Saturday, November 16, 2024

තුර්කි පාතරාසයක රස ( ඉස්තාන්බුල් දිනපොත 3)

                                               

කෙටි හෝ සංචාරයකට තුර්කියට ගොස් තිබෙනවානම් ඔබ අනිවාර්යයෙන්ම තුර්කි පාතරාසය හෙවත් ලෝක ප්‍රසිද්ධ ටර්කිෂ් බ්‍රෙක්ෆස්ට් එක රසබලා තිබෙනවා නොඅනුමානයි . තුර්කියේ සමාජයීය , සංස්කෘතික හා අහාර රටා ගැන සමස්ත කතාව මේ තුර්කි පතරාසයේ තියෙනවා .

එඬේර යුගයේ සිට තැනින් තැනට ගොස් ජිවත් වූ මේ කලාපයේ ජනයා සිය ජංගම අහර ගබඩා ලෙස රැගෙන ගියේ එළුවන්, බැටළුවන් හා හරකුන් . ඒ නිසා කිරි හා මස් සම්බන්ධ කෑම වට්ටෝරු සිය ගණනක් මේ ජනයා අතරේ තිබෙනවා . චීස් , බටර් හා ක්‍රීම්  වර්ග විශාල ගණනක් ගෘහස්තව නිපදවා ගන්නවා.
මෙන්න මේ හේතුව නිසා තුර්කියේ  පාතරාසය හෙවත් ප්‍රධාන ආහාර  වේල චීස් හෝ බටර් සමග පාන්  මූලිකව  සැකසී තිබෙන්නේ දුරාතීතයේ පටන්මයි . මේ සරල උදෑසන අහර කෙමෙන් කෙමෙන් විකාශනය වීමෙන් අද තිබෙන විචිත්‍ර තුර්කි පාතරාසය නිර්මාණය වී තිබෙනවා  .  

ගේදොර, ගෘහ භාණ්ඩ පමණක් නොව කෑම බීම පවා  විච්ත්ර ලෙස නිර්මාණය කර ගන්නට තුර්කි ජනයා කැමැත්තක් දක්වනවා . පාන් ගෙඩියක වුනත් කැටයම් හා  මෝස්‌තර දමන්නට  ඔවුන් කැමතියි  ,

තුර්කියේ විශේෂ ආහාර වට්ටෝරු හා පුරුදු  බොහෝ තිබෙන අතර ඉන් වැදගත්ම වන්නේ  අහාර ගැනීම සමාජ හා සංස්කෘතික කාරණයක් ලෙස සැලකීම . කොටින්ම ඔවුන්ට පොහොසත් ආහාර  සංස්කෘතියක් තිබෙනවා  .
 
කෑමට පෙර  හමුවන සියලු දෙනා උණුනුන්ට   යහපත් ආහාරයක් වේවා යන අරුතැති  ' ආපියෙට් ඔල්සුන් ' කියා  සුබ පතා ගන්නවා  .සමහර විට උදේට 'ගුඩ් මෝනින්'  කීවත් සද්ද නැතිව ඔහේ ඉන්න සමහරුන් කෑම වෙලාවේදී එකිනෙකාට උණුසුම්ව සුබ පතා ගන්නට පැකිළෙන්නේ  නෑ . තුර්කි ජාතිකයන් උදෑසන අහර වේල  සලකන්නේ දවසේ සුවිශේෂම ආහාරය ලෙසයි. නිවාඩු දවසකනම් අහර පිළියෙළ කර ගන්නට ඉතා සුළු වේලාවකුත් ආහාරය භුක්ති විඳීමට  ඉතා දිගු වෙලාවකුත් ගැනීම ඔවුන්ගේ පුරුද්දක් . මේ තරම් අහර ද්‍රව්‍ය පිරුණු මේසයක් ඉක්මණින්  පිළියෙළ කරන්නේ කොහොමද? එය පහසුයි . මෙහි තිබෙන සියයට අනූවක් පමණ වන චීස් වර්ග, බටර්, යෝගට් මිශ්‍ර ආහාර  , ජෑම් වර්ග , ඔලිව් ආදී සියල්ල සති ගණනකට පෙර  සුදානම් කර ගන්නා ඒවා. එවෙලේ කරන්නට  තිබෙන්නේ අලුත් පාන් ගෙඩියක්, අලුත් කොළ , තක්කාලි හා කියුකම්බා ගෙඩි පෙති ගසා ගැනීමය .
ඉතින් මේ හේතුව නිසා අපට නොලැබෙන වාසියක් ඔවුන්ට අත් වෙනවා . ඒ ගෙදර ගෘහණිය සමග   සියලු පවුලේ සාමාජිකයන් හා අමුත්තන් එක්ව වාඩි වී සොම්නස් කතා බහක යෙදෙමින් බොහෝ වෙලාවක් කෑම  ගැනීම‍ට  ලැබීම. බඳුන් සියල්ල එකවර මේසයේ අසුරා ගන්න නිසා වරින්වර අලුත් දීසි ගෙන ඒමත්  ' අනේ තව ටිකක් කන්ටකෝ' කියා පෙරැත්ත කිරීමක් අවශ්‍ය වෙන්නේ නෑ.

අප  වරක් ගිය ප්‍රාදේශීය සංචාරයකදී නවාතැන් ගත්තේ යුවලක් විසින් පවත්වාගෙන යන කුඩා ගෙස්ට් හවුසියකය. කොටින්ම එය ගෙදරක්මය. සියලු අමුත්තන් වෙනුවෙන්  අහර ගෙනත් තැබුවාට පසු මේ යුවළද අප හා අනිත් අමුත්තන් සමග වාඩි වී අල්ලාප සල්ලාපයේ යෙදෙමින්   අහර ගත්තෝය.  මම මුල්ම වරට සම්පුර්ණ තුර්කි පාතරාසයක  රස වින්දේ ඔවුන්ගේ නිවෙසේදී.

කාර්ය බහුල බව නිසා බොහෝ දෙනෙක්ට ඔය තරම්  කාලයක් අරගෙන නිතිපතා කෑම  කන්නට ලැබෙන්නේ නෑ . ඒත් ඉරිදා දවස නම් ඔවුන් මේ සඳහා වෙන්කරගෙනම තියෙනවා . සෙනසුරාදා මුළු රත්රියම  වැඩිපුර නිදිමරණ බොහෝ නගරවැසියන්  බොහෝ දෙනෙක් ඉරිදා අවදි වන්නේ උදේ දහයෙන් පසුවයි . ඉන්පසු උදේ කෑම දෙන අවන්හලකට ගොඩවන සමහරුන්  තේ බොමින්, දුම් බොමින් පැය දෙකකට වැඩි කාලයක්  වැය  කරන්නේ පාතරාසය ගැනීමට .
වතාවක් අපි වන උයණක්  බලන්නට ගොස් එහි කෙළවරක තිබූ  ප්‍රියමනාප  රෙස්ටෝරන්ට් එකකට ගොඩවැදී  දවල් කෑම ඉල්ලුවේ දවල් දොළහට විතර. අපිව කාරුණිකව පිළිගත් වෙටර්වරයෙක් ඉල්ලා සිටියේ තව  පැය බාගයක් ඉවසා සිටින ලෙස. ' තාම  අපේ කස්ටමර්ස්ලා උදේ කෑම  ගන්න ගමන්'  ඔහු කිව්වේ  සුහද සිනහවක් පාමින් .  මේ පැය  බාගය තිස්සේ  විසල් භෝජනාගාරය සිසාරා බැලුම් හෙළූ   මට පෙනී ගියේ සශ්‍රික හා විචිත්‍ර අහාර මේස වටා ඉඳගෙන නිවී සැනසිල්ලේ සතුටු සාමිචියේ යෙදෙන අතරේ සොම්නසින් කෑම  කන ගැහැණුන් , පිරිමින් හා දරුවන්.

තුර්කියේ සිටින්නේ බෙහෙවින් නවීකරණය වන ජාතියක් නිසා ඔවුන්ගේ අහාර වට්ටෝරුද නිරතුරු නවීකරණය වෙනවා . ඒ වුනත් මේ සියල්ල වෙන්නේ සිය අනන්‍යතාවයද පවත්වා ගනිමින්  . තුර්කි පාතරාසයක අනිවාර්යයෙන්ම පාන් පෙති පිගානක් තිබෙන අතර තේ පෝච්චියක්ද මේසයේ කෙළවරක තිබෙනවා .  ඊට  අමතරව කුඩා කුඩා බඳුන් විස්සක් හෝ තිහක් අතර ප්‍රමාණයක දැමු චීස් වර්ග තුන හතරක්, යෝගර්ට් මුසු කර තැනු  කෑම වර්ග සෝස් , ඔලිව් ගෙඩි වර්ග ඒ අතර වෙයි.
උදේ කෑ ම ගන්න අතරතුර ටියුලිප් හැඩයේ කුඩා වීදුරුවට පුරවා තේ කෝප්ප හතරක් පහක් බීම  ඉතා සාමාන්‍ය පුරුද්දක් .

