Friday, August 5, 2016

තුන්රෝද කතාවක්

කෙටි නිවාඩුවලට ලංකාවට ආ විට මම  ත්‍රී වීල් වලින් එහා මෙහා ගියා සෑහෙන වාර ගණනක් .  ඒ ගමන්වලදී හමු වූ රියදුරන් වැඩි දෙනෙක්  මා සමග ගනුදෙනු කරේ සුහදව . විනීතව .

ඒත් මේ අත්දැකීම සුන්දර නොවුණු අවස්ථාත් නොතිබුනා නොවෙයි. මේ ඒ වගේ එකක් :

ගිය අවුරුද්දේ දවසක මම  ත්‍රී වීලරයක් අල්ල  ගත්තේ බොරැල්ල ඇල්විටිගල පාරට යන්න . මීටර් ටැක්සි කියලා ඉසරහින් ගහල තිබ්බට නැගල පොඩ්ඩක් දුර යද්දී මෙන්න රියදුරා කියනවා ''  මහත්තයා මීටරේට නෙවෙයි ගන්නේ එතෙන්ට රුපියල් දෙසීයක් ඕනි' කියල .
ඇයි එහෙම කියන්නේ එතෙන්ට මීටර් ටැක්සියේ රුපියල් සීයක් විතරනේ යන්නේ ?
බෑ  බෑ කනත්ත හන්දියේ මාර ට්‍රැෆික්.  රියැදුරා කතා කලේ හැසිරුනේ  කිසිම සුහද බවකින් තොරව.

රුපියල් සීයක් කියන්නේ නොසලකා අරින්න ඕනි මුදලක් උනත් මේ අසාධාරණ වැඩේ නිසා මට වාහනෙන් බහින්නම හිතුනා. ඒත් පරක්කු වෙනවා. බැහැල වෙන එකකට යන්න කම්මැලියි .
'නෑ  මම දෙන්නේ මීටරේට විතරයි'  ඇයි මේ රටේ නීතියක් නැද්ද ? අනික නවත්තලා තියෙන වෙලාවටත් චාර්ජ් වෙනවනේ. තෙසක් රියදුරා නුරුස්නා විලාසෙන් මීටරේ ස්විචය එබුවා.

මම හිතුවා බැහැලා දෙසීයක්ම දෙනවා, ඒත් බහින තැනට යනකම්  බුරුලක් පෙන්නන් නෑ කියල . මාසෙකින් දෙකකින් ලංකාවට ආවම මට ඕනි වුනේ හම්බවෙන හැම කෙනා එක්කම සුහදව ගණුදෙනු  කරන්න.

 මට මතක් වුනා සුන්දර ට්‍රැෆික් ජැම් එකක් ගැන මම ලියපු  කතාවේ හිටි ත්‍රී වීල් මල්ලි.
අප්‍රියේහි සම්ප්‍රයෝගෝ දුක්ඛෝ  මුඩ් එකෙන් ඉන්න මාවත් පටවාගෙන ත්‍රී වීලරය ඉදිරියට ඇදෙනවා. මරුමුස් රියදුරා හම්බවෙන හැම වහනේටම වෙට්ටු දමමින් රවමින් ඔරවමින් දොස් පවරමින් තමයි රිය පදවන්නේ.

ඔහොම ටිකක් යනකොට කනත්ත හන්දියට කලින් හම්බවෙනවා  වාහන ප්‍රදර්ශනාගාරයක්. මේ ගොඩනැගිල්ල ඉදිරිපස අලංකාර කරන්න හදපු කුඩා දිය පොකුණක් තියෙනවා. . මේ වෙලාවේ සසර දුක මතක්වෙන දසුනක් දැක්කා. උමතු ගැහැනියක් අඩ නිරුවතින් මේ පොකුණෙන් දිය නානවා.. ප්ලාස්ටික් කෝප්පෙකින් ඇඟ පුරා  වතුර වක්කරගනිමින් සතුටින් ඉල්පෙමින් වටපිට බලමින් ඇය නාන්නේ හරියට ස්විමින් ෆුල් එකකට දැමු කුඩා දරුවෙක් වගේ.

මෙච්චර වෙලා බුම්මගෙන හිටි ත්‍රී වීල්  රියදුරාගේ හොස්සට සිනහවක් නැගුනා. වාහන ට්‍රැෆික් එකේ රිය ඇදෙන්නේ මන්දගාමීව  .
'මහත්තයා මහත්තයා ෆෝන් එක තියෙනවා නේද ?
ඔව් තියෙනවා . ඇයි?මම ඇහුවේ හිතවත් කමකින් නොවෙයි
ඔහු මා දිහාවට හැරී සතුටු හිනාවක් දැම්මා. මේ මනුස්සයාගේ මූණේ  හිනා පොදක් දැක්කේ දැන් තමයි.

