තාත්තේ ඔයාගේ හොඳම යාළුවා කවූදැයි කියා දවසක් පොඩි දෝනි මගෙන් ඇසුවාය. ඒ වෙලාවේ මගේ හොඳම යාළුවාත් අපේ ගෙදර ඇවිල්ලා සිටියේය. මම ඔහු දෙස බලා පොඩි සිනාවක් පෑවෙමි ඔහුද කාරණය තේරුම් ගත්තාක් මෙන් මා දෙස බලා සිරියාවන්ත අහිංසක සිනාවක් පෑවේය. දෝනි මේ කිසිවක් දුටුවේ නැතිමුත් ඇය ආයෙමත් ඒ ප්රශ්නය අසන්නේ නැතිව චිත්රයක් අඳින්නට පටන් ගත්තාය.
මගේ පොත එලි දකින්නට දවස් දෙකකට කලින් මම ඔහු බලන්නට යන විට ඔහු ලොකු අකරතැබ්බයකට මුහුණ පා සිටියේ සති කීපයක් තිස්සේ තරමක් අසනීපයෙන් සිටිද්දී කොරේ පිටට මරේ කීවාක් මෙන් කෑම මේසයේ පුටුවෙන්ද බිමට ඇද වැටීම නිසාය. පිට පැත්ත බිම ඇනී හොඳටම අමාරු වී තිබිණි. මම යනවිට ඔහු හැරෙන්නටවත් නැගිටින්නටවත් බැරිව ඇඳේ දිගා වී සිටියේය. මා දුටු විගස ඔහු බොහොම අමාරුවෙන් කෙඳිරි ගාමින් කිව්වේ මම කොහොම හරි උත්සවේට එනවා කියලාය. ඒ වන විට ඇඳ වටා රොක් වී සිටි ඔහුගේ දියණියන්ගේ මුහුණුවල ලියවී තිබුනේ අපේ තාත්තාට අමාරුයිනේ එදාට එන්න පුළුවන් වෙයිද වගේ ප්රශ්නයකි.
ඒත් මම මගේ යාලුවා ගැන දන්නා නිසා ඔහු නොවැරදීම උත්සවයට එන බව මම දැනගෙන සිටියෙමි. කිව්වා වාගේම ඔහු අලුත් ඇඳුම් සුට් එකක් ඇඳගෙන ඇවිත් ඉස්සරහම පේලියේ වාඩි වී සිටියේය. එදා තරම් ඔහු සන්තෝෂයෙන් සිටි තවත් දවසක් මටනම් මතක නැත.
මීට වසර ගනනකටපෙර අපි කොහේදෝ ට්රිප් එකක් යද්දී හොඳම යාලුවාගේ පවුලේ සියලු දෙනාත් ගමන යන්නට ආවෝය. පාන්දර පිටත් වී ආපසු එන විට හැන්දෑ වන නිසා බල්ලාට කෑම දී එනකන් ඉන්නයි යාලුවා කිවේය. ඊළඟට කෑම බඳුන් දෙකක් අතින් හෙන බලු කුඩව දෙසට ගිය ඔහු ආපසු ආවේ බල්ලාට හොඳටම බැන වදිමිනි. මේ යකාට දවල්ට කන්න බත් එකයි උදේට කන බත් එකයි ලඟින් තිබබා. ඌට ඔච්චර කියලත් පැනපු ගමන් දවල් එක කෑවා ඊට පස්සේ උදේ එකත් කෑවා. එදා අපේ ගමන පටන් ගත්තේ මේ රස කතාවත් සමගය.
