Saturday, December 21, 2024

කසල බඳුන් හා වැසිකිළි ඇති නගරයක සිරි

 

ම  සතියේ දවස්වල රස්සාව කරනවා.  සෙනසුරාදා ඉරිදා  හා රජයේ නිවාඩු දවස්වල  මම සංචාරකයෙක්. දිග නිවාඩුවක් තිබුනොත් නගරයෙන්  පිට පළාතක් බලන්න යනවා .සමහර දවස්වල  ඉස්තාන්බුල් නගරයේම විශේෂ ප්‍රදේශයක්  බලන්න යනවා. එහෙමත් නැති  දවස්වල මම අපේ නිවාස සංකීර්ණයේ ඉඳල කිලෝමීටර් දෙකක් විතර දුරකින් තියෙන කාතානේ උප නගරය වෙත යනවා. විසල් ඉස්තාන්බුල් නගරයේ කුඩා කුඩා උප නගර රාශියක් තිබෙනවා. මේවා පරිපාලනය කරන්න වෙනම නගර සභා ඒකක තිබෙනවා. . එතන කුඩා  නගරයක් හා උද්‍යාන කිහිපයක් , අවන්හල් පෙළක් හා මෙට්‍රෝ දුම්රිය ස්ථානයක්  තියෙනවා. සාමාන්‍ය  ප්‍රමාණයේ වෙළඳසැල්  , ෆාමසි  , බාබර් සාප්පු  දෙක තුනක් , ටේලර් සාප්පුව හා රට සල්ලි මාරු කරන තැන  ආදීයට අමතරව ඉරිදා පොලක් ආසන්නයේම පැවැත්වෙනවා.  නගර සභාවෙන් හදපු  ස්මාරකයක් අසල සමහර දවස්වල පොඩි පොඩි රැස්වීම්, ප්‍රවර්ධන වැඩ හා කුඩා සංගීත ප්‍රසංග පැවැත්වෙනවා.

ඉරිදා පොළ පටන් ගන්නේ හවස . උදේ වරුවේ ඉතා පිරිසිදුව තිබෙන පොළ විථිය  , පොළ ඉවර වුනු සැනින් උදේ තිබ්බා වගේම රොඩු  බොඩු සුද්ධ පවිත්‍ර වී සාමාන්‍ය විථියක් බවට පත් කෙරෙනවා. ප්‍රධාන නගර හා උපනගර ඉතා පිරිසිදුව පවත්වාගෙන යන හැටි අගේ කරන්නට පුළුවන්.

මේ කඩ මන්ඩියේ බොහෝ දෙනෙක්  මම අඳුනනවා. ජැන්ඩියට  ඇඳ පැළඳගත්  විශ්‍රාමික පිරිමින්   කුඩා උද්‍යානයේ හා කඩපෙළ  අවට දවස තිසේම ගැවසෙනවා . තරුණ තරුණියන් හා පවුල් පිටින් ඇවිත් එළිමහනේ තියෙන ආපන ශාලාවලින් නිවී සැනසිල්ලේ කෑම කාලා යනවා. දරුවන් වතුර් මල් අවට ගස් හෙවනේ සෙල්ලම් කරනවා .  මිට  තරමක් ඔබ්බෙන් තවත්  විශාල උද්‍යානයක් තියෙනවා අක්කර තිහ හතළිහක් ඇති. එහි නගර සබාවෙන් නඩත්තු කරන විශාල අවන්හලක්, ක්‍රීඩාගාරයක්  , ඇවිදින මං තීරු , පාපන්දු පිටියක් හා දිය පොකුණු තිබෙනවා. විශේෂයෙන්ම ගිම්හාන සමයේ බොහෝ නගරවාසීන් සති අන්තය හා සන්ධ්‍යා කාලය ගෙවන්නේ මෙවන් එළිමහන් උයන්වල. ඒවාට අවශ්‍ය තරම් ඉඩකඩ වෙන් කරලා තියෙනවා.

මේ විසල් බිමේ  එහා මෙහා සරමින් දවසක් වුනත් ඉන්නට පුළුවන් . එහෙම ඉන්නකොට බඩගිනි දැනුනොත් කඩේකට ගිහින් කන්න  පුළුවන්. එහෙමත් නැත්නම් දුරුම් කියන චිකන් රෝල් එකක් හා වතුර බෝතලයක් ගෙනත් උද්‍යානයේ ලී  බංකුවේ  ඉඳගෙන කන්න පුළුවන් . හිස් වතුර බෝතලය, කෑම  ඉතිරි බිතුරු, දවටන  හා අත පිහින කොළ දාන්න මීටර් විස්සෙන් විස්සට විතර කසල බඳුන් තිබෙනවා. මේවා මොනම වෙලාවකවත් පිරිලා ඉතිරිලා යන්නේ නෑ . කඩිසරව ඔබ මොබ යන සේවකයන් මේවායේ පිරුණු කසල ඉවත් කරනවා. වෙනත් සනීපාරක්ෂක වුවමනාවක් තිබ්බොත් නගර සබාවෙන් නඩත්තු කරන පිරිසදු වැසිකිලි තිබෙනවා .

