Sunday, February 23, 2014

සුගතේ බාස්


සුගතේ බාස් කොළඹින් දුර බැහැර පිහිටි අපේ පුංචි වැඩබිමේ  හිටි උප කොන්ත්‍රාත් කාරයෙකි. හොඳ මේසන්  බාස් කෙනෙකි. මිනිස්සු විසිපහක් තිහක් තබාගෙන වැඩබිම කෙළවරේ වාඩි  ගසාගෙන සිටි ඔහු ඉදිවෙමින් තිබුණු ගොඩනැගිල්ලේ  කම්බි බැන්දේය. කොන්ක්‍රීට් දැම්මේය.ෂටරින් ගැසුවේය. යුහුසුළු කුහුඹු ගුලක්වන්  සුගතේ බාස් ගේ ගෝල පිරිස  මා ඒ වැඩබිමට යනවිට උද්යෝගයෙන්ම සිටි කණ්ඩායමයි.

ඔහු  උදේම සයිට් ඔෆිස් එකට ඇවිත් ගෝලයින්ගේ වියදම් සල්ලි ඉල්ලාගෙන යයි. එකාට සීය ගණනේ බෙදා දෙන විට පෝලිමේ  එන ගෝලයෝ එය ලබා ගනිති. මේ රුපියල් සීයෙන්  බුලත්විට, ප්ලේන්ටිය, බීඩි , සිගරැට්, දවල් කෑම මෙන්ම හවසට මල්පැන් වඩියකටද පිරිමසා ගන්නට පුළුවනි. උදේ හා රෑ කෑම වාඩියේම ඉදෙයි.

මාසේ අන්තිමට  මිනුම් ගෙන ගණන් හදා බිල පියවූ පසු සුගතේ  පඩි නඩි බේරා ගෝලයින් ගම්බිම්වලට පිටත් කර හරියි. ඉන්පසු ගමේ යාමට  කෝච්චියට නගියි. ඔහුගේ ගම්පාලාත හරිහමන් විදිහට කවුරුවත් දැන හිටියේ නැත.

ඔහු කිසි දිනක වැඩ බිම අවටින් ගෝලයන් හොයා ගත්තේ නැත. සිටියෝ මහියංගනය, අම්පාර වවුනියාව වැනි කොළඹට දුර බැහැර පලාත්වලිනි. මේ නිසාම කුඹුරු වැඩ කාලයට සුගතේ බාස්ට ගෝලබාලයන් හොයා ගැනීමට දහදුක් විඳින්නට සිදු වෙයි.

මේ කියන්නට යන කාලයේ සුගතේ බාස් සිටියේ සැහෙන හිත අමාරුවකිනි. ඒ වැඩබිමේ ගෝලයන්ට දිනපතා  වියදම්සල්ලි ගෙවන්නට සල්ලි පිළිවෙලකට නොලැබුණු හින්දය.

වැඩබිම් මුලිකයා කිව්වේ කොළඹ ඉඳන් වැඩබිමට සල්ලි ලැබුනේ නැති බවයි.
ඒ හන්දා වියදම් සල්ලි බෙදු ඉස්ටෝරුවේ අමරේට සිද්ද වුනේ  ඉතිරි වී තිබු මුදල් පිරිමසාගෙන රුපියල් සීය වෙනුවට පනහ බැගින් වියදම්සල්ලි ගෙවන්නටය. ගෝලයෝ  මුලින් මුලින් මේ ගැන කන්කෙඳිරි ගෑවෝය.

දවසක් දෙකක් යද්දී ඒ කෙඳිරි ගෑම මහා ගාලගෝට්ටියක්  බවට පත්වෙමින්  තිබුණි.
'මහත්තුරුන්ට කියන්න කොළඹ ගිහිල්ල හරි සල්ලි අරන් එන්න  කියලා.මෙහෙම පුලුවන්ද  කන්න බොන්න බුලත්විට නෑ . හවසට ඇඟේ අමාරුවට  පොඩ්ඩක් සප්පායම් වෙන්න නෑ'.

නහයෙන් අඬ අඬා  සුගතේ බාස් කිව්වේ 'පොඩ්ඩක් ඉවසපල්ලා කොල්ලනේ. ඔෆිස් එකට සල්ලි ඇවිත් නැතිව ඇති. සල්ලි තියෙනවනම් ඒ මහත්තයා නොදී ඉන්නවායැ ?

ඔහොම තියෙද්දී එක දවසක් වියදම් සල්ලි සතයක්වත් ගෙවන්නට තිබ්බේ නැත. උදේ ඉඳන් ඔරොප්පු වී සිටි ගෝල පිරිස වැඩ වර්ජනය කර, තැන තැන  වාඩිලාගෙන සිය අවනඩුව එකිනෙකාට කියා ගනිමින් සිටියෝය. වෙනදා සුගතේ බාස්ට කීකරු ගෝලයෝ අද ඔහුව ශත පහකට කෙයාර් නොකරති.

ඒ අස්සේ දෙතුන් දෙනෙක් සුගතේ බාස් වටකරගෙන පරුෂ වචනයෙන් වැඩබිම් මුලිකයාට දොස් කියති. ඔහුට පහර දෙන්නට යන්නට සැරසෙති.

අලුතින් වැඩබිමට පත්වී ආ අපට ඔවුන් වචනයකින්වත් අරියාදු නොකරා වුවද දැන් දැන් වෙන්නට යන විජ්ජුම්බරය ගැන බියක්ද  බඩගින්නේ වේලෙන කම්කරුවන් පිරිස ගැන අනුකම්පාවක්ද මගේ හිතේ  ලියලයි.
සුගතේ බාස්ගේ කටහඬ  පුදුමාකාර ලෙස සැර වැඩිවී ඇත. ඔහුගේ අනුකම්පා හිත ගල් වී දැන් මහත්තුරුන් සමග කේන්තිය ඇවිස්සී ඇති සෙයකි.

"මම ඔය මිනිහ ගාව අවුරුදු දහයක් වැඩ කරලා  තියෙනවා.ඒ ඇඳුනුම් කමටයි ආවේ . උඹලා හිටපල්ලා මම හොඳින් හරි නරකින් හරි මේ මිනිහගෙන් සල්ලි අරන් එන්නම්කෝ'
සරම මදක් කෙළවරින්  උස්සා ගත්  සුගතේ බාස් හැල්මේ වැඩබිම් කන්තෝරුව දෙසට යන්නට සැරසෙයි. ඔහු වළක්වා තවත් ගොලොයෝ මොකක්දෝ වාදයෙකි.

මේ කලබගෑනිය මුසු පමාව අස්සේ මම වැඩබිම් කන්තෝරුවට  වේගයෙන් ගියේ වෙන්නට යන විනම්බෑසිය කල්තියා වැඩබිම් මුලික සෝමදාසට කියන්නටය. මොනා උනත් ඔහු අපේ ලොක්කාය.
අනිත් අතට සුගතේ බාස් පැමිණ දෙකක් කතා කර වියදම් සල්ලි කොහොමින් හෝ ලබා ගන්නවාට කැමැත්තක්ද මගේ හිතේ තිබිණි.

මම කන්තෝරුවට යනවිට සෝමදාස කාන්තා පත්තරයක් බලමින් නිවී සැනහිල්ලේ තනියම හිනාවෙමින්  සිටියේය.
'සොමදාස මහත්තයා අන්න මිනිස්සු හොඳටම ඇවිස්සිලා . ඉක්මනට සුගතේ බාස්ගේ ගෝලයින්ට වියදම් සල්ලි හොයලා දෙන්න වෙයි. උන්ට කන්න බොන්න නෑ කියලා අන්න වැඩ නවත්තලා'

සෝමරත්න පත්තරේ පිටුවක් පෙරලුවේය. මා කියන දේ මායිම් නොකළ ඔහු ' ඔව් ඉතින් පහුගිය ටිකේම මහන්සි  වුණ  එකේ උන් ඔය පොඩ්ඩක් නිවාඩුවේ හිටපුවාවේ'.

මුළු සයිට් එකේම වැඩ නවත්වෙලා මිනිස්සු ඇවිස්සිලා ඉද්දිත් සෙල්ලක්කාර නොසැලකිලිමත් හැසිරීමක් ඇති නල්ලමලේ ප්‍රොජෙක්ට් මැනේජර් කෙනෙක් මට ලැබී ඇත.

' ඒ විතරක් නෙමෙයි අන්න උන් සෝමදාස මහත්තයාට ගහන්න එන්නත් ලැහැස්ති වෙනවා ' මම එසේ කියද්දී  මගේ හිතේ තියෙන වුවමනාවද එයමදැයි මට සිතුනි.

පත්තරෙන් මුණ මෑත් නොකරම සෝමදාස මෙසේ කිව්වේය;

' මල්ලි මේවගේ සයිට්වලට උඹ තාම අලුත් වැඩියි. ඒකයි මේ බොරු කලබලේ., මම දැන් අවුරුදු තිහක් විතර මේවගේ කරවෙලා තියෙන්නේ. ඔය නැති තැන කොච්චර කැ ගැහුවත්  එකෙක්වත් කෙලින්  ඔළුව උස්සලා මට මොකුත් කියයිද  බලපන්.
ඕනනම් සුගතේ කාරයා තවටිකකින් ඇවිල්ලා තෙපරබබා වටින් ගොඩින් සල්ලි ඉල්ලයි.  නැති සල්ලි කොහෙන් දෙන්නද? මම ඌව නවාගන්න හැටි බලපන්කෝ.

ඔහු හයියෙන් හිනා උනේය.

ඊට සුළු වෙලාවකට පස්සේ කන්තෝරු දොරකඩ එලිපත්තේ උගුර පාදන හඬක් අසුනේය. ඊළඟට සුගතේ බාස්ගේ කටහඬ.

ඔහු බලෙන්  වාගේ හඬේ කටෝර බවක් මවාගෙන .
'මහත්තයා මම ඇතුළට එනවා!' .

අපෙන් එකඟතාවයක් එන්නට පෙරම  ඔහු කාමරයට ඇතුළුවී සෝමදාසගේ මේසය  අබියස හිට ගත්තේය. නපුරු කරගන්නට තතනන බයාදු මුණකි ඔහුට තිබුනේ. ඕනිම බරපතල කතාවක් පටන් ගන්නට කලින් දහිරිය ගැනීමට සුගතේ බාස් කරන සුපුරුදු කාරිය ඇරඹුවේය.

බුලත් මුල ලිස්සේය. නාඹර බුලත් කොලයක් ගෙන හුණු තවරන්නට පටන් ගත්තේ කටේ දමාගත් පුවක් පළුව හපා පොඩි කරන ශබ්දය ඇසෙන අතරවාරයේය.

මේ අවසරයෙන් සෝමදාසගේ පළමු නැමිල්ලට සුගතේ අහු වුනේය.

මටත් දියන් බන් පුවක් කෑල්ලකුයි බුලත් කොලේකුයි. ඔය හැටි හුණු කන්ට හොඳ නෑ  මනුස්සයෝ.