අපි 96 අවුරුද්දේ කසාද බැන්දාට පසු ටික දවසක ගල්කිස්සේ කුලී ගෙදරක සිට ආපහු මහගෙදරට පැමිණියේ කිට්ටුවෙන් කුලී ගෙයක් හොයා ගන්න ඕනෑ කියලාය. මහා ගෙවල්වල ඉඩ තිබ්බාට අපිටම කියා ජීවිතයක් ඕනිනේ. මේ කුලියට ගෙයක් හොයන හැම ගමනටම හොඳම යාළුවාත් ආවේය. හැම ගෙදරකම ඇද කුද කියූ ඔහු අපිට ගෙයක් ගන්නට දුන්නෙම නැත. මට හිතුනෙම මොහු මහා ඇණයක් වෙන්නට යන බවකි. එක ගෙදරක් තෝරාගෙන ඔහුට හොරෙන් එහි ගියේ ඒ ගෙදරට ඇඩ්වාන්ස් එකක් දීමටය. ඒත් කොහේදෝ සිට කඩා පාත් වූ හොඳම යාලුවා ඒ මුදල දෙන්නට නොදී මා ඇදගෙන ගොස් මට කිව්වේ කුලී ගෙව ගෙවා ඉන්න සල්ලි වලින් මෙන්න මෙතනින් ගෙයක් හදන්න පටන් ගන්නා ලෙසය.
දෙයියනේ අතේ රුපියල් දහදාහක් තියාගෙන ගෙයක් හදන්නේ කොහොමද ? ඒත් යාලුවාගේ පෙරත්තයත් වෙනම ගෙයක් ඕනෑම කියා හිතුනු නිසාත් දත කාගෙන කාමරයක් කුස්සි කෑල්ලක් හදා ගත් අපි මාස තුන හතරකින් එහි පදිංචියට ගියෙමු..
අපි මේ තරම් යාළුවන් වුනේ මොහුගේ ජීවිත කතාවේ හා පැවැත්මේ බොහෝ තැන් බෙහෙවින්ම මට අල්ලා ගිය නිසාය .මේ යාලුවාගේ කතා මහා ගොඩක් තිබුනත් ඔහු ගැන වෙනම පොතක් ලියන්නට අපේ ලොකු දෝණී පටන්ගෙන තියෙන නිසා වැඩි යමක් නොලියමි. ඒ කතාව යුගයක කතාවකි. දසක හතක වාමාංශික දේශපාලනයේ සිටි බොහෝ ප්රගතිශීලීන් මෙන්ම හොඳ කලාකරුවන් රැසක් සමග ගෙවුණු ඔහුගේ අතීත ජීවිත කතාවල වියපත් ඇස් ඒ වික්රමසිංහද , කුඩා රෝහණ විජේවීරද , එච් ආර් ජෝතිපාලද , එපමණක් නොව ඩීමන් ආනන්දද සිටිති.
ඔහු සරල සැහැල්ලු නිරහංකාර මිනිහෙකි. පොත කරේ ගසා නොගත් ප්රායෝගික සමාජවාදියෙකි. ගෙදරදීත් රස්සාව කරද්දීත් , ගමේ සමාජයේත් ඔහු සොඳුරු මග පෙන්වන්නෙක් වුනේය. මම ඔහුගේ කැමතිම තවත් ගුණයක්නම් අවුරුදු ඇසුවට කිට්ටු කරලා හිටියත් ආගමික හෝ ගෝත්රික අන්තවාදයක් නැතිකමය. තාමත් පන්සල් නොයන ඔහු පුළුවන් තරම් පන්සිල් රකින මිනිසෙකි.
පුදුමයකට මෙන් ඔහුගේ මේ සරල සුන්දර ගති පැවතුම් එලෙසින්ම වාගේ ඔහුගේ දියණියටද තිබුනේය.දසක දෙකකට පෙර මේ යාලුවා මට මුණ ගැසුනේද ඇයගේ මාර්ගයෙනි.
මීට හරියටම අවුරුදු දහ අටකට පෙර හොඳම යාලුවාගේ වැඩිමහල් දියණියගේ මගුල් ගෙදරට මමද ගියෙමි. මගේ බ්ලොග් එකේ ජනප්රියම පොස්ට් එක වී ඇත්තේ ඒ 'මගුල් ගෙදර' ගැන කී කතාවය. කාටවත් සොරාගන්නට බැරි ආදරයක් සමග සොඳුරු සිතැත්තියක් මට තෑගී දුන් ආදර මාමණ්ඩිය මට දැන් සිටින හොඳම යාළුවාය .

.jpg)




