ඉතා ජනාකීර්ණ, ඉතිහාසගත නාවික තොටුපලක් වන එමිනොනු පිහිටියේ පැරණි කොන්ස්තන්තිනෝපල් නගරය ආසන්නයේය. එම නැව්තොටේ සිට ඇවිද යන දුරින් පිහිටි සර්කෙසි දුම්රිය ස්ථානය සියවසකටත් වඩා පැරණි ජාත්‍යන්තර දුම්රියපොළකි . අදටත් දුම්රියෙන් දේශ සිමා හරහා ගමන් කරන මගීන් සැහෙන දෙනෙක් මේ දුම්රිය ස්ථානයේදී හමු වෙයි . නොඑසේනම් එය ජාත්‍යන්තර මගීන්ට වටිනා ගමනාන්තයකි. ඉස්තාන්බුල් දිස්ත්‍රක්කයට උදාවූ සරත් සමයේ මැද වැසිබර දවසක මම එමිනොනු නැව්තොටෙන් බැස සර්කේසී දුම්රිය ස්ථානය දෙසට ඇවිදගෙන ගියෙමි. කහ පැහැ ගත් ඕක් කොළ මතට වැහි බිඳු පතිත වෙද්දී ඒවා නටුවෙන්ගිලිහී ගොස් තෙතබර බිම්ගඩොල් මත පතිත වෙයි.
දුම්රිය වේදිකාව සිසාරා සැන්දෑ හිරු දිගු සෙවනැලි ඇඳ තිබේ . ඔටෝමාන් හා යුරෝපීය මිශ්‍ර ගෘහනිර්මාණ ශිල්පය මෙසේයැයි කියපන විශිෂ්ට පර්යන්ත ගොඩනැගිල්ල, 1889 දී මුල්වරට එවකට කොන්ස්තන්තිනෝපල් ගමනාන්තය වූ මෙහි ආ ඔරියන්ට් එක්ස්ප්‍රස් දුම්රිය පිළිගන්නා විට සිටි ආඩම්බර පෙනුමෙන්ම හා 1977 අවුරුද්දේ ඔරියන්ට් එක්ස්ප්‍රස් දුම්රිය සිය අවසන් දුම්රිය පිටත් කළ දවසේ සිටි නිහඬ මුහුණින්ම සිටියි . මම විසිතුරු ඔරලෝසු කණුව පරීක්ෂා කරමින් සිටියදී මායාමය තිමිරය මැදින් ඇය දුටුවෙමි. ට්වීඩ් ඇඳුමකින් සැරසී සිටින කාන්තාවක් , හාත්පස පෙණෙන සෑම විස්තරයක්ම අල්ලා ගන්නා බවක් පෙනෙන තියුණු ඇස්වලින් වටපිට බලමින් සිටියාය.
එය විය නොහැක ... නමුත් එය මට පෙනේ . පහුගිය සියවසේ මුල් භාගයේ ලෝපුරා ආදරය ලද ලියන්නිය අගතා ක්‍රිස්ටි 1930 ගණන්වල ඡායාරූපවල සිටියාක් මෙන් මා ඉදිරියේ දර්ශනය වේ. පැරිස් නගරයේ සිට කොන්ස්තන්තිනෝපල් දක්වා ගමන්ගත් අධි සුඛෝපභෝගී ඔරියන්ට් එක්ස්ප්‍රස් දුම්රිය ගාවාගෙන ලිඅවුණු පොත් හා නිර්මාණය වුනු චිත්‍රපට දුසිම් ගණනක් අතරින් වඩාත් ජනප්‍රිය වු ඇය ලියු Murder on the Orient Express පොත මෙන්ම ඒ අනුව නිර්මාණය වූ චිත්‍රපට ගැනද දැන සිටි මම දෙවරක් නොහිතා ඇය වෙත ඇවිද ගියෙමි.