සුගතේගේ සැරවර තරමක් බාල වුනේය.

ඔහු සීරුවට බුලත්විට දිග හැර දෝතින්ම සෝමදාස වෙත පෑවේය.

සෝමදාස ඕනෑවටත් වඩා වෙලා අරගෙන බුලත්කොළය හතරට නමා පුවක් කෑල්ල එක්කම  කටේ දමා හැපුවේය.  කාර්යාල ජනේලය ලඟට ගොස් චිරිස් ගා ලා කොළ පාට බුලත් කෙල පාරක් විද්දේය.

මේ බුලත් සෙල්ලම ඉවරවෙනතුරු නොඉවසිල්ලෙ සිටි සුගතේ බාස් කලකිරුණු ස්වරයෙන් සිය දුක්ගැනවිල්ල ඉදිරිපත් කළේය.

'මහත්තයෝ මගේ ගාව විසිඅට දෙනෙක් වැඩට ඉන්නවා'

ඔව් මන් දන්නවා ඇයි මදි වගේද?

'නෑ මහත්තයෝ උන් සේරෝටෝම  දවස් ගානකින් හරියට වියදම් සල්ලි දෙන්න බැරි වුනා. උන් මාව කන්නේ නැති එක විතරයි. දැන් කීයද වෙලාව. එකටත් කිට්ටුයි.  අද විසිඅට දෙනාටම දවල් කන්ඩ දෙන්න තියෙන්නේ මෙන්න මෙච්චරයි' කියමන් කමිස සාක්කුවේ උණ්ඩි කරගෙන සිටි රුපියල් පනහේ නෝට්ටුවක්  අතින් ලෙළ දෙව්වේය. ශෝකය හෝ කේන්තිය නිසා ඔහුගේ කටහඬ මෙන්ම අතැඟිලිද වෙවුලුවේය.

සෝමදාස නැගිට්ටේය. සෙමින් සුගතේ ලඟට ලංවී ඔහුගේ අතේ ලිහිල්ව රඳවාගෙන සිටි රුපියල් පනහ තමන්ගේ අතට ගත්තේය.

ඉන්පසු ඉස්ටෝරුව බලාගත් සමරේට කෑ  ගසා කතා කළේය.

දැන්නම් හරියයි. සමරේට කියලා වියදම් සල්ලි දෙන්නයි යන්නේ. මට සිතුනි. සුගතේ බාස්ටත් එසේ සිතෙන බව ඔහුගේ මුහුණෙන් පෙනෙයි.

සමරේ ආවේය. ඔහු දෙසට රුපියල් පනහ දිගු කල සෝමදාස මෙසේ කිව්වේය.
' සමරේ මම තාම උදේට කාල නෑ . තරහ නැතිව මට මාළු පාන් එකකුයි ප්ලේන්ටියකුයි සිකරට් එකකුයි ගෙනෙන්'.

සමරේ නික්ම ගිය පසු ' සුගතේ බාස්‌ගේ ප්‍රතිචාරය පුදුමාකාර විය.

තමන්ගේ අතේ තිබු පිච්චියද උදුරා ගත් මේ මිනිසාගේ ඇඟට ගොඩ වෙනවා වෙනුවට ඔහු කිව්වේ;
 'එහෙනම් මහත්තයා හෙඩ් ඔෆිස් එකට කාව හරි යවලා සල්ලි ටිකක් කොහොම හරි ගෙන්න ගන්න බලන්න නැත්නම් අපේ වැඩේ තමයි පරක්කු වෙන්නේ. මම කොල්ලෝ ටික අද දවසට ෂේප් කරගන්න බලන්නන්කෝ'.

මේ වෙන දේ හිතා ගන්නට බැරිව සිටි මම සුගතේ බාස් පසුපසින් ගියේ ඔහු සිය ගෝලයින්ට මුහුණ දෙන්නේ කොහොමද කියලා බලන්නටය.

' පුතාලා මම හාඩ්වවෙයාර් එකේ මුදලාලිගෙන් කීයක් හරි වියදමට ඉල්ලාගෙන එන්නම් .
පව් බන් අපි දවල්ට කන්න නෑ කියලා සල්ලි ඉල්ලලා අරෝවට ගියාට අර සෝමදාස මහත්තයා තාම උදේට කාලත් නෑ .බලපල්ලා මේ හෙඩ්  ඔෆිස් එකේ ඉන්න අනුකම්පාවක් නැති උන් සැපට එහෙ ඉන්නවා මෙහෙ අපිත් දුක් විඳිනවා . මහත්තුරුත් දුක් විඳිනවා.

සුගතේ බාස්ගේ ගෝල පිරිස බඩගින්න නිසා හෝ සෝමදාස මහත්තයා කෙරෙහි උපන්නා වූ අලුත් බඩේගින්දර නිසා හෝ කරබාගෙන තැන තැන ඇනබා ගත්තෝය.

මම ආපසු යනවිට සෝමදාස අර පත්තරයම බලමින් කකුල් දෙක මේසය උඩ තබාගෙන සිටියේය.
මගේ මේසය උඩ  තෙල් තැවරුණු බ්‍රව්න් පේපර් කවරයක දමා තිබු මාළුපාන් බාගය මම අසල තිබු කුණු කුඩයට හඬ නැගෙන සේ  විසි කර දැම්මෙමි.

මගේ නොමනාපය තේරුම් ගත්තාක් මෙන් ඔහු පත්තරය  දෙකට නවා පැත්තකින් තබා පුටුවේ  හරිබරි ගැසුනේය. වෙනදා නැති ස්වරයකින් හඬ අවදි කළේය.

'උඹ දන්නවද සුගතේගේ  කොල්ලන්ට කලින් මමයි ස්ට්‍රයික් කලේ. මම  ඔෆිස්  එකට ඊයෙම කිව්වා සල්ලි  එනකන් මම වැඩ නවත්වනවා . අදත් හම්බුන් නැත්නම්  කොල්ලෝ ටිකත් එක්ක කොළඹ එනවා කියලා .
'උදේ මම ආයිමත් කොළඹට කතා කරා.සල්ලි අරගෙන එකෙක් එහෙන් පිටත් වෙලා.දෙක විතර වෙනකොට මෙහෙට එයි'.

සෝමදාසත් සමග උදේ බඩ  පිරෙන්නට කෑ කිරිමාලු හා ඉඳිආප්ප සප්පායම හිතින් අමතක කර දමන්නට මම උත්සහ කළෙමි. 

(photo; samsungvillage.com)  

Thursday, February 13, 2014

ඔයා ආවම ඇති

මේ  චිත්‍රය අපේ ලොකුදෝනිට අඳින්න හිතුනේ එයැයිගේ තාත්තා මුලින්ම නැන්දා මාමා    දකින්නට ගිය දවසේ කතන්දරේ අහපුවාම . කෙල්ලගේ  වචනවලින්ම  මෙතැන ඉඳන් කතාව කියන්නම්. 

>>>>>>>>>>>>>>>>>>>>>>>>>>
අම්මාගේ මව්පියන්  බැහැදකින්නට  තාත්තා මුලින්ම ආ දවසේ අපේ ආච්චී කැමතිම දෙයක් අරන් එන්න ඕනි නිසා තමයි රෝස පැළයක් ගෙනල්ල තියෙන්නේ . බණ්ඩාරවෙල ඉඳන් ගෙනාපු එකක් .

එදා තාත්තා ඇඳගෙන ඇවිල්ල තියෙන්නෙත් අම්මා අරන් දුන්න කමිසයක්. කොච්චර කලබලකාරයෙක්ද කියනවානම් ෂර්ට් කොලර් එකේ යටින් තියෙන කර්ඩ්බෝඩ් තීරුව අයින් කරලා තියෙන්නේ ආච්චිලා ගෙදරදී. එකත් අම්ම පෙන්නපුවාම. මේක කිය කියා අපේ ආච්චියි අම්මයි පස්සේ කාලෙකත් කොච්චරනම්  හිනා උනාද ?

අම්මා තමයි ආච්චී මල් පැළවලට ගොඩක් කැමතියි කියලා තියෙන්නේ. අපේ ආච්චී ( අම්මාගේ අම්මා ) තාත්තාට ගොඩක් ආදරය කළා. ඇය අසනීපෙන් සිටි දවස්වල තාත්තා ගැන නිතරම කියෙව්වා. කවද්ද තාත්තා එන්නේ කියා කියා අපිටත් වඩා ඇහැව්වා.

'අනේ ඒ ළමයට අලුත් ඇඳුම් ටිකක් අරන් තියන්න මේ පාර ආවම  . මේ දවස්වල කෑම බීම කොහොමද දන්නෙත් නෑ . කෙට්ටු වෙලා ඇති.'

ඒ දවස්වලත් තාත්තා ලංකාවේ හිටියේ නෑ .

ආච්චී අපිව දාලා දිවියලෝකේ ගියාට පස්සේ අපේ මුළු ගෙදරම වසාගත්ත පාලු  කාංසාව ලේසියෙන් මකා ගන්න බැරි උනා . තාත්තා රට රස්සාවත් දමලා ගහල අපිත් එක්ක නතරවුණේ ඒ හින්දයි.

ආච්චී ගැන කියන්න කතන්දර ගොඩක් තියෙනවා.

 ඒත් මට මේක ලියන්න හිතුනේ අපේ තාත්තා අද දවසෙත් ගෙදර නැති එක ගැන හිතේ තියෙන අමාරුව පිට කර ගන්න බැරිව.  ගිය අවුරුද්දේ නම් තාත්තා නොකියාම රට ඉඳන් ඇවිත් අපිව සර්ප්‍රය්ස් කරා.

අපි බලාගෙන ඉන්නේ තාත්තා රෝස මලකුත් අරගෙන හොරෙන් හොරෙන් ඇවිල්ල අපේ ගෙදර දොරට තට්ටු කරයි කියලා. ඒ වැලන්ටයින් දවස හින්දා නෙවෙයි. මීට අවුරුදු ගණනාවකට කලින් පෙබරවාරි මාසේ මැද හරියේ දවසක සිද්ද වෙච්ච විශේෂ දෙයක් හින්දා.

අපේ තාත්තා කොළඹ තියෙන මහා රූස්ස  තට්ටු ගොඩනැගිලි අලුත්වැඩියා කරන කොම්පැනියක වැඩ කළාලු. ඒ ගොඩනැගිල්ලට අතුරු අන්තරා වෙලා තියෙන්නේ මහා බැංකු බෝම්බෙනුයි ඊට පස්සේ ගලදාරි හෝටලේ ළඟ පුපුරපු බෝම්බෙනුයි. මුලින්ම පුපුරපු මහා බැංකු බෝම්බෙන් පස්සේ අර ලංකාවේ උසම නිවුන් පිට්ටු බම්බු ගොඩනැගිලි දෙකටත් සෑහෙන හානි උනා.