මේ වගේ බොහෝ සති අන්තවල අපි  වෙනත්  සංචාරක කලාපවල උද්‍යානවල හා උපනගර හා වෙරළ  තීර වල ඇවිදින අතරේ කිසිම දවසක කසල බඳුනක් හෝ වැසිකිලියක් හොයා ගැනීමේ  අපහසුතාවක්  මතු වෙලා නෑ .මේ  සියල්ල හොඳින් පිරිසිදුව නඩත්තු කරමින් තිබුනා. කසල බඳුන් කිසිවක් පිරී ඉතිරී  යමින් තිබුනේ නෑ . තරමක් විශාල පුද්ගලික අවන්හලකදී හෝ වෙළඳ සැලකදී අපට සනීපාරක්ෂක පහසුකම් පාවිච්චි කරන්න පුළුවන්. ඒවායේ පාරිභෝගිකයන්  වෙන්නම අවශ්‍ය නෑ .

සංචාරකයන් නරඹන විශේෂ  ස්ථාන අසල අනිවාර්යයෙන්ම හොඳම තත්වයේ  මහජන වැසිකිලියක් තියෙනවා.දුම්රිය ස්ථානවල  , නාගරික උද්‍යාන අසල එහෙම තැනක් වරදින්නේ නෑ . ඉතාම පිරිසිදුවට නඩත්තු කරන මේ වැසිකිළි පාවිච්චියට කුඩා මුදලක් අය කරනවා. වැදගත්ම දේ මේ කොතනකවත් සල්ලි එකතු කරන්නට සේවකයෙක් නැති වීම. සියලු මුදල් ගෙවන්න තියෙන්නේ අපි බස්, කෝච්චිවල යන්න තියෙන ඉස්තාන්බුල් කාඩ් එකෙන්. කාඩ් එක කියවන ස්වයංක්‍රිය ගේට්ටු තියෙනවා.  මේ මුදල් ගෙවීම් සියල්ල මධ්‍යගත කරලා තියෙන්නේ.  මේ හේතුව නිසා මිලියන් දහසයක් වූ නගරවාසීන් හා තවත් මිලියන් ගණනක් වූ සංචාරකයන් නගරයේ සැරි සරද්දී අපහසුතාවයට පත් වෙන්නේ නෑ.

මේ සියල්ල නඩත්තු කරන පරිපාලන ආයතනවල මෙහෙයවීම ඉතා ක්‍රමවත් බව පෙනෙනවා. මේවා පිරිසිදු කරන්න ඉන්න සේවකයන් සම්පුර්ණ නිල ඇඳුම්  , පැළඳුම් හා   තම රාජකාරියට අවශ්‍ය උපකරණ කට්ටලවලින් සන්නද්ධ වෙලා ඉන්නේ. නිතර දෙවේලේ ජනී ජනයා පාවිච්චි කරන  නිසා වැසිකිලියක් වුනත් දිනකට  සැහෙන වාර ගණනක්  පිරිසිදු කරනවා. නගරය හා කසල බඳුන් පිරිසදු කිරීමත් දවසකට සැහෙන වාර ගානක් කෙරෙනවා.