"පුදුමෙනුත් පුදුමයි . ක්‍රිස්ටි මහත්මිය. ඔබ මෙතැන?"
ඇය ලෙන්ගතු සිනහවකින් මා දෙස බැළුවාය .
"ආහ්, ඔබ මාව අඳුරනවා. පුදුම වෙන්න දෙයක් නැහැ, අපි මේ ඉන්න තැන නිසා වෙන්නැති . මේ ස්ටේෂන් එකේ කතා ගොඩක් තියෙනවා නේද?"
"ඇත්ත වශයෙන්ම ඔව් . ඔරියන්ට් එක්ස්ප්‍රස් හි ගමනාන්තය - ඔබ විසින් ප්‍රසිද්ධියට පත් කළ දුම්රිය හා දුම්රිය ස්ථානය ."
"ඔබ දන්නවාද' ඇය ඇසුවාය , "පළවෙනි ඔරියන්ට් එක්ස්ප්‍රස් 1883 දී පැරිසියේ ගැරේ ඩි ලෙස්ට් සිට පිටත් වූදා පටන් , එය මිනිසුන් සංචාරය ගැන සිතන ආකාරය වෙනස් කළා . ඒ එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට යාම පමණක් නොවෙන ගමනක්'
රෝද සහිත ගමන් මලු තල්ලු කරගෙන ස්මාර්ට්ෆෝන් අතින්ගත් සංචාරක පවුල් අප දෙස බලා අත වනමින් යන හැටි ඇය මදක් බලා සිට මෙසේද කිව්වාය
"දැන් ඔබ මදක් වටපිට බලන්න, ඉස්සර කොන්ස්තන්තිනෝපල් දැන් ඉස්තාන්බුල් නම විතරක් වෙනස් වුනාට නගරය එහෙම්මමයි ඒ අසිරිමත් මායාව නැති වෙලා නෑ ; එය හුදෙක් නව මුහුණු එකතු කරගෙන විතරයි . අර ඈත පෙනෙන ඊජිප්තු බසාරයේ වෙළෙන්දන් තාමත් කුංකුම සහ එනසාල් විකුනනවා . දේවස්ථානවල යාඥා හඬ තවමත් ගෝල්ඩන් හොර්න් ජල පහර හරහා දෝංකාරදෙනවා ඇහෙනවා නේද ? ."
ග්‍රෑන්ඩ් බසාර් වෙත යන පාර සිය මොබයිල් තිරයේ උපකාරයෙන් සොයමින් යන සංචාරකයින් පිරිසක් අප අසලින් ගමන් කළහ.
" බලන්න" අගතා ක්‍රිස්ටිගේ ඇස් දිලිසිණ "ඔය යන මගින් මිට අවුරුදු එකසිය විස්සකට ඉස්සර බෙඩේකර් කියන මාර්ගෝපදේශක පොත්වල උදව් අරන් ගමනේ ගිය මගීන්ට වඩා එතරම් වෙනස් නෑ . ඉස්තාන්බුල් සෑම විටම නැගෙනහිර සහ බටහිර ලෝකයා හමුවීමේ නවාතැනක් . ඔරියන්ට් එක්ස්ප්‍රස් දුම්රිය ඒ වගේ හමුවීම් සුවිශේෂ කරා.ගාම්භීර කරා ."
"ඒකද ඔබ ප්‍රසිද්ධ මාරක කතා පොතට මේ කෝච්චිය සම්බන්ධ කරන්න හිතුවේ ?"
"බාහෙට ඇත්ත . ඒත් ඊටත් වඩා, එය සංකීර්ණ මිනිසුන් එකට සිටි සංවෘත අවකාශයක් , විවිධ රටවල විවිධ අදහස් තියෙන ආගන්තුකයන් එකට කොටුකරලා වෙන් කරන්න බැරි සමීපභාවයක් ගොනු කරපු පරිසරයක් එතැන තිබුනා . ඉස්තාන්බුල් වගේ - ඔටෝමාන් මන්දිරවල බයිසැන්තියානු කැටයම් තිබෙන නගරයක්, යුරෝපීය හෝටල් සංකීර්ණ සෙවනේ ආසියානු කුළුබඩු වෙළඳපොලවල් වර්ධනය වෙන අමුතු එකමුතුවක් ."