අපි ගිය ඉරිදා උදේ කෑම  ගත්තේ අපේ නිවාස ආසන්නයේ පිහිටි ප්‍රසිද්ද අවන්හලකින්  . මා සමග ගිය ඉංග්‍රීසි මිතුරා ඇලන්ගෙන්  මේ කෑම  වර්ග අතරින් ඔහු කැමතිම වර්ග දෙක මොනවාදැයි මම ඇහුවා . ඔහු කිව්වේ මීකිරි සමග මීපැණි මුසුව හා බටු සමග මාළුමිරිස් පුළුස්සා සකස් කර තිබූ රස දීසියට වඩාත් කැමති බව  .
අපි දෙදෙනාම කැමති පොදු අහරක් වුයේ මීකිරි  මීපැණි  මුසුවය. තුර්කියේ  මී ගවයන් සිටින බව මා දැන ගත්තේ මේ රස අහාරය ගැන කරුණු විමසද්දිය. ඇත්තටම මේ මුදවපු මීකිරි නොවෙයි.  මිකිරිවලින් ලබා ගත් ක්‍රීම් එකය. එය මී පැණි සමග ගෙන ආවේ අපේ කිරිපැණි රසයට බෙහෙවින් සමාන රහක් .
මම දෙවනියට කැමති වූ  බඳුනනම්  සිහින්ව ලියලා ගත් කැරට්  යා යෝගට් මුසුව.   කියුකම්බා පෙති  සමග මිශ්‍ර කරගත් තවත් යෝගර්ට් බඳුනක්ද තිබුනා.
අපේ මේසයේ තිබුනේ චීස්  වර්ග හතරක්  , ජෑම්  හා චට්නි වර්ග හතරක් , ඔලිව් වර්ග දෙකක් හා ඔලිව් හා ඉරිඟු ඇට දැමූ අච්චාරුවක්, අමු පලා , තක්කාලි පෙති, කියුකම්බා පෙති, කොකෝවා චොකලට්  තවරුම,  බටු හා මාළු මිරිස් ආශ්‍රිත වට්ටෝරු දෙකක අහාර ඇතුළු  අයිතම විසි ගනණක  එකතුවක් . ප්‍රෝටීන් අවශ්‍යතාව සපුරා ගැනීමට බිත්තර තක්කාලි මුසුවක්, විශාල ඔම්ලට් එකක් හා සියුම්ව අඹරාගත් මස් හා තුනපහ මිශ්‍ර ලුණු මිරිසක්ද තිබුන  .

දැන්  ඔබ සිතනවා ඇති මේ සියල්ල සමග අප දෙදෙනාගේ  ආහාර  බිල ඉතා විශාල එකක් කියා. එහෙත් එය ඒ වර්ගයේ ලංකාවේ කෑම  වේලකට වඩා මිලෙන් අඩුයි  . එසේ වන්නේ මෙරට චීස් , බටර් , පාන්, එළවලු හා පළතුරු ඇතුළු මූලික  අහර ඉතා පහසු මිලකට හොඳ තත්වයෙන් මිලදී ගන්නට තිබීම නිසා . කෘෂිකර්මය හා කෘෂි  නිෂ්පාදන බෙදාහැරීමේ ක්‍රියාවලිය ඉතාම ක්‍රමවත්.

අපි මේ අහර බඳුන් සියල්ලෙන් එකක් හෝ මග ඇරෙන්නට නොදී රස බලද්දී එය තුර්කිය වටා ගිය චාරිකාවක් හා සම වුනා  .
ඇප්රිකට් , ෆිග් හා ස්ට්‍රෝබෙරි ජෑම්  රස බලද්දී අපි අන්තාලියාව  හා කළු මුහුද  අද්දර පළතුරු වතුවල ඇවිද්දා .  අඹරාගත්  තල  ඇට  පේස්ට්  එක රස බලද්දී ගොකාවා පළාතේ විශාල කෙත්වතු වල ඔබ මොබ යමින් හිටියා .
වර්ග තුන හතරක් වූ චීස්  වර්ග  රස අපව  කොන්යා දිස්ත්‍රික්කයේ කඳුකර ගොවි  ගම්මානවලට රැගෙන ගියා

තුර්කි  උදේ අහාර වේල කියන්නේ  මුළු තුර්කියම තමයි  . එය තුර්කියට සංචාරකයන් අද්දන බලගතු  කාන්දමක් . 

(මෙය මුලින්ම  පළවුයේ 2024 ඔක්තෝබර් 20 සිළුමිණ පත්තරේය)

Monday, November 11, 2024

ආසියාව, යුරෝපය හා බොස්පරස් -ඉස්තාන්බුල් දිනපොත 2

 

සෙනසුරාදා මම පින්තූර  ප්‍රදර්ශනයක් බලන්න ගියා . ඒක  තිබ්බේ මෙට්‍රෝ ස්ටේෂන් එකක උඩම තට්ටුවේ පිහිටි කලාගාරයේ. උඩම තට්ටුව කිව්වට ඒ  සාමාන්‍ය පොළව මට්ටම. සබ්වේ දුම්රිය මග  තියෙන්නේ මීටර් විස්සක්  විතර පොළව  ඇතුලේ. මේ  ස්ටේෂන් තරමින් විශාලයි. සංකීර්ණයි. හැම එකක්ම කලාත්මක ලෙස නිර්මාණය කරලා තියෙනවා. 

ඉතින්  කලාගාරයේ මේ සතියේ තිබ්බේ හන්ග්රියානු කැමරා ශිල්පින් තිදෙනෙකුගේ පින්තුර. ප්‍රදර්ශනයේ තේමාව ජලය. 

මේ පින්තූර  අතර හංගේරියාවේ ටිස්සා  ගංගාව සම්බන්ධ පින්තූර  කිහිපයක්ම තිබ්බ. ටිස්සා  ගංගාව යුරෝපයේ රටවල් දහයක්  මැදින් එන ඩනියුබ් ගඟේ අත්තක්  මේ ඩනියුබ් ගඟ තමයි කළු මුහුදට වැඩිම වතුර කන්දරාවක් ගේන්නේ. 

ප්‍රදර්ශනය බලල ඉවර වෙලා අපි පේන මානයේ තිබ්බ  කබාටාස් තොටුපළට ඇවිදගෙන ආවා .  තොටුපලට ඔබ්බෙන් පේන විසල් මුහුදු තීරයේ  මගී යාත්‍රා  මෙන්ම වෙළඳ නැව් සෑහෙන ගණනක් එහා මෙහා යනවා . මෙන්න මේ ස්වභාවික මුහුදු ඇළ තමයි බොස්පරස් කියන්නේ . ආසියාව හා යුරෝපය වෙන් කරන අන්තර් මහද්වීපික දේශ සීමාව එයයි . ඒත් පුදුමය කියන්නේ මේ දේශ සීමාවෙන් එතෙර මෙතෙර  තියෙන්නේ එකම නගරයක කොටස් වීම . මම ඉන්නේ යුරෝපියන් කොටසේ . අනෙක් පස ආසියාව. මගේ තුර්කි ජාතික යාලු මිත්‍රයෝ බොහෝ දෙනෙක් ජිවත් වෙන්නේ ආසියානු කොටසේ නොහොත් ඇනටෝලියන් කොටසේ .  ඔවුන් කන්තෝරු ඇරිච්ච හැටියේම ලහි ලහියේ සුදානම් වී බොස්පරස් මුහුදු ජල තීරය   යටින් දුවන මාමරේයි  දුම්රියේ නැගල අනෙක් කලාපයට යනවා. සියුම්ව බලපු කෙනෙකුට  මේ දෙපැත්තේ තියෙන වෙනස්කම්  තේරෙනවා. යුරෝපීයන් කොටසේ තරමක්  තද බදයක් සහිත වාණිජමය ස්වභාවයක් තියෙනවා කියල සමහරු කිව්වට මටනම් හිතෙන්නේ මේ තදබදය මැදින් සුවපහසුව ජිවත් වෙන්න අවශ්‍ය සියලු දේ ඒ කලාපයේ තියෙනවා කියල . බොස්පරස්  සමුදුරු ඇලට ලම්බකව උතුරු දිශාවේ පිහිටි බල්ගේරියානු දේශසීමාව පැත්තට  යනකොට කෙමෙන් මේ ජනාක්ර්ණ බව අඩුවෙනවා.  ඒ වුනත්  ආසියානු කලාපය  තරමක් සරල හා  සශ්‍රික,  ජිවත් වෙන්න වඩා සුදුසු කලාපයක් කියල හිතන මගේ මිත්‍රයන් එක්ක එකඟ වෙන්නත් වෙනවා. 

කිලෝමීටර් තිහක්  දිග   මේ සමුද්‍ර තීරය හෙවත් බොස්පරස් කියන්නේ  ඉස්තාන්බුල් නගරයේ හදවත . මිගමු ජනයාට මිගමු කළපුව වැදගත් වන්නේ යම්සේද ඊජිප්තු වැසියන්ට නයිල් නදිය වැදගත් වන්නේ යම්සේද ඊටත් වඩා බරපතල විදිහට ඉස්තාම්බුල් නගරයටත්, මුළු තුර්කියටමත් , කළු මුහුද ඉවුරේ පිහිටි රටවල් සියල්ලටමත්  , ඩනියුබ් හා ඩොන්  ගංගා හා සම්බන්ධ වෙන අනෙකුත්  රටවලටත් බොස්පරස් මුහුදු මාර්ගය වටිනවා. 

