Saturday, November 25, 2023

ඔක්ස්ෆර්ඩ්, බොස්පෝරස් හා කුමාර් ආනන්දන්

 

2023 නොඅම්බර් 19 ඉරිදා 

 උදෑසන මම අවදි වුනේ ලංකාවෙන්  ආ කෝල් එකකින්. මහා පාන්දර අයියා කතා කරනවා . 

' මුකුත් කරදරයක් නෑ  නේද ?" 

"කරදරයක් නෑ . ටිකක් නින්ද ගියා. ඇයි ? "

'නෑ  මම නිකන් ගත්තේ' කිවා  ෆෝන් එක තිබ්බා . මනුස්සයා නිකම් කතා කරන්නේ  නෑ . මොකක් හරි ප්‍රශ්නයක්ද දන්නේ නෑ .ඒත්  එයයි මමයි අතර තියෙන්නේ ටෙලිග්‍රෑම් පණිවිඩ. හරිම කෙටියි . වචනෙකට  ගානක් කැපෙනවා වගේ තමයි අපි කතා කරන්නේ .

ඉස්සර කොළඹ කොහේ හරි බෝම්බයක් පිපිරුවම මට ටක් ගාල කෝල් එකක් එනවා අයියගෙන් .

' කොහොමද . කොහෙද ඉන්නේ . නෑ  මම නිකන් කතා කරා' එච්චරයි. මම දන්නවා කොහේ හරි මොකක් හරි උනාම මම හොඳින් ඉන්නවද බලන්න තමයි ඒ කෝල් එක එන්නේ කියල  .  කිලෝමිටර් හයදහස් තුන්සියක් දුරින් හිටියත් මෙහෙම කෝල් එකක් දෙන්නනම් මොකක් හරි හේතුවක් තියෙන්න  එපැ යි. ඒ අතරේ සිකුරාදා අපේ  රියදුරු නසාර් කියපු කතාව මට මතක් වෙනවා. 

' හෙටයි අනිද්දයි කිසිම දේකට එලියට යන්න එපා . මොනා හරි ගෙන්නගන්න තියේනම් දැන් මම ගෙනල්ල දෙන්නම් " 

මේ ගැන කල්පනා කරමින් නිදා ගත්තා. ගෙදරින් කතා කරා. ආයේ නිදා ගත්තා .

පොඩ්ඩකින් ආරච්චිකන්දේ සුනිල් අයියා කතා කරා 

" මුකුත් කරදරයක් නෑ  නේද " 

" ඇයි  එහෙම අහන්නේ ?" 

" නෑ  මේ ලෝක ප්‍රවෘත්තිවලට කියනවා ඉස්තම්බුල් යටවෙලා නැව්  හිටන් අතුරුදහන් වෙලා කියන්නේ " . 

මම ඉද්ද ගැහුවා වගේ නැගිට්ට . එතකොට උදේ අටට කිට්ටුයි. අවට පිහිටි එකම ගොඩනගිල්ලකවත් ලයිට් එකක් නෑ . හාත්පස  කළුවරයි. වෙදර් රිපෝර්ට් එක බැලුවා . උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක බින්දුවයි .

මම ඇඳ  උඩ  වාඩිවෙලා කල්පනා කරා . අද  හිම වැටෙනවා ඇති  කියා හිතන ගමන්  ජනේල්ලේ පොඩ්ඩක් ඇරියා. එකොලොස්වෙනි තට්ටුව අවට කැරකි කැරකි ශීතලේ ගැහි ගැහි රිංගන්න කවුළුවක් ඇරෙනකන් බලාගෙන හිටි ප්‍රචණ්ඩ මහල්ලෙක් මෙන් සිතල හුළං පදාසයක් ගේ ඇතුලට රිංගුවා. සට සට ගාල අයිස් කැට  සුදු යකඩ අත්වැටේ වැටිලා විසිරිලා යනවා. 

මම කෝල්  එකක් ගත්තා පිලාත්ට . මොකක්ද ? "කුණාටුවක් ඇවිල්ල . සමහර පැතිවල ගංවතුර ඒ කලුමුහුද අවට කලාපේ. බොස්පරස් එකේ නැවක් ගිලිළලු. බොස්පරස් වහල . නැව්  යන්න බෑ ". 