"ඔබේ කාලයට වඩා දැන් මේ නගරය ගොඩක් විශාල වෙලා . දියුණු වෙලා ," මම කීවෙමි.
"ඔව් , ඉස්තාන්බුල් සෑම පැත්තෙන්ම අතිවිශාල වෙලා . එය දැන් වඩාත් දෘශ්‍යමාන වෙලා . අපේ කාලයේ , අභිරහස් අඳුරු පටු මංතීරුවල සහ බොස්ෆරස් ඉවුරු දිගේ ලී මන්දිරවල සැඟවී තිබුණ කතන්දර දැන් වඩා උස්මහත්වූ මන්දිරවලට මාරු වෙලා . නමුත් ඒවා තවමත් අභිරහස් කතා හා ප්‍රේම කතා ලියන්න බිජ සපයනවා නේද?" කියමින් ඇය සිනහසුනාය
ඈත මුහුදු යාත්‍රාවක නලා හඬක් දුම්රිය නැවතුම්පොළ පුරා දෝංකාර දුන්නේය . කබාය සකස් කරගනිමින් අගතා ක්‍රිස්ටි වටපිට බැලුවාය .
"මගේ නවකතාව ගැන සහ ඉස්තාන්බුල් ගැන මිනිසුන් හරියට තේරුම් ගන්නේ නෑ . ඔවුන් සිතන්නේ එය අතීතය ගැන, නොස්ටැල්ජියාව ගැන කතාවක් කියල. නමුත් ඒවා ඇත්ත වශයෙන්ම අතීතය සහ වර්තමානය එකට නර්තනයේ යෙදෙන තැන්. . මේ සර්කෙසි ස්ටේෂන් එක දිහා බලන්න: තවමත් ප්රතාපවත්ව සිටගෙන, තවමත් එහි අරමුණ ඉටු කරමින් සිටිනවා , පරණ ඔරියන්ට් එක්ස්ප්‍රස් තවදුරටත් මෙහි නොආවත් . දැන් බලන්න ඔබ කොහි සිටද මේ විස්තරය හොයාගෙන ආවේ. අර එළියේ පින්තූර ගන්න මිනිසුන් දිහා බලන්න. අර වියපත් යුවල සමහරවිට මිට අවුරුදු හතළිහකට කලින් මධුසමය ගෙවන්න තෝරා ගත්තේ මේ ඔරියන්ට් එක්ස්ප්‍රස් දුම්රිය වෙන්නැති . ඒක ගමන්කරන තරු පහේ හෝටලයක් වගේ තිබ්බේ "
"පොදුවේ දුම්රිය ගමන්වල තිබ්බ අර රොමැන්ටික් ගතිය දැන් අඩුවෙලා වගේ" මම සුසුමක් හෙලුවෙමි.
"එහෙමද?" ඇය ඇහිබැම එසවූවාය. "නැත්නම් එහි ස්වරූපය වෙනස් වෙලාද ද? අර දුම්රිය එනතුරු ඉන්න තරුණ බැක්පැකර්වරු - ඔවුන් අතේ තියෙන මෙවලම් එක්ක අපි ගෙවපු ජිවිතයම හොයනවා වෙන්න බැරිද?.'
