Thursday, June 11, 2020

අටවිසි මහල 16 - මනෝට හා අසේලට ස්ථාන මාරු



මේ පලවෙන්නේ අටවිසි මහළ නවකතාවේ දහසයවන කොටසයි. අදින් ඇරඹෙන්නේ කතාවේ තුන්වන  පරිච්වචේදය වන දෙවන මහලයි
මින් පෙර කොටස් මෙතනින් 

මාසයකින් ලියන්නට බැරි වූ දිනපොත අතට ගත් මනෝරන්ජන් කල්පනා කලේ අපහු ලියන්නට පටන් ගන්නේ කොහොමද කියලාය. ඔහු  යන්ත්‍රානුසාරයෙන් මෙන් ලාච්චුව ඇර එහි අඩියේම පරණ ලිපි කරදාසි ගොන්න යට තිබු ලියුම හා කවරය අතට  ගත්තේය.  ආයේ කවදාවත් කියවන්නේ නෑ කියා සිතු ලියුම. මේ ලියුම  ඉතා  අවිහිංසක එකක් වුනත්  ඒ හා බැඳුනු  පුර්ව හා අපර කතා සියල්ල සතුටින් සමරන්නට් හැටියක් නැති වුනත්  ඔහු නැවත වතාවක් ලියුම කියෙව්වේය. මෙවර ඔහුට කලින්වර කියවද්දීට වඩා එහි ගැඹුරක් දැනුනේය.  ලියුමේ  පේලි අතරේ   ඔහු විනාඩි ගණනක් නතර වී සිට අලුතින් හමු වූ  සුන්දර වැකි කියෙව්වේය. මල්  ඉහිරුණ ගඟබඩ  මාවතක්  දිගේ සිහිනයෙන් මෙන් ඇවිද ගියේය . තනිකම සුසුමකින්  විඳ ගත්තේය . ඔහු පිළිතුරක් ලියන්නට තීරණය කළේය . එහෙත් තමා  කිසිදාක ළයාන්විත යමක් ලියා නැති බව සිහිපත් වී යලි උකටලී උනේය. දෑත් බැඳ කල්පනා කළේය . ඔහුට කෝපි කෝප්පයක් බොන්නට හිතුනේය . ඒත් සමග ඔහුට හීල්ලුනේය. සිල්වා අමනාප වී  ගෙදර ගොස් දැන් මාසෙකට වැඩිය. වැඩබිම පාලුය. අලුතින් පත් වී  ආ ගෝලයා මුර කුටිය අසල බිම ඇණ තියාගෙන ඔහේ බලා සිටියි . පෙරේදා දෙවන ස්ලැබ් එක දැමුවාට පසු දින දෙකක්  නිවාඩු ලබාගෙන මිස්කින්ද ගමේ ගිහිල්ලය .

ඔහු නැවත සිය අසුනේ වාඩි වුනේය. අලුත් මිනරල් වතුර බෝතලයක් ගෙන ඉන් ටිකක් බීවේය. අසේලත් නැති,  අම්රිතාත් නැති , සිල්වාත් නැති  වැඩබිමේ ඔහුට කවදාවත් නැති තනිකමක් දැනුනේය . දල්වා ගත් සිගරට්ටුවෙන්ද ඔහුට සැහැල්ලුවක් දැනුණේ නැත .

අන්තිමේදී ඔහු නෙතදරා ට ලියන පිළිතුරු ලියුම වාගේ  දින සටහනක් ලියන්නට සිතා ගත්තේය. "හිතට එන ඕනිම දෙයක් ඉස්සෙල්ල ලියනවා. ප්‍රගති වාර්තාවක් වගේ තිබුනත් කමක් නෑ."

හිතාදර නෙතදරා

නෙතදරා එවූ  ලිපිය ලැබී මාසයකට වැඩිය ගත වුනා  . එවූ ලියුමට උත්තරයක් බලාපොරොත්තු නැති බව අදහස් කර තිබුනා වුනත්  මේ ලියන්නේ මට පැවසීමට ඕනෑම වී තිබෙන දේවල්. . අනෙක් අතට මේ ආදර ලියමනකුත්  නෙවෙයි. අවුරුදු තිස් දෙකක් ජීවත් වීත් මම කවදාවත් පෙම් හසුනක් ලියා නැති බව කීවොත් ඔබ විශ්වාස කරනවාද? ලියුම් ලියා නැතිවට ප්‍රේමය  සම්බන්ධ අත්දැකීම් කිහිපයක් මට තියෙනවා . ඒවා සියල්ල මම කාට හෝ කියන්නට හෝ අඩුම තරමින් ලියා තබන්නට හෝ බලාපොරොත්තු වෙනවා.