කළු මුහුද අවට තුර්කි කලාපේ මිනිස්සුන්ට තමයි ගොඩක්  කරදර . 

මේ කතා අස්සේ මම ලියන්න හිටි බ්ලොග් පෝස්ට්  එක මතක් වුනා. කළු මුහුද ගැනනේ .මට ඔෆිස් එකේදී හිනත් ගියා කළු  මුහුදට නම වැටිච්ච හැටි අහල 

2023 නොවැම්බර්  20 සඳුදා 

තුර්කිය දකුණට වෙන්න පදිංචි මිනිස්සුන්ගේ විශ්වාසයක් තියනවා උතුර පැත්ත කළුයි කියල . ඒකයි  ඔය කළු  මුහුදට නම වැටිච්ච කතාව . 

මගේ ආදරණිය කැස්පියන් මුහුදට තරමක් ප්‍රමාණයෙන් සමාන කළුමුහුද වටේට බල්ගේරියාව, රුමේනියාව, මොල්දාවියාව, යුක්රේනය, ජෝර්ජියාව, රුසියාව  හා තුර්කිය කියන රටවල් හතටම මායිම් වෙනවා . යුරෝපය හරහා රටවල් ගානක් මැදින් ගලාගෙන එන ඩෑනියුබ් ගංගාව දිගේ එන නැව් කලුමුහුදට ඇවිල්ල බොස්පරස් හා ඩාඩනල්ස් ඇලවල් හරහා මධ්‍යධරණී මුහුදට වැටෙනවා 

කළු මුහුද ඉවුරේ  පදිංචි තුර්කි ජනයා කතා කරන භාෂාවේ ඇක්සන්ට් එක වෙනස්  වෙන  හැටිත් එක එක පලාත්වල වෙනස් වෙනස් විදිහට වචන  උච්චාරනය කරන හැටිත්  කිය කියා හිනා වෙන තරුණ ගැටයන් හා ගැටිස්සියන්  තමන් දන්නා හැටියට ඒවා මට පරිවර්තනය කරලා දෙන්න මහන්සි වුනා . ඉස්සර අක්බාර් කෑම පැයේදී අම්බලන්ගොඩ උන්ගේ කතාවට බණ්ඩාරවෙල අපි හිනා උන හැටිත් උන් අපේ සමහර වචන අල්ලාගෙන හිනා උන හැටිත් මතක් වුනා 

2023 නොවැම්බර්  21 අඟහරුවාදා  

එකකට  එකක් ගැලපෙන් නැති වචන කිහිපයක මාතෘකාවක් අද පෝස්ට්  එකට ආවේ ඇයි කියා දැන්ම කලබල වෙන්න කාරී නෑ . ඉස්සෙල්ලම කුමාර් ආන්දන්දන්ගෙන් පටන් ගන්නම් , පෝක්  සමුද්‍ර සන්ධිය හරහා එහාටත් මෙහාටත් පිහිනලා , තනි කකුලෙන්  හිටගෙන ඉඳල හා දඟර නැටුම් ආදියෙන් හිනස් වාර්තා කිහිපයක්ම තිබ්බ ශ්‍රී ලාංකිකයෙක් තමයි කුමාර් ආනාන්දන් කියන්නේ . ඔහු අන්තිම ගමන යන්නෙත්  ඉංග්‍රීසි ඕඩය  හරහා පිනමින් ඉන්නකොට දියවැලකට අහුවෙලා කියල වගේ මට මතක . යාපනේදී ඉපදිලා, ලන්ඩන් විශ්ව විද්‍යාලයේ උපාධියක් තිබ්බ ,  වෘත්තියෙන් නිතිවෙදියෙක් වෙච්ච ඔහු මිය ගියේ 1984දී . ඔය කාලේ ඉඳන් මට තියෙන ප්‍රශ්නයක්  තමයි මේ පෝක්  සමුද්‍ර සන්ධියට ඒ වගේ නමක් ආවේ කොහොමද කියල .  දහඅටවැනි සියවසේ අග හරියේ මදුරාසියේ හිටි ඉංග්‍රීසි ආණ්ඩුකාර රොබර්ට් පෝක්  නිසා පෝක්  කෑල්ල  ලැබුනත් ඔය සමුද්‍ර සන්ධිය කියන නම මේලෝකේ තේරුමක් තියෙන නමක් නෙවෙයි . ඒක  සමුද්‍ර තීරයක්  බොස්පරස් ස්ට්‍රේට් හෝ ඉන්ග්ලිෂ් චැනල් කියන ඒවා වගේ ඇළ  මාර්ගයක් .

