( මේ පළවන්නේ අටවිසි මහල නව කතාවේ විසි පස් වන කොටසයි. මින් පෙර කොටස් මෙතැනින්)
"එතකොට අර පානදුරේ ඉන්නේ අසේලගේ අම්මා නෙවෙයිද ?" කියා මනෝරන්ජන් ඇසුවේ නැත . ඔහු සියල්ල තේරුම් ගත්තාක් මෙන් ආපහු යන්නට හැරුනේය .
" අසේල මේ වෙලාවේ අලි , වලස්සු එහෙම ඉන්න පුළුවන් .අපි ඉක්මනින් ගෙදර යමු . ගිහින් කතා කරමු"
මෑත ගම්මානයෙන් ඇසෙන බිලිඳු හැඩීමක් ද ඈත වනපෙතින් නැගෙන අද්භූත හඬවල්ද වරින් වර මතු වෙද්දී වැව් දිය රැළි සිහින් සංගීත රිද්මයක් පවත්වා ගත්තේය . කතාවකින් තොරව ඇවිද ආ ඔවුහු වාඩි වෙන්නට තැනක් බැලුවෝය. ගෙය අගුලු ලා ඇත . වැව් පිටියේ නතර කර ඇති වැන් රථයේ කවුළු හැර දමා ඇත. එතුල රියදුරා නිදනවා ඇති . ගෙදර ඉද්දී අසේල හැන්දෑ වරුවල වාඩි වී හිඳින සොබාවික ගල් බංකුව තිබ්බේ එක් කුඩාරමක ට යාබදවය . එහි කොල්ලන් දෙදෙනා සැපට නිදනවා ඇති.
බංකුවේ මුලින්ම වාඩි වූ මනෝරන්ජන් වටපිට බලා මෙසේ කීවේය .
" මම අනුමාන කළා අසේල ,ඔයාගේ අම්මා මේ ගමේ ඉන්න ඇති කියල. පානදුරේ අම්මගේ දුක හංගා ගත්ත මුණ , ඔයයි තාත්තයි ගමට ආපු කතන්දරේ වගේ ඒවා හින්දා. මම ඇහුවේ නැතිවට මේ වගේ කතාවක් අහන්න බලාපොරොත්තුවෙන් හිටියා ."
" නෑ මනෝ මහත්තයා. මම කවදාවත් ඔයාට කියන්නේ නෑ කියල හිතපු කතාවක් මේක. ඒත් මොකක්දෝ එහෙකට අද දවසේ සිද්දි ටික දැක්කම මට කියල දාන්න කියල හිතුනා . අපි හිතන තරම්ම ලේසි පාසු නෑ, සරල නෑ බැඳීම් නැති කරලා දා ගන්න එක . ඒකයි"
මනෝරන්ජන් මුවින් නොබැන ඉඳිද්දී අසේල දිගටම කතා කළේය .
" මනෝ මහත්තයා ඔයාට මම ආයෙමත් කියන්නේ ඔයා ආපස්සට යන්න ඕනි මිනිහෙක් නෙවෙයි. ඔයා නොකීවට මට එදා ඔයාගේ කැම්පස් යාලුවා දර්ශන මහත්තයා කියපු දෙවලිනුයි මනම්පේරි මහත්තයාගේ කතා වලිනුයි තේරුනේ අපි කර ගහපු තරුණ කැරැල්ලේ ඕගොල්ලොත් ඉස්සරහින් හිටියා . සමහර විට එහෙම සංවිධානයකට එකතු කර ගත්ත තුන්වැනි මට්ටම වෙන්න පුළුවන්. අපි ඔයාල පස්සෙන් වැටිච්ච සොල්දාදුවෝ විතරයි. අපි වගේ මෙලෝ සංසාරයක් දන්නේ නැති මිනිස්සු එකට ඇද ගන්න ඔගොල්ලොත් මුලික වුනා . ඕගොල්ලන්ගේ සෙට් එකේ සමහරු අතුරුදන් වුනා, සමහරු රට ගියා, සමහරු හිතන්න බැරි තරම් ආත්මාර්තකාමියෝ වුනා. අපේ සෙට් එකේ සෑහෙන දෙනෙක් විනාශ වුනා. අවුරුදු කීයක් අපේ ජීවිතවලට නැති වුනාද ?'