ඉස්තාන්බුල් නගරය දෙකඩ කරන මේ මුහුදු අළ මාර්ගය ලෝක ඉතිහාසයේ වැදගත් කොටසක්, නවීන මුහුදු ගමනාගමනයේත් ලෝක ආර්ථිකයේත් , ජාත්‍යන්තර සහයෝගීතාවෙත් වැදගත් පරිච්චේදයක්. අර මා මුලින් කී පින්තූර ප්‍රදර්ශනයේ දුටු හංගේරියානු ටිස්සා ගංගාව හා සම්බන්ධ ජර්මනිය ඕස්ට්‍රියාව  ඇතුළු යුරෝපයේ රටවල් දහයක් දිගේ එන ඩනියුබ්  ගංගාව වගේම  රුසියානු කලාපය හරහා ගලන අනෙක් ගංගා  දිගේත් ඉතිහාසය පුරා යාත්‍රිකයෝ මේ බොස්පරස් වෙත ඇවිත් එතනින් මධ්‍යදරණී  මුහුදෙන් මහා සාගරයට ප්‍රවේශ  වෙලා තියෙනවා. 

මම ඉස්තාන්බුල් නුවරට ආපු මුල් දවස්වල මේ මහා විසල් නගරය තේරුම් ගන්න පාවිච්චි කරපු බේස්ලයින් එක තමයි බොස්පරස් කියන්නේ. ඒක  හරියට සිතියම් දන්නා කෙනෙකුට කොළඹ නගරය තේරුම් ගන්න බේස්ලයින් පාරේ පිහිටීම හදාරන එක  වගේ වැඩක්.

මට ලැබුණු නවාතැන පිහිටියේ බොස්පරස් තීරයට කිලෝමීටර් හය හතක දුරින්. එතැන ඉඳන් මගී බසයක නැගල  කබාටාස් කියන නැව්තොටට එන එක  මම කැමතිම සති අන්ත ගමනක් . මේ නැව්තොට තරමක් විශාල හා රමණිය යාත්‍රා තොටුපළක්  හෙවත් ජෙටියක්. එතැනින්  මගී  යාත්‍රාවක  නැගල ආසන්නයේම පිහිටි අනෙක් මහද්වීපයේ  පිහිටි නගර උප නගර හා කුඩා දුපත්වලට යන්න පුළුවන් .පැයක් හෝ පැය  බාගයක් ඇතුලත යුරෝපය හරහා ආසියාවට කුඩා යාත්‍රාවක යන ගමන  අශ්වදනියයි .

ඉස්තම්බුල් ආගමනයෙන් ටික දවසකට පස්සේ මමත් තව මිතුරු මිතුරියන් පිරිසකුත් පුරාණ කොන්ස්තන්තිනොපල් නගරයේ ප්‍රසිද්ද නිල්  පල්ලිය එහෙම බලල උද්‍යානයක ගිමන් හරිමින් හිටියා  . හාත්පස තේ සුවඳයි. සිමිට් සුවඳයි. සිමිට් කියන්නේ රවුම් බනිස් ගෙඩියක් වගේ මැද හිස්  ඩෝනට් හැඩයේ ජනප්‍රිය කෑමක්. තිරිගුපිටි බනිසේ තලඇට ඉහපු  මේ සිමිට් එක පලා  චීස් හෝ චොකලට් පේස්ට්  තවරලා  විකුණන්න  තියෙනවා. ඔන්න ඔය සප්පායම ගනිමින් තිබියදී අපි ලඟට ආ මැදිවියේ පුද්ගලයෙක් මෙහෙම  කිව්වා.

"බොස්පරස් දිගේ පැය  එක හමාරක යාත්‍රා සවාරියක් යන්න කැමතිද?  එක්කෙනෙකුට යුරෝ විස්සයි. යුරෝපය පැත්තේ  ඉවුර දිගේ  කළු මුහුද කිට්ටුවටම ගිහින් ආසියාව පැත්තෙන් ආපහු එන්නේ. ඉවුරු දෙකේම තියෙන වැදගත් ස්ථාන, මාලිගා එහෙම විස්තර කරලා පෙන්වනවා . 

අමුත්තාගේ කතාවෙන් වශී වුන අපි හවස උස්කුදාර් කියන ආසියානු  කලාපයේ කුඩා නගරය බලල රෑට කෑම  කාලා එන සැලැස්ම අවලංගු කරලා මේ ගමන යන්න තීරණය කළා . 

 කටකපල සෙනග හිටි යාත්‍රාවේ  ශබ්ද විකාශන යන්ත්‍රයෙන් ඒ ඒ විශේෂිත වූ ස්ථානය අසලින් යනකොට ප්‍රමාණවත් පැහැදිළිලි කිරීමක් ප්‍රචාරය වුනා  . යුරෝපීය ඉවුරෙයි ආසියානු ඉවුරෙයි තියෙන මනරම් ගොඩනැගිලි  හා වැදගත් ස්ථාන බලාගෙන විස්තරෙත් අහගෙන මූළු  ගමන ගිහින් එන්න පැය දෙකක් විතර ගත වුනා .  මේ ගමනේදී මුළු බොස්පරස් තීරයම  ආවරණය වුණේ  නැතත්  සති කිහිපයක් ලියන්න තරම් තොරතුරු ලැබුණා.

වාණිජ නිෂ්පාදන, ඛනිජ තෙල් හා ධාන්‍ය  රුසියාව, යුක්රේනය වගේ රටවල ඉඳන් පිටත ලෝකයට අරන් යන්නේ මේ මුහුදු තීරය  දිගේ.  නාවුක  අංශයේ වැඩ කරන මගේ යහළු මිත්‍රයෝ නිතරම කියනවා බොස්පරස් ඇවිත් බංකරින් කරපු කතා . බංකරින් කියන්නේ මුහුදු යාත්‍රාවලට තෙල් සැපයුම්  කිරීම . ඉස්තාන්බුල්වල තියෙන බංකරින් තොටුපළ ඉතා ප්‍රසිද්ධයි . මේ ඇළ  අයින දිගේ කාර්ය බහුල වරායවල් කිහිපයකුත් තියෙනවා. 

බොස්පරස් කියන්නේ කළුමුහුදට තියෙන එකම පිටවීමේ මාර්ගය . බොස්පරස් දිගේ යන යාත්‍රා තුර්කි භුමිය  තුලම පිහිටි මාමරා මුහුද හරහාත් යන්න ඕනි , එතනින් පසු  ඒජියන් මුහුදටත් ඉනුත් ඉක්බිති මධ්‍යධරණී මුහුදෙන් මහා සාගරයටත් ප්‍රවේශ වෙනවා.

මෙන්න මේ නාවික ගමනාගමන කේන්ද්‍රය නිසා හා තවත් නොයෙකුත් හේතු නිසා තමයි ඉතිහාසයේ වරින්වර ලෝකයේම  අග නගරයක්  හැටියට ඉස්තාන්බුල් නගරය ඉස්මතුවෙලා තියෙන්නේ.

(මෙය මුලින්ම පළවුයේ 2024 ඔක්තෝබර් 13 වන දින ඉරිදා සිළුමිණ පත්රයේය )

 

Wednesday, November 6, 2024

අශ්ව කරත්ත පාරේ ගිය උඩුගුවන් යානා - සිළුමිණ ඉස්තාම්බුල් දිනපොත 1

 

(2024 ඔක්තෝබර්  06 පටන් සිළුමිණ පත්තරේ පළවන ඉස්තම්බුල් දිනපොතේ මුල් කොටස් සති කිහිපයක් ප්‍රමාද වී හෝ   තිලකසිතේ වෙනම කොටසක පළ  කරන්න තීරණය කළා.)

ම ඉන්නේ මානව ඉතිහාසය පුරා ජනී ජනයා එහාට මෙහාට ගිය මංමාවත් ජාලයක්  එකතු වෙන හන්දියක.

එහෙන් සේද මාවතේ බලසම්පන්න කේන්ද්‍රස්ථානයක් . අනෙක් පැත්තෙන් අධිරාජ්‍ය බර ගානක අගනුවරක්. දැන් වුනත් ගුවන් ගමන්වල , දුම්රිය ගමන්වල ආසියාව හා යුරෝපය යා කරන කාර්ය බහුල මංසන්ධියක් . 

මම කරන රස්සාවටත් සම්බන්ධ නිසා කොච්චි  පාරවල් ගැන ටිකක් වැඩිපුර කතා කරන්න වෙනවා. මට නිතර හම්බවෙන යාලුවෝ ගොඩක් වෙලාවට ඒවා  සම්බන්ධ රාජකාරි කරන අය  නිසා මේ තත්වය තවදුරටත් බරපතල වෙනවා. 

ලෝකයේ දෙවැනියට භූගත දුම්රිය මාර්ගයක් හෙවත් සබ්වේ එකක් හදල තියෙන්නේ තුර්කියේ . ඒ ඔටෝමාන් අධිරාජ්‍යය කාලේ 1875 දී . ලෝකෙන්ම පළමු සබ්වේ එක ලන්ඩන් නුවරදී හදල යන්තම් අවුරුදු 13 කදී . තුර්කියේ කිලෝමීටර් 12,500කට වැඩි කෝච්චි පාරවල් තියෙනවා. ඉනුත්  සියයට විස්සකට වැඩිය විදුලි දුම්රිය .

