියදුරන්, බැංකු නිලධාරීන් ඇතුළු සියලු දෙනා සතුටට පත් කරවන , ඉතාම බහුලව භාවීතාවන සුබ පැතුමක් තිබෙයි . ඒ 'කොලයි ගය්සම්' ලෙස ශබ්ද කරවන 'ඔබේ කාරිය පහසු වේවා' වැනි තේරුමක් ඇති වටිනා සුබ පැතුමකි . මෙය ඕනෑම තරාතිරමක අයෙකුට කියන්නට පුළුවන් දෙයකි. සමාජවාදය රටේ නමෙත් තිබෙන , සියලු සත්වයන්ට මෙත් වඩන අපි කවුරුවත් ගෙදර සේවකයන්ට , නගර සභාවක වැසිකිළිය පිරිසිදු කරන්නන්න්ට සුබ පතන්නේ නැත්තේ එය මදිකමක් කියා සිතන නිසා හෝ එවැනි පුරුද්දක් නැති නිසායා. ඔවුන් සමග එක මේසයේ වාඩි වී කෑම ගැනීම වගේ දෙයක් ගැනනම් හිතන්නේවත් නැත . එහෙත් ධනවාදී රටක් වන මෙරට සේවකයන්ට හා ලොකු මිනිස්සුනට කියා ආදායමේ හැර වෙනස්කම් කිසිවක් නැති අතර වෙන වෙනම ආපනශාලා , වැසිකිලි හා ආචාර කරගැනීම් නැත . හැමෝම එකය .
ඊළඟ ජනප්‍රියම සුබ පැතුමනම් අහාර පාන ආශ්‍රිත තිබෙන සුබ පැතුමයි. එය කනට ඇහෙන්නේ ' ආපියා තෝසුම් ' කියාය ( මේවා මිට වඩා වනස් වචන කීපයක එකතුවකි. මේ මට ඇහෙන විදිහයි ) යමෙක් තේ එකක් බොමින් සිටියත් කෑමට යමින් සිටියත් , කාලා ඉවරවී එනගමන් සිටියත් , තේ එකක් හදමින් සිටියත් , කෑම කා පිගාන හෝදමින් සිටියත් මේ සුබ පැතුම කියන්නට පුළුවන .
කාර්යාල සංකීර්ණයක පිහිටි අපි දවල් කෑම ගන්නා කැෆටේරියාවේ කෑමට එන පිරිස දෙසීයකට ආසන්න විය හැකිය. කෑම බෙදන කිහිප දෙනාමත් කවුන්ටරේ සිටින දෙදෙනාත් එහි එන සියලු දෙනාට ' ආපියා තෝසුම් ' හෙවත් රසවත් භෝජනයක් වේවා කියා කියති. එය එක අයෙකුටවත් වෙනස්ව නොකියන බවත් සැම විටම හෙණ ගැම්මෙන් ආඩම්බරෙන් හා හිනා මුහුණින් කියන හැටිත් මට නිරීක්ෂණය වී ඇත . සියලු ආකාරයේ ලොකු කුඩා උපකාරයක් හා සුබ පැතුමක් , යහපත් වචනයක් අසන ලබන තැනැත්තා පෙරලා ස්තූති කරන්නට අමතක නොකරයි. 'ටෙසකුලර්' ලෙස ඇහෙන ඒ වචනය අවසන තව වචන කීපයක් එක් වන අවස්ථා එමටය.
අනෙක් බහුලව භාවිතා වන සුබ පැතීම ' ඊයි අක්සම්ලර්' ලෙස මගේ කණට ඇසෙන සුබ සන්ධ්‍යාවක් වේවා කියන වදනයි . කන්තෝරුවෙන් පිටවන විට සියලු දෙනාමද , කොරිඩෝවේ හමුවන සියලු දෙනාටද, රථ ගාලේ හමුවන් සියලුදෙනටද එසේම කඩේකින් යමක් මිලට අරගෙන පිටවන සියල්ලන්ටමද මේ සුබ පැතුම හිමි වෙයි.
