Monday, January 19, 2015

ඈ සොයා ගියෙමි

දිග නිවාඩුවක් ඉවර වෙන්න තියෙන්නේ හෙටයි කියල මාසයක් තිස්සේ හිතේ පැසවූ ඇය දැකීමේ ආසාව ඉවුරු තලා ගියේය. අදත් බැරි වුනොත් ආයේ මාස ගානකට ඇයව මුණ ගැසෙන්නට ඉඩක් නොලැබෙන හින්දාම අපේ පුංචි කාරය  නුවර පාරේ ටිකක් දුර ගොස් අතුරු පාරකට හැරවුණේ හැන්දෑ අඳුර පාත් වෙද්දීමය.  

ශාකා ප්‍රශාකා විහිදී ගිය පටු මාවත මදින් මද වැහැරීගොස් මනස්කාන්ත වෙල් යායකට මතුවෙන්නට ඉඩ දුන්නේය.  ඒ අද්දර ගුරු පාර අසලට වී ඈ අප එන තුරු මග බලා සිටියාය . ජීවිතේ පළමුවරට හමු වන බලාපොරොත්තු පිරුණු මුහුණක් . මගේ හිතත් ගැහෙනවා. ඇගේ හිතත් ගැහෙනවා ඇති.

ඒ සුමිහිරි හමුවෙන් මදකට පසුව පිහිඹියා ගහමුල ලී බකුවට වී මම මහත්වූ සොම්නස්  සිතුවිල්ලෙන් වෙල් යාය දෙස බලා හිඳිමි. බිරින්දෑ  හා දරුවන් අලුත් අම්මා සමග ගෙතුළ බර කතාවකි.

මේ මා පොතක් ලියා නෙලා ගත් දයාබර සම්පතකි. මේ කියන්නේ මගේ පොතට අමිල සම්මානයක් තිලිණ කළ අලුත් අම්මා බලන්නට ගිය කතාවය. ඇය අප රටේ සිටි දක්ෂ ලේඛකයෙකු වූ  නැසී ගිය ලැන්ටිස් කරුණාතිලකයන්ගේ දයාබර බිරිඳයි. අප කාගේත් සුමිතුරෙකුවන ප්‍රවීණ කාටුන් හා ග්‍රැෆික් නිර්මාණශිල්පී දර්ශණ කරුණාතිලකගේ මවයි. සිය සැමියාගෙන් කවි ලියන්නට ඉගෙන ගත්  ඇය මීට ටික කලකට පෙර ලස්සන හුරු බුහුටි කවි පොතක් ලියා ඇත.

ඇය කියන අන්දමට සිය පුතු දර්ශන ඇයට 'තිලකසිත' පොතක් ගෙන දුන් දවසේ පොතේ මුල සිට එක දිගට කියවා අග පිටුවෙන් අවසන් නොකර නැවතත් දෙවනවර මුල සිට කියෙව්වාය , ඉන්පසු හිතට ආ දැනීම  මේ ලෙස කවි පෙළකින් ලිව්වාය .

මා වෙත ලැබුණු පොත කියවුවන්ගේ ප්‍රතිචාර අතර සිත්ගන්නාසුලුම නිර්මාණය එව්වේ ඇයයි . මගේ පොත නොසලකා හැර ඇයගේ කවි හැකියාව අගයන්නැයි  ඔබට ඇරයුම් කරමි. මේ සුන්දර ගැමි කිවිඳියක වූ ඛේමා කරුණාතිලක මාතාවගේ වචනය. මා ලද අමිල සම්මානය කිව්වේ මේ වචන ටිකටය.

නොබෝදා දොරට වැඩමවූ 'තිලකසිත'
කතා අහුර හෙළි කළ කතු තුමා       වෙත
ගෙතූ අපුරුව පසසන සිතැඟි                මත 
සුබාසිරි පතමි පළමුව සිතින්                ඉත

ලිපිනය නොමැතිකම පාඨක හිතට දුකක්
සිත තුළ පොරපිටියෙ නළියයි නිසැක යමක්
'දර්ශන' මගේ පුතු එතැනත් වෙයි           පිහිටක්
තිලක සිතට යොමුවිය විමසුම් දෑසක්