මා දුටු කිසිම සනීපාරක්ෂක සේවකයෙක්ගේ මුහුණේ වෙහෙසකර  ගතියක්, කනස්සල්ලක් හෝ තමන් කරන රස්සාව ගැන අකමැත්තක් ඇති බවක් පෙනුණේ  නෑ .  ඔවුන් ඉතාම ආඩම්බරෙන් හා කැමැත්තෙන් තම රස්සාව කරනවා. සංස්කෘතිකව පිරිසිදුව ඉන්න තිබෙන පුරුද්ද, නගර සබාවේ මැදිහත්වීම  වගේම මෙන්න මේ සේවක ආකල්පත් ඉස්තම්බුල්  නගරය ඉතාම පිරිසදුව පවත්වාගැනීම පිටුපස තියෙන  බලවත්  සාධකයක්. මම අද වදිපුරක කතා කරන්න යන්නේ ඒ ගැන .
 ඕනෑම රැකියාවක් වැදගත්  වෘත්තියක් ලෙස සලකන විශේෂයෙන් කසල ශෝධනය වගේ ජන ජිවිතයට අත්‍යවශ්‍ය සේවා කරන්නට අගයකරන ආකාරයේ  පිළිගැනීමක් මේ සමාජයෙන් ලැබෙනවා. මේ වැසියන්ගේ වහරේ  තිබෙන ඉතාම සෞම්‍ය  වචනයක් තමයි  ' කොලයි  ගයිසම්' කියන්නේ . මේ වචනයේ තේරුම ' ඔබේ කාරිය පහසු වේවා' වගේ එකක් .  වැසිකිලිය  පවිත්‍ර කරමින් ඉන්න සේවකයාට පවා  සුබ පතන පුරුද්ද ඉතා දියුණු සමාජයක තියෙන දෙයක්. ඉතින් ' කොලයි  ගයිසම් ' කියා සුළු සේවකයාටත්, ඉහළ  නිලධාරීන්ටත්, රියදුරන්ටත් ඕනිම්  කෙනෙකුට කියන්න පුළුවන්. පිරිසිදු කරන අයෙක් දුටුවොත් එතනින් යන ඕනිම කෙනෙක් මේ සුබ පැතීම කරනවා . එය අසන  පවිත්‍රතා සේවකයෙක් බෙහෙවින් සතුටට පත් වෙනවා. තමන්ට  ලැබුණු හිතවත්කම හා පිළිගැනිම නිසා වඩාත් හොඳින් තමන්ගේ කාරිය කරගෙන යනවා. මේ පොතක තිබුණු න්‍යායයක් නෙවෙයි. මම උදේ හවස දකින දෙයක්.

 රාජකාරිය නිම කරලා හොඳින් හැඳ   පැළඳ ගත්ත සේවකයෝ ඉතාම සාමාන්‍ය මිනිසුන් ලෙස  සමාජය හා මුසු වෙනවා . මේ රැකියා කරන බොහෝ දෙනෙක් ප්‍රමාණවත් ඉගෙනුමක් හා පුහුණුවක්  ලබපු අය බව පේනවා. යම් රටක සමාජයේ පිඩාවට පත් වූ  හෝ අඩුවෙන් අධ්‍යාපනය ලද ජන කොටස්වලින් සනීපාරක්ෂක සේවා  කරන්නට ඔනෑ කියා මෙහෙ සම්මතයක් නෑ . මේ හේතුව නිසා එය රාජකාරියක් ලෙස ඉතා හොඳින් කෙරෙනවා . ඔවුන් පුදුම උනන්දුවකින්  ආසාවකින් සේවයේ යෙදෙනවා. ඒ සඳහා පුහුණුව තියෙනවා, සුදුසු ඇඳුම් පැළඳුම් තියෙනවා, පිරිසිදු කරන ද්‍රව්‍ය හා උපකරණ තිබෙනවා.  අනෙක මේ මිනිස්සුන්ගේ සාමාන්‍ය ජීවිතය පවතවා ගන්න තරම් සරීලන වැටුපක් ලැබෙනවාත්  ඇති.

ඉස්තාන්බුල් නගරයේ පිරිසිදුකම කතා කිරීමේදී සනීපාරක්ෂක සේවකයන් තමයි කොඳු නාරටිය .ඊට ප්‍රශස්ත  නගර පාලනය, සංස්කෘතිය හා නව තාක්ෂනය මිශ්‍ර වී තිබෙනවා.  සියවස් ගණනාවක් ඉඳන් පිරිසිදු නගර කලමනාකරනය තුර්කියේ ප්‍රධාන නගරවල සිදුවී  තිබෙනවා. ඉතින් අර වැසිකිලියකට යාමේදී අය  කරන නාමික ගාස්තුවට අමතරව විශාල මුදලක් වැසිකිලි පවත්වා ගැනීමට හා කසල කළමනාකරණයට නගර සභා විසින් වය කරනවා. මේවා අතරට තොරතුරු තාක්ෂණයද එකතු වී තිබෙන බව මා කියෙව්වා . නඩත්තු අවශ්‍යතා ගැන අවදානයෙන් සිටීමට, පිරිසිදු කිරීමේ සේවක කාලසටහන්  නිරීක්ෂණය කිරීමට හා දුගඳ නිරීක්ෂණයට දුරස්ථව තොරතුරු තාක්ෂනයන්ගේ සේවය ලබා ගන්නා බව පැහැදිලියි.
අපි ප්‍රසිද්දියේ කතා නොකලාට වැසිකිලි යාම මුලික මිනිස් අවශ්‍යතාවයක්. එය තේරුම් ගත් පාලනායක්  හා සංස්කෘතියක් තිබෙන රටවල ජනයා වාසනාවන්තයි . එවැනි රටක සංචාරය කිරීම ප්රියජනකයි.
--
මෙය මුලින්ම පළවුයේ 2024 දෙසැම්බර් 8 වනදා සිළුමිණ පත්රයේය)

No comments:

Post a Comment