ඒකේ අලුත්වැඩියාවන් තමයි ඒ දවස්වල තාත්තලා පටන් අරන් තියෙනේ, එහෙම කරගෙන යනකොට තමයි ගලදාරි හෝටලේ ළඟ බොම්බේ පුපුරලා තියෙන්නේ. එදා නිවාඩු දවසක් වෙච්ච නිසා තමයි මේ කතාව මෙහෙම කියන්න පුළුවන් වුනේ. මොකද එදා තාත්තලා සයිට් ඔෆිස් එකටත් හානි වෙලා. තාත්තා සාමාන්‍යයෙන් වාඩිවෙන පුටුව තිබ්බලු අඩි විස්සක් විතර ඈතින් පෙරළිලා.

ඊටත් පස්සේ උදාවෙච්ච මේ කියන දවසේ තාත්තා වැඩට ගිහින් තියෙන්නේ වැඩ ටික කාට හරි පවරලා ඉක්මනින් ආපහු එනවා කියලා අම්මට පොරොන්දු වෙලා. අම්මා ලෙඩ ඇන්දේ ඉද්දි අම්මගේ ඔලුවත් අතගාලා.

ඒත් වැඩට යනකොට ලොකු රැස්වීමකට ලක ලැහැස්ති වෙනවාලු. පිටරට සමාගම් ගොඩක සුදු මහත්තුරු ලංකාවේ ඉංජිනේරුවරු මහා ගොඩක්. ඉතින් තාත්තට මේ රැස්වීමට ඉන්නම වෙලා. එයාගේ කොම්පැනියෙන්  තව ඔස්ට්‍රලියන් ජාතිකයෙකුයි තාත්තයි දෙන්න විතරයි ඉඳල තියෙන්නේ.

තාත්තා සුදු යාළුවාට යන ගමන් කිව්වලු 'මම මේ රැස්වීමට ගියාට මම ඉන්නේ පුදුම චකිතයකින්. මට රැස්වීමේ වැඩවලට හරියට මුහුණ දෙන්න බැරි වෙයිද දන්නේ නෑ' කියලා.

එයා තාත්තගේ අත තදින් අල්ලාගෙන කිව්වලු:
 'මට තේරෙනවා ඔයා ඉන්න තත්වේ ඒත් මේක රටවල් ගොඩක කට්ටිය එකතු වෙලා කරන වැදගත්ම සාකච්චාවක් . අපේ සමාගම නියෝජනය කරන්න ඔයා ඕනිම නිසා පොඩ්ඩක් හරි ඉඳලා යන්න . මට කරන ලොකු උදව්වක්. මමත් මෙහෙට අලුත් නිසා පසුගිය වැඩවල ප්‍රගතිය අලුත් සැලසුම් මොකුත්ම දන්නේ නෑ' කියල

කොහොම කොහොම හරි රැස්වීම පටන් ගත්තාම මුලින්ම මතුවෙලා ඇවිත් තියෙන්නේ වීදුරු හා දොර ජනෙල් පිළිසකර කරන හැටි ගැන. තාත්තාගෙන් මුලාසනේ හිටි යුදෙව් ජාතිකයා ඒ ගැන ඇහුවම තාත්තා බර කල්පනවකලු.

ඊට පස්සේ යුදෙව් ජාතිකයා  ඇහුවලු 'ඔයාට අද මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවාද? වෙනදා ප්‍රගතිය ගැන සැලසුම් ගැන එපා වෙනකන් කතා කරන මනුස්සයා අද මනෝ ගහගෙන' කියලා. ඊට පස්සේ තාත්තගේ සුදු යාලුවා රික් මුලාසනේ ලඟට ගිහින් හෙමින් රහසක් කිව්වලු.

'ආ එහෙම එකක්නම්. අපි රැස්වීම කල් දාමු කිව්වා' . හැමෝම කිසිම අමනාපයක් නැතිව නැගිටලා තාත්තගේ අත මිරිකලා හෙට හම්බ වෙමු අපි කියල ගියාලු.

තාත්තා විදිලි වේගෙන් ඇවිල්ල තියෙන්නේ ජයවර්ධනපුර හොස්පිටල් එකට. සීයාත් ආච්චීත් කනස්සලු මුනෙන් කොරිදොරේ ඉන්නවා. තාත්තා දැක්කම ඒ දෙන්නාම තාත්තගේ ඇඟේ එල්ලුනාලු.

'බලන්නකෝ දැන් කොච්චර වෙලාද . තාම තොරතුරක් නෑ' .

එතකොට ආපු නර්ස් කෙනෙක් ලඟට ගියපු තාත්තා එයත් එක්ක මහා කලබලෙන් මොනවද මුණු මුණු ගාල තියෙනවා. නර්ස් නෝනා 'ඉන්න මන් බලන්නම්'කියල ගියා ගියාමලු . තවත් පැයක්  විතර යනකන් කිසිම ආරංචියක් නැතිව.

ඊළඟට අර නර්ස්ම කඩිමුඩියේ තාත්තා හොයාගෙන ඈවිත් මෙහෙම කිව්වලු.

'දුවෙක් ඉන්නවා , 'දෙන්නම සනීපෙන් ඉන්නවා' කන්ග්රැජුලේෂන්ස් !

සන්තෝසේ දරා ගන්න බැරි  වෙච්ච පාර තාත්තා ඒ වෙලාවේ නර්ස් නෝනාව බදාගෙන ස්තුති කරන්න ගිය එක සීයයි ආච්චියි තමයි යන්තන් වළක්කගෙන තියෙන්නේ . ඒ වෙනුවට සීයයි ආච්චියි තාත්තයි තුන් දෙනා බදාගෙන සතුටු උනාලු.

තාත්තාට තාමත් මාව හීනෙන් පෙන්නේ එදා මාව ඉස්ඉස්සෙල්ල දැක්ක හැටියටළු. චුටි කොළපාට රෙදි කෑල්ලක ඔතලා පුංචි ට්‍රොලියක දාගෙන එනකොට තාත්තා හොස්පිටල් කොරිඩොර් එකේ උඩ  පැනලා නැටුවේ නැති එක විතරයි කියලයි ආච්චි කිව්වේ.

අනේ ඉක්මනට ගෙදර එන්නකෝ තාත්තේ. රෝස පැලත්  එපා , චෝකලටුත් එපා. කේකුත් එපා.
ඔයා ආවම ඇති.

Wednesday, February 5, 2014

රිදී පහන් වැට


අපේ ගෙදර බොහොම වයසැති චිමිනි ලාම්පුවක් තිබුනේය. මේ කියන ලාම්පුව  ඒ කාලේ අප සිටි ගුරුනිවාසයේ තිබු වටිනාම බඩු  මුට්ටු කිහිපයෙන් එකකි.එය  මට මතක කාලයේ හිටන් අපේ ගෙදර තිබුනේය. හැත්තෑහතර  අවුරුද්දේ දවසක් තාත්තා උදෙන් කොළඹ යන්නට ලැස්ති වී අපි සියලු දෙනාම  ඇහැරවන විට පවා  කළුවර තුරන්වී නොතිබිණි. පාන්දර පහට විතර වෙන්නට ඇති.

පුතේ නැගිටලා බලන්න . අයියලා ඇඳ  යට බලන්න . අක්කලා දොර මුල්ලේ බලන්න .

මොකක්ද නැති වෙලා තියෙන්නේ.?

 තාත්තගේ  සපත්තු දෙක

ඒ කාලයේ තාත්තා සුදෝසුදු නැෂනල් සුට් එක ඇඳ  කළු සපත්තු දෙකක් දැම්මේ විශේෂ ගමනක් යනකොට පමණි.  ඉතින් සපත්තු තියන්නට ව්ශේෂ තැනක් නොතිබුණු  අපේ ගෙදර දොර මුල්ලක හෝ ඇඳක් යට සඟවා තැබෙන සපත්තු දෙක මාස ගණනකට වරක් එලියට එයි. එක වරක් එසේ සොයා  ගත් සපත්තුවට කකුල  දමද්දීම තාත්තා කෑ ගසාගෙන කකුල එලියට ගත්තේය.
කකුල  එලියට ආ අතර එය පසු පස ආවේ මරහඬතලාගෙන (ඒක ඇහුනේ නැත. මට හිතුනු ශබ්දයකි)  තඩි ගෙම්බෙකි.

මද කළුවරේ තාත්තාගේ සපත්තු හොයන්නට පළමුවෙන්  වුවමනා දේ ටෝච්  එකයි.ඒකත්  කොහේදෝ කියා හොයා ගන්නට .නැත.
අයියා නිදිමතේ වැනි වැනී  සාලේ  තිබුණු  චිමිනි  ලාම්පුව අතට ගත්තේ ටෝච් එක වෙනුවටය.

චිමිනි ලාම්පුව පෙරලී බිම වැටුනේය. චිමිනිය කුඩු වී  ගොස් ලාම්පුව පෙරලී ගියේය. වාසනාවකට චිමිනිය පමණක් කුඩු පට්ටම් වී හැම තැනම ගිනි ඇවිලෙන්නේ නැතිව ලාම්පුව නිවී ගියේය. වීදුරු කටු තිබෙන නිසා දවල් වෙලා ඒවා අහුලන තුරු කටු විසිරුණු කලාපය ගෝනි පඩන්ගුවලින් වසා දැමීමට අම්මා පියවර ගත්තාය.
අයියාට එහෙන් මෙහෙන් තරවටු  එල්ල විය.
බොරු කලබලේ! පරිස්සමක් නෑ . ඔච්චර නිදිමතද ඉලන්දාරියා .

අයියාට ටිකක් බනිද්දී මට ජොලියක් ගියේ කලින් දා රෑ නිදා ගන්න ගොස් ඇඳේ අයින බෙදා ගන්නට බැරිව අපි දෙන්නා අතර දිග්ගැහුණු අරෝව ඒ වෙනකොටත් වියැකී  ගොස් නොතිබුණු නිසාය.

තාත්තා පිටත්ව ගිය පසු අපි නිදා ගත්තෙමු. දහවල් වී ඇහැරෙන විට අම්මා  ලාම්පු චිමිනියේ වීදුරු කටු ඉවත් කර ගේ අතු පතු ගා කිරිහොදියි බතුයි පිගන් වලට බෙදා තිබුණාය.

මම චිමිනිය අහිමිව මේසේ කෙළවරක බලියාගෙන සිටින ලාම්පුව දෙස බලා සිටිද්දී එහි පිත්තල බඳ  තැලී ගොස් තිබෙනවා දුටුවෙමි. අයියාට ටිකක් තද දඬුවමක් අරන් දෙන්න ලැබුණු චාන්ස්  එක.
'මෙන්න අම්මේ අයියා  චිමිනිය විතරක් නෙවයි පිත්තල ලාම්පුවත් බිඳලා'.මම කේලම ඇද බෑවෙමි.

