Sunday, November 14, 2021

මළ ඉලව් ලිෆ්ට් එක



ස්සර ලංකාවේ ඉක්මනින්ම ඉහළට යන්න  පුළුවන් ජොබ් එකක් තිබ්බා. ඒ තමයි විදුලි සෝපාන ක්‍රියාකරු. මුල් කාලේ තිබ්බ හැම ලිෆ්ට් එකකම වාගේ ක්‍රියා කරවන්නෙක් හිටියා. පහු පහු වෙනකොට මේක තනියම කරගෙන යන්න පුළුවන් විදිහට හුදී ජනයා හුරු පුරුදු උනාම ලිෆ්ට් ක්‍රියාකරුගේ රස්සාව ඕනෑ  නැති උනා.  කොච්ච්ර දියුණු ආරක්සක ක්‍රම තිබ්බත් මට නම් ලිෆ්ට් වල යන්න පොඩි චකිතයක් තියෙනවා තාමත් . 

ඒකට හේතුව තමයි බම්බලපිටියේ පිහිටි තට්ටු ගොඩනැගීල්ලකදී මා  ඉහළ  යමින් හිටි ලිෆ්ට් එකක හිර වීම. එය තට්ටු හතේ  ගොඩනැගිල්ලක්. බිම් මහලින් තුන්වන තට්ටුවට යාමට පිවිසුණු මාව තුන්වෙනි මහලේ නවත්වා ගන්නේ නැතිව  විදුලි සෝපානය අකීකරු ලෙස  පහළට  ගියා  . යලි උඩට ගියා  . ඉන්පසු කිසිම වග විබාගයක්  පෙන්නුම් නොකර විදුලි පුවරු  ඔක්කොම නිවී ගියා. මම කලබල වුනු පාර සීනුව ඔබාගෙනම සිටියා.

විනාඩියෙන් විනාඩිය චකිතය තීව්‍ර  වූ අතර අවසානයේ මම බය වෙන්නට පටන් ගන්නවාත් සමගම මට හඬක් ඇහුනා. 

"කවුද ඇතුලේ ඉන්නේ? කලබල වෙන්න එපා. අපි ඉක්මණින්  ඔයාව එළියට  ගන්නවා   " . මම ලහි ලහියේ උත්තර දුන්නේ මගත් අස්වැසිල්ලකින් . මොහොතකින් මගේ කටහඬ හඳුනා ගත් ගොඩනැගිල්ලේ නඩත්තු කාර්මිකයෙකු . "මහත්තයා විනාඩි දෙක තුනක් ඉවසලා ඉන්න. බය වෙන්න එපා. අපි ඉක්මනට ලිෆ්ට් එක පහලට අරන් දොර අරිනවා ' කියා කි නිසා  මගේ බය තරමක් තුනී වෙලා ගියා වුනත්, සෝපානයේ සරල ක්‍රියාකාරිත්වය ගැන කියවා තිබ්බත් මේකෙන් මාව එලියට ගන්න බැරි වේදෝයි කියන බයකුත්  නොතිබුනා නොවෙයි . තවත්  විනාඩි හතරකින් විතර සෝපාන  දොර අරුණා . මම එලියට ආවේ  බිම් මහලෙන්. සෝපාන දොරේ යතුරක් හා අඬුබඩු  සෙට්  එකක් අතැතිව සිටි අපේ නඩත්තු ශිල්පියෙක් පෙරටු කොටගත්  අපේ මුළු කාර්යාලයේ සියලුම දෙනා එළියේ හිටියා .

මේ සිද්දියෙන් පසු මම හැකි සෑම  විටම විදුලි සෝපාන මග හැරියා . තට්ටු තුන හතර තරප්පු දීගේ බඩගෑවා . ලිෆ්ට් එකට ගොඩ වුනේ කවුරුවත් හිටියොත් පමණයි . විදෙස් රටක හෝටලයක් හෝ නවාතැනක් සොයාගැනීමේදී මම පළමු හෝ දෙවැනි තට්ටුවලට ප්‍රමුඛතාව දුන්නා .