'මහත්තයා ගන්න ගන්න ෆොටෝ දෙක තුනක් ගන්න . අර අර ගැනි නානවා . මරු සීන් එක. අරන් ෆේස් බුක් එකට දාන්න නියමයි  අප්පා . පුදුම ත්‍රිල් එකකින් මුසපත්ව මේ හාදයා කෑගගනවා .

කාලයක්  තිස්සෙම දැඩි විදිහට  පාලනය කරගෙන හිටි මා තුල සිටි යක්ෂයා අවදි වෙමින් සිටියා .
' ඔහේට අම්මා කෙනෙක් ඉන්නවද ?
මගේ හඬේ  අසාමාන්‍ය  වේගවත් බව හා ඒ ප්‍රශ්නයේ තිබු අමුත්ත  නිසා ඔහු අංශක එකසිය අසුවකින් ඔලුවත් කඳත් පිටුපස්සට හරවලා මගේ දිහා බැලුවා.
ඔහු කට අරින්නට කලින් මම පෙරටත් වඩා හඬින් මෙහෙම  ඇහුවා .
ඔහෙට ගෑනියක් , සහෝදරියක් දුවෙක් නැද්ද ?
මැදි වියේත්  අගිස්සේ හිටියත් චණ්ඩි  පහේ ගැටයෙක් වගේ හැසිරෙමින් සිටි තෙසක් රියැදුරා වික්ෂිප්ත වෙලා .
ඒත් තරමක් විනීත වෙලා .
ඇයි මහත්තයා එහෙම අහන්නේ ?.

දැන් බලනවා අර ගැණු කෙනා කාගේ හරි අම්මෙක්ගේ දරුවෙක් වෙන්න ඇති. නැත්නම් කගේ හරි අම්මෙක් වෙන්න ඇති. මොන කරුමෙකට හරි ඔහොම ඉබාගාතේ ගියාට ඔලුව විකාර වුනාට සමහර විට මේ මනුස්සය ගැන පවුලේ අය හූල්ලනවා ඇති. එහෙව් එකේ තව ෆොටෝ ගහල ෆේස් බුක් දදා  ජොලි කරනන හිතන එකත්  මොන නරුම කමක්ද ?
ඔහේ කැමතිද ඔහේගේ පවුලේ කෙනෙකුට එහෙම වෙනවට?'

ඉලක්කයටම වැදුණු මගේ සුළු අවි ප්‍රහාරයෙන් තෙසක් රියදුරා සසල වුන බව මට තේරුණා.

දැන්  ට්‍රැෆික් ජෑම් එක අඩු වෙලා රිය පෙළ ඉදිරියට ඇදෙද්දීම  අහිංසක පූස් පැටවෙක් වගේ කීකරු වෙච්ච ඔහු ආයෙමත් සැරයක් අංශක එකසිය අසුවක් හැරිලා මා දිහා බැලුවා.

ඒ බැල්මේ තිබ්බේ තනිකරම පරාජිත බවක් . බින්දුවටම වැටිලා
ඒ අතෙර් මෙහෙම කිව්වා

' පව් නේද මහත්තයා ඒ ගෑනු මනුස්සයා '

මම නිස්සද්දව  හිටිය  .

56 comments:

  1. හැම දෙයක්ම තමන්ට ආදේශ කරගෙන බලන්න පුලුවන් නම් ලෝකෙ ගොඩක් ලස්සන වෙයි.
    අවාසනාවට එහෙම පුරුද්දක් වැඩිදෙනෙකුට නැහැ.

    ReplyDelete
    Replies
    1. නිර්නාමගේ අදහසට එකඟයි. ඒත් ගොඩක් මිනිස්සු කල්පනා නොකර රැල්ලටයි වැඩ කරන්නේ .

      Delete
  2. "සුන්දර ට්‍රැෆික් ජෑම් එකක්" කියන්නේ මගේ හිතේ තදින්ම සටහන් වෙච්ච ලියවිල්ලක් තිලක අයියෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි මමත් කැමැත්තෙන්ම ලියපු සටහනක් ඒක

      Delete
  3. This world is full of unsupervised adults that needs supervision 24/7.
    Dude's wisecracks. (R)

    ReplyDelete
    Replies
    1. Agree- Let's publish a book ' Dude's Wisecracks and background stores by T'

      Delete
  4. ඔය ඇවිල්ලා පාදඩ පන්තිය. සිංහල බෞද්ධ... මමත් ඔය සමීක්ෂණ කරනවා සමාජයේ මුන් ගැහෙන "පොරවල්" එක්ක..

