Saturday, November 17, 2018

බහීගේ දවස් හත -1


තියකට වතාවක් පෝස්ට් එකක් ලියනවයි කියලා  සිතා සිටියද වැඩේ හරි යන්නේ  නැති නිසා
පුළුවන් දවසට  දින සටහන් ලියා ඉරිදාට  මිටියක් බැඳ මේක කියවන කාගේ හෝ ඔලුව උඩින් තබන්නට තීරණය  කළෙමි. මේ එහි පළමුවෙන්  උපුටා දක්වන මගේ  දින පොතේ අතනින් මෙතනින් අහුලා ගත් සටහන් කිහිපයකි  .  (බහී යනු මට සමහරුන් ආදරේට කතා කරන  අන්වර්ථ නාමයකි.)

2018 ඔක්තෝබර් 29- විස්කි වඩියේ දේශනාව 
අද අපි කොළඹ හෝටලේක  තිබ්බ උත්සවේකට ගියා. මිතුරු හමුවක්.  මේකෙදි මුණ ගැසුන බොහෝ දෙනෙක් වෘත්තිකයන් වූ අතර සමහරුන් ජීවත් වෙන්නේ පිටරටවල. මුලින් මුලින් ලංකාවේ දේශපාලනය ගැන කතා බහ පටන් ගත්තද  එකෙකුගේ කෑ ගැසීමක් නිසා ඒ කතා බහ යටපත් වුනා ..
' මචන් අපි අවුරුදු ගානකට පස්සේ හම්බුනේ . මේ දවස අල කතර ගන්න එපා දේශපාලනේ කතා කරලා. අපි ඉන්නේ දහයේ පන්තියේනම් ලංකාවේ දේශපාලනේ තියෙන්නේ පහේ පන්තියටත් පහළ '( මමත් කාලෙකට කලින් එහෙම කතාවක් ලිව්වා )

වැඩි දෙනා ඒ කතාවෙන් පසුව දේශපාලනය ගැන එකේල්ලේ කතා නොකරා වුනත් , විස්කි වඩි  දෙක තුන වදිද්දී  පටන් ගත්තු සෑම  සරල මාතෘකාවක්ම  ආයෙමත් කෙළවර වුනේ දේශපාලනයෙන්. මට කලකට පෙර කියවූ සෝවියට්  කෙටි කතාවක් සිහිපත් වුනා . ඒකේ හිටියේ ජෙනරාල්ලා දෙන්නෙක් . දෙන්නා ගමන් ගත් නැව මුහුදුබත් වෙලා පාලු දුපතක අතරමං වෙනවා . කන්න දෙයක් නෑ බඩගිනියි . මේ දෙන්නා කතා වෙනවා අපි බඩ ගින්න ගැන කතා නොකර ඉමු කියලා. ඒත් මොන කතාව පටන් ගත්තත් ඒක අන්තිමට කෙලවර වෙන්නේ කෑමක් ගැන කතා වෙලා . දේශපාලනෙත් ඒ වගේ මොන තරම් අප්‍රසන්න මාතෘකාවක් උනත් ගැලවිලා ඉන්න බෑ .
මේ වගේ නොදැනීම දේශපාලන මාතෘකාවට බැස්ස වෙලාවක ප්‍රධාන පක්ෂ දෙක තුනටම බැන වැදුන  මිතුරෙක් මෙහෙම ඇහුවා .
"නරකද ඔය එකෙක්වත් නැතිව අලුත්ම හොඳ එකේක් හොයලා රජ  කරොත් ?"

මේ මිතුරාට කියල  කට ගන්න හම්බුන් නෑ . විරුද්ධ අදහස්  ගලාගෙන ආවා .

'' වැඩක් නෑ වැඩක් නෑ . අපේ රටේ මිනිස්සු තරම් ආත්ම වංචාවෙන් ජීවත් වෙන ජාතියක් ලෝකේ කොහෙවත් නෑ . කියන්නේ වෙන එකක්. හිතන්නේ වෙන එකක් . කරන්නේ වෙනමම එකක් .
දැන් අපි හැමෝම යටි හිතෙන් මහා පක්ෂ දෙකෙන් එකකට ලව් කරනවා . ඒත් එළිපිට බනිනවා. වෙනම කවුරු හරි  හොයනවා. ඒත් කවුරු හරි මනුස්සයෙක්  අලුත් විදිහකට ආවොත් උගේ කොහේ හරි අවුලක් හොයා ගන්නවා . උගේ අක්කා ඉස්කෝලේ යන කාලේ කොල්ලෙක් එක්ක යාලු වෙච්ච එකක් හරි    ඌ  තැපැල් කන්තෝරුවේදී පෝලිම පැන්න කතාවක් හරි හොයා ගන්නවා . ඊළඟට පලු යන්න බනිනවා. ආපහු මහා පක්ෂ දෙකින් එකකට හෙමීට  සෙට් වෙලා හිත හදා ගන්නවා ".