ආයෙම අපේ දෙවන මාතෘකාවට ආවොත් ලෝකේ තියෙන නාවික ගමනාගමනය කළ  හැකි පටුම සමුද්‍ර ඇළ  මාර්ගය තමයි බොස්පරස් කියන්නේ . කලුමුහුද හා මධ්‍යධරණී මුහුද යා කෙරෙන කිලෝමීටර් තිස් එකක බොස්පරස් ඇළ හා ඉවුරු දෑළම මුළුමනින්ම අයිති තුර්කියට . මධ්‍යධරණී මුහුදට වැටෙන්න කලින් මේ වතුර තුර්කි දේශ සීමාව ඇතුලෙම පිහිටි මාමුරා මුහුදට් ගිහින් ටිකක් ඇළවෙලා ඉන්නවා . එතැන  ඉඳන් ආපහු මධ්‍යධරණී මුහුදට යනකම් තියෙන්නේ තුර්කියට අයත් තවත් සමුද්‍ර ඇළ  මාර්ගයක් වන ඩාඩනල්ස් ඇළ . මේ ස්වාභාවික ඇළ  මාර්ග දෙකම තුර්කියට අපමණ ආර්ටික හා දේශපාලන වාසි ගෙන දෙනවා .

බොස්පරස් කියන්නේ ඉතිහාසයක්, කතා මාලාවක් 

Bosporus- Source GBNews

2023  නොවැම්බර් 22 බදාදා 

අපේ කන්තෝරුවේ හිටි ඔක්ස්ෆර්ඩ් එකේ ඉගෙන ගත්ත  ඇලන්වත් දැනගෙන හිටියේ නෑ  බොස්පරස් කියන ග්‍රීක වචනේ තේරුමයි ඔක්ස්ෆර්ඩ්  කියන ඉංග්‍රීසි වචනේ තේරුමයි ආසන්න වසයෙන් සමානයි කියල. අපේ අලිමංකඩ වගේ මේ නම ගවමංකඩ කියල සිංහලට හරවා ගන්න පුළුවන්. ඒත් මේ වචනවල තේරුම එතනට අදාළ වෙන විදිහ ගැන වැඩිය හිතන්න හොඳ නෑ . නවීන තුර්කි භාෂාව ග්‍රීක, ප්‍රංශ , අරාබි ඇතුළු භාෂාවල වචන මහා ගොඩක් ටර්කික් සම්භවය  තියෙන වචනවලට  එකතු කරගෙන නවීකරණය කර ගත්ත භාෂාවක් . ස්ථාන නාමනම් බොහොමයක් ග්‍රීක් . බොස්පරසුත් එහෙම එකක් .

වයස හැට පහු කරලා හිටියත් ඇලන්  හරිම ක්රියාශිලියි. අලුත් දෙයක් දැනගන්න පුදුම උනන්දුවයි. ඇත්තම කිව්වොත් ලෝකේ නොයෙක්  නොයෙක් රටවල නම තැබූ ඉදිකිරීම්වල අත්දැකීම් තියෙන කෙනෙක්.  ඒ අතරින් මම ගිය ස්ථාන දෙකක් තමයි ඉංග්‍රීසි ඕඩය  හරහා එංගලන්තේ ඉඳන් ප්‍රංශයට  මුහුද යටින් යන කිලොමිටර් පණහක් දිග උමග . අනික 1999 විවෘත කෙරුණු තට්ටු 88ක් උස මැලේසියාවේ පෙට්‍රොනස් ද්විත්ව කුලුන. ඇලන්ලා චැනල් ටනල් එක විවෘත කරපු අවුරුදේ මම විදුසර පත්තර කන්න්තොරුවේ ඉඳන් ඒ ගැන කියෙව්වා. ඇලන්ලා මැලේසියාවේ පෙට්‍රොනාස්  නිවුන් බිල්ඩිම විවෘත කරන කොට මම කොළඹ  ලෝක වෙළඳ මධ්‍යස්තානේ  තට්ටු තිස් අටේ නිවුන් ගොඩනැගිල්ලේ පිළිසකර වැඩ . මේවගේ පිටුපස්සේ රසවත් කතා ගොඩක් තියෙනවා 