    ReplyDelete
    Replies
    1. හැම තැනදිම එහෙමද

      Delete
    2. නෑ ඔය වර්ගයේ මිනිස්සු එක ජාතියක ආගමක කියල වර්ග කරන්න බෑ . අනික මේ අපේ දේශපාලනයේදී තීරණාත්මක චන්දදයක පිරිසක්.

      Delete
  5. බොහොම සුන්දරයි

    ReplyDelete
  6. මහා ලොකු විස්තරයක් කියනවාට වඩා ඒ මනුස්සයාට තේරෙන විදිහට, ඒ වගේම අමතක නොවෙන්න ම කියලා තියනවා... ආයෙ මෙහෙම අදහසක් ඔලුවට එනකොට එයාට තිලකසිත සිහි වෙලා හරි ඒ දේවලින් වැලකෙනවනම් කොච්චර හොඳද....

    ReplyDelete
    Replies
    1. මට හිතෙනවා ඒ මනුස්සයාගේ හිතන විදිහේ යම්කිසි ස්ථිර වෙනසක් වුනා කියල. ස්තුතියි නිර්මාණි

      Delete
  7. ෆ්ලැට් වෙන්නම දීලා තියනවා! (දිය යුතු අන්දමටම!)

    ReplyDelete
    Replies
    1. ඒ වෙලාවේ මට කරන්න පුළුවන් දේ කළා. ඒ ගැන සතුටුයි

      Delete
  8. මිනිස්සු... විවිධාකාරයි! මනෝ විකාරයි හැමෝම

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් . සමහරවිට අර මනුස්සයා ගිහින් යාලුවොත් එක්ක කිව්වද දන් නෑ . එදා මාර ක්‍රැක් පොරක් හම්බුනා කියල

      Delete
  9. තිලකේ..අහිංසක පූස් පැටැව් නසරානියො කලේ කව්ද?
    සකරබර්ග්ට බනිනවද....අපිම කම්මුලට හොඳවැයින් දෙකක් නෙලා ගන්නවද කියලා හිත හිත ඉන්නේ මේ මම නං...!
    සමහර විට නෙලාගේ අවෝර්ඩ් විනින්ග් ෂෝ රූම් එකේ පොකුන නොතියෙන්න සීයක් දීලා බහින්නත් තියෙන්න ඇති කියලයි මටනං හිතුනේ...!

    ReplyDelete
    Replies
    1. සකර්බර්ග් එන්න කලින් ඉඳල ඔය ජාතියේ ආශාවල් මිනිස්සුන්ට තිබ්බ. සකර්බර්ග්ගේ ඉනිමග පනින රිලවුන්ටත් හරි ගියා .ඒක නෙවෙයි අර පොන්ඩ් එක ආශ්‍රිත නිර්මානෙ සම්මාන හම්බ වෙච්ච එකක්ද ?

      Delete
    2. උල් උල් තිබුනාට ඒ නිර්මානයට ඇයට, එහි නිර්මානශිල්පිනියට සම්මානයක් ලැබුනා....ඈ මගේ හිතවතිය නෙලා...

      Delete
    3. නෙලා සම්මානයක් නෙලා ගත්තාද ඒ නිර්මාණයට . සතුටුයි

      Delete
  10. කාලෙකට පස්සේ නේද? ඒත් හැමදාම වගේ ලොකු පණිවිඩයක් ගෙන එන කතාවක්!!

    ආගමික බැම්මකින් බැඳලා වගේ හිටියට අපේ අය වැඩි දෙනෙක් සමාජයේ හැසිරෙන්නේ ඔහොම තමයි . අක්කලා නංගිලා , අම්මලා නැති අය වගේ...

    ReplyDelete
    Replies
    1. කාලෙකින් නෙවෙයි මම ජුලි මාසේ දෙකක් ලිව්වනේ. ස්තුතියි කවිඳු

      Delete
  11. හිතට වැදුණු කතාවක්

    ReplyDelete
  12. මගේ පැතුම දැනට යෝජිත ත්‍රිරෝද රථ නියාමනය ඉක්මනින් ක්‍රියාත්මක වේවා කියන එකයි.

    ReplyDelete
    Replies
    1. ඔව් ආචාරධර්ම පිලිබඳ පුහුණුවක්ද ඊට ඇතුලත් විය යුතුයි .