තුර්කියේ ඉඳල කෝච්චියේ නැගල යුරෝපේ ඕනි රටකට යන්න පුළුවන් .  ඉස්තාම්බුල්  නුවරින් කොටසක් තියෙන්න භුගොලියව යුරෝපේ.  ලෝක ප්‍රසිද්ධ අන්තර් මහද්වීපික  සුඛෝපභෝගී දුම්රිය ඔරියන්ට්  එක්ස්ප්‍රස්  1979 වනතුරු ඉස්තාන්බුල් නුවරට ආවා . මේ දුම්රිය පුරාවෘතයක් . ච්ත්‍රපට හා නවකතා බරගාණක පසුබිමේ දිවෙන්නක්. එය ඉස්තාන්බුල් ඇවිත් ගිමන් හරිපු  පරණ ඉස්ටේෂම බලන්න ලඟදි අපි යනවා. ඒ ගියාම ඒ ගැන ලියන්නම්. 

   ඒ විතරක් නෙවෙයි රුසියානු කලාපයේ බොහොමයක් රටවලට ඉස්තාම්බුල් නුවර ඉඳල  කෝච්චියේ යන්න පුළුවන්. ඒත් ඉස්තාම්බුල් ඉඳන් යුරෝපෙට කෝච්චියේ යනකොට වගේ නෙවෙයි රුසියානු කලාපයට යනකොට අලි අකරතැබ්බයකට මුහුණ දෙන්න වෙනවා . මෙහෙන් යන කෝච්චි පාරේ  පළල නෙවෙයි ඒ පැත්තට යනකොට .  ලෝකෙට එක සම්මුතියක් හදා ගන්න බැරි වෙච්ච  දේවල් ගොඩක් තියෙනවා ඉන් එකක් තමයි කෝච්චි පාරවල පළල .

තුර්කියේ භාවිතා වෙන්නේ යුරෝපය පුරා හා ලෝකයේ සියයට  පණහකට  වඩා කෝච්චි පාරවල භාවිතා කරන ස්ටීවන්සන් ගේජ් එක . ජෝජ් ස්ටීවන්සන් ගැන අපි අහල තියෙන්නේ ලෝකයේ පළමුවරට මගී ප්‍රවාහන දුම්රිය නිපදවපු ඉංජිනේරුවා හැටියට. ඔහු සිවිල් හා යාන්ත්‍රික ඉංජිනේරුවෙක්. නවීන දුම්රිය ගමනාගමනයේ පියා හැටියට හඳුන්වන්නේත් ඔහු. ඒත් ඇත්තටම ඔහු සම්මානයට පාත්‍ර වෙන්න ඕනි ලෝකය පුරා  සම්මුතියකට එන්න බැරි වෙලා තිබ්බ කෝච්චි පිලී  දෙකක් අතර ඇතුළෙන් ඇතුළ දුර  සඳහා සුම්මුතියක් හදල දුන්න එකට. අදටත් යුරෝපයේ, තුර්කියේ , චීනයේ, ඇමෙරිකාවේ, කැනඩාවේ  හා ඕස්ට්‍රේලියාවේ භාවිතා වෙන්නේ ස්ටීවන්සන් ගේජ් එක හෙවත් අඩි  හතරයි අඟල් අටහමාරක් වන ගේජ් එක .  ඒත් තාමත් මේ රටවල් වලම වුනත් සමහර පාරවල ගේජ්  අතර මද මද වෙනස්කම් තියෙනවා. 

පුදුමයකට වගේ ලංකාව ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය හා සමහර ලතින් ඇමෙරිකානු රටවල පමණක් වෙනමම ගේජයක් භාවිතා වෙනවා . මේක ස්ටීවන්සන් ගේජ් එකට වඩා පළලින් වැඩියි . අඩි පහ හමාරයි. කැළණි වැලි  දුම්රිය මාර්ගයේ විතරක් 1992 වෙනකම් ඉතා කුඩා අඩි  දෙක හමාරක් පළල ගේජයන් පාවිච්චි වුනා. 

ඉස්සර සෝවියට් සමුහාණ්ඩුවට අයත් වෙලා තිබ්බ රටවලට  විශේෂිත වූ වෙනමම ගේජයක් තියෙනවා. මෙය අඩි  පහකට ආසන්නයි . 

මෙන්න මේ හේතුව නිසා තමයි මම අර මුලින්ම කිව්වා වගේ එකම කෝච්චියේ යුරෝපෙට යනවට වඩා කරදරකාරියි ඉස්තාම්බුල් ඉඳන් රුසියානු කලාපයට යන්න . ඒත් යනවා . මේ කෝච්චි පීලි අතර පරතර වෙනසට මුහුණ දෙන්නේ කොහොමද ?

ඉස්තාන්බුල්  සිට පැරණි සෝවියට් කලාපයට ඇතුල් විය හැකි මාර්ග කිහිපයක් තිබෙන අතර සෑම දුම්රියක් පළමුව බල්ගේරියවටත් ඉන්පසු රුමේනියාව හරහාත් යා යුතු වෙනවා. රුමේනියාවේ සිට මොල්දාවියා පැත්තෙන් යනවානම් ඒ දේශ සිමවේදීත් යුක්රේනය පැත්තෙන් යනවානම් ඒ දේශ සිමවේදීත් මේ ගේජ් වෙනසට අනුව වෙනත්  යාන්ත්‍රික චැසියකට දුම්රිය එහෙම පිටින් මාරු කිරීම හෝ මගීන් බස්සවා වෙනත් දුම්රියකට මාරු කිරීම සිදු කරනවා. 

මෙන්න මේ ක්‍රියාවලිය අවුරුදු  එකසිය ගණනක් තිස්සේ නිතිපතා සිදු වෙමින් තිබෙනවා. ළඟදීම මේ මාර්ගයේ ගමනක් යන්නට බලාපොරොත්තු වෙන නිසා තව ටිකක් සවිස්තරව ලියන්න පුළුවන් වෙයි. 

 මේ රේල් ගෙජ් ගැන කතා කරමින් සිටිද්දී නැගෙනහිර රෝම අධිරාජ්‍යය හෙවත් බයිසන්ටින් අධිරාජ්යයේ අගනුවර වෙච්ච පරණ කොන්ස්තන්තිනොපල් නගරය ගැන නොකියම බැහැ .  චිර ප්‍රසිද්ද කොන්ස්තන්තිනෝපලය කියන්නේ වත්මන් ඉස්තාන්බුල් නගරයෙන් කුඩා කොටසක. මෑත දශක කිහිපයේදී ඉස්තාන්බුල් නගරය නොසෑහෙන්න ව්‍යාප්ත වෙලා තියෙනවා. 

ඉතිං මේ  නැගෙනහිර රෝම අධිරාජ්‍යය සෞභාග්‍යයෙන් උතුරන සමයේ අශ්ව රේස් වලට ප්‍රසිද්දයි . ඒ තරග පැවැත්වූ ක්‍රීඩාගාරවල නටබුන් අදටත් තියෙනවා. මෙන්න මේ අශ්ව කරත්ත ගල් අතුරාපු වීථි දිගේ ගිහින් ගිහින් හැදිච්ච  රෝද සලකුණු අතර දුර තමයි පසු කලක  දුම්රිය ගෙජ් වලට ගත්තේ කියල කතාවක් තියෙනව. ඒක බොරුවක් කියල කියන පිරිසකුත් ඉන්නවා. මොකද මෙච්චර තාක්ෂනය , සන්නිවේදනය දියුණු කාලේත්  දුම්රිය පිළී දෙකක් අතර පරතරයට එක සම්මුතියක් නැතිකොට අශ්ව කරත්තවලට   එහෙම සම්මුතියක් තියෙන්නේ කොහොමද? එහෙම සම්මුතියක් තිබ්බා කියන්නට කිසිම සාක්ෂියක් තාම  හම්බ වෙලා නෑ . ඒත් සමහර එකඟතා එන්නේ භාවිතයෙන්. කතා කර ගත්තේ නැති සම්මුති තියෙන්න පුළුවන්. 

මේ කතාව ඇත්ත කියල පිළිගන්න මගේ මිත්‍රයෙක් කියන්නේ රෝම අශ්ව කරත්තවල රෝද අතර  දුරට අභ්‍යවකාශ යානා වලත්  සම්බන්ධයක් තියෙනවා කියල. 

ඒක ටෙක් ප්‍රලාප ගොන්නට වැටෙන  කතන්දරයක්.  වෙන්නේ මෙහෙමයි . අභ්‍යවකාශයට යවන නවීන  රොකට් ප්‍රමාණයෙන් සෑහෙන්න දිගයි. මේවා හදන්නේ අභ්‍යවකාශ මධ්‍යස්ථානේ ඉඳන් සෑහෙන   දුරක පහිටි කර්මාන්ත ශාලාවල . මේ කර්මාන්ත ශාලාවල ඉඳන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයට කොටස් වශයෙන් ගෙනියන්නේ කෝච්චිවල . ඉතින් ඒ පාරේ ප්‍රමාණයට හරියන්න තමයි රොකට්වල ප්‍රමාණය සැලසුම් කරන්නේ .  මෙන්න මේ හේතුව නිසා තමයි රෝමන් අධිරාජ්‍යයේ අශ්ව කරත්ත  , නවීන  අභ්‍යවකාශ යානා අතර නෑ කමක් ඇති වෙන්නේ . 