මනෝරන්ජන් කලබලයට පත් විලාශයෙන් වටපිට බැලුවේය මෙවෙලේ අවදියෙන් සිටි කිසිවෙක් ළඟ පාතක නොසිටි බව සැක හැර දැනගත් ඔහු තරමක් සිත සැහැල්ලු කර ගත්තේය. එහෙත් ඔහු නොදැන සිටියාට තමා ළඟ ඇති කුඩාරම් රෙද්දට මුවා වූ පුද්ගලයෙක් හොඳ සිහි කල්පනාවෙන් අවදියෙන් දෙසවන් විවර කරගෙන දෑස් පමණක් පියාගෙන නිසලව සිටින වග ඔහු නොදත්තේය .
" අසේල දැන් ඔයා අම්මගේ කතාවනේ කියන්න ආවේ දැන් මෙතනට දේශපාලනේ වැඩක් නෑනේ "
' හරි ඒ කතාවත් කියන්නම් . දේශපාලනේ වැඩක් නෑ නෙවෙයි . ඒකත් තියෙනවා. ඕගොල්ලෝ දේශපාලනය ගැන ,තමන්ගේම චරිත සහතිකේ ගැන කරදර වෙච්ච, අපිට පරමාදර්ශ වෙන්න හදපු අය. අපේ තාත්තලා එහෙම අය නෙවෙයි . හැමදේම නිදහස්. උගත් කමක් නෑ. දේශපාලනේ ගැන කිසි උනන්දුවක් නෑ. ඒවා ගැන පුරාජේරු නෑ. ඔය දෙන්නාගෙන් ළමයෙක් එක්ක ගෑනියෙක් තනි කරලා කිසිම හිතක් පපුවක්, තර්කයක් නැතිව තවත් ගෑනියෙක් ලඟට වෙන්න කාටද සදාචාර අයිතියක් තියෙන්නේ ? "
'මනොරන්ජන් නිරුත්තරව මද වෙලාවක් අඳුරු වනපෙත දෙස බලා සිට යලි කතා කළේය .
'මම ඒ හැම දේම අත ඇරියා. දේශපාලනේ මුලින්ම අත ඇරියා , ඒත් මට කියල ජීවිතයක් තියෙන්න ඕනි. මම මුලින්ම හදා ගත්ත රාමුවේ එල්ලිලා හැමදාම ඉන්න ඕනි නෑ අසේල" .
" ඒ උනාට මනෝ මහත්තයා ලෝකේ ඔයාගෙන් බලාපොරෝත්තු වෙන දෙයක් තියෙනවා කියල මට හිතෙනවා. බලන්න මට තනියම කියල පුළුවන්නේ බාස්ල ටික දෙනෙක් හොයාගෙන කපරාදුවක් පේන්ට් එකක් කරන්න විතරයි. මනෝ මහත්තයා එහෙමද ? ඔයාට පුළුවන් නන්නාදුනන රටවල මිනිස්සු එකතු කරගෙන තට්ටු විසි අටේ නෙවෙයි පනස් හයේ උනත් බිල්ඩිමක් හදන්න . ඔයා මුලින් වැඩ කරපු විදිහට මට පුදුම හිතුනා .ඔයා ලෝකයක් ගැන දැනුමක්, අත් දැකීමක් තියෙන මිනිහෙක්. මට හිතා ගන්න බෑ ඔයා ටික ටික පල්ලම් බැස්ස විදිහ . ආයෙමත් ඒ ජීවිතේට එන්න. අපිවත් ගොඩ දාගෙන ඉහළට යන්න "
මනෝරන්ජන් විධානයක ස්වරයෙන් මෙසේ කීවේය : "අසේල ඔය කතාව නවත්තලා අම්මා ගැන කියන්න" .
