Sunday, December 10, 2023

බිරියානි අකරතැබ්බය




පින්තුරවල  තිබෙන්නේ මට රටවල් කිහිපයකින් ලැබූ  තෑගිය .  ජපන් මිතුරා ගෙනා ජපන් රසකැවිලි  පාර්සලයද , එංගලන්ත ජාතික ඇලන් සිය බිරිඳගේ රටවන  තායිවානයෙන් ගෙනා තේකොල පර්සලයද , මගේ මේ නිවස පිරිසිදු කරන්නට කන්තෝරුවෙන් එවූ සේවකයන් මට තෑගි ලෙස ගෙනා තුර්කි තේ පෙට්ටියද වේ. ඊට අමතරව ඔවුන්ට තෑගී දෙන්නට මම ගෙනා ලංකාවේ තේ පැකට් එකක්ද මෙහි තිබේ. 

ඇලන්ගේ තේ පාර්සලය තෑගි දී ටික දවසක් වන අතර අද උදේ ඔහු කෝල් එකක් දී මට කිව්වේ අනේ තිලක් සමාවන්න අර තේ කොළ පාර්සලේ  මම  දීලා තියෙන්නේ . ඔයා ඇරලා බැලුවද?

මම ඇත්තටම එය ඊයේ විවෘත කර බලන්නට සිතුනත් මොකක්දෝ නිසා එය බැරි විය. ' තාමත් බැරි වුනා ඇලන් " මම වරදකාරී ලෙස කිව්වෙමි.

' එහෙනම් හොඳයි . එහෙනම් හොඳයි. අනේ තිලක් මෙහෙමනේ වෙලා තියෙන්නේ ඔය මම වැරදිලා ඔයාට දීලා තියෙන්නේ හාල් පැකට් එකක්. ඒක  විශේෂ පුංචි හාල් පැකට් එකක් .  තරහ නැතිව හෙට ගේන්න . අපි මාරු කර ගනිමු'

"ඇත්ත නේන්නම් මම ඔයාගේ තේ පාර්සලේ හිඩැසකින් හාල් වගේ දැක්ක . අතටත් එහෙම දැනුණා . ඒත්  මම හිතුවේ ඒ අමුතු පැකේජ් එකක් කියල ".

මම ඔහුගේ හිත හැදෙන්නට පසුගිය මාසයේ මට සිදුවූ බිරියානි අකරතැබ්බය  ගැන කිව්වෙමි . 

කටාර්වලදී  මගෙත් එක්ක ප්‍රොජෙක්ට් එකේ  හොඳම යාලුවා වහිඩ් . දැන් එහෙන් ඇවිල්ල අවුරුදු හතක්  වෙනවා . ඒත්  මාසෙකට වතාවක් වත් වහිඩ් මට කතා කරනවා. ඔහුගේ දුවගෙයි පුතාගෙයි මගුල් ගෙවල් දෙකටම අපේ මුළු පවුලටම ආරාධනා කරා. අපිට නවතින්න හයිද්‍රාබාද් වල හෝටලුත් බුක් කරා . ඒ දෙකටම  යන්න බැරි වුනා . ඒත්  වහීඩ්  තරහ වුන් නෑ. මගුල් ගෙදර ඉවර වෙච්ච හැටියේම ෆොටෝ වීඩියෝ මට එව්වා  . යන යන තැන මා ගැන  හෙව්වා බැලුව . මම ඉස්තාන්බුල් වලට අවිල්ල් ඉන්නවා කියල දැනගත්ත ගමන්ම මට කිව්වා මිනිහගේ බැචෙක්  මෙහෙ ඉන්නවා කියල . ඉතින් දවසක් දෙකක් ගියේ නෑ ඒ යාලුවා මට  කතා කළා . මම ඒ වෙලාවේ හොඳටම අසනීප වෙලා හිටියේ.ආපු   හෝටල් කාමරේ හිරවෙලා යාලුවෙක් නෑදෑයෙක් නැති අලුත් රටේ  ඉද්දි මේ වහීඩ්ගේ යාලුවා ගැන දන ගැනීම මට මාර සතුටක්  වුනා. මගේ අසනීපය ගැන අහපු ඔහු පුතාල තුන්දෙනත් එක්ක වාහනේ නැගලා පැය  දෙකක් මග ගෙවල  මම බලන්න ආවා. බෙහෙත් අඩුම කුඩුම සේරම අරං . පැය  දෙකක් විතර මට උපදෙස් දුන්න. උස මහත් වෙච්ච පිරිමි දරුවෝ තුන් දෙනත් මාර කොලිටි , සමාජශිලියි , මිත්රශිලියි . ඔවුන් එදා පිටත් වුනේ ඊළඟ ඉරිදා මට රාත්‍රී කෑමත් අරන් එන බව පොරොන්දු වෙලා .  

