චිත්‍රපටය නරඹන අතරතුර සිනමා ශාලාවේ පිටුපසින් නිකුත් වන ආලෝක කදම්බය දෙස හැරී බැලීම කුඩා කල මගේ පුරුද්දක් විය. එහෙත් සිනමා ශාලාවක පිටුපස හැරී බැලීම නුසුදුසු බවත්, එය අනෙකුත් ප්‍රේක්ෂකයන්ට හිරිහැරයක් විය හැකි බවත් අම්මා මට කීවාය.
චිත්‍රපට ප්‍රදර්ශනය පිටුපස ඇති තාක්ෂණය සොයා යෑමේ මේ කුහුල නිසාම, ඉඩක් ලැබුණු සැම අවස්ථාවකම ඒ ගැන සොයා බැලීමට මම පුරුදු වුණෙමි. සිංගප්පූරුවේ විද්‍යා මධ්‍යස්ථානයේ අඟහරු ගවේෂණය පිළිබඳ ගෝලීය තිරයකින් දැවැන්ත දෘශ්‍ය අත්දැකීමක් නරඹද්දී පවා මගේ සිත ගියේ තිරයේ පෙනෙන දර්ශනවලට පමණක් නොව, ඒවා නිර්මාණය කළ තාක්ෂණය දෙසටය. චිත්‍රපටයක කලාව රසවිඳින අතරම, ඒ කලාව පිටුපස සැඟවී ඇති විද්‍යාව හා තාක්ෂණය හැකි පමණින් හාරා අවුස්සා බැලීම මගේ පුරුද්දක් විය.
පසුගිය සතියේ මා කතා කළේ ඉස්තාන්බුල්හි ට්‍රම්ප් ටවර්ස් සංකීර්ණයේ සිනමා ශාලාවකින් ක්‍රිස්ටෝපර් නෝලන්ගේ ‘දි ඔඩිසි’ චිත්‍රපටය නැරඹූ අත්දැකීම ගැනය. එය මෑත කාලයේ රූප හා ශබ්ද තාක්ෂණය අතින් විශිෂ්ට මට්ටමකින් නිර්මාණය වූ, ප්‍රබල පසුබිම් කතාවක්ද සහිත සලරුවකි.
ඒ ලිපියේ අවසානයේ මා සිහිපත් කළේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අපේ සිනමා සංගමය වෙනුවෙන් කොළඹ තානාපති කාර්යාලවලින් බරැති ෆිල්ම් රීල් පෙට්ටි රැගෙන ගිය දින පිළිබඳවය.
එදා චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරීම යනු ෆිල්ම් රීල්, ප්රක්ෂේපණ යන්ත්‍ර, මිනිස් ශ්‍රමය සහ හොඳ සම්බන්ධීකරණයක් මත රඳා පැවති කාර්යයකි. අද ෆිල්ම් රීල් භාවිතය බොහෝ දුරට අවසන් වී ඇත. ඒ වෙනුවට බිහි වී ඇත්තේ පැරණි ක්රමයටත් වඩා සංකීර්ණ වූ ඩිජිටල් ලෝකයකි.
අද හොලිවුඩ් චිත්‍රපටයක් ලොව පුරා රටවල් සියයකට වැඩි සංඛ්‍යාවක, සිනමා ශාලා දසදහස් ගණනක, එකම දවසේ ප්‍රදර්ශනය වෙයි. ප්‍රේක්ෂකයාට එය සාමාන්‍ය දෙයක් සේ පෙනුණද, ඒ පිටුපස ක්‍රියාත්මක වන්නේ අතිවිශාල අන්තර්ජාතික ව්‍යාපෘතියකි. ඇත්තෙන්ම මේ මෙහෙයුම සාර්ථක වන්නේ එය තනි ව්‍යාපෘතියක් ලෙස නොව, හොඳින් සැලසුම් කළ ගෝලීය වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක වන නිසාය.
‘දි ඔඩිසි’ කතාවේ ඔඩිසියස්, ට්‍රෝයි සිට සිය ඉතාකා රාජධානියට පැමිණීමට වසර දහයක් ගත කළේය. එහෙත් නෝලන්ගේ ‘දි ඔඩිසි’ ලොව පුරා සිනමා ශාලා දහස් ගණනකට ළඟා වන්නේ පැය කිහිපයක් ඇතුළතය. එයද තවත් ‘ඔඩිසියකි’. වෙනස වන්නේ එහි නැව් සහ සුළං වෙනුවට මෙහි දත්ත, ෆයිබර් ජාල, චන්ද්‍රිකා, සේවාදායකයන් සහ ගුප්ත කේතන තාක්ෂණය භාවිත වීමය.
නවීන සිනමා ශාලාවකට ලැබෙන්නේ සාමාන්‍ය වීඩියෝ ගොනුවක් නොවේ. එය ‘ඩිජිටල් සිනමා පැකේජ්’ හෙවත් ‘ඩීසීපී’ නමින් හැඳින්වෙන විශේෂ ගොනුවකි. චිත්‍රපටයේ රූ, නද, උපසිරැසි සහ සෙසු සියලු දත්ත ඉතා උසස් තත්ත්වයෙන් එහි අන්තර්ගත වේ. මේ දත්ත ප්‍රමාණය ගිගාබයිට් සිය ගණනක් විය හැකිය.