අම්මා ලඟට ආවාය. හොඳින් ලාම්පුව දෙස බලා සිට මුවට මදහසක් නංවා ගත්තාය. ඕක ඉස්සර තැලිච්ච එකක්.

ඒ කොහොමද කවදාද? අපේ ඔවිනි මෙන් දවසකට ප්‍රශ්න හාරසීයක් විතර අහන මම අම්මා උත්තරේ දෙන තුරු චීත්ත පොටේ දැවටී දැවටී එකම ප්‍රශ්නය අහුවෙමි.
අම්මා ඒ ප්‍රශ්නයට උත්තර දුන්නේ  ඊට අවුරුදු ගානකට පස්සේ දවසකය. හැබැයි ඇය මුළු කතාවම කිව්වේ වරින්වර සෞම්‍ය කල්පනාවල නියැලෙමින් තනිවම හිනා වෙමිනි.

පිත්තල ලාම්පුව තැලී තිබුනේ මොකක්දෝ පුංචි කාරනාවකින් පටන් ගත් දබරයකදී කේන්තිය පිටකරගනීමට බැරිව තාත්තා විසින් ලාම්පුව අල්ලා පොළොවේ ගසා තිබු නිසාය.

ඒත් ප්‍රහේලිකාවක්‌  මගේ හිතේ නලියයි. ඇයි  තාත්තා එදා මේ තරම් නපුරු වුනේ , තාත්තා හරිම අසාදාරණයිනේ ?

මා  මුවින් නොඇසූ ප්‍රශ්නවලට අම්මා පිළිතුරු දුන්නාය.
තාත්තා දන්නා තෙක්කට  බඩුවක් මුට්ටුවක් පොළොවේ ගහලා තියෙන්නේ එදා තමයි. ආයේ කවදාවත් ඒ තරම්  රණ්ඩු  වුනෙත් නෑ.
මිනිහෙකුට කේන්ති යන්න ඉතින් හේතුවක් අහේතුවක් තියෙන්න ඕනියෑ .

අමමා තාත්තාට සැලකුවේ භක්තිමත් ගුරුවරයෙකුට මෙන්ය. එයටද හේතුවක් තිබෙයි . තාත්තා  හා හා පුරා උගන්වන්නට ආ පාසලේ ජෙෂ්ට පන්තියේ සිටි සිත්ගත් සිසුවිය අම්මාය. මේ ආදර කතාව ඉන් එහාට මල් පල ගැන්වී සුන්දර ආදර කතාවක් බවට පත් විය.

 අම්මා  හා තාත්තා දබර කරගත් තව  දවසක් මට මතකය. ඒ මහපතනේ මුත්තා මියගිය දවසේය. අපිට දුරින්වත් නෑයෙකු නොවන මහපතනේ මුත්තා හදිස්සියේ මිය ගිය දවසේ කුස්සියේ කෙරුණු කතා බහ මේ විදිහය ;
‘අම්මා දැන් මයේ හිතේ උන්දැට හැත්තෑපහක් විතර වෙනවා ඇති’.
‘මොන ඊට වැඩියි අසුවත් පැනලා ඇති . අපි දන්නා කාලෙත් වයසයිනේ.’
‘එච්චර වෙන්නේ කොහෙද උන්දැගේ පොඩි දුවට තාම අවුරුදු විස්සක් ඇති’
නෑ!  කාට?  එයාට   තිහ පැනලා ඇති.
මෙන්න මෙහෙම පටන් ගත්  කතාව ටිකකින් දුරදිග ගියේය
අසුවයි !
නෑ  හැත්තෑපහයි !
තාත්තා   දඩස් ගා පුටුව තල්ලු කළේය
හැත්තෑපහ තමයි දන් නැති දේවල් කතා කරන්න එපා.

 මං කියන කිසි දෙයක් පිලි ගන්නේ නෑ . හැමදාම ඔහොමයි. හැමදේම ඔහොමයි.අම්මා හඬන්නට පටන් ගත්තාය
දබරය  දුර දිග ගොස් අම්මාත් තාත්තාත් එදා කෑම කෑවේත්  නැත.
 අම්මා අඬ අඬා කියවයි. තාත්තා කේන්තියෙන් ගේවටේ සක්මන් කරයි.

මේ මොන විකාරයක්ද  කොහෙවත් ඉන්න,මැරිච්ච මිනිහෙක්ගේ වයස ගැන වාද වෙලා මේ දෙන්නා  රණ්ඩු කරනවා හරියට පොඩි උන් වගෙයි .අක්කාට  හොඳටෝම කේන්ති ගිහිල්ලය.

මේ දෙන්නා අතර මත ගැටුම් වල දරුණුම අවස්ථා දෙක ලෙස මට මතක තිබෙන්නේ ඔය කියාපු සිද්දීන් දෙකය. ඒත් අම්මා වඩාත් කැමති සාස්තර ඇසීම්, පේන  ඇසීම් තෙල් මැතිරිලි ආදියට තාත්තා එක හෙලා උදැල්ල දැමුවේය. මේ ආදී සුළු සුළු හේතු නිසා දෙන්නාගේ නොහොඳ නෝක්කාඩු ඇති උනත්  එක වරුවකට වඩා පවතින අමනාප වීමක් තිබුනේම නැති බව මට ඒකාන්තයෙන්ම විශ්වාශය.

පිත්තල   ලාම්පුව කෙසේ වෙතත්  පහුගිය දශක හයක් තිස්සේ ඔවුන් එක්කාසු වී අලුතින් දැල්වූ ආදරය, නැණ  නුවන , නොසැලෙන ගුණය ආදී විවිධ වර්ගයේ  පහන් පෙළ පරම්පරාවන්   විනිවිද යමින් දිගින් දිගටම එලිය විහිදුවනු ඇත. ඒ පහන් වැටියේ ආලෝකයෙන් වැඩිපුරම පෙන්නුම් කරන්නේ සැප සම්පත් සීමිත ලෝකයකදී උනත්, එකිනෙකාට   අසීමිතව ආදරය කරන හැටියි.

අපේ අම්මයි තාත්තයි එකවහලක් යටටවිත් හැටවන වසර එළඹ තිබේ..මේ දෙන්නාට දෙන්නා ළඟ නැතිව අදද එක දවසක්වත් ඉන්නට  අපහසුය.


(චිත්‍රය ඇන්දේ ඔවිනි )

Monday, January 27, 2014

සුප්පාදේවි අම්මා


(තිලක සිත මුල් පිටුවට මෙතැනින් පිවිසෙන්න 

සුප්පාදේවි අම්මා 
දශක දෙකකට විතර ඉස්සර අපි පෝලිම් ගැසී සිටියේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර  අතින් උපාධිය ලබා ගන්නටය. ඔහු අපේ කුලපතිවරයාය. නම් පිළීවෙලට පෝලිමේ සිටි මුල් ටික දෙනෙකුට මාල පළන්ඳා උපාධි  සහතික පත්‍ර පිරිනමද්දී වියපත් සරච්චන්ද්‍රයන්  වෙහෙසට පත් වුනේය. අසනීපයෙන් පසු වූ එතුමාව වාඩි  කරවා ඉන්පසු උපකුලපතිතුමා ඉතිරි පිරිසට උපාධි ප්‍රධානය කිරීම දිගටම කරගෙන ගියේය.

අපේ රණයා  පෝලිමේ උපාධිය ගන්නට කිට්ටු වනු දැක මහාචාර්ය සරච්චන්ද්‍ර අති උද්යෝගයකින් නැවත නැගී හිටියේය. ‘මෙයාට උපාධිය දෙන්න ඕනි මගේ අතින්’ . ඔහු එසේ අදහස් කරන බව අපට පෙනිණි.
රණේට ඒ අනුව මහැදුරු සරත්චන්ද්‍රම උපාධි පළඳනාව සහ සහතිකය ලබා දුන්නේය.

‘මේ අපේ ළමයින්ගේ දරුවෙක්නේ’ සරච්චන්ද්‍රයන් එසේ සිතමින් සොම්නසින් බලන සෙයක් අපට පෙනිණි. රනේ හෙවත් දැන් මහාචාර්යවරයෙකු වන රොෂංක රණසින්හ  යනු වෙන කවුරුවත් නොව සරත්චන්ද්‍රයන්ගේ සිංහබාහු  නාට්‍යයයේ  නොකඩවා වසර තිහක්  එක දිගට රඟපෑ සුප්පා දේවී හා පොතේගුරාගේ දෙටු පුත්‍රයාය. වැඩිම වාර ගණනක්  වේදිකා නාට්‍යයක රඟපෑ යුවල ලෙස ඔවුන් දෙදෙනා ගිනස් ලෝක වාර්තා පොතට ඇතුලත් වී හමාරය. 1961 සිට 1990 දක්වා වාර පන්දහසකටත් වැඩියෙන් ඔවුන් මේ භූමිකා දෙක රඟපා තිබුනේය.

ඉස්සර අපි පැනිදෙනියේ කෝච්චි පාර පැන රනේලා ගෙදර ගියවිට කොල්ලන්ගේ කාඩ් සහ  මඩපාරවල්වලට අමතරව ඔවුන් ගැන කෙටි හැඳින්වීමක් ඉදිරිපත්  වන්නේය . 'අම්මේ මේකාත් ඔය පොඩි පොඩි නාට්‍යය එහෙම කරන්න දඟලනවා. පත්තරවලට අරක මේක ලියනවා' රණේ මා දෙමාපියන්ට හඳුන්වා දුන්නේ එලෙසය.
ඒ යුවලගේ දෑස් හිතවත්කමින් දැල්වුණි. 'ඉතින් පුතා ඉතින්. බොහොම හොඳයිනේ ලියන කියන එක' . ආදී ලෙස පටන් ගත් අපේ කතාබහ ඉවර වෙද්දී මට හිතුනේ මේ මාපිය යුවල කලාව ගැන මොන තරම් උතුරන උනන්දුවකින් ආශාවකින් පසුවෙනවාද කියලාය.

දෙවන වසර  සරසවි සිසුවකු වූ ටෙරන්ස් රණසිංහට මාලිනි  හමු වන්නේ ඇය නවක සිසුවියක් ලෙස විද්‍යා පීඨයට තේරී එද්දීය. ඉතින් මේ සොඳුරු ආදර කතාව ඉදිරියට ගලා යන්නේ මහාචාර්ය සරත්චන්ද්‍රයන්ගේ සෙවනේ සුප්පා දෙවි හා පොතේ ගුරා විදිහටය රටේ අස්සක් මුලුල්ලක් නෑර රඟ දැක්වුණු සිංහබාහු නාට්‍ය වේදිකාවේදීය. පෙම්වතුන් ලෙසද අඹු සැමියන් ලෙසද ඉන්පසු දයාබර දෙමාපිය යුවලක් ලෙසද ඔවුහු දිගටම රඟ පෑවෝය.