ඔය සිද්දිය වී ටික කලක් ගියාට පස්සේ මම ඉන්දියාවේ දිල්ලි නුවරට ගිහින් හිටියේ වෙනත් රටක්  බලා  පිටත් වීමට. ඒ රටේ   තානාපති කාර්යාලයක් ලංකාවේ   නොතිබුන නිසා නවදිල්ලි නුවර අදාල  තානාපති කාර්යාලයට යන්නට සිදු වුනා . නවාතැන  දිල්ලියේ අජන්තා හෝටලේ.  ගුවන්යානයේදී හමු වූ මගේ පරණ සරසවි මිතුරෙක්ද මා බලන්නට හවස හෝටලේට ආවා .  ඔහු මිතුරු වෙට් දොස්තර  විජිත . අර අලි ගැන අලි පොතක් ලියපු අලි දොස්තර තමයි ඒ.  ඔහු පහුවදා කාශ්මීරයේ  සමුළුවකට යන්න වෙනත් හෝටලයක නතර වී සිටියා .  හැන්දෑවේ මා නතර වී හිටි හෝටල් කාමරයට පැමිණි ඔහු සමග රූෆ්ටොප් එකේ තිබුණු අවන්හලේ වාඩි  වී බීර වීදුරුවක් තොල ගෑවා. වැඩිය ලිෆ්ට් පාවිච්චියට අකමැති මම මගේ මිතුරා ලොබියේදී පිළිගෙන මගේ කාමරයට කැටුව  ගියේ තරප්පු පෙළ දිගේ. එතැන් සිට බිර බොන්නට රුෆ් ටොප් එකට ගියෙත් තරප්පුව නගිමින්. ඒත් අපි සාදය අවසානයේ  පහලට යන්නට ගොඩ වුනේ ලිෆ්ට් එකට .

මගේ කාමරය තිබුන  තුන්වැනි තට්ටුවෙන් බැසීමට සෝපාන බොත්තම එබුවාම විදුලි සොපානය හරියටම  තුන්වන තට්ටුවට ගොස්  නතර වුනා . එත් ලිෆ්ට් එකේ දොර ඇරෙන්  නෑ . අපි මොකද කරන්නේ? ආයේ බොත්තම එබුවා බිම් මහලට යන්න .බිම් මහලට  ගිහින් නතර වුනා. දොර ඇරෙන්  නෑ .පුංචි වීදුරු කවුළුවක් සෝපාන දොරේ තියෙනවා . ඈත කවුන්ටරය පෙනෙනවා. අපි දොරට තට්ටු  කළා . කාටවත් ඇහෙන්නේ නෑ . අත  වැනුවා. ඒ පුංචි කවුළුව දිහාට කාගේවත් අවදානය යොමු වුනේ නෑ . ආයෙම උඩම තට්ටුවට ගියා.  තුන්වැනි තට්ටුවට ගියා. කව්රුහරි එළියෙන් ඇවිත් හරි දොර ඇරියොත් හොඳයි කියලා නොසොල්මනේ හිටියා. මා මිත්‍ර අලි දොස්තරගේ  මුණත්  බෙරි   වෙලා. අලියට පෑගිච්ච ලන්තෑරුමක්  වගේ. මගේ මුණ තිබ්බ හැටි විජිතගෙන්මයි   අහ ගන්න වෙන්නේ. 

පස්සේ ආයෙම බිම් මහලට ගියා. සෙනග අඩු හෝටලේ කව්රුත් විදුලි සෝපානය ලඟට එන්නේ නෑ . හදිසි  සීනුව ගැහුවා ගැහුවා. හඬක් නෑ . ප්‍රතිචාරයක් නෑ .  පලවෙනි පාර ලිෆ්ට්එහෙක  හිරවුණු සිද්දිය මතක් වුනා .මේ පාරනම් තනියම නෙවෙයි  තව එකෙක් ඉන්නවනේ කියලා හිතුනා. "උඹ ආවේ නැත්තනම් මට මෙහෙම එකක් වෙන්නේ නෑනේ" මම  මිත්‍රයාට විහිලු කළා. දෙන්නම වියරුවෙන් වගේ හිනා වුනා.   එත් මේක ලේසි කෙලියක් නෙවෙයි . මේ යක්කු එකෙක්වත් ලඟට එන්නේ නෑනේ  කියලා මම පයින් පාරක් දුන්නා සෝපාන දොරට . මෙන්න බොලේ දොර අරුනා. පස්සේ බැලින්නම් ඒ දොර ස්වයන්ක්‍රීයව ඇරෙන එකක් නෙවෙයි . අතින් තල්ලු කරලා අරින්න ඕනි පරණම පන්නයේ එකක්. දවල් හෝටලයට මුලින්ම එද්දී සේවකයෙක් මා සමග බෑගය රැගෙන  ආ නිසා ලිෆ්ට් එකේ  දොර ඇරෙන විදිහ මට නෝටිස් වෙලා තිබ්බේ නෑ.

