Saturday, October 17, 2026

මෙල්බර්න් පුස්ත­කා­ලයේ කුරු­මිණි හුට­ප­ටය

 


සාහිත්‍ය මාසය එළ­ඹෙන විට අපි පොත් ගැන වෙන­දාට වඩා කතා කරමු; අලුත් පොත් ගැන කතා කරමු; පරණ පොත් සොයා යමු; පොත් ප්‍රද­ර්ශ­න­වල ඇවි­දිමු.

එවැනි දව­ස්වල මට ලෝකයේ තැනින් තැන දුටු පුස්ත­කා­ලද සිහි­පත් වේ. සම­හර පුස්ත­කා­ල­ව­ලින් මත­කයේ රැඳෙන්නේ පොත්ය; සම­හ­ර­කින් ගොඩ­නැ­ඟි­ල්ලය. තවත් තැනක් දුටු කැට­ය­මක්, ජනෙල් රාමු­වක්, පරණ පොතක සුව­ඳක් හෝ කෙළ­ව­රක නිහ­ඬව පොතක් කිය­ව­මින් සිටි යෞව­නි­යක් මත­කයේ රැඳී තිබිය හැකිය.

පසු­ගි­යදා ඉස්තා­න්බුල් නුව­රදී එවැනි අමු­තුම තාලේ පුස්ත­කා­ල­යක් මට හමු විය. කොටින්ම කිවු­වොත් එය පොත් රාක්ක පිරි ගෝලා­කාර ශාලා­වක් මැද පිහිටි අව­න්හ­ලකි. ඒ තිබුණේ සැබෑ පොත්ය. ශාලාවේ එක් පසෙක කුඩා පියා­නෝ­වක් තිබේ. ඔබට කැමැති නම් කෑම හෝ පොත් කිය­වීම පසෙ­කලා, මොහො­තක් එය වාද­නය කළ හැකිය. හොඳ වාද­න­ය­කදී රැස්ව සිටින්නෝ අත්පුඩි ගසති. නිහ­ඬි­යාව බිඳු­ණාට කමක් නැත. මෙය සැබැ­වින්ම පුස්ත­කා­ල­යක් නොවේ; එසේ නොව­න්නේද නොවේ.

අපි ඉස්තා­න්බු­ලයේ ආසි­යානු පැත්තේ පිහිටි උස්කු­දාර් උප නග­රය බලා ගියේ බොස්ප­රස් සමුද්‍ර සන්ධිය මුහුද යටින් තර­ණය කරන මාර්මරේ දුම්රි­යෙනි. ඒ ගම­නත් අව­සා­නයේ පොත­ක­ටම සම්බන්ධ වූවකි. මා ලියූ ඉස්තා­න්බුල් පොතේ රසි­ක­යන් දෙදෙ­නකු අපට රාත්‍රී ආහා­ර­ය­කට ආරා­ධනා කර තිබිණි. ඔවුන් තෝරා­ගෙන තිබුණේ මේ පුස්ත­කා­ල­මය අව­න්හ­ලයි.

උස්කු­දාර් නගර සභාව පව­ත්වා­ගෙන යන පුස්ත­කා­ල­යක් තුළ පිහිටි එහි ගෝලා­කාර ශාලාවේ බිත්ති වටා ඉහ­ළට විහි­දුණේ පොත් රාක්කය. ඒ රාක්ක මැද වාඩි වී රාත්‍රී ආහා­රය ගැනීම පොත් ලියන කිය­වන මිනි­ස­කුට ලැබෙන එක්තරා සාහි­ත්‍ය­මය සංග්‍ර­හ­යක් වැන්නකි.

ශාලා­වට ඇතුළු වූ සැණින් මගේ මත­කය ඇදී ගියේ මෙල්බර්න් නුව­ර­ටය. මීට වසර කිහි­ප­ය­කට පෙර දිය­ණිය සමඟ වික්ටෝ­රියා ප්‍රාන්ත පුස්ත­කා­ලය (State Library Victoria) නැර­ඹී­මට ගිය ගමන මට සිහි­පත් විය. ගෝලා­කාර හැඩ­යත්, පොත් රාක්ක­ව­ලින් වට වූ අව­කා­ශ­යත් දුටු විට ඒ පුස්ත­කා­ලයේ සුප්‍ර­කට කිය­වීම් ශාලාව මත­ක­යට නැඟුණේ නිරා­යා­ස­යෙනි.