මීට වසර කිහියකට පෙර රනේගේ ආදරණීය තාත්තා මිය යනවිට සුප්පාදේවි නැවතත් ජීවිත කරලියේ තනි වුවාය. ලසොවුලින් වෙලී සිය සැමියා පිලිබඳ වේදිකා මතකයන් අමතකව යන්නටත් එක්කම ඇය සිය දරුවන් දෙදෙනා ලඟට පදින්චියට ගියාය. ඒ ඕස්ට්‍රලියාවටය.

එහෙ ගිහින් කාලයක් හිටියා වුනාට මාලිනි රණසිංහ මාතාවගේ චිත්ත අභ්‍යන්තරයේ සිටි මධුර ගායිකාව හා රංගන ශිල්පිනිය තවත් මොනවා හෝ කරන්නැයි පෙරළි  කරන්නට වුවාය.
ඇය දැන් ටික දවසකට මවු රටට පැමිණ සිටී . අපේ ගැමුණුවා , ජයලත් මනෝරත්නයන් ඇතුළු සිය  හිතවතුන් සමග වෙහෙසෙමින් ඇය ආයිමත් අපිට සොඳුරු තිළිණයක් දෙන්නට ලක ලැහැස්ති වෙමින් සිටින්නීය.

තමන් කාලයක් තිස්සේ ගායනා කළ  නාට්‍ය ගීත නැවතත් ගයා රැකෝඩ් කර සී ඩී එකක් කරන්නට ඇය යුහුසුළු වෙයි. ලබන පස් වැනිදා, එය දොරට වඩිනදා නාමෙල් මානෙල් පුංචි තියටර් එකට එන්නැයි ඇය කළ ඇරයුම පිලි ගන්නට බැරි වීම මට දරා ගන්නට බැරි දෙයකි. මම එද්දී ගුවන් යානයේදී පවා ඇයගේ වදන්  මනසේ දෝංකාර දුන්නේය..

' පුතා මම වයසට ගියත් ඔයාගේ බ්ලොග් එක නොවරදවාම කියවනවා. මම ඔයාට තිළිණයක් හැටියට මගේ සී ඩී එකක් තියලා යනවා.  හැබැයි මම ඔයාගෙම අම්ම කියල හිතාගෙන මේ මට එක පොරොන්දුවක් දෙන්න ඕනි' .

මොකක්ද ආන්ටි ? මම ඇසුවෙමි.

'කම්මැලි නැතිව තව ලියල ඉක්මනට පොතක් ලියන්න. මට කියවන්න'.

ඇය මට උගන්වන්නේ වයසට නොයන ජීවිත උද්යෝගය හා මිනිස් දහිර්යය පිලිබඳ  අමරණීය කතාවයි.

සුප්පාදේවි අම්මේ ඔබට දීර්ඝායුෂ ලැබේවා!

(සේයාරුව The Island පත්‍රයෙනි )

Monday, January 13, 2014

ලෝක රස්තියාදුකාරයා

බස් එක එන්නට විනාඩි හතළිහක් තියෙනවා. සාක්කුවේ තිබු නෙල්ලි ගෙඩි ටික ඉවර වෙලා. නෙල කඩල ගොට්ටක් ගන්න සල්ලි  මදි. අලුත් සරුවත් කාරයෙක් ඇවිල්ලා . ලබන සතියේ සල්ලි ඉතිරි කරගෙන එකක් ගන්ඩ ඕනි . නෙල්ලි කෑවාට පස්සේ තොලකට සුදු වෙලා කට හිරිවැටිලා. මේ වෙලාවට ඇල්වතුර ටිකක් බිව්වම පුදුම ප්‍රනීත රහක් දැනෙනවා. කිරිහලට පිටිපස්සේ ලොකු වතුර ටැංකියට  හයි කරලා තිබ්බ ටැප් එකෙන් වතුර ටිකක් බිව්වේ ඒක මතක් වෙලා .කිව්වත් වගේ තියෙන රහ. මරේ මාරු. වතුර කරාමය ගාව එළවලු කෑලි  කුණු වෙමින් තිබුනා. වැඩිපුරම ගඳ එන්නේ ගෝවා කොළවලිනුයි කුණු රාබු වලිනුයි. ඒත් අර ලංකාවේ උසම කරපන්ටයින් ගස් ටිකත් ඇඹරෙන තරමට  එන විසේකාර හුළඟට මොන  ගඳක් වත් ඉතිරිවෙලා තියෙන් නෑ. ඈතින් ඈතට ඇදගෙන ගිහිල්ලා කන්දෙන් පල්ලහට ඌසික්ක කරනවා. ඉඳා තියා ගනිල්ලා හූඌ හූඌ කියල සද්දෙකුත් එක්කම.

සරුවත් කාරයා ගෝනියක දාපු  ලී කුඩු අස්සේ තිබිලා  අයිස් කුට්ටිය එලියට අරගෙන මන්න පිහියෙන් අයිනට පහරක් දුන්න. වෙන්වූ අයිස් පළුව අතින් ලිස්සා බිමට වැටෙන්නට නොදී වැර වෑයමෙන් අල්ලා ගන්නවා .  මේ අල්ල පනල්ලේ පුංචි පුංචි අයිස් කැලි විසි වෙලා තාර පාරට වැටෙනවා. ඒවා  දිය වෙනකන් බලා ඉන්න එකත් හරි අපුරු වැඩක්. කවුරුවත් දැක්කේ නැත්නම් සුටුස් ගල අරන් පුංචි අයිස් කැටයක්  කටේ දා ගන්න උනත් තිබ්බා. සමහර වැස්ස දවස් වල ලොකු අයිස් කැට වැටෙනවා. 
අතේ තියාගෙනම පිහියෙන් කුඩු කර ගත්ත අපිරිසිදු අයිස් කැට ටික සලං බලං  ගාල තුන්කාලේ වීදුරුවලට හරි සද්දෙන්  අත  හරිනවා. ඒක තමයි ඇඩ් එක. ඇඩ්  එක වගේ නෙවෙයි වීදුරුවක් එහෙම  බිඳිලා පලච්චිනම්.

දැන් වෙලාව දෙක හමාරයි ඉස්කොලේ ඇරිලා පැයයි . ගමට යන බස් එක එන්න තවත් පැය බාගයක් තියෙනවා. එතකං එක තැන ඉන්න බැරි එකනේ වැඩේ. සමහර කොල්ලෝ නම් රංචු ගැහිලා බස්ස්ටෑන්ඩ් එකේ ලොකු කයිවාරු. මේ සමාගමෙන් හීන් සැරේ මග ඇරලා හුදෙකලාවේ ඇවිදින්න කැමති කෙනෙකුට කොච්චරනම් බලන්න දේවල් තියෙනවද. පොළ පාර දිගේ ටිකක් ඇවිදලා අලුතින් දාපු පුස්තකාලේ බලල එනවද. නැත්නම් පාර  දිගේ උඩට ගිහිලා රීගල් එකේ  එන්න තියෙන චිත්‍රපටිවල කමින් කෑලි පින්තුර ටික බලල එනවද. ඒත් එක දවසක් එතෙන්ට යන්න ගිහින් දොඩම්වත්තේ චුට එලවගත්ත හැටි මතකයි. මල්ලිලා මේ පින්තුර බලන්නවත් එන්න එපා මේක ඇඩම්ස් ඔල්ලි ෂෝ එකක්.

ඔහොම හිත හිතා ඉන්නකොට පී ඩබ්ලිව් ඩී එක ගාව මහා සෙනගක් වට වෙලා මොකක්දෝ බලනවා. විදුලි වේගෙන් එතෙන්ට ගියාමනේ දැක්කේ . මෙන්න බොලේ දේශකයෙක් . කොන්ඩේ පිට මැද්දට කඩා වැටිලා. පිටි පස්සට පීරලා තෙල් ගාලා. හරියට අර කවියක හිටිය  ලෙව්කේ මැතිදු වගේ. ලොකු හම්  බෑග් දෙකක් ට්‍රන්ක පෙට්ටියක් බිම තියලා අමුතු අමුතු ගැජමැටික් එක එක එළියට ගන්නවා.  වෙනිවැල් වගේ වැල් ජාති , වේලාපු  මුල් කෑලි. දේව රුපයක් සුදු රෙද්දක් උඩ  තියලා  තිබ්බා. ඒකට ඔන්න මල් මාලේකුත් දැම්මා. වටේම චුටි චුටි වේවැල් පෙට්ටි වල  නොයෙක් බෙහෙත් ජාති. කහපාට රතු පාට කුප්පි. කොළ කුඩු කරලා  පුංචි පොලිතීන් පැකට් වල දාලා. එක පෙට්ටියක තිබ්බා ලස්සන බෝල බෝල ගල්. ගඟකින් අහුලා ගත්තා වගේ, පුස්කොල පොතකුත් තිබ්බා.තව කුරුළු බිත්තර වගේ මොනවදොත් තිබ්බා. මේවා පිළිවෙලකට කාටත් පේන්න තැන තැන තියෙන අතරෙත් කොණ්ඩකාරයා කට තියාගෙන ඉන්නේ නෑ. සෙනග ගෙන්නා ගන්න කතා කරනවා . වැඩිහිටි ප්‍රශ්නවලට විසඳුම් දෙනවලු ලඟට එන්නලු. ඔන්න හිටපු ගමන් ගාථා කියනවා. හඬ හරි තීව්රයි. යාර දෙතුන්සීයක් ඈතට ඇහෙනවා. මුකරි  කයිවාරු කාරයෙක්.
ඔන්න දේව රූපෙට එහෙම වැඳලා කියලා කාරිය ඇඳගෙන හිටි බාල පොප්ලින් වලට වඩිපුර නිල් දාලා හෝදපු, මැදපු නැති නැෂනල් සුට් එකත්  හරිගස්ස ගස්සා පිරිස දිහා බැලුවා හරි ආඩම්බරෙන්.

පී ඩබ් ඩී  එකේ වැඩ කරන ගෑණු පිරිමි, ඩෙලිකා වැන් රියදුරෝ ලොතරැයි කුඩුවේ මනුස්සයා. තව මහා ගොඩක් ගෑණු පිරිමි කොල්ලෝ කුරුට්ටෝ. ඉස්සරහින්ම මේ සිද්දිය ඉස්පිල්ලක් ඇළපිල්ලක් නැතිව හිතේ රැකෝඩ් කරමින් හිටි කොලුගැටයා .
කොන්ඩකාරයා රල් බුරුල් එහෙම ඇරලා බොහොම කරුණාවෙන් මෙහෙම කිව්වා.

මේ මම කියන කතා උස මහත් වෙචච උදවියට තමයි අදාළ වෙන්නේ. මම බෙහෙත් විකුනනවා සාස්තරත් කියනවා.
ඉසේ ඉඳන් කකුලේ සුලැඟිල්ලට  එනකන් හැමදේම ගැන කතා කරන්න වෙනවා.