 ඔය සිද්දි දෙකටම කලින්   අපි  කොළඹ කොටුවේ තිබ්බ රජයේ  මණ්ඩලේක  ප්‍රධාන කාර්යාලෙට ගියේ ටෙන්ඩරයක් බාර දෙන්න. ටෙන්ඩර් ලියකියවිලි  එක්ක  අඩි පහක් හයක්   උස යකඩ බ්‍රැකට් එකක් දෙන්න ඕනි සාම්පලයක් හැටියට . දැන් ටෙන්ඩර් මිටියයි යකඩ සාම්පලෙයි  දාගෙන ගොඩනැගිල්ලට  ගියාම මෙහෙම උපදෙසක් දුන්නා .

" හත්වැනි තට්ටුව ඒ කියන්නේ උඩම තට්ටුවේ තමයි ටෙන්ඩර් බාර ගන්න කන්තෝරුව තියෙන්නේ. සාම්පලෙයි ලියකියවිලියි එතෙන්ට දෙන්න" .

ඒ ගොඩනැගිල්ලේ ඒ කාලේ තිබ්බේ අරුම පුදුම විදුලි සෝපානයක්. තාමත් තියෙනවද මන්ද?  . නතරවීමක් නැති , දොරක් නැති තිස්සෙම එක පැත්තකින් හෙමින් ඉහලට යන තවත් පැත්තකින් පහලට එන සංසාර චක්කරේ වගේ ලිෆ්ට් එකක් .   ඉතිං  මේ නතර නොවී ගමනේ යන ලිෆ්ට් එකට  සීරුවෙන් නගින්ට ඕනි. තව සෙනග රොත්තක් ඉන්නවා පොර කකා. ඔක්කොටම හපන් අපේ යකඩ සාම්පලේ. අමාරුවෙන් ඇළ  කරලා, බැනුම් අහලා  පටවා ගත්තා. .හරියට  බස් එකේ ෆුට් බෝට්  එකට ට්‍රන්ක පෙට්ටියක් අරං නගින්නැහෙ  අපිත් එල්ලුනා දුවන ලිෆ්ට් එකට. අවාසනාවන්ත සිද්දිය වුනේ  අන්තිම තට්ටුවේ බහින්න යනකොට. සදාචල ලිෆ්ටුවෙන් ජනීජනයා කඩිමුඩියේ බැහැගත්තත් අපට මේ යකඩ සාම්පලෙත් එක්ක හරි ජංජාලයක් වුනා.  ලියකියවිලි මිටිය අරන්  අපි දෙන්නෙක් බැහැ  ගත්තා වුනත් යකඩ සාම්පලේ සමග ඔට්ටු වෙමින් සිටි තෝමස්ට බහින්න බැරි වුනා. අනේ ඔහු අර අඳුරු කුටීරය තුලට ඇදී ගියේ අපි බලා ඉද්දීමයි.

ටෙන්ඩරේ දෙන වෙලාව සම්පුර්ණ වෙන්න ඔන්න මෙන්න  කියල අපට නිච්චියක් තිබ්බේ නෑ . තෝමස්ට මක් වෙයිද කියල විපිළිසර වෙමින් සිටි අප ලඟට ආ ආරක්ෂක නිලධාරියා කිව්වේ. ' එයා අර පැත්තේ පහලට එන  ලිෆ්ට් එකෙන් දැන් එයි එහෙන් ගන්න' කියල. 

විනාඩියකට විතර පස්සේ දොර  නැති ලිෆ්ට් එක අනිත් පැත්තෙන් පල්ලම් බහිනවා. යකඩ සාම්පලේ අපට  පේනවා. එත් තෝමස් නෑ . අපිට හීන් දාඩිය දැම්ම. පස්සේ ලිෆ්ට් එක තට්ටුවටම පාත් උනාම තමයි දැක්කේ තෝමස් බිම දණගහගෙන මුණ වහගෙන අඬනවා  . අපි  මිනිහවයි යකඩෙයි  එලියට ඇදලා ගත්තා. දියෙන් ගොඩට ගත්තු මාලුවෙක් වගේ තෝමස් ගැහෙනවා.