මෙම ‘ඩීසීපී’ ගොනුව ඇතැම් විට විශේෂ දෘඪ තැටියකින් සිනමා ශාලාවට එවයි. තවත් අවස්ථාවල අධිවේගි ජාල ඔස්සේ ඍජුවම සිනමා සංකීර්ණයේ සේවාදායකයට යවයි. එහෙත් ගොනුව ලැබුණු පමණින් චිත්‍රපටය ප්‍රදර්ශනය කළ නොහැකිය. ඒ, එය දැඩි ලෙස ආරක්ෂිත කේත සමඟ සම්බන්ධ කර ඇති බැවිනි.
එය විවෘත කළ හැක්කේ ‘කී ඩිලිවරි මැසේජ්’ හෙවත් ‘කේඩීඑම්’ නම් ඩිජිටල් මුර යතුර මඟිනි. මේ ‘යතුර’ නිකුත් කරනු ලබන්නේ නිශ්චිත සිනමා ශාලාවක, නිශ්චිත සේවාදායකයක සහ නිශ්චිත කාල සීමාවකට පමණි. ඉස්තාන්බුල්හි සිනමා ශාලාවකට නිකුත් කළ ‘කේඩීඑම්’ යතුරක් කොළඹ හෝ ලංඩනයේ යන්ත්‍රයක ක්‍රියා නොකරයි. එමෙන්ම නියමිත ප්‍රදර්ශන කාලයට පෙර හෝ පසුද එය විවෘත කළ නොහැකිය.
මේ ක්‍රමය මඟින් ලෝක මංගල දර්ශනයට පෙර චිත්‍රපටය අනවසරයෙන් ප්‍රදර්ශනය කිරීමේ හෝ පිටපත් කිරීමේ ඉඩ අවම වෙයි.
මම ඉස්තාන්බුල් නුවර සිනමාහල්වලදී තවත් අපූරු දෙයක් දුටුවෙමි. එකම චිත්‍රපටය ඉංග්‍රීසි හඬ සමඟ තුර්කි උපසිරැසි ඇති දර්ශන වාරවලින් මෙන්ම, සම්පූර්ණයෙන්ම තුර්කි භාෂාවට හඬ කවාද ප්‍රදර්ශනය විය.
මෙය සිදු වන්නේ චිත්‍රපටය නිකුත් වූ පසු නොවේ. මාස කිහිපයකට පෙර සිටම පරිවර්තකයන්, හඬකැවීම් අධ්යක්ෂවරුන් සහ හඬ නළුවන් සැලසුම්ගත ගිවිසුම් යටතේ කටයුතු ආරම්භ කරන නිසාය. මුල් තිරපිටපත පරිවර්තනය කිරීමෙන් පසු, දෙබස්, නළුවන්ගේ තොල් චලනයට ගැළපෙන පරිදි නැවත සංස්කරණය කරනු ලැබේ. පසුව හඬ පටිගත කර, මුල් සංගීතය හා ශබ්ද ප්‍රයෝග සමඟ නැවත මිශ්‍ර කර, අදාළ භාෂාවේ ‘ඩීසීපී’ පැකේජයට එක් කරනු ලබයි.
සමහර රටවල ප්‍රේක්ෂකයන් උපසිරැසි සහිත මුල් හඬට රිසි වන අතර, තවත් රටවල හඬකවා ඉදිරිපත් කරන චිත්‍රපට වඩාත් ප්‍රචලිතය. ඒ අනුව, චිත්‍රපටයේ බෙදාහැරීමේ හා ප්‍රදර්ශන සැලැස්මද රටින් රට වෙනස් වේ.
එබැවින් ගෝලීයව නිකුත් වන දිනයේදීම තුර්කියේ ප්‍රේක්ෂකයකුට තුර්කි බසින්ද, ප්‍රංසයේ ප්‍රේක්ෂකයකුට ප්‍රංස බසින්ද, ජපානයේ ප්‍රේක්ෂකයකුට ජපන් බසින්ද එකම චිත්‍රපටය නැරඹිය හැකිය.
බහු-තිර සිනමා සංකීර්ණයකට තවත් අභියෝගයක් තිබේ. සැම දර්ශන වාරයකටම එකම ප්‍රේක්ෂක සංඛ්‍යාවක් නොලැබේ. සතියේ මැද දහවල් දර්ශනයකට ප්‍රවේශ පත්‍ර කිහිපයක් පමණක් විකිණිය හැකි අතර, සති අන්තයේ සවස දර්ශනයක් සම්පූර්ණයෙන්ම පිරී යා හැකිය. එබැවින්, සිනමා සංකීර්ණ දිනපතා ප්‍රවේශ පත්‍ර අලෙවිය, අසුන් පිරීමේ ප්‍රතිශතය සහ දර්ශන වාරවල ඉල්ලුම විශ්ලේෂණය කරයි. අද එම කාර්යයට දත්ත විශ්ලේෂණ පද්ධති සහ කෘත්‍රිම බුද්ධියද යොදා ගැනේ.
