මින් වසර කිහිපයකට පෙර ඉදි කිරීමට සැලසුම් කළ කොළඹ සැහැල්ලු දුම්රිය යනු දුම්රියක් නොවේ.’ ඔබට මෙවැන්නක් අසන්නට ලැබුණොත් මවිතයට පත් නොවේවිද? ඇත්තෙන්ම ‘දුම්රිය’ යන වචනය අප පොදුවේ ‘ට්රේන්’ හෝ ‘රේල්’ ලෙස හඳුන්වන ප්‍රවාහන මාධ්‍යයට සුදුසු නොවේ. අනෙක් අතට රේල් හා ට්රේන් යනු දෙවර්ගයකි. ගැල් පෙළක් වන් වාහනයක් ‘ට්රේන්’ වන අතර, එහි මාර්ග පද්ධතිය ‘රේල්’ වෙයි. කොළඹ සැහැල්ලු දුම්රිය ඒ අනුව දුම් දමමින් යන රියක් නොව, රේල් මඟක් ඔස්සේ මිනිසුන් සංචලනය කරන, විදුලි බලයෙන් ක්‍රියාත්මක වන මාධ්‍යයකි. මෙනයින් ගත් කල ‘මෙට්රෝ දුම්රිය’ හෝ ‘ට්රෑම් දුම්රිය’ යනුවෙන් හැඳින්වෙන වාහනද ‘මෙට්රෝ’ හෝ ‘ට්රෑම්’ ලෙස පමණක් හැඳින්වීම වඩාත් තාර්කිකය. එහෙත් දැන් අපට එම වචනවලින් ගැලවීමට නොහැකිය.
මම ප්‍රවාහන සේවා පිළිබඳ විද්වතෙක් නොවෙමි. එහෙත් ප්‍රවාහන යටිතල පහසුකම් පිළිබඳ ව්යාපෘති කළමනාකරණ වෘත්තිකයකු ලෙස මාගේ ජීවිතය මහාද්වීප කිහිපයක් හරහා විහිදී ගියේය. ශ්රී ලංකාවේ සැලසුම් මට්ටමේ තිබුණු ව්‍යාපෘතිවල සිට, තුර්කියේ ක්‍රියාකාරි අධිවේගි දුම්රිය ඉදිකිරීම් දක්වාත්, කටාර් රාජ්යයේ නව මෙට්රෝ ප්‍රවාහන පද්ධතිය හා බැඳුණු අධිවේගි මාර්ග දක්වාත් එය සම්බන්ධ වෙයි. අනෙක් අතට කසාක්ස්තාන් ස්ටෙප් තණබිම හරහා ඇදෙන අතිදීර්ඝ දුම්රිය ගැල් දෙස බලමින් දුම්රිය හරස් මංවල රස්තියාදු වීමේ ආස්වාදය විඳ ඇත්තෙමි. ඊට අමතරව මගේ හුදු කුතූහලය නිසාම ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් හා සිඩ්නි නගරවල නගරාන්තර දුම්රිය, සැහැල්ලු දුම්රිය හා මෙට්රෝ පද්ධති ගැන සෑහෙන නිරීක්ෂණ ප්‍රමාණයක් කළෙමි. ඒ අත්දැකීම් මට අපූරු පාඩම් කිහිපයක් කියා දුන්නේය.
දුම්රිය ප්‍රවාහනය යනු හුදෙක් පීලි මත දුවන පෙට්ටි පෙළක්ම නොවේ. එය එක් එක් රටක ආර්ථිකය, නාගරික අවශ්‍යතා සහ භූගෝලීය ස්වභාවය මත තීරණය වන, ඉතා සංකීර්ණ තාක්ෂණික කලාවකි. විවිධ රටවල දුම්රිය පද්ධති පිළිබඳ මගේ අත්දැකීම් එකිනෙකට වෙනස් වුවත්, ඒ සැමෙකක්ම නිර්මාණය වී ඇත්තේ ඒ ඒ රටවලට ආවේණික මෙහෙයුම් අවශ්‍යතා සහ ආර්ථික යථාර්ථ පදනම් කරගෙනය. අනෙක් අතට අධිවේගි දුම්රිය, මෙට්රෝ හා සැහැල්ලු දුම්රිය යන ඒවා අතර වෙනස කුමක්දැයි පැහැදිලි කරන්නට මට දැන් පුළුවන්කමක් තිබේ.
ශ්රී ලංකාවේ කොළඹ නගරය නවීකරණය සඳහා යෝජනා වූ කොළඹ සැහැල්ලු රේල් සංක්‍රමණ හෙවත් CLRT (Colombo Light Rail Transit) ව්‍යාපෘතියට සම්බන්ධ වීමට මට අවස්ථාව ලැබුණත්, අවාසනාවකට එය සැලසුම් මට්ටමෙන් ඔබ්බට නොගියේය. එහෙත් ඒ මූලික සැලසුම්වලදී නාගරික ගමනාගමනය නවීකරණය කිරීමට තිබූ දැඩි අවශ්‍යතාව මනාව පැහැදිලි විය. මේ අත්දැකීම් ඇසුරෙන් මා උගත් ප්‍රධානතම පාඩම නම්, නගරයකට වඩාත්ම ගැළපෙන දුම්රිය වර්ගය තෝරාගැනීම යනු සූදුවක් නොවන බවයි. ඒ සඳහා පිරිවැය, ධාරිතාව, වේගය සහ අනාගත නාගරික වර්ධනය යන සියල්ල ඉතා සියුම් ලෙස තුලනය කළ යුතුය.