ඇය දුම්රියපොළේ විසල් බිත්ති ඔරලෝසුව දෙස බැලුවාය. "ඔබ සංචාර ගැන කතා කරන විට, මගේසංචාරයත් දිගටම කරගෙන යාමට වෙලාව හරි. එත්
අර බලන්න" . ඇය නුදුරේ පේන ටොපකපි මාලිගයට පිටුපාමින් හිරු බැස යන අයුරු පෙන්නුවාය . "1889 දී පළමු ඔරියන්ට් එක්ස්ප්‍රස් පැමිණි දා පටන්ම ඒ දර්ශනය වෙනස් වෙලා නෑ . ඒ වගේ ඉස්තාන්බුල්වල සමහර දේවල් සදාකාලිකව තියේවි ."
බොස්ෆරස් දියතලය මත රන්වන් ආලෝකයක් මවමින් හිරු බැස යද්දී, මම ඇයට සමුදීමට හැරුනෙමි - නමුත් දුම්රිය ස්ථානයේ විකාශන හඬ හා මුසුවූ ඒ මායාත්මක සංවාදයේ දෝංකාරය පමණක් ඉතිරි කරමින් ඇය නොපෙනී ගොස් සිටියාය .මම දුම්රියපළෙන් පිටතට පියවි සිහියෙන් ඇස් යොමද්දී , සුපුරුදු පරිදි ඉස්තාන්බුල් නගරය ජීවයෙන් ස්පන්දනය වෙමින් තිබිණි : සංචාරක යුවලක් වීදි බළලුන් ඡායාරූප ගත කරති. ග්‍රිල් කළ කෙබාබ් සුවඳක් වාතයේ මුසුවිය. එවිටම නවීන මැදිරි පිරි ට්රෑම් රියක් සුල්තාන්මෙහ්මෙට් නගරය දෙසට ඇදී ගියේය.
ඔරියන්ට් එක්ස්ප්‍රස් තවදුරටත් මා සිටින සර්කේසි දුම්රිය ස්ථානය වෙතආ ගමන අවසන් වුවද. මගේ චිත්ත රූපවලට හමුවූ අගතා ක්‍රිස්ටි අදහස් කළේ කුමක්දැයි මට වැටහුණි. සංචාරයේ ආදර කතා, ඉස්තාන්බුල්හි සුන්දර අභිරහස් , ලෝක වාසීන්ගේ රැස්වීම් පොළ - ඒවා අවසන් වී නොතිබුණි. ඒවා හුදෙක් පරිණාමය වී ඇති අතර, මේ නගරයේ වීදිවලට යටින් ස්තර වශයෙන් ඇති ශිෂ්ටාචාරවල පරිච්චේද සමග සුරැකිව පවතී.
මට හිතුනේ ඔරියන්ට් එක්ස්ප්‍රස් ගමන එහි ගමනාන්තය වුන කොන්ස්තන්තිනෝපලය තරම්ම අසාමාන්‍ය හෝ අසිරිමත් එකක් වෙන්නට ඇති බවයි.
(මෙය මුලින්ම පළවුණේ 2024 දෙසැම්බර් 15 දින සිළුමිණ පත්රයේය )
ඔරියන්ට් එක්ස්ප්‍රෙස් යන්න නම් හෙන ආසාවක් තියනව . ගණන් වැඩියි . අපි ස්ටේෂන් එකක් බලන්න ගියා . ඒක වෙන්න ඕනේ . පොඩි කෞතකාගාරයක් තිබ්බ. පැරණ ඔරියන්ට් එකේ භාවිත කරපු බඩු ගොඩක් තිබ්බ ඒකෙ
ReplyDeleteMurder on the Orient Express (2017 film)
Deletehttps://en.wikipedia.org/wiki/Murder_on_the_Orient_Express
https://en.wikipedia.org/wiki/Murder_on_the_Orient_Express_(1974_film)
පතපොත කියවීම සුපුරුදු කෙනෙකුහට
ReplyDeleteඒවා මතකයේ ඇත්නම් මනා කොට
හැකි වෙයි නව රහක් මවමින් ලියන්නට
තිලකෙගෙ පෝස්ටුව සාක්ෂි ඒ වගට