ඉරිදා හවස මට අලුත් මිත්‍රයා කතා කළා . "තිලක් කලින් කන්න එපා. අපි කෑම  ගේනවා . අපේ නෝනා අද හවස ඉඳන් ඔයාට රස බිරියානි  එකක් හදනවා. රටේ තියෙන සේරම දාලා ". 

ඉතින් හවස හතට එනවා කියපු මිනිස්සු අටටත් නෑ . නවයට්ත් නෑ . මට හොඳටම බඩගිනියි. ඔන්න නවය හමාරට විතර කෝල් එකක් ආවා 

' තිලක් සමාවෙන්න අපි පොඩි පුතා කැම්පස් හොස්ටල් එකෙන් බස්සගෙන එන්නේ. මිනිහගේ නිවාඩු ඉවරයි හෙට කැම්පස් පටන් ගන්නවා  . පොඩ්ඩක් පරක්කු වෙනවා'

තව විනාඩි දහයකින් විතර ආයේ කෝල් එකක් ආව. 

' තිලක් දැන් අපි ඔයාලගේ බිල්ඩිම   කිට්ටුව ඉන්නේ . තව විනාඩි පහකින් ඔතැන ' 

මම ඉක්මනින් පහලට ගියා ඔවුන් පිළිගන්න. බඩගිනිත්   එක්ක 

කිව්වා වගේම වාහනේ ආවා . ඉඩ තියෙන තැනකින් පාක් කරා. මමත් එතනට ගියා . පුතාල දෙන්න ඇවිල්ල ඩිකිය ඇරිය . එහෙන් මෙහෙන් ඇවිස්සුව. ආයේ වාහනේ ඇතුලේ බැලුව. මුණු මුණු ගෑවා . ලොකු පුතා ටිකක් ඈතට ගිහින් කාටද කෝල් කරා. මහා හයියෙන් බැන්නා .

ආපහු යාලුවා හා පුතාල දෙන්න එකතු වෙලා කුටුකුටු ගානවා මට නොතේරෙන විදිහට . 

මම කිව්වා ඉක්මනින් ඇතුලට යමු . ගිහින් කතා කරමු කියල .

ඔවුන් තව ටිකක් මූණු මුණු ගගා ඉඳල මෙහෙම කිව්වා .

' තිලක් යමු අපිත් එක්ක කොහෙට හරි ගිහින් කෑම  ටිකක් කාලා  එමු'

' මේ වෙලාවට කන්න දුර යන්න එපැයි . යමු ගෙදර අපි මොනා හරි හදාගෙන කමු" මම කිව්වේ බිරියානිවලට මොකද වුනේ කියන කුතුහලය හිතේ සඟවාගෙන .

ඔලු බිමට නවාගෙන මට බොහොම කීකරුව මගේ පස්සෙන් ආව තාත්තයි පුතාල දෙන්නයි ගෙදර සැටියේ  වාඩි වුනා. මුහුණු හොඳටම මැළවිලා .

තරුණයන්ගේ තාත්තා කතාව පටන් ගත්තා .

' තිලක් අපිට සමා වෙන්න . ඔයාට දවස් දෙකතුනකට සැහෙන්න බුරියානි පර්සලයක් අරන් අපි ආවේ. අපේ පොඩිපුතා බෑග් තුන හතරක්  අරගෙන නිදිමතේ කැම්පස් එක ලඟින් බහිනකොට ඔයාගේ බුරියානි එකත් අරං බැහැලා . අපි එයාටත් වෙනම කැම හදල දුන්න  " 

ඔහුගේ දෑසින් කඳුළු පනින්නට ආසන්නය. මගේත් හිත හෝස්  ගා ඇවිළී  ගියත් ඒ වගක් නොපෙන්විමි . ෆ්‍රිජ් එක අර ඉතිරි කෑම  හා ඉක්මනින් හදාගත හැකි කෑම  වර්ග කිහිපය පෙන්වුනෙමි. කුල්  තේ කෑන්  කිහිපයක් සමග බිස්කට් පිළිගැන්වුවෙමි .

