කොළඹ රස්සාවට ආ
මුල් කාලයේදී අමතර ආදායමක් හොයා ගැනීමට මම නිවාඩු
දවස්වල ඔටෝකැඩ් ටියුෂන් දුන්නෙමි .
නුගේගොඩ රේල්වේ ඇවෙනිව්හි පිහිටි නවීන දෙමහල් මන්දිරයට මාස කීපයක් යනතුරු සෙනසුරාදා උදෙන්ම මා ගෙන්වා ගත් ගාමිණී සිල්වා මගෙන් මහත් ඕනෑකමින් ඔටෝකැඩ් ඉගෙන ගත්තේය. ඒ කාලේනම් අලුත් මැජික් එකක් වූ පරිගණක ඇසුරෙන් සැලසුම් අඳින මේ මෘදුකාංගයෙන් ඔහු ඉන් පසු හොඳින් ප්‍රයෝජන ගත්තේය.මට වඩා බොහෝ වැඩිමල් වරලත් ඉංජිනේරුවෙක් වූ ඔහු ඒ වනවිට හොඳින් ලාබ ලබමින් තීබු ඉදිකිරීම් සමාගමක හිමිකරුවා වීය .ඒ වුනත් ටියුෂන් ගන්නා කාලයේ ඔහු සිගරට් එකක් වුනත් බිව්වේ මට නොපෙනෙන පරිදිය. බොහෝ ගරු සරු ඇතිව මට සැලකු ඔහු ඉන්පසු ජීවිත කාලය පුරාම මගේ හිතවතෙක් වුනේය. මගේ හැම වැදගත් කටයුත්තකදීම ඔහු මා සමග හිටියේය.
හැම විටම අලුත් දෙයක් ඉගෙන ගැනීමට උතුරා යන උනන්දුවක් තිබුණු ගාමිණී සිල්වා වැඩබිමට පැමිණ පම්පෝරි ගසමින් වුනත් එසේ උගත් දේ තම ගෝල බාලයින්ටත් කියා දුන්නේය. පලංචි ගහන ක්‍රම, සැටලීම් ගහන ක්‍රම, බිල්ඩින් හදන්නට ඔනෑ අලුත් මාදිලියේ උපාංග ආදිය ගැන ඔහු නිරන්තරයෙන් හොයා බැලුවේය. මා මුල්වරට ඩිජිටල් කැමරාවක් දැක්කේද ඔහු ළඟ තිබියදීය.
සෙනසුරාදා නැතිව ඉරිදා උදේ පන්ති කරමුදැයි මා ඇසු විට ඔහු කිව්වේ 'මේකනේ වැඩේ අපි සෙනසුරාදා රෑ යාළුවො සෙට් වෙනවා, ඩාන්ස් කරනවා ඉතින් ඉරිදා දවල් වෙනකන් බුදියාගන්නවා'.
මහන්සි වී වැඩ කරන අතරේම ඔහු විනෝද වෙන්නටද ස්ථිර කල සටහනක් වෙන් කරගෙන තිබුණේය.
ඔය කාලයේදීම අලුතින් ඉදිකරන්නට යන කර්මාන්තශාලා වැඩබිමකට ඉංජිනේරුවෙක් හොයා දෙන්නැයි ඔහු කිව්වේය. මට නිතැතින්ම මතක් වුනේ කරමින් සිටි රස්සාව එපා වී ආඩපාලි කියමින් සිටි මගේ මිතුරු දිසාය.
ඒ අනුව දිසා බියගම අලුත් වැඩපලට මුල්ම ඉංජිනේරුවා ලෙස බැඳුනේය.සුවිසල් කර්මාන්ත ශාලාව, ගබඩා, පිරිපහදුව, පරිපාලන ගොඩනැගිල්ල ආදිය ඉදිකෙරුණු මුළු කාලය තුලම නොයෙක් නොයෙක් දේ කරමින් මමත් ගාමිණී හා දිසා සමග බියගම වැඩපොළ හා සම්බන්ධ වී සිටියෙමි.
වැඩ පටන් ගැනීමට කලින් මේ වැඩබිමට වෙන්කර තිබු මුඩු ඉඩමට අරක්ගෙන සිටි ගණන්කාරයින් දෙන්නෙක් ගැන අසන්නට ලැබුනේය. තමන්ට රිසිසේ අණසක පතුරුවන්ට තිබෙන ඉඩම එලි පෙහෙළි වෙනවාට ඔවුන් කැමති වුනේ නැත. මේ මිනිස්සු මෙහෙම කරන්නේ හොඳ ආදායම් මාර්ගයක් නැති නිසා බව පැවසූ ගාමිණී සිල්වා ඔවුන් දෙදෙනාගෙන් කෙනෙකුට වැඩබිමට පස් සපයන කොන්ත්‍රාත්තුව දුන්නේය. අනිකාට කෑම සප්ලයි කරන්නට අවසර දුන්නේය. ඒ දෙදෙනාගේම ජීවන රටාව ක්‍රමයෙන් ඉතා යහපත් අතට හැරුණි .
අලුතින් පත පොත හොයාගෙන නිර්මාණශීලීව ඉදිකිරීම් කරගෙන ගිය ගාමිණී ඇතුළු පිරිස හොඳ ලාබයක් ලබමින් අන්තිමේදී බියගම වැඩේ අවසන් කලෝය.
ඉන් ටික දවසකට පසු දිසා අවනඩුවක් කිව්වේය.