භාරදීමට නියමිත වෙලාවට වඩා විනාඩි තුනක ප්‍රමාදයක් නිසා අපේ ටෙන්ඩරය ප්‍රතික්ෂේප වුනා . 

මේ වෙච්ච අලකලංචිය අපේ ලොක්කාට කියන්නේ කොහොමද කියා හිතමින් ඒ ගැන කතාකරමින්  ආපසු එන ගමන් තෝමස්ගේ  කන්කෙන්දිරිය ඇහුණා .  

' මහත්තයා එක අතකට වාසනාවට  තමයි ඔය ටෙන්ඩරේ අපට හම්බුන් නැත්තේ . නැත්නම් අර මළ ඉලවු ලිෆ්ට් එකේ තව කි පාරක් නගින්න වෙනවද අපිට  " 

Image Source: Toonpool

25 comments:

  1. හෙහ්, හෙහ් නියමෙට ලියලා තියනවා, සුපුරුදු ලෙසටම. ස්තූතියි ආයෙ ලියනවාට.

    මට හැමදාම හිතුනා, මේ වාෂ්ප-වෙච්ච රස්සා(redundant) ජොබ්ස් ගැන ලියන්න ඕනෙ කියලා. එහෙම හිතුවාම, ඉස්සෙල්ලම මතක් වුනේ, ලිෆ්ට් ඔපරේටර්, ටෙලිෆෝන් ඔපරේටර් දෙපලව. එයිනුත් "ලිෆ්ට් ඔපරේටර්" තමා ආතල්ම එක. ලිෆ්ට් එක ඇතුලෙ පුටුවක් තියාගෙන වාඩි වෙලා හිටියෙ, කී බෝඩ් එක අයිති කරගෙන.

    ඔය සමහර ලිෆ්ට් වල සේෆ්ටි ෆීචර් එකක් තියනවා නේද, විදුලිය ඇනහිටියොත් හෙමීට කිට්ටුම තට්ටුවට ගිහින්, දොර ඇරෙන.

    ReplyDelete
    Replies
    1. බස්සා අදහස් කරන්න ඇත්තේ volatile ජොබ්ස් වෙන්න ඕනේ.

      Delete
    2. volatile කියන එකත් බාගදා හරි ඇති සුදීක.මට අවශ්‍ය වුනේ , තවදුරටත් අවශ්‍ය නොවන කියන අදහස දෙන්නයි, වචනෙ ගැලපෙන එකමද මන්දා?

      Delete
  2. http://bassigenawathana.blogspot.com/2014/10/blog-post_6.html

    ReplyDelete
  3. දැන් ඉතිං ආයේ ලිෆ්ට් එකකට නඟිද්දී මේ කතා ටික මතක් වෙන එකනේ වැඩේ :D

    ReplyDelete
  4. ගෝල්ෆේස් කෝර්ට්ස්වල ඇකිලෙන දොර තියන ලිෆ්ට් එක මතකද?

    ReplyDelete
  5. මේක මරු. ඔක්කොම ටික මැවිලා පෙනුණා. පවු තෝමස්! :)

    ReplyDelete
  6. සබ්බ පාපස්‌ස අකරණං
    කුසලස්‌ස උපසම්පදා
    සචිත්ත පරියොදපනං
    ඒතං බුද්ධානසාසනං

    සියලු දෙනාටම තෙරුවන් සරණයි.

    ReplyDelete
  7. උඩටම යනකොට ආතල් වැඩි නම්
    ආපහු බහින්න හිත නෑ පල්ලම්
    හොට බිම ඇනිලත් යන්නෙම නැති නම්
    රටම පටවමුද ලිෆ්ට් එකකට යම්?

    ReplyDelete
  8. මේ වගේ සිද්ධියක් සාමාන්‍ය කෙනකුට වුණා නම් සමාජ මාධ්‍යවල ලියන්නේ අදාළ ආයතන බලධාරීන්ගේ අම්මා මුත්තා මතක් කරලා. කියවන අයගෙත් ලේ කෝප කරවන විදියට. තිලකසිරි නැවතත් ඔබ පුදුම සංයමයක් තිබෙන විශේෂ කෙනෙක් බව මේ සටහනෙන් පෙන්නුම් කර තිබෙනවා.