මිනිහා කතාව නවත්තන්නේ නැතිව කියවගෙන යනවා .
" තව එකක් ඕනිම දෙයක් අපට කැමති විදිහට හරවාගෙන රස විඳින්නත් අපි මාර දක්ෂයිනේ බං.  ඒකත් ආත්ම වංචාවේ කොටසක් තමයි . දැන් බලපල්ලා ආගම. ඒකෙ දැන් තියෙන්නේ   මුලින් තිබ්බ දේ නෙවෙයි දැන් අපි කරන ඕනිම අලුගුත්තේරු වැඩක් සාදාරණයි කියන්න හදා ගත්ත වර්සන් එක . එතකොට ඉතිහාසේ ඒකත්  එහෙමයි . එතැනින් ගියාම  ව්‍යවස්ථාව ..'
පැතිරිච්ච ඝෝෂාව හින්දා ඊළඟට කතා වෙච්ච දේවල් මට හරියකට ඇහුන් නෑ .

20118 ඔක්තෝබර් 30- කැන්ටිමේ ආර්ථිකය 
මම ඉඳහිට යන එන ආණ්ඩුවේ කන්තෝරුවක  කැන්ටිම මම ප්‍රිය කරන තැනක්.  පහුගිය දවසක   හවස හතරට විතර කැන්ටිමට ගොඩ වුනේ පොඩි බඩ ගින්නක් හා තේ තිබහක් තිබුන නිසා. මා සමග මිතුරන් දෙදෙනෙක් සිටියා. ඉන් එකෙක් කැන්ටිමේ මුදලාලි කලින් දැන සිටි කෙනෙක්. අපි ඉල්ලුවේ සැන්ඩ්විච් තුනයි ප්ලේන්ටි තුනයි . මහත්තුරු ගිහින් වාඩි වෙන්න මම කෑම  ගේන්නම් . අපි වාඩි වුනාම මනුස්සයා උස්සගෙන ආවා කට්ලස්, පැටිස්, වඩේ පුරවපු ට්‍රේ දෙකක්. කන්න කන්න . සල්ලි එපා.
යහමින් බඩ පිරුණට පස්සේ කැන්ටිමේ යාලුවා කියනවා "ඔහෙලා ආවේ නැත්නම් මම ඔය සේරම විසි කරන්නයි හිටියේ. ඔය ඉතිරි වෙච්ච  ඒවා" .
අපේ මුණු නරක් වුන බව තේරුම් ගත්ත මනුස්සයා  මෙහෙම කිව්වා .
' නෑ මහත්තයෝ ඕවා හොඳ කෑම හවස තේ බොන්න හදපුවා. තුන හමාර විතර  වෙනකොට කට්ටිය තේ බීලා ඉවරයි. මම බෝඩ් එකක් ගහල තියෙනවා හතරෙන් පස්සේ මේ කෑම වල මිල දෙකෙන් පන්ගුවයි කියල. ගොඩක් දෙනෙක් ගෙවල්වලට කෑම අඩුවට ගෙනියනවා  . විසි කරනවට වඩා හොඳ සේවයක්නේ . ඊටත් පස්සේ ඉතිරි වෙන ඒවා මේ වගේ  බෙදා ගන්නවා  නැතිනම් විසි කරනවා .

ඔන්න ඔය කතාව ගැන මතක් කරගෙන මම කැන්ටිමට අද ගියා උදේ වරුවෙම . හවස ගියොත් ආපහු නිකන් දෙන්න ඉඩ තියෙනවා.  ඒ මදිවට මෑන් ගේ පුරාජේරු කතා අහන්න වෙනවා .
කොහොම හරි අදත්  මුදලාලි කාරයා මාව කතාවට අල්ල ගත්තා .
' අර බලන්න මහත්තයා අපේ කැන්ටිමේ වැඩ කරන ගෑණු කට්ටිය, අර අතුගාන කොලුවා , අර මේස වල වාඩි වෙලා තේ බොන නෝනලා, එතකොට ඔය මහත්තයා, මම"

මිනිහා නිශ්ශබ්දයි . මම ඇහුවා ' ඉතින් ?