'මචන් බලපන්කො මේ වැඩේ ඉවර කරන්න මම තරම් මහන්සි වෙච්ච මිනිහෙක් ඉන්නවද. දවල්ට කන්න වෙලාවක් නෑ . ගෙදර යනකොට රෑ දහයයි එකොළහයි ඔහොම අවුරුදු දෙකක් මහන්සි වෙලා වැඩේ ගොඩ දාල දුන්නා .
ඉතින් ?
'ගාමිණී බොස් හැමෝටම බෝනස් දුන්නා. පනස්දහ, හැටදහ හිටන් . මට එක ශත පහක් දුන් නෑ . වෙන එකක් තියා කලින් අස් වෙලා ගිය මිනිස්සුන්ගේ පොත්වලටත් සල්ලි දාලා . උන් දන්නෙත් නෑ' .
ගාමිණී සිල්වා ගැන මගේ හිතේ තිබ්බ පැහැදීම මදක් සසල වුනත් මම ඒ ගැන වැඩිදුර හිතන එක කල් දැම්මෙමි .
ඊළඟ පඩි දවසේ මා ඇමතූ දිසා මෙසේ කිව්වේය,
'මචන් බොස් මාර වැඩේ තමයි කරලා තියෙන්නේ.
මොකක්ද ?
මට ගේ හදන්න ලක්ෂ තුනක ලෝන් එකක් දීල තිබ්බනේ කොම්පැනියෙන්.
තව ලක්ෂ දෙකක් විතර ගෙවන්න තිබ්බා.
ඉතින් ?
බලපන්කො බොස් එකවුන්ටන්ට කියල මගේ ණය ගෙවල ඉවරයි ඒ නිසා ක්ලෝස් කරලා දාන්න කියල. මේ සැරේ පඩියෙන් වාරිකේ කැපිල නැති නිසා අහනකොටයි දැන ගත්තේ . එහෙම බලනකොට මට තමයි ලොකුම බෝනස් එක දීලා තියෙන්නේ.
**********
බියගම මහා කම්මල් කොන්ත්‍රාත්තුව අවසන තව කුඩා ඉදිකිරීම් කීපයක් කරාට පසු ගාමිණී සිල්වා කොම්පැනිය වසා දැම්මේය .
කොම්පැනිය වසා දමා අවුරුදු දහඅටක් යනතුරු හරියටම කියනවානම් පසුගිය එකොලොස් වැනිදා වනතුරු ඔහු කිසිම ව්‍යාපාර කටයුත්තක් කලේ නැත. . ඔහු එක් රැස් කර තිබු මිලමුදල් වතු පිටි සියල්ල ටික ටික කාට හෝ බෙදා දී හිත සැහැල්ලු කර ගත්තේය. මේ නිදහස් මනස නිසාදෝ ඔහු වයසට යන බවක් පෙනෙන්ට නොතිබිණි.
පහුගිය මාසයේ ඔහු හමු වීමට ගිය දිසාට කියා තිබුනේ ඔහු දැන් සියලු බැඳීම් අත් හැර දමා ඇති බවය . ඒ වුනත් එදත් ඔහු දිසාට අලුත් බිස්නස් එකක් හොයා ගන්නට උපදෙසක් දී තිබුනේය.
ඔක්තෝබර් එකොලොස් වැනිදාත් සුපුරුදු හිනා මුණින් අවදි වූ ගාමිණී සිල්වා සැහැල්ලු සිතින්ම ජීවිත ගමන නිම කලේ හදිසි හර්දයාබාදයකට පසුබාමිනුයි.
අත් හැරීම හෝ සැහැල්ලුවෙන් ජීවත් වීම පටන් ගත යුත්තේ මිනිස් දහිර්යයේ මහිමය පෙන්වමින් පුළුවන් තරම් ජයග්‍රහණ අත්පත් කර ගත්තාට පසුව බව ඔහුගේ දහම වුණේය . ඔහු විජිතයක් ගොඩ නගා දරුවන් දෙදෙනාට ඉහළම උසස් අධ්‍යාපනය ලබා දුන්නේය . ඇසුරු කළ හැමෝම ගොඩ දමන්නට මහන්සි ගත්තේය. මේ අපූරු ගති ගුණ නිසා පවුලේ අයත් හිතවතුනුත් ඔහු කෙරේ වැඩි වැඩියෙන් බැඳෙද්දී ඔහු උත්සහ කළේ බැඳීම් අඩු කර ගන්නටය.
ඉතා දක්ෂ ප්‍රොජෙක්ට් මැනේජර් කෙනෙක් වූ ගාමිණී සිල්වා තමන්ට ලැබුණු හැම ව්‍යාපෘතියක්ම සාර්ථකව නිමා කළේය. ඔහුගේ නායකත්වය හා සාර්ථකත්වය ගැන ඉන් පසුවද කතා බහ කෙරුනේ ඒ නිසාය .
ඔහුගේ ජීවිතය ගැන කියන්නට ඇත්තේද එයමයි. ඔහු ඒ ප්‍රොජෙක්ට් එකත් අති සාර්ථකව අවසන් කොට ඇත .
(මට හමු වූ සුවිශේෂ ඉංජිනේරුවන් කීප දෙනෙක් ගැන වරින්වර සටහන් පෙළක් ලියන්නට හිතුනේ සිමෙන්ති. ගල්වැලි හා සැලසුම් කඩදාසි සමග දිවි ගෙවන මේ මිනිසුන්ගේ සැබෑ ජීවිතය බොහෝ දෙනාට මග ඇරෙන බැවිනි . මේ ඒ ආකාරයේ සටහන්වල පළමුවැන්නයි.)
*****************