ඉන්පසු ඔවුන්ගේ හිත හැදෙන්නට මෙසේ කිව්වෙමි .  මා කිව්වේ අවංකව මට හිතුන දේය.

" කෑම  කියන්නේ බඩ විතරක් පිරෙන දෙයක් නෙවෙයි. හිතත් පිරෙන දෙයක්. ඔච්චර මහන්සිවෙලා අර තරම් දුර ගෙවාගෙන මට කෑම  එකක් දෙන්න ඔයාල ආව නිසා මගේ හිත පිරිලා . ඒ නිසා දුක් වෙන්න එපා. මොනවා හරි දේකින් බඩ  පුරවගන්න පුළුවන්. ඒත්  අර හැඟීම තමයි වටින්නේ "

මේ සියල්ල බලා අසා  සිටි වහිඩ්ගේ මිතුරා මෙසේ කිව්වෙමි .

'ඔයානම් අපට සමාව  දේවි . ඒත් මේ කෑම  හදන්න හවස් වරුවම මහන්සි වෙච්ච අපේ නෝනනම් අපට සමාව දෙන එකක්  නෑ"



28 comments:

  1. Replies
    1. බොහොම ස්තුතියි නවීන්

      Delete
  2. අපි හැමෝම මෙහෙම දේවල්වලට මූණ දීලා තියනවා. සමහර දේවල් පොලව පලාගෙන යන්න හිතෙන දේවල්. ඒත් ඒ මිතුරන්ගේ මිත්‍රත්වය නම් අපූරුයි.

    ReplyDelete
    Replies
    1. මට වෙච්ච අකරතැබ්බ ගොඩක් ලියල තියෙනවා. අර මිත්‍රත්වය වැඩිපුරම දැනෙන්නේ මේ වගේ සිද්දීත් එක්ක

      Delete
  3. මරු කථාව. පස්සේ ආපහු බිරියානි පාර්සලයක් ලැබෙන්න ඇති

    ReplyDelete
    Replies
    1. ඔව් ඊට පස්සේ ඒ ගොලන්ගේ ගෙදර එන්නත් ඇරයුමක් ලැබුනා. තාම යන්න බැරි වුනා

      Delete
  4. රංග තේනුවරDecember 10, 2023 at 6:28 PM

    තිලකෙත් ආත්මාර්ථකාමී කෙනෙක් නේද? වහීඩ් හෝටල් පවා බුක් කරලා පුතාගේ විවාහ උත්සවයට ආරාධනා කරද්දී ගියේ නැහැ.
    හැබැයි නොදන්නා ටවුමක අසනීප වෙලා ඉන්නකොට වහීඩ්ගේ උදව් ගන්නවා හොදට.
    ලංකාවේ මිනිස්සු මේ වගේ ආත්මාර්ථකාමී කියලා උන් හිතනවා ඇති.

    ReplyDelete
    Replies
    1. ඔව් රංග මගෙත් හෙණ ආත්මාර්ථකාමී ලයින් තියෙනවා. මේකේ ලියන්නේ එහෙම නෙවෙයි වගේ

      Delete
  5. හැබෑ මිනිස් ගති ඇති මිතුරනගෙ අගේ
    'සිඳිත මඩිත සුවඳැති' හොඳ සඳුන් වගේ

    ReplyDelete
    Replies
    1. මොන තරම් දුරක හිටියත්
      මොන කලක් නොදක හිටියත්
      සැබෑ මිතුකම් නොවේ ජරපත්

      Delete
  6. හයිද්‍රාබාද් කොහොමත් බුරියානි වලට ප්‍රසිද්ධයි. ලංකාවෙ වුනත් රසම බුරියානි හදන්නෙ මුස්ලිම් අය.
    හ්ම්....වහීඩ් විරල, හිත හොඳ මුසල්මානුවෙක්.

    ReplyDelete
    Replies
    1. කටාර්වල තියෙනවා හයිද්රාබාදී බිරියානි කඩයක්. එළුමස් බිරියනි එකට මාර ඉල්ලුමක් තියෙනවා. ඒත් එක්ක ලැබෙන වම්බටු මෝජුව පුදුම රහයි