කරුණා කරලා ඔය පොඩි ළමයි මෙතනින් යන්න. එහෙම කියනකොටම පොඩි එකාට  තේරුණා මේකත් ඇඩම්ස් ඔන්ලි මොකක් හරි වෙන්නැති කියලා. ලොකුහිටියො ටික එතන හිටිය පොඩිහිටියන්ට එතනින් ඈතට යන්න ඉඩ හදලා දුන්නා. අතින් පයින් ඇස්වලින් හැමෝම කිව්වේ පොඩි එවුන් මෙතෙන්ට ඕනි නෑ කියලා.

ඔන්න එතනින් මග ඇරිලා පාර දිගේ ටිකක් උඩහට ගියාට ආයිමත් කොණ්ඩයාගේ දේශනාව අහන්නමයි පොඩි එකාට හිත. අර බිත්තර වගේ ගල් වලින් මොන බෙහෙත්ද හදන්නේ. මේ යකා ගාව තියෙන මුල් ගොඩ.
කල්පනා කර කර කල්පනා කර කර දන්නෙම නැතිව පොඩි තැන ආයිමත් තෙල් බෙහෙත් සස්තරකාර කොණ්ඩයා ළඟ. ලොකුහිටියන්ගේ කකුල් අස්සෙන් රිංගල රවුමේ ඇතුළටත් ගිහිල්ල අහගෙන ඉන්නවා මෙලෝ සිහියක් නැතිව.

කොණ්ඩයා ඒ වෙනකොට කුප්පියක් අතේ තියාගෙන දත් කැක්කුමට දාන බින්දු දෙකේ බෙහෙතක් ගැන කියවනවා. ගෙදර ගිහිල්ල තමන්ගේ නෝනා හරි මහත්තයා ලඟට මුණ ලං කොරන්න පුළුවන් හොඳ හුස්මක් අරගන්න ඕනිනම්  මේකෙන් බින්දුවක් වතුරට දාල දියකරලා ගල් ගල් ගල් කියල කට හෝදලා දාලා .. . කියනකොටම වට වෙලා හිටිය මිනිස් පොදියේ ඉස්සරහින්ම හිටි උද්යෝගිමත් ශ්‍රාවකයා වන පොඩි එකා කොණ්ඩයාගේ ඇස්වලට මාට්ටු උනා .

කොණ්ඩයාට නහුතෙට කේන්ති ගියා. මෙතන ඉන්න වැඩිහිටි තමුන්නැහෙලටවත් තේරෙන් නැද්ද මේ පොඩි උන් මෙතෙන්ට ගෙන් නැතිව ඉන්න ඕනි කියලා?. ඔය ළමයට මම කියන එක තේරෙන් නැද්ද.? යනවද යන්න මෙතනින් මට පවු නොදී. මම නරක වචන පාවිච්චි කරන්න කැමති නෑ .
මේ කතාව ඉවර උනාම පොඩි එකා ස්වෙච්චාවෙන්ම් එතනින් පිටමන් වෙලා ඈතට ගියා.

පාරෙන් අනිත් පැත්තේ පත්තර කඩේ වවුල් කොකුවලින් එල්ලාලා තියෙන පත්තර ඉස්සි ඉස්සි කියවන්න හදනවා. දවස. වනිතා විත්ති . දිනමිණ. නවයුගය.
ඒ එක්කම අනිත් පැත්තේ කොණ්ඩයා වටකරගෙන ඉන්න මිනිස් පොදිය දිහා ඉරිසියාවෙන් බලනවා. හරියට පැණි වරකාවක් තනියම කන කොලු රැලක් දිහා බලන්නා වගේ.

ඔන්න එක පාරටම සෙනග ගොඩෙන් මහා හිනා හඬක් මතු වුනා. කොණ්ඩයා ඉල ඇදෙන කතාවක් කියල වගෙයි. හිනා හඬ  මිනිස්සුන්ගේ ඔලු උඩින්, වාහාන උඩින් ඇවිත් ගොස නගනවා.
මොන තරම් තහංචි පනවලා තිබ්බත් සබාව මේ තරම් රසවත් වෙන වෙලාවේ තමන් එතන සිටිය යුතුමයි කියා තරයේ සිතා ගත් පොඩි එකා කල්පනාවකින් තොරවම ගිහිල්ලා අර සබාවේ මිනිස් පොදිය අතරට රිංගනවා. ඒත් කොණ්ඩයාගෙන් මුවාවෙලා ඉන්නට පරිස්සම් වෙනවා.  උස මහත මිනිස් කකුල් අතරේ නිල්පාට කොට කලිසමක් ඇඳගෙන හිටිය පොඩි එකාගේ කකුල් දෙක කොණ්ඩයාගේ ඇස ගැහෙන්නේ ඔහු පිරිස හිනා ගස්වමින් වටයක් ඇවිදිද්දී.
එක්ෂණයකින් කතාව නවත්තපු කොණ්ඩයා  පොඩි එකාට ඉස්සරහින් හිටිය වැඩිහිටියා අහකට තල්ලු කරලා පොඩි එකාගේ අතින් අල්ල ගන්නවා.
පොඩි එකා දුවන්න හදනවා.
‘බයවෙන්න එපා ළමය එන්න. මෙතනින් හිටගන්න’.
දැන් ඔන්න  සාස්තරකාර තෙල් බෙහෙත් වෙළෙන්දාගේ වේදිකාවේ කුප්පි බෙහෙත් මලු දේව රුප මදිවාට දැන් ඉස්කෝලේ  කොල්ලෙකුත් ඉන්නවා.

පුතා දැන් දෙපාරක් මම එලවලාත් ආයෙම ආවනේ. කමක් නෑ. මම වැඩිහිටියන්ට බෙහෙත් දෙනවා විතරක් නෙවෙයි මට සාස්තර කියන්නත් පුළුවන්. ඔහු කරුණාවන්ත හඬක් මවාගෙන කියවයි.

මම මේ ලඟදි බදුල්ලේ උසාවියේ නඩුවකට ගියා මගේ නෙවෙයි නඩුව තිබ්බේ නෑදෑයෙකුගේ . මම  නිකන් බලන්න ගියා. ඔන්න නඩු කාරයා විඩෙන් විදේ මගේ දිහා බලනවා. පස්සේ නඩුව ඉවර උනාම රාලහාමි කෙනෙක් මට ඇවිත් කියනවා නඩුකාර උන්නාසේ මාව හම්බ වෙන්න කැමැත්තෙන් ඉන්නවලු. දෙයි හාමුදුරුවනේ මගේ කකුල් දෙක වෙව්ලනවා. පොලිස් ජීප් එකේම නැගලා ගියා නඩුකාර බංගලාවට . මම එනකන් උන්නැහේ ඉස්තෝප්පුවට වෙලා බලන් ඉන්නවා . මම බයෙන් බයෙන් වාහනෙන් බහිනකොටම . ‘බය වෙන්න එපා මම අවුරුදු ගානක් ඔබතුමාව හෙව්වා’ කියාපි.
එතකොටම මට එක පාරටම ඒ මුණ මතක් වුනා.

ඊට අවුරුදු තිහකට විතර ඉස්සර  නඩුකාර උන්නාන්සේ චුටිකාලේ මෙන්න මේ ළමය විතර කාලේ උන්නැහේගේ අම්මත් එක්ක පාරේ යනවා දැකල මම පොඩ්ඩක් කතා කරා . ඇස්වහක් කටවහක් නෑ  මම මේ ළමය ගැන පොඩි අනාවැකියක් කියන්නද?

අනේ ඒ ආඩම්බරයක් උද්දච්චකමක් නැති අම්මයි ළමයයි මගේ ගාවට ආවම මම කිව්වේ මොකක්ද දන්නවද?

මේ ළමය පින්වන්තයි. ලොකුම උගතෙක් වෙනවා . කවදාහරි දවසක නඩුකාර උන්නාන්සේ කෙනෙක් වෙනවා වෙනවාමයි.

ඉතින් ඒ ළමය තමයි අර නඩුකාර බංගලාවට මාව කැඳවලා තෑගී බෝග දීල සත්කාර කරේ.

දැන් මේ ළමයටත් මම කියන්නද නොවරදින අනාවැකියක්.
හැමෝගෙම ඇස්  පොඩි එකා දිහාට දික් උනා. පොඩි එකාටත් ආඩම්බර හිතුනා.

'මේ ළමය නොම්මර එකේ කපටියෙක් . පොත් කාරයෙක් . කවදාහරි ලෝක රස්තියාදුකාරයෙක් වෙනවා. වෙනවාමයි.

මේ උසුළු විසුළු කිරීමක්ද සහතිකෙන්ම කියූ දෙයක්දැයි විපිළිසර වෙලා හිටපු ජනතාව ඉන් පස්සේ බුලත් කසට පිරිච්ච දත්, බෝල්ලෑ දත්, දත් හැලුණු හිල් ඔලින් යුක්ත වූ කටවල්වලින් හැක හැක ගගා හිනා වෙන්න පටන් ගත්තා

පොඩි එකා එදා ඉඳන් හිතා ගත්තේ තෙල් බෙහෙත්කාර සාස්තරකාරයාටයි එදා හිනාවෙච්චි කාට කාටත් පාඩමක් උගන්වන්නත් එක්ක අර  අනාවැකිය බොරු කරනවා කියලා.

ඒත් දැන් පොඩි එකා නෙවෙයි,තලත්තෑනියෙක් වෙලා ඉන්න මේ මනුස්සයා ලෝක කපටියෙක් කියල කවුරුත් දන්නවා. තව මේ අවුරුද්දේ පොතක් ලියලා පොත් කාරයෙක් වෙන්ටත් ඒ මදිවාට ලබන අවුරුද්දේ ලෝක රස්තියාදුවක්‌ පටන් ගන්නත් හිතාන ඉන්නවා.

කවද්ද අප්පේ සාස්තර කාරයෝ කියපුවා බොරු උනේ ?

(චිත්‍රය ඇන්දේ ඔවිනි )

Monday, January 6, 2014

සොඳුරු මුස්පේන්තු දවස්

ගිය අවුරුද්දේ ජනවාරි පළමුවැනිදාට එලි වෙද්දී මම පුපුරා හැලෙන කේන්තියෙන් යුතුව නගරයේ ගොඩනැගිලි අතරේ ඇවිද ගොස් මාගේ නවාතැන්පොල පිහිටි මහල් ගොඩනැගිල්ලේ විදුලි සෝපානයේ බොත්තම එබුවෙමි. විදුලි සෝපානය පහලට එනතුරු  මම කල්පනා කරමි.

