මහල් සියයක් අහසට නැඟුණු දැවැන්ත මන්දිරයක් දෙස බලන විට හෝ ගංගාවක් හරස් කර තැනූ වේල්ලක් දෙස බලන බොහෝ විට අපට සිහිපත් වන්නේ කොන්ක්‍රීට්, යකඩ සහ යන්ත්‍රසූත්‍රවල විස්කම් පමණි. එහෙත් ඒ අජීවී දෑ අතර හද ගැස්මක් ඇති පසුබිම් කතාවක් තිබෙන බව සමහර විට අපට අමතක වෙයි. ඕනෑම ඉංජිනේරු විස්කමක නියම එංජිම වන්නේ තාක්ෂණය නොව, ඒ ව්‍යාපෘතිය පිටුපස සිටින මිනිසුන් සහ ඔවුන්ගේ සාමූහිකත්වයයි. ඉංජිනේරු ව්‍යාපෘති හා අනෙතුත් ව්‍යාපෘති මතු නොව; ඕනෑම සාමූහික මිනිස් ක්‍රියාකාරකමකට මේ කතාව අදාළය.
තනි තනිව කළ නොහැකි බොහෝ දේ සාමූහිකව කළ හැකි බව අපි දනිමු. එහෙත් එකිනෙකට වෙනස් විෂයපථයන් නියෝජනය කරන, විවිධ ආකල්ප සහිත ඉංජිනේරුවන්, ගෘහ නිර්මාණ ශිල්පීන් සහ කොන්ත්‍රාත්කරුවන් පිරිසක් එකම අරමුණක් ඇති ප්‍රබල, ක්‍රියාශීලි මිනිස් කණ්ඩායමක් බවට පත් වන්නේ කෙසේද? මෙහිදී අපට මුණගැසෙන අපූරු සංකල්පයක් තිබේ. ඒ ‘ටක්මන්ගේ ඉණිමඟ’ (Tuckman’s Ladder) ය. මෙය ඉංජිනේරු ක්ෂේත්රයට පමණක් නොව; ඔබේ කාර්යාලයට, පවුලට හෝ ඕනෑම සමාජ කණ්ඩායමකට පොදු මනෝවිද්‍යාත්මක සත්‍යයකි.
විශේෂයෙන් ව්‍යාපෘති සැලකූ විට ඒවායේ ක්‍රියාශීලි වන මිනිස් කණ්ඩායම අදියර කිහිපයක් පසු කරයි:
1. හමු වීම (Forming)
ඕනෑම ව්‍යාපෘතියක සමාරම්භය සරලය. කළමනාකරු හා මුල් පෙළේ නියමුවෝ අවශ්‍ය ව්‍යාපෘති කණ්ඩායමේ ලැයිස්තුවක් සකසා, ඔවුන් එකිනෙකාගේ තිබිය යුතු සුදුසුකම් කල් තබා තීරණය කරති. කණ්ඩායම් සාමාජිකයන්ගේ රාජකාරි, වගකීම් හා තනතුරුද මීට ඇතුළත් වේ. ඉන් පසු අවශ්‍ය පිරිස තෝරාගෙන බඳවාගැනේ. දැන් ඉන්නේ අදාළ කාර්යය හෝ ව්‍යාපෘතිය සඳහා මින් පෙර එකට වැඩ කර නැති මේ පිරිසේම එකිනෙකා සමඟ වැඩ කළ යුතු අන්දම හැදෑරිය යුතු පිරිසකි. මෙය හරියට අලුත් කැබිනට් මණ්ඩලයක් පත් වීමක් හා සමානය. එකිනෙකා දන්නා හඳුනන වෙනත් කටයුතුවලදී එකට වැඩ කර ඇති මුත් මේ විශේෂ මෙහෙයුම සඳහා පිරිස අලුත්ය.
මේ අදියරේදී නායකයාගේ භූමිකාව අතිශය තීරණාත්මක වේ. ඔහු හෝ ඇය කණ්ඩායමට පැහැදිලි ඉලක්කයක් ලබා යුතුය. එතෙක් තනි තනි පුද්ගලයන් ලෙස සිටි පිරිස ‘අපි’ යන හැඟීමෙන් එකට බැඳෙන්න පටන් ගන්නේ මෙතැනිනි.
2. කුණාටු සමය (Storming)
මේ කාලසීමාව පිරිස එකිනෙකා හඳුනාගැනීමටත්, එකට වැඩ කළ යුතු අන්දම තේරුම් ගැනීමටත් වෙන් වේ. සමහර විට මතභේද හට ගනී. මෙය සාමාන්‍යයෙන් කණ්ඩායමක් තුළ ඇති වන ‘කුණාටු සහිත කාලසීමාව’ යි. බොහෝ විට මේ කාල සීමාවේදී කණ්ඩායමේ ඵලදායකත්වය අඩු වේ.
