Thursday, March 26, 2026

ඕං බලන් ඉස්තාන්බුල්

ඕං බලන් ඉස්තාන්බුල්  මගේ අලුත්ම පොතයි. මගේ පළමු පොත වන 'තිලකසිත 1' නිකුත් වෙද්දී  පළමු ආරංචියේ පටන් සියලු සංවිධාන කටයුතු, ප්‍රචාරයන් දිරි ගැන්වීම් හා ඇගයීම් සියල්ල සිදු වුයේ මේ බ්ලොග් එක හරහාය. ඒ වනවිට බ්ලොග් සමාජය ඉතා බලවත් වූ අතර ඒ බැඳීම ඉතා ශක්තිමත් එකක්ව  තිබිණි . මේ වනවිට ඒ හිත හොඳ මිනිසුන් කිසිවකුගේ හිතවත්කම් අඩු වී නැතිමුත් මාද ඇතුළු අප සියලු දෙනාගේ බ්ලොග් ක්‍රියාකාරිත්වය අඩු වී තිබේ.  එසේ වුවද මේ දුරස්ථ භාවය දුරු කර යළි එකතු වන්නට ලබන ඉරිදා හමුවෙමු කියා ආදරයෙන්  ඇරයුම් කරමු .

"ඕං බලන් ඉස්තාන්බුල්" කෘතිය ශ්රව්ය දෘශ්ය සහ මුද්රිත යන තුන් අයුරින්ම රස විදිය හැකි ලෙස නිමවා තිබේ .
එය එළිදැක්වීම සඳහා ඔබ සැමට ආරාධනා කරමු.
ඔබට Zoom webinar ඔස්සේ පිවිසෙන මග !
මාතෘකාව: "ඕං බලන් ඉස්තාන්බුල්" Book Launching
කවදාද: 2026 මාර්තු 29, ප.ව. 05:00 (SL time)
PC, Mac, iPad, හෝ Android වෙතින් සම්බන්ධ වන්න:

මේ පොතේ කවර නිර්මාණය හා සියලු පිටු සැකසුම් ; දර්ශන කරුණාතිලක , කවරයේ චිත්‍රය ; අනස්ටාසියා සොට්නිකාවා තවත් ජාත්‍යන්තර ශිල්පින් රැසක් මේ පොතට චිත්‍ර නිර්මාණ එකතු කළහ.
ශ්‍රව්‍ය ග්‍රන්ථය හෙවත් ඕඩියෝ බුක් එක නිර්මාණය හා මෙහෙයවීම අපේ සහෝදර බ්ලොග් යුවල කසුන් නයනජිත් හා නිර්මාණි වෙතිනි 

පොත එන බව කල් ඇතිව කියන්නට මේ අවුරුද්දේ ජනවාරි 27 වැනිදා මා දැමු පෝස්ට් එක මෙයයි ;