    ReplyDelete
  9. හොයිස්ට් වල හිරවෙලා නැවතිලා නැද්ද? :)

    මට තාම ලිෆ්ට් එකක හිරවෙන්න නම් බැරි උනා..ඒත් හිරවෙච්චි කීප දෙනෙක්ව කිඉප සැරයක්ම එළියට ගන්න දායක වෙලා තියෙනවා.. ඒ මූණු වල හැඟීම් දැක්කම ඇත්තටම මටත් බයයි ලිෆ්ට් එකක හිර වෙන්න..

    ReplyDelete
    Replies
    1. ලිෆ්ට් එකක හිරවුණු ගැබිනියකගේ කතාවක් අපොරුවට තියෙන film එකක් මේ. මට හම්බ වුණේ බයිස්කෝප් සිංහලෙන් අඩවියෙන්.

      https://www.baiscopelk.com/thank-you-brother-2021-sinhala-subtitles/

      Delete
  10. අරුම පුදුම සෝපාන කතා. හැක්.. අපූරුයි.
    අපිට ඉතිං ඕවයෙ වැඩිය යන්න හම්බවෙන්නෙ නැති හින්ද අවුලක් නෑ.

    මගේ ඉස්සර පුදුම බයක් තිබුනෙ එස්කැලේටර් වලට. යුනිටි ප්ලාසා එකට පිං සිද්දවෙන්න ඒ බය නැති උනා.

    ReplyDelete
  11. //ඒ ගොඩනැගිල්ලේ ඒ කාලේ තිබ්බේ අරුම පුදුම විදුලි සෝපානයක්. තාමත් තියෙනවද මන්ද? . නතරවීමක් නැති , දොරක් නැති තිස්සෙම එක පැත්තකින් හෙමින් ඉහලට යන තවත් පැත්තකින් පහලට එන සංසාර චක්කරේ වගේ ලිෆ්ට් එකක් .//

    පාර්සන්ස් පාරේ තිබුන ඉලෙට්ටික් බෝඩ් එකෙත් මෙහෙම අටමගලයක් තිබුනා මතකයි.

    ඉස්සර සමහර පරණ ලිෆ්ට් වල පිටත දොර හැටියට collapsible steel grill door එකක් තමයි තිබුනේ. ප්‍රයිවෙට් බස් එකේ කොන්දොස්තර වාගේ ලිෆ්ට් ඔපරේටර් කට්ටිය ලෝඩ් කරලා, ඒ දොර අතින් ඇදලා වහලා ඊට පස්සේ ලිෆ්ට් එක ඇතුලට ගිහින් ලිෆ්ට් එකේ දොර වහලා ගමන පටන් ගන්නේ. ලිෆ්ට් එක (ඉහලට හෝ පහලට) ගියාම කේබල්, පුලි, රේල් ඇතුළු මුළු මිකැනිසම් එකම ඒකෙන් පේනවා. හැබැයි ලිෆ්ට් එක එනකොට ඒ ග්‍රිල් දොර ඇතුලට අතක් පයක් එහෙම දැම්මොත් නම් අබ සරණයි.

    ReplyDelete
    Replies
    1. CEB එකේ එක තමයි මටත් මතක් වුනේ. ඕකට දුවල ගිහිල්ල පනිනනවා අපි ට්‍රේනින් හිටිය දවස් වල.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. විදුලි බල මණ්ඩල මූලස්ථානයේ තිබුණු ලිෆ්ට් එක "paternoster" එකක්. ඉස්සර අපිත් පාසල් කට් කරලා රස්තියාදු ගහනකොට ඔකේ ඉහල පහල යනවා. (A ලෙවල් කරන කාලේ , 1972 විතර). උඩම තට්ටුවේ තියන ස්ටාෆ් කැන්ටීන් එකෙන් තේත් බොනවා. ඔය ලිෆ්ට් එකේ උඩටම ගිහින් ආපහු පහලට එන්න හැරෙනකොට බය හිතෙන තරමට හෙල්ලෙනවා. එත් අපි thrill එකට ඔය රවුම යනවාමයි.