එහෙත් මතක තබාගත යුතු කරුණ නම්: කුණාටුවක් නැතිව අහස පැහැදිලි වන්නේ නැත. සාර්ථක කණ්ඩායම් යනු ගැටුම් නැති පිරිසක් නොව, ගැටුම් හඳුනාගෙන, ඒවා විසඳාගැනීමට තරම් පරිණත වූ පිරිසකි. මේ කාල සීමාව ඉක්මනින් පසු කර යෑමට හා ප්‍රශ්න දෙස උපේක්ෂාවෙන් බැලීමට නායකත්වය මඟ පෙන්විය යුතුය.
3. රිද්මය හඳුනාගැනීම (Norming)
කුණාටුව පහව ගිය පසු කණ්ඩායම එක් රිද්මයකට වැඩ කිරීමට පටන් ගනී. දැන් ඔවුහු එකිනෙකාගේ ශක්තීන් සහ දුර්වලතා දනිති. සාර්ථක මෙහෙයුම් සඳහා එකිනෙකා අනුගත විය යුතු අන්දම තේරුම් ගෙන එකට වැඩ කිරීම ආරම්භ වන්නේ මේ කාලසීමාවේදීය; ‘මට වඩා ඔහු මෙය හොඳින් කරයි’ යන ගෞරවය කණ්ඩායම තුළ ගොඩනැඟේ.
විශාල ව්‍යාපෘතිවලදී, විවිධ අංශ අතර මනා සන්නිවේදනයක් ගොඩනැඟෙන්නේ මේ අදියරේදීය. අත්දැකීම් හුවමාරු කරගනිමින්, පෙර-වැරදි හදාගනිමින් පිරිස ඉදිරියට යති. මෙය හරියට මහා යන්ත්‍රයක දැති රෝද එකිනෙකට හොඳින් බද්ධ වී කරකැවෙන්නාක් වැනි සුමට ක්‍රියාවලියකි. කෙසේ වුවද මේ කාල සීමාවද ඉක්මනින් පසු කර යා යුතු අතර, මෙය ඒ සදහා මඟ පෙන්වීම ලැබිය යුතු අදියරකි.
4. උපරිම දායකත්වය (Performing)
දැන් කණ්ඩායම පවතින්නේ උපරිම කාර්යක්ෂමතාවකය. කිසිවකුට අණ දීමට අවශ්‍ය නැත. සෑම කෙනකුම තම වගකීම මැනවින් දනිති. හදිසි අනතුරක් හෝ තාක්ෂණික දෝෂයකදී වුව, ඔවුහු කලබල නොවී සාමූහිකව එය විසඳාගනිති.
ලෝකයේ මහා විස්කම් ලෙස සැලකෙන පිරමිඩයේ සිට නූතන බර්ජ් කලීෆා දක්වා නිර්මාණ බිහි වූයේ මෙවැනි විශිෂ්ට ලෙස ක්‍රියාත්මක වන කණ්ඩායම්වල කැප වීමෙනි. තාක්ෂණයට කළ හැක්කේ පහසුකම් සැපයීම පමණි. එහෙත් සාර්ථක ප්‍රතිඵල ගෙන එන්නේ මිනිස් අධිෂ්ඨානයයි.
ව්‍යාපෘති කළමනාකරුවන් උත්සාහ කරන්නේ සමස්ත ව්‍යාපෘති කාලයෙන් වැඩි කොටසක් මේ උපරිම දායකත්ව පියවරේ තබාගැනීමටය. එය නිකම්ම සිදු වන්නේ නැත; පරිණත කැපවීමක, කළමනානාරිත්වයක හා නායකත්වයක ප්රතිඵලයකි. සමහර විට පිරිස උපරිම දායකත්ව අවධියේ සිටියදී සිදු වන යම් කණ්ඩායම් වෙනස්කමක්, තනතුරු දීමක්, උසස් වීමක් හෝ ඉවත් වීමක් නිසා පිරිස් ක්‍රියාකාරිත්වය යළි කුණාටු අවධියට පසුබසින අවස්ථා තිබේ. මෙවන් දෑ පරිස්සමින් කළමනාකරණය කර ගැනීමට සිදු වේ.