මා 2022 වසරේදී ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර කළ සංචාරය දුම්රිය පද්ධති කිහිපයක ප්‍රායෝගික වෙනස්කම් වටහාගැනීමට මට මනා රුකුලක් විය. එහිදී මට දැකගත හැකි වූ එක් සුවිශේෂ අංගයක් වූයේ දැන් ඉවත් කර ඇති සිඩ්නි මොනෝරේල් පද්ධතියයි. 1980 දශකය අගදී ඉදි වූ මෙය, 2013දී වසාදැමීමට තීරණය විය. මේ සිදුවීම කියාපාන්නේ පද්ධතියක් කොතරම් ආකර්ෂණීය වුවත් එය පොදු ප්‍රවාහන ජාලය සමඟ මනාව බද්ධ නොවන්නේ නම් ඊට පැවැත්මක් නැති බවයි. මීට ප්රතිවිරුද්ධව, සිඩ්නි නුවර සැහැල්ලු දුම්රිය ක්‍රමවත්ව වර්ධනය වන අයුරු මම දුටුවෙමි. මෙට්රෝ හා සාමාන්ය දුම්රිය සේවා මෙන්ම මුහුදු යාත්රා සේවාද ඒ නගරයේ ප්‍රවාහන අවශ්‍යතා යහමින් සපුරාලයි.
එවැනිම වූ බහුවිධ ප්‍රවාහන ක්රම සහිත නගරයකි, දැනට මා ජීවත් වන තුර්කියේ ඉස්තාන්බුල් නගරය. මා එහි අධිවේගි දුම්රිය ව්‍යාපෘතියක උපදේශකවරයකු ලෙස කටයුතු කරමි. ඒ ව්‍යාපෘතියෙන් කෙරෙන්නේ ආසියාව හා යුරෝපය යා කරන පැරණි අන්තර් මහාද්වීපික මාර්ගයට සමාන්තරව නව අධිවේගි මාර්ගයක් ඉදි කිරීමය. මෙය මීට පෙර මා දුටු නාගරික දුම්රිය පද්ධතිවලට වඩා හාත්පසින්ම වෙනස් යෝධ ව්‍යාපෘතියකි. අධිවේගි දුම්රිය යනු රටක දිස්ත්රික්ක හෝ ප්රධාන නගර අතර සබඳතාවයි. සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර් 200 ඉක්මවන වේගයකින් දිවෙන මේවා, ගුවන් ගමන් සමඟ පවා තරග කළ හැකි මට්ටමේ පවතී. තුර්කියේ අන්කාරා සහ ඉස්තාන්බුල් වැනි ප්රධාන නගර යා කරමින් සිදු කරන මේ ප්‍රවාහන විප්ලවය එරටේ ආර්ථිකය මෙන්ම ජනතාවගේ ජීවන රටාවද සාධනීය ලෙස වෙනස් කරමින් පවතී.
ලෝකයේ පවතින දුම්රිය පද්ධති ගැන කතා කිරීමේදී ඒවායේ ක්‍රියාකාරිත්වය අනුව වර්ග කිහිපයකට බෙදා හඳුනාගත හැකිය. අප සාමාන්‍යයෙන් දකින සාම්ප්‍රදායික දුම්රිය හෙවත් හෙවි රේල් යනු ඕනෑම රටක දුම්රිය ප්‍රවාහන ජාලයේ කොඳු නාරටියයි. වානේ පීලි මත දිවෙන මේවා මගීන් මෙන්ම භාණ්ඩ ප්රවාහනයටද යොදාගන්නා අතර, ශ්රී ලංකාවේ සම්පූර්ණ දුම්රිය ජාලයම මේ වර්ගයට අයත්ය. ඉන් ඔබ්බට ගිය විට හමු වන අධිවේගි දුම්රිය පද්ධති නිර්මාණය කර ඇත්තේ දිගු දුරක් ඉතා වේගයෙන් ගමන් කිරීමටයි. ජපානයේ ෂින්කාන්සෙන් බුලට් දුම්රිය සහ ප්රංසයේ TGV පද්ධති මීට කදිම උදාහරණ වන අතර, මේ පද්ධති ඉදි කිරීම ඇරඹෙන්නේ 1960 දශකයේදිය.