      Delete
  12. ඔය කියන්නේ විදුලි බලමණ්ඩල මූපස්ථානය. සාම්‍පලයට ලයිට්‍ කනුවක ආකෘතියක් ද ගෙනිච්‍චෙ. විදුලි බල මණ්ඩලය නිසාම හොදයි. නැත්නම්‍ විදුලිය බිල් ගෙවලම ආයතනය බංකොලොත්.

    ReplyDelete
  13. ඉතා රසවත් ලිපියක්! අපගේ සින්ඩියේ ඔබට ඉඩක් වෙන්වී ඇත! ගොඩවී බලන්න!

    ReplyDelete
  14. මටත් lift එකකදී ඔය වගේ අකරතැබ්බයක් සිදුවී තිබෙනවා.
    මේ විදේශයකදී. එහි ගොස් දින කිහිපයකින් Visa සටහන් කර ගැනීමක් සඳහා මට නගරයේ කාර්යාලයකට යන්නට සිදු උනා. නගරයේ තට්ටු හත අටක ගොඩනැගිල්ලක හය වැනි තට්ටුවේ මට අවශ්‍ය කාර්යාලය තිබුණේ. ඉහල තට්ටුවට යාම සඳහා lift එක අසලට එන විටම එහි දොර වැසෙමින් තිබෙන විටම මා ඇතුල් වීමට උත්සාහ කරද්දී මගේ සපත්තුවක් ගැලවී එලියට වීසි උනා. මා දමාගෙන සිටියේ lace නොමැති pumps වර්ගයේ සපත්තු. දොර වැසීගියා. මම ඇතුළේ. Lift එක උඩට යනවා. මම එක සපත්තුවකින් සිටිනවා. මේ බව කලබලයෙන් එය ක්රියාකරවන්නාට කීවත් ඔහුට මා කී දේ තේරුණේ නැහැ. පසුව ඇතුළේ සිටි කෙනෙක් රටේ භාෂාවෙන් කී පසුවයි ඔහුට වැටහුණේ. තව විනාඩි දහයක් ඇතුළත lift එක බිම් මහළට ආපසු එන බව කිහිප දෙනෙක්ම මට පැහැදිලි කර දුන්නා. විනාඩි දහයකට පමණ පසු ඉහලම තට්ටුවට ගොස් ආපසු බිම් මහලට එන විට සපත්තුව තිබුණේ නැහැ. දැන් තනි සපත්තුවෙන් ඇවිදින මා, අසල කවුන්ටරයේ සිටි කාන්තාවකට සිද්ධිය කිව්වා. ඇය සේවකයෙකුට කතාකර තවත් කෙනෙකුට පණිවුඩයක් යැව්වා. ඒ වන විටත් එහි පිරිසිදු කරන්නියක් මාගේ සපත්තුව කුණු බඳුනකටත් දමාගෙන. ඇය මාවෙත පැමිණ රටේ භාෂාවත් කැඩුන ඉංග්‍රීසි වලිනුත් යමක් ප්‍රකාශ කර තනි සපත්තුවෙන් සිටි මා දෙස බලා නළලට අතක් තබාගෙන මහා හඬින් සිනාසුනා. සපත්තුව දා ගත් මා ඒ lift එකෙන්ම මගේ කාර්යය සඳහා ඉහළට ගියා. දෙවන වර මා දුටු lift ක්රියාකරවන්නාත් කණගාටුව ප්‍රකාශ කළා.

    ReplyDelete
  15. මම මුළින්ම සෙලින්කෝ එකේ ලිෆ්ට් එකේ තමයි ගියේ. ඊට පස්සේ ඉතිං අහුවුණ අහුවුණ ඒවායේ ගියා. එකම එක දවසක් අපේ ඔෆිස් එකේ ලිෆ්ට් එකේදී ලයිට් ගිහින් නතන වුණා. ඒ වෙනකොට රුපියල් දෙකේ කාසියකින් මේ දොර අරින්න පුළුවන් බව දැනගෙන හිටියා. සමහර ඔෆිස් වල ලිෆ්ට් ඔපරේටර් ලට දෙන ට්‍රේනින ඒවායේ අධ්‍යක්ෂක වරු තමයි අරන් තියෙන්නේ. මොකද ට්‍රේනින් එක රටනේ.

    ReplyDelete
  16. සුපිරි කථාවක්!

    ReplyDelete
  17. https://www.youtube.com/watch?v=YgJBD1wf-YQ

    ReplyDelete