නෙතදරා  එවූ ලියුම මම කියෙව්වේ අපේ පළවෙනි ස්ලැබ් එක දැම්ම දවසේ. මම මේ උත්තරේ ලියන්නේ අපේ දෙවන තට්ටුවේ ස්ලැබ් එක දාපු දවසටත් පස්සේ  . පුදුමය කියන්නේ මම  ඒ ලියුම කියවපු දවසෙන් පස්සේ ඊයේ වෙනතුරු සයිට් එක පැත්ත පලාතකවත් නොගිය එක. . එදා ඔයාගේ ලියුම මගේ අතට ලැබුන  දවසේ   රෑ පාන්දර වෙනකම් වෙරල අද්දරට වෙලා නට නටා හිටපු අපි කන්තෝරුවේ මේස පුටුවලම නිදා ගත්තා .

පහුවදා උදේ  රිචර්ඩ් අසේලව එක්කගෙනන ගියා හෙඩ් ඔෆිස් එකට . අම්රිතා තනියම ටැක්සියක්  අරන් ගෙදර ගියා . මට නිදා ගන්න වුනේ නෑ. ඔයාලගේ තාත්තා නන්දෙ ආවා. කලින් දවසේ රෑත් එයා  ඇවිත් ගෝරි දාලා ගිහින් තිබ්බා අසේල මහත්තයාට ගහන්න හොය හොයා. එයාගේ යාලුවා සිල්වාට ගහපු පලිය ගන්න . අපේ කන්තෝරුවේ අත් උදව්වට හිටි සිල්වා එක්ක නන්දේ හිතන්නත් බැරි තරම් කුළුපග වෙලා  හිටියේ. ඒ හිතවත්කම තමයි ගොඩක් කලබල වලට මුල් වුනේ .

මම ඔයාගේ තාත්තා ආවට පස්සේ කියන්න හිටියේ මෙන්න මෙහෙම කතාවක්.
' නන්දෙ ඔහේ දන්නවානේ ඔහේගේ  දුවයි මගෙයි අතර තිබ්බ පුංචිම පුංචි හිතවත්කම ගැන . අර සිල්වා හොරෙන් කියවපු ලියුමේ විස්තරේ ඔහෙත් දන්නවා  කියල මම දන්නවා . මම  ඔහේගේ දුවත් එක්ක මින් පස්සේ කිසිම සම්බන්ධයක් තියා ගන්නේ නෑ, ඒ ළමයා දක්ෂ වාසනාවන්ත ළමයෙක්. එයාට හොඳ අනාගතයක් තියෙනවා . ඒ නිසා මම ඒ ළමයාට ඉගෙන ගන්න කාලෙට ඕනි වියදම් සල්ලි ටික නොකඩවා දෙන්නම් . දැන් මේ ගැන කතා කරා කියලා වැඩක් නෑ. අනික මේ වැඩපල පැත්තේ මින් පස්සේ  ඇවිත් සණ්ඩු සරුවල් කරන්න එපා "

ඒත් නන්දේ එන්න පොඩ්ඩකට කලින් රිචර්ඩ්  මට දීපු අදහස් ටික නිසා මම  නෙත්දරාගේ තාත්තට කිව්වේ මේ වගේ දෙයක්.

" දැන් බලනවා නන්දෙ වෙච්ච දේවල් වුනා. ඔහේගේ දුව මට එවපු ලියුම සිල්වා හොරෙන් කැඩුවා . ඒ විස්තරේ ඔහේ දැනටම දන්නවා ඇතිනේ . දැන් ඒකෙන් කාරී නෑ  ඉස්සසරහට මොනවා වෙයිද කියල මට කියන්නත් බෑ. නෙතදරා  මට වඩා අවුරුදු දහයක් විතර බාල වුනත් අපි දෙන්නම දැන් වැඩිහිටි මිනිස්සුනේ .
ඔහේ සිල්වාගේ යාළුවා නිසා සිල්වාට ගහපු අසේල මහත්තයා හොයනවා නේද අත පය හිරි ඇර ගන්න . ඒ මහත්තයා ගුටි කන්න බය , ගහගන්න බැරි කෙනෙක් නෙවෙයි. ඒත් මේ ගමේ කෙනෙකුයි මෙතන වැඩ කරන මහත්තයෙකුයි  අතර ආරෝවක් ඇති වුනා කියන්නේ අපිට මේ බිල්ඩිම හදන වැඩේ පිළිවෙලකට කර ගන්න වෙන්නේ නෑ. ඒ නිසා කොම්පැනියෙන් අසේල මහත්තයා මාරු කරා. අපේ තව  හෝටලයක් හදනවා දඹුල්ලේ. අසේල මහත්තයා  දැන් එහෙ ලොකු මහත්තයෙක් වෙන්න යන්නේ .
ඔහේගේ දුවත් එක්ක තියෙන සම්බන්දෙ නවත්තලා ඔහෙට මාස්පතා  ගානක් දෙන්නයි මම හිතන් හිටියේ දුවගේ ඉගෙනීමේ වැඩවලට . ඒත් දැන් බැලුවම එහෙම කරන එක තාත්තගෙයි දුවගෙයි  රෙස්පෙක්ට්  එකට හොඳ  නෑ. ඒක නිසා මම ඔහෙට  රස්සාවක් අල්ලලා දෙනවා  . හැබැයි ටිකක් ඈත  පලාතක  . එතකොට ඔය ඉඳ හිට එන වැඩවලින් වගේ නෙවෙයි මාසෙකට ඉස්තිරව අතට කීයක් හරි එනවා. ඉන් කොටසක් කෙලින්ම දුවගේ බැංකුවට හරවන්න පුළුවන් . "