අටෙත් පහෙත් බාගයෙ ගනකමත් යෙදු
කවරෙත්  පියමනාපයි පිටු සමග   සුදු
'රිදී පහන් වැට' වෙත දෝතින්ම   පිදු
'තිලකයක්' තමයි පාඨකයනට     හුදු

පොත මම කියෙව්වෙමි අබිරුචියෙන් යුතුව
පවසන්නට හිතයි එහි ඇති        එකමුතුව
වැඩියෙන් කිවොත් ඇති අගයත් යයි         නැතිව
සිතමින් එවමි මුදු හසරැල්ලක් එතුව

සරල සුගම ආරක අනුගමනයක
බරට බරක් අත්දැකුමින් යුත්         සෙයක
වරෙක සිනා සයුරක ගිලෙනු දැක දැක
සුරැක තබයි පාඨක සිත කුතුහලෙක

අනැවැසි වචන නොව නිසි උපමා ඇත්තේ
ඇල්දෙනි කුඹුරු කෙත්වතු වැනුමින් යුත්තේ
නෙක  වයිවාරන්න සිතුවම් මැවෙයි    පුතේ
උපන් හපන්කම් තව වඩවන්න   පුතේ

පාසැල් සමය යලි මගෙ  සිහියට නැගෙන
යුගදිවියෙත් පවුල් පසුබිමෙහිත් තිබුන
රසමුසු එමෙන් සරු නෙක තොරතුරු රැගෙන
සපැමිණි සුබ ගමන පාඨකයනගෙ පින

මනාලිය සොයා පළමුව ගිය දවස
සිනා නගයි සැරසුව කොලරයෙ කමිස
අනාගත පැතුම් සරුකරගනු පිණිස
මොනා වුනත් 'චුලා' ඇත පසු නොබැස

මහගත්කරුද ජී. බී. මඩවල එස්ලා
සිහිපත් වුනා ඔබ නිමැවුම ගැන දොඩලා
විස්වාසයි යතොත් හැක ඉදිරිය අල්ලා
පැරදෙනවා 'කොණ්ඩයා' දෙවියන් පල්ලා

'පිත්තල ලාම්පුව' හඟවන ඉතිහාසේ
තහවුරු කරන  මිරිවැඩි දෙක ඇඳ අස්සේ
ගෙම්බා පෑගිලා පය ඉහළට ඉස්සේ
රැවුලක් නිසා කොලුවගෙ හදවත ගැස්සේ

'පිටසක්වල ජීවියා'  හොඳ කඩ ඉමකි
අර හිතවතිය පෑ සෙනෙහස රස විතකි
සෙලවෙන තවම බාර්ලි බෝතලය නොකී
'දෙව්නි' ගේ හපන්කම් පිටු පෙරලුවොත් දකී

'සුබ යස' නාටක'පේරාදෙනි වල' ද
ආදුරුසමත් ' තුන්වන දේශකයා' ද
දස විධ රස ගෙනෙයි හදවත් තුළට වැද

'සිල්වා සර්' 'දුයිෂෙන්' මයි ' ගුරු ගීතේ'
'ගුණේ උන්දැ' බත් මිස පොත් ලිව්වේ නැතේ
'මනප්පුවා' 'ගුල්ලා' 'හඳුනා' පුවතේ
වියත් බවේ සලකුණු රඳවයි ම'සිතේ

සිතුවම් සියල්ලම පණ ගහ ගහ තිබෙන
'දෙව්නි' 'ඔවිනි' දැරියන් පිනකියි හැඟෙන
වඩමින් නිතර දහිරිය තව දැන උගෙන
මැනවින් දැයට කිරුළක් වේවා! දෙදෙන

සතුටත් කදිම කවි සිතුවිල්ලෙක නම්මා
මිහිරක් ලදිමි දරු සුරතල් ලෙස   පෙම්මා
පැතුමත් ඔබට සරණයි සම්බුදු සම්මා
මා හිතවත් සොයුරු දර්ශනගේ අම්මා

චිත්‍රය ඇන්දේ ඔවිනි

25 comments:

  1. සොඳුරු මවකගේ හෘදයාංගම සටහනක්.. දර්ශණ කරුණාතිලක නම් වූ ඒ සොඳුරු කලා ශිල්පියාගේ බිහිවීම ස්වාභාවිකයි.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. ඔව් මේ සෞම්‍ය නිර්මාණශීලී ගතිගුණ ඔවුන්ගේ පවුලේ උරුමයක්

      Delete
  2. මරු කවි ටික. මුළු පොතම කවි ටිකේ තියෙනවා...

