බණ්ඩාරවෙල එත්විල් සිනමාහලට 1983 සැප්තැම්බර් මාසේ දඩයම චිත්‍රපටය ආවා , හවස පන්ති තිබ්බ දවසක දවල් කෑම ගැනීමට දුන් මුදලින් සහ තවත් යාළුවො දෙතුන් දෙනෙක්ගෙන් හිඟා ගෙන එකතු කරගත් රුපියල් හතෙන්, තුනයි පණහේ සෙකන්ඩ් ක්ලාස් දෙකක් ගත්ත කමලුයි මායි ඔන්න දැන් සිනිමා ශාලාවේ.
කලින් පොත්වලින් පත්තරවලින් කියවලා අහලා තිබ්බ කුප්‍රකට අඩිලින් විතාරණ මිනී මරුම ඇසුරෙන් නිර්මාණය වෙච්ච හොඳ චිත්‍රපටියක් . රවින්ද්‍ර රන්දෙනිය හා ස්වර්ණා මල්ලවආරච්චිගේ ප්‍රබල රංගනය. සොමී රත්නායක හිටියා .
ගැබ්බර පෙම්වතියව (ස්වර්ණා) අන්තිමේදී වාහනේට යටකරන්න එනකොට තඩි දර අත්තක් අරන් රතු පාට කාර් එකේ වින්ඩ්ස්ක්‍රින් එක කුඩු වෙලා යන්න ගහන ස්ලෝ මෝෂන් කෑල්ල ඒ කාලේ හැටියට අපිට ස්පිල්බර්ග් පන්නයේ සිරා වැඩක්.
වසන්ත ඔබේසේකර කොහොමත් සිනමාවේ තාක්ෂණික වැඩ කෑලි හොඳින් ඉදිරිපත් කළ කෙනෙක්. ඊට පස්සේ ආපු කැඩපතක චායා එකේ ඇසිඩ් ගහන සීන් එක, මාරුතය චිත්‍රපටියේ අලුත් මන්ත්‍රී නිවස වල් බිහි වෙලා යන දර්ශන ගත්තු හැටි ඒ වගේ දේවල් සුවිශේෂයි.
චිත්‍රපටිය බලදදී එහි ආශ්වාදනීය බවට වහවැටිලා හිටි නිසා බඩගින්න අමතක වෙලා තිබ්බත් සමහර කොටස් තිරයේ දිග ඇරෙද්දී බඩගින්න ඇවිස්සුනා . ඒකෙ බේකරියක දර්ශන ගොඩක් තිබ්බ.
දඩයම චිත්‍රපටයේ සොමී රත්නායක බක්කරේ කෙනෙකුගේ චරිතය අපුරුවට රඟ පෑවා . ලොකු පිටි මෝලියක් බක්කර මේසය මත තබා දෑතින්ම එහාට මෙහාට රෝල් කරන ඔහු සිය දියණියගේ ප්‍රේම සම්බන්ධය සීමාව ඉක්මවා ගිය බව දැන ගත් දවසේ කේන්තිය පිට කර ගන්නේද මේ පිටි මෝලියට තඩි බාමින් .
අපි සිනිමා හලෙන් නික්මී නගරය දෙසට එනවිට අලුත් පාන් හා බනිස් සුවඳක් ඇවිස්සී උදේ කෑමෙන් පසු මොකුත් නොලබුනාය යන වේදනාව වඩාත් තදින් දැනෙන්නට වුනා . අපි ඉන්නේ නගරයේ ජනප්‍රියම බේකරිය හා හෝටලය වූ ලයන්ගිරිය අසලම. අපේ කකුල් දෙක එතැනින් එහාට ඇදෙන්නේ නැති ගානයි.
මොනවා කරන්නද?
කමලයා සාක්කුවකට අත දාල කරකවල කරකවල සත පණහක් එලියට ගත්තා . මගේ ගාව සතයක්වත් නෑ . ලයන්ගීරියෙන් ස්ටාර් බටර්ස්කොච් ටොෆි දෙකක් ගත්තැකි. කමල් කිව්වා.අපි දෙන්නා ටොෆි ගන්න කවුන්ටරේට ගියාම කමල් කිව්වා තේ එකක් බීලම යමු කියලා
කොහෙද සල්ලි ? මම කමල් ගේ මුණ දිහා බැලුවා . යන්කො . ගියා . ඉඳ ගත්තා. බනිස්. කෙසෙල් ගෙඩි. කිරි තේ . බිල හතරයි පනහයි.
මම දැන් ගැහෙනවා. කමල් බිල අතට ගත්තා . කවුන්ටරෙන් ගෙවල යන විදිහට එතැනට ගියා.
බිල ගෙවනවා වෙනුවට මිනිහ අර සත පණහ දීලා කලින් ගන්න සැලසුම් කරගෙන හිටි ස්ටාර් ටොෆි දෙක ගත්තා. එතැනදීම මට එකක් ලැබුනා . යමු . පිටත් උනා.
අපි කරපු දේ කැෂියර්ට තේරුන් නෑ. මිනිහා ඇඟපත විශාල අමුතු පන්නයේ මිනිහෙක් . කිසි හැගීමක් දැනීමක් නැති ගොබ්බයෙක් විදිහටයි අපිට පෙනුනේ. ඔන්න කඩේ පහු වෙලා යාර සීයක් විතර යනකොට අර තිබ්බ කෝල බයමුසු ගතිය ගිහිල්ලා හිතට එනවා දැඩි ධීර වීර හැගීමක්.
කඩෙන් කාල මාරු වෙන අය්යලාගේ රස කතා මතක් වුනා. අපිත් දැන් පොරවල් . මාර සන්තෝෂයක් ආවේ හිතට.
බස්ස්ටෑන්ඩ් එක ළඟ අපේ ගැන්සිය ඉන්නවා. හවස පංති ගිය හොඳ ළමයි. ආ කොහොමද ෆිල්ම් එක ?කට්ටිය අහනවා. ඒක නෙවෙයි වැඩේ. අපි ලයන්ගිරියෙන් කෑවා බඩ පැලෙන්න . බිල ගෙවන් නැතිව ආවා .
ඒ කොහොමද? දැන් අපි පැන පැන විස්තරේ කියනවා. හයියෙන් සද්දෙන්. මාර වැඩේ තමයි. එච්චර වෙලා බිය ගුල්ල වගේ හිටපු මම දැන් අපි දෙන්නට සමෝ සමෝ ක්‍රෙඩිට් එක ගන්න පුලුවන් විදිහේ වීරකම් ගැන පුරසාරම් දොඩනවා.
කට්ටියට මාරම රස කතාවක් වෙලා. ඔහොම රසෝඝයේ වේලිලා මෙලෝ සිහියක් නැතිව කඩෙන් කාපු විදිහ විස්තර කර කර ඉන්නකොට ලොකුම ලොකු බර අත් දෙකක් කොහෙන්දෝ පාත් වෙලා අපේ කමිස කොලර් දෙකෙන් අල්ල ගත්තා.
ඒ කව්ද දන්නවද? අර කඩේ හිටි තඩි මහත කැෂියර්.
ඊට පස්සේ වෙච්ච දේවල් ඉතින් කියන්න ඕනි නෑනේ.
දැන් ඒ සිද්දිය වෙලා අවුරුදු තිස් එකක් වෙනවා. හැම අවුරුද්දෙම සැප්තැම්බර් මාසේ නවවැනිදා කමල් මට නොවරදවාම කෝල් එකක් දෙනවා අපේ මේ අකරතැබ්බේ ඇනිවසරියට සුබ පතලා.
Photo' flickr.com