ඒ මත­කය සම­ඟම එකතු වූ කුරු­මිණි කතා­වක් එදා කෑම ගන්නා අත­ර­තුර සතු­ටු­සා­මී­චි­යේදී මම අපේ මිතු­රන්ට කිවු­වෙමි.

වික්ටෝ­රියා ප්‍රාන්ත පුස්ත­කා­ලය ඔස්ට්‍රේ­ලි­යාවේ පැර­ණිම මහ­ජන පුස්ත­කා­ල­යයි. 1854දී එහි පද­නම දමා 1856දී මහ­ජ­න­යාට විවෘත කෙරිණි. එකල එය හැඳි­න්වූයේ ‘People’s University’ හෙවත් ‘ජන­තා­වගේ විශ්ව­වි­ද්‍යා­ලය’ යනු­වෙනි. දහ­නව වැනි සිය­වසේ මැද භාගයේ දැනුම හැමෝ­ටම පහ­සු­වෙන් ලැබෙන දෙයක් නොවීය. පොත් මිල අධි­කය. උසස් අධ්‍යා­ප­නය වර­ප්‍ර­සා­ද­යකි. එවැනි කාල­යක සාමාන්‍ය මිනි­ස­කුට නොමිලේ පැමිණ පොතක් කිය­වී­මට තැනක් විවෘත කිරීම එක්තරා සමාජ විප්ල­ව­යක්ම විය.

එහි වඩාත්ම ප්‍රසිද්ධ කොටස ‘La Trobe Reading Room’ ය. ඊට ඇතුළු වන බොහෝ දෙනා මුලින්ම කරන්නේ පොතක් අතට ගැනීම නොවේ. බෙල්ල හරවා ඉහ­ළට ඉහ­ළට විහි­දෙන ශාලා කුහ­රය දෙස බලා සිටී­මය. 1913දී විවෘත කළ, තට්ටු හයක් උසැති, ගෝලා­කාර වහ­ලක් යට පිහිටි අෂ්ටා­ස්‍රා­කාර ශාලා­වකි එය. ඉහළ මාල­යක සිට පහළ බැලූ විට මේස වටා නිහ­ඬව පොත් කිය­වන මිනි­සුන් පෙනෙන්නේ වෙනම ලෝක­යක ජීවත් වන කුඩා මිනි­සුන් මෙනි.

එහි සේයාරූ ගැනීම සුදු­සු­දැයි අපට කුකු­සක් මතු විය. කිය­ව­මින් සිටින අයගේ ඡායා­රූප ගැනී­මට අව­සර නැති බව අපි දැන සිටි­යෙමු. කෝක­ටත් කියා දොර­ටුව අසල ආර­ක්ෂක නිල­ධා­රි­ය­කු­ගෙන් අව­සර ඇසු­වෙමු.

“අපොයි පුළු­වන්. ඉන්න, මම ඔය දෙන්නගේ ෆොටෝ ටිකක් අරන් දෙන්නම්” කිය­මින් ඔහු මගේත්, දිය­ණි­ය­ගේත් ඡායා­රූප කීප­යක්ම අපේ කැම­රා­වෙන් ගෙන දුන්නේය.

පුස්ත­කා­ල­ය­කට ගිය විට රාක්ක අතර ඇවි­දීම අප කාගේත් පුරු­ද්දකි. ප්‍රද­ර්ශ­න­යක් තිබේ නම් එයත් නොබලා ඒමට අප කැමැති නැත. එහි පැරණි කෘති­වල පිට­පත්, ලේඛ­ක­යන්ගේ විස්තර ප්‍රද­ර්ශන කුටි­වල තිබිණි. කුඩා ශාලා­වල වාර්තා චිත්‍ර­ප­ටද පෙන්වනු ලැබීය.

පැරණි පොතක් යනු එහි මුද්‍ර­ණය කර ඇති වචන ටික පම­ණක් නොවේ. එය අල්ලා බැලූ මිනි­සුන්, එය ගිය ගමන්, එය ආරක්ෂා කළ අය, සම­හර විට එයට හානි කළ අයද ඒ පොතේ නොලියූ කතාවේ චරි­ත­යෝය. එහි ‘World of the Book’ ප්‍රද­ර්ශ­න­යේදී මට හමු වූ කුරු­මිණි හුට­ප­ට­යත් එවැනි නොලියූ කතා­වකි.