'දැන් නම් මිනිහ දොර අරියි. ඇරපු ගමන් බනින්න පටන් ගන්නවද නැත්නම් ඉස්සෙල්ලාම හැපි  නිව් ඉයර් කියලා ඊට පස්සේ හෙමින් සැරේ බනිනවද ?. කොහොමත් එලවන්න ඉන්න මනුස්සයානේ. හැබැයි මම එක පාර කඩා පැන්නොත් එච්චර ඩීසන්ට් නෑ වගේ. අනිත් අතට අද ජනවාරි පළවෙනිදා .ඒත්  මොන එහෙකට කාරුණික වෙනවාද අලුත් අවුරුද්දට එලි වෙන දවසේ තමන් එක්ක එක නවාතැන්පොල බෙදාගෙන ඉන්නා සගයා රෑ රාත්‍රියේ ඉන්න හිටින්නට තැනක් නැතිව වීදි පුරා රස්තියාදු කරවූ  මිනිසා පිලිබඳ බුර බුරා නැගෙන කෝපාග්නියෙන් මම විදුලි සෝපානයෙන් බැස ගොස් ගෙදර දොරට තඩි බෑවෙමි.

දෑස් පුංචි කරවාගෙන ප්‍රභාමත් සිනහවකින් මුව සරසාගෙන ඔහු පැමිණ දොර ඇරියේය. ' ගූඩ් මොර්නින්ග්' විශ් යු අ වෙරි හැපී නිව් ඉයර්.

මම හිනා නොවුනෙමි . හැපී නිව් ඉයර් . සැරෙන් කියලා දැම්මෙමි.
බ්‍රාහ්මණයාගේ මුහුණ තාම ප්‍රසන්නය. මගේ මුහුණ තව තව අඳුරු වී රැයක් මුළුල්ලේ හිතේ  ඇවිලුණු කේන්තිය  වාන් දැම්මේය.

'අභිෂේක්  මොකක්ද කරපු පාහර වැඩේ . ඊයේ රෑ මම දොර ඇර ගන්න බැරිව කොච්චර තඩි බාවාද . සිය වතාවක් ඔහෙට කියලා ඇති ඇතුලෙන් යතුර ලොක්  එකේ හිර කරලා නිදා ගන්න එපා කියලා , මගේ අතේ යතුරක් තිබිලා වැඩක් නෑනේ. ඔහේ ෆෝන් එකට ආන්සේර් කරන්නේ නෑ .ගෙදර ෆෝන් එක උස්සන් නෑ . මම පැයකට වැඩිය දොරට තඩි බාල හතර අතේ ඇවිදලා යන්තම් ග්‍රහම්ගේ ගෙදර ඇල වෙලා ඉඳලා මේ ආවේ. ඒ මිනිසුන්ටත් වදේ . ඊයේ ඇඳගෙන හිටපු ඇඳුම පිටින්. බලනවා දැන් මන් වැඩට යන්න ඕනිනේ.  දොරේ බෙල් එක කැඩූනෙත්  ඔහේගේ අතින්නේ. කියන්න කනගාටුයි. මම කවුරුවත් ගෙදර නවත්තගන් නැතිව ඉන්න තීරණය කළා. අදම තැනක් හොයා ගන්න.'

අභිෂේක් පස්සෙන් පස්සට ගියේය. ඔහුගේ සුදු තට්ට හිස හා මුවවත වෙවුලා ගියේය . ඉක්මනින් කාමරයට දිව ගියේය.මොබයිල්  ෆෝනය උස්සගෙන ආවේය.

දෙයියනේ ඔයා මට මිස් කෝල් හතලිස් දෙකක් දීලා. ඊයේ රෑ හෝ ගාල කෝල් එන නිසා මම සයිලන්ස්  එකට දාල තිබ්බේ.. අනේ දෙයියනේ මම හොඳටම නිදාගෙන හිටියේ. . අනේ සමාවන්න සමාවන්න. මම අදම දොරේ බෙල් එක හදවනවා.
ඔහු ඉදිරියට පැමිණ යටහත් පහත ලෙස මගේ අත්  දෙකම අල්ලාගෙන කඳුළු පිරිච්ච දෙනෙතින්  මා දෙස බලා හිටියේය. ඉන්පසු වතුර කෙතලයේ ස්විචය දමා ' මසාල ටී ' එකක් හදන්නදැයි ඇසුවේය.

කේන්තිය නිවී  නොගියා උනාට මම අභිෂේක්ගේ හැසිරීම දෙස සැටියේ  වාඩි වී නිසොල්මනේ බලා සිටියෙමි.

මුව එලවනවද ? අනික මේ යකාටත් නවාතැනක් හොයාගන්න මෙච්චර අමාරුවක් නෑනේ. ඉංජිනේරුවෙක් වෙච්ච මේ මිනිහා වැරැද්ද බාරගෙන පිටවෙලා ගියානම් මට සහනයකි.

ඔහු වෙත මා එල්ල කළ වාග් ප්‍රහාර කිසිවකට උරණ නොවී ඔහු මා සමග එකම නවාතැන්පොලේ ඉන්නට තීරණය කල සෙයක් පෙනේ. ඔහුත් ආපිට බැන්නානම් එකකි.
උණු උණු මසාල තේ එකක් සහ කුකීස් පිරිසයක් මා ඉදිරියේ තබා ඔහු  තවත් ලොකු තේ කෝප්පයක් අතට ගෙන මා ඉදිරියේ බයාදු ලෙස ඉඳ ගත්තේය.

ඔහුගේ මුහුණේ ඇත්තේ සමාව ඉල්ලීමේ අවිහිංසක බව පමණි. යතුර ඇතුලේ කවුලුවේම තියන්නට එපා යැයි මම මේ මිනිහාට කී දවසක්  කිව්වාද. ඊයේ හවස අලුත් අවුරුදු පාටියට එන්නත් අදි  මදි කළ  අභිෂේක් කලින්ම නිදා නිදා ගන්නට ඇතැයි  මමසිතුවෙමි.
කොහොමින් කොහොම හරි 2013 ජනවාරි පළමුවෙනිදා ආරම්භ උනේ මේ විදිහේ මුස්පේන්තු විලාසයකිනි. ඒත් එලවන්නට බලා සිටි මගේ කුලී ගෙදර හවුල්  කාරයා මා කළ  කී දෙයින් උරණ වෙනවා වෙනුවට මේ අභියෝගයත් ජයගෙන අවුරුද්දම මා සමග සිටින්නට තීරණය කළේය.

රට රස්සාව කරන කාලයේ මා පමණක් නතර වී සිටි නිවසේ අතිරේක කාමරය ප්‍රයෝජනයට ගත්තේ පාසැල් නිවාඩු කාලවල පැමිණෙන පවුලේ උදවිය හා ඉඳ හිට පැමිණෙන මගේ යහළු මිත්‍රයෙක් පමණකි. අනිකුත් දවස්වල බොහෝ සෙයින් වැසී තිබු මේ කාමරය බෝඩින් කාරයෙකුට දෙන්නට මම තීරණය කෙරුවෙමි.

මගේ හිත මිතුරෙකු දුන් ආරංචියකට අනුව කාමරයක් සොයාගෙන අභිෂේක් අපේ ගෙදර ආවේ මේ අතර වාරයේය. වෙජිටේරියන් කෙනෙකු වූ ඔහු ඉතා දැඩි ආගම භක්තිය ඇති පුද්ගලයෙක් විය. මේ නිසා මම මස් මාළු ඉව්වෙත් කෑවේත් ඔහු නිවසේ නැති වෙලාවක් බලාගෙනය. ඔහු වෙනුවෙන් මගේ සුහදත්වය පල කරන්නට මේ ආකාරයේ කැප කිරීම් මහා ගොඩක් මම කර තිබියදීත් ජනවාරි පළමුවැනිදාට එළිවන රාත්‍රියේ මට ගෙදර එන්නට බැරි විදිහට දොර අගුළුලා බුදියාගත් නොසැලකිලිමත් සගයා ගැනඋපන් කේන්තිය මම ඉවසා සිටින්නේ කෙසේද?

මම ඔහු සාදා දුන් තේ එක බොද්දීත් කල්පනා කලේ එයමය.
2013   ජනවාරි පළමුවැනිදා සිට මාස දහයක් යනතුරු මට අභිෂේක් ගෙදරින් එලවා දමන තීරණය දැනුම් දෙන්නට බැරි විය. ඒ අතරේ සතියකට එක වතාවක් හෝ ඔහු ජනවාරි පළමුවැනිදා ඔහුගේ අතින් වූ අත් වැරැද්ද ගැන මගෙන් සමාව ඉල්ලුවේය.
දිනපතා  ඔහුගේ රස්සාවේ ප්‍රශ්න, ගෙදර අලුත් තොරතුරු මා සමග බොහෝ මිත්‍රශීලී ලෙස කතා බහ කළේය.
තමන්ගේ අවුරුද්දේ රස්සාව අවසන් කර නොවැම්බර් පළමුවැනිදා ඔහු සිය රට බලා යද්දී මට ප්‍රියේහි විප්පයෝගී දුක හොඳටෝම දැනුනේය.

මේ වාගේම අකරතැබ්බයක් මීට අවුරුදු විස්සකට කලින් 1993 ජනවාරි පළවනිදාද මට සිද්ද විය. පේරාදෙනි ජේමිස් පිරිස්‌  ශාලාවේ මගේ කාමරයට අමුත්තෝ  කිහිප දෙනෙක් පැමිණ සිටියහ. ඒ අනෙක් ශාලාවල සිටි අපේ මිතුරන් කිහිප දෙනෙකි. දෙසැම්බර් 31 රැබෝ වන තුරු සතුටු සාමීචියේ යෙදී  සිටි අපි හැමෝම එකම කාමරයක නින්දට ගියෙමු. ඇඳන් උඩ  දෙන්නයි. බිම ඇතිරූ මෙට්ටවල දෙන්නයි. ජනවාරි පළමුවැනිදාට එළිවන පාන්දර මට දැඩි දිය පිපාසයක් ඇතිවිය. බිම නිදා සිටිනවුන් අමතක වී සිටි මම කළුවරේ ඇඳෙන් බිමට අඩිය තබනවාත් සමගම එකෙක් අමු තිත්ත කුණු හරුපයක් කියාගෙන කෑ ගැසුවේය. දෙයියනේ මම කළුවරේ අඩිය තියලා තිබ්බේ බිම නිදාගෙන සිටි අපේ රූමාගේ බෙල්ල උඩය. නින්දෙන් ඇහැරවුවහොත් මොන එකා සමග හෝ දබරයට යන රූමා එදා හැන්දෑ වනතුරු මා සොයමින් ඇවිද්දේ නින්දෙන් ඇහැරවා බෙල්ල පැගු පලිය අතින් පයින් බේරා ගන්නටය.

2014 අවුරුද්ද උදා වූ පසු මට පළමුවෙන්ම මතක් වූ මුහුණ අභිෂේකගේ මුහුණයි,  දෙවැනි මුහුණ 1993 අවුරුද්දේ ජනවාරි පළවැනිදා මට පහර දෙන්නට කොරිඩෝර දිගේ අඩ නින්දෙන් පන්නාගෙන ආ රූමාගේ මුහුණයි.

ඔබේ ජනවාරි පළමුවනිදාත් මුස්පේන්තු එකක් වුනා කියා කලබල නොවන්න . අවුරුද්ද සුන්දර කර ගැනීමට ඔබට තවත් දවස් 364ක් ඉතිරි වී තිබේ.