නාගරික ප්‍රවාහනය ගැන සලකා බැලීමේදී මෙට්රෝ පද්ධති සතු වන්නේ සුවිශේෂ ස්ථානයකි. නගරයක් ඇතුළත ඉතා විශාල ජනතාවක් කෙටි වේලාවකදී ප්‍රවාහනය කිරීමට භාවිත කරන මේවා බොහෝ විට පොළොව යටින් හෝ ගුවන් පාලම් මතින් දිවෙන්නේ මාර්ග තදබදයට සම්බන්ධ නොවන පරිදිය. ලංඩන් සහ නිව්යෝර්ක් වැනි නගරවල ප්‍රවාහනයේ ජීවය වන්නේ මෙවැනි මෙට්රෝ පද්ධති වේ. අනෙක් අතට, ශ්රී ලංකාවේ ඉදි කරන්නට ගිය වර්ගයේ සැහැල්ලු දුම්රියවලට එනම ලැබී ඇත්තේ අඩු මගී ධාරිතාව හා නම්‍යශීලිබව නිසාය. මෙට්රෝ පද්ධතියකට වඩා වියදම අඩු බැවින් බොහෝ රටවල් වර්තමානයේ සැහැල්ලු දුම්රිය දෙසට නැඹුරු වන අයුරු දැකගත හැකිය. අලුතින් ඉදි වන අධිවේගි දුම්රිය, මෙට්රෝ හා සැහැල්ලු දුම්රිය විදුලි බලයෙන් ධාවනය වෙයි. බොහෝ දෙනකු නොදන්නා කරුණක් වන්නේ ශ්රී ලංකාවේ ඉදි කරන්නට සැලසුම් කළ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය දුම්රිය දෙපාර්තමේන්තුවෙන් පාලනය නොවන ප්‍රවාහන ජාලයක් බවයි. එය නාගරික සංවර්ධන අමාත්‍යාංශයට සම්බන්ධ වෙනම ආයතනයක් මඟින් පාලනය කරන්නට නියමිතව තිබිණි. අනෙක් අතට, ට්රෑම් දුම්රිය මාර්ග බොහෝ විට පාලනය වන්නේ පළාත්පාලන ආයතන මඟිනි. සාමාන්ය මහාමාර්ගය සමඟ ඉඩකඩ බෙදාගෙන දුවන ඉස්තාන්බුල් ට්රෑම් ජාලය පාලනය කරන්නේ ඉස්තාන්බුල් මහා නගර සභාවය. 1900 අවුරුද්දේ සිට 1960 දක්වා ක්‍රියාත්මක වූ කොළඹ ට්රෑම් සේවාවද පසුකාලීනව පාලනය කර තිබුණේ කොළඹ මහා නගර සභාවය.
සැහැල්ලු දුම්රිය ගැන කතා කරන්නට වසර කිහිපයකට පෙර ශ්රී ලංකාවේ මොනෝ රේල් ජාලයක් ඉදි කිරීම ගැනද කතා බහක් පැවතිණි. මොනෝරේල් පද්ධතිවල ඇති අනාගතවාදි පෙනුම නිසා බොහෝ දෙනා ඊට කැමැත්තක් දක්වති. තනි විශාල පීල්ලක් මත ධාවනය වන මේවා මහා මාර්ගයේ තදබදයෙන් නිදහස් වුවද, එහි ඇති ප්‍රධානතම දුර්වලතාව ලෙස සමහරුන් දකින්නේ අනෙකුත් දුම්රිය පද්ධති සමඟ බද්ධ කිරීමට ඇති අපහසුවයි. පෙර කී පරිදි සිඩ්නි නගරයේ අලංකාරයට දායක වූ මොනෝරේල් පද්ධතිය ගලවා ඉවත් කර ඇති වග මට 2022 දෙසැම්බරයේදීද දකින්නට ලැබිණි.
නගර ප්‍රසාරණය වන විට සහ ලෝකය දියුණු වන විට, අප හමුවේ ඇති සැබෑ අභියෝගය වන්නේ දුම්රියක්, ට්රෑම් රථයක් හෝ මෙට්රෝවක් අතරෙන් එකක් තෝරාගැනීම පමණක් නොවේ. අප කළ යුත්තේ අනාගත අරමුණු හා ප්‍රවාහන අවශ්‍යතාවලට ගැළපෙන, අනෙකුත් ප්‍රවාහන මාධ්ය සමඟ බද්ධ වූ සහ ජනතාවට සැබෑ ගුණාත්මක උත්තේජනයක් ලබා දෙන පද්ධතියක් සැලසුම් කිරීමයි.
සමහර විට අලංකාර පාලමක් මතින් දුවන නවීන සැහැල්ලු දුම්රියකට රටවැසියන්ගේ, සංචාරකයන්ගේ හා ආයෝජකයන්ගේ මානසිකත්වය වඩා දියුණු සුභවාදි මට්ටමකට එසවිය හැකි අතර, එමඟින් ලැබෙන විභවය සාමාන්ය පිරිවැය ප්රතිලාභ විමසුමකින් තේරුම් කරගන්නට බැරි විය හැකිය.
No comments:
Post a Comment