ඒ කතාවේ ප්‍රධාන චරි­තය ෆ්‍රැන්සිස් ඩි කැස්ටල්නෝ (Francis de Castelnau) නම් ප්‍රංස ජාතික ස්වභාව විද්‍යා­ඥ­යාය. ඔහු මෙල්බර්න්හි ප්‍රංස කොන්සල් ජෙන­රා­ල්ව­රයා ලෙසද කට­යුතු කළ අතර, කුරු­මිණි එකතු කිරී­මට පුදු­මා­කාර ඇල්මක් දැක්වූ කීට විද්‍යා­ඥ­යෙකි. වසර 140කට වැඩි කාල­ය­කට පෙර ඔහු වික්ටෝ­රියා ප්‍රාන්ත පුස්ත­කා­ල­යට පරි­ත්‍යාග කළේ 1780 පමණ කාලයේ මුද්‍රිත 18 වැනි සිය­වසේ ප්‍රංස කීට විද්‍යා ග්‍රන්ථ හත­රකි. පිටු පුරා ජීව­මාන ප්‍රමා­ණ­යට අතින් වර්ණ ගැන්වූ කුරු­මිණි රූප තිබූ ඒ දුර්ලභ පොත් පසුව සාමාන්‍ය මහ­ජ­න­යා­ගෙන් වෙන් කර සුර­ක්ෂි­තව තබා තිබිණි.

වසර ගණ­නක් ගෙවී ගියේය. 2016 පමණ කාලයේ දිනෙක ඒ පොත් බල­න්නට කව­රෙක් හෝ ඉල්ලු­වේය. පුස්ත­කා­ලයේ දුර්ලභ පොත් ඉති­හා­ස­ඥයා පොත විවෘත කළ විට ඇයගේ හද­වත බර විය. මුඛය විය­ළිණි. සම­හර පිටු­ව­ලින් රූප සෑහෙන ගණ­නක් ඉතා පරි­ස්ස­මින් කපා ඉවත් කර තිබිණි. අනෙක් පොත් තුනද පරීක්ෂා කළ විට සැම එක­ක­ටම සිදුව තිබුණේ එය­මය.

කවු­රුන් හෝ කුරු­මි­ණි­යන් සොර­කම් කර තිබේ. එහෙත් කවුද? කව­දාද? දහ­න­ව­වැනි සිය­ව­සේද? මීට වසර පන­හ­කට පෙරද? නැති­නම් සති දෙක­කට පෙරද?

කිසි­වකු දැන සිටියේ නැත.

ඒ ‘හොර­කම’ මෑත­කදී නම් සිදු වන්නට ඉඩ අඩු බව කවු­රුත් දැන සිටි­යහ. මන්ද යත්: දුර්ලභ පොත් තබා ඇත්තේ ඒ සඳ­හාම සාදන ලද සුර­ක්ෂිත කුටි­ව­ලය. වැද­ගත් කට­යුතු සඳහා අව­සර සහි­තව පොත් පරි­ශී­ල­නය කරද්දී එය අධී­ක්ෂ­ණය කෙරේ. බලා අව­සන් වූ පසු පොත් නැවත පරීක්ෂා කෙරේ.

ඒ ආදි අද­හස් උද­හස් මැද කොතෙක් විම­ර්ශන කළත් කුරු­මිණි හොරා සොයා­ගත නොහැකි විය.

පුදු­මය නම් පිළි­තුර තිබුණේ පුස්ත­කා­ලයේ නොව, මෙල්බර්න් කෞතු­කා­ගා­රයේ වීමය.

කැස්ටල්නෝ සතුව කුරු­මිණි සාම්පල දහස් ගණ­නක එක­තු­වක් තිබිණි. ඔහු මිය­යෑ­මට පෙර ඒ සාම්පල විශාල ප්‍රමා­ණ­යක් මෙල්බර්න් කෞතු­කා­ගා­ර­යට විකුණා හෝ පරි­ත්‍යාග කර තිබේ. මූලා­ශ්‍ර­ය­වල කතාව දෙයා­කා­රය. එක් වාර්තා­වක් කියන්නේ ඔහු ඒවා පවුම් 200කට විකුණූ බවයි. තවත් මූලා­ශ්‍ර­යක සඳ­හන් වන්නේ ඒවා පරි­ත්‍යාග කළ බවයි. කෙසේ වුවද, වසර 140කට වැඩි කාල­යක් ඒ කුරු­මි­ණියෝ කෞතු­කා­ගා­රයේ ලාච්චු තුළ සුර­ක්ෂි­තව සිටි­යහ.