මම අලන්ව පොරොන්දු කර ගත්ත ඔහුගේ ජිවිත  අත්දැකීම් කොහේ හෝ සටහන් කරවගන්න . ඔහු මානව පුස්තකාලයක් . 

මම හිටි ප්‍රොජෙක්ට්වලදී  අඩුම තරමේ කාන්තා හා පිරිමි චරිත දෙකක්වත් ජිවිත කාලෙට හිතවත්ව ඉන්න පවුලේ මිතුරන් බවට පත්වෙනවා .ඒකත්  එක්තරා ලැබීමක් . 

කවදා හරි ලෝකය යා කරන අධිවේගී දුම්රිය මාර්ගයෙන් කොළඹ ඉඳන් නොර්වේ පැත්තට ටිකට්  එකක් අරන් යද්දී මෙන්න මේ පාර තමයි අපි හැදුවේ කියල තුර්කි බල්ගේරියා දේශ සීමාවේදී කියද්දී ඇලන්වත් මතක් කරන්න පුළුවන් වෙයි. 

මේවා තමයි හීන.



26 comments:

  1. කුමාර් ආනන්දන්ගේ මුද්දරේ දැකපුගමන් මතක්වුනේ මුද්දරපොතේ තිබ්බ මොහොමඩ් ලෆිර් ගේ මුද්දරේ. ලෆීර් තමයි ක්‍රීඩාවකින් ලංකාවට ඉස්සල්ලම ලෝක කුසලානයක් ගෙනාවේ.ඒ ක්‍රීඩාව එච්චරම ලංකාවේ මිනිස්සු අතරේ නොතිබුණ නිසාම අප්‍රකට වීරයෙක් වුන ක්‍රීඩකයෙක්.ඔය ෆිල්ම් එකක, නාට්‍යයක වගේ පෙන්නපු ස්නූකර්, බිලියඩ් බෝර්ඩ් එකක් ඇරුනාම එහෙම එකක් ඇස් දෙකටවත් දැකලා නොතිබ්බ පොඩි කාලේ ඒ ක්‍රීඩා ගැන හෙවුවේ ඔය මුද්දරේ නිසා.ඒ හෙවිල්ල කොච්චර දුර ගියාද කියනවනම් එක කාලෙක පොට්ලක්, මිලේනියම් පාර්ක් වගේ පූල් පාලර් වල නිත්‍ය සාමජිකයෝ වගේ හිටිය කාලෙකුත් තිබුනා. ඒ ඔක්කොම පටන්ගත්තේ මුද්දරේකින්.

    ReplyDelete
    Replies
    1. ඉතා හොඳ මතක සටහනක්. ලෆීර් ගැනත් ප්සොට් එකක් ලියමුකො කටුසු. මේ මතක අවුස්සන්න ලැබීම ගැන සතුටුයි

      Delete
  2. හැට පැනපු අය ක්‍රියාශීලී නොවෙන්නෙ ලංකාවෙ විතරද මංදා

    ඉවාන් පවුලූශා

    ReplyDelete
    Replies
    1. මොන පිස්සුද? බලන්න දියවන්නාව දිහා

      Delete
  3. මම හිතන් හිටියේ කළු මුහුදට ඔය නම වැටිලා තියේන්නෙ එකේ යට තියෙන මල මුහුදු ස්තරය හින්දා කියලා - මුහුදේ යට ස්ථරයේ කිසිම ජිවීයෙකුට ඉන්න බැරි නිසා කියලා. අහලා තියෙන විදිහට කළු මුහුදේ කිසියම් ගැඹුරකින් යට ඔක්සිජන් නැතිවෙන නිසා කිසිම ජීවියෙකුට ඉන්න බැරි කථාවක් අහලා තියෙනවා.