      Delete
  13. අපේ ගොඩ දෙනක්ට ෆේස්බුක් ෆොටෝ අප්ලෝඩ් කරන්න පුලුවන් ස්මාට් ෆෝන් එකක් හම්බඋනා කියන්නෙ වඳුරට දැලි පිහිය හම්බඋනා වගේ තමයි. තිලකෙ වගේ කතා කරන මිනිස්සු ඉන්නෙ ටික දෙනයි.

    ReplyDelete
    Replies
    1. මේ මනුස්සයානම් ෆේස් බුක් යනවා කියල කෙනෙක්ට හිතෙන් නෑ . ඒත් මේ වගේ ෆොටෝ ගහල ෆේස් බුක් දානව කියන එකනම් දන්නවා

      Delete
  14. මිනිස්සු නරක වෙන්නේ හොඳ නොපෙනෙන කල් විතරයි.. මේ තෙසක් රියදුරාට දෙවරක්ම හොඳ පෙන්වා දුන්නට ඔබට ස්තුතියි..

    ReplyDelete
    Replies
    1. ඔව් එතෙක් කල් මේ වැඩේ වැරදි පැත්ත හරි විදිහට කවුරුවත් කියන්න නැතිව ඇති .

      Delete
  15. රැකියාවත් එක්ක රුදුරු වුණාට හොඳ හදවතක් ඇති

    ReplyDelete
    Replies
    1. වත්වෙන පරිසරය , රස්සාවේ තියෙන රුදුරු බව වගේ හේතු නිසා මේ මිනිස්සුන්ට ජීවිතේ යහපත් පැත්ත හම්බ වෙනවා අඩුයි නේද ඉයන්

      Delete
  16. ' පව් නේද මහත්තයා ඒ ගෑනු මනුස්සයා '///// at the end

    ReplyDelete
    Replies
    1. අංශක එකසිය අසූවකින් හැරුණා

      Delete
  17. බොක්කට දැනෙන්න බොක්කෙන්ම දීලා. සාර්ථකයි.
    ' පව් නේද මහත්තයා ඒ ගෑනු මනුස්සයා '

    ReplyDelete
    Replies
    1. ඒක පොඩි සිද්දියක් උනත් මට අමතක නොවෙන එකක් . ස්තුතියි හෙන්රි

      Delete
  18. ඔය මිනිස්සු රැල්ලට යන්නෙ. ඒ කියන්නෙ පෙරලෙන අතට. මිනිහා හිතන්න ඇති “මේ මනුස්සයත් ෆේස්බුක් එකට අනුංගෙ කුණු ඔබන එකෙක්“ කියලා. හැබැයි පස්සෙ ඒක වෙනස් බව දැනගත්තම ඔබ කියපු දෙයට එකඟව කතා කළා. ඔය වගේ අයගෙ ජීවිත සම්පූර්ණයෙන්ම පාලනය කරන්නෙ වටේ ඉන්න අය. ඒ හංදා ඔය වගේ තමුන්ගෙම කියලා සිතුවිල්ලක් නැති මිනිස්සු හරිම බයානකයි. දෙපැත්ත කැපෙන පිහි වගෙයි.

    ReplyDelete
    Replies
    1. මේ වගේ මිනිස්සු එක එක පැතිවලට හරවගන්නෙත් සමාජේ තමයි සුරංග . සමාජේ හොඳ නැත්නම් මේ මිනිස්සු කැමැත්තෙන් හැරෙන්නේ ඒ පැත්තට. ඉන්න සමාජේ හොඳ උනානම් ටිකක් අමාරුවෙන් හරි හොඳ පැත්තට හැරෙයි

      Delete
    2. හොර මුලට අහු උන ගිරවයි තාපසාරාමෙට වැටුනු ගිරවයි වගේ තමා..

      Delete
  19. මම මේ සැරේ ගිය වෙලාවේ 3 වීල් 3ක හෝ 4ක වගේ ගියා.. එක මනුස්සයෙක් කඩුවෙල ඉඳල කොට්ටාවට යනකම්.. බොහොම ගානට පිළිවෙලට මීටරේට අරන් ගියා.. එයා කිව්වේ මට සමහරු බනිනවා එහෙන් මෙහෙන් දාල යන්නේ නෑ කියල.. ඒ වුනාට ඔය තප්පර දෙක තුන වගේ ද මහත්තයා ජිවිතේ.. එහෙම කියල මිනිහා ගානට ගියා.. මට හදිස්සියක් තිබුනත් මම සද්ද නැතුව මිනිහට පාඩුවේ යන්න ඇරියා..