මේ කතාව  ඇත්ත උනත් නැති වුනත් අතීතය රෝම අධිරාජ්‍යය හරහා ඉස්තාන්බුල් නගරයට ඇවිත් , බල්ගේරියාව, රුමේනියාව හරහා රුසියානු කලාපයට දිව යනවා විතරක් නෙවෙයි අඟහැරු ග්‍රහයා වෙත වුනත් යන්න  පුළුවන්. අනෙක් අතට මුලින්ම රෝදය සොයා ගත් බැබිලොනියන්වරු හිටි මෙසපොතේමියන් සිෂ්ටචාරය පැතිරුණේ යුප්‍රටීස් ටයිග්රිස් ගංගා  නිම්න ආශ්‍රිතව. මේ ගංගා දෙකේ උපත සිදුවන්නේ තුර්කියේ දකුණුදිග කොටසේ. එහෙව් රටේ පුරාණ  අගනුවර ඉඳන් ලියන මේ දිනපොත අතීතය, වර්තමානය හා අනාගතය යා කරන සටහන් පෙළක් කරන්නයි මම සැරසෙන්නේ .

(මෙය මුලින්ම පළවුණේ 2024 ඔක්තෝබර්  06 සිළුමිණ පත්තරයේය.  )

Sunday, September 29, 2024

කටාර් කිරි ඕස්ට්‍රේලියන් කිරි හා අපේ කිරි -1

මේ පින්තුරය ගත්තේ කටාර් නව ජාත්‍යන්තර ගුවන් තොටුපලේදිය . කලාපයේ තිබෙන විශාලම හා නවීන පහසුකම් තිබෙන ගුවන් තොටුපලකි . සමහර විට මම කටුනායක ගුවන්තොටුපලට වඩා වැඩි වර ගණනක්  කටාරයේ පැරණි හා අලුත් ගුවන්තොටුපලට ගොස් තිබෙනවා විය හැකිය. 

2009 හා 2010  අවුරුදුවලත්  2012 අවුරුද්දේ මුල සිට 2016  අවසානය  දක්වා මම කටාරයේ සේවය කළෙමි . ඒ කාලයේ මහා මාර්ග පද්ධති රාශියක් සමග නව ගුවන් තොටුපල ඉදිකිරීමේ එක් උපදේශක සමාගමක් වුයේ මා සේවය කළ  සමාගමයි .  මේ ගුවන්තොටුපල වාගේම කටාර් ගුවන් සමාගමත් සැහෙන ප්‍රසිද්දය. ඔවුන්ගේ කාගෝ ගුවන් සේවය වඩාත් ප්‍රසාදයට ලක් වුයේ 2017 අවුරුද්දේ කටාරයේ කිරි ප්‍රශ්නය විසඳීමට එළ දෙනුන් හාරදහසක් කඩිනමින් ප්‍රවාහනය කර දීම නිසාය.

පසුගිය අවුරුදු විස්ස ඇතුලත  විවිධ රාජකාරි හා සංචාර සඳහා නොයෙක් රටවල් වලට ගියත් මට  එක දිගට මාසයකට  වඩා ඉන්නට සිදු වූ රටවල්නම්   ශ්‍රී ලංකාව, කසක්ස්තානය, කටාර්, ඔස්ට්‍රේලියාව හා තුර්කියයි , මේ  සියල්ල  අතරින්  ශ්‍රී ලංකාව හැර  අනෙක් සියල්ල මුළුමණින්ම හෝ ආසන්න වශයෙන් සිය සමස්ත කිරි අවශ්‍යතාව රට තුල නිපදවා  ගනී . වෙනකක් තබා අර්ධ කාන්තාර කුඩා රටක් වූ  වූ කටාර් රාජ්‍යය 2017 දී  මුහුණ පෑ අපනයන තහනමක් නිසා තමන්ගේ කිරි අවශ්‍යතාවයෙන් සියයට අසුවක් පමණම රට තුලම  දොවා ගන්නට පියවර ගත්තේය . මේ කතාව හරි අපූරුය 

කටාරයේ  වැසියන්ට නිතිපතා කිරි , චීස් , බටර්, යෝගට් ආදී කිරි ආශිත අහර  වුවමනාය.  2017 ට  පෙර ඔවුන්ගේ කිරි ආශ්‍රිත ආහාර සියල්ලම පාහේ අසල්වැසි රටවලින් ආනයනය කෙරිණි.  2017 දී අසල්වැසි රටවල් සමග ඇති වූ අර්බුදයක් නිසා අපනයනය  නතර වීමත් සමග කටාර් රජය මුහුණ පෑවේ දරුණු අර්බුදයකටය . වහා  ක්‍රියාත්මක වූ රජය මුලින්ම ගුවන් මගින් කිරි හරකුන හාරදාහකුත් ඉන්පසු එවැනිම ගණනක් මුහුදු යාත්‍රා මගිනුත් ගෙන්වා ගත්තේය. ඊට සමාන්තරව  ගව සම්පත රැකබලා ගන්නට අවශ්‍ය වායු සමනය කරන අලද ගාල් , නිෂ්පාදන හා බෙදා හරිම ක්‍රියවලිය සඳහා අවශ්‍ය සමාගම් හා ආයතන රාමුවද ද ලහි ලහියේ සකස් කෙරිණි. 

ඒ ගැම්මෙන්ම රටේ කිරි සැපයුම නොකඩවා  පවත්වා ගැනීමටද පුළුවන් වුනේය . ඒ විතරක් නොවේ අවුරුදු කීපයක් ඇවෑමෙන්  ආසන්න එශයෙන් කිරෙන් ස්වයංපෝෂිත රටක් වුනේය. තව ඉවර නැත . ඉදිරියටම යමින් තිබේ.  නොබෝ කලකින් කටාරය  හෙවත් අර පර්සියන් මුහුදේ පිහිටි  ඇඟිල්ලක් හැඩයේ  වැලිපරය කිරි බුරුල්ලක් කරගෙන කිරි අපනයනය කරන්නටද ඉඩ තිබේ. 

දැන් ප්‍රශ්නය ශ්‍රී ලංකාව වගේ රටකට ඔය වැඩේ කරන්න පුලුවන්ද? ආපෝ කටාර් කාරයින්ට තෙල් සල්ලි තියෙනවා . අපට පුලුවන්ද හරක් හාරදාහක් අහස්යාත්‍රා වලින් ගෙන්නලා කිරි කර්මාන්තෙ දියුණු කරන්න  කියා ඔබට සිතෙනු ඇත .

ඒත් පුදුමයට කරුණ නම් 2017 අවුරුද්දේ අපේ රටටත් කිරි හරක් 4000ක් ගුවනින් ඇවිත්  තිබීමය. එපමණක් නොවේ කිරි දෙනුන් විසිදහසක් දක්වා ආනයනය කරන දීර්ඝ කාලින සැලැස්මක් තිබුනේ  වසරකය  කිරිපිටි ගෙන්වීමට යන ඩොලර් මිලියන තුන්  හරසියය ඉතිරි කර ගැනීමේ අරමුණිනි . අනික  යෝගට් එකක්, චීස් පෙත්තක් හෝ බටර් ටිකක් බහුතරයක් දෙනාට මිලදී ගන්නවා තබා හිතන්නටවත් බැරි තත්ත්වයෙන් මුදන්නටය .ඉතින් අර ගෙන්වූ කිරි දෙනුන්ට හා පොරෝත්තු  ලේඛනයේ සිටි උන්ට සිදු වුයේ කුමක්ද? ඒ වැඩෙන් ලංකාවේ කිරි ගොවිතැනට එකතු වූ අගය කුමක්ද?

මෙන්න මේ ප්‍රශ්නයට උත්තරය ගවේෂනාත්මකව හොයා ගත්තොත් ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තය  සංවර්ධනය කරන්නට තිබෙන බාධක එකින් එක හඳුනා ගන්නට ලැබෙනවා ඇත . 

සමහර පුවත් වාර්තා කලේ  මුලින්ම ගෙනා හරකුන් එක එකා මිය ගිය බවය . මේ සිද්දිය ගැන ලංකාවේ පත්තර වලටත් වඩා නවසීලන්තයේ හා ඕස්ට්‍රේලියාවේ කතා වුනා වෙන්නට පුළුවන . කෝප් වාර්තා වලටද ඇතුලත් වූ බව කියයි.  ලස්සනම වැඩේනම්  ඇමෙරිකානු ඩොලර් මිලියන ගණනක  හරක් ගෙවීමේ ප්‍රොජෙක්ට් එකේ ඔස්ට්‍රේයාලියනු  පාර්ශවකරු සමග අත්සන් කරන ලද ගිවිසුමේ මුල් පිටපත අතුරුදන් වී ඇති බව වාර්තා වීමයි . 

ඕස්ට්‍රේලියාවේ සිට කිලෝමීටර් හත් අටදාහක් දුර ගෙවා ගුවනින් ගෙනෙන ලද ගවයෙකු අපේ රටේදී මිය යාම මොන තරම් ලොකු කතාවක්ද? එකෙකු නොව දහස් ගණනක්  ?  ආණ්ඩුවෙන් සල්ලි ගෙවා ගෙන්නා දුන් හරකුන් ගොවියන්ට දුන්නේ නිකම්ම නොව පසුව ගෙවීමේ ණය  මුදලක් වශයෙනි . මේ නිසා සමහර ගොවින් හා ව්‍යාපාරිකයන් අන්තිමේදී නට්ටම් වූ කතා මා අසා ඇත . 