එහෙත් ඒ අතර අමුතු කුරු­මි­ණි­යන් කිහිප දෙනකු සිටි බව සොයා­ගනු ලැබූයේ පසු­වය. ඔවුහු සැබෑ කුරු­මි­ණි­යන් නොව, කඩ­දාසි කුරු­මි­ණි­යන් හෙවත් කුරු­මිණි පින්තූ­රය. කෞතු­කා­ගා­රයේ කිසි­ව­කුට ඒ පින්තූර කොහෙන් පැමි­ණි­යේ­දැයි හරි­හැටි දැන සිටියේ නැත.

පුස්ත­කා­ල­යේදී ඒ අබි­ර­හස් පින්තුර අතු­රු­දන් වීම දැන­ගත් සිද්ධි­යෙන් මාස කිහි­ප­ය­කට පසු දිනෙක කෞතු­කා­ගා­රයේ කීට විද්‍යා ජ්‍යෙෂ්ඨ භාර­කරු කීට විද්‍යා එක­තුව බැලී­මට පැමිණි පිරි­ස­කට එහි වටිනා සාම්පල පෙන්ව­මින් සිටි­යේය. ඔහු ලාච්චු­වක් ඇද පෙන්වා, සැබෑ කුරු­මි­ණි­යන් අතර කඩ­දාසි කුරු­මි­ණි­යන් කිහිප දෙන­කුද සිටින බව කීවේය; ඒවා කොහෙන් ආවා­දැයි තමා­ටත් නොපෙ­නෙන බවද පැව­සීය.

අහ­ම්බ­ය­කට මෙන් ඒ පිරිසේ වික්ටෝ­රියා ප්‍රාන්ත පුස්ත­කා­ලයේ සේවය කරන කෙනෙක් සිටි­යේය. කඩ­දාසි කුරු­මි­ණි­යන් දුටු සැණින් ඔහුට කතාවේ කෑලි දෙක එකට ගළ­පා­ග­න්නට හැකි විය. පුස්ත­කා­ලයේ පොත්ව­ලින් අතු­රු­දන් වූ කුරු­මිණි පින්තුර කෞතු­කා­ගා­රයේ ලාච්චු­වල තිබිණි. අන්ති­මේදී ‘හොරා’ ද හමු විය. ඒ කැස්ට­ල්නෝ­මය.

තම එක­තුවේ යම් විශේ­ෂ­යක සැබෑ සාම්ප­ල­යක් නොමැති විට ඔහු තම කීට විද්‍යා පොතේ තිබූ ඒ කුරු­මි­ණි­යාගේ රූපය පරි­ස්ස­මින් කපා­ගෙන ලාච්චුවේ අදාළ තැනට රඳවා තිබිණි.

මෙල්බර්න් මියු­සි­යම්හි හා වික්ටෝ­රියා පුස්ත­කා­ලය යන දෙකේ­දීම මා එකතු කර­ගත් කතා­න්ද­රය මම උස්කු­දාර් පුස්ත­කා­ල­මය ආප­ණ­ශා­ලා­වේදී මිතු­රන්ට කී විට එක් මිතු­රෙක් මෙසේ කිවු­වේය.

“පොතක ඇති පින්තූ­ර­යක් වචන දාහක කතා­වක් කියන බව අපි අහල තියෙ­නවා. ඒත් සම­හර වෙලා­වක පොතක පින්තූර කපලා හිස් වෙච්ච තැනක් ඊටත් වඩා ලොකු කතා­වක් කිය­නව නේද?”

අපි උස්කු­දාර් පුස්ත­කා­ල­මය අව­න්හලේ පියානෝ හඬ පරයා මහ හඬින් සිනාසුණෙමු.

( Silumina Thilakasitha 11 Oct 2026)

No comments:

Post a Comment