මීට හරියටම අවුරුද්දකට පෙර 2025 ජනවාරි 27 සඳුදා උදේ වැඩට එන්නට සුදානම් වෙමින් තිබියදී මට ගෙදරින් පණිවිඩයක් රැගත් කෝල් එකක් ආවේය.
බලාපොරොත්තුවෙන් සිටි පුවතක් වූ මුත් එය මගේ ගත මෙන්ම සිතද හිරි වට්ටා නිර්වින්දනය කරනු ලැබූ නිසා මම ඇමතුමෙන් පසුවත් සැහැල්ලුවකින් සිටියෙමි .
ඊළඟට අක්කාගෙන් ඒ පණිවිඩයම දුරකථනය ඔස්සේ ලැබුනේය .
තවත් මොහොතකින් අයියාගෙන් කෝල් එකක් ආවේය.
'අපිනම් දැන් යන්න පිටත් වෙනවා. එන්න සල්ලි තියෙනවද? '
'සල්ලි තියෙනවද?' කියා අසද්දී මට එක්වරම සිහියට ආවේ කලකට පෙර අපේ අම්මා හා තාත්තා සෑම මාසෙකම පැන්ෂන් ගන්නට දියතලාවට ගොස් සල්ලි අතට ගත්තාට පසු තැපැල් කන්තෝරුවේ සිට නොවරදවා මට දෙන දුරකතන ඇමතුමයි.
'පුතාට සල්ලි එහෙම තියෙනවද? . එවන්නද කියක් හරි? '
අම්මා එහෙම අසද්දී තාත්තා පඩි පැකට්ටුව සහිත නැෂනල් කමිස සාක්කුවට අත දමාගෙන මගේ පිළිතුර එනතුරු බලා සිටින බව මම ඉවෙන් මෙන් දැන සිටියෙමි.
මා කැම්පස් සිටියදීනම් මගේ පිළිතුර කුමක් වුවත් එවෙලේම මනිඕඩරයක ෆෝරම් පිරවෙන්නේය . එහෙත් මේ පැන්ෂන් දා මගෙන් සල්ලි තියෙනවද කියා කරන විමසිල්ල පසු කලෙක මා රාජකාරි යාන වාහාන හිමි, ඉලක්කම් හයේ පඩි ගන්නේකුව සිටිද්දීත් නොකඩවා කෙරුණේය .
ඒ කල්පනාවෙන් මිදී අයියාට සල්ලි තියෙන බවත් මම හැකි ඉක්මනින් පිටත්වන බවත් කිව්වෙමි. ඉන්පසු මාව කැඳවාගෙන යන්නට කන්තෝරු රියදුරා ආවේය. මම රියට ගොඩ වුනු වේලේ පටන් තොරතෝංචියක් නැතිව කෝල් ආවේය. මම කොරිඩෝවේත් පඩිපෙළ දිගේත් ඒවාට තරමක උස් හඬින් පිළිතුරු දෙමින් ආවෙමි. කන්තෝරුව ඇතුලේ මම සාමාන්යයෙන් නොකරන දෙයක් වුවත් ඔබ මොබ ඇවිදිමින් කලබලයෙන් දුරකථන කතා බහ කරගෙන ගියෙමි.
මෙවෙලේ කා සමග හෝ රාජකාරි කතාවක් කරමින් සිටි ඇලන්ගේ වැඩේට මා නිසා අවහිර වුනේය. ඔහු මට නුරුස්නා ස්වරයෙන් මෙසේ කිව්වේය.
'උඹ හැමෝටම ඩිස්ටර්බ් කරනවා '
ඔහුට පරුෂ වචනයෙන් දමා ගැසූ මම 'අපේ තාත්තා මැරිලා යකෝ ' කියා කන්තෝරුව දෙදරවන හඬින් කිව්වෙමි.
ඉන්පසු සියලු දෙනා තම තමන්ගේ වැඩ හා කතා බස් නවතා මා වෙත දුව ආවෝය. මුලින්ම මා වැළඳ ගත්තේ ඇලන්ය.
'අනේ මට සමාවෙයන්. අපි දෙන්නා උඹේ තාත්තා ගැන කොච්චර කතා කරල තියෙනවද? හැම සඳුදාම මම උඹෙන් අහන්නේ තාත්තගේ සැප සනීප ගැනනේ '
මට ලංකාවට යන්නට පලමු ප්ලේන් එක ලැබුනේ හවස හතටය. එතෙක් කන්තෝරුවේ රැඳී සිටින්නට තීරණය කලේ ගෙදර ගොස් හුදෙකලාවේ මා තබන්නට මගේ සගයන් නොකැමැති වූ නිසාය. ඔවුන් වරින්වර මට තේ හදා දී මගේ හිත හදන්නට නොයෙක් දේ කතාකරමින් සිටියහ. අපේ පරිවර්තිකාව මා ස්ටාර් බක්ස් එකට කැඳවා ගොස් කෝපි බොන්නට දුන්නාය. කවුරුන් හෝ මා අසල රැඳී සිටින එක මට ශක්තියක් වුනේය. . මම අකර්මන්ය සත්වයකු සේ හවස් වනතුරු තාවර වෙමින් සිට රියැදුරා සමග ගෙදර ආවෙමි.