      Delete
  7. මේක කියවනකොට මගෙත් කෑම කතා කිහිපයක්ම මතක්වුන අයියෙ

    ReplyDelete
    Replies
    1. ඒ ටික හෙමින් සැරේ ආයේ ලියමුකො මල්ලි

      Delete
  8. "කෑම කියන්නේ හිත පිරෙන දෙයක්" සහතික ඇත්ත තිලක්. අපිම හදාගෙන කෑවත් වැඩිම අවධානය යොදවන්නේ හිත පුරවා ගන්න. බඩ පුරවා ගන්න නම් රස සුවඳ බව බලන්න ඕනේ නෑනේ, කිඹුලා කිරිමැටි ගිලිනවා වගේ මොනවා හරි ගිලල දාන පුළුවන්නේ.
    ඊටත් එහාට ගිහින් මෙතන වටිනා පණිවුඩයක් තිලක් සමාජයට දෙනවා. දෙමාපියෝ දරුවන්ට හෝ දරුවෝ දෙමාපියන්ට හෝ සේවකයෙක් ස්වාමියාට හෝ වේටර් කෙනෙක් ගණුදෙනුකරුවෙකුට හෝ ආහාරයක් පිළිගන්වන විට සහ පිළිගන්නා විට දෙපාර්ෂවයම මේ අවබෝධයෙන් තම කාර්යය කරනවානම් දෙපැත්තේම හිත් පිරෙනවා. ඉන් මේ ලෝකය තවත් සුන්දර වෙනවා.
    ඔබේ දැක්ම හරිම අපූරුයි තිලක්....!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බන්ධුල . අනික අපි අමතක නොකරන දෙයක් තමයි කෑම හදන බෙදන සේවක සේවකයන්ට ස්තුතියි කියන එක . කෑම රසයි . බොහොම ස්තුතියි කියල කිව්වම ඔවුන්ගේ මූණේ මැවෙන හිනාව හරිම සුන්දරයි

      Delete
  9. කැම්පස් එකේ සෙට් එක තලු මර මර කනවා ඇති! :D

    ReplyDelete
    Replies
    1. මෙහෙත් අපේ වාගේම ඇති නේද ?

      Delete
  10. ශනිදා දහයෙන් යළි ඇරඹුනු සිංහල බ්ලොග් රැල්ල නැවැත්විමට සිංහල බ්ලොග් විනාසකෙරුවන් යළිත් අනවශ්‍ය මඩ ගැහිලි හිංසාකාරි හා ප්‍රකෝපාකාරි කෙමෙන්ටු දැමිම පටන්ගෙන ඇත. රංග තේනුවර හා අජිත් ධර්මකුමාර නමින් හා වෙනත් ඇනෝ නම් වලින් පෙනි සිටින්නාවු දුර්ජන සිතුවිලි පිරුන මානසික ලෙඩුන් පිරිසක් අපගේ බ්ලොග් අතර මළපහකරන්නට සැදිපැහැදි ඇත. ඔවුන්ගේ ඉලක්ක වන්නේ යළිත් සිංහල බ්ලෙග් කලාව විනාස කිරිමයි. එවාට ගොදුරු නොවන්න. ඔවුන්ගේ ඉලක්ක වන්නේ යළිත් සිංහල බ්ලෙග් කලාව විනාස කිරිමයි.

    ReplyDelete
    Replies
    1. දොම්පෙට යන පාර කොයිබදෝ

      Delete
  11. කෑම කියන්නෙ බඩ විතරක් නෙමෙ හිතත් පිරෙන දෙයක් ....ඒක නම් සහතිකවම ඇත්ත තිලකසිරි මහත්තයා.....ෆේස්බුක් මෙසෙන්ජ්ර් බලන්න්නෙ නැද්ද. - Mayya

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ මයියා මගේ පරණ FB එකවුන්ට් එකට මැසේජ් කරනවා ඇත්තේ . ඒකෙ ඇක්සස් මට නෑ .
      Tilakasiri Ekanayaka II කියල හොයන්න නැත්නම් මගේ නමින් තියෙන LinkedIn එකට මැසේජ් එකක් දාන්න

      Delete
  12. මොනවා කළත් බිරිඳගෙන් බේරෙනවා බොරු!

    ReplyDelete
    Replies
    1. තුන් හතර දෙනාම බැනුම් අහන්න ඇති . සමහරවිට තාමත් බනිනව ඇති

      Delete
  13. වාහිඩ්ගේ මිතුරා අන්තිමට කී දේ කියවනවිට මතක් වුණේ...
    http://dhumee.blogspot.com/2015/12/blog-post.html

    ReplyDelete
    Replies
    1. දුමීගේ කතාව ආයෙත් කියෙව්වා. බ්ලොග්වල ස්වර්ණමය කාලේ දුමීලා ලස්සනට ලිව්වා . ආයේ අවුස්සලා ගමු

      Delete