" ගමේ අම්මයි තාත්තයි එක ගේකට ඇවිත් එකට ඉඳල තියෙන්නේ බොහොම ටික දවසයි .
අපේ තාත්තා ඒ කාලේ ගොවිතැන් කරන්න කම්මලියිලු . මොනා හරි දුෂ්කර කාලයක් එනකොට කොළඹ ගිහින් රස්සාවක් කරන්න හිතනවා . ඉතින් අලුත බැඳපු ගෑනි ගමේ දාලා ලොරියක නැගලා කොළඹ එනවා . එතැනින් පස්සේ වෙච්ච් දෙයක් ගැන ගමේ කවුරුවත් දන්නේ නෑ එයා බැටරි කොම්පැනියක රස්සාවට යනවා. බැටරි ගෙන්වන කොම්පැනියක වාහනේ අත් උදව් කාරයෙක් විදිහට . ඒජන්සිය අයිතිකාරයා තමයි පානදුරේ අම්මගේ තාත්තා .සීයාගේ හොඳම ගෝලයා වෙච්ච නිසා අපේ තාත්තා ඒ ගෙවල් පැත්තේ නිතර සැරි සරනවා .
ඉතින් ඒ මනුස්සයාගේ දුව ඇහැට කනට පේනවා . ඒ ඇතිවන ආශාව හරි ආදරේ නිසා ගම අමතක කරනවා. ඒ දෙන්නා පවුල් කනවා. ළමයි දෙන්නෙක් හම්බ වෙනවා . අපේ තාත්තා හිටි ලෝකයේ හැටියට ඒ වැඩේ වැරද්දක් එයාට පෙනුනා කියල මම හිතන්නේ නෑ .
ඒත් ඔයාට එහෙම කරන්න අයිතියක් නෑ .
මගේ තාත්තා මාව හම්බ වෙන්න ඉද්දි අම්මව තනි කරලා දාලා ගියා. නගරේ විච්චුරන වලින් වශී වුනා . ඒ තාත්තා පතපු විදිහ . අන්තිමේ නෑ ගමනක් ගිය ගමේ මිනිහෙක් තාත්තා පානදුරේ ඉන්නවා දැකලා තියෙනවා. ඊට පස්සේ තමයි ගමේ කාණ්ඩයක් තාත්තව හොයාගෙන ගිහින් තිබ්බේ. ඒත් තාත්තා ගමට එන්න කැමති වෙලා නෑ . ගමේ අම්මා මැරෙනකොට මට අවුරුදු දෙක හමාරයිලු . මට ඒ ගැන හීනෙන් වගේවත් මතකයක් නෑ . අම්මා ලෙඩ ගානේ ඉඳල මැරුණා .ආරංචිය අහපු පානදුරේ අම්මා තමයි තාත්තට බල කලේ ගිහින් දරුවාව අරන් එන්න කියල . අපේ නිවුන් නංගිලාට අවුරුද්දක් වත් නැති කාලේ පවුලට වැඩි මහල් සහෝදරයෙක් එකතු වෙනවා . එදා ඉඳන් පානදුරේ අම්මා මාව බලා ගන්නවා . තාත්තත් එක්ක සියලු සම්බන්ධකම් අත අරිනවා. ඒත් එක වහල යට ඉන්නවා "
අසේල නොනවත්වා කතා කළේය . මනෝරන්ජන් අසා සිටිනවාද නැද්ද යන වගවත් ඔහුගේ ප්‍රතිචාරයක් ගැන වත් ඔහු වද වුනේ නැත.