මම ලංකාවට පැමිණ යානයෙන් බසිනතුරු කියන්නට තරම් ශෝකයකට පත් වී නොසිටියෙමි . වෙනකක් තබා සතිපතා සිළුමිණට ලියන තීරු ලිපියද ඒ එන ගමනේදී ලියා නිම කලේ තාත්තා ගැන සටහනක්ද එක් කරමිනි. එහෙත් කටුනායක පර්යන්තයට පා තැබූ මොහොතේ මට මෙතක් ජිවිතයේ නොදැනුන ඒ මහා හිස්කම දැනුනේය.
මම අඩිය තියන්නේ අපේ තාත්තා ජිවතුන් අතර නැති බිමකට. එහෙම බිමක් ගැන මට කවදාවත් හිතිලා තිබුනේ නැත . මේ බිම මේ මතකය වැඩි හරියක් අයිති තාත්තට. මහපොළවේ සංයුතියෙන් මහා කොටසක් තාත්තා කියන සංකල්පයට හිමි බව මට එවිට පසක් වුනේය .
ඉන්පසු සුපුරුදු මළගමේ යාන්ත්රික වැඩකටයුතු සියල්ල අවසන් වනතුරු මම කඳුලක් නොහෙළුවෙමි.
මගේ ළමා දිවිය විචිත්රවත් කළ එකල මට මුළු විශ්වයම වූ නිස්කලංක කඳුවැටියක් තිබිණි. එහි කුඩා කදු මුදුනක තාත්තා මිහිදන් කර කවුරු කවුරුත් පිටත්ව යන තුරු මම හොර ගල් අල්ලුවෙමි. ඉනික්බිති තාත්තා නිදන කුඩා සොහොන් ගැබේ යන්තමින් දිලෙන ඉටි පන්දම් එලිය අයි ෆෝන් එකෙන් ෆොටෝ ගත්තෙමි.
එය තාත්තත් මාත් පමණක් එතන සිටි හරිම ආදරණිය නිමේෂයකි. මම තාත්තට මෙසේ කිව්වෙමි.
'තාත්තේ මම තාත්තගෙ ෆේවරිට්ම දරුවා නොවෙයි කියල සමහර වෙලාවට මට හිතිලා තිබ්බ . කිසිම වගකීමක් දෙන්න, විශ්වාසයක් තියන්න , සුදුසු එකෙක් නෙවෙයි කියල මා ගැන හිතුව එක සාධාරනයි. ඒත් අපි දෙන්නා අතර වෙනම මානෙක යාලු ෆිට් එකක් තිබ්බනේ. ඒ සාහිත්යය හා ලෝකය ගැන . කිසිම භෞතික දේකින් නොලැබෙන සතුටක්, හිනාවක් පිරිච්ච ආඩම්බරයක් අපි දෙන්න ගාවම තිබ්බ අපි හිටපු ස්ථාවරය නිසා .සමහර දේ ගැන එකම අදහස් එක වෙලාවක .එහෙමනේ ? . තාත්තා මට හිටපු හොඳම පාඨකයා . මම ලියන සමහර දේවල එකම පාඨකයා . එහෙම කෙනෙක් නැති වෙන එකනම් හිතට දරන්න අමාරුයි. මම ඉංජිනේරුවෙක් නොවී ලියන්නෙක් වෙනවා දකින්න තාත්තා කැමැත්තෙන් හිටි බව මම දන්නවා. ගමෙන් එලියට, නගරෙන් එලියට, රටෙන් එලියට ගිහින් බලපන් . ඒවා ගැන ලියපන් කිව්වේ තාත්තා’
එදා මීට වැඩි දෙයක් මට තාත්තාට කියා ගන්නට බැරි වුනේ සොහොන් බිමෙන් පිටව යන සෙනග අතරේ මා නැති බව දුටු පොඩි අක්කා හා ඇගේ තරුණ පුතුන් දෙදෙනා ආපසු පැමිණ මා වත්තම්කරගෙන එතැනින් ඉවතට රැගෙන ගිය නිසාය.
තාත්තා වෙනුවෙන් ලෝකයට දෙන්නට මා සුදානම් කර තිබෙන 'ඕන් බලන් ඉස්තාන්බුල්' පොත ගැන මා හෙළි කරන්නේ ඔහුගේ පළමු ගුණානුස්මරණය වෙනුවෙනි.

No comments:

Post a Comment