    දෙවෙනි කෙනා එක්ක දේශපාලනේ කතා කර කර ගියේ.. මිනිහා කිව්ව හොඳම කතාව.. මහත්තයෝ ඔය පාර්ලිමේන්තුවේ ඉන්න ඔක්කොම උන්ටික ගෙනල්ල පෝලිමට තියල වෙඩි තියල දාන්න ඕනේ.. එතකම් මේ රට හදන්න බෑ.. හෙහ් හෙහ්

    තුන් වෙනියා මුස්ලිම් තරුණයෙක්.. එයාට හරි උනන්දුවක් තිබුනා මේ පිරමිඩ හදපු හැටි.. ඊට පස්සේ ඔය එක එක පරණ පුරාවෘත්ත ගැන එහෙම දැන ගන්න... මම ඉතින් දන්න දන්න දේවල් ටිකක් කිය කිය ගියා...

    ආයේ ලංකාවට ගියාම තනිකරම 3 වීල් වලම යන්න තීරණේ කළා.. වාහනයක් එලවගෙන කොළඹ යනවට වඩා ඒක පුදුම නිදහසක්...

    ReplyDelete
    Replies
    1. මම කිව්වෙත් පැතුම් මට හම්බ වෙච්ච ත්‍රී වීලර් රියැදුරන්ගෙන් වැඩි දෙනෙක් හොඳ මිනිස්සු කියල . එහෙම වෙන්නේ වචනයක් දෙකක් කතා කරනකොට ඒ මිනිස්සුන්ට යම් හිතවත්කමක් දැනෙන නිසා වෙන්නැති .

      Delete
    2. සහෝ, ලලිත් රත්නායක විසින් නිර්මාණය කළ 'One Way' නමැති අපූර්ව හා විශිෂ්ට ටෙලි නාට්‍යයක් පසුගිය දිනවල ස්වාධීන රූපවාහිනියේ විකාශය වී අවසන් වුණා. පුලුවන්නම් අන්තර්ජාලයෙන් බලන්න. විවිධ උමතු තත්ත්වයන්ට පත් වූවන් හරහා, ලාංකේය සමාජය පිළිබඳව සමාජයීය හා දේශපාලනික වශයෙන් ගැඹුරු කියවීමක් කළ ටෙලි නාටයයක්.

      Delete
  20. මිනිස්සු ඉස්සරහට යනවද පස්සට යනවද තාක්ෂණික දියුණුවත් එක්ක. එහෙම කතා කරලා හැදුනා නම් ලොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. //හැදුනා නම් ලොකු දෙයක්//මටත් හිතුනේ එහෙමයි. ඒත් මේ මිනිස්සු එහෙම එකපාරින් හැදෙන් නෑ . නමුත් මීට පස්සේ මේ වගේ පැති ගැන පොඩ්ඩක් හිතයි

      Delete
  21. මිටි පහරකට පොරෝ පහරකට වඩා වචනයක් බලවත් වෙන්න පුලුවන් බව ඔප්පු කරපු සටහනක් . . !

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්න හා මෙහෙම ලියන්න ලැබිච්ච එක ගැන හීනි සතුටක් තියෙනවා. ස්තුතියි දුකා

      Delete
  22. ඇතුවත් බැරි, නැතුවත් බැරි ත්‍රී විලර්!

    ගිරා පැටව් දෙන්නා ගේ කතාව සිහි වුණා. ජීවත්වෙන සමාජය අනුව තමයි සේරම චර්යා හැඩ ගැසෙන්නේ!

    ReplyDelete
    Replies
    1. ත්‍රී වීලර් තියෙන්නේ ලෝකේ ට්‍රටවල් කීපයක විතරයි නේද?

      Delete
  23. තිලකේ අයියාගේ කතාවට පස්සේ ඒ ත්‍රී වීල් අයියා මිනිස්සු ගැන මේයට වඩා මානුෂිකව හිතන්න ගනීවිනේ.

    ත්‍රී වීල් එකක දුර ගමනක් යනවා නම් දැන් කරන්නේ "pick me" එකක යන එක.ගාණත් සාධරණයි.ආරක්ෂාවටත් හොඳයි.

    ReplyDelete
    Replies
    1. 'pick me ' ගැන ආරංචිය වටිනවා. ඊළඟ පාර ගියාම ගන්නම් එකක්

      Delete
  24. ඔව් පික් මි හොඳයි .වෙලාවට එනවා . කැමති වාහන තෝරගන්නත් පුලුවනි .

    ReplyDelete