Thursday, March 26, 2026

ඕං බලන් ඉස්තාන්බුල්

ඕං බලන් ඉස්තාන්බුල්  මගේ අලුත්ම පොතයි. මගේ පළමු පොත වන 'තිලකසිත 1' නිකුත් වෙද්දී  පළමු ආරංචියේ පටන් සියලු සංවිධාන කටයුතු, ප්‍රචාරයන් දිරි ගැන්වීම් හා ඇගයීම් සියල්ල සිදු වුයේ මේ බ්ලොග් එක හරහාය. ඒ වනවිට බ්ලොග් සමාජය ඉතා බලවත් වූ අතර ඒ බැඳීම ඉතා ශක්තිමත් එකක්ව  තිබිණි . මේ වනවිට ඒ හිත හොඳ මිනිසුන් කිසිවකුගේ හිතවත්කම් අඩු වී නැතිමුත් මාද ඇතුළු අප සියලු දෙනාගේ බ්ලොග් ක්‍රියාකාරිත්වය අඩු වී තිබේ.  එසේ වුවද මේ දුරස්ථ භාවය දුරු කර යළි එකතු වන්නට ලබන ඉරිදා හමුවෙමු කියා ආදරයෙන්  ඇරයුම් කරමු .

"ඕං බලන් ඉස්තාන්බුල්" කෘතිය ශ්රව්ය දෘශ්ය සහ මුද්රිත යන තුන් අයුරින්ම රස විදිය හැකි ලෙස නිමවා තිබේ .
එය එළිදැක්වීම සඳහා ඔබ සැමට ආරාධනා කරමු.
ඔබට Zoom webinar ඔස්සේ පිවිසෙන මග !
මාතෘකාව: "ඕං බලන් ඉස්තාන්බුල්" Book Launching
කවදාද: 2026 මාර්තු 29, ප.ව. 05:00 (SL time)
PC, Mac, iPad, හෝ Android වෙතින් සම්බන්ධ වන්න:

මේ පොතේ කවර නිර්මාණය හා සියලු පිටු සැකසුම් ; දර්ශන කරුණාතිලක , කවරයේ චිත්‍රය ; අනස්ටාසියා සොට්නිකාවා තවත් ජාත්‍යන්තර ශිල්පින් රැසක් මේ පොතට චිත්‍ර නිර්මාණ එකතු කළහ.
ශ්‍රව්‍ය ග්‍රන්ථය හෙවත් ඕඩියෝ බුක් එක නිර්මාණය හා මෙහෙයවීම අපේ සහෝදර බ්ලොග් යුවල කසුන් නයනජිත් හා නිර්මාණි වෙතිනි 

මෙම පොතේ ලිවීමේ විලාශය 'තිලකසිත' ලියද්දි තරම් අතපය දිග හැරලා ලියන්නට පුළුවන් ආකාරයේ නිදහස් සුවපහසු එකක් වුනේ නැත . එක් ප්‍රධාන හේතුවක් වුයේ මගේ රාජකාරිමය වගකීමය. දෙවැන්න මේ ලිපි සකස් කරේ ජාතික පුවත්පතක තීරු ලිපියක රාමුව ඔස්සේ වීමය . 

2024 ඔක්තෝබර් මාසයේ සිට පුරා  වසරකට ආසන්න කාලයක් සිළුමිණ පත්‍රයේ පළවූ ' ඉස්තාන්බුල් දිනපොත' තීරු ලිපි හතලිස් තුනක් යලි සංස්කරණය කොට ඉහට පොත නිර්මාණය කර ඇත. සෑම කතන්දරයකට අදාල චිත්‍රයක්, සේයාරුවක් හා අදාල වීඩියෝවක් නැරඹිය හැකි ලින්ක් එකක් QR කෝඩ් එකකින් සපයා තිබේ. ඕඩියෝ පොත සඳහා කොන්දේසි සහිත පිවිසුම් මාර්ගය පොතේ සඳහන් කර ඇත . මේ නිර්මාණය සඳහා විශාල පිරිසක් සහය වූ අතර සමහරවිට වැඩිම දේශීය හා විදේශීය නිර්මාණකරුවන් පිරිසකගේ නිර්මාණ දායකත්වයෙන් එළී දක්වන පොත් අතරින් එකක් මෙය විය හැකිය.  ඔවුන් ගැන වෙනම ලිපියකින් ලිවීමට සිතා සිටිමි 

මේ ඉන් එක් ලිපියක කොටසකි ;

අපේ රටේ මෙන්ම තුර්කියේ වැඩිහිටි ගැහැනුන් සේම පිරිමින්ද ඕපාදුප කතා කියමින් විනෝද වීමට එකතුවන තැන ලිඳ ළඟ හෝ වෙනත් නාන තොටක්ය. ඒවා මොන රටෙත් එක වගේමය. දහනව වන සියවසේ අග භාගය හෝ විසිවන සියවසේ මුල් භාගය වනතුරු නිවෙස්වලට නල ජලය නොලැබුණු අතර පුද්ගලික නාන කාමර තිබ්බේ නැති තරම්ය.  මෙන්න මේ නිසා ඉතා මනරම්ව නිර්මාණය කළ පොදු හා ප්‍රභූ ස්නානාගාර  නිර්මාණ ක්‍රමයක්  ඉස්තාන්බුල්  නුවර බිහි වී තිබේ.