"අන්තිමේ මම අටේ පන්තියේ ඉද්දි තාත්තගේ රස්සාව නැති වුනාම පවුලේ අඩ දඹර වැඩි වෙනවා . ඒකට මුල් වෙන්නේ පානදුරේ අම්මගේ වෙනස්කම් වලට වඩා තාත්තගේ මානසික කඩා වැටීම . ඊට පස්සේ මාවත් කර පින්නාගෙන තාත්තා මේ ගමට එනවා . ඔන්න ඕක තමයි කතාව "
"දැන් අසේල ඔයාගේ කතාව කිව්වනේ . මම ත් කෙටියෙන් කියන්නම්"
.මම හරි ආසාවෙන් හිටියා පේරාදෙණියේ කැම්පස් එකට එන්න .අන්තිමට මොරටුවට ගියා . දේශපාලනේට සම්බන්ධ වුනේ අවංකව . මට ඕනි වුනා මිනිස්සුන්ට ආදරේ කරන්න . හැමෝටම සර්ව සාධාරණ රටක් හදන්න . ඒත් මට ටික කාලයක් යද්දී තේරුනා මම තෝරා ගත්ත මාර්ගය වැරදියි කියල. මම අදටත් මිනිස්සුන්ට ආදරෙයි. ඒ ප්‍රතිපත්තිවලම ඉන්නවා. සමහර වෙලාවට මම පැල්පත් ගෙදරක ඉපදුනු නෙතදරා තෝරා ගත්තේ මගේ හිතේ රැඩිකල් වෙන්න තිබ්බ වුවමනාවට වෙන්න ඇති . අනෙක් අතට මම කැම්පස් කොල්ලෙක් වෙලා ඉද්දි මගේ ජීවිතේ හිටි ගමන් නතර වුනා . ඒ වෙනකොට මෝරගෙන එමින් තිබ්බ තරුණ හිත සීල් කරලා තිබ්බට අසම්පුර්ණව වරින් වර ආයෙත් මතු වෙනවා . වයසින් වැඩිමහල් වුනාට ආපහු කලින් හිටි වයසට මම හිතින් යනවා හැමදාම වගේ. මට මේ ටික කියා ගන්න කෙනෙක් නෑ . මම එලියට පෙන්වන්නේ වෙස් මුණක් . මම පීඩනේ නැති කර ගන්නේ හැම දේම දින පොතේ ලියල "
" අන්න ඒක තමයි මනෝ මහත්තයා කියන්නේ . ඔයාගේ මනුස්ස කමවත් මුලින් තිබ්බ බලාපොරොත්තුවත් වෙනස් වෙලා නෑ . සංවිධානේ හිටි ගොඩක් දෙනෙක් මම දන්නවා . ගමේදියි හිරේදියි හම්බ වෙච්ච අය . අඩු පිරිසක් තමයි තමන්ගේ මුල් මනුස්ස කමයි බලාපොරොත්තුයි ඒ විදිහටම තියාගෙන ඉන්නේ. ඒත් මට කියන්න තේරෙන් නෑ මනෝ මහත්තයා, ඔයාට වෙනස් විදිහක ඉස්සරහක් තියෙන්නේ. අපි හැමෝම බලා කියාගෙන ඇදගෙන යන්න ඔයාට පුළුවන්. මම බලාපොරෝත්තු වුනේ අටවිසි මහල ඉහලට යනවා වගේ ඔයාගේ ජීවිතේ ඉහළට යනවා දකින්න . අපිට හෙවන දෙන ගහක් වෙනවා දකින්න "
"ඒ වුනත් අසේල මගෙන් කවුරුවත් එහෙම දෙයක් බලාපොරෝත්හ්ටු වෙන එක මට කරන අසාධාරනයක් නේද ? . මට කියල පවුලක් නෑදෑයෙක් නෑ . භීෂණ කාලේ මාව බේරලා රටින් එලියට යැව්ව අයියා ඒ භීෂනේටම බිල්ලක් වුනා . තාත්තා සයිට් එකක සේකුරිටි කෙනෙක් වෙලා ඉඳිද්දී මලා. ඔස්ට්‍රේලියාවට ගිය නංගී අම්මව එහෙට්ට ගත්තා . මම ඒ ගොල්ලෝ එක්ක සම්බධ වෙන්න උනන්දු වුනේ නෑ . . ඉතින් මේ හැම දේම මැද මම පුංචිම පුංචි මිනිහෙක්.ලේ මස් නහර හෝමෝන ඔක්කොම අලුත්වෙනවා . මම සහෝදර කමෙන් කියන්නේ අසේල . මොන තරම් බොළඳ විදිහට ඔයා දැක්කත් මට අර කෙල්ලට නිදහසේ ආදරේ කරන්න ඕනි . හැම දේම අමතක කරලා. මමත් මනුස්සයෙක් කියල විතරක් හිතන්න. මට කරදරයක් වෙන්න එපා '"
අසේල වහා නැගිට සිටියේය . ඔහුගේ ස්වරය දැඩි විය . දෑස් රතුවන්ව අඳුරේ දිළිසුනේය .