ඉල්ලුම අඩු නම් චිත්‍රපටය කුඩා ශාලාවකට මාරු කෙරේ. තවත් අවස්ථාවල දර්ශන වාර සංඛ්‍යාව අඩු කර, වැඩි ඉල්ලුමක් ඇති චිත්‍රපටයකට විශාල ශාලාවක් ලබා දෙයි. බහු-තිර සිනමා සංකීර්ණ බිහි වීමෙන් මෙවැනි කළමනාකරණයක් වඩාත් පහසු වී තිබේ.
මේ ක්ෂේත්‍රයේ කළමනාකරණයට දැන් වෘත්තීය ස්වභාවයක් ලැබී ඇත. සිනමාව හා තාක්ෂණය විෂයයක් ලෙස ඉදිරියට යමින් පවතින අතර, චිත්‍රපට නිෂ්පාදනය, බෙදාහැරීම, දත්ත කළමනාකරණය, ශ්‍රව්‍ය හා දෘශ්‍ය තාක්ෂණය වැනි අංශවල නව විශේෂඥයෝ හා වෘත්තිකයෝ බිහි වෙමින් සිටිති.
චිත්‍රපටයක් ලොව පුරා එක්වර නිකුත් කිරීම යනු සැබවින්ම තනි ව්‍යාපෘතියක් නොව ගෝලීය වැඩසටහනකි. එය නිෂ්පාදකයා, බෙදාහරින්නා, සිනමා සංකීර්ණ, තාක්ෂණ සමාගම්, පරිවර්තකයන්, හඬකැවීම් ශිල්පීන්, සන්නිවේදන සේවා සපයන්නන් සහ තොරතුරු ආරක්ෂක විශේෂඥයන් ඇතුළු සංවිධාන රැසක ඒකාබද්ධ මෙහෙයුමකි.
නවීන සිනමා ව්‍යාපාරික ගිවිසුම් අනුව, ප්‍රේක්ෂකයා මිල දී ගන්නා ප්‍රවේශ පත්‍රයේ මුදල ඍජුවම නිෂ්පාදකයා අතට නොයයි. ඒ ආදායමෙන් කොටසක් සිනමා සංකීර්ණයටද, තවත් කොටසක් බෙදාහරින්නාටද හිමි වන අතර, ගිවිසුම් හා වියදම් අනුව ඉතිරි ආදායම නිෂ්පාදකයා වෙත ගලා යයි.
එයට අමතරව රූපවාහිනී විකාශ අයිතිය, ප්‍රවාහන සේවා, ගුවන් සේවා, විවිධ රටවල ප්‍රදර්ශන අයිතිවාසිකම් සහ වෙනත් බලපත්‍ර මඟින්ද නිෂ්පාදකයා වසර ගණනාවක් පුරා ආදායම් උපයාගනී. එබැවින් චිත්‍රපටයක් යනු පැය තුනක විනෝදාස්වාදයක් පමණක් නොව, දිගුකාලීන ප්රතිලාභ උපදවන බුද්ධිමය දේපළ වත්කමකි. ව්‍යාපෘති කළමනාකරණයේ භාෂාවෙන් කියන්නේ නම්, චිත්‍රපටය නිම කිරීමෙන් නිෂ්පාදන ව්‍යාපෘතිය අවසන් වුවද, එහි ප්රතිලාභ ආරම්භ වන්නේ ඉන් පසුවය.
මේ සියල්ල ගැන සිතන විට මට නැවතත් මතක් වන්නේ පේරාදෙණියේ එකල සිටි ප්‍රොජෙක්ටර් ක්‍රියාකරු ‘මෙන්ඩිස් අයියා’ ය. එදා ඔහු නියමිත වේලාවට ෆිල්ම් රීලය මාරු කළේය. අද ඒ කාර්යය ඉටු කරනු ලබන්නේ ලොව පුරා විසිරී සිටින නොපෙනෙන තාක්ෂණවේදීන්, සේවාදායකයන් සහ ඩිජිටල් පද්ධති සමූහයක් විසිනි. තාක්ෂණය වෙනස් වී ඇත. එහෙත් තිරය පිටුපස නොපෙනෙන වීරයෝ පිරිසක් තවමත් සිටිති.
අප තිරය මත දකින්නේ ඔඩිසියස්ගේ වීර චාරිකාවයි. එහෙත් සිනමා තිරය මත චිත්‍රපටය දර්ශනය වීමට පෙර, ලොව පුරා දහස් ගණනක් මිනිසුන්, සමාගම් සහ තාක්ෂණ පද්ධති එක්ව නිර්මාණය කරන තවත් ‘ඔඩිසියක්’ නිහඬව ක්‍රියාත්මක වී තිබේ. සමහර විට චිත්‍රපටයේ මේ නොපෙනෙන ගමන, තිරය මත දිස් වන ගමනට නොදෙවැනි, විස්මිත චාරිකාවක් විය හැකිය.
( Silumina 02 Aug 2026)