නන්දේ මුලින් මුලින් මගේ යෝජනාවට කැමති වුනේ නැතත්  ගෙදර ගිහින් ඇවිල්ලා වැඩේට කැමති වුනා.  සමහර විට ඒ තීරණේ පිටිපස්සේ ඔයාගේ අම්මා ඉන්න පුළුවන්. මොන තරම් චණ්ඩියා වුනත් නන්දේ ගෙදර උන්දැට ආදරෙයි  කියල ගමම දන්නවා .   ඒ අස්මසේ එදාම මාවත්  හෙඩ් ඔෆිස් එකට මාරු කරල තිබ්බා .

දෙවැනි ස්ලැබ් එක දාලා ඉවර වෙනකම් මට නෑවිත් ඉන්න නියම වුනා . ඒක අණ කිරීමක් නෙවෙයි මිත්‍රශීලී  බල කිරීමක්. ඒ දවස්වල සයිට් එක මුළුමනින්ම මෙහෙයවව්වේ රිචර්ඩ්. අම්රිතා  වෙනදාටත් වඩා මහන්සි වුනා . උදේ හවස මාව බලන්න ආවා. වැඩපලේ විස්තර ඔක්කොම මම දැනන් හිටියා . වැඩපලේ  වැඩ ටිකක් අවුල් වුනා. හිතුවට වඩා කාලේ නාස්ති වුනා. හොරකම් වුනා. මිනිස්සු අස් කරන්න වුනා . එත් අන්තිමේ හිටපු සයිට් ඉන්ජිනේරුවයි, දෙවනියයි දෙන්නම නැතිව වැඩේ කෙරුනා .

ඔයා දන්නවද  රිචර්ඩ් ජීවත් වෙන්නේ බෝට්ටුවක කියල. මමයි අම්රිතයි  අසෙලයි. අසේලගේ අම්මයි . නංගිලා දෙන්නයි ෂෝක් ට්‍රිප් එකක් ගියා රිචර්ඩ්ගේ  බෝට්ටුවෙන් . බොල්ගොඩ විල අයිනේ පුංචි ගේකුයි බෝට්ටුවකුයි මිනිහට තියෙනවා. ඒක හරි අපුරු තැනක් . මම ඒ වෙනකොටත් තේරුම් අරන් තිබ්බේ රිචර්ඩ් කියන්නේ හරි අපුරුම චරිතයක් කියල. මිනිහා ජලජ ජීවිතේකට පිස්සු වැටිලා ඉන්නේ.

අම්රිතා දවස් කීපයක් නිවාඩු දාලා ඉන්දියාවට  ගියා . ඔයා අම්රිතා ගැන කලින් ලියුමේ ලියල තිබ්බ නිසා කියන්නේ. මේ ප්‍රොජෙක්ට් එකේ ඉන්න අපිටම හරි යන පොදු  ජීවිතෙකුයි  අපිටම වෙන් වෙච්ච වෙනස් වීදිවල  පුද්ගලික ජීවිතයි  අපි හතර දෙනාටම තියෙනවා . එහෙම වෙන්න පුළුවන් මේ වගේ එකතුවකට විතරයි කියල මම හිතෙන්නේ.  මගෙත් අසේලගේත් ජීවිත කතන්දර මෙහෙම වෙලා තියෙන්න    අපි කරපු දේශපාලනෙත් බල පාන්න ඇති . අසේලගේ චරිතය ගැන මම වෙනමම හදාරනවා  . තාමත් ආවේගශීලී, තාමත් ලාමක ගතිගුණ අසේල ගාව තිබ්බත් හොඳ හදවතක් තියෙන කොල්ලෙක්  .