"මනෝ මහත්තයා ඔයා මොන කෙල්ලෙක් එක්ක මොන විදිහට ආදරේ කරත් මට ඇති ප්‍රශ්ණයක් නෑ . නොතේරෙන කාලේ මට තාත්තෙක් හිටියේ නෑ . මාවත් අම්මවත් දාලා ගිහින් තාත්තා තමන්ගේ සතුට හොයා ගන්න තීරණේ කළා . ඒත් අපි කී දෙනෙක් විඳවන්න ඇත්ද ? අන්තිමේදී තාත්තා සතුටින් හිටියා කියලද හිතන්නේ?. එතකොට පානදුරේ අම්මා .තාම හොරෙන් හොරෙන් අඬනවා. හැමදාම. ඒ මනුස්සයාගේ ජීවිතේම කඳුළු කතාවක්."
මනෝරන්ජන් හුන් තැනක් නැගිට තරමක් ඈතට ඇවිද ගියේය . වනයෙන් නැගෙන නුහුරු මූසල ශබ්ද තුනී වී ගොස්ය . දැන් එලි වන්නට ආසන්නව ඇත .ඔහු යලි අසේල සිටි තැනට ආවේය .
"අසේල ඔයාගේ පවුලේ කතාව හරිම සංවේදියි තමයි . ඒ ගැන මටත් කනගාටුයි . ඒත් මගෙයි නෙතදරාගෙයි කතාවේ ඒකට සමාන කමක් නෑනේ '"
අසේල රුදු ලෙස මනෝරන්ජන් දෙස හැරී බැලුවේය.
"අයි නැත්තේ? . ඔයා අර අහිංසක අම්රිතයි ඔයාගේ ලෙයින් උපන්න දරුවයි අත අරින්න හිතාගෙන නෙවෙයිද නෙතදරා පස්සෙන් යන්නේ ?"
මනෝරන්ජන් හුන් තැනම ගල් ගැහුනේය. එවිටම තමා අසල තිබෙන කුඩාරම් රෙද්දට ඇතුලතින් හේත්තු වී තිබෙන මිනිස් සිරුරක මද චලනයක් දුටුවේය
-- මීළඟ කොටස -
Image Source: Airbnb
සැගවුන අමුත්තො ගොඩක් එක පාර හම්බ වුනා වගේ. කතාවේ හොන්දම හරිය පටන් ගන්න යන්නෙ දැන්ද මන්දා.
ReplyDeleteඅමුත්තෝ එලියට එන්න පටන් අරන්
Deleteඅඩෙ!! ඒකනං පොල්ලෙන් ගැහුවා වගේ..
ReplyDeleteඑහෙම නැතිව බැරි වුනා
Deleteබේකර් වීදියේ පදිංචියට සුදුසුයි.
ReplyDeleteඉඩමක් හොයනවා මේ දවස්වල . බේකර් විදිය, අගුණකොළපැලැස්ස
Deleteඅම්රිතාගෙ දරුවා ගැන කියන කොටම මගෙ හිතට ආව කෙනා හරි එහෙනම්... කරකවලා කරකවලා ඕං දැං එක තැනකට ඇවිත් වගේ. ඉවසුමක් නැහැ මනගෙ ප්‍රතිචාරය බලන්න...
ReplyDeleteනිගමනවලට එන්න හදිස්සි වෙන්න එපා . තව කරකැවීමට නියමිතයි
Deleteමනෝ ලා වගේ අය ඉන්නවා ගොඩක් තැන්වල , මාර තැනට කොටලා තියෙන්නේ
ReplyDelete