    එවගේම තිලකසිරි මහත්මයා, අපි දෙන්නා එකිනෙකා හදුනනවා.ඇලන් වගෙම් අපි දෙන්නම ලංකාවේ ප්‍රොජෙක්ට් දෙකක වැඩ කරලා තියෙනවා. එකක් තමයි දේශීය ඉංජීනේරුවන් විතරක් සහභාගී වෙලා කරපු ලංකාවේ අධිවේගී මාර්ගය. අනෙක තමයි පොර්ට් සිටි ව්‍යාපෘතිය. හදුනා ගත්තොත් ඔබ මා.....හ හා...ෆේස් බුක් එකෙත් ඉන්න නිසා මෙසේජ් එකක් දාන්නම්... - මයියා -https://maiyyagelokaya.blogspot.com/

    ReplyDelete
    Replies
    1. හත්දෙය්යනේ මයියා . සෙන්ට්‍රල් එක්ස්ප්‍රස් එකෙත් හිටියනම් , ෆෝර්ට් සිටියේත් හිටියනම් මට වහං වෙලා ඉන්නේ කොමද? ඉක්මනට මැසේජ් එකක් දාන්න . හොඳ වෙලාවට ඒ ප්‍රොජෙක්ට් ගැන තාම බේගල් ලිව්වේ නෑ .

      Delete
  4. ඒක කියවලා සාහිත්‍ය රසය ලෙවකා බලනව මිසක්කා වෙන මක්කාවත් ලියන්න හිතෙන්නෙ නෑනෙවැ.

    ReplyDelete
    Replies
    1. මේකේ සාහිත්‍ය රසයක් තියේද? සාහිත්‍ය කන්නද ? ඔන්න ඔහේ වෙන මොනවා හරි ලියන්න

      Delete
  5. අද කොටසත් නියමයි. ++++++++++👌😁

    ReplyDelete
  6. නියමයි මචෝ ලියමන. අපි රුසියානු භාෂාවෙන් කීවේ චෝර්නොයේ මොර්යේ කියල කළු මුහුදට. මේ මගේ සවාරිය (මේ බ්ලොග් පෝස්ට් ප්‍රසිද්ධ ඒවා නෙමේ හොඳද)https://kolambagamaya.blogspot.com/2021/01/blog-post_19.html

    ReplyDelete
    Replies
    1. තැන්කිව් මචං . ඒ රස ලිපියත් කියවන්න ඕනි. තව කොච්චර කතා තියෙනවද නේද ?

      Delete
    2. මචං , මම ඉස්සෙල්ලම ඉස්තාන්බුල් ගියේ 1987 විතර. මේ පාර යන්න හිටියත් බැරි වුනා. එතැනින් බලගේරියාවේ සොෆියා නගරයට යන්න ලඟයි. එහෙ ගඟ අයිනේ කෝපි කෝප්පයක් රස විඳින එක හෙම ජනප්‍රියයි. මට දැන ගන්න ආසයි දැන් කොහොමද කියල ඒ පැත්ත. ඒ දවස් වල සමාජවාදී අග නුවරවල් වලින් ටිකක් යුරෝපියන් විධිහට තිබබ් එකක්. පුලුවන්නම් ගිහිල්ල පොඩි විස්තරයක් දාන්නකෝ

      Delete
    3. අපේ ප්‍රොජෙක්ට් එකේ කොටස් තුනක් තියෙනවා. අපි හදන්නේ මැද කොටසේ රේල් පාරයි ස්ටේෂන් ටිකයි . තුන්වෙනි කොටස බල්ගේරියා දේශසීමාව කිට්ටුවට යනවා. දවසක මේ ප්‍රොජෙක්ට් එන්ඩ් එකයි ඉන් එහා පැත්තේ බල්ගේරියාවේ නගරයි බලන්න හිතාගෙන ඉන්නවා මචං . අනිවාර්යයෙන් ඒ විස්තරත් ලියනවා