ඔබට සුබ අලුත් අවුරුද්දක් වේවා !!

Monday, December 23, 2013

අමරා සමග ට්‍රිප් එකක්

පොඩි මාමාගේ පස් අවුරුද්දේ  දානයට ලක ලැහැසිති වී සුද්ද බුද්ද වූ මිදුල පුරා විසිරී තිබු කිරිවණා ගල් පතුරු  චිරි චිරි හඬින් දෙපැත්තට කරමින් ආ බයිසිකලය කරගස් කොටයට හේත්තු කළ  පියුම් බණ්ඩා මාමා කොට කාකි කලිසම ටිකක් හරි ගස්සා ගස්සා ආච්චී ලඟට ආවේය. අතේ උණ්ඩි කරගෙන හිටි කරදහි ගොන්න අස්සෙන් එකක් පෙන්වා  මෙසේ කිව්වේය.

'ආ ලොකු අම්මා මේක කාට හරි කියල අත්සන් කොරල ගන්න. ටැලිගිරම් එකක්!'.

ආච්චී වෙවුලන කටහඬින් 'ඇයි මයේ අප්පා කාට හරි කරදරයක් ' වෙලාද කියා ඇසුවාය .

තේ පඳුරු හා මල් පඳුරු උඩට රෙදි වේලෙන්නට දමමින් සිටි පුංචි අම්මා  දිග ගවුමේ තෙත අත්දෙක පිස දමමින් එතැනට දිව ආවාය. අත්සම ගසා ටෙලිගිරම් කොලය දිග හැර  කියෙව්වාය.

'හේමා කෝච්චියෙන් ගෙදර එනවා ඉස්ටේෂමට එන්න'

ටැලිගිරම්  එක එවල තිබේ කොළඹ මාමාය. 'අයියා  ගිය සතියේ ලියමනක් එවලා තිබ්බනේ හෙට සෙනසුරාදා කෝච්චියෙන් එනවා කියලා දානෙට වුවමනා අඩුම කුඩුමත් අරගෙන . එතකොට කවුද මේ හේමා කියන්නේ.? 'පුංචි අම්මාගේ   මුවින් එලියට දැමු ප්‍රශ්නයම  ආච්චිගේ මුනේ ඉස්පිල්ලක් පාපිල්ලක් නැතිවම ලියවිලා තිබුණි.

කවුද මේ හේමා ? කවුද මේ හේමා ? එදා දවස පුරා ආච්චිලා ගෙදරත් අපේ ගෙදරත් හිත් හාර හාරා ඇවිස්සු ප්‍රශ්ණයයි.

පහුවදා ටව්මට ගොස් උඩහ කඩේ කාර් එක කතා කරගත් ආච්චී  මාවත් දමාගෙන සෙනසුරාදා හවස උඩරට  මැණිකේ  කෝච්චිය එන වෙලාවට ස්ටේෂමට ගියාය .සද්දෙට හුව දාගෙන ගස්සා ගස්සා පද්ද පද්දා ආ මැණිකේ කන් හිරි වට්ටන කීෂ් හඬක් සමග ඇදීවිත් යකඩ පීලි මත  නතර වෙන්නටත් ඉස්සර අපේ ඇස් කොච්චි පෙට්ටි සේරෝම පුරා දුවන්නට පටන් ගත්තේය.

බහින හැම පිරිමියාම හදිස්සියට අපිට පෙනුනේ මාමා වගේය , බහින හැම ගැහැනියම අපට සිතුනේ  පෙර නුදුටු   'හේමා'  වෙන්නැති කියලාය.

අන්තිමේ මාමා  ළඟටම එනකන්  අපි දැක්කේ නැත. අතින් කටින් බෑග් මලු උස්සාගෙන හිනා වෙවී ආ මාමා ඇහුවේ ' ඇයි අම්මා ආවේ පොඩි එකෙක් එව්වානම් හරිනේ කියලාය.

ඒ ප්‍රශ්නයට  පිළිවදන් නුදුන් ආච්චිගේ මුහුණ  නොඉවසිලිමත්ය. තාමත් වටපිට බලයි.
කාවද අම්මා හොයන්නේ ? මාමා ආච්චිගෙන් අසයි.

ආච්චි හීං සැකමුසු හඬකින් මෙසේ කීවාය.
මම එන්න නොවෙයි හිටියේ. ඒත් මේ දන්නේ නැති බවලතෙකුත් එනවා කියලා තිබ්බ නිසයි ආවේ.

දැන් ආච්චිගේ මුනේ තිබු ප්‍රශ්නාර්ථ ලකුණ මාමාගේ මුණට මාරු වෙලාය. ඇස් පුංචි කරගෙන උන්තැනම ඉද්දගැහුවා සේ කෙලින් හිටගත් මාමා ඒ කතාව මොකක්දැයි විමසන්නට විය. ආයේ කවුරුවත් ආවේ නැනේ , යන්කො එහෙනං ගෙදර.

කතාවක් බහක් නැතිව  තුන් දෙනා ගෙදර ගොස් බහිද්දී කවුරුත් බලා සිටියේ මාමා බහින තුරු නොව හේමා බහින තුරුය.

කවුරුත් බලාපොරොත්තු සිඳගෙන සිටිද්දී ' මේ මොන විකාරයක්දයි අසන්නාක් මෙන් මල පැන්න මුහුණින් අතට අහුවෙන බෑග් ටික දරාගත් මාමා කා සමගවත් වචනයක් නොදොඩා ගෙට රිංගා ගත්තේය.

නුරුස්නා මුහුණින් තේ කෝප්පය බී සන්සුන් වූ මාමාගේ අතට නොබෝ වෙලාවකින් ඔහුම එවූ ටැලිගිරම් එක පත්වුණි.

ටික වෙලාවක් ඒ දෙස බල සිටි මාමා හතර අතින් රජයමින් තිබු කුහුල මුසු මුස්පේන්තු අඳුර දෙබෑ කරමින් කොක් හඬලන්නට විය.

අනේ අම්මේ මුන්ට පිස්සු. මේ කිරි හට්ටි ටිකයි පළතුරු ටිකයි උස්සගෙන තනියම එන්න බැරි හින්දයි මම ඉස්ටේෂමට කවුරු හරි ගෙන්නා ගන්නා ටැලී ගිරම් එකක් ගැහුවේ. මදැයි .
ඔහු ආයෙමත් සිනහසේද්දී  ඔහු ලඟට කිට්ටුවන්නට පසුබාමින් මදක් ඈතට වී සිටි  කීප දෙනා ඔහු වටකොටගෙන ඇවිත් හිට ගත්හ.

'ඒත් ඔවුන්ගේ මුණුවල තිබු  ප්‍රශ්නාර්ථ ලකුණ පුංචි වෙලා තිබුනා මිස අතුරුදන්ව නොතිබිණි.

ඉතින් මම එව්වේ' හෙට මා කෝච්චියෙන් ගෙදර එනවා කියලා ' මුන් හෙට මා කියන එක හේමා කියල කෙටි කරගෙන .
එවර හිනාවට මාමාත් සමග ආච්චීත් අනිත් සියල්ලෝම එක්කාසු වුනෝය.

හාහ් හාහ් හා හෙහ් හෙහ් හේ  හොලො හොලො හොලො

මේ කතාව සිද්ද වී අවිරුදු දහයකට විතර පසු අපේ යාලුවෙකුගේ ගෙදර තවත් මේ හා සමාන දෙයක් සිද්ද වෙමින් තිබුණි. නිවාඩු මාසයේ ලෝකාන්තය බලන්නට පන්තියේ උන් ප්ලැන ගසා කතා කරගත් මාසයේ තුන්වන සෙනසුරාදාට දවසක් තිබියදී මගේ මිත්‍රයාගේ ගෙදරට ටැලිගිරම් එකක් ලැබුනේය. මේ වනවිට මිතුරාගේ අයියා ලෝකාන්තයේ යන බෑග් , උෂ්ණ ඇඳුම් , මප්‍රල්, කැප් තොප්පි, මගට කන ජාති ලැස්ති කරමින් සිටියේය.

ටැලිගිරම් එක කඩුවේ අම්මාය.

අම්මාගේ මුහුණ අබ නොවෙයි කුරහන් අහුරක් දැම්මත් පුපුරන මට්ටමට රත්වී තිබිණි. විටෙක එය රතු පාට වී ඊළඟට කළු පාට වී කේන්තිය වචනවලට දොරේ ගැලුවේය.

'ලොකුපුතා මන් හිතුවේ නෑ  උඹල  මේ විදිහේ නැහැදිච්ච කොල්ලෝ ටිකක් කියලා. මම උඹට ට්‍රිප් නෙවෙයි මේ ගෙදරින් අඩියක් එලියට තියන්න දෙන් නෑ!
ඇයි ඇයි අම්මේ . ලොක්කා කලබල වෙලාය.
කාත් එක්කද උඹල හෙට ලෝකාන්තේ යන්න හිටියේ. කිව්වේ පන්තියේ පිරිමි ළමයි විතරයි යන්නේ කියලනේ. කව්ද එතකොට අමරා කියන්නේ?

ආයෙමත් ප්‍රශ්නයක්! කව්ද මේ අමරා? කව්ද මේ අමරා.?
අපේ යාළුවාගේ අයියාට ටැලිගිරම් එක ලැබී තිබුනේ ' සෙනසුරාදා උදේ  අමරාවත් රැගෙන' ස්ටේෂමට එන්න කියලාය

මේ අවනඩුව නිසා බොහෝ හිත් වේදනා වින්දා  මදිවාට ට්‍රිප් එක යන්නටද බැරි උණු අපේ මනුස්සය පසුව දැනගෙන තිබුනේ ඔහුට ටැලීගිරම් එක එවූ මිතුරා ලියා තුබුණේ කැමරාවත් රැගෙන ස්ටේෂමට එන ලෙසය.

හෙට මා හේමා වුනු සේම කැමරාව අමරාව වී ඇත. මේ කොයි හැටි උනත් ශතවර්ෂයක් පමණ අපේ ගම් දනවුවලට දුක සතුට දෙකම මුසු හදිස්සි පණිවිඩ ගෙන ආවේ ටැලිගිරම් සේවයයි.

අපේ ගම්වලට නම් වැඩිපුරම ලැබුනේ කාගේ හෝ මරණයක් පිලිබඳ පණිවිඩයකි. ඒත් මේ සංසාරේ අනියත බව කියමින් පණිවිඩ පිට පණිවිඩ තැන තැනට බෙදා දුන් ටැලීගිරම් උන්නැහැද පසු ගියදා දෑස පියා ගත්තේය.

වෙනත් වචන වලින් කියනවානම් පහුගිය ඔක්තෝබර් පළමුවැනිදා පටන් ලංකාවේ ටැලිගිරම්  සේවාව නතර කර දමුනේය.

අනිච්චාවත සංඛාරා !!



( සේයාරුව දෙව්නිගෙන් )