පැරණි රෝම , ග්‍රීක ස්නානාගාර නිර්මාණ පුරුද්දට ඔටෝමාන් යුගයේ ආගමික පිරිසිදු වීමද එකතු වූ විට විචිත්‍ර ගෘහ නිර්මාණ ශිල්ප ක්‍රමවලින් මේ නාන නිවාස නිර්මාණය වී තිබේ . ඒවා හඳුන්වන්නේ හමාම් යනුවෙනි  . මේ බොහොමයකම ඇතුලත සැකැස්ම එක වගෙය. විශාල මාබල් ඇතිරූ බිමක උස් පැතලි බැංකුවක් මත කිහිප දෙනෙකුට වැතිරී හෝ වාඩි වී අල්ලප සල්ලාපයේ යෙදෙන්නට පුළුවන. මේ කාලය  නෑමට අවශ්‍ය විවේකය හා සුදානම් වීම ලබා දෙයි. ඊළඟට හුමාල කාමරයේ තරමක් වෙලා සිටීමෙන් හම ලිහිල් වී කුණු අතිල්ලීමේ මීළඟ පියවර වඩා පහසු වෙයි.  මේ මුදල් ගෙවා නාන්නට තිබෙන තැන්වල නැවීමට කෙනෙක් සිටි. බොහෝ සම්ප්‍රදායික හමාම් නාන ගෙවල්වල පිරිමින් හා ගැහැණුන්  වෙන වෙනම නාන කොටස් ඉදිකර තිබෙන අතර පිරිමි කොටසේ නාවන පිරිමින්ද ගැහැණු කොටසේ නාවන  ගැහැණුන්ද සේවයේ යොදවා ඇත .

 හුමාල කාමර හෝ මේ සේවක සහය සෑම නාන ගෙදරකම නැත. ඒවා තිබෙන තැන්වල වෘත්තීය හමාම්  සේවය ලබා ගන්නට පුළුවන. මාබල් පොළවේ  වැතිරී ඇඟ නිවා ගැනීම . උණුසුම් කාමරයේ හෝ වාෂ්ප කාමරයේ දහදිය දමන  තුරු සිටීම ඉන්පසු ඇඟ අත්ල්ලිම හා කොට්ට උර වැනි මලුවල පිරවූ සබන් පෙනවලින් පෙඟවීම ආදියෙන් පසු ඇල්දියෙන් ගත දෝවනය  කර හොඳින් පිසදා ගැනීමෙන් පසු හමාම් ස්නානය හමාර වෙයි  . ඉන්පසු උණු තේ එකක් හෝ කෝපී කෝප්පයක් බි විවේක ගැනීමෙන් පසු දැනේනේ වචනයෙන් විස්තර කළ නොහැකි මානසික හා ශාරීරික සැහැල්ලුවකි .

නෑම , කෑම  වැනි සාමාන්‍ය කාර්යයන්වල  විවේකයෙන් , සැහැල්ලුවෙන් හා විචිත්‍ර ලෙස නියැලීම මේ ජන ජිවිතයේ  අංගයකි. චිර ප්‍රසිද්ධ තුර්කි පාතරාසය හා ඉහත විස්තර කළ  හමාම් ස්නානය  ඒ සඳහා හොඳ උදාහරණයන්ය . ඒවා අද වනවිට සංචාරක කර්මාන්තය ඉලක්ක කරගෙන නොයෙක් අංගෝපාංග එකතු කර විකාශනය වී  තිබේ.

( මේ පොත සියලු සරසවි හා සුසර පොත්හල්වලින් ලබා ගත හැකිය. ඔන්ලයින් නිවසට ගෙන්වා ගැනීමට readx.lk  වෙතින්  පුළුවන )

16 comments:

  1. සියලු කටයුතු සාර්ථක වී
    පොතේ වැඩ ටික හොඳින් සිදු වී
    ලොවට ඒකෙන් යහපතක් වී
    සෙත සැදේවා ජයෙන් ජය වී

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නිදි

      Delete
  2. ඔබගේ අලුත් පොතට සුබ පැතුම්.
    මෙහි කුඩා කොටසක් කියවන්න හැකියාවක් තියෙනවද.
    පෙරවදන වුණත් කමක් නැහැ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි . ඔබ කී පරිදි කුඩා කොටසක් එකතු කළා

      Delete
  3. +++++++++++++++👌
    අලුත් පොතට සුබ පැතුම්!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි බස්සා

      Delete
  4. +++++++++++++++++

    - Udaya Dissanayake

    ReplyDelete
  5. Replies
    1. බොහොම ස්තුතියි ප්‍රසන්න

      Delete
  6. Replies
    1. බොහොම ස්තුතියි අජිත්

      Delete
  7. අලුත් පොතට සහ ඊලඟ පොත් වලටත් සුභ පැතුම් තිලකේ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කෞශල්‍ය

      Delete