    ReplyDelete
    Replies
    1. පොතේ අස්සක් මුල්ලක් නෑර ඈ ඇවිදලා

      Delete
  3. කවි පෙලේ පොතේ කතා ටික විතරක් නෙවී කියවපු නැති අයට කියවන්න ලිංක් කරලත් තියෙන්නෙ..
    අපූරු පැදි පෙලක්.....

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ නිසාමයි ලින්ක් ටික දැම්මේ

      Delete
  4. මුළු පොතම කවි වල තියෙනවනේ , දර්ශන මේ ත‍රම් දර්ශනීය කලාකරුවෙක් වුනේ කොහොමද කියා පැහැදිලියි

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ඉවාන් දර්ශනගේ අම්මාට තියෙන්නේ දර්ශනීය කවිත්වයක්

      Delete
  5. අගෙයි තිලක............... උපරිමයි......

    ReplyDelete
    Replies
    1. ඇය සතුටු වේවි .ස්තුතියි

      Delete
  6. "තිලක සිත" තවමත් කියවන්න තියා දකින්නවත් ලැබුනෙ නැති පොත කියවන්න තිබුන ආශාව මේ කවි ටික කියෙව්වම ආපහු වැඩි උනා. හරිම ලස්සනට ඇය ඇගේ හැඟීම් කවි කරලා තියෙනවා. ඇයට නිදුක් නීරෝගි සුවය සමග දීර්ගායුෂ ප්‍රාර්ථනා කරනවා. මේ කියන ගමනින් පස්සෙ ඇය ලියු කවි ටිකත් හෙට අනිද්දට කියවන්න ලැබෙයි නේද?.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සඳමාලි. අපි හැමෝම ඇයට නිදුක් නිරෝගී සුවය පතනවා. එදා ගමන ගැන ඇය කවි ලිව්වොත් මම හැමෝම එක්ක බෙදා ගන්නම්

      Delete
  7. මටත් තවම තිලක සිත කියවන්න ලැබුනෙ නෑ..ගන්න ක්‍රමයක් කියන්න.
    කවි ටික අපූරැයි එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. මට ලිපිනය එවන්න පොතක් එවන්නම් thilakasitha@gmail.com

      Delete
  8. Replies
    1. මේ ලින්ක් දාන්න වැඩියත්ම හේතු වුනේ ඇය දමා තිබු ' පිට සක්වල ජීවියා' ' කොණ්ඩයා' වැනි වචන සම්බන්ධ වෙන්නේ මොන කතාවටද කියල මටත් හොයා ගන්න අමාරු වීම

      Delete
  9. තිලක සිත වගේම අපුරු කවි පෙළක් .. මමත් ලින්ක් සහිත කවි දැක්කමයි .. :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පැතුම්. සාමාන්‍යයෙන් කවි වලට ලින්ක් දාන්නේ නෑ තමයි

      Delete
  10. තවත් හොඳ අම්මෙක්...:)

    ReplyDelete
    Replies
    1. පොත් කියවන කවි ලියන හොඳ අම්මෙක් නේද පොඩ්ඩි

      Delete
  11. හොඳ අගැයීමක්.. කලාතුරකින්නෙ කවිඅගැයීමක් ලැබෙන්නෙ

    ReplyDelete
    Replies
    1. මේ වගේ දෙයක් ලැබීම මටනම් මහමෙරක් සරත්

      Delete
  12. කවියෙන් දුන් ඇගයීමක්!
    අපුරු පොතකට දුන් ලස්සන වටිනාකමක්.

    ReplyDelete
  13. බොහොම අගේ ඇති කවියෙන් කළ විචාරයක්! උඹටත් එතුමියටත් මගේ සුබ පැතුම්!

    ReplyDelete
  14. උඹගේ මලදාන පොතට වඩා කවි ටික නං පංකාදුයි තමා.. චැහ් අපේ තිරිවිල් මලයාව අමතක කරල නේ.. දර්ශනගේ අම්මා

    ReplyDelete