5. විසිර යෑම (Adjourning)
ව්‍යාපෘතිය අවසන් වූ පසු කණ්ඩායම විසිර යයි. ඇතැමකුට ජයග්රාහි සතුටක් දැනෙන අතර, ඇතැමෙකුට වෙන් වීමේ දුකක් දැනේ. එහෙත් මෙහිදී වැදගත්ම දේ වන්නේ ලැබූ අත්දැකීම් ආවර්ජනය කිරීමයි. ‘අපිට වැරදුණේ කොතැනද? අපි දිනුවේ කොහොමද?’ යන ප්‍රශ්නවලට පිළිතුරු සෙවීම මීළඟ ව්‍යාපෘතියේ සාර්ථකත්වයට මඟ කියයි.
ඔබ ඉංජිනේරුවෙක් විය යුතු නැත. ඔබ පාසල් සමිතියක වැඩ කළත්, පුණ්‍ය කටයුත්තක නිරත වුවත්, ඔබේ රැකියාවේ නිරත වුවත් මේ ඉණිමඟ ඔබට පොදුය.
ඉදි කිරීමක්, ව්‍යාපෘතියක අවසන් නිර්මාණයක් පමණක් නොව; දියුණු රටක් වුව, මිනිස් සිත්වල එකඟතාවෙන් සහ සහයෝගයෙන් බිහි වන අපූරු පලයකි. ඒවා සාර්ථක වන්නේත්, විස්මිත වන්නේත් එකට අත්වැල් බැඳගත් කණ්ඩායම් නිසාය.
එහෙයින් 1938 වසරේ සිට 2016 දක්වා ජීවත් වූ අමෙරිකානු ජාතික මනෝ විද්‍යා පර්යේෂකයකු වූ බ්රූස් ටක්මන් ඉදිරිපත් කළ ඉහත න්‍යාය කොයි දේටත් වලංගු, අප කවුරුනුත් හැදෑරිය යුතු විෂයපථයක් බව මගේ අදහසයි.

වෙනද වගේම හොඳ ලියමනක් තිලකෙ. සමහර වෙලාවට ඔය කුණාටු සමය පහු කරගන්න බැරි වෙන ජාතියෙ ඩෑල් සෙට් වෙනවනේ. මට හිටියා එහෙම ඉන්ජෙක් මම කලින් වැඩකරපු තැනක. මූව මොන විඩියට හැන්ඩ්ල් කරන්න හැදුවත් ඇඟටම තමා එන්නෙ. අන්තිමට පොර එතන මැනේජරය උනාම මම ජොබ් එක දමල ගහල එන්න ආවා.
ReplyDeleteමමත් ඔය වගේ හේතුවක් නිසා ජොබ් එකක් දාලා ගිහින් තියෙනවා . ස්ටෝර්ම් එක ඉවර වෙන් නැත්නම් යන්න වෙනවා
Delete+++
ReplyDeleteThanks
Deleteපිරිසක් එකම අරමුණකට යොමු කරවා
ReplyDeleteඋපරිම ලෙසට වැඩ කෙරුමට මං තනවා
ඉලක්කයම සපුරන්නට සැම යොදවා
ජය ලැබ ගනියි 'තන්වැසි නුවණැති නයුවා'
ජය වේවා !
Delete++++++++++++++++👌
ReplyDelete+++++++++ Thanks bassa
Delete+++++++++++++++++++++++++++++
ReplyDeleteThanks Pra +++++
Deleteඅර උඩින් කියල තියෙනවා වගේ එපාම කරපු චරිත හිටියේ නැත්නම් ප්‍රොජෙක්ට් වල වැඩ කරන්න ආස හිතෙනවා .. ටීම් එක සෙට් නම් ඕනේ වැඩක් කරන්න පුළුවන්
ReplyDeleteකොයි ලෝකෙන් හරි එහෙම චරිතෙකුත් පාත් වෙනවා . සමහරුනම් හදන්නම බෑ . ටීම් එකේ යහපත සඳහා රීප්ලේස් කරන්න වෙනවා
Deleteමේ සර්කල් එක ප්‍රොජෙක්ට්ස් වලට විතරක් නෙමෙ සමහර විට සාමාන්‍ය මිනිස් සම්බන්ධතා වලටත් සමාන කමක් තියෙනවා කියලා හිතෙනවා. උදාහරණයක් විදිහට කසාදේ සම්බන්ධයෙන් මේ වගේ සයිකල් එකක් තියෙන්න පුලුවන්...
ReplyDeleteඇත්ත නේන්නම් කල්පනා කරලා බැලුවම. හැබැයි කසාද ජිවිතේ ඇතුලේ පටන් ගන්න හැම අලුත් ප්‍රොජෙක්ට් එකකදීම පොඩි පොඩි ස්ටෝර්මින් කාල තියෙනවා නේද ?
Delete++++++++++++++++
ReplyDelete++++++++++++ Thanks Ajith
Delete