නෑ මහත්තයෝ අපි ඔක්කොම මේ ආර්තිකෙත් එක්ක මාර ගේමක්නේ දෙන්නේ .
අර තේ හදන මිනිස්සු ගෙදරට ඕනි  අඩුම කුඩුම ගෙනියන්නේ කොහොමද කියල හිතනවා. අර නෝනලා පඩි අරන් දවස් පහෙන් හිඳිලා . මහත්තයා වුනත් පඩි ගන්නවා බිල් ගෙවනවා විතරනේ නේද ?
මම හිනා වෙලා නිකන් හිටියා.
"මට වඩේ දෙකයි ප්ලේන්ටියක් දෙන්න" .
"හරි ඉන්න මහත්තයෝ මම දෙන්නම්". කියල තව කීප දෙනෙකුගේ මුදල් ගත්තා . මම තාම හිටගෙන .

"හරි කතාවේ ඉතිරි ටික මෙහෙමයි , දැන් මේ මමත්  බිස්නස් කෙරුවාවෙන් හම්බ කරාට  රෝල ගෙනියන්නේ මාර අමාරුවෙන් . පුදුම දහන්ගැට ටිකක් තමයි දාන්නේ. මහත්තයෝ අපේ රටේ අමාරුවක් නැතිව ජීවත් වෙන්නේ යහමින් සල්ලි තියෙන්නේ බොහොම  ටික දෙනෙක් විතරයි . ඒ පිරිස එන්න එන්නම අඩු වෙනවා.
තව එකක් ගොඩක් සල්ලි තියෙන මිනිස්සුන්ගේනුත් බාගයක් විතර පිච්චි පිච්චි ඉන්නේ" .

මම ඇහුවා ඒ ඇයි කියලා
"ඇයි මහත්තයෝ හොරකම් කරපුවා අහු වෙයි  කියලා' .

ඊළඟට මගෙන් මෙහෙම ඇහුවා
"මහත්තයා ඉල්ලුවේ ප්ලේන්ටි දෙකයි වඩේ එකයි නේද"?

2018 නොවැම්බර් 02- ස්වීප් සුමනේ 

මම මීට කලින් බාබර්ලා ගැන කතා දෙකක් ලියල තියෙනවා.  බාබර් උන්නැහේ කෙනෙක් හා  "ඒ බාබර් හා මේ බාබර් ගැන". මගේ දෙවැනි කතාවෙන් පස්සේ මම යන්තමින්  හඳුනන බාබර් කෙනෙක්  කිව්වා ඒ කතාව කියෙව්වා කියල. "යාළුවො ෂෙයාර් කරලා තිබ්බ". ඔහු කිව්වා .
 ඒත් මම කොන්ඩේ කපන්න යන තව සැලුන් එකක් තියෙනවා . එතනට මම කැමති හවසට මාර සෙට් එකක් එක්කහු  වෙන නිසා. හවස හයෙන් පස්සේ ගියොත් අනිවාර්යයෙන් වාඩි වෙලා ඉන්න චරිතයක් තමයි හන්දියේ ස්වීප් විකුණන සුමනේ .

සුමනේ දවසෙම ස්වීප් විකුනනන්වා. දුනුම් අදින්න කලින් ඉතිරි ස්වීප් ටික ගෙඩිය පිටින් ගන්නේ මේ බාබර් මිත්‍රයා . හැබැයි මිනිහට මෙතෙක් කල් ඇදිච්ච ස්වීප් එකක් නම් නෑ .

අද මට ඇහුනා  ස්වීප් සුමනේ බාබර් මිතුරාට කියනවා ' මචං මම හෙට ඉඳන් දවස් තුනක් නෑ '

"කොහෙද උඹ යන්නේ ?"

"මම යනවා ත්‍රී වීල් නන්දිපාලගේ ගෙදර. අම්පාරේ . මිනිහගේ දුවගේ කොටහළු ගෙදර මට කිව්වා" .