සමහරුන් කියන්නේ ගෙන්වුයේ ලෙඩ වූ හරකුන් කියාය. සමහරුන් කියන්නේ ඒ වර්ගය ලංකාවේ දේශගුණයට ඔරොත්තු නොදෙන බවය. ගවයින් රැකබලා ගැනීමට අවශ්‍ය යටිතල පහසුකම් අපේ ගොවින් ළඟ නොතිබූ බවද කියවේ. 

නමුත් මේ කිසිවක සම්පුර්ණ ඇත්ත නැත්ත දැනගැනීමට ප්‍රමාණවත්  තොරතුරු මුලාශ්‍ර නැත . මා දන්නා එකම දෙය කිරි ගවයන් ගෙන්වීමේ කාර්යය සමාන්තරව කළ  රටවල් දෙකක් වන ශ්‍රී ලංකාව හා කටාර්  රාජ්‍යය අතරින් කටාර් රාජ්‍යය සිය ව්‍යාපෘතිය පියවරෙන් පියවර ඉදිරියට ගෙන යමින් කිරෙන් ස්වයංපෝෂිත වෙමින් තිබෙන බවය.  

මේ දෙරට සරලව සංසන්දනය කරන්නට බැරිය . කටාරයේ මෙන් දහගුණයක් ජනගහනයක් අපට සිටි . අනෙක් අතට කටාරයට වඩා බොහෝ වාසිදායක භුමි සම්පතක් හා දේශගුණයක් අපට තිබ්බේ. 

ව්‍යාපෘති කළමනාකරණය පැත්තෙන් බලු විට මෙහි ඇති වැදගත් අධ්‍යයන මාතෘකා කිහිපයක් වෙයි . ඒවාට සිංහලෙන් කියන්නේ ශක්‍යතා අධ්‍යයනය, වාසි කළමනාකරණය, පාර්ශවකරුවන් හඳුනා ගැනීම, තොරතුරුවල විනිවිද භාවය, වගවීම හා අවසන් පරිශීලකයා සුදානම් කර තැබීමය.

මේ ගැන තවදුරටත් කතා කරන්නට බලාපොරොත්තු වෙමි .

Thursday, June 13, 2024

බර්නාර්ඩ් සොයිසා හා කෘතීම බුද්ධිය

                                      
නාධිපති ලේකම් කාර්යාලයේ වෙබ් අඩවිය පවසන්නේ කෘතීම බුද්ධිය ව්‍යාප්ත කිරීම සඳහා කාර්ය සාධක බලකායක් සහ වෙනම ආයතනයක් පිහිටුවීමට කටයුතු කරමින් සිටින බවයි .

මේ පුවත සමහර සිංහල පත්තරවල වාර්තා කර තිබුනේ  කෘතීම බුද්ධිය ලංකාවේ සියලු දෙනාට බෙදා දෙන බව කවුදෝ දේශපාලන පොරොන්දුවක් දුන් ආකාරයටය . 

 ඒත් AI කියා අප හඳුන්වන කෘතීම බුද්ධිය වනාහී කිලෝ දහයේ හාල් මළු බෙදනවා වාගේ බෙදන්නට පුලවන් දෙයක් නොවන බව පහදා දෙන්නට කවුරුවත් උත්සහ කර නොතිබිණි .
 කෘතීම බුද්ධිය උපයෝගී කරගෙන ලෝකයා බොහෝ සෙයින් වැඩ ගනිමින් සිටින අතර අප වැඩ කරන ව්‍යාපාර කළමනාකරණ අංශයේද කිසියම්  කැළඹීමක්  කරමින් සිටී .

මේ ගැන මම විද්වතුන් පිරිසක් අමතා දෙසුමක් ගිය සතියේ කළ  අතර තවත් එවැනිම දෙසුමක් ලබන සතියේ කරන්නට තිබේ . මේ හැමතැනදිම මම  කෘතීම බුද්ධිය සම්බන්ධ පවතින මිත්‍යා මත කිහිපයක්  සම්බන්ධව කියමි  .

 පළමුවන මිත්‍යාව නම්  කෘතීම බුද්ධිය හෙවත් ඒ අයි යනු මහා මැජික් එකක් යයි සිතීමය , දෙවැන්න ඒ අයි , මැෂින් ලර්නින් හා චැට් ජී පී ටී වැනි ජෙනේරටිව් ඒ අයි යන සියල්ල එකක් බව සිතීමය . තෙවැනි මිත්‍යාව වන්නේ ඒ අයි වලින් වැඩ ගැනීමට ඒ සම්බන්ධ උසස් තාක්ෂණ දැනුමක් තිබිය යුතු බව සිතීමය , සිව්වනුව ඉතා ඉක්මනින් මිනිසුන් ඉවත් කර ඒ තැනට ඒ අයි පත්විය හැකි බව සිතීමය , අවසාන මිත්‍යාව මේවා ගැන  උගන්වන්නට හා ලියන්නට එන අප ඒ අයි දන්නවා කියා සමහරුන්  හිතීමය .

 කෙසේ වෙතත් මීට අවුරුදු තිහකට කලින් 1994 අවුරුද්දේ විදුසර පත්තරේ වැඩ කරද්දී  අප  පටන්ගෙන නිමා නොකළ රාජකාරියක් යලි දියත් කිරීමට  ඒ අයි වලින්වත් පුලුවන් වෙනවා නම් හොඳ නේදැයි මේ   අල්ලපනල්ලේ කල්පනා  කලෙමි. ඒ ජාතික ප්‍රතිපත්ති හැදීමය.  ඒ අංශයේ උණ අපට දශක ගණනාවක් සිට තිබුනත් මේ වෙනකොට  ජාතික ප්‍රතිපත්ති   යන වචනයත් අප්පච්චි, ආප්ප හා පොල් රොටී වගේම හෑල්ලු වී තිබේ.

නව රජයකින් විද්‍යා තාක්ෂණ, සෞඛ්‍යය , අධ්‍යාපනය, ඉදිකිරීම්  ආදී අංශවල ප්‍රතිපත්ති සකස් විය යුත්තේ කෙසේද යන කරුණ අරබයා අදාල හා නම් දැරූ පුද්ගලයන් කීපදෙනෙක් සමග සාකච්චා වට කීපයක්ම විදුසරේ අප කළෙමු  . 1994 අගෝස්තු මැතිවරණයෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක දිනුවාට පසු නොවැම්බර් ජනාධිපතිවරණය පැවැත්වෙන තෙක් අතරතුර කාලයේදී  එම   සාකච්චා පැවැත්විණි . නව රජයේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය කොහොම වෙන්නට ඕනෑ දයි මම සෞඛ්‍ය ඇමති පවුසි සමග සාකච්චා කළෙමි. අධ්‍යාපන ඇමති රිචර්ඩ් පතිරණ සමග දුරකතනයෙන් කතාබහ කරගෙන  සාකච්චාවට දින යොදා ගත්තද එය කල් ගියේය . වාරිමාර්ග අධ්‍යක්ෂවරයා  වූ පසුකලෙක වාරිමාර්ග අමාත්‍යංශයේ ලේකම් වූ විද්‍යාජෝති ඒ  ඩී  එස් ගුණවර්ධන සමග  අපි වාරි සංවර්ධනය හා ඉංජිනේරු විෂයයට අදාල ජාතික ප්‍රතිපත්ති  ගැන කතා කළෙමු .

මේ ජාතික ප්‍රතිපත්ති ගැන කතා බහේදී වැදගත්ම කතා ටික කිව්වේ ඒ වන විටත් අසූ හැවිරිදි වියේ සිටි බර්නාර්ඩ් සොයිසාය , පාලන බලය දරු පොදුජන එකසත් පෙරමුණේ හවුල්කාර පක්ෂයක් වූ ලංකා සමසමාජ පක්ෂයේ නායකයා වූ ඔහු චන්ද්‍රිකාගේ මුල් කැබිනට්ටුවේ විද්‍යා හා තාක්ෂණ ඇමති වුනේය. 
කොළඹ හත විජේරාම මාවතේ පරණ නරේසා කන්තෝරුව තිබුන කුඩා ගොඩනැගිල්ලක අමාත්යංශය තිබුණේය . තමන් සමග කතා කරන්නට ඕනෑ  කී  පත්තරකාරයන් කිහිප දෙනෙක්ම එකම වෙලාවට ගෙන්වා ආලින්දයේ වැඩි කරවාගෙන ඔහේ සැහැල්ලුවෙන් කියවාගෙන යන අතරේ බර්නාර්ඩ් සොයිසා අහන හැම ප්‍රශ්නයටම  උත්තර දුන්නේය . 
මට මතක විදිහට එතන සිටි කිසිවෙක් ඔහුට සර් කිව්වේ නැති අතර සමහරුන් කෙලින්ම බර්නාර්ඩ් කියා කතා කළේය. ඒ ආකාරයේ ඇමතිවරු හා පත්තරකාරයන්  දුටු ආධුනික අපටද යම්  දිරියක් ලැබුණි .