      Delete
  7. තිලකේ මල්ලිට කෝල් ලෙකක්
    පාන්දරම ලොකු අයියාගෙන්
    මොකටද මොකටද ගංවතුරක්‌
    තිලකේට නැහැ කිසි කරදරයක්

    ReplyDelete
    Replies
    1. මොකටද ඔය හැටි කඩිමුඩියක්
      තියමු ඇනෝ අපි කවි මඩුවක්

      Delete
  8. සිංදුවක වචන කොච්චර තිබ්බත්, පේලි කොයිතරම් උනත්, ස්ථායි අන්තරා කොටස් තුනක් තිබ්බත් මතක හිටින හැමගේම වාගේ) හිතට වැදුනු පොඩි වචන දෙක තුනක් තියෙනවා. ආන්න ඒ වාගේ මේ වචන සිය ගනන අතරේ හිත නැවතෙන්නේ කුමාර් ආනන්දන් ළඟ!
    ඔහු වීරයෙක් උනේ අපිට මතක කාලේ. එයාගේ තිබ්බා නොනවත්වා පැය 48ක් ද කොහෙද සයිකල් පැදපු එකකුත්. ඒක කලේ විහාර මහා දේවි පිටිය වටේ. ඒ ඔහු නම් මම ඒ ලෝක වාර්ථාව පිහිටුවනවා දැක්කා.
    ඔහුව මෝටර් රථ අනතුරකට භාජනය කරණවා ඔහුගේ සතුරන් හෝ ඊර්ශ්‍යාකාරීන් පිරිසක් විසින්. ඒ අනතුරෙන් ඔහුගේ පාදයක් ඉවත් කලා වගේඅත් මතකයි!
    මට ඔහුව එක් වරක් හමුවී තිබෙනවා.
    කොටුවේ කාගිල්ස් සාප්පුව, චැතැzම් වීදිය ඌන්න ඔය පැත්තේ උඩු මහලක ඔහු කුඩා වෙළෙඳ සැලක් පවත්වාගෙන ගියා දුර්ලභ දේවල් විකුණන.
    මම එතනට ගියා නන්චක්කුවක් (නන්චකූ) ගන්න.
    ඒ වෙලාවේත් ඔහු සිටි ආසනය ආසන්නයේ කිහිලි කරුවක් තිබුනා!

    ReplyDelete
    Replies
    1. මේක කොමෙන්ට් එකක් නෙවෙයි මාර ඉතිහාස කතාවක් කියන පෝසට් එකක්. තැන්කිව් . කරුණාකරලා මේක විස්තර කරලා පෝස්ට් එකක් ලියපං . හරිම වටිනා වැඩක් ඒක

      Delete
  9. මටත් තියෙනවා කොහෙහරි මොනවහරි වුනාම එහෙ ඉන්න අයට කථාකරන පුරුද්දක්. මගේ එහෙම මතකයක් තමයි 9/11 සිද්ධියෙදි වල ඉන්න කෙනෙකුට ඒක කිව්වෙ මම කොළඹ ඉඳන්. එතකං මිනිහ දන්නෙ නැහැ. මිනිහ පොතක් කියව කියල ඉඳල ටී වී එක දාල නැහැ ඒ උදේ.

    ReplyDelete
    Replies
    1. මමත් මෙහෙ නිව්ස් ගොඩක් දැනගන්නේ ලංකාවට කෝල් කරාම . අපේ රටේ වගේ නිව්ස් ගැන උනන්දුව අඩුයි හැමෝටම

      Delete
  10. පිටකොටුවේ බෝම්බයක් ගිය දවසේ මටත් ඔහොම කෙනෙකුට කෝල් එකක් දෙන්න වෙලා තියෙනවා. නමුත් අද වෙනතුරු ඇය දන්නේ නෑ ඒ බව!

    ReplyDelete
    Replies
    1. හ්ම් .. ඒකාලේ බොහොමයක් කතා බලෙන් අමතක කරලා ඉන්නවා

      Delete