මා ජිවත් වන සමාගම් පරිසරය හා නවීන නාගරික කලාපයේ පමණක් නොව තරමක් එපිටදී පවා මේ සුබ පැතුම් හා ආචාර කිරීමේ කලාව දුර්වල නොවන අතර වෙන මොන ඊගෝ අඩු ලුහුඬුකම් තිබෙන කෙනක් වුනත් තවෙකුට සුබ පතන්නට හෝ ආචාරශීලි වන්නට නොපැකිළෙති . සිය ගණනකට සුබ පැතුවා කියා වෙහෙසට පත් නොවෙති. ඕනිවට වඩා කුළුපග වීමෙන් කරේ නගින්නට එතැයි භීතියට පත් නොවෙති .
බොහෝ වෙහස මහන්සි වෙන, නීරස ඒකාකාරී රාජකාරි කරන හෝ එසේ නොවන සියලු දෙනා දවස පුරා උද්යෝගයෙන් සිටින හේතු දෙකක් මම අනුමාන කරමි . පළමුවැන්න මේ සුහද සමානාත්මතාවයයි . දෙවැන්න ඔවුන් ගන්නා සමබළ ආහාර වේලයි.
අහන්නත් හරිම කැමතියි මෙහෙම කතා
ReplyDeleteතිලකේ, ලියනු මැන තව මේ වගේ කතා!
ඉරිදා ගමන් යෙදුනෙන් දුර බැහැර ඉතා
Deleteකාලය හරස්විය දෙන්නට මෙහෙම කතා
+++++++++++++++++++++++++++++++++++++++++++
ReplyDeleteමේ වගේ තරාතිරමක් නැතිව මග තොටදි මුණ් ගැසෙන කා සමගත් සුහදව සුභ පාතාගැනීම, මේ රටවල් වල සාමාන්‍ය දෙයක්...ඒ වගේම පොලයිට්නස් කියන එකත් අපේ අයට වඩා ගොඩක් ඉස්සරහෙන් තියෙන දෙයක්... මේවා නම් අපේ සමාජයටත් ඒ විදිහටම අවශෝසණය කර ගන්න පුලුවන් කියලා මට හිතෙනවා.
ReplyDeleteමේ සමාජේ මට අල්ලලාම ගිය එකක් තමයි වැඩ කරන මිනිස්සු අගය කරන්න තියෙන සුබ පැතුම
Deleteඅපේ ඉල්ලන්කාව කවද වෙනස් වෙයිද ?
ReplyDeleteසමහරවිට සමාජවාදීන් එහෙම කරයි....
අපි එක එකා මෙහෙම පුරුදු වුනොත් හරි . මේක ආණ්ඩුවෙන් කරන්න බැරි දෙයක්
Deleteමම තුර්කියට ආස වෙච්ච හේතු ගොඩක් තිබ්බා. මුලින්ම පොඩි කාලේ තුර්කි රතු පරිප්පු. ඉන් පස්සේ 2002 පාපන්දු ලෝක කුසලානේදී අවසන් පූර්ව වටය දක්වා එන්න පෙන්වපු දක්ෂතාවය. දිවාලි කියන අමතක නොවන ක්‍රීඩකයා. ඉන් පස්සේ ටෙලි සීරිස් (දෙරණ සහ හිරු). ඒවායෙන් දැක්ක විදියට උන් අපිට බොහොම සමානයි. නමුත් මම අහලා තිබුණා, ඒ රටේ යුරෝපියන් පැත්තක් සහ ආසියන් පැත්තක් වශයෙන් කොටස් දෙකක් තිබෙන බව. මුතු අහුරා ටෙලියෙන් වඩාත් හොඳට මේ අයගේ හැසිරීම් තේරුම් ගත්තා. ඉන් පස්සේ නිලුක කදුරුගමුව මහතා පරිවර්තනය කරපු පොත් දෙකක් හෝ තුනක් කියෙවුවා. රත් වරලැති ලිය ඒකෙන් එකක්. අනික් පොත මතක නෑ :) . කවදා හරි යන්න ඕනේ කියළා හිතං ඉන්න රටක්.
ReplyDeleteඔව් ෆුට්බෝල් පිස්සුව හොඳින්ම තියෙන රටක් මේක . මම කලින් වතාවක් පොඩි විස්තරයක් ලිව්වා. ඉස්තම්බුල් නුවර හරහා යන බොස්පරස් මුහුදු තිරයෙන් තමයි ආසියාව හා යුරෝපය භුගොලියව වෙන් වෙන්නේ .
Delete