ඔයා දන්නවද මම හිතුවේ නෑ තට්ටු විසි  අටේ බිල්ඩිමේ එක තට්ටුවක්වත් මම නැතිව දාන්න පුළුවන් වෙයි කියල. ඒ වගේ ලස්සනට මම වැඩ ටික ප්ලෑන් කරගෙන සංවිධානය කරගෙන හිටියේ . ඒත් පහුගිය මාසෙන් එක දවසක්වත් මට ප්‍රොජෙක්ට් එක පැත්ත පළාතේ එන්න අවසර ලැබුනේ නැතිවත් වැඩ ටික කෙරිලා තිබ්බ. .

මේ හැමදේම පිටිපස්සේ හිටියේ රිචර්ඩ් මිනිහා අපේ සමාගමේ අධ්‍යක්ෂක කෙනෙක් කියලත් අපේ ප්‍රොජෙක්ට් මැනේජර් කියලත්  අමතක වෙන ගානට තමයි අපිත් එක්ක හිටියේ. ඒත් මිනිහා  අහසේ හයි කරපු කැමරාවක් වගේ තමන් ඉන්න තැන බලා ඉන්න ගමන්ම තමයි පොලවේ ඇවිදින්නේ. මට ඒක කලින්ටත් වඩා හොඳට තේරුනේ අපේ  පලවෙනි ස්ලැබ් එක දාපු දවසේ හා ඊට පස්සේ දවසේ එයා හැසිරිච්ච විදිහෙන්.

එදා පහුවදා වෙනකොට මිනිහ තීරණය කරලා ඉවරයි අසේලව මෙතනින් අයින් කරන්න ඕනි කියල. ඒ සිල්වා හරි මිනිහගේ සහචරයෙක් හරි හැංගිලා ඇවිල්ලා හරි අසේලට අනතුරක් කරාවි  කියල හිතපු නිසා . ඊළඟ  එක තමයි එක තට්ටුවක් දාලා ඉවර වෙනකම් මම සයිට් එකෙන් ඈත් කරලා හෙඩ් ඔෆිස් එකේ තියෙන්න ගත්ත තීරණය. ඒක හරි කියන්නේ නෑ. මිනිහ ඔය ගෑනු ළමයින්ගේ හුටපට  ප්‍රේම කතන්දර වගේ ඒවා වැඩිය ගණන් ගන්න කෙනෙක් නෙවෙයි. ඒ වුනත් මට හිතෙනවා රිචර්ඩ් අපි ඒවා ගැන හිතන විදිහ  සංකීර්ණ වැඩියි  කියල අදහස් කරන බව  .

තුන්වෙනි ස්ලැබ් එක දැම්මට පස්සේ අපි හැමෝම  අසේලලා ගමේ ගිහින් දවසක් දෙකක් ඉන්න කතා කර ගත්තා . රිචර්ඩුත් එනවා කිව්වා . අර කාවන්තිස්සපුර යාලුවත් එක්ක ඔයත් එන්න .

මීට

මනෝ

ලියුම වාගේ සටහන හමාර කළ ඔහු  කල්පනා කලේ  ඊළඟට කරන්නේ මොකක්ද කියලාය. ඔහුගේ සිතට  අපූරු අදහසක් ආවේය .


- මීළඟ කොටස-





Image Source : DTNext


8 comments:

  1. දානකල් බලාගෙන හිටියෙ. නියමයි. ඔහොම යං.

    ReplyDelete
  2. 'අර කාවන්තිස්සපුර යාලුවත් එක්ක ඔයත් එන්න'. wow, හොඳම ටික අන්තිමට​. Indirect, but direct.

    ReplyDelete
  3. අපිවත් එක්කගෙනම යන්න.

    ReplyDelete
  4. අම්මේ.. සතියකට පස්සේ යන්තම් අන්තිම කතා 3 කියවා ගත්තා. blog එකට එයා ගන්න බැරුව හිටියේ පුදුම කුතුහලයක් තිබුනේ මොකද වෙලා තියෙන්නෙ කියලා දැනගන්න කල්.
    දෙවෙනි තට්ටුව නං ඉක්මන් වැඩියි දැම්මා. ගොඩක් විස්තර දැනගන්ඩ තියෙනවා... ට්‍රිප් එක නං එන්ජෝයි කරමු නේ හෙමිහිට 🙂

    ReplyDelete
  5. මේකෙ මුල ඡේදෙන් පස්සේ මම කියවන්නෙ නෑ. ඒ ලියවිල්ල මගෙ ඔලුවට හෙඩ්පෝන් එකක් දැම්මා වගේ කියවෙනවා. මෙහෙම කියවෙන්න ලියන වෙන ලේඛකයෙක් මං දන්නෑ.

    ReplyDelete
  6. දැන් සදුදට නෙමෙයිද අලුත් කොටසක් දාන්නේ?

    ReplyDelete