අවිස්සාවේල්ල සාලාව ප්‍රදේශයේ ඉඩමක් වෙන් කරවාගෙන සිංගප්පුරුවේ මෙන් හැමදාම ඇරලා තියෙන විද්‍යා හා තාක්ෂණ ප්‍රදර්ශනාගාරයක් හෝ සයන්ස් පාක්  එකක් හදන්න හිතේ තියෙන බව ඔහු කිව්වේය.  ඊට අමතරව විද්‍යා හා තාක්ෂණ අංශයේ අලුත් ව්‍යාපාර හදාවඩා ගන්නා බිස්නස් ඉන්කියුබෙටරයක් ගැනද ඔහු කිව්වා වාගේ මතකය . 

මේ බිස්නස් ඉන්කියුබේටර්  වචනය මෙතැනින් හෝ කොතනින් හෝ හිතට වැදී ප්‍රශ්චාත් උපාධි පර්යේෂණය සඳහාද තෝරා ගත්තෙමි , ඒ ගැන රිපෝර්ට් එක හදමින් සිටි 2004 අවුරුද්දේ මට ඉංග්‍රීසි පත්තරයක විද්‍යා හා තාක්ෂණ  ඇමති අතින්  බිස්නස් ඉන්කියුබෙටරයක් විවෘත වෙන කතාවක් දකින්නට ලැබුණේය . ඒ වනවිට ඇමතිවරයා වුයේ ලංකා සමසමාජ පක්ෂයේම තිස්ස විතාරණයි. අමාත්‍යංශයට කතා කළ විට එතන සිටි නිලදරුවෙක්  කිව්වේ එහෙම කතාවක් තමන් නොදන්නා බවයි.ඇමතිවරයා දන්නේද තමන් දන්නා දෙයම බවත් කිව්වේය. 

දේශපාලනය හා දේශපාලකයන් පිරිහෙමින් යමින් තිබු ඒ සමයේ  හරියට එක දිගට ගිය බිස්නස් ඉන්කිය්බේටර් එකක් කොහෙවත් නොතිබුණු අතර ගිය අවුරුද්දේ  තොරතුරු සන්නිවේදන තාක්ෂණ  නියෝජිතායතනය හෙවත් ICTA ආයතනය අලුතින් පටං ගන්නා තොරතුරු තාක්ෂණ සමාගම් සඳහා අතහිත දෙන වැඩක් පටන් ගත බව එහි සභාපතිවරයා කිව්වේය. 

 ඒ අයි හා සියලුම තොරතුරු තාක්ෂනයන්  සම්බන්ධ වැඩවලට මූලිකත්වය ගතහැකි සම්පත් හා ආයතනික රාමුවක් ඒ වගේ ආයතනයක තිබියදී  කෘතීම බුද්ධිය සඳහා තවත් ආයතන මක්කටදැයි සිතමින් සිටියදී බර්නාර්ඩ් සොයිසා හදන්නට සිතා සිටි  අවිස්සාවේල්ල  සාලාවේ  තාක්ෂණ උද්‍යානයේ සංකල්ප චිත්‍රයක්  ජෙනේරේටිව්  ඒ අයියා කෙනෙකුට කියා අන්දවා ගත්තෙමි. මේ පෝස්ට් එකේ උඩින්ම තියෙන්නේ එයයි. 

ඒ අයි හා ජාතික ප්‍රතිපත්ති එකට ගැට ගහන්නේ කොහොමද කියලා මම කල්පනා කරමින් සිටින අතර එකට පටලවා හෝ නැතිව හෝ කාලය ලැබෙන පරිදි  ඒ ගැන ලියන්නටද සිතා සිටිමි .








Sunday, April 21, 2024

තුර්කිමය සුබ පැතුම් කලාව

 


එක් සුබ පැතුමකින්  සතියක් ජිවත් වෙන්න පුළුවන් කියා කවුදෝ ප්‍රසිද්ධ පුද්ගලයෙක් කියා තිබේ. සුබ පැතීම් හා ආචාර කිරීම් වැඩිම රටකි තුර්කිය. එහි විශේෂත්වයනම් මේ සුබ පැතුම්වලට කිසිම බේදයක් නැති වීමයි. මහල් පහළොවක නිවාස සංකීර්ණයක එකොළොස්වැනි මහළේ වෙසෙන මම නිතිපතා ලිෆ්ට් එක භාවිතා කරමි. උදේ කලකනම් ලිෆ්ට් එකට ගොඩ වෙනවිට එහි ලොකු කුඩා  ගැහැණු  පිරිමි ඕනෑම වර්ගයක කෙනෙක් සිටියොත් ' ගුණයිදන් ' හෙවත් සුබ උදයක් කියා කීම බොහෝ විට සිදු වේ . ඉන්පසු කොරිඩෝවේ හමුවන පිරිසිදු කරන්නන්, කාර්මිකයන්  කවුන්ටරයේ සිටින තරුණ තරුණියන් එතැනින් යන එන සියලු දෙනා සමග  සුබපතා ගැනීම  අනිවාර්යයෙන් පාහේ සිදු වේ . උදෑසනක්  නොවන අවස්ථාවක අපි ලිෆ්ට් එකට ගොඩ වුනොත් එහි සිටින කවුරුන් හෝ  හොස්  ගැල්දිම්  ( වෙල්කම්) කියා ඉඳ හිට කියයි. ඒත්  හවසකනම් ලිෆ්ට් එකෙන් බැසයන ඕනිම කෙනෙකුට සුබ සන්ධ්‍යාවක් පැතීම සිදු වේ.

දවසේ වැඩකරන තැන්වල සිටින්නන්,  පාරේ පිරිසදු කරන්නන් , කාර්මිකයන් , රියදුරන්, බැංකු නිලධාරීන් ඇතුළු සියලු දෙනා සතුටට පත් කරවන , ඉතාම බහුලව භාවීතාවන  සුබ පැතුමක් තිබෙයි . ඒ 'කොලයි ගය්සම්' ලෙස ශබ්ද  කරවන 'ඔබේ කාරිය පහසු වේවා' වැනි තේරුමක් ඇති  වටිනා සුබ පැතුමකි . මෙය ඕනෑම තරාතිරමක අයෙකුට කියන්නට පුළුවන් දෙයකි. සමාජවාදය රටේ නමෙත් තිබෙන , සියලු සත්වයන්ට මෙත් වඩන අපි කවුරුවත් ගෙදර සේවකයන්ට , නගර සභාවක වැසිකිළිය පිරිසිදු කරන්නන්න්ට සුබ පතන්නේ නැත්තේ එය මදිකමක් කියා සිතන නිසා හෝ එවැනි පුරුද්දක් නැති නිසායා. ඔවුන් සමග එක මේසයේ වාඩි  වී කෑම  ගැනීම වගේ  දෙයක් ගැනනම් හිතන්නේවත් නැත . එහෙත් ධනවාදී රටක් වන මෙරට  සේවකයන්ට හා ලොකු මිනිස්සුනට කියා ආදායමේ හැර වෙනස්කම් කිසිවක් නැති අතර වෙන වෙනම ආපනශාලා , වැසිකිලි හා ආචාර කරගැනීම්  නැත . හැමෝම එකය . 

ඊළඟ ජනප්‍රියම සුබ පැතුමනම්  අහාර පාන  ආශ්‍රිත තිබෙන සුබ පැතුමයි. එය කනට ඇහෙන්නේ ' ආපියා තෝසුම් ' කියාය  ( මේවා මිට වඩා වනස් වචන කීපයක එකතුවකි. මේ  මට ඇහෙන විදිහයි ) යමෙක් තේ එකක් බොමින් සිටියත් කෑමට යමින් සිටියත් , කාලා ඉවරවී එනගමන් සිටියත් , තේ එකක් හදමින් සිටියත් , කෑම  කා පිගාන හෝදමින්  සිටියත් මේ සුබ පැතුම කියන්නට පුළුවන . 

කාර්යාල සංකීර්ණයක පිහිටි අපි දවල් කෑම  ගන්නා කැෆටේරියාවේ කෑමට එන පිරිස දෙසීයකට ආසන්න විය හැකිය. කෑම  බෙදන කිහිප දෙනාමත් කවුන්ටරේ සිටින දෙදෙනාත් එහි එන සියලු දෙනාට ' ආපියා තෝසුම් ' හෙවත් රසවත් භෝජනයක් වේවා කියා කියති. එය එක අයෙකුටවත් වෙනස්ව නොකියන බවත් සැම විටම හෙණ  ගැම්මෙන් ආඩම්බරෙන් හා හිනා මුහුණින් කියන හැටිත් මට නිරීක්ෂණය වී ඇත . සියලු ආකාරයේ ලොකු කුඩා උපකාරයක් හා සුබ පැතුමක් , යහපත් වචනයක් අසන ලබන තැනැත්තා පෙරලා ස්තූති  කරන්නට අමතක නොකරයි. 'ටෙසකුලර්' ලෙස ඇහෙන ඒ වචනය අවසන තව  වචන කීපයක් එක්  වන අවස්ථා එමටය. 

අනෙක් බහුලව භාවිතා වන සුබ පැතීම ' ඊයි  අක්සම්ලර්'  ලෙස මගේ කණට ඇසෙන සුබ සන්ධ්‍යාවක් වේවා කියන වදනයි . කන්තෝරුවෙන් පිටවන විට සියලු දෙනාමද , කොරිඩෝවේ  හමුවන සියලු දෙනාටද, රථ ගාලේ  හමුවන් සියලුදෙනටද එසේම කඩේකින් යමක් මිලට  අරගෙන පිටවන සියල්ලන්ටමද  මේ සුබ පැතුම හිමි වෙයි. 

මා ජිවත් වන සමාගම්  පරිසරය හා නවීන නාගරික කලාපයේ පමණක් නොව තරමක් එපිටදී පවා මේ සුබ පැතුම් හා ආචාර කිරීමේ කලාව දුර්වල නොවන අතර වෙන මොන ඊගෝ  අඩු ලුහුඬුකම් තිබෙන කෙනක් වුනත් තවෙකුට සුබ පතන්නට හෝ ආචාරශීලි වන්නට නොපැකිළෙති . සිය ගණනකට සුබ පැතුවා කියා වෙහෙසට පත් නොවෙති. ඕනිවට වඩා කුළුපග වීමෙන් කරේ නගින්නට එතැයි  භීතියට පත් නොවෙති .

 බොහෝ වෙහස මහන්සි වෙන, නීරස ඒකාකාරී රාජකාරි කරන  හෝ එසේ නොවන සියලු දෙනා දවස පුරා උද්යෝගයෙන් සිටින  හේතු  දෙකක් මම අනුමාන කරමි . පළමුවැන්න මේ සුහද සමානාත්මතාවයයි . දෙවැන්න ඔවුන් ගන්නා සමබළ  ආහාර  වේලයි.

Sunday, February 18, 2024

ඉස්තාම්බුල් ට්‍රෑම්කාර් හා පාපන්දු

 

මේ දවස්වල තරමක් අවිවෙකී වී සිටින නිසා  යන එනගමන් ෆෝන් එකෙන් ලියන ෆේස්බුක් සටහන් කිහිපයක් මෙහි පළ  කරමි 

2024 පෙබරවාරි 18

ඉස්තාම්බුල් නගරයේ ට්රෑම් කාර් සේවාව ඇරඹෙන්නේ 1890දී ය. මුල්ම රථ දිව්වේ අශ්වබලයෙනි. 1912දී විදුලි බලයෙන් දුවන ට්රෑම් කාර් සේවා ජාලයක් කරළියට ආ අතර අතු ඉතිලා වැඩුණු මේ ජාලය පණහේ දශකය වෙද්දී මල්වර වී මාර්ග පණහක් දිගේ ට්රෑම් කාර් දෙසිය පණහකින් දුවන ප්රවාහණ බල ඇණියක් වුනේය. ඒ කාලය වෙනකොට ලෝකය පුරා ප්රවාහණ සේවාවල වෙනස් ප්රවණතා ඇති වෙන්නට පටන් ගත් නිසා ලංකාව මෙන්ම තුර්කියද සිය ට්රෑම් කාර් සේවාව හෙමින් හෙමින් හකුළා ගන්නට පටන් ගත්තේය.

1900වසරේ අර තරම් විශාල ජාලයක් නොවූවද කොළඹ නගරයට ප්රවාහණ සේවය මනාව සැපයූ විදුලි ට්රෑම් සේවය පටන්ගෙන 1960 පමණ වනතුරු දිව්වේය. ඉස්තාම්බුල් නගරයේ ආසියානූ හා යුරෝපීය කොටසේ අරසා විශාලෙට ව්යාප්තව තිබූ ට්රෑම් කාර් සේවාව 1966 වනවිට මුලුමනින්ම හකුළා ගනු ලැබිණි . ඉන්පසු ප්රවාහණයේ අරක්ගත් ලොකු කුඩා මෝටර් රථ මාර්ග තදබදය මවමින් වායු දූශනය කරමින් වාතයක් වෙද්දී ඉස්තාම්බුල් නගර සභාව 1990 පමණ පටන් ආයෙමත් ට්රෑම් කාර් ගැන පෙම් සිතුවිලි පාන්නට වූ අතර නගර සභාවේ සිටි තරුණ උපදේශක ඉන්ජිනේරුවෙක් ප්රවාහණ කටුගේක තිබූ පරණ , කලාත්මක ට්රෑම් කාර් කීපයක් රෙපෙයාර් කරවා සංචාරකයන් වෙනුවෙන් දුවවමුදැයි ගෙන ආ යෝජනාව නගර සභාව ඒකමතිකව පිළිගත් නිසා තක්ශින් නගරයේ හා ආසියානු කොටසේ පැරණි මාර්ග කොටස් දෙකක ඔය පින්තූරයේ පෙනෙන විදිහේ නොස්ටැල්ජික් ට්රෑම් කාර් දුවවන්නට පටන් ගත්තේය. ඒවා දෙස් විදෙස් සංචාරකයන් අද්දන කාන්දම් වුනේය.

1992 එලෙසින් ඇරඹුණු ඉස්තාම්බුල් දෙවන ට්රෑම් කාර් යුගය මේ වනවිට නවීන රථ, මාර්ග හා මෙහෙයුම් පද්ධතිවලින් පොහොසත් වෙමින් තිබෙයි. නගරයේ සමහර මෙට්රෝ මර්ග හා ට්රෑම් සේවා ඉදිකරන්නේ හා පවත්වාගෙන යන්නේ නගර සභාවෙනි. නගර සභාවකට ඔච්චර දෙයක් කරන්නට පුලුවන්දැයි මට මුලින් හිතුනත් එම සැකය දුරු වුනේ කොළඹ ට්රෑම් රථ සේවය 1929 සිට එහි අවසානය දක්වා පවත්වාගෙන ගියේ කොළඹ නගර සභාවෙන් බව කියවූ විටය. නගර සභාවට හා ප්රාදේශීය සභාවලට කරන්න පුලුවන් බොහෝ දේවල් තිබෙන අතර අනේ ඒකට සල්ලි මහ ගොඩක් ඕනිනෙ කියන කතා හා ලංකාවේ ඔය කියන සභා දුප්පත්ය කියා මම පිලිගන්නේ නැත.

අර ඉස්තාම්බුල් නගර සභාවට ට්රෑම්කාර් යළි පටං ගැනීමට උපදෙස් දුන් ඉන්ජිනේරුවා සමග මේ දවස්වල එකම කන්තෝරුවේ වැඩ කරන බවත් සතුටින් ලියා තබමි.

2024 පෙබරවාරි 07 



තුර්කියේ ක්රීඩාලෝලීන්ට ඇත්තේ අමුතුම තාලේ පාපන්දු උනන්දුවකි. මෙරට ජනප්රියම ක්රීඩාව වන පාපන්දු සඳහා වෙන් වූ ක්රීඩාගාර රාශියක් තිබෙන අතර 2002 දී ඉදි කෙරුණු අටාටුක් ස්ටේඩියම් එක ප්රේක්ෂකයන් හැත්තෑ හතර දහසකට අසුන් පැනවිය හැකි ලෝකයේ තිබෙන විශාලම ඒවායෙන් එකකි. නවීන පාපන්දු ක්රීඩාව ජනප්රිය වීම ඇරඹි 19වන සියවසේම අග හරිය වනවිට ඔටෝමාන් පාලනයේ තිබු තුර්කිය පාපන්දු ක්රීඩාව තදින් බදා වැළඳ ගත්තේය. එතැන් පටන් ලෝ පතල ක්රීඩකයන් හා ක්රීඩා සමාජ රාශියක් මේ රටෙන් බිහි වී තිබේ .

මම නිතර යන එන පාර අද්දර පින්තූරේ පෙනෙන්නට තිබෙන රම්ස්පාර්ක් පාපන්දු ක්රීඩාගාරයේ ප්රේක්ෂකයන් 52,000කට ආසන පහසුකම් ඇත. එය ඉදිකර ඇත්තේ 2011 දිය . එහි හිමිකාරිත්වය දරන්නේ සුප්රසිද්ද පාපන්දු සමාජයක් වන ගලටේසාරේ කණ්ඩායමටය. එංගලන්ත ජාතික මා මිතුරා කිව්වේ මීට අවුරුදු පණහකට පෙරත් එම ක්රීඩා සමාජය යුරෝපය පුරා ප්රසිද්ධව තිබූ බවය.

1908 දී එනම් මිට අවුරුදු එකසිය පහළොවකට පෙරත් ප්රේක්ෂකයන් පණස් දහසකට වාඩි විය හැකි පාපන්දු ක්රීඩාගාරයක් ඉස්තාන්බුල් නුවර ඉදි වී තිබේ.
2002 වුරුද්දේ දකුණු කොරියාවේ පැවති ලෝක පාපන්දු කුසලාන තරගාවලියේ තුන්වන තැන හිමි කර ගැනීමත් සමග තුර්කියේ පාපන්දු කිරීඩාව වඩාත් ජනප්රිය විය.

ක්රීඩා සමාජ අතර තරග පැවැත්වෙන දිනවල රම්ස්පාක් පැත්තේ පාරවල ට්රැෆික් වැඩිවෙන නිසා බොහෝ දෙනා හවස්වන්නට පෙර කන්තෝරුවලින් පිටවෙති .
ඒ වගේ දවසක කොණ්ඩේ කපන්න ගිය මට හරි අකරතැබ්බයක් වුනේ අපේ බාබර්වරයා ෆෝන් එකෙන් මැච් එක බලමින් අති උද්යෝගයෙන් ප්රතිචාර දක්වද්දීය.කොණ්ඩය කපන අතරතුර ඔහු මගේ ඔලුව ෆුට් බෝලයක් කියා පයින් ගසාවි යැයි අනියත බියකින් වෙලී ගියෙමි .