' ඉතින් උඹ එහෙ ගියොත් දවස් දෙක තුනක බිස්නස් එක කරන්න බැරි වෙනවනේ. "

' දවස් තුනක ආදායම නැති වෙනවා විතරක් නෙවෙයි බං තව රුපියල් පන්දාහක් විතර යනවා. ගමනටයි තෑගී වලටයි. ඒත් ඉතින්  ජීවිතේ කියන්නේ  හම්බ කරන එක විතරක් නෙවෙයිනේ  . යාලුවෙක් මිත්‍රයෙක් වෙනුවෙන් ඕනි දවසට වියදම් කරන්න නැත්නම් වැඩක් තියෙනවද බං '

එහෙම  කියල ස්වීප්  සුමනේ බොහොම සැහැල්ලුවෙන් හිනා වුනා  .
අපේ බාබර් මිත්‍රයත් හිනා උනා . මාත් හිනා උනා.

මේ අස්සේ  ටික කාලෙකට ඉස්සර පත්තරෙන් කියවපු ස්වීප් කතාවක් මතක් වුනා .  කතාව මේ වගේ එකක් .
විමලෙයි රංජීයි පෙදරේරුවෝ දෙන්නෙක්. හවසට වැඩ ඇරිලා යන ගමන් දෙන්නාම ස්වීප් දෙකක් ගන්නවා . දවසක් විමලේ අසනීප වෙලා කලින් ගියා. යන්න කලින් රන්ජිට මෙහෙම කිව්වා .
' මචන් හවසට මටත් එක්ක ස්වීප් එකක් ගනින් "
රන්ජී හවස ගෙදර ගියා . නාලා බත් කාලා ටී වී එක ලඟට ගියා. ලොතරැයි දිනුම් අදින වෙලාව. මෙන්න මේක විමලේගේ ස්වීප් එක . මෙන්න මේක මගේ ස්වීප් එක . ගෙදර උන්දැත් එක්ක දිනුම් අදින ඒවාගේ අංක ගලපනවා. රන්ජි තමන්ට කියල ගත්ත එක ඇදිලා නෑ . ඒත් විමලේගේ ස්වීප් එකට ලක්ෂෙක දිනුමක් තියෙනවා .
රන්ජි ත්‍රී වීල්  එකක් කතා කරගත්තා. ගියා විමලේගේ ගෙදරට .
"මෙන්න උඹේ ස්වීප් එක මේකට ලක්ෂයක් තියෙනවා. "

අද පරම්පරාවේ  සෑහෙන දෙනෙකුට මේ කතාව විස්වාස කරන්න බැරි වුනත් මේ වගේ දේවල් රටේ සිද්ද වෙච්ච කාලයක් තිබ්බ බව මම හොඳටම දන්නවා. මේ වගේ චරිත සීමිත ගණනක් වුනත් මාත්  ඇසුරු කරලා තියෙනවා . ඔවුන් යහපත් දේ කලේ ආගමික භක්තිය නිසාවත් දේශපාලන න්‍යාය නිසාවත් නෙවෙයි. හර්දය ශාක්ෂ්‍යට අනුව.
මේ රටේ ඇති වෙලා තියෙන මහා අවුලට හේතුව හර්ද සාක්කියක් නැති  නායකයන් හා අනුගාමිකයන් බිහි වීම නේද  කියල හිතෙන්නේ මට විතරද?  .

Cartoon Source: NewsBeat Pakistan



22 comments:

  1. නියමයි! මේ දවස් වල කැන්ටින් මුදලාලිලා වැහි වැහැලා. (අපිත් ඇතුළුව)

    ReplyDelete
    Replies
    1. තැන්කිව් . කන්ටීම් මුදලාලිලා , ආර්ථික උපදේශකයෝ, දේශපාලන විශ්ලේෂකයෝ හැම තැනම

      Delete
  2. ඔය දිනපොත් ක්‍රමය සාර්ථකයි තිලකේ. ටිකක් ඇදගෙන යන කොට ලියන්න ඕන ඒවා මතක් වේවි. මහත්තයට ප්ලේන්ටි දෙකක් බොත හැකිද? හැක්.

    ReplyDelete
    Replies
    1. තැන්කිව් මචන්. මටත් හිතෙනවා මේ විදිහටනම් ලියන්න පුළුවන් වේවි කියල

      Delete
  3. සිරා කතා ටික. මනුස්සකම.. සැහැල්ලුව වගේ දේවල් තාමත් ඉතිරි වෙලා තියෙන්නේ ඔය "පොඩි" කියලා ලේබල් ගහපු මිනිස්සු තුළ.

    ReplyDelete
    Replies
    1. සැහැල්ලුව හා අවංකකම පවත්වා ගන්න පුලුවන්න්නම් මම හිතන්නේ ලොකු පොඩි ඕනි කෙනක් සාර්ථකව ජීවත් වෙනවා කියලා නාඩි. තැන්කිව්

      Delete
  4. ඇති යන්තම් මෙහෙම වත් ලියන්න හිතුණා මගදී නැවත්තුවොත් ගමේ ආපු වෙලාවක අල්ලලා දහාට මාසෙකට එල්ලුම්ගස් අරිනව

    ReplyDelete
    Replies
    1. දෙසැම්බර් වල ගමේ ඉන්න හිතං ඉන්න නිසයි ලියන්න පටන් ගත්තේ . දන්නවා උඹෙන් බේරුමක් නැති වග . බොහොම ස්තුතියි දෙන දහිරියට

      Delete
  5. අද පොලේදි කරෝල මුදලාලි වෙන සිහියක ඉඳං මගෙං ගන්න තිවිච්ච තුන්සීය වෙනුවට දෙසිය විස්සක් ගන්න හැදුවා. පස්සෙ මං හර්ද සාක්ෂියට එකඟව මිනිහට ගාන පහදලා දීලා තුන්සීයම දීලා ආවා. හිත යටිං නැගෙන හොර අභිලාෂය පරද්දලා ඇත්තට ඉඩ දෙන්න තාම පුළුවන්වීම ගැන සංතෝසයි.

    මෙහෙම හරි ලියන්නට තිලකෙට සිතක් පහලවීම ලොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. මම ඔහොම වැඩිපුර ආපු ගානක් දෙන්න ගිහින් චාටර් උනා එක පාරක්. අර මල්ගුඩි දවස කතාවක් තියෙනවා පික්පොකට් කාරයෙක් හිත උණුවෙලා ආපහු පොකට් එක දෙන්න ගිහින් ගුටිකන සීන් එකක් . කොහොම හරි අපි පුළුවන් තරම් හර්ද සාක්ෂිය තියාගෙන ඉන්න බලනවා. තව බලමු නේද සුරංග

      Delete
  6. මචං බහී, මේ දවස් වල 'අපේම උන්' Social Media වලත් WhatsApp Group වලත් පතුරන හා 'පතුරු යවන' කතා දැකලා 'මේ එදා හිටපු අපිමද' හිතිලා කනගාටුවෙන් ඉද්දී, උබේ මේ කතා ටික කියවලා හිතට සැනසීමක් දැනුනා. බහී තාමත් එදා බහී මය්!
    -බැචා චන්දන

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මචන් . ඒ කාලෙත් මම හැම එකාටම බැන්න ඒකනේ කරේ පැත්තක් නොගෙන . ලෝකේ කොහේ හිටියත් එකට හිටි සෙට්එක තාම ඒ විදිහට ඉන්නවා කියල දැනෙන එක මාර සතුටක් මචන්

      Delete
  7. මේ ආකෘතියේ වගේම ලියමනෙත් වෙනසක් තියෙනවා . අඩුම ගානෙ සතියකට එකක් වත් ලියන්න . කියවන්න බලාගෙන ඉන්නවා .

    ReplyDelete
    Replies
    1. දිගටම ලියන්න දිරියක් .ස්තුතියි . ඒ වගේම අනුරුද්ධලාගේ sawana ඔන්ලයින් රේඩියෝවටත් සුබ පතනවා

      Delete
  8. කාලෙකට පස්සෙ හිත නිවන කතා ටිකක් කිව්වට පිං!!! බ්ලොග් ලෝකෙ ලූලො ආපහු එන එක කොච්චර දෙයක්ද!!!!

    ReplyDelete
    Replies
    1. බ්ලොග් ලුල්ලු එනවලුද මල්ලී . එහෙනම් ජය !

      Delete
  9. //පැතිරිච්ච ඝෝෂාව හින්දා ඊළඟට කතා වෙච්ච දේවල් මට හරියකට ඇහුන් නෑ .//
    අම්මප!, කන පාත් වෙනකොට ඝෝෂාවක් වගේ ඇහෙනවද සෑර්.

    Myself Hattor

    ReplyDelete
    Replies
    1. ඒක විතරක් නවෙයි විට්ටර් එදා ගෙදර ගිය විදිහත් මතක නෑ

      Delete
  10. අදයි මේක කියෙව්වේ.. ඇත්තටම හිත නිවෙනවා මේවා කියවනකොට

    ReplyDelete
    Replies
    1. පැතුම් පස්සේ හරි මේක කියවන